නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 9 – 2

ජේම්ස් පී. කැනන්

පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු

හතරවැනි ජාත්‍යන්තරයට එහි මුල් කාලයේ ම මුහුණ දීමට සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර අරගලයක් පිළිබඳව ද, එහි ලා අභියෝගයට ලක් ව තුබූ දේශපාලන ප්‍රයුක්තීන් සම්බන්ධව ද පුළුල් සාකච්ඡාවක් පාඨකයා වෙත ගෙන එන මේ ලිපි මාලාවේ තෘතීය භාගය නවවන පරිච්ඡේදයෙන් ඇරැඹී පරිච්ඡේද තුනක් පුරා දිග හැරේ. අද දින පළ කෙරෙන්නේ නව වන පරිච්ඡේදයේ දෙවන හෙවත් අවසාන කොටසයි.

මෙම පරිවර්තනය සඳහා උපයෝගී කොට ගැනුනේ Marxists Internet Archive අන්තර්ජාල ප්‍රකාශනයේ පල වී ඇති ඉංග්‍රීසි කෘතියයි. මෙම කෘතිය ප්‍රවේශමෙන් හැදෑරීම මාක්ස්වාදය වෙත ආකර්ෂණය වන්නන්ට මෙන් ම, වර්තමාන ලෝක අර්බුදය විසඳීමට සමත් කම්කරු පන්තියේ විප්ලවවාදී සංවිධානය ගොඩ නැඟීම පිළිබඳව උනන්දු වන සියලු දෙනාට ද අතිශයින් ප්‍රයෝජනවත් වනු ඇත.

9. පක්ෂ තන්ත්‍රය පිළිබඳ ප්‍රශ්නය – 2 කොටස

නායකයෙකුගේ සැබෑ චරිත ස්වභාවය වඩාත් පැහැදිළි ලෙස පෙන්නුම් කෙරෙන්නේ නිරවද්‍යව ම අර්බුද කාල පරිච්ඡේදයන් තුළ දී ය. එහෙත් දීර්ඝ කාලයක් පුරා දිනෙන් දින දේවල් වර්ධනය වන ආකාරය සමීපව දැක ගැනීමට හැකි ස්ථානවල සිටින්නන් විසින් නිරතුරුවම එම පුද්ගලයාගේ මෙකී අභ්‍යන්තර ගුණාංගවල ඉඟි කල්තබා දැක ගනු ලැබේ. වර්තමාන අරගලයට සම්බන්ධ දෙපාර්ශ්වයේ නියෝජිතයන් සම්බන්ධයෙන් පවතින තතු එ’පරිදි වන අතර, ඉන් අප මවිතයට පත් වී නැත. කඳවුරු දෙකේ නායකයන් සිය වර්තමාන ආස්ථානයන් කරා එළැඹි ඇත්තේ අහම්බයෙන් නො වේ.  එමෙන් ම, පක්ෂ සාමාජිකත්වය තුළ සිටින ප්‍රතිවිරෝධී ප්‍රවණතා දෙක – නිර්ධන පන්ති හා සුළු ධනපති ප්‍රවණතා – පක්ෂ නායකත්වයේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් වටා ඒකරාශී වූයේ, මෙය එක් එක් අවස්ථාවෙහි දී තමන්ට අවශ්‍ය පෙළ ගැස්ම වූ බවට ගැඹුරු සහජ හැඟීමකින් තොරව ය. නායකත්වය තුළ ධ්‍රැවාන්තගතවීම එක් සැනින් ම පාහේ පක්ෂ සාමාජිකත්වය තුළ ද ඊට සමාකාර වූ ධ්‍රැවාන්තගතවීමක් නිර්මාණය කළේය. දැන් බෙදී සිටි නායකත්වයේ එක් එක් කණ්ඩායම, තමන් වඩාත් ම තථ්‍ය ලෙස නිරූපණය කළ අභ්‍යන්තර ප්‍රවණතා සහිත කොටස් තමන්ට ආකර්ෂණය කර ගත්හ.   

