(සසප වම කන්ඩායමෙන් පලා ගිය ත්‍රිත්වයක් කම්කරු පන්තියේ පක්ෂයක නායකත්වය පිලිබඳ ව මාක්ස්වාදයට සතුරු ආස්ථානයක් යෝජනා කිරීම නිමිති කර ගනිමින්, ඔවුන්ගේ ආස්ථාන මාක්ස්වාදයේ දෘෂ්ටි කෝනයෙන් විභාග කිරීමේ විශ්ලේෂනයක් ලෙස මෙම ලිපි මාලාව පල වේ. එකී ආස්ථානවලට එරෙහිව මාක්ස්වාදී විධික්‍රමය හා මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා කැප වූ මෙම ලිපි මාලාව, සමකාලීන අත්දැකීම් තුල අප හමුවේ ඇති විප්ලවවාදී අභියෝග වටහා ගැනීමට හා ඒවාට මුහුන දිය යුතු ආකාරය නිස්සාරනය කර ගැනීමට අවශ්‍ය එලියක් විහිදුවනු ඇතැයි යන්න අපේ වැටහීමයි.
මෙහි පලවන්නේ එම ලිපි මාලාවේ සිව්වැන්නයි. පසුගිය ඔක්තෝබර් 7 වන දින එහි පලමු කොටස පල වූ අතර, දෙවැන්න ඔක්තෝබර් 13 වන දින ද, තෙවැන්න ඔක්තෝබර් 19 වන දින ද පල විය.)
(සැ.යු. ඔවුන්ගේ ලිපියේ උපුටනවල අංක ලෙස මෙම ලිපිය තුල දැක්වෙන්නේ, සිය ලේඛනය තුල ඔවුන් විසින් යොදන ලද අංක බව කරුනාවෙන් සලකන්න.)
නන්දන නන්නෙත්ති
4 කොටස
ආත්මීය විඥානවාදය
පිටු 65 පුරා ම දැකිය හැකි විශේෂ ලක්ෂනය නම් ඉතිහාසය විකෘති කිරීම හා න්‍යාය කෙරේ විරෝධය පෑම ය. ඔවුහු සසප වම බහුතරයට මෙසේ චෝදනා කරති: “ඉතිහාසයත්, ට්‍රොට්ස්කිවාදී මූලධර්මත් ඉතා කටෝර අයුරින් උදයප්‍රේම සහෝදරයා (සසප වම සාමාජික) විකෘති කරනු දැක ගත හැකි විය. රුසියානු කොමියුනිස්ට් පත්ෂය තුල නායකත්වය සඳහා අරගලය ට්‍රොට්ස්කි දෙවැනි කොට සැලකූ බවත් පලමු කොට සැලකුවේ න්‍යායික දේශපාලනික අරගලය බවත් එහිදී ඔහු පවසන ලදී“ (එම, පිට 51, xi) .
“විප්ලවවාදී පක්ෂයක මුදුනේ ප්‍රතිගාමී නායකත්වයක් ලැග සිටින්නේ නම්, එම ප්‍රතිගාමී නායකත්වය පලවා හැර විප්ලවාදී නායකත්වය එහි පිහිටුවීම සඳහා විප්ලවවාදී ප්‍රවනතාව විසින් දෘඩතර න්‍යායික දේශපාලන අරලගය පෙරට ගත යුතු ය.“ (එම, පිට 63 xii)
මේ අනුව ඔවුනට න්‍යායික අරගලය අවශ්‍ය වන්නේ ඊනියා ප්‍රතිගාමී නායකත්වය පලවා හැර අලුත් එකක් පිහිටුවා ගැනීම සඳහාය.
මෙම ප්‍රකාශය 1939 ඇමරිකාවේ ට්‍රොට්ස්කිවාදී පක්ෂය වූ සමාජවාදී කම්කරු පක්ෂය තුල ෂැට්මන්, බර්න්හැම් නායකත්වය දුන් හා පසුව පක්ෂයෙන් පලා ගොස් ධනපති පෙරමුනට ගාල් වූ සුලු ධනේශ්වර ප්‍රවනතාවය ලියූ දෙයෙහි, වචන කීහිපයක් එහා මෙහා කල කාබන් කොපියක් බඳු ය. “රුසියානු ප්‍රශ්නය ඒ හැටියට හා එය පමනක් ගත් කල්හි, මොන ම තීරනාත්මක වැදගත්කමක්වත් නූසුලයි: අතිශයින් ම වැදගත් කර්තව්‍යය නම් පක්ෂයේ පාලන තන්‍ත්‍රය වෙනස් කිරීමයි“ ඔවුහු ලියූහ.
