ජේම්ස් පී. කැනන්
පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු
හතරවැනි ජාත්‍යන්තරයට එහි මුල් කාලයේ ම මුහුණ දීමට සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර අරගලයක් පිළිබඳව ද, එහි ලා අභියෝගයට ලක් ව තුබූ දේශපාලන ප්රයුක්තීන් සම්බන්ධව ද පුළුල් සාකච්ඡාවක් පාඨකයා වෙත ගෙන එන මේ ලිපි මාලාවේ තෘතීය භාගය නවවන පරිච්ඡේදයෙන් ඇරැඹී පරිච්ඡේද තුනක් පුරා දිග හැරේ. අද දින පළ කෙරෙන්නේ එකොළොස් වන පරිච්ඡේදයේ දෙවැනි කොටසයි. දීර්ඝ බව නිසා කොටස් තුනකින් මෙම පරිච්ඡේදය පළ කෙරේ.
මෙම පරිවර්තනය සඳහා උපයෝගී කොට ගැනුනේ Marxists Internet Archive අන්තර්ජාල ප්රකාශනයේ පල වී ඇති ඉංග්‍රීසි කෘතියයි. මෙම කෘතිය ප්‍රවේශමෙන් හැදෑරීම මාක්ස්වාදය වෙත ආකර්ෂණය වන්නන්ට මෙන් ම, වර්තමාන ලෝක අර්බුදය විසඳීමට සමත් කම්කරු පන්තියේ විප්ලවවාදී සංවිධානය ගොඩ නැඟීම පිළිබඳව උනන්දු වන සියලු දෙනාට ද අතිශයින් ප්‍රයෝජනවත් වනු ඇත.
11. ‘නිලධාරීවාදය’ – II
අපේ පක්ෂ “තන්ත්රය” නිලධරයක් නො වන අතර, එය කණ්ඩායමක් හෝ කල්ලියක් ද නො වේ. එය වූ කලී, කර්කශ ආර්ථික දණ්ඩනයන්ගේ වියදම දරමින්, තමතමන්ගේ කුශලතාවයන්, ධාරිතාවයන්, අත්දැකීම් හා පක්ෂයට සේවය කිරීමට ඇති සූදානමට අනුව විවිධ කර්තව්‍යයන් ඉටු කරන තෝරා ගත් පුද්ගල කණ්ඩායමකි. ඔවුන් තෝරා ගැනීමෙහි ලා “අනුග්‍රහයක” අංශුමාත්ර හෝ බලපෑමක් නො මැත; එවැන්නක් පිළිබඳ හුදු යෝජනාව ම වුව; විශේෂයෙන් ම, සාමාන්‍යයෙන් සිදුවන පරිදි, කිසිවිටෙකත් රාත්‍රී භෝජනයක් සඳහා වෙන් කරගත් කාලය විප්ලවය වෙනුවෙන් අහිමි කර නො ගන්නා, ඉතා සුවපහසු ලෙස ස්ථානගත වී සිටින හුදු රසිකයන්ගෙන් නැඟෙන විට, එය දරා ගත නොහැකි අපහාසයක් වෙයි. එමෙන්ම, පක්ෂ නිලධාරීන් තෝරා ගැනීමේ දී කවර හෝ කාණ්ඩමික වෙනස්කම් කිරීමක් හෝ අනුග්‍රහ දැක්වීමක් තිබූ බවට චෝදනාවක් යුක්තියුක්ත ලෙස ඉදිරිපත් කළ නො හැක. මධ්‍යස්ථානයේ, විශේෂයෙන් ම කර්තෘ මණ්ඩල හා කාර්යාලයීය තනතුරු තුළ විපක්ෂය නියෝජනය වී ඇත, ඉතා හොඳින් නියෝජනය වී ඇත.

