ජේම්ස් පී. කැනන්
පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු
හතරවැනි ජාත්‍යන්තරයට එහි මුල් කාලයේ ම මුහුණ දීමට සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර අරගලයක් පිළිබඳව ද, එහි ලා අභියෝගයට ලක් ව තුබූ දේශපාලන ප්‍රයුක්තීන් සම්බන්ධව ද පුළුල් සාකච්ඡාවක් පාඨකයා වෙත ගෙන එන මේ ලිපි මාලාවේ දහවන පරිච්ඡේදය අද දින පළ කෙරේ.
මෙම පරිවර්තනය සඳහා උපයෝගී කොට ගැනුනේ Marxists Internet Archive අන්තර්ජාල ප්‍රකාශනයේ පල වී ඇති ඉංග්‍රීසි කෘතියයි. මෙම කෘතිය ප්‍රවේශමෙන් හැදෑරීම මාක්ස්වාදය වෙත ආකර්ෂණය වන්නන්ට මෙන් ම, වර්තමාන ලෝක අර්බුදය විසඳීමට සමත් කම්කරු පන්තියේ විප්ලවවාදී සංවිධානය ගොඩ නැඟීම පිළිබඳව උනන්දු වන සියලු දෙනාට ද අතිශයින් ප්‍රයෝජනවත් වනු ඇත
10. ‘ගතානුගතිකවාදය’
පක්ෂ තන්ත්‍රය ගතානුගතිකයැයි අර්ථ කථනය කිරීමේ සහ, ගතානුගතිකවාදය පිළිබඳ ප්‍රශ්නය දේශපාලන මූලධර්මයක මට්ටමට එසැවීමේ “පර්යේෂණාත්මක දේශපාලනයේ” ප්‍රකාශකයා වන බර්න්හැම් විසින් දරනු ලබන ප්‍රයත්නය දායක වන්නේ පක්ෂ සාකච්ඡාව ව්‍යාකූල කිරීමට පමණෙකි. මෙම (ගතානුගතික යන) වචනයට විවිධ අරුත් ලබා දිය හැකි අතර, යම් නිශ්චිත තත්ත්වයන් තුළ ඒ සියල්ල පරිභවාත්මක වන්නේ නො වේ. කණ්ඩායම් හා ප්‍රවණතා විස්තර කිරීමේ දී මාක්ස්වාදයේ නිශ්චිත පාරිභාෂික වචන වෙනුවට, පන්ති අන්තර්ගතයෙන් හා පන්ති දේශපාලනික අර්ථයෙන් තොර එවැනි පොදු යෙදුම් ආදේශ කිරීමෙන්, මතභේද පැහැදිළි කිරීමට හා පක්ෂයට අධ්‍යාපනය දීමට ආධාර කළ නො හැකිය. ගතානුගතික වීම, එනම්, ඉදිරියට යාමට හොඳ අවස්ථාවන් තිබිය දී නිශ්චලව හිඳීම, නිසැකව ම වරදකි. අනෙක් අතට, අන්‍යයන් පසුබසින විට තමන්ගේ ස්ථානයෙහි ස්ථිරසාරව රැඳී හිඳීම යනු ගර්හා නො කළ යුතු සද්ගුණයකි. මාක්ස්වාදයේ මූලික මූලධර්මවලින් හා හතරවැනි ජාත්‍යන්තරයේ වැඩ පිළිවෙල වෙතින් අන්‍යයන් පලා යමින් සිටිද්දී, ඒවා මත තිරසාරව රැඳී සිටීම මඟින් අප ප්‍රදර්ශනය කරන “ගතානුගතිකවාදයේ ” එකී ප්‍රවර්ගය, පක්ෂයේ ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය බවට ඉතා උචිත ලෙස ලක්ෂණනය කෙරී ඇත්තකි.
ඉදින් ගතානුගතිකවාදය යන්න චර්යානුගත වීමේ ප්‍රවනතාව, අලසබව, ඉදිරියට යාමට ඇති අවස්ථාවන් හඹා යාමේ මන්දගාමීත්වය සහ එකී අවස්ථා ග්‍රහණය කිරීමේ පැකිලීම හැඟවෙන පරිදි අර්ථ කථනය කෙරෙන්නේ නම් – මෙම අර්ථයෙන් ගත් කල, සමස්තයක් ලෙස අපේ ව්‍යාපාරය සහ ඒ සමඟ ම “තන්ත්‍රය” ද කිසිසේත් ම මෙම පාපයෙන් විනිර්මුක්ත වී නැති බව ප්‍රතික්ෂේප කළ නො හැකි සත්‍යයකි. “නිකායික” සම්භවයක් සහිත හා, පවතින තත්ත්වයන් විසින් දීර්ඝ කාලයක් හුදෙකලා වීමට බල කෙරී ඇති සෑම කණ්ඩායමකට ම එවන් ප්‍රවණතා ආවේණික ය. හතරවැනි ජාත්‍යන්තරයේ ශාඛා ගණනාවක්, සිය කැඩී බිඳී යාමට හේතු වන මට්ටමට ම මෙම රෝගයට ගොදුරු වී ය.