දැන් කොටස්වලට කැඩී සිටි නායකත්වය, මස්ට්-ඇබර්න් සංයෝජනයට හා නිකායවාදී උයිලර්වාදීන්ට එරෙහි අරගලයේ දී ඒකාබද්ධ වී සිටි බව නිසි ලෙස පැවසිය හැකිය. එය 1936 වසන්තයේ පැවැති සම්මේලනයේ දී පක්ෂයේ දිශානති ගැන්වීම භාර ගත්තේය. සමාජවාදී පක්ෂය තුළ අප කටයුතු කළ සම්පූර්ණ කාලය තුළ, එනම් සම්පූර්ණ අවුරුද්දක් පුරා, කවුරුත් දන්නා පරිදි මම මූලස්ථානයෙන් බැහැරව කැලිෆෝර්නියාවේ ගත කළෙමි. සමාජවාදී පක්ෂය තුළ අපේ කණ්ඩායමේ කළමනාකරණය හා දේශපාලන දිශානතිය පැවතුනේ වර්තමාන සුළුතරය අත ය; මූලික වශයෙන් බර්න්හැම් හා ෂැට්මන් අත ය. මෙම දිශාවෙහි ලා ලිපි හුවමාරු මඟින් සහභාගී වීමට මා ප්‍රයත්න දැරූ බව සත්‍යයකි. එහෙත් එහි ලා වැඩිමනත් සාර්ථකත්වයක් නො වීය. නායකත්වය යනු සුවිශේෂී ලෙස මූලස්ථානයේ කාර්යාලය තුළ සිටින පුද්ගලයන්ට අයත් කටයුත්තක්ය යන තුච්ඡ හා නො ඉවසිය හැකි තරම් නිලධාරිවාදී සංකල්පය වර්තමාන විපක්ෂයේ නායකයන් විසින් පළමුවෙන් ම මට ප්‍රදර්ශනය කරන ලද්දේ මෙම කාල පරිච්ඡේදයේ දී ය. “ක්‍ෂේත්‍රයේ සිට ඉදිරිපත් වූ” මගේ විවේචන හා යෝජනා සඳහා ලැබුනේ ඉතා අල්ප සැලකිල්ලකි.   

කැලිෆෝර්නියාවේ ගත කළ කාලය, එහි සහෝදරවරුන් සමඟ මගේ පෞද්ගලික සම්බන්ධතා සහ ඵලදායී දේශපාලන හා ප්‍රචාරක කටයුතු තුළත්, වෘත්තීය සමිති තුළත් ඔවුන් සමඟ පැවැත්වූ වූ සහයෝගීතාවය, තුෂ්ටිදායක මතකයක් ලෙස සෑම කල්හි ම පවතිනු ඇත. ඒ අතර ම, ලිපි ගනුදෙනු හරහා නිව්යෝර්ක් මධ්‍යස්ථානයේ කටයුතුවලට සහභාගී වීමට මා දැරූ ප්‍රයත්නයන් නිරර්ථකවීම; කැලිෆෝර්නියාවේ අප උර දෙමින් සිටි අසීරු කර්තව්‍යයන් පිළිබඳ අල්පමාත්‍ර හෝ අවබෝධයක සංඥාවක්, නැතහොත් සැලකිලිමත් වීමක්, එසේත් නැතහොත් සහෝදරාත්මක ආධාරයක් ලබා ගැනීමට මට නොහැකිවීම; අපේ ස්ථානීය අවස්ථා, ගැටළු හා දුෂ්කරතා පිළිබඳ ඔවුන්ගේ කර්කශ හා තකතීරු නිලධාරිවාදී නො සැලකිල්ල; කම්කරු ක්‍රියාකාරීත්වයන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඔවුන් දැක්වූ පටු, සැක සහිත, කාර්යාලයීය-නායක එදිරිවාදුකම; මෙම ව්‍යාපාරය සම්බන්ධයෙන් ඔවුන්ගේ නීච කඩාකප්පල් කිරීම්, සහ එය ඔවුන්ට එරෙහි “උපක්‍රමයක්” ලෙස පවා අරුත් ගැන්වීමට ඔවුන් දැරූ ප්‍රයත්න – මේ සියල්ල විප්ලවවාදී ව්‍යාපාරය තුළ මගේ සියලු ක්‍රියාකාරීත්වයන් අතර ඇතැම්විට වඩාත් ම කෝපාවිෂ්ඨ කරවන සුළු අත්දැකීම් ලෙස කැපී පෙනේ. අද දිනය දක්වා ම පවා, කටුක පිළිකුලකින් තොරව මට ඒ පිළිබඳව සිතිය හැකි නො වේ.      

