ඉන්දීය ජම්මු කාශ්මීරයේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු

නිහාල් ගීකියනගේ

අප්‍රේල් 21වෙනි දින ඉන්දීය ජම්මු කාශ්මීර ප්‍රදේශයේ පහල්ගම් ග්‍රාමයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන්, සංචාරය සදහා පැමිණ සිටි සිවිල් වැසියන් 26 ක් මරණයට පත්ව 17 ක් තුවාල ලැබූහ. “පහල්ගම්” සංචාරක පුරවරයකි. ප්‍රහාරයේ වගකීම කාශ්මීරයේ ප්‍රතිරෝධී පෙරමුණ නම් සංවිධානය භාරගෙන ඇත.

ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව මෙහි වගකීම පාකිස්තාන රජය මත පටවා ඇත. නමුත් මේ වන තෙක් ප්‍රහාරයට පාකිස්තාන රජය සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නැත. ඉන්දියාව ප්‍රකාශ කලේ, මෙම ප්‍රහාරකයන් පාකිස්තානයේ ක්‍රියාත්මක “ලෂ්කර්-ඊ-තයිබා” හා මුජහෙඩීන් සංවිධානයට සම්බන්ධ කණ්ඩායමක් බවයි.

ප්‍රහාරයෙන් පසුව ඉන්දු පාකිස්ථාන රාජ්‍ය තාන්ත්‍රික ගැටුම් උග්‍රවෙමින් පවතී. ඉන්දියාව, වීසා මත එරටෙහි රැඳී සිටින පාකිස්ථාන ජාතිකයන්ගේ වීසා අවලංගු කර පැය 48 ඇතුලත රටින් පිටවීමට නියෝග නිකුත් කර ඇත. 1960 අත්සන් කරන ලද ඉන්දු ජල ගිවිසුම අවලංගු කර දැමුනි. ඉන්දියාවට එරෙහිව පාකිස්ථානයද ඒ ආකාරයෙන්ම ප්‍රතිචාර දක්වා තිබේ. පාකිස්තාන ගුවන් සීමාව ඉන්දියානු ගුවන් යානා වලට වසා දැමුනි. මහකොමසාරිස් කාර්යාලවල රාජතාන්ත්‍රිකයන් අඩු කිරිමට දෙරටම පියවර ගත්හ. දෙරටම දේශසීමා හරස් මාර්ග වසා දමා ඇත.

ඉන්දු-පකිස්ථාන-කාශ්මීර සිතියම

ඉන්දු ජල ගිවිසුම අවලංගු කිරීම් හේතුවෙන් පාකිස්ථානයේ කෝටි සංඛ්‍යාත මහජනතාව හා ගොවියන් අතීශය දුෂ්කර තත්වයකට මුහුන දෙනු ඇත. ඉන්දියාවේ ජල ශක්ති ඇමති සී.ආර්.පතෙල්, ඉන්දු ගඟෙන් ජල බිඳක්වත් පාකිස්ථානයට නොයන බවට තමා සහතික වන බව ප්‍රකාශ කළේය. වීසා අවලංගු කිරීමෙන් පසු, ඉන්දීය පොලිසියේ සෝදිසි මෙහෙයුම් මගින් පාකිස්ථාන ජාතිකයන් අත්අඩංගුවට ගෙන පිටුවහල් කෙරේ. ගුජරාට් පොලිසිය මෙම මෙහෙයුම් මගින් පාකිස්ථාන ජාතික පිරිමින් 524 ක්, කාන්තාවන් 284 හා කුඩා දරුවන් 214 ඇතුළු 1022 ක් පිටුවහල් කර ඇත. පාකිස්තාන ජාතිකයෙකු හා විවාහ වී සිටින කාන්තාවක් තමා මුහුණ දී සිටින තත්වය මාධ්‍යවලට මෙසේ පැහැදිලි කලාය. “පැය 48 න් යන්න කියද්දි කොහොමද එක කරන්නේ? දේශසීමා වහල අපිට මැරෙන්නද කියන්නේ? මගෙ දෙමව්පියන්ගෙ කැමැත්තෙන් මම පකිස්තාන ජාතිකය විවාහ කරගත්තෙ, අපිට දරුවො ඉන්නව, මම මෙහෙ හිරවෙලා. දැන් මම කසාදය අත්හරින්න ඕනෙද? මගෙ දරුවො අත්හරින්න ඕනෙද? ඒක කොහොමවත් වෙන්නෙ නෑ.”

