නන්දන නන්නෙත්ති විසිනි
(ඉදිරි කොටස්: කොටස 2)
(මෙහි පලවන්නේ අදින් ඇරඹෙන ලිපි මාලාවක පලමු වැන්නයි. ඊට නිමිත්ත වූයේ සසප වම කන්ඩායමෙන් පලා ගිය ත්‍රිත්වයක් කම්කරු පන්තියේ පක්ෂයක නායකත්වය පිලිබඳ ව, මාක්ස්වාදයට සතුරු ආස්ථානයක් යෝජනා කිරීම ය. මෙම ලිපි මාලාව ඊට එරෙහිව මාක්ස්වාදී විධක්‍රමය හා මූල ධර්ම ආරක්ෂා කිරීම සදහා කැප වෙයි.)
(සැ.යු. ඔවුන්ගේ ලිපියේ උපුටනවල අංක ලෙස මෙම ලිපිය තුල දැක්වෙන්නේ, සිය ලේඛනය තුල ඔවුන් විසින් යොදන ලද අංක බව කරුනාවෙන් සලකන්න.)
ජුලි 6 දා, නීතිඥයෙකු වන සංජය විල්සන්, මිගාර මල්වත්ත සහ සුනිල් මොරායස් යන ත්‍රිත්වය සසප වාම කන්ඩායමේ වෙබ් අඩවිය හා සියලු සංනිවේදන මාධ්‍ය පැහැර ගෙන පලා ගියහ. මාක්ස්වාදී මූලධර්මවලට ප්‍රතිපක්ෂව සසප වාම කන්ඩායම මෙහෙයවා ගැනීමට තමන් දැරූ උත්සාහය සහමුලින් ම අසාර්ථක වූ නිසා ඔවුහු මෙම තීන්දුවට එලඹුනහ. සසප වාම කන්ඩායම යනු 2014 සිට සසප වර්ධනයට බාධා වූ තත්වයන්ට එරෙහිව පක්ෂය තුල සටන් වැදී සිටි හා 2022 දී පක්ෂ නායකත්වය විසින් බොල්ෂෙවික් පිලිවෙත නො තකා නෙරපා හරිනු ලැබූ කන්ඩායම යි. 2021 අවසානය කාර්තුව දක්වා ම අප කන්ඩායමට විරුද්ධව සිටි විල්සන්ට පන්ති අරගලයේ වර්ධනය සමග පක්ෂ නායකත්වයෙන් තමන්ට එල්ල වූ පීඩනය නිසා අප අරගලය පිලි ගැනීමට සිදු විය.
විල්සන් කන්ඩායමේ පලා යාම සිදු වූයේ වාම කන්ඩායම සමග වූ මත භේදවලට මුහුන දීමට තමන් අසමත් බව වටහා ගැනීම නිසා ය. තමන් ජත්‍යන්තරවාදීන් ලෙස හදුන්වා ගත් ත්‍රිත්වය වෙනුවෙන්, සංජය විල්සන් ඇග්‍රිගේට් නමින් පවත්වා ගෙන ගිය අපගේ වට්ස් ඇප් පිටුවේ ජුලි 4දා මෙසේ සදහන් කර තිබිනි. “පිටු 65ක ලිපිය ඉහත එවා ඇත. මෙය කියවන්න ඉන් පසු කතා කරමු.“
ජුලි 6 දා ඔවුහු “සසප නායකත්වයේ ප්‍රතිගාමීත්වයට එරෙහි ෆැක්ෂන් අරගල ය ප්‍රතික්ෂේප කල, ජාතිකවාදී, එනම් ජාත්‍යන්තර කම්ටුවට හා සසපට බැදී ගැනීමට අරගලය නො කරන, සසප ගොඩ නැගීම සදහා අරගලය නො කරන (සසප ගොඩ නැගීම ලෙස ඔහු සදහන් කරන්නේ එහි ඔහු කියන ප්‍රතිගාමී නායකත්වයෙන් සසප ඩැහැ ගැනීම සදහා සිය අභිප්‍රාය බව මෙම ලිපියේ තහවුරු කරනු ඇත)….. සසප වම බහුතර කල්ලිය හා අප අතර කිසිදු සාකච්ඡාවක් ඉදිරියට පලදායී නො වන බව පැහැදිලි ය“ යි ලියූහ.