“නගර ශාලාවට එරෙහිව සටන් වදින්නැ”යි නිව්යෝර්ක්හි අත් කරත්ත වෙළෙන්දා පවසන විට* (පසු සටහන බලන්න) එහි අර්ථය වන්නේ, “එය බලාපොරොත්තු රහිතයි; යුක්තිය තිබියේවා, ඔබට ඇහුම්කන් දීමක්වත් එහි කාර්යාලයීය අහංකාරයෙන් යුත් නිලධාරීන්ගෙන් ලබා ගත නොහැක,” යනුවෙන් සාපෝහාසාත්මක අපේක්ෂා භංගත්වයකින් යුතුව පැවසීමයි. එම දිනවල නිව්යෝර්ක් මධ්‍යස්ථානයේ කටයුතු පවත්වා ගෙන ගිය අය, ක්‍ෂේත්‍රයේ සිටින කම්කරුවන්ගේ ක්‍රියාකාරකම් කාර්යාලයේ සිට මෙහෙයවිය යුතු නැත්තේ කෙසේදැයි යන්න පිළිබඳ අමතක නො වන පාඩමක් මට ඉගැන්වූහ. මෝටර් රථ අංශයේ අපේ සහෝදරවරුන් “කාර්යාලයේ” මෙම ආකල්පයට මුහුණ දුන් කල්හි ඔවුන්ට එය හැඟී ගියේ කෙසේදැයි මට වටහා ගත හැකිය. ඔවුන්ගේ ගිණියම් කෝපය මම දනිමි; මක්නිසාද යත්, මා ම ද එය අත් විඳ ඇති නිසා ය. කාර්යාල නායකත්වය භංග වේවා! ඔබට කිසි දා කාර්යාලයක සිට නිර්ධන පන්ති ව්‍යාපාරයක් ගොඩ නැඟිය නො හැකිය!             

විපක්ෂයේ සංයුක්ත විවේචන සියල්ල නො වන මුත් ඒ අතරින් මහත් ප්‍රමාණයක් එල්ල කෙරී ඇත්තේ චිකාගෝ සම්මේලනයේ දී [1937 දෙසැම්බර් – 1938 ජනවාරි] විධිමත් ලෙස පත් කර ගත් හා පසුගිය ජූලියේ පැවැති දෙවන සම්මේලනය දක්වා දිගට ම නිලතල දැරූ “තන්ත්‍රය” වෙත ය. හොඳයි, එය කාගේ තන්ත්‍රය ද? 