ට්‍රොට්ස්කි ඔවුන්ගේ යෝජනාව ගැඹුරින් ම සලකා බැලුවේ ය. “අරගලය ‘සංවිධානාත්මක ප්‍රශ්නය‘ වෙත මාරු කිරීමෙන්, කන්ඩායම් අරගලයෙහි සරල ‘උපාමාරුවක්‘ නියෝජනය වේ ය යි විශ්වාස කිරීම වැරදි ය. ප්‍රශ්නය හුදෙක් රුසියානු ගැටලුව පිලිබඳ ව වූවක් පමනක් නො වන වග, පක්ෂය ගොඩ නැංවීම පිලිබඳ විධික්‍රම ඇතුලු ව, සාමාන්‍ය වශයෙන් ගත් කල්හි, දේශපාලනික ගැටලුවලට පවතින සමස්ත ප්‍රවේශය ම පිලිබඳ ව වූවක් වග, කෙතරම් ව්‍යාකූල ආකාරයකින් වුව, විරුද්ධ පාර්ශවියන්ට, ඔවුන්ගේ අභ්‍යන්තරික හැඟීම් මගින් සැබැවින් ම සන්නිවේදනය කෙරේ. මෙම සංනිවේදනය එක් තරා අර්ථයකින් නිවැරදි ය. ප්‍රශ්නය, හුදෙක් රුසියානු ගැටලුව සම්බන්ධිත වූවක් පමනක් නො වන වග, ඊටත් වඩා එය විරුද්ධ පාර්ශවයේ චින්තන විධික්‍රමය – මෙයට සමාජමය මූලයන් ඇත – සම්බන්ධිත වූවක් වග සනාථ කිරීමට අප ද ඉහත යත්න දරා ඇත. විරුද්ධ පාර්ශවය සුලු ධනේශ්වර මනෝගතීන්හි හා ප්‍රවනතාවන්හි ආධිපත්‍යයට නතු වී සිටී. මුලු මහත් ප්‍රශ්නයෙහි ම සාරය මෙය යි.“ (ලියොන් ට්‍රොට්ස්කි, මාක්ස්වාදයේ ආරක්ෂාව සඳහා, පිටු 26-27, කම්කරු මාවත ප්‍රකාශන, පියසීලි විජේගුනසිංහ පරිවර්තනය )
ලියොන් ට්‍රොට්ස්කි
සෑම සුලු ධනේශ්වර ප්‍රවනතාවක මෙන් ම විල්සන් කල්ලියේ ද විශේෂ ලක්ෂනය වන්නේ මාක්ස්වාදයේ පදනම වන අපෝහක භෞතිකවාදී විධික්‍රමය පිටු දැකීමයි.
සිය ලියවිල්ලේ 23 පිටේ 06 (xii) යටතේ ඔවුහු මෙසේ ලියති. “කාල් මාක්ස්, එංගල්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි ආදීන්ට ද පැවතියේ මිනිස් මනස් ය.ලෝකයේ අන් සියලු දෙනාම කරන ආකාරයට, වෛෂයික ලෝකයේ නීති නියාමයන් තමන්ට හැඟෙන අයුරින් ඔවුන් විසින් ප්‍රකාශ කරන ලදී. නමුත් ඔවුන්ගේ ප්‍රකාශයන් මෙතරම් ම නිවැරදි වූයේ ඇයි? එමගින් වෛෂයික ලෝකය පිලිබඳ නීති නියාමයන් වඩාත් නිවැරදි ආකාරයෙන් ඉදිරිපත් කල බැවිනි. ඔවුන්ට එසේ කිරීමට හැකි වූයේ අපෝහක භෞතිකවාදී විධි ක්‍රමය මත පදනම් වූ බැවිනි.“
“මිනිස් මනස් ඇති සියලු දෙනා ම කරන ආකාරයට“ මාක්ස්වාදීන් නීති නියාමයන් සොයා ගත්තේ නම් මාක්ස්වාදය අවශ්‍ය වන්නේ නැත. තමන්ට හැඟෙන අයුරින් නීති නියාමයන් ග්‍රහනය කර ගැනීමත් අපෝහක භෞතිකවාදය මත පදනම් වීමත් යන මේ එකිනෙකට ප්‍රතිවිරෝධී ප්‍රපංචයන් දෙක එකට පවතින්නේ කෙසේ ද? ඔවුන්ගේ පිටු 65 ම පෙන්නුම් කර ඇත්තේ මෙම ව්‍යාකූලත්වය දැනුවත් නිෂ්පාදනයක් බව ය. ඒ, මාක්ස්වාදය වැනි මහා ආඛ්‍යානයන්ගෙන් පලක් නැත යන්න ය.
මාක්ස්වාදය අත්පත් කර ගැනුනේ ධනවාදය පෙරලා දැමීම සදහා මාක්ස්ගේ භාවිතය තුලිනි. එය මිනිසාගේ ඉන්ද්‍රිය මූලික ක්‍රියාත්කාරීත්වයේ ඉහලම සමාජ විද්‍යාත්මක ජයග්‍රහනයකි. මෙම සත්‍යය ට එරෙහි වන විල්සන් ප්‍රමුඛ ත්‍රිත්වය අනුයන ආත්මීය විඥානවාදය යනු දැනුවත්කම සිය අභ්‍යන්තර පෞද්ගලික අත්දැකීම ලෙස දැක ගැනීම යි. එය නම්, කෙනෙකු සිය සිතුවිලි, හැඟීම් සහ සංවේදනයන් පුද්ගලයාගේ දෘෂ්ටි කෝනයෙන් අත් විඳින ආකාරය යි. ඔහු ලෝකය දැක ගන්නේ තමන්ට ගෝචර වන පරිදි ය. එය බාහිර ලෝකය මැනිය හැකි හෝ නිරීක්ෂනය කල හැකි වෛෂයික විඥානයේ ප්‍රතිවිරුද්ධය යි.