අපගේ සාකච්ඡා සදහා වූ මාධ්‍ය තම නමින් තිබීමේ වාසිය භාවිත කරමින් ඔවුහු මෙසේ නිවේදනය කර තිබිනි. “වෙබ් අඩවියේ සුජාත හිමකම ඇත්තේ අප ජාත්‍යන්තරවාදී කන්ඩායමටයි…ඇග්‍රිගේට් හා කතිකා වට්ස් ඇප් සංවාද ගෘෘප තුල රැදී සිටීමට ඔබට කිසිදු ඓතිහාසික හිමිකමක් නැත. ඒ අනුව එම ගෘෘපවලින් ඔබ කල්ලිය වහා ඉවත් කරනු ඇත.“
විල්සන්ගේ පලා යාම පුදුමයට කරුනක් නො වේ. සසප පන්ති ව්‍යාපාරය තුල පරීක්ෂනයට ලක් වීමට පෙර ම මොහු මධ්‍යම කාරක සභාවට හා දේශපාලන කමිටුවට පත් කර ගත්තේ ය. 2019 ගොඩ නැගූ කලාව හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුවේ සභාපති ධූරය ද ඔහුට පැවරී ය. නායකත්වය සමග ගැටලු මතු වූ වහා ම විල්සන් දේශපාලන කමිටුව හා ක්‍රියාකාරී කමිටුව හැර පලා ගියේ ය. මෙබඳු ධෛර්ය හීන නිවට පුද්ගලයෙකු කම්කරු පන්ති සදාචාරයට බැඳෙන්නේ නැත.
අප විසින් සාමූහිකව වර්ධනය කෙරුනු-thesocialit.lk -වෙබ් අඩවිය සඳහා රුපියල් 14,500ක් කොලඹ ක්‍රියාකාරී කමිටුවෙන් ලබාගෙන තිබූ අතර එම මුදල කොක්‍රිකට ගෙවීම අප විසින් කල යුතු ය යි කල්ලියේ ප්‍රධාන කොල්ලකරුවා වන සංජය විල්සන් දන්වා එවා තිබිනි. දැනටමත් වටහා ගත හැකි පරිදි ඒ වන විට විල්සන් සමග අපගේ හවුල් ගිනුමක තිබුනු රුපියල් 30,000ක මුදල බේරා ගැනීම සඳහා වහාම ඉවත් කර නො ගත්තේ නම් එය ද කොල්ල කනු නො අනුමාන ය. කෙසේ වෙතත් අපි මේ ගැන විල්සන්ට දැනුම් දුනිමු. වෙබ් අඩවිය තම භාවිතයට ගත් විල්සන් එම මුදලින් ඒ සඳහා ගත් නය බේරන ලෙස අපට ලියා එවා තිබිනි.
මෙසේ පොදු දේපල කොල්ල කෑම, සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීම, බහුතර මතය ගරු නො කිරීම, යනු කම්කරු විරෝධී සුලු ධනේශ්වර නිලධාරිවාදයේ ප්‍රකාශනයෝ වෙති. කෙසේ වෙතත් තමන් ජාත්‍යන්තරවාදීන් යයි ඔවුන් කියාගන්නා දෙය ගැන අප කිව යුතු වන්නේ, අප කිසියම් පුද්ගලයෙකු වටහා ගන්නේ ඔහු තමන් ගැන පවසන දෙයින් නො ව ඔහුගේ ක්‍රියාවන්ගෙන් සහ ඔහු ප්‍රචාරය කරන දෙයින් ය යි කාල් මාක්ස් පවසා ඇති බව ය.
විල්සන් කල්ලියේ කැරැල්ල
මෙම ඊනියා ජාත්‍යන්තරවාදීන් සහ සසප වම අතර දේශපාලනික පිපිරීමට තුඩු දුන් ආසන්නතම සිද්ධිය වූයේ, “පොලීසිය, තමන් නින්දාවට පත් කරන කරුනු පත්‍රිකාවක අඩංගු කල නො හැකි බව කියමින් කොලඹ ක්‍රියාකාරී කමිටුවට (කොක්‍රික) කඩා පනී“ යන හිසින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල අංශය 2024 පෙබරවාරී 29 දා පල කල ලිපිය සම්බන්ධයෙන් අපගේ ප්‍රතිචාරය පිලිබඳ පැන නැඟුනු මතභේදය යි. ආන්ඩුවේ මර්දන හස්තයක් වන “යුක්තියේ මෙහෙයුමට“ එරෙහිව කොක්‍රික දියත් කල අරගලයට පොලිසියේ තාඩන පීඩනවලට මුහුන දීමට සිදු වුනි. සසප ලිපිය පැහැදිලිව ම එම පොලිස් මර්ධනයට එරෙහිව කම්‍කරු පන්තියට අනතුරු හැඟවූයේ ය.