සිය අධිචෝදනා පත්‍රය ලියා අවසාන කළ විට විපක්ෂ නායකයන්ට මෙම නො වැදගත් නොවන ප්‍රශ්නය මතු වූවා විය යුතුය. පක්ෂයේ දුර්වලකම, රෝගී භාවය හා අසාර්ථකත්වය පිළිබඳ භයංකර චිත්‍රයක් නිමක් නැති අවමන් සහගත පිටු තුළ චිත්‍රණය කිරීමෙන් පසුව, සහ එහි සියලු වගකීම් “පක්‍ෂ තන්ත්‍රය” වෙත හා ඒ අනුව “කැනන්” වෙත පැවරීමෙන් පසුව, හදිසියේ හා අනපේක්ෂිත ලෙස ඔවුන්ට එකී චිත්‍රය තරමක් ඒක-පාර්ශ්වික වනු ඇති බව මතක් වී ඇත. ඔවුහු වරහන් තුළ යෙදූ සටහනක් ඊට ඇමිණූහ: “අවසාන වශයෙන්: පක්ෂයේ සියලු දෝෂ පිළිබඳව අපි කැනන්ට දොස් නො පවරන්නෙමු.” ස්වභාවිකව ම “අවසාන වශයෙන්” දැක්වූ මෙම ත්‍යාගශීලීත්වය මම අගය කරමි. එහෙත් යම් සංයුක්ත විස්තර කිහිපයක් එක් කළේ නම් සැබෑ චිත්‍රය වඩාත් පැහැදිළි වී, එය යථාර්ථයේ වඩාත් නිරවද්‍ය නිරූපනයක් වනු ඇත.          

එම සම්පූර්ණ කාල පරිච්ඡේදය තුළ, පක්ෂයේ දිශානතිය සම්බන්ධයෙන් වගකිව යුතු දේශපාලන කමිටුව සමන්විත වූයේ වර්තමාන විපක්ෂයේ සාමාජිකයන් හය දෙනෙකු – හා කැනන්ගෙනි. එහි සෙසු සාමාජිකයන් වූයේ, බර්න්හැම්, ෂැට්මන්, ඇබර්න්, විඩික්, මැකින්නි හා ගෝල්ඩ් ය. තීරණාත්මක කමිටුවක සාමාජිකයන් සත් දෙනා අතරින් සය දෙනෙකු – මේ හැම දෙනා ම තමන් ම පිළිගන්නා පරිදි “නායකයන්” ය – කමිටුවේ විධික්‍රම හා ක්‍රියාකාරීත්වය පිළිබඳව සත් වැන්නාට දොස් පවරමින් පැමිණිලි කිරීමට වඩා අරුම පුදුම සංදර්ශනයක් ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයේ ඉතිහාසය තුළ කොතැනක හෝ ඉදිරිපත් වී තිබේ ද? සත් වැන්නා පක්ෂය නො මඟට මෙහෙයවන විට ශ්‍රීමත් සය දෙනා කුමක් කරමින් සිටියෝ ද? කැනන්ට ඡන්ද එකකට වැඩි ප්‍රමාණයක් තිබුනේ ද? ඔවුන්ගේ එකඟතාවයෙන් තොරව කිසිවක් කිසි දා තීරණය වී ද, නැතහොත් එසේ තීරණය කළ හැකිව තිබුනේ ද? ඔවුන්ගේ ඡන්දයෙන් තොරව කවර හෝ තීරණ ගැනුනේ ද, කවර හෝ ප්‍රකාශන නිකුත් වී ද, කවර හෝ දේශපාලන විධාන පනවන ලද ද, කවරෙකු හෝ නෙරපා හැරුනේ ද? ඔවුන්ගේ අනුදැනීමෙන් තොරව කවරෙකු හෝ, කොතැනක හෝ, කවර කලෙක හෝ බිහිසුණු “(පක්ෂ) උපකරණය”ට පත් කිරීමක් හෝ ඉන් ඉවත් කිරීමක් සිදු වී ද? ඔවුන්ට රිසි තරම් ඇඹරුනාවේ, තමන් ඒ සම්බන්ධයෙන් මැසිවිලි නඟන “තන්ත්‍රය”, ඔවුන්ගේ දේශපාලන කමිටුව සහ කැනන්ගෙන් සමන්විත වී ය යන සත්‍ය කරුණෙන් පලා යාමට ඔවුන්ට නො හැකිය.           