“අප පටන් ගන්නා පූර්ව අවයවයන් හිතුමතේට තෝරා ගත් ඒවා හෝ ආධානග්‍රාහයන් හෝ නො ව, සැබෑ පූර්වායවයන් වේ. පරිකල්පනයේ දී වියුක්තකරනයන් සිදු කල හැක්කේ එම යථා පූර්ව අවයව වලින් පමනි. ඒවා නම්, සැබෑ පුද්ගලයන්, ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ ඔවුනගේ පැවැත්මේ ද්‍රව්‍යමය කොන්දේසි වේ.“ (කාල් මාක්ස්, ෆෙඩ්රික් එංගල්ස්, ජර්මන් දෘෂ්ටිවාදය – ප්‍රථම පරිච්ඡෙදය, 30 පිට; පරිවර්තනය – ජස්ටින් පියරත්න )
එහෙත් ත්‍රිත්වයේ විධික්‍රමය වූ කලි මාක්ස්වාදයේ ප්‍රතිපක්ෂය යි. මාක්ස්වාදය සියලු ප්‍රවර්ග හා සංකල්පයන්හි ඓතිහාසික පරිනාමය අධ්‍යයනය කරන්නේ මොලයේ නිෂ්පාදිතයක් ලෙස හෝ ‘පරම අධ්‍යාත්මයක‘ නිර්ගමනයක් ලෙස හෝ නො ව, ස්වභාව ධර්මය හා සමාජය තුල පවත්නා වෛෂයික ලක්ෂන හා සම්බන්ධතා මිනිසුන්ගේ මනස තුල පිලිබිඹු වීමක් ලෙස ය.
“මිනිසා ලෝකය ඥානනය කරන්නේ එය වෙනස් කිරීමේ සමාජ ක්‍රියාවලිය තුල ය. ඔහුගේ චින්තනයේ රූපාකාරයන් නිෂ්පාදනය වන්නේ හා සැකසෙන්නේ නිෂ්පාදන බලවේගවල සහ ඉන් පැන නැගෙන සමාජ සම්බන්ධතාවල වර්ධනය මගිනි. ස්වභාව ධර්මයේ සහ සමාජයේ නියාමයන් පිලිබඳ මිනිසාගේ ඥානනය විද්‍යාත්මකව අවබෝධ කොට ගැනුනේ, ස්වභාව ධර්මය මානුෂික චින්තනය තුල (ඤෙය සිට ඤාතෘ දක්වා), අකර්මන්‍යව හා කැටපතකින් මෙන් පිලිබිඹුවක් බවට ඌනනය කල නො හෙන ඓතිහාසිකව වර්ධනය වන්නා වූ සමාජ ක්‍රියාවලියක් ලෙස ය”. (ඩේවිඩ් නෝර්ත්, ලියොන් ට්‍රොට්ස්කි හා මාක්ස්වාදයේ වර්ධනය, පිට 91)
අපෝහක භෞතිකවාදය
ජුලි 2 සසප “ප්‍රතිගාමී දේශපාලන ප්‍රවනතා“ ලෙස විල්සන් කන්ඩායම විසින් නම් කෙරුනු “කට්ටිවාදය , සංස්ථිතිකවාදය, නිලධාරීවාදය, තත්කාර්යවාදය සහ අවස්ථාවාදය“ යන මේවා සාක්ෂි සහිතව පැහැදිලි කල යුතු ය යි උදයප්‍රේම ලිවී ය. විල්සන් මෙසේ පිලිතුරු දුන්නේ ය.
“කියන්නා කියන දේ ඔප්පු කල යුතු ය යන ඒකමානීය ඔප්පු කිරීමේ භාරය ඇත්තේ ධනපති අධිකරනයේ ය. විප්ලවවාදී ව්‍යාපාරය තුල එය අනික් අතට වෙති. එනම් සහෝදරයෙක් යම් අදහසක් ඉදිරිපත් කරන විට එය ඔප්පු කිරීමේ භාරය ඔහුට පවරා පොරවා නිදා ගැනීම නො ව එම අදහස ව්‍යාපාරය තුල ප්‍රතිගාමී අදහසක් නම් එසේ වන බව ඔප්පු කිරීම හෝ ඒ අදහසට වෙනස් අදහසක් තිබේ නම් එය ඉදිරිපත් කර සනාථ කිරීමයි.“
මේ වනාහී නීති නියාමයන් තමන්ට හැඟෙන පරිදි ප්‍රකාශ කරන ත්‍රිත්වයේ විධික්‍රමය තව දුරටත් වර්ධනය කිරීමකි. එහිදී යම් ප්‍රකාශයක් හැඟෙන පරිදි හරි හෝ වැරදි ය යි නිගමනය කෙරේ; ඉදින් එය වැරදියැයි හැඟී යන්නේ නම්, ඊට එරෙහිව සටන් කර, නිවැරදි අදහස ලෙස හැඟී යන අදහස තහවුරු කෙරේ.