ඒ අතර සසප, කොක්‍රික කෙරෙහි මහජන අප්‍රසාදය කැඳවන ප්‍රකෝපකාරී ප්‍රකාශයක් ද තම ලිපියේ අඩංගු කලේ ය. “සමාජවාදී සමානතා පක්ෂය (සසප) මෙම කොලඹ ක්‍රියාකාරී කමිටුව සමග ගැඹුරු දේශපාලන වෙනස් කම් තිබිය දී ඔවුන්ට එල්ල කර ඇති මෙම රුදුරු ප්‍රහාරයට විරුද්ධත්වය පල කරයි. කොලඹ ක්‍රියාකාරී කමිටුව පිහිටුවාගෙන ඇත්තේ විනය චෝදනා මත සසපයෙන් නෙරපා හරින ලද කන්ඩායමකි,“ යනුවෙන් එහි සඳහන් විය. මෙම ප්‍රකාශය කම්කරු පීඩිත ජනයා කිහිප අතකින් ම නො මග යවනසුලු වන අතර සසප නායකත්වය කවර කලෙකවත් පවතිනවාය කියන මෙම දේශපාලන ප්‍රශ්න පැහැදිලි කිරීමට මැදිහත් වී ද නැත. එසේ මැදිහත් වීමේ හැකියාවක් ද ඊට නැත. සත්තකින්ම එය ලැබුනු සෑම අවස්ථාවකම කොලඹ ක්‍රියාකාරී කමිටුව අප්‍රසාදයට ලක් කර විනාශ කිරීමේ අරමුනින් වැඩ කර ඇත. නමුත් සසප වම බහුතරය මෙම විකෘතියට විරුද්ධව එය නිවැරදි කිරීමට උත්සාහ කලා මිස සසප නායකත්වය අනුගමනය කල පිලිවෙතින් ම ප්‍රතික්‍රියා නො කලේ ය.
රටේ සියලු පක්ෂ හා සංවිධානවල විවෘත හෝ නිහඬ සහාය (සසප මේ පෙරමුනට එක් නො කල යුතු ය) ලැබ ක්‍රියාත්මක වූ රාජ්‍ය මර්දන ව්‍යාපාරයට විරුද්ධව මූලිකත්වය ගෙන ක්‍රියාත්මකව මැදිහත් වූ එකම සංවිධානය කොක්‍රිය යි. ත්‍රිත්වය මෙයින් ලද ප්‍රසාදය මත දෙපා පිහිටුවා ගෙන මුලු වැර යොදා සසපට පහර දීමට යෝජනා කලහ. මාර්තු 2දා සංජය විල්සන් මෙසේ යෝජනා කලේ ය. “සැබෑව නම් සසප නායකත්වයේ කට්ටිවාදය (sectarianism), නිලධාරීවාදය (Bureaucratism) හා අපෝහක විරෝධී සංස්ථිතිකවාදය (conservatism) යන දේශපාලන ප්‍රවනතාවයන් හෙලි දරව් කිරීමට කටයුතු කරමින් ලංකාවේත් මෙම කලාපයේත් විප්ලවවාදී පක්ෂය ආරක්ෂා කිරීමට අඛන්ඩව කටයුතු කරමින් සිටින්නේ සසප වාම කන්ඩායම යි.“
හාස්‍යජනක කරුන නම්, යුක්තියේ මෙහෙයුමට එරෙහිව අප ගෙන ගිය අරගලයට මුල සිට ම විරුද්ධව සිටි මිගාර මල්වත්ත සහ සුනිල් මොරායස් යන ත්‍රිත්වයේ සාමාජිකයින් දෙදෙනා වහාම සංජය විල්සන්ගේ සහායට පැමිනීම ය. ඔවුනට වැදගත් වූයේ රාජ්‍ය මර්ධනයට එරෙහි ව මහජනයා බලමුලු ගැන්වීම පසෙක තබා ශ්‍රී ලංකාවේ එකම කම්කරු පන්තික විප්ලවවාදී පක්ෂය වන සසපයේ නායකත්වයට මුලධර්ම විරහිත ප්‍රහාරයක් එල්ල කිරීම බව සනාථ කිරීමට ඉහත උපුටනය වුව ප්‍රමානවත් ය. රාජ්‍ය මර්ධනයට ඉඩ දෙමින් දකුනු ආසියාවේ එක ම කම්කරු පන්තික විප්ලවවාදී පක්ෂයට මූලධර්ම විරහිත ප්‍රහාරයක් ඉල්ලා සිටීමේ ක්‍රියාව වෛෂයිකව සැලකූ විට, ඒ කම්කරු පන්තියට ද්‍රෝහි වීමක් හැර එහි අන් අර්ථයක් තිබේ ද?.