අවස්ථාවාදීහු ම ද මේ පිළිබඳව සාක්ෂි දරති: “සුළුතරයේ සාමාජිකයන් තනතුරු ගණනාවක් ඉසිලූ බව සත්‍යයකි. … පක්ෂයේ සියලු දෙනා – පක්ෂයේ ප්රමුඛ තනතුරුවල පවා – තමන්ට හසුරුවා ගත හැකිතාක් කටයුතු ඉටු කිරීම කෙරේ කැනන් අවම හෝ විරුද්ධත්වයක් දක්වා නැත.” එසේනම් ඔවුන් පැමිණිලි කරන්නේ කුමක් ගැන ද? ඕනෑම අයෙකුට තමන්ට “හසුරුවා ගත” හැකි ඕනෑම කර්තව්‍යයක් “ප්රමුඛ තනතුරුවල” පවා ඉටු කිරීම කෙරේ “අවම විරුද්ධත්වයක් හෝ දක්වා නැති” එම නිලධරය කවර වර්ගයේ එකක් ද? සැබෑ නිලධරයක් තුළ – උදාහරණයක් ලෙස ස්ටැලින්වාදී හෝ ලුවිස්-ග්‍රීන් නිලධරයන් තුළ – එවැනි තත්ත්වයක් සොයා ගැනීමට උත්සාහ කර බලන්න. ඔවුන්ගේ “තනතුරු” නො වෙනස් ලෙස ම පාහේ ලබා දී ඇත්තේ “තන්ත්රයේ” ආධාරකරුවන්ට වන අතර, කිසි ලෙසකිනුත් “ඕනෑම අයෙකුට” නම් නො වේ. ඉදින් ක්ෂේත්රයේ ක්‍රියාත්මක පක්ෂයේ ක්‍රියාකරුවන් අවිශේෂව ම පාහේ බහුතරයේ ආධාරකරුවෝ වෙත් නම්, ඒ තමන් ලද “අනුග්රහයන්”ගේ හිලව්වට නම් නො වේ. ඊට හේතුව වී ඇත්තේ, ස්වභාවිකව ම විපක්ෂයට ආකර්ෂණය වන සුළු ධනපති චින්තනයෙන් යුත් දෙවැනි පෙළේ නායකයන්, දුෂ්කර කාර්යයන් සහ ආර්ථික අවිනිශ්චිතතාවයන් සහිත ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් කෙරෙන් ඉවත් ව සිටීමට නැඹුරු වන නිසා ය. ඔවුන් සිවිල් යුද්ධයට සූදානම් වන්නේ ප්‍රථමයෙන් සිවිල් (පරිපාලන) සේවයට සූදානම්වීම මඟිනි. අනෙක් අතට, බහුතර කඳවුරේ නායකත්ව අපේක්ෂකයෙකු, ක්ෂේත්‍ර කටයුතුවල සෑහෙන පමණෙකින් නියැලී, පන්ති අරගලයේ යෙදී සිටින කම්කරුවන් සමඟ ඍජු සම්බන්ධතා තුළින් තමන්ට කළ හැකි දේ හා තමන්ට උගත හැකි දේ කුමක්දැයි පෙන්වා දෙන තුරු ඔහු පිළිබඳව එතරම් බැරෑරුම් සැලැකිල්ලක් දක්වනු නො ලැබේ.
ප්රමුඛ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් කිවහොත්, ඔවුන් තමන්ගේ ක්ෂේත්රය තුළ ප්‍රමුඛත්වය ලබා ගෙන සිටින්නේ නිව්යෝර්ක් නගරයේ සිට ලබා දෙන “පත්වීම්” මඟින් නො ව, කම්කරුවන් විසින් හඳුනා ගනු ලැබ ඇති, ඔවුන්ගේ ම ක්‍රියාවන් හා කුසලතාවයන් නිසා ය. ඉදින් පක්ෂයේ ක්ෂේත්‍ර කටයුතුවල යෙදෙන්නෝ හා වෘත්තීය සමිති ක්‍රියාකාරීහු අරගලයේ මුල් කාලයේ ම විපක්ෂයේ කාර්යාල නායකයන්ට එරෙහිව “පැති ගත්තාහු” නම්, ඒ, ඔවුන් කිසියම් විපරීත ෆැසිස්ට් ආකාරයේ “නායක ව්රතයක”ට ආසක්ත වූවන් නිසා නො ව, ඊට ප්‍රතිවිරුද්ධ ස්වභාවයේ සැලැකිලිමත්වීම් නිසා ය. පක්ෂයේ කේන්ද්‍රීය නායකත්වයේ ක්‍රියා හා තීරණ දිනක් දිනක් පාසා ඍජු ලෙස හා ක්ෂණිකව බල පැවැත්වෙන ඔවුන්ගේ කටයුතුවල ස්වභාවය, ඒවායේ සැබෑ ගුණානාත්මක