මෙය විප්ලවවාදී ව්‍යාපාරයක විධික්‍රමය වන්නේ නම්, විප්ලවාදී ව්‍යාපාරයක් යනු ඉබාගතේ, වගකීම් විරහිත අදහස් ඉදිරිපත් කරන පුද්ගලයන්ගේ රජ දහනක් විය යුතු ය. ඊට වෙනස් ව විප්ලවවාදීහු තමන් ඉදිරිපත් කරන අදහස් ඒත්තු ගැන්වීම සඳහා අරගලයක නිමග්න වෙති. ප්‍රතිවිරුද්ධ අදහස් මතු වන්නේ එම අරගලය ඇරඹීමත් සමග ය. හැම විටම නො දැනුමේ සිට දැනුම කරා නො නැවතී ගමන් කරන මාක්ස්වාදය පූර්ව නිගමන මත ක්‍රියා නො කරන අතර, එය විද්‍යාත්මක විධික්‍රමය මත පදනම් වූ ක්‍රියාවලියකි. ඊට විරුද්ධ වීමෙන් විල්සන් ත්‍රිත්වය පෙන්නුම් කරන්නේ තමන් මාක්ස්වාදයට පහර දීම සදහා හීන් නූලේ පියවර තබා ඇති බව ය.
විල්සන්ගේ නින්දා සහගත බොරු ගෙතීම නිකම්ම බොරු කීමක් ලෙස සලකා ඉවත දැමිය නො හැකි ය. එනිසා විල්සන්ට අපි මෙසේ කියමු: ට්‍රොට්ස්කි පෙන්වා දුන් පරිදි, “දේශපාලන ජීවිතයේ බොරුව එක් මූලික කාර්යයක් ඉෂ්ට කරයි. දේශපාලනික ආස්ථානයක දුර්වලකම් සහ පරස්පරයන් වසන් කරන එය සමාජමය ආසක්තයක් වසන් කිරිමට යොදා ගනු ලැබේ. ඔබ පිලිබඳව ගත්නා කල්හි වංචනික විධික්‍රම ගලා එන්නේ – එතරම් මැ නො දැනුවත් ව නො ව – මාක්ස්වාදයේ න්‍යායික හා දේශපාලන පදනම් ප්‍රතික්ෂේප කර සිටින ඔබ ප්‍රසිද්ධියේ මාක්ස්වාදියෙකු ලෙස පෙනී සිටීමට දරන්නා වූ උත්සාහයෙනි. ජාත්‍යන්තර කමිටුව සමග ඔබට පවත්නා මතභේදයෝ හුදු වෙන් වෙන් ක්‍රියා මාර්ග කරුනු පිලිබඳව නො වෙති: සමාජවාදය සඳහා අරගලය පදනම් වී ඇත්තා වූ දාර්ශනික ලෝක දෘෂ්ටිය පිලිබඳ බෙහෙවින් ම අති මූලික ප්‍රශ්නයක් පිලිබඳ ව වෙති.“ (ඩේවිඩ් නෝත්, මාක්ස්වාදය ඉතිහාසය සහ සමාජ විඥානය, පිටුව 67- කම්කරු මාවත ප්‍රකාශන)
ලියොන් ට්‍රොට්ස්කි ඇමරිකානු සමාජවාදී පක්ෂය තුල පැන නැගුනු මෙවන් ප්‍රවනතාවක් විභාග කරමින් සඳහන් කර ඇති පරිදි, “වර්ධනයේ ගාමක බලවේගය හැටියට සමාජ පරස්පර විරෝධයන් පිලිගැනුම ප්‍රතින්ෂේප කිරීම, න්‍යායික චින්තන ක්ෂේත්‍රෙයහි පරස්පර විරෝධතා පිලිබඳ තර්කනය හැටියට අපෝහකය සැලකිල්ලට ගැනීම ප්‍රතික්ෂේප කිරීම කරා යොමු විය. දේශපාලනය පිලිබඳ ක්ෂෙත්‍රයෙහි ‘යුක්ති සහගත‘ ක්‍රියා මාර්ගයක නිරවද්‍යභාවය, විචක්ෂන සංවාඛ්‍ය තර්කනය මගින් සියල්ලන්ටම ඒත්තු ගත හැකි යයි සිතනු ලබන පරිදි ම, න්‍යාය පිලිබඳ ක්ෂෙත්‍රයෙහි ද ‘සාමාන්‍ය දැනීමේ‘ මට්ටමට පිරිහෙලනු ලැබූ ඇරිස්ටෝටලියානු තර්කනය, සියලු ම ප්‍රශ්න විසඳාලීමට ප්‍රමානවත් ය යන්න සනාථ කෙරී ඇති සේ පිලි ගනු ලැබින.“ (ලියොන් ට්‍රොට්ස්කි, මාක්ස්වාදයේ ආරක්ෂාව සඳහා, පිටුව – 04 කම්කරු මාවත ප්‍රකාශන)
යමක් සත්‍ය වීමට නම් එය වෛෂයිකව සනාථ කල හැකි විය යුතු ය. විද්‍යාවේ හා නිෂ්පාදන බලවේගවල වර්ධනයේ ප්‍රාථමික අවධියක දී පෞරානික ග්‍රීක දාර්ශනිකයෝ ඒ උදෙසා ඉමහත් ප්‍රයත්නයක් දැරූහ. එහිදී වර්ධනය කෙරුනු ග්‍රීක අපෝහකයට ඇරිස්ටෝටල් කල ප්‍රතිපදානයට අනුව, මූලික නීති තුනක් දැනුම ලබා ගැනීමේ පදනම විය.
