නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 11-I

ජේම්ස් පී. කැනන්

පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු

හතරවැනි ජාත්‍යන්තරයට එහි මුල් කාලයේ ම මුහුණ දීමට සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර අරගලයක් පිළිබඳව ද, එහි ලා අභියෝගයට ලක් ව තුබූ දේශපාලන ප්‍රයුක්තීන් සම්බන්ධව ද පුළුල් සාකච්ඡාවක් පාඨකයා වෙත ගෙන එන මේ ලිපි මාලාවේ තෘතීය භාගය නවවන පරිච්ඡේදයෙන් ඇරැඹී පරිච්ඡේද තුනක් පුරා දිග හැරේ. අද දින පළ කෙරෙන්නේ එකොළොස් වන පරිච්ඡේදයේ ප්‍රථම කොටසයි. දීර්ඝ බව නිසා කොටස් තුනකින් මෙම පරිච්ඡේදය පළ කෙරේ.

මෙම පරිවර්තනය සඳහා උපයෝගී කොට ගැනුනේ Marxists Internet Archive අන්තර්ජාල ප්‍රකාශනයේ පල වී ඇති ඉංග්‍රීසි කෘතියයි. මෙම කෘතිය ප්‍රවේශමෙන් හැදෑරීම මාක්ස්වාදය වෙත ආකර්ෂණය වන්නන්ට මෙන් ම, වර්තමාන ලෝක අර්බුදය විසඳීමට සමත් කම්කරු පන්තියේ විප්ලවවාදී සංවිධානය ගොඩ නැඟීම පිළිබඳව උනන්දු වන සියලු දෙනාට ද අතිශයින් ප්‍රයෝජනවත් වනු ඇත.

11. ‘නිලධාරීවාදය’ – I

විපක්ෂයේ සියලු ලේඛන හා දේශන තුළ පක්ෂ නායකත්වය නිලධාරීවාදී ලෙස, එකී යෙදුමේ වඩාත්ම ද්වේශසහගත අර්ථයෙන්, නිරූපණය කෙරී ඇත. වඩාත් නිරවද්‍යව කිවහොත්, පක්ෂ තන්ත්‍රය එහි ස්වභාවයෙන් ස්ටැලින්වාදීයැයි ඇතැම් විට වක්‍රෝක්තියෙන් ද, ඇතැම් විට විවෘතව හා ඍජුව ද චිත්‍රණය කෙරී ඇත. සමාජවාදයේ නොවැලැක්විය හැකි ස්වභාවය ප්‍රතික්ෂේප කරන බර්න්හැම්, කොයි හැටි වෙතත්, බෝල්ෂෙවික්වාදයෙන් ස්ටැලින්වාදය “නොවැලැක්විය හැකි ලෙස” වර්ධනය වේ ය යන්න පිළිබඳව ඒත්තු ගෙන සිටී. එම දෘෂ්ටි කෝණයේ සිට ඔහු අපට අධි-පන්ති සදාචාරයේ නාමයෙන් චෝදනා කරන්නේ, අප “කැනන්ගේ කුණු වූ කල්ලියෙන්” සමන්විත “සුළු නිලධාරීන්ගේ නරුම කණ්ඩායමක්” ලෙසයි.  (“විද්‍යාව සහ ශෛලිය”) තව ද, බෝල්ෂෙවික්වාදය හා ස්ටැලින්වාදය පිළිබඳ සියල්ල සවරින්ගෙන් උගෙන ඇති ජොන්සන්, “ඔහු [කැනන්] පක්ෂ අරගලය හා පක්ෂ විනය සම්බන්ධයෙන්, තුන්වැනි ජාත්‍යන්තරයේ සිට හතරවැනි ජාත්‍යන්තරය තුළට තමන් සමඟ ගෙන ආ ස්ටැලින්වාදී සංකල්ප වඩාත් නිරුවත් ආකාරයෙන් විදහා දක්වන” බව පක්ෂයට තිරසාරව කියා සිටී. “යුද්ධය හා නිලධාරීවාදී ගතානුගතිකවාදය” පිළිබඳ දීර්ඝ ලේඛනය ලියා ඇත්තේ විපක්ෂයේ පහත දැක්වෙන මූලික නිබන්ධනය අනුමත කරනු සඳහා ය: ‘පක්ෂ තන්ත්‍රය එහි ස්වභාවයෙන් ස්ටැලින්වාදී ය.’         