භාවය පිළිබඳ වඩාත් හෘදයංගම වැටහීමක් ඔවුන්ට ලබා දෙයි. මේ අනුව, ඔවුන්ගේ විනිශ්චයන් නිර්ණය වන්නේ, හුදෙක් නායකයන්ගේ ලිපි හා දේශනවලින් පමණක් ඔවුන් විනිශ්චය කරන පන්ති අරගලයෙන් දුරස්තර පක්ෂ සාමාජිකයන්ගේ විනිශ්චයන්ට වඩා විචාරාත්මක ආකල්පයකිනි. පක්ෂයේ වෘත්තීය සමිති ක්‍රියාකරුවෝ සියලු පක්ෂ නායකයන් ගැන ඉතා හොඳින් දනිති – කවරෙකුගේ හෝ “ප්‍රතිමා වන්දනා කරන වහලුන්” වීමට වඩා, නැතහොත් කවරෙකුගෙන් හෝ පරිපූර්ණත්වය අපේක්ෂා කිරීමට වඩා, ඔවුහු මිනිසුන් ගැන ඉතා හොඳින් දනිති. ඉදින් මධ්‍යස්ථානයේ සිටින නායකයන්ගේ බහුතරයේ කාර්ය සාධනය ඔවුන්ට කිසිසේත් සතුටුදායක නො වන්නේ නම්; – ඇති තතු එසේ බවට සැකයක් නැත – ඊට ද වඩා නරක කාර්ය සාධනයකින් යුතුව තුබූ අන්‍යයන් සමඟ එම නායකයන් හුවමාරු කර ගැනීමේ තදියමක් ඔවුන්ට නැත. ඔවුහු ප්‍රායෝගික මිනිස්සු වෙති; ඉදින් ඔවුන්ට අනර්ථයන් අතරින් එකක් තෝරා ගැනීමට සිදුව ඇත්නම්, ඔවුහු අඩු නපුර තෝරා ගනිති.
පක්ෂය සතුව සමාජමය වශයෙන් වරප්රසාදිත නිලධරයක් නො පවතීය යන සත්‍ය කරුණ, සහ එහි අභ්‍යන්තර ජීවිතයේ ආධිපත්‍යය නිලධාරිවාදයට වඩා ප්රජාතන්ත්රවාදය විසින් දරනු ලබන්නේය යන සැබෑව, තනි පුද්ගලයන් හා කණ්ඩායම් විසින් පවා නිලධාරිවාදී භාවිතයන් පවත්වා ගෙන යනු ලැබීමේ ඉඩකඩ සත්තකින් ම නො වළක්වයි. එහෙත් එවැනි ප්රවණතා වඩාත් ම ගොරහැඩි ආකාරයෙන් හා එක් වරකට වඩා වැඩියෙන් විද්‍යමාන කොට ඇත්තේ හරියට ම විපක්ෂයේ මෙම විවේචකයන් ම ය. සත්තකින් ම සුළු ධනපති නායකයන් නැඹුරු වන්නේ නිලධාරිවාදී භාවිතයන් කෙරේ ය. කණ්ඩායමේ ස්වභාවයට අනුව එයට එසේ නො වී සිටීම ඉතා දුෂ්කර ය. ඔවුන්ට නිදහසේ වැඩ කිරීමේ අවකාශය ලැබී, බහුතරයේ ප්‍රතික්‍රියාකාරී බලපෑමෙන් තොරව ක්‍රියා කිරීමට ලැබුණු අවස්ථාවන්හි දී ඔවුන් මෙම නැඹුරුව විද්‍යමාන කළේ කෙසේදැයි පෙන්නුම් කරන දිදුලන උදාහරණ පවතී. ඔටෝ අර්බුදය අවස්ථාවේ ඔවුන් ක්‍රියා කළ ආකාරය මුළ සිට අගට ම නො ඉවසිය හැකි තරමේ නිලධාරිවාදී ක්‍රියා පටිපාටියක් පිළිබඳ සම්භාව්‍ය උදාහරණයකි. එය තවමත් අවසාන නැත. මක්නිසාද යත්, ඔවුහු, ආරක්ෂා කළ නොහෙන සිය ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් තවමත් දෝෂ පිළිගැනීමක් හෝ නිවැරදි කිරීමක් සිදු කර නැත්තාහ; ඔවුන් තවමත් ඔටෝ අර්බුදය පිළිබඳව සඳහන් කරන්නේ හුදෙක් තම ක්‍රියා කලාපයන් පැහැදිළි කිරීමේ ප්රයත්නයන් තුළ, තමන් විවේචනය කරන්නන්ගේ වියදමින් තමන් සාධාරණීකරණය කර ගැනීම හා ගැටලුව මාරු කර ප්‍රහාරය සිය විවේචකයන්ට එරෙහිව හැරවීම සඳහා යත්න දරමිනි.