මාර්තු 13 සසප වම වෙනුවෙන් නන්දන නන්නෙත්ති ලියූ, “රාජ්‍ය මර්දනයට එරෙහි කොලඹ ක්‍රියාකාරී කමිටුව හා ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ භාවිතය“ යන ලිපිය බහුතරයේ අනුමැතියෙන් thesocialist.lk හි පල කෙරින.
සංජය විල්සන්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කල එය, සසප ලිපිය කොක්‍රිකට එල්ල කල ප්‍රහාරයේ අර්ථය පැහැදිලි කිරීමෙන් ඉක්බිති මෙසේ අවසන් කලේ ය. “සසප මෙම තත්වය බැරෑරුම්ව සලකා බැලිය යුතු ය. වෛෂයික සත්‍යය යටපත් කිරීමට අවස්ථාව සැලසූ කොන්දේසි එකිනෙක බිඳ වැටෙමින් පවතී. වර්ධනය වන පන්ති අරගලය සත්‍යය ඉස්මත්තට ගෙන එනු ඇත.“
මෙම ලිපිය නිසා උරන වූ විල්සන් කල්ලිය, සිය මූලධර්ම විරහිත ප්‍රයත්නය ජාත්‍යන්තරවාදයේ නමින් ඉදිරිපත් කරමින් සිටින අතර ම, කන්ඩායමේ සතිපතා රැස්වීම් හා ක්‍රියාකාරි මැදිහත් වීම් කඩාකප්පල් කිරීමට වැඩ කලේ ය. විල්සන් කොක්‍රික සභාපති ලෙස ඔහුට පැවරුනු වගකීම් නො තකා එය අක්‍රීය කිරීමට ද ක්‍රියා කලේ ය. තමන්ට ප්‍රශ්න ඇති නිසා ඒවා විසඳෙන තෙක් කිසිවක් කල නො හැකි යයි කී විල්සන් කල්ලිය විසින්, මාර්තු සිට ජුලි දක්වා මාස පහක කාලයක් ඒවා විසඳා ගැනීමට ලබා දුන් සියලු අවස්ථා මගහරින ලදී.
විප්ලවවාදී ව්‍යාපාරය වර්ධනය වන්නේ පරස්පර විරෝධය මග හැරීම තුල නො ව පරස්පර විරෝධයන් ජය ගැනීමට ගෙන යන අප්‍රතිහත අරගලය තුල ය. විල්සන් ත්‍රිත්වය අපෝහක භෞතිකවාදයේ මෙම මූලධර්මයට හතුරු වූහ. අපි වට්ස්ඇප් ගෘෘපය තුල ලිඛිතව ගෙන ගිය සාකච්ඡාවට අමතරව විශේෂ සාකච්ඡා දෙකක් මැයි 3 හා මැයි 12 දෙදින තුල ත්‍රිත්වය සමග සිදු කලෙමු. ඔවුන් දිගින් දිගටම අවධාරනය කරමින් කියා සිටින, සසප නායකත්වයේ ඇතැයි කියන ප්‍රතිගාමීත්වය අවස්ථාවාදය යනාදිය වෛෂයික, ඓතිහාසික පදනමක පිහිටා විශ්ලේෂනය කර සනාථ කරන මෙන් අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටියෙමු. එවිට ඔවුහු එම ප්‍රශ්නයට ප්‍රතිචාරය ලෙස ලිඛිත ප්‍රකාශයක් ලබා දීමට පොරොන්දු වූහ. ඉන් අනතුරුව සාකච්ඡාව ගෙන යා හැකි බව ඔවුහු යෝජනා කලහ. ඒ අනුව මාස දෙකකට පසු එකම දේ පුනරුච්චාරනය කරමින් ඉවබවක් නැති චෝදනා හා ඕපාදූපවලින් පිර වූ පිටු 65ක් අපට භාර දුන් ඔවුහු ඉන් දින දෙකකට පසු සාකච්ඡා කිරීමට දෙයක් නැතැයි පලා ගියහ.