මෙම තර්කය අලුත් එකක් නො වේ. මීට දශකයකට වඩා ඉහත කාලයේ වූ අපේ ව්‍යාපාරයේ මූලාරම්භයේ පටන් මේ දක්වා පැවැති සෑම විරුද්ධ පාර්ශ්වයක් ම මේ ගීය ම ගයා ඇති අතර, සෑමවිටම, වර්තමාන විපක්ෂය පරිද්දෙන් ම, එකී පදනම මත ආධාරකරුවන් ආකර්ෂණය කර ගෙන ඇත; ඒ ඇයි? පැහැදිළි කිරීම සරළ ය.

ස්ටැලින්වාදය විසින් මංමුළා කර දමනු ලැබ ඇත්තේ හුදෙක් එහි ආධාරකරුවන් පමණක් නො වේ; සෑහෙන පමණෙකින් එහි විරුද්ධවාදීහු ද මංමුළා කරනු ලැබ ඇත්තාහ. ඔවුන්ගෙන් බොහෝ දෙනා ස්ටැලින්වාදය තුලින් දකින්නේ දෝෂ සහගත විධික්‍රම පමණෙකි. මෙම සදොස් විධික්‍රම විසින් සේවය සැලසීමට සැලසුම් කෙරී ඇති වරප්‍රසාදිත සමාජ සමූහනය හා නිර්ධන පන්ති විරෝධී පිළිවෙත ඔවුහු නො දකිති. ස්ටැලින්වාදය පිළිබඳ මෙම නො ගැඹුරු දැක්මට ගොදුරු වූවෝ, තමන්ට දේශපාලන හෝ න්‍යායික තර්ක නො මැතිව ගිය කල්හි, තම ප්‍රාග් විනිශ්චයන් ගසා කමින් “ස්ටැලින්වාදය”යැයි කෑ ගසති. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති විරහිත ගෝසාබද්ද හැකියාවන් ඔවුන්ට කිසිදා හිඟ නො වේ; අවම තරමින්, මේ දක්වා ම ඔවුන්ට ඒවායේ හිඟයක් නො වීය. මෙරටේ වාම විපක්ෂයේ මුල් වර්ෂවල දී, තන්ත්‍රය පාලනය කරන වරප්‍රසාදිත ස්ථරයක් තබා, අපේ කුඩා ව්‍යාපාරය සතුව තවමත් “තන්ත්‍රයක්” හෝ නො තිබූ තතු තුළ, ෂැට්මන්, ඇබර්න් සමඟ එක්ව, මෙම ගෝසාබද්ද භූමිකාව රඟ දැක්වීය. කෙසේවෙතත් 1935 වන විට, සමාජවාදී පක්ෂය තුළට ඇතුළු වීමේ අරගලය තුළ දී, ෂැට්මන් “ස්ටැලින් – කැනන්” පාර්ශ්වයේ සිටි අතර, එකී ‘ප්‍රති-ස්ටැලින්වාදී’ නන්දෙඩවිලි, පක්ෂ “තන්ත්‍රයේ” ප්‍රමුඛ නියෝජිතයෙකු ලෙස ඔහුට එරෙහිව එල්ල වී තිබිණ. එවිට – පෞද්ගලිකව තමන් සම්බන්ධ කවර කරුණක් පිළිබඳව වේවා සෑමවිටම අධික සංවේදීතාවයක් දක්වන – ෂැට්මන් ආත්මාරක්ෂාව වෙනුවෙන් මේ කරුණ සම්බන්ධයෙන් වඩාත් හොඳින් සිතා බලමින්, “ස්ටැලින්වාදය” පිළිබඳ චෝදනාව විශ්ලේෂණයකට භාජනය කළේය. මෙම විශ්ලේෂණය මෙහි ලා උපුටා දැක්වීම වටී. ඔහු ප්‍රශ්නයේ අනෙක් පැත්තේ සිට මෙම තර්ක ගෙන ආ තැන් පටන් මේ දක්වා තන්ත්‍රය හෝ, එයට එරෙහිව නැඟූ පැරැණි තර්ක හෝ කිසිදු මූලික ආකාරයකින් වෙනස් වී නැත.