එකී මූලධර්ම භාවිතා කිරීමේ මාවත් හා නව අවස්ථා පිළිබඳ සොයා බැලීමකින් තොරව, තමන් ශ්‍රේෂ්ඨ මූලධර්මවලට බැඳී සිටින බවට කෙරෙන නීරස පුනරුච්චාරණයන්ගෙන් තමන් ම සනසා ගැනීමේ ප්‍රවණතාව සියලු හුදෙකලා වූ කණ්ඩායම් තුළ ඉතා ශක්තිමත්ව පවතී. එය සමස්තයක් ලෙස අපේ ජාත්‍යන්තර ව්‍යාපාරය තුළ ද, එමෙන්ම ඇමරිකානු ශාඛාව තුළ ම ද, චිරප්‍රකට “ප්‍රංශ හැරීම” (මෙම නමින් හැඳෙන්වෙන්නේ 1934 සිට 1936 දක්වා ප්‍රංශ ට්‍රොට්ස්කිවාදීන් FSIO සංවිධානයට ප්‍රවේශවීමයි) කෙරේ සහ ප්‍රචාරකවාදී කවයක සිට බහුජන කටයුතු කරා පොදු අනුස්ථාපනය විස්ථාපනය කිරීම කෙරේ නිකායවාදී කණ්ඩායම්වල ප්‍රතිරෝධය තුළ ද, එය පූර්ණ වශයෙන් විකසිතව ප්‍රකාශයට පත් විය.
හුරුපුරුදු චර්යාව තුළ, උදාසීන ක්‍රියා පටිපාටීන් තුළ, පමණ ඉක්මවූ ප්‍රවේශම්කාරීත්වය තුළ, සහ අතිශය සුළු ජයග්‍රහණවලින් සෑහීමකට පත් වීමට ඇති නැඹුරුව තුළ තමා ප්‍රකාශයට පත් කර ගන්නා ගතානුගතිකවාදයේ එක්තරා වර්ගයක ආකාරයකට, හුදෙකලා වී සිටි අසීරු වර්ෂ තුළ අපි සියලු දෙනා වැඩි අඩු වශයෙන් ගොදුරු වී සිටියෙමු. මේ සම්බන්ධයෙන් සාධාරණ විවේචනයන්ට වර්තමාන බහුතරය ද බඳුන් වන බවට සැකයක් නැත. මෙම පසුගිය වසර එකොළහ හමාර තුළ කවර තරමක හෝ කඩිමුඩියකින් හෝ කුලප්පුවකින්, පක්ෂය දරන ස්ථානය තුළ හෝ, එය හා එහි විරුද්ධවාදීන් අතර සම්බන්ධතා තුළ කිසියම් මූලික වෙනස්කමක් අපට සිදු කළ හැකිව තුබුනේයැයි මම පෞද්ගලිකව විශ්වාස නො කරමි. ඉදින් අප වඩාත් වැඩි වීර්යයක්, වඩාත් වැඩියෙන් මුල් පිරීමක්, වඩාත් වැඩි සාහසිකත්වයක් ප්‍රදර්ශනය කොට තුබුනෙමු නම්, ඇතැම්විට අද අප සතු ශක්තිය මෙන් දෙගුණයක සංඛ්‍යාත්මක ශක්තියක් අප සතු විය හැකි ව තුබුණේයැයි ද, වැඩිදුර වර්ධනය වීම සඳහා අදට වඩා හොඳ ස්ථානයක සිටීමට ඉඩ තුබුණේයැයි ද මම විශ්වාස කරමි. අපි මෙම දෝෂ අවංකව පිළිගනිමින් ඒවා අභිබවා යාමට පරිශ්‍රම දැරිය යුත්තෙමු. කෙසේවෙතත්, අපේ සුළුතරයට මෙහි ලා අපට ආධාර කළ හැකි ද යන්න මට සැක සහිත ය. ශික්ෂා පදවල පාණ්ඩිත්‍යයට වඩා අපට අවශ්‍ය වන්නේ ආදර්ශයේ අනුප්‍රාණය යි. ඔවුන්ගේ දුබලකම සෑමවිටම ඇත්තේ එතැන ය. ඔවුහු ක්‍රියාවට වඩා කතාවට දක්ෂයෝ වෙති. ලෙනින්ගේ බෝල්ෂෙවිකයන් මෙන් ඔවුහු කියුම්වලට සරිලන කෙරුම් ඇත්තෝ නො වෙති.