වගකීම් විරහිත චෝදනා
ලිපියෙන් ඔවුහු මේවා ගෙන හැර දක්වති: “සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය සමග වාස්තවිකව පෙල ගැසීම,“ “2015 සම්මේලනය ව්‍යවස්ථා විරෝධී ලෙස කැඳවීම,“ “සාමාජිකත්වය දෙගුනයක් කිරීමට 2020 යෝජනාව කඩාකප්පල් කිරීම මගින් ඓතිහාසික මට්ටමේ දේශපාලන අපරාධයක් සිදු කිරීම,“ 2021 ගුරු අරගලය තුලදී “මහා වර්ජනයකට මුහුන දීමේ නුසූදානම පෙන්නුම් කරමින් කම්කරු පන්තිය තුල විශ්වාසය බිද ගැනීම,“ “විප්ලවවාදී ප්‍රවනතාවය සම්පූර්නයෙන් ම විප්ලවවාදී පක්ෂයෙන් මෙන් ම හජාජාකවෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පලවා හරිමින් ඓතිහාසික අපරාධයක් සිදු කිරීම,“ “2022 විප්ලවවාදී නැගිටීමේ දී ඓතිහාසික පරීක්ෂනයෙන් අසමත් වීම.“
මෙහි සඳහන් අතිශයෝක්ති නො තකා, ඒවා ඒ හැටියට ම සත්‍යය යයි අප මොහොතකට පිලිගත්තත් මේවා එම චෝදනාවල යථා සම්බන්ධතා පැහැදිලි නො කරයි. ප්‍රශ්න හුදෙක් දමා ගැසීම හෝ ඒවා මග හැර සිටීමේ ප්‍රතිඵලය වන්නේ, ඒවාට හේතු වන ධනේශ්වර සමාජ පරස්පර විරෝධයන් හඳුනා ගැනීමට ඇති අවස්ථාවන් අහිමි කර දමා පවත්නා විඥානයට තවතවත් වර්ධනය වෙමින් පැවතීමට ඉඩ හසර විවර කිරීම ද, ඉන් නො නැවතී තමන්මත් ඒවායේ ගොදුරක් බවට පත් වීම ද බව ඉතිහාසයේ අත් දැකීමයි.
මොවුහු දිගින් දිගටම සසප නායකත්වය ප්‍රතිගාමී ය යන තමන්ගේ නීර්නය පිලිගන්නා ලෙස අපට බලපෑම් කලහ. ලිපියේ පිටුවක් පාස ප්‍රතිගාමී යන වචනයෙන් සසප නායකත්වය හඳුන්වන අතර එහි 10 ඡේදයෙන් “ප්‍රතිගාමී සසප නායකත්වය විස්ථාපනය කරමින් ව්ප්ලවවාදී පක්ෂය තුල නිවැරදි නායකත්වයක් පිහිටු වීමට උදයප්‍රේම -නන්දන කන්ඩායම සූදානම් නැත“ යි අපට චෝදනා කරයි. අපි එම චෝදනාව නො පැකිල පිලි ගනිමු.
විල්සන් තම ස්ථාවරය සම්බන්ධයෙන් කෙතරම් නිර්දය වූයේ ද යත් උදයප්‍රේම සහෝදරයා ලියා thesocialist.lk අපගේ වෙබ් අඩවියේ 2024 ජුනි 28 දින පලකල “වැටුප් දීමනා ලබා නො දීමේ ආන්ඩුවේ පියවර හා කම්කරු අරගල“ යන ලිපිය කන්ඩායමේ විරුද්ධත්වය නො තකා තමන්ට අවශය පරිදි වෙනස් කලේ “සසප නායකත්වයේ ප්‍රතිගාමීත්වයට“ යනුවෙන් පදයක් ඊට එක් කරමිනි. විල්සන් “කතෘ වෙබ් අඩවියේ දේශපාලන පිලිවෙත් අනුව ලිපියට එක් කරනු ලැබූ අවසන් ඡේදයට ලේඛකයා බලවත් නො එකඟතාවය පලකර ඇති බව කරුනාවෙන් සලකන්න.“ යි ලිපියට පහලින් සටහන් කලේ ය. වෙබ් අඩවියේ දේශපාලන පිලිවෙත් අප විසින් පත්කෙරුනු කතෘට තීන්දු කල නො හැකි බව කවුරුන් වුවත් පිලිගනු ඇත.