‘”සංවිධානාත්මක විධික්‍රම” පිළිබඳ ප්‍රශ්නය’ යන මැයෙන් යුත්, ෂැට්මන් විසින් අත්සන් කරනු ලැබ 1935 ජූලි 30 දාතමින් වර්කර්ස් පාර්ටි අංක 1 දරන අභ්‍යන්තර බුලටිනයේ පළ කෙරුණු මෙම ලේඛණය තුළ, ඔහු “ස්ටැලින්වාදය” පිළිබඳ තර්කයට මෙසේ පිළිතුරු දෙයි:

(දැන් ඇතැමෙක් මෙසේ තර්ක කරති.) “එසේනම් ලෙනින් හුදෙක් ම ස්ටැලින්ගේ සංවිධානාත්මක විධික්‍රම, ඔහුගේ අණක් ගුණක් නැතිකම හා විශ්වාසය තැබිය නොහැකි බවට එරෙහිව අරගලයක් දියත් නො කළේ ද? මෙකී හේතූන් මත ඔහු සිය තනතුරෙන් පහ කිරීමට යෝජනා නො කළේ ද?” ලෙනින් හා ට්‍රොට්ස්කි ස්ටැලින්ට එරෙහිව සටන් කළ තරම් ම නිර්දය ලෙස සටන් කළ යුතු, එම නිලධරයේ විධික්‍රමවලට සමාකාර විධික්‍රම සහිත, ඊට සමාකාර නිලධරයකින් මෙහි අප සමන්විත වේ යැයි ඉඟියක් මේ සඳහනට එක් කෙරී ඇත.               

 මෙම ප්‍රතිසමතාව අඩු වශයෙන් නොන්ඩි ගැසීමක් හෝ නො කරයි. මන්ද යත්, ඊට සිට ගැනීමට පාදයක් නො මැති හෙයිනි. එය අතිශය නො ගැඹුරු ස්වභාවයකින් යුත් අතර, ස්ටැලින්වාදී නිලධරය පිළිබඳ ප්‍රශ්නය හා එහි කේන්ද්‍රීය පුද්ගලයා කෙරේ ලෙනින් දැක්වූ ආකල්පය වටහා ගැනීමට ඇති අසමත්කම ඉන් නිරාවරණය කෙරේ.

1. ලෙනින් ස්ටැලින්ට විරුද්ධ වූයේ තනිකර ම සංවිධානාත්මක හේතූන් මතයැයි පැවසීම සත්‍යයක් නො වේ. සුප්‍රකට තෙස්තමේන්තුවේ ප්‍රස්තාවනාවට අඩංගු සුවිශේෂී නිරීක්ෂණයක් වෙයි. එනම්, නිර්ධන පන්තියේ පාලනය පන්ති දෙකක සහයෝගීතාවය මත පදනම් වී ඇත යන්නයි. මෙම තත්ත්වය, සෝවියට් නිලධරයක වර්ධනය සඳහා සමස්ත වාතාවරණය නිර්මාණය කරයි. මෙම නිලධරය, එහි පරිහානියේ කාල පරිච්ඡේදය තුළ, නිරන්තරව ස්වයං-ප්‍රතිනිර්මාණය වෙමින් පවතින ධනවාදය මධ්‍යයේ, පරිබාහිර පන්තිවල පීඩනය නියෝජනය කරයි. මෙම කරුණ හේතුවෙන්, නිලධරය වඩවඩාත් රටේ නිර්ධන පන්තියේ අරටුව මත පීඩනය යෙදීමට යොමු වේ. එය, එකී කම්කරු පන්ති අරටුව කෙරේ වඩවඩාත් වැඩි වන ද්වේශයක් ප්‍රදර්ශනය කරමින්, සතුරු පන්ති මත රැඳී සිටීමට වඩවඩාත් නැඹුරු වේ. ස්ටැලින් යනු මෙම නිලධරවාදී ප්‍රවණතාවයේ පුද්ගලාරෝපණය විය. ලෙනින් සිය අභාවයට කෙටි කලෙකට පෙර ලියූ කැපී පෙනෙන ලේඛන හා ලිපි සමඟ සම්බන්ධ කොට තෙස්තමේන්තුව කියැවූ විට, දේශපාලන හා පන්ති සම්බන්ධය දෘශ්‍යමාන වනු ඇත. ඉදින් තෙස්තමේන්තුවෙන් “ස්ටැලින් අණක් ගුණක් නැත්තෙකි – ඔහු ඉවත් කරනු!” යන්න විනා අන් කිසිවක් උගෙන නැත්නම්, සත්තකින් ම (ඔවුන්) කිසිවක් උගෙන නැත.