තව ද, අඩු ම තරමින් මෙම කාලයෙන් තුනෙන් පංගුවක් මම නිව්යෝර්ක් වෙතින් බැහැරව ක්‍ෂේත්‍රයේ හෝ විදේශවල සංචාරයේ යෙදී සිටියෙමි. ඇතැම්විට එම කාලාන්තරයන් හි දී, කවර හෝ ස්වෙන්ගලිවරයෙකුගේ බලපෑමෙන් නිදහස්ව සිටි ට්‍රිල්බිවරුන් සය දෙනා** කමිටුවේ කෘත්‍යයන්හි රැඩිකල් වැඩි දියුණු කිරීම් හඳුන්වා දී, “ගතානුගතිකවාදය” වෙනුවට “ප්‍රගතිශීලී” දේශපාලනය ආදේශ කොට, නිලධාරීවාදී භාවිතයන් උපුටා දැමුවා විය හැකිය? නැත. කටයුතු සැබෑ ලෙස ම, පා ගමනින් නොව බයිසිකලයේ නැඟී, යකාට යැවුනේ හරියට ම එම කාලයේ ම ය.

මෙවැනි එක් අවස්ථාවක දී (බලපෑම්වලින්) විමුක්තව සිටි දේශපාලන කමිටුව නිව්යෝර්ක්හි අපේ කම්කරු පක්ෂ පිළිවෙත අර්ථකථනය කළේ, ඇමරිකානු ලේබර් පක්ෂයේ අපේක්ෂකයන්ට ධනපති පක්ෂවල අනුමැතිය ලැබීම නො තකා ඔවුන්ට සහයෝගය දීමට අපට හැකිය වශයෙන් අරුත් ගැන්වෙන ලෙස ය. 1938 සැප්තැම්බර් 23 වන දින දේශපාලන කමිටු රැස්වීමේ වාර්තා සටහන්වල මෙසේ කියැවේ: “සියලු ALP (ඇමරිකානු ලේබර් පක්ෂයේ) ස්වාධීන අපේක්ෂකයන්ට, ඔවුන්ට වෙනත් කිසියම් පක්ෂ හෝ කණ්ඩායම්වල අනුමැතිය හිමි වන්නේ ද යන්න නො තකා, අපි නිශ්චිත විවේචනාත්මක සහයෝගය ලබා දෙන්නෙමු. අනුමතයි.” බර්න්හැම් පීතෘභාවය දැරූ මෙම පිළිවෙතට අනුව, අපට ඇමරිකානු ලේබර් පක්ෂයේ ලියාපදිංචි සාමාජිකයෙකු වූ ලා ගාර්ඩියාට සහයෝගය දීමට සිදු වන්නට තිබිණ. ඒ අනුව, හරියට ම මෙම කාරණාව මත අප විශාල අරගලයක් කොට බිඳී වෙන් වූ තෝමස්-ඇල්ට්මන් සමාජවාදීන් යුක්තියුක්ත කෙරෙන අතර, ස්වාධීන පන්ති දේශපාලනයේ ප්‍රකාශනයක් ලෙස පමණක් ලේබර් පක්ෂයට සහාය දීමේ පන්තිමය පෙළගැස්මෙන් පක්ෂය ඉවතට හැරවී, අවමංගත කෙරෙනු ඇත. කිසිසේත් ම ආරක්ෂා කළ නොහැකි මෙම ආස්ථානය, ලෝක සම්මේලනයේ සිට අප ආපසු පැමිණීමෙන් පසුව, මගේ මූලිකත්වයෙන්, ෂැට්මන්ගේ සහයෝගය ද සහිතව වෙනස් කරන ලදී. 