ආසන්න වශයෙන් වචන 25,000 කින් සමන්විත “යුද්ධය හා නිලධාරිවාදී ගතානුගතිකත්වය” තුළ ඔටෝ අර්බුදය සම්බන්ධයෙන් ඔවුන් වෙන් කර ඇත්තේ එක් ඡේදයක ඉඩක් පමණෙකි. තව ද මේ එකම ඡෙදය කැප කොට ඇත්තේ අර්බුදය හා එතුළ ඔවුන්ගේ ක්‍රියා කලාපය සාකච්ඡා කිරීමට නො ව, ඊට මුළුමනින් පරිබාහිර කරුණක් ගැන ය. ඒ, ඔටෝ අර්බුදය ඇති වන අවස්ථාවේ සැතපුම් 3,000 ක් දුර බැහැර සිටි “කැනන්”, කොයිහැටි වෙතත්, අන් සියලු දේට මෙන් ම, මෙම තත්ත්වය තුළ ඔවුන්ගේ ව්‍යසනකාරී පරාජයට ද වගකිව යුතු සේ පෙනෙන්නට සැලැස්වීමට ය. දැන් පක්ෂ ඉතිහාසයට අයත් වන, “ඔටෝ අර්බුදයේ ඇත්ත” නම් විශිෂ්ඨ ලේඛනය තුළ ක්ලාක් සහෝදරයා ඔටෝ අර්බුදයේ සම්පූර්ණ වාර්තාවක් ලියා තබා ඇත. ඒ වූ කලී සිදුවීම් දාමයේ සෑම ලක්ෂ්යයක දී ම සත්‍යාපනය කර ලේඛනගත කළ වාර්තාවකි. ස්වයංව ම තහවුරු වන මෙම ලිපිය, අනාගතයේ දී කාර්යාලයීය නායකත්වයක් සම්බන්ධව නිලධාරිවාදී භාවිතයන්හි සංයුක්ත අර්ථය පිළිබඳ සෑම සාකච්ඡාවක ම මූලාශ්‍ර ලේඛනය බවට පත් වනු ඇත.

මෙහි දී මම මෙම අප්‍රසන්න කරුණ සම්බන්ධයෙන් පොදු නිරීක්ෂණ කිහිපයක් ගෙන හැර දැක්වීමට බලාපොරොත්තු වෙමි. වර්තමාන සුළුතරය මුළුමනින් ම දේශපාලන කමිටුව භාරව සිටියෝය; ඔවුන්ගේ සියලු ප්‍රශ්නවලට වගකිව යුත්තාව සිටි සත්වැනි සාමාජිකයා මහා සාගරයෙන් එපිට සිටි අතර, ඔහු ඔවුන්ගේ ක්රියාකාරීත්වයන් කොයි යම් ආකාරයකින් වත් වැලැක්වීමට හෝ ඒවාට සීමා පැනවීමට හැකි තත්ත්වයක නො සිටියේ ය. ඔටෝ අර්බුදය තන්ත්රය පිළිබඳ – ඔවුන්ගේ තන්ත්රය පිළිබඳ – සැබෑ පරීක්ෂාවක් විය. එය පක්ෂය මෙහෙයවීමට හා අසීරු වූත්, සංකීර්ණ වූත් තත්ත්වයක් තුළ කම්කරුවන් මෙහෙයවීමට ඔවුන්ට ඇති ධාරිතාව පිළිබඳ තථ්‍ය පරීක්ෂාවක් විය. ඔවුන් කළේ කුමක් ද? ඔවුහු පිළිවෙත් වරදවා ගනිමින් පටන් ගත්තෝය. බර්න්හැම්ගේ අධ්‍යයනයෙන් උයා පිළියෙළ කර ගත් මේ පිළිවෙත, කර්මාන්තයේ කම්කරුවන්ගේ ගමනට පටහැනි ක්‍රියා මාර්ගයක් අපේ කණ්ඩායම සඳහා නිර්දේශ කළේය. ඉදින් එය අනුගමනය කෙරුණි නම් ඔටෝ වෘත්තීය සමිතියේ අපේ සහෝදරවරුන් සති කිහිපයක් තුළ ඉන් ඉවතට අතු ගා දැමෙන්නට තිබිණ. පක්ෂයේ සමර්ථතම වෘත්තීය සමිති ක්‍රියාකරුවන් හා ජාතික කමිටුවේ සාමාජිකයන් සිව්දෙනෙකු ඇතුළු සමස්ත ඔටෝ කර්මාන්ත කණ්ඩායම මීට එරෙහිව නැඟී සිටි කල, එක් අයෙකු ඡන්දයෙන් වැළකී සිටිය දී ඡන්ද තුනට දෙක වශයෙන් සිය ඉහත ස්ථාවරය “යළි තහවුරු කළ” ඔවුහු, එය පක්ෂයේ තීරණය ලෙස දැනුම් දෙමින්, විනය සහ විධිමත් ආධිපත්‍යය පිහිටුවීම සඳහා ඉල්ලා සිටියෝය!