2. සෝවියට් සංගමයේ නිලධරය යනු සමාජ ප්‍රපංචයකි. රුසියාවේ අතීත හා වර්තමාන ඓතිහාසික වර්ධනය තුළ ගැඹුරට ගිය මුල් එය සතු ය. එය සතුව සමීප පන්ති සබඳතා ඇත. අතිමහත් ද්‍රව්‍යමය හා බුද්ධිමය බලයක් – දූෂණයට, පරිහානිගත වීමට, සංගමයේ නිර්ධන පන්ති පදනමට යටින් වළ කැපීමට සමත් බලයක් – එය සතුව ඇත. ස්ටැලින්වාදී නිලධරය ගැන කථා කොට, වර්කර්ස් පාර්ටිහි – හෝ එහි කවර හෝ කොටසක – අපේ අනුකම්පා දනවන කුඩා “නිලධරය” ගැන ඒ හුස්මට ම කථා කරන්නෙකු වේ නම්, ඔහුට සමාව දිය හැක්කේ දේශපාලන අඳබාලකමේ පදනම මත පමණෙකි.

එම උපුටනය, අපේ පක්ෂ තන්ත්‍රය සම්බන්ධයෙන්, “ස්ටැලින්වාදය” ගැන අපරීක්ෂාකාරී ලෙස කෙරෙන මෙම කථාවේ පතුල පිරික්සා බැලීමට අවශ්‍ය පක්ෂ සහෝදරවරුන්ගේ පරීක්ෂාව සඳහා යෝග්‍ය එකකි. එම සමස්ත ඡේදය පේළියෙන් පේළියට හා වචනයෙන් වචනයට අධ්‍යයනය කිරීම වටී. විශේෂයෙන් ම වැදගත් වාක්‍ය යුග්මයක් මම මෙහි අවධාරණය කර දක්වා ඇත්තෙමි. “නිලධරය වඩවඩාත් රටේ නිර්ධන පන්තියේ අරටුව මත පීඩනය යෙදීමට යොමු වේ.” මෙය සෑම වරප්‍රසාදිත නිලධරයක ම සර්වභෞමික ගුණාංගයයි. නිරවද්‍ය ලෙස ම, සෑම කම්කරු නිලධරයක් ම තමන් “සතුරු පන්ති” සමඟ ඒ හෝ මේ ආකාරයෙන් බැඳී ගන්නේ, නිර්ධන පන්ති ජනයාගේ උත්සුකයන්ට එරෙහිව පිහිටි තමන්ගේ ම සුවිශේෂී වරප්‍රසාදිත උත්සුකයන්ට සේවය කිරීම සඳහා ය. ෂැට්මන් උචිත ලෙස පවසන පරිදි එය සතුරු පන්ති මත “රැඳී සිටිමින්” නිර්ධන පන්තිය මත “පීඩනය යොදයි.” වරප්‍රසාදිත කණ්ඩායම් හා වරප්‍රසාදිත විධික්‍රමවල නිලධරවාදී සැකැස්ම අත්‍යවශ්‍ය වන්නේ ම, නිර්ධන පන්ති ජනයාගේ උත්සුකයන්ට හා අභිලාෂවලට එරෙහිව මෙම පිළිවෙත ඉෂ්ට ප්‍රාප්ත කර ගැනීම සඳහා ය. මෙය සත්‍ය වන්නේ හුදු ස්ටැලින්වාදී නිලධරය සම්බන්ධයෙන් පමණක් නො වේ; වෘත්තීය සමිති නිලධරය සම්බන්ධයෙන් ද, දෙවැනි ජාත්‍යන්තරයේ පක්‍ෂවල හා සියලු සංශෝධනවාදී කම්කරු සංවිධානවල නිලධරයන් සම්බන්ධයෙන් ද මෙය සත්‍ය වේ.