මා යුරෝපයට ගොස් සිටි තවත් අවස්ථාවක ඔවුහු මෝටර් රථ අර්බුදයේ රකුසා නිර්මාණය කළෝය. දේශපාලනික නොහැකියාව හා නිලධාරිවාදී ක්‍රියා පටිපාටි, මේ එක එකක් සිතා ගැනීමට හැකි ඉහළතම මට්ටම්වලින් සංයෝජනය කළ තාක් දුරට, එය අපේ ව්‍යාපාරයේ සමස්ත ඉතිහාසය තුළ අසමසම සිදුවීමක් විය.  

මෝටර් රථ අර්බුදයේ පරාජය කමිටුවේ විනාශකාරී ඉරණමට මුද්‍රා තැබීය. බර්න්හැම් හා ෂැට්මන් සිය පුහු ගර්වයට මෝටර් රථ අංශය විසින් ඇති කෙරුණු තුවාලවල හිලව්වට මට එරෙහිව කුමන්ත්‍රණයක් ඇටවීමට ප්‍රයත්න දැරුවෝය; දේශපාලන කමිටුව කෙරේ “ගරු බුහුමනක්” නැති සාමාජිකයන්ගෙන් සමන්විත “කැනන් කල්ලිය”ක් පිළිබඳව ඔවුහු ප්‍රථම වරට කටුකුටු ගෑමට වන්හ. සමස්තයක් ලෙස කමිටුව ස්ථාවරව අඩපණ වූ තත්ත්වයකට ඇද වැටී සිය අධිකාරයට අස්වාමික වූ අතර, එයට තවදුරටත් පැවතීමේ යුක්තියුක්ත භාවයක් හෝ අයිතියක් හෝ නො වීය. පශ්චාත් සම්මේලන පුන්සැසිය විසින් එය අවසානයකට ගෙන එමින් ගන්නා ලද පරිපාලනමය coup de grace තීන්දුව (සානුකම්පිත මාරක පහර – තුවාල ලබා දුක් විඳින සත්ත්වයෙකු දුකින් මුදවීම සඳහා දෙන මාරාන්තික ප්‍රහාරය) සැබැවින් ම “සානුකම්පිත ප්‍රහාරයකි“.        

ඇමරිකානු මෝටර් රථ කම්කරුවන්ගේ වාඩිලා ගැනීමේ අරගලයක් – ඡායාරූපය අන්තර්ජාලයෙනි

වාර්තාව පෙන්වා දෙන පරිදි, චිකාගෝ සම්මේලනය හා නිව්යෝර්ක්හි පැවැති ජූලි සම්මේලනය අතරතුර පැවැති පක්ෂ තන්ත්‍රය සම්බන්ධයෙන් ජාතික කමිටුවේ වර්තමාන බහුතරය තනිකර ම හෝ – ප්‍රධාන කොට හෝ පවා – වගකිව යුතු නැත. ජූලි සම්මේලනයේ සිට ඔක්තෝබරයේ පුන්සැසිය දක්වා කාලයේ පැවැති අන්තර්වාර දේශපාලන කමිටුව සම්බන්ධයෙන් ද මෙය සත්‍ය වේ. එකී කමිටුවේ ද බහුතරය සමන්විත වූයේ වර්තමාන විපක්‍ෂයේ සාමාජිකයන්ගෙනි. දේශපාලන කමිටුව ප්‍රතිසංවිධානය කර, ජාතික කමිටුවේ වත්මන් බහුතර කණ්ඩායම එහි සංයුතිය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම භාර ගත්තේ රුසියානු ප්‍රශ්නය පිළිබඳ මූලික මතභේදය ඉදිරියට ආ ඔක්තෝබර් පුන්සැසියේ දී පමණෙකි. 