පහල්ගම් ප්‍රහාරය ඍජුවම පාකිස්ථානයට සම්බන්ධ කිරීමට ඉන්දියාව ගන්නා උත්සාහයට එරෙහිව පාකිස්ථාන සෙනෙට් සභාවේ යෝජනාවක් සම්මත කරමින් නියෝජ්‍ය අගමැති ප්‍රකාශ කලේ, ඕනෑම ආක්‍රමණයකට එරෙහිව තම රටේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සදහා පියවර ගන්නා බවයි. පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්ගේ ප්‍රකාශයේ ප්‍රධාන කරුණු දෙකක් සඳහන් වෙයි. පලමුවැන්න, පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව අපක්ෂපාතී, පාරදෘශ්‍ය විමර්ශනයකට සූදානම් බවයි; දෙවැන්න, පකිස්ථානයට අයිති ජලය අඩුකිරීමට හෝ හරවා යැවීමට කරනු ලබන ඕනෑම ප්‍රයත්නයකට පාකිස්ථාන රජය පූර්ණ ලෙස බලය යොදවා උපරිම ශක්තියෙන් ප්‍රතිචාර දක්වන බවයි. ඉන්දියාව දැනටමත් දේශසීමා කරා යුද ටැංකි යවා ඇති අතර, පකිස්ථානය ප්‍රතිචාර වශයෙන් දක්වා ඇත්තේ, ඕනෑම බලහත්කාරයකට එරෙහි වෙමින් ගංගාවන් ලෙයින් පිරවීමට තමන් සූදානම් බවයි.

කාශ්මීර කාන්තාවෝ සාමය හා මිනිස් ගෞරවය ඉල්ලා උද්ඝෝෂනය කරති (News9)

1947 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් හා ඉන්දීය කොන්ග්‍රසයේ සහයෝගයෙන් ජීවමාන ඉන්දියාව කපා වෙන් කිරීමට ගත් තීන්දුව අදටත් කෝටි සංඛ්‍යාත ජනතාවගේ ජීවිත තලා දමමින් ක්‍රියාත්මක වේ. ජම්මු කාශ්මීර අර්බුදය 1947 ඉන්දියාව බෙදීමේ ඍජු ප්‍රතිඵලයකි. ජම්මු කාශ්මීර ප්‍රදේශයේ වැඩි ජනගහනය මුස්ලිම්ය. ඉන්දියාවේ හින්දුවාදී ධනපති පාලකයෝ නිරන්තර මිලිටරි පොලිස් මර්දනයක් යටතේ මෙම ප්‍රදේශ පවත්වාගෙන යති. ඉන්දියානු ධනපති පාලනයට එරෙහිව මෙම කලාපය තුල නිරන්තරව ගැටුම් වාර්තා වන අතර, ඒවා ඉන්දු පාකිස්ථාන යුද්ධ වලටද මග පාදා ඇත. අද දින දෙරටෙහි ජනතාව මුහුණ දී සිටින්නේ මෙම ව්‍යසනයටයි.

එහෙත් මෙවර ඉන්දු-පාකිස්ථාන අර්බුදය පැන නැඟී ඇත්තේ, ඇමරිකානු අධිරාජ්‍යවාදය සිය ලෝක ආධිපත්‍යය සඳහා ලෝක ගෝලයේ විවිධ මර්මස්ථානවල දියත් කර ඇති යුද්ධ මාලාවක් මධ්‍යයේ වීම එක් විශේෂයකි. දෙවැනි විශේෂත්වය නම්, දැන් මේ දෙරටම න්‍යෂ්ටික අවි අත්හදා බලා තිබීමයි. එබැවින්, සම්මුතියේ ලෝක පර්යායක් යටතේ සිදු වූ ඉහත ගැටුම්වලට වඩා, මෙවර ගැටුම තුල, කලාපීය සීමා ඉක්මවා යන අතිශය අන්තරායකර විභවයක් ගැබ්ව පවතී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top