අවසානයේ ඔවුන්, තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අවකාශ ලද ජාතික කණ්ඩායමේ සියලු සාමාජිකයන් යෙදූ පීඩනයේ ද පිටුබලය ලැබූ ඔටෝ කණ්ඩායමේ පීඩනයට නතු වන විට, ඔවුන් එය සිදු කළේ අවඥාත්මක ආකාරයකිනි. මේ කටයුත්තෙන් මුළුමනින් අත් සෝදා ගනිමින් දුරස් වූ ඔවුහු නව පිළිවෙත ගෙන යාමේ මුළු වගකීම ඔටෝ කණ්ඩායමේ උර මත තැබූහ. ඊළඟට ඔවුහු ශාඛා කරා යවන ලද ප්රකාශනයක් මඟින් ඔටෝ කණ්ඩායමට එරෙහිව කුඩුකේඩු ප්‍රහාරයක් සිදු කරමින්, ඔටෝ සහෝදරවරුන්ට තම පිළිවෙත හරහා අභාග්‍යය උදා වනු ඇති බවටත්, “පක්ෂයේ මාවත” – එනම්, බර්න්හැම්, විඩික් හා ඇබර්න්ගේ මාවත – නිවැරැදි බව ඔප්පු වනු ඇති බවටත් කියා සිටියෝය. ඉනික්බිති නියමානුකූල ලව්ස්ටෝන්වාදී විලාසය දක්වමින්, ඕනෑම උද්ධච්ච සුළු ධනපති බුද්ධිජීවීන් කණ්ඩායමක නියමානුකූල විලාසය දක්වමින්, ඔවුහු, සාවද්‍ය පිළිවෙත නිවැරැදි කර, ඊට විරුද්ධත්වය දක්වමින් සිය ස්වාධීනත්වය ප්‍රදර්ශනය කළ ක්ෂේත්‍ර ක්‍රියාකාරීන්ට දෙසට ප්‍රහාරයේ ඉලක්කය හැරවූහ. ඒ, ඔවුන් “සුළු නිලධාරීන්ගේ” “කුණු වූ කල්ලියකට” අයත් හුදු “අත් ඔසොවන්නන්” පමණක් බවට වූ තමන්ගේ සොයා ගැනීම නිවේදනය කරමිනි. සංයුක්ත තත්ත්වයක් තුළ මේ හා සැසඳිය හැකි උජාරු, අශෝභන හා කුඩුකේඩු නිලධාරිවාදයක උදාහරණයක් අපේ ව්‍යාපාරයේ ඉතිහාසය තුළින් සොයා ගැනීම අසීරු වනු ඇත. නිලධරය සත්තකින් ම පක්ෂයේ “නිර්ධන පන්ති අරටුව මත” “පීඩනය යොදයි”. එහෙත් මේ නිර්ධන පන්ති අරටුව සිය දෘඩ බවත්, ප්‍රතිරෝධී බවත්, තමන් තහවුරු කර ගැනීමෙහි ලා සමත් බවත් ඔප්පු කර ඇත. කාර්යාලයක සිට නායකත්වය දෙන නො මනාපයට පත් සුළු ධනපති නායකයන්ගේ ඇසින්, එකී නිර්ධන පන්ති අරටුවේ සැබෑ අපරාධය වූයේ එයයි.
පෙර කොටස් බලන්න:
හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්, 1, 2, 3, 4, 5, 6-I, 6-II, 7, 8-I, 8-II, 8-III, 8-IV, 8-V, 9-I, 9-2, 10, 11-I