ඇරිස්ටෝටල්
A. අනන්‍යතා නීතිය (Law of identity): දෙයක් හැම විටම එම දෙයට ම සමානය; එනම්, A=A
B. ප්‍රතිවිරෝධතා නීතිය (Law of contradiction): යමක් සෑම විටම එයටම සමාන නම්, එය තමන්ගේන් වෙනස් විය නො හැකි ය; එනම්, A=A නම්, එයට කිසි විටක A නො වන දෙයට සමාන කල නො හැකි ය.
C. මධ්‍යය බැහැර කිරීමේ නීතිය (Law of excluded middle): සෑම දෙයක් ම එය හෝ එය නොවන්න හෝ විය යුතු ය. ප්‍රතිවිරුද්ධ ප්‍රකාශ දෙකක් එකිනෙක ගැටෙන විට ඒ දෙකම සත්‍ය හෝ අසත්‍ය විය නො හැකි ය. එකක නිවැරදි බවෙන් එහි ප්‍රති විරුද්ධයේ සාවද්‍ය බව ගම්‍ය වේ.
එහෙත් එම යුගයේ ග්‍රීකයෝ හුදෙක් ම අසමානතා හා සමානතා පිලිබඳ විමසීමෙන් සෑහීමකට පත් වී නො සිටියහ. ඇරිස්ටෝටල් අපෝහකය යන්නෙන් අදහස් කලේ සත්‍යය හෙලි කිරීමට හෝ නිගමනවලට එලඹීමට භාවිත කරන තර්ක සහ තර්ක කිරීමේ ක්‍රමයකි. එයට, සහභාගී වන දෙදෙනෙකු හෝ වැඩි ගනනක් විවේචනාත්මකව සාකච්චාවක නියැලීමේ දී යෙදෙන විද්‍යාත්මක සංකල්ප ඇතුලත් වේ. විවිධ දෘෂ්ටි කෝනවල වලංගුභාවය පරික්ෂා කිරීම සදහා ප්‍රශ්න ඉදිරිපත් කිරීම සහ පිලිතුරු දීම, තාර්කික විශ්ලේෂනය හරහා සියල්ල පැහැදිලි කිරීම, පරස්පර විරෝධතා හඳුනා ගැනීම සහ අදහස් ශෝධනය කිරීම මෙහි අරමුනයි.
මේ ගැටලුව විසඳනු ලැබුවේ දහඅටවන සිය වසේ දර්ශනවාදයේ ඉහලම හිනි පෙත්ත වූ හෙගල්ගේ අපෝහකය භෞතිකවාදී පදනමක තබා වර්ධනය කරන ලද කාල් මාක්ස් විසිනි. අද අප කතා කරන්නේ ලෝකයේ පැවැත්ම ලෙස පවතින නියාමයන් ම, ලෝකය ඥානනය කිරීම සදහා අත්‍යවශ්‍ය බව වටහා ගත් මාක්ස්වාදී ඓතිහාසික අපෝහක භෞතිකවාදය පිලිබඳ ව වන නමුත්, මාක්ස්වාදය ඇරිස්ටෝටලියානු සංවාක්‍ය හෙවත් රූපික තර්කනය ගොඩින් ම ඉවත දැමුවේ නැති බව අමතක නො කල යුතු ය.
එදිනෙදා ජීවිතයේ කටයුතුවල දී මෙම සංවාක්‍ය තර්කනය හෙවත් සාමාන්‍ය රූපික තර්කනය අපට මග පෙන්වයි. දේවල් ඒ දේවලට ම සමාන කරන එම තර්කනයට, දේවල් වර්ධනයේ යම් අවස්ථාවක පවතින බව සලකා බැලීමට උවමනාවක් පැන නගින්නේ නැත. එහෙත් සමාජමය, දේශපාලනික, යනාදී වඩාත් සංකීර්න තත්වයන් මෙම විධික්‍රමයෙන් පැහැදිලි කර ගත නො හැකි ය.
ට්‍රොට්ස්කි මෙසේ ලිවී ය. මාක්ස්වාදී “අපෝහකය මනඃකල්පිතයක්වත් ගූඪවාදයක්වත් නො වේ: ජීවිතයේ දෛනික ගැටලුවලට සීමා නො වෙමින්, වඩා සංකීර්න හා දිග් ගැසුනු සංතතීන් පිලිබඳ අවබෝධයක් කරා එලඹීමට යත්න දරන තාක් දුරට, එය, අපගේ චින්තනයෙහි රූපාකාරයන් පිලිබඳ විද්‍යාවක් වෙයි. උසස් ගනිතයත් සාමාන්‍ය ගනිතයත් අතරෙහි පවතින සම්බන්ධතාවට සමාන වන සම්බන්ධතාවක් අපෝහකය හා රූපික තර්කනය අතරෙහි වෙයි.”