බහුතර කණ්ඩායම ද ඇතුළුව අප සියලු දෙනා ප්‍රදර්ශනය කර ඇති ශක්තිය, මුලපිරීම් ආදිය අප්‍රමාණවත් බව මම කියා ඇත්තෙමි. එසේ කීමෙන්, අපේ හුරුපුරුදුකම්වලින් හා භාවිතයෙන් අප බෝල්ෂෙවිකයන් නො වන බවත්, එවැන්නන් වීමට ප්‍රයත්න දරන්නන් පමණක් බවත් අපි පිළිගන්නෙමු. මන්ද යත්, මන්දගාමීත්වය හා ලිහිල්බව යනු මෙන්ශේවිකයන්ගේ ඌරුව යි. එහෙත් අපේ න්‍යායය වන මාක්ස්වාදය ලෝකයේ එකම විප්ලවවාදී න්‍යායයි; එහි ගතානුගතික වූ කිසිවක් හෝ නැත. අපගේ දේශපාලනය තුළ, එනම්, අපේ න්‍යායික මූලධර්ම භාවිතයට ලීම තුළ, අපට ගතානුගතිකත්වය ගැන සාධාරණව චෝදනා කළ හැකි ද? අපේ වාර්තාව විසින් එවැනි චෝදනාවක් යුක්තිසහගත කෙරෙතැයි මම විශ්වාස නො කරමි. දේශපාලනයේ සාරය වන්නේ දෙන ලද තත්ත්වයක යථාර්ථය වටහා ගැනීමයි, ශක්‍ය වන්නේ කුමක් ද, සහ බැහැර කළ යුත්තේ කුමක්දැයි දැන ගැනීමයි; අන් සියල්ලටමත් වඩා, ඊළඟට කළ යුතුව ඇත්තේ කුමක්දැයි දැන සිටීම – හා එය ඉටු කිරීමයි.
ඇමරිකාවේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ මුල් කාලය තුළ, ලෝකයට එරෙහිව අතළොස්සක් ලෙස අප සිටි කාලයේ දී, හිතාමතා ම ප්‍රචාරක කටයුතුවලට සීමා වූ අපි, කිසිදු ආකාරයක මවාපෑමේ උපාමාරු වලින් හෝ අපේ ධාරිතාවයට ඔබ්බෙන් ඇති ක්‍රියාකාරීත්වයන්ගෙන් වැළකී සිටියෙමු. අප දුටුවේ – නිවැරැදිව දුටුවේ – අපේ ප්‍රථම කර්තව්‍යය වී තිබුනේ කේඩර ගොඩ නැඟීම බවයි; අපට බහුජනයා කරා යා හැකිව තුබුණේ ඉන් පසුව පමණෙකි. එම මුල් දිනවල, ඉදින් අපට හුදෙක් අපේ “ගතානුගතික” ප්‍රචාරකවාදී චර්යාව අත්හැර දැමිය හැකිනම්, අප සඳහා අප පනවා ගෙන තුබූ චාම් කර්තව්‍යයන් වෙනුවට මහේශාක්‍ය වැඩ පිළිවෙලක් ආදේශ කළ හැකිනම්, සහ පොදුවේ “බහුජන කටයුතු”වල යෙදී ගත හැකි නම් – එපමණෙකින්, බහුජන ව්‍යාපාරය කරා කෙටි මාවතක් පාදා දීමට පොරොන්දු වූ වයිස්බෝඩ් ප්‍රකාරයේ කඩිකුලප්පුකාර වාචාලයන්ගෙන් අපට කෙතෙක් ගැහැට සිදු වී දැයි අපේ මුල් කාලීන සහෝදරවරුන්ට හොඳින් මතක තිබේ. – බහුජන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වීම අපට තීරණය කළ හැකිව තිබූ සරළ කාරණයක් වූ සේ ය! අපේ වර්තමාන සුළුතරයේ කෝලසන්නි ආලෝලනය, මෙම විප්ලවකාරී කුලප්පුකාරීන්ගේ ප්‍රලාප පිළිබඳව අපූර්ව ලෙස අපේ මතකය අවදි කරවයි. අපේ චාම් ප්‍රචාරාත්මක කර්තව්‍යයන්ට ගැලී සිටීම මඟින් අපි මූලික මූලධර්මවල පදනම මත කේඩරයක් බඳවා ගත්තෙමු. ඊළඟට එළැඹෙන කාල පරිච්ඡේදයේ දී, නව අවස්ථා අප හමුවේ විවර වන විට, බහුජන ව්‍යාපාරය තුළ වඩාත් ප්‍රසාරණය වීම කෙරේ තීරණාත්මක ලෙස හැරීමකට අපි සූදානම්ව සිටියෙමු. ඒ අතරතුර තමාගේ ම උද්ඝෝෂණයෙන් විඩාපත්ව ගිය වයිස්බෝඩ් අතරමඟ දී හැලී ගියේය.