Workers Party අභ්‍යන්තර බුලටිනය – අංක 1 හි පළ වූ මැක්ස් ෂැට්මන්ගේ 1935 ජූලි 30 දින දරන ‘”සංවිධානාත්මක විධික්‍රම” පිළිබඳ ප්‍රශ්නය’ නම් ලිපියේ මුල් පිටුව – ඡායාරූප අනුග්‍රහය: www.marxists.org

දැන් විපක්ෂයේ නායකයන් වෙත ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කිරීමට මට අවශ්‍ය ය.   

1. අපේ පක්ෂයේ තන්ත්‍රය නිර්ධන පන්ති අරටුව මත “පීඩනය යෙදුවේ” කොහේදී ද? කවදා ද? පක්ෂ නායකත්වයේ නිලධාරිවාදී අයුතු සැලකීම් පිළිබඳ සාකච්ඡාව තුළ පැමිණිළි කර ඇති එක ශාඛාවක් හෝ, එක වෘත්තීය සමිති කණ්ඩායමක් නම් කරන්න. වෙළුම් ගණන් ලේඛන හා ගණන් කළ නිම කළ නොහැකි තරම් කථා ඇතුළත් සමස්ත සාකච්ඡාව මේ දක්වා, ජාතික කමිටුවේ වර්තමාන බහුතර පිළ සම්බන්ධයෙන් එවැනි එක ම අවස්ථාවක් වෙත හෝ ආලෝකයක් විහිදුවීමට සමත් වී නැත!

සුළු ධනපති පිළේ තනි තනි නායකයන්ගේ මොරදීම් වලින් වා තලය දෙදරවා ඇත – දෙවියනි, ඔවුහු කෙතරම් පීඩා විඳ තිබෙත් ද! එහෙත් පක්ෂයේ “නිර්ධන පන්ති අරටුව” එකම වචනයකින් හෝ පැමිණිළි කර නැත. සාකච්ඡාව අතරවාරයේ රටේ සියලු ප්‍රදේශවල සාමාන්‍ය සාමාජික සහෝදරවරුන්ගෙන් පක්ෂයේ නිලධාරිවාදය ගැන “තොරතුරු” විමසන ලිපි ගණනාවක් මට ලැබිණ, එහෙත් ඒ කිසිවෙක් තොරතුරු සම්පාදනය කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් නො වූහ. මේ නිලධාරීවාදය යනු, දම් පාට එළදෙනෙකු වැනි අමුතු සත්ත්වයෙකි; සියල්ලන්ට ඒ ගැන අසන්නට ලැබී ඇත, එහෙත් කිසිවෙක් ඒ ගැන නො දනිති. මෙහි කිසිවෙකු යන්නෙන් හැඟවෙන්නේ, තමන්ගේ තනි තනි පුද්ගලකායයන් විසින් අත්දකින ලද අල්පෙනෙත්ති තුඩු පැහැරීම් කිහිපයක් මිනීමරු බයිනෙත්තු ප්‍රහාර ලෙස දක්වමින් පක්ෂයේ සාමාන්‍ය සාමාජිකයන්ට එරෙහිව චෝදනා කරන ඉතා සියුමැලි චර්මයකින් යුත් සුළු ධනපති බුද්ධිමතුන්ගේ, අර්ධ බුද්ධිමතුන්ගේ හා බුද්ධිමතුන් විය හැක්කන්ගේ සංසදය හැර, සෙස්සන් ය.

වචනයේ සැබෑ අර්ථයෙන් ගත් කල, නිලධාරිවාදය යනු අපේ පක්ෂය කිසිදා දැක නො තිබූ එකකැයි මම කියමි. මේ තකතීරු හා විෂකුරු චෝදනාව යළියලිත් අසන්නට ලැබුණු අපේ හොඳම මිතුරන්ගෙන් ඇතැමෙක්, “මේ තරම් දුමක් නැඟෙන්නට නම් කිසියම් ගින්නක් තිබිය යුතුය” වශයෙන් තර්ක කරමින් මෙසේ සිතනු විය හැකිය: “ඇතැම්විට මෙහි දී සුළු ස්වයං-විවේචනයක් කිරීම සුදුසු වනු ඇත.” මේ කාරනාවේ දී කිසිසේත් ම නැත! ජාතික කමිටුවේ නිර්ධන පන්ති බහුතරය විසින් පිළිගනු ලැබිය යුතු දේශපාලන වැරදි හා පාපකර්ම කොතෙකුත් තිබේ; මහත් සේ පැවැති අකාර්යක්‍ෂමතාව, නො තකා හැරුණු අවස්ථා, විනය සම්බන්ධ ලිහිල්බව ආදී වශයෙන් පැවැති දෝෂ අප පිළිගත යුතුය. එහෙත් පක්ෂ ඒකක හෝ වෘත්තීය සමිති කණ්ඩායම් සමඟ වැරැදි ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් නම් – කිසි විටෙක, කිසි ලෙසකින් නැත!     