A=A යන ප්‍රස්තුතය ගැන ඔහු මෙසේ ලියයි. “ප්‍රායෝගික මානුෂික ක්‍රියාවන් හා ප්‍රාථමික සාමාන්‍යයීකරනයන් රාශියකටම මෙම උපග්‍රහනය සිද්ධාන්තයක් ලෙස පිලි ගැනේ. යථාර්ථයෙහි දී නම් ‘A’, ‘A’ට සමාන නො වේ.“ (එම 13 පිට)
අනුභූතිකව අපගේ ඉන්ද්‍රියන්ට ගෝචර වන සෑම ප්‍රපංචයක් (ඉන්ද්‍රිය ගෝචර දෙයක්, අදහසක්, වස්තුවක්, සංසිද්ධියක් යනා දී) ම පවතින්නේ කාලය සහ අවකාශය තුල ය. එනම්, ඒවා, ඒවායේ බාහිර හා අභ්‍යන්තර පරස්පර විරෝධී සම්බන්ධතා අතර නිරන්තර ගැටුම ඔස්සේ කාලය දිගේ චලනය වේ. චලනයේ දී ඒවායේ ගුනයන් ප්‍රමානාත්මකව වෙනස්කම්වලට භාජනය වේ. යම් අවස්ථාවක දී එහි ප්‍රමානය ගුනය බවට පත් වී, එය ම වෙනත් දෙයක් බවට පත් වේ.
අද දින ධනේශ්වර තත්කාර්යවාදය අනුයන A=A සූත්‍රය අනුව ධනපති ක්‍රමය ධනපති ක්‍රමයට ම සමාන විය යුතු ය. 1648 ඉංග්‍රීසි ධනපති විප්ලවය සහ 1789 ප්‍රංශ ධනේශ්වර විප්ලවය ගැන 1848 දෙසැම්බර මාසයේ මාක්ස් ලියා ඇති පරිදි, “මෙම විප්ලව ජයග්‍රහනය කලේ ධනපති පන්තිය වුව ද, එම අවස්ථාවේ ධනපති පන්තිය ලත් ජයග්‍රහනය නව සමාජ පටිපාටියක ජයග්‍රහනයකි. එය, වැඩවසම් හිමිකාරීත්වයට එරෙහිව ධනේශ්වර හිමිකාරීත්වය ද ප්‍රාදේශීයවාදයට එරෙහි ව ජාතිකත්වයේ ද ශ්‍රේනි ක්‍රමයට එරෙහි ව තරඟයෙහි ද, ඉඩම් සම්බන්ධ පාරම්පරික උරුමයට එරෙහි ව බෙදා වෙන් කිරීමේ ද, හිමිකරුවා මත වූ ඉඩමේ ආධිපත්‍යය ඉක්මවා ඉඩම් හිමිකරුගේ පාලනය ද, මිත්‍යා මතයන්ට එරෙහි ව ප්‍රබුද්ධත්වය ද, පවුල් නාමයට එරෙහිව පවුලෙහි ද, වික්‍රමාන්විත කුසීතකමට එරෙහි ව ධනපති නීතියෙහි ද ජයග්‍රහනයකි.“ (Karl Marx: The Bourgeoisie and the Counter-Revolution)
මාක්ස් ධනවාදයේ ඉතිහාසයේ එක් යුගයක් ගැන මේ වචන ලියු නමුත් ඒ ලියන විටත් පෙර පැවති ධනවාදය නො පවතින බව මාක්ස් දැන සිටියේ ය. 1948 කොමියුනිස්ට් ප්‍රකාශනය මෙසේ කියයි: “ධනපති පන්තියට විරුද්ධ ව මුහුනට මුහුන ලා නැගී සිටින සියලු පන්ති අතුරෙන් නිර්ධන පන්තිය පමනක් අද නියම විප්ලවවාදී පන්තිය වේ. නවීන මහා කර්මාන්තයේ සංවර්ධනය නිසා ඉතිරි සියලු පන්තීහු දිරාපත්වීමකට හසුව අවසානයේ දී විනාශ වී යති. නිර්ධන පන්තිය එහි ස්වකීය ම වූත්, අවශ්‍ය වූත් ඵලය වෙයි.“ (පිට 45)
1867 සිට ප්‍රකාශයට පත් කල ප්‍රාග් ධනය වෙලුම් තුන මඟින්, ධනවාදයේ සෛලය වෙලඳ භාන්ඩ වන බව මාක්ස් පෙන්වා දුන්නේ ය. මෙම සොයා ගැනීම හරහා, මුලදී නිදහසේ සහ සංවර්ධනයේ මාධ්‍යයක් වූ ධනේශ්වර ජාතික රාජ්‍යය, ධනපතීන්ගේමත් ගෙල හිර කරමින් ලෝක යුද්ධයට පාර කපන්නක් බව ඔහු සොයා ගත්තේ ය. නිදහස් තරඟකාරී ධනවාදය අධිරාජ්‍යවාදී ධනවාදය බවට පත් විය. ඒ යටතේ ලෝක යුද්ධ දෙකකට මහජනයා ගොදුරු කරන ලදී. අද වන විට නව ලිබරල්වාදය ලෙස අන්තර් ජාතික සංගත ලෝකයේ සෑම අස්සක් මුල්ලක් පුරාම සිය නිෂ්පාදන ජාලය මුදා හැර, තමන් නිදහස් යයි සැලකූ ජාතීන්ගේ ගෙල මිරීකාගෙන සිටී. වෘත්තීය සමිති ප්‍රතිසංස්කරනවාදයේ සිට අධිරාජ්‍යවාදයේ විවෘත ඒජන්ත සංවිධාන බවට පරිවර්තනය වී ඇත. ජාතික විමුක්ති සංවිධානත් එසේ ම ය. ඒවා ම ඒවාට සමාන නො වන බව මෙයින් පැහැදිලි විය යුතු ය.