චිකාගෝ සම්මේලනයේ සිට පසුගිය ඔක්තෝබරයේ පුන්සැසිය දක්වා වූ මුළුමහත් කාල පරිච්ඡේදය තුළ පක්ෂයේ මෙහෙයුම් මණ්ඩලයේ බහුතරය සංයුක්ත වූයේ වර්තමාන සුළුතර කණ්ඩායමෙන් බව තහවුරු වූ කරුණකි. නිසැකව ම, පක්ෂ තන්ත්‍රයට එරෙහිව එල්ල කොට ඇති විවේචන තක්සේරු කිරීමේ දී මෙම කුඩා විස්තරය සැලකිල්ලට ගත යුතුය. බහුතරයේ සාමාජිකයන් හා පෞද්ගලිකව මා ද වගකීමෙන් කොටසක් දරන බවට සැකයක් නැත. වර්තමාන සුළුතරය හෝ ඉන් කොටසක්, අපගේ යෝජනා හා විධික්‍රමවලට; නැතහොත් අනෙක් අතට අප ඔවුන්ගේ යෝජනා හා විධික්‍රමවලට; සහාය දුන් තාක් දුරට අපි එහි සම්පූර්ණ වගකීම දරන්නෙමු, කවරාකාරයකින් හෝ එය ප්‍රතික්ෂේප නො කරන්නෙමු. කිසිවෙකු අප නො මඟ යැවූයේ නැත. වර්තමාන සුළුතරයේ එක් එක් සාමාජිකයන්ට තමන්ට රිසි තාක් දුරට ස්වකීය ක්‍රියාවන් සම්බන්ධයෙන් වගකීම් අත්හැර දැමීමට හා තමන් ම ප්‍රතික්ෂේප කිරීමට හැකි වනු ඇත. අප සම්බන්ධයෙන් නම්, අපේ සහභාගීත්වයෙන් හා අනුමැතියෙන් සිදු කළ කිසිවක වගකීම අපි ප්‍රතික්ෂේප නො කරන්නෙමු.

පරිවර්තකගේ සටහන්:

* ‘නගර ශාලාවට එරෙහිව සටන් වදිනු’ යන ඉංග්‍රීසි යෙදුමේ අර්ථය වන්නේ එම ක්‍රියාවේ නිරර්ථක භාවය ගෙන හැර දැක්වීමයි. එය, ‘ගල් බිත්තියකට දුක කීම’ පිළිබඳ සිංහල යෙදුම හා යම් තරමකින් සැසඳෙයි. ‘අත් කරත්ත වෙළෙන්දා’ ගැන සඳහන එන්නේ, ඇමරිකානු රචක මරේ ෂිස්ගල්ගේ “The Push-Cart Peddler” නම් ඒකාංග නාට්‍යය ඇසුරෙනි. එය, මධ්‍යම පාන්තික ‘ඇමරිකානු සිහිනය’ හඹා යන සංක්‍රමණිකයන් දෙදෙනෙකුගේ අනන්‍යතා අරගලය හා අභිලාෂ සම්බන්ධයෙන් ලියැවුණු නාට්‍යයකි.

**‘ස්වෙන්ගලිවරයෙකුගේ බලපෑමෙන් නිදහස්ව සිටි ට්‍රිල්බිවරුන් සය දෙනා’ යන යෙදුම යෙදී ඇත්තේ 1894 දී ජෝර්ජ් ඩු මොරියර් විසින් රචිත ට්‍රිල්බි නම් නවකතාව ඇසුරෙනි. එහි එන ස්වෙන්ගලි නම් යුදෙව් ජාතිකයා, අඩ-අයිරිෂ් සම්භවයකින් යුත් ට්‍රිල්බි නම් ළාබාල යුවතිය අපයෝජනය කරමින්, ඇය මත අධිකාරය දරමින් ඇය සූරාකෑමට භාජනය කරයි.

පෙර කොටස් බලන්න:

හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්, 1, 2, 3, 4, 5, 6-I, 6-II, 7, 8-I, 8-II, 8-III, 8-IV, 8-V, 9-I

Leave a Comment

Your email address will not be published. Required fields are marked *