ප්‍රායෝගිකව ගත් කල, පක්ෂයේ සෑම නිර්ධන පාන්තික ශාඛාවක් ම බහුතරයට සහාය දෙයි! නිව්යෝර්ක් නඟරයේ සුදු කරපටි වෘත්තීන්ට සම්බන්ධ සමිති යුග්මයක් හැරුණු කොට, එක් වෙරළක සිට අනෙක් වෙරළ දක්වා මුළු මහත් රට පුරා පිහිටි පක්ෂයේ සෑම වෘත්තීය සමිති කණ්ඩායමක් ම, ඒකමතිකව හෝ ඒකමතිකව ම පාහේ, බහුතරයට සහාය දෙයි! මෙය අහම්බයකින් සිදුවන්නක් නො වේ. නිලධාරිවාදය පළමුව ද අවසාන වශයෙන් ද පහර දෙන්නේ සෑම සංවිධානයක ම නිර්ධන පන්ති කොටස්වලට ය; නිලධාරිවාදය “නිර්ධන පන්තියේ අරටුව මත පීඩනය යෙදීමට යොමු වේ.” ඉදින් පක්ෂයේ නිර්ධන පන්ති කොටස් සහජාශයානුගතව ම බහුතරය කරා ආකර්ෂණය වී සිටිත් නම් හා සාකච්ඡාවේ ප්‍රථම දිනයේ සිට ම විපක්ෂය විසින් ඔවුහු පළවා හැරෙනු ලැබෙත් නම්, ඒ, අනෙකුත් හේතූන් අතර ම, ඔවුන් නිලධාරිවාදයේ සෑම සංයුක්ත විද්‍යමාන වීමකට ම වඩාත් ම සංවේදී නිසා ය. ඒ, ඔවුන් “සංවිධානය පිළිබඳ ප්‍රශ්නය” විනිශ්චය කරන්නේ තමන් කියවන බරසාර ලේඛනවලින් නො ව, ඊටත් වඩා අඩුවෙන්, යමෙකු කණට කොඳුරා කියන දේවලින් හෝ නො ව, තමන් දකින දෙයින් හා, පක්‍ෂ නායකත්වයත්, එහි වෙනස් ශාඛාවනුත් සමඟ තමන් ලබා ඇති තමන්ගේ ම අත්දැකීම් වලින් නිසා ය.

2. ඇබර්න්, බර්න්හැම් සහ ෂැට්මන් මහත්වරුනි, අපේ පක්ෂ තන්ත්‍රය නිලධරයක්යැයි ඔබ කියන්නෙහි ද? ඔබ තවදුර යමින් එය එහි ස්වභාවයෙන් “ස්ටැලින්වාදී”යැයි කියන්නෙහි ද? බොහොම හොඳයි, මහත්වරුනි. හතරවැනි ජාත්‍යන්තරයේ ඇමරිකානු ශාඛාව තුළ මෙම “ස්ටැලින්වාදී” නිලධරයේ සමාජ පදනම කුමක්දැයි කරුණාකර අපට කියා දෙන්න. එහි වරප්‍රසාද මොනවා ද? එය “සතුරු පන්ති මත රැඳී සිටීම සඳහා ඇති නැඹුරුව” විද්‍යමාන වන්නේ කොහිදී ද – එසේ රැඳී සිටින්නේ කවර පන්ති මත ද? “නිර්ධන පන්ති අරටුව මත පීඩනය යෙදීමට” එයට බල කෙරෙන්නේ කවර විශේෂ උත්සුකයන්ගෙන් ද? ෂැට්මන්, අපේ “අනුකම්පා දනවන කුඩා නිලධරය” කවර වර්ගයක “සමාජ ප්‍රපංචය”ක් ද?         