මාක්ස්වාදයට පමනක් මෙම දේශපාලන ප්‍රපංචයන් තුල අන්තර්ගත ප්‍රවනතාවන් කල් ඇතිව වටහා ගැනීමට හැකි විය. මාක්ස්වාදීන්ට එම ශක්‍යතාවය ලබා දුන්නේ සමාජ ප්‍රපංචයන් කපා කොටා වෙන් කර, වෙන් වෙන් කොටස් පිරික්සා බලා, ඒවායේ වර්ධනයේ අවස්ථාවන් ග්‍රහනය කර ගනිමින්, යලි සංස්ලේශනය කිරීමේ අපෝහක භෞතිකවාදී විධික්‍රමය යි.
කාල් මාක්ස් මෙම විධික්‍රමය – එනම්, ඒකීය සමස්තයක යථා ස්වභාවය පිලිබඳ අවබෝධය අත්පත් කර ගැනීමේ මාවත – සිය භාවිතයෙන් තහවුරු කලේ ය. “යථා වූ හා සංයුක්ත වූ දෙයින්, යථා පූර්ව අවශ්‍යතාවලින්, ඇරඹීම නිවැරදි බව පෙනී යයි. එබැවින් ආර්ථිකයේ දී ද, උදාහරනයක් වශයෙන්, නිෂ්පාදනයේ සමස්ත සමාජ ක්‍රියාදාමයෙහි පදනම වූ ජනගහනයෙන් ඇරඹිම කල යුතු ය.
“නිදසුනක් වශයෙන්, ජනගහනය සමන්විත වන්නා වූ පන්ති මා විසින් නො සලකා හැරුනොත් ජනගහනය යනු වියුක්තයක් වේ. අනෙක් අතට, පන්තිවල පදනම වන්නා වූ ප්‍රාග්ධනය, වැටුප් යනාදිය ගැන මා නො දැනුවත් නම් පන්ති යන්න හිස් වාගාලාපයක් වෙයි. හුවමාරුව, ශ්‍රම විභජන, මිල යනාදිය ඒවායේ පූර්ව අවයව වේ. නිදසුනක් ලෙස, වැටුප් ක්‍රමය, වටිනාකම, මුදල්, මිල ආදියෙන් තොරව ප්‍රාග්ධනය යනු හිස් දෙයකි. එබැවින් ජනගහනයෙන් මා වැඩ ඇරඹුයේ නම් එය සමස්තය පිලිබඳ ව්‍යාකූල අදහසක් වනු ඇති අතර, වඩා නිවැරදි නිශ්චය කර ගැනීම් මගින් මා වඩාත් සරල අදහස් වෙත විශ්ලේෂනාත්මකව පැමිනෙනු ඇත; වඩා සරල නිශ්චයන්ට මා ලඟා වන තුරු, සංයුක්තයේ සිට වඩා සියුම් වියුක්තයන් කරා; මෙතැන් සිට, අවසාන වසයෙන්, මෙවර සමස්තයක් පිලිබඳ ව්‍යාකූල වූ අදහසක් ලෙස නො ව නමුත් බොහෝ නිශ්චය වීම් හා සම්බන්ධතා සහිත පොහොසත් සමස්තයක් ලෙස ජනගහනය වෙත යලි පැමිනෙන තුරු, පසුපසට ගමන් කිරීම අවශ්‍ය ය.“ (මාක්ස්, දේශපාලන අර්ථ ශාස්ත්‍රයේ විවේචනයට කල ප්‍රතිපදානයක්, සංඥාපනය හා හැඳින්වීම, 30,31 පිටු. උපුටා ගැනීම: නිශ්පාදනයේ භූගෝලීයකරනය, කම්කරු මාවත ප්‍රකාශන)
ත්‍රිත්වයට මේ කිසිත් අදාල නැත. හුදෙක් ම වියුක්තයන් ජීවමාන දේ මත පැටවීම ඔවුන්ගේ විධික්‍රමයයි.
ඊට ප්‍රතිපක්ෂව අදාල පරස්පර විරෝධයන් ආරම්භ වී වර්ධනය වීම, ඒ වන විටත් අත්පත් කර ගත් ඓතිහාසික වැටහීම සමඟ ගැටුමකට ගෙන යාමෙන් තොරව අපට ලෝකය විනිවිද දැකිය නො හැකි ය. පන්ති අරගලයේ ඓතිහාසික අත් දැකීම් ගබඩා කර ඇති හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව තීරනාත්මක වන්නේ මෙතැන දී ය. එහෙත් අතීත රූප වර්තමානයට ආනයනය කිරිම හා අපෝහකය විධික්‍රමයට කිසිදු සම්බන්ධයක් නැත. ඒ වෙනුවට නිශ්චිත ඓතිහාසික සංදර්භයක් තුලින් ඉස්මතු වූ අතීත ප්‍රපංච වත්මන් තත්වය ට සම්බන්ධිත ප්‍රපංචයන් සමග ගැටුමකට ගෙන යාම විද්‍යාත්මක විශ්ලේෂනයේ කාර්යය යි.