බහුජන කටයුතු දිශාවට වූ නව පෙළගැස්ම භාවිතා කිරීම සඳහා පැවැති ඇතැම් අවස්ථා දැක ගැනීමට අපි අසමත් වීමු ද? නිසැකව ම ඔව්. ප්‍රාදේශික කිහිපයක දී හැර, CIOවේ මහා ව්‍යාපාරය අපේ හිසට උඩින් යාමට අපි ඉඩ හැරියෙමු. එහෙත් ඇතැම් ප්‍රධාන අවස්ථා අපි අල්ලා ගත්තෙමු. මස්ට් ව්‍යාපාරය දේශපාලන සංවිධානයක් ලෙස හැඩ ගැසීමට පටන් ගත් මොහොතේ ම එය සමඟ සංයෝජනය වීම සඳහා ප්‍රවිෂ්ඨ වූ අපි, සාර්ථකව එය සාක්ෂාත් කළෙමු. එක් ක්‍රියාන්විතයක දී මාධ්‍යමික බාධාවක් අපේ ගමන් මඟෙන් ඉවත් කර දැමූ අපි, අපගේ ම බලවේග විශාලනය කර ගැනීමට සමත් වීමු. සමාජවාදී පක්ෂයේ සංක්ෂෝභය අපගේ මැදිහත්වීම සඳහා වාසිදායක අවස්ථා උදා කළ කල්හි, ඒ දිශාවට වූ ඍජු මාවතක සුක්කානම හැසිරවූ අපි, අපගේ ම ශ්‍රේණි අතර කට්ටිවාදීන්ගෙන් එල්ල වූ ප්‍රතිරෝධය සුනුවිසුනු කර, සමාජවාදී පක්ෂයට ප්‍රවේශ වී එහි වාම පාර්ශ්වය සමඟ සංයෝජනයක් ක්‍රියාවට දැමීමු. ප්‍රාදේශිකයන් ගණනාවක වෘත්තීය සමිති විනිවිද යාමට ලද අවස්ථා අප ඩැහැ ගත් අතර, අද පක්ෂයේ ස්ථිරසාර ම නිර්ධන පන්ති පදනම් පවතින්නේ ඒවායේ ය.
වර්තමාන බහුතරයේ ප්‍රධාන අරටුව මෙකී ප්‍රගතිශීලී ව්‍යාපාර සියල්ලේ ම ඉදිරියෙන් ම සිටියේ ය. මෙම වාර්තාව ගතානුගතිකයැයි නිසි ආකාරයෙන් විස්තර කළ හැක්කක් නො වේ. එය කෙළින් ම එහි ප්‍රතිබද්ධයයි. මේ දක්වා කර්තව්‍යයන් අතර වඩාත් ම මූලික එක වන වෘත්තීය සමිති ව්‍යාපාරය විනිවිදීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් තරම් දේ සිදු කෙරී නැති බව අප පිළිගත යුතුය. එහෙත්, මේ ක්ෂේත්‍රයේ සිදු කෙරී ඇති දෑ සිදු කෙරුනේ මුළුමනින් ම පාහේ අප විසිනි. මෙය, හුදෙක් ගතික ලෙස අපේ ප්‍රගතිශීලී දේශපාලන දිශානතිය වෙනුවෙන් පමණක් නො ව, ඊට ද වඩා වැදගත් ලෙස, අපේ නිර්ධන පන්ති පෙළගැස්ම වෙනුවෙන් ද සාක්ෂි දරයි. දැන් අපේ “ගතානුගතිකවාදය”ට එරෙහිව ගිරිය යටින් කෑ ගසන්නේ මුළ සිට අගට ම වඩාත් ම ගතානුගතික ප්‍රවණතා ප්‍රදර්ශනය කළ සහ කම්කරුවන්ගේ කැළඹිලිකාර බහුජන ව්‍යාපාරය කෙරේ සිය අරුචිය ප්‍රදර්ශනය කළ, පක්ෂයේ එකී සුළු ධනපති කොටස් – අන් සියල්ලටමත් වඩා ඇබර්න්ගේ කල්ලිය – ම ය.