සියල්ල තිබියේවා, අපේ පක්‍ෂයේ “තන්ත්‍රය” කුමක් ද? ආත්ම පරිත්‍යාගී බර්න්හැම් ඒ සා අවඥා සහගතව “නරුම සුළු නිලධාරීන් කණ්ඩායමක්” හා “කුණු වූ කල්ලියක්” ලෙස හඳුන්වන එකී තෝරාගත් පුද්ගල කණ්ඩායම කුමක් ද? අපි මෙම ප්‍රශ්නය නිරවශේෂ ලෙස සලකා බලා එය කෙළවරක් කරමු. “තන්ත්‍රය”; එනම් ජාතික කමිටුව හා මෙහෙයුම් පක්ෂ ක්‍රියාකාරීන්ගේ පූර්ණකාලීන කාර්ය මණ්ඩලය; ආර්ථික වශයෙන් වරප්‍රසාදිත කණ්ඩායමක් නො වූ අතර, සමස්තයක් ලෙස පක්ෂ සාමාජිකයන්ගේ උත්සුකයන්ට වඩා වෙනස් තමන්ට ම සුවිශේෂී උත්සුකයන් ඔවුන්ට නො වීය. සැබෑ තතු මීට බෙහෙවින් වෙනස් ය. පක්ෂයේ පූර්ණකාලීන ක්‍රියාකාරීන් යනු, එක්කෝ පක්ෂ සාමාජිකත්වයේ සාර්වත්‍ර කැමැත්ත හා අනුමැතිය මත වෘත්තීයමය පක්ෂ කටයුතුවලට තල්ලු කරනු ලැබීමට හේතු කාරක වූ සුවිශේෂී හැකියාවන් නිසා, නැතහොත් ආත්ම පරිත්‍යාගයට ඇති ධාරිතාව නිසා, එසේත් නැතහොත් ඒ දෙක ම නිසා, ගෞරව සම්මානයට පාත්‍ර වූ එකී සහෝදරවරුන් ය – පෞද්ගලික රැකියාවකින් නීත්‍යානුකූල අවම සහතික වැටුප ලබන කම්කරුවෙකුගේ වේතනයට වඩා අඩු දීමනාවකට පක්ෂ ක්‍රියාකරුවෙකුගේ කෘත්‍යයන් ඉටු කිරීමට සතුටින් සිටින එකී සහෝදරවරුන් ය.

මේ තතු ඉතා හොඳින් දන්නා පක්‍ෂයේ සාමාන්‍ය සාමාජිකත්වය, වෘත්තීය පක්ෂ ක්‍රියාකරුවන් පිළිබඳ තවත් අවමානයන් ඇසීමට – විශේෂයෙන් ම කැපකිරීම් හා වෘත්තීයමය පක්ෂ කටයුතුවල කාර්යයන් ඉදිරියේ හැකිළෙන පුද්ගලයන්ගෙන් ඒවා ඇසීමට – කැමැත්තක් නො දක්වයි. අපේ පක්ෂය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වැන්නක් නො වේ. වෘත්තීයමය ක්‍රියාකරුවන්ට කුලී වැඩෙහි යෙදෙමින්, ඊට ද අමතර ව පක්‍ෂයට සතියකට වරක් ගොඩ වී යන “ලොක්කන්”ගේ පරිභවයන් ඉවසා දරා සිටීමට සිදුව ඇති අතරතුර, තමන්ට වැඩිපුර ඇති කාලය ව්‍යාපාරයට යොදවන වීරයන්ගේ නායකත්වයට අපේ ව්‍යාපාරය නතු කිරීමට අපි ඉඩ නො දෙන්නෙමු. පක්ෂය එහි වෘත්තීයමය කාර්ය මණ්ඩලයට ගෞරව බහුමාන දක්වයි. වෘත්තීයමය විප්ලවවාදීන්ගේ රැකියාව සියලු රැකියා අතර වඩාත් ම ගරු කටයුතු එක වශයෙන් එය සළකයි. සෑම තරුණ පක්ෂ සාමාජිකයෙකුගේ ම ඉහළතම ප්‍රාර්ථනාව හා අභිලාෂය විය යුත්තේ සිය ජීවිතය තුළ එවන් වෘත්තිකයෙකු වීමට සුදුස්සෙකු වීමයි.

පෙර කොටස් බලන්න:

හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්, 1, 2, 3, 4, 5, 6-I, 6-II, 7, 8-I, 8-II, 8-III, 8-IV, 8-V, 9-I, 9-2, 10

Scroll to Top