අපෝහක විධික්‍රමයට හතුරු විල්සන් කල්ලිය ජාත්‍යන්තර කමිටුවට ස්ත්‍රෝත්‍ර ගායනා කරන ගමන් ම, ඉතිහාසයකින් තොර, වෙනත් සම්බන්ධතාවලින් විනිර්මුක්ත, පරස්පර විරෝධී නො වන, හේතු රහිත, ස්ථිතික ප්‍රතිගාමී ප්‍රපංච ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව තුලින් සොයා ගනී. එනම්, ඒ කියන ප්‍රතිගාමී ප්‍රපංචවලට සම්භවයක්, ඓතිහාසික පදනමක් හෝ හේතු ප්‍රත්‍ය නැත. සියලු දේම ඔවුන්ගේ මිනිස් මනසට දැනෙන ඒවා ය! සසප හිස ගසා දැමීමට ඔවුන් යෝජනා කරන්නේ ඒ අනුව ය.
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සභාපති ඩේවිඩ් නෝර්ත්, මෙම ත්‍රිත්වය අනුයන ආකරයට සෝවියට් තන්ත්‍රය සම්බන්ධයෙන් අවසන් නිගමන නිකුත් කල සුලු ධනේශ්වර ප්‍රවනතාවකට එරෙහිව ට්‍රොට්ස්කි කල අරගලය සංක්ෂිප්ත ව මෙසේ ඉදිරිපත් කර ඇත: “සෝවියට් තන්ත්‍රය සංක්‍රමනීය එකක් ලෙස හඳුන්වා දෙමින් ට්‍රොට්ස්කි ඒ පිලිබඳ සම්පාදනය කලේ රූපික නො ව අපෝහක වූ අර්ථකථනයකි: එනම්, පෙරලා දැමුනු ධනවාදයත්, සෝවියට් සමූහාන්ඩුව තුල තම ගොඩ නැගීම ලෝක විප්ලවයේ ඉරනම මත රඳා පැවති සමාජවාදයත් අතර වූ පරස්පර විරෝධී සමාජ ප්‍රපංචයක් වශයෙනි.“ ( ලියොන් ට්‍රොට්ස්කි හා මාක්ස්වාදයේ වර්ධනය, පිට 51)
ඩේවිඩ් නෝර්ත්
ඔහු මෙසේ උපුටා දක්වයි: “සෝවියට් තන්ත්‍රය සංක්‍රමනීය, හෝ අතරමැදි, ලෙස අර්ථ දැක්වීමෙන් අදහස් වන්නේ ධනවාදය (‘ඒ සමගම රාජ්‍ය ධනවාදය‘) සහ සමාජවාදය ද, වශයෙන් වන එවැනි නිමි සමාජ ප්‍රවර්ග අත හැර දැමීමයි. ඒ ආකාරයෙන් අර්ථ දැක්වීමක් මුලුමනින් ම අප්‍රමානවත් පමනක් නො ව, වත්මන් සෝවියට් තන්ත්‍රයේ සිට පරිවර්තනය විය හැක්කේ සමාජවාදය කරා පමනෙකැයි යන සාවද්‍ය අදහස ජනනය කිරීමෙහි ද සමත් ය. යථාර්ථය තුල ධනවාදය කරා ආපසු ලුහුටා යාමක් යනු එහැම පිටින් ම සිදු විය හැක්කකි… අවසාන විග්‍රහයේ දී, ප්‍රශ්නය බේරුම් වනු ඇත්තේ ජාතික හා ලෝක යන උභය පොර පිටි තුල ජීවමාන සමාජ බලවේගයන්ගේ අරගලයෙනි.“ (ලියොන් ට්‍රොට්ස්කි, පාවා දුන් විප්ලවය 244-45 පිටු)
“විද්‍යාත්මක කර්තව්‍යය මෙන් ම දේශපාලන කර්තව්‍යය ද වන්නේ, නොනිමි ක්‍රියාවලියකට නිමි අර්ථකථනයක් සැපයීම නො ව, එහි සියලු අවධීන් අනුයමින්, එහි ප්‍රගතිශීලී ප්‍රවනතා ප්‍රතිගාමී ප්‍රවනතාවන්ගෙන් වෙන් කරමින්, ඒවායේ අන්‍යොන්‍ය සබඳතා හෙලිදරව් කරමින්, වර්ධනය සඳහා ශක්‍යතාව සහිත විචල්‍යයන් පෙර දැකීම හා මෙම පෙරදැක්ම තුල ක්‍රියාත්මක වීම සඳහා පදනමක් සොයා ගැනීමයි.“ (ලියොන් ට්‍රොට්ස්කි, පාවා දුන් විප්ලවය, 255-56 පිටු)