විපක්ෂය, බර්න්හැම් අනුව යමින්, අප ගතානුගතිකයැයි නම් කිරීම ආරම්භ කළේ, සෝවියට්-නාසි ගිවිසුම අත්සන් කිරීමෙන් පසු රුසියානු ප්‍රශ්නය පිළිබඳ හතරවැනි ජාත්‍යන්තරයේ වැඩ පිළිවෙලට ඉදිරිපත් කෙරුණු සංශෝධනයක් පිළිගැනීමට ප්‍රතික්ෂේප කළ අප, ඒ වෙනුවට අපේ මූලික ආස්ථානය යළි තහවුරු කළ අවස්ථාවේ පමණෙකි. ඔවුන්ගේ සම්පූර්ණ චෝදනාව රැඳී තිබෙන්නේ මෙය මත ය. එතැනින් පටන් ගෙන ඔවුහු අපේ සමස්ත අතීත වාර්තාව තුළ ගතානුගතික ප්‍රවණතාවයක් පැවැති බවට අපෝහනය කරති. එමෙන් ම ඔවුහු; රාජ්‍යය පිළිබඳ පන්ති න්‍යායය, සියලු දේශපාලන ප්‍රශ්න ඇගයීමේ දී පන්තිමය උපමානයන් භාවිතා කිරීම, යුද්ධය ද ඇතුළු ව දේශපාලනය යනු පන්ති උත්සුකයන්ගේ ප්‍රකාශයට පත් වීම ලෙස සංකල්පනය කිරීම ආදී වශයෙන් වන මාක්ස්වාදයේ මූලික සංකල්ප කෙරේ (ඇලී ගැලී සිටීමේ දී) අප දැක්වූ පරණ තාලේ (මඩේ ම ලැග සිටීමේ) ආකල්පය දෝෂ දර්ශනයට ලක් කළෝය. අප ස්වභාවයෙන් ම “ගතානුගතික”යැයි මේ සියල්ලෙන් නිගමනය කරන ඔවුහු, අප අතීතයේ කර ඇති සියල්ල ආවරණය කෙරෙන පරිදි එම විරුද නාමය විස්තීරණය කරති. ඔවුන් වරදක් ලෙස දකින එවන් වූ “ගතානුගතිකවාදය” කල්‍යාණ ගුණයක් ලෙස අපි සලකන්නෙමු. දැවැන්තතම ඓතිහාසික සිදුවීම්වල පරීක්ෂාවෙන් සත්‍යාපනය කෙරී ඇති සහ, අප දකින අයුරින් නිර්ධන පන්තියේ විමුක්තිය සඳහා වන එකම වැඩ පිළිවෙල සතු මෙකී මූලධර්මවලට තදින් ම “ඇලී ගැලී” සිටීම අපේ එල්ලයයි. බර්න්හැම් ඉදිරිපත් කර ඇති ආදේශක අපි ප්‍රවේශමින් පරීක්ෂා කර බලා ඇත්තෙමු. ඒවා හුදෙක් ඔහු විසින් නිෂ්පාදිත නිමැවුම් නො වෙති. ඔහු කිසිවක් සොයා ගත් හෝ සම්භව කළ අයෙකු නො වේ. බර්න්හැම් පුද දී ඇත්තේ කඩමාලු ය. ඔබ ඒවා සමීපව පරීක්ෂා කළහොත්, ඒ සෑම එකක ම වෙනත් පන්තියක වෙළඳ ලකුණ ඇති බව ඔබට දැක ගත හැකි වනු ඇත. බර්න්හැම් යනු හුදෙක් කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කරන තැරැව්කරුවෙක් පමණි. ඔහු අලෙවි කරන එකී භාණ්ඩ වරින්වර ධනේශ්වර දෘෂ්ටිවාදීන් විසින් කම්කරුවන්ගේ ඇඟේ ගසනු ලැබ ඇති අතර, ඒවා සෑමවිටම ඔවුන්ගේ අරගලයට හානිදායක වී ඇත. අපට ඒ කිසිවක් අනවශ්‍ය ය. අපි කිසිදු ආදේශකයක් භාර නො ගනිමු. ඉදින් මෙය ගතානුගතිකවාදය නම්, එයින් අපි උපරිම ප්‍රතිලාභ ලබා ගන්නෙමු.
පෙර කොටස් බලන්න:
හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්, 1, 2, 3, 4, 5, 6-I, 6-II, 7, 8-I, 8-II, 8-III, 8-IV, 8-V, 9-I, 9-2