හුදු වැරදි ගැන නන් දෙඩවීම හැර සසප නායකත්වයේ ප්‍රතිගාමීත්වය (reactionary) සමාජයේ ඉදිරි ගමන වැලැක්වීම හෝ ආපස්සට ගමන් කරවීමට උත්සාහ දැරීම යන එහි නියම අර්ථයෙන් පැහැදිලි කර සනාථ කිරීමට ඔවුන් කිසි දිනක උත්සාහ කර නැත. නමුත් “පක්ෂ නායකත්වයේ පවතින හඳුනා ගත් ප්‍රතිවිප්ලවවාදී හා අවස්ථාවාදී ප්‍රවනතාවක්“ නො තකා හැරීම ගැන ද ඔවුහු සසප වමට චෝදනා කරති. (උක්ත පිටු 65 ලිපිය 45 පිටුව) ප්‍රතිවිප්ලවවාදී නායකත්වයක් විසින් මෙහෙයවනු ලබන පක්ෂයක් ප්‍රගතිශීලී වීමට ඉඩක් නැති බැවින් ඉහත සඳහන් චෝදනා අනුව මේ පක්ෂය තවදුරටත් විප්ලවවාදී පක්ෂයක් ලෙස පැවතිය නො හැකි ය. අනික් අතට ප්‍රතිගාමී නායකත්වයක් විසින් මෙහෙයවනු ලබන පක්ෂයක් ප්‍රගතිශීලී වීමට ද ඉඩක් නැත. මන්ද යත්, ඉතිහාසයේ පාඩම් අනුව පක්ෂ ගොඩ නගනු ලබන්නේ ද, ඒවා විනාශ කරනු ලබන්නේ ද නායකත්වයන් විසින් මිස සාමාජිකයන් විසින් නො වන නිසා ය. එවන් නායකත්වයක් ජාතිකවාදී ප්‍රතිගාමී ධනේශ්වරයේ ම උපකරන, වර්ගවාදී, ආගම්වාදී, ව්‍යාජ වාම වන් ප්‍රපංචයක් ලෙස මතු වී සිටිය යුතු ය. තතු එසේ නම්, පක්ෂය ම කම්කරු පන්ති ව්‍යාපාරයෙන් පලවා හැරීමට සටන් කිරීම මිස එහි සාමාජිකත්වය උදෙසා අරගලයක් විප්ලවවාදීන්ට තිබිය නො හැකි ය.
නිලධාරිවාදය
එසේ ම අප වාම කන්ඩායම පක්ෂයෙන් නෙරපා හැරීම වැනි කරුනු කිහිපයක් සසප නායකත්වයේ නිලධාරිවාදයට (Bureaucratism) සාක්ෂි ලෙස ඔවුන් ගෙන හැර පා ඇත. සසප නායකත්වය තුල නිලධාරීවාදී ප්‍රවනතාවක් වැඩෙන බව ප්‍රදර්ශනය කල බොහෝ අවස්ථා ඇති බව අපි පිලිගනිමු. ඒවා පක්ෂය තුල කුෂ්ටයක් මෙන් වැඩෙන්නට ද උත්සාහ කරයි. පක්ෂයේ පරිහානියට දැනටමත් හේතු වී ඇති මේ තත්වයට පිලියම් නො කලහොත් පක්ෂය විනාශයට බඳුන් වීම නො වැලැක් විය හැකි ය. එහෙත් මේ තත්වය සියලුම විප්ලවවාදී මූල ධර්ම යටපත් කරමින් පරිපාකයට පත් වී ඇතැයි අපට කිව හැකි නො වේ. අපි බිත්තරයට කුකුලා යයි නො කියමු. නිලධාරීවාදය පරිපාකයට පත් වී ඇති පක්ෂයකට තව දුරටත් ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකත්වය දැරීමට ඉඩ ලැබෙනු ඇතැයි සිතීමට හැකි වීම නිලධාරිවාදය තරම් ම භයානක ය.
කාල් මාක්ස් සහ ෆෙඩ්රික් එංගල්ස් නිලධාරිවාදය යනුවෙන් අදහස් කලේ, සමාජයේ පාලනයෙන් මුලුමනින් ම ස්වාධීන හා සමාජය පාලනය කරන රාජ්‍ය මෙවලමකි. සාමාන්‍ය කාලවල දී එහි පාලනය සූරා කැවෙන පන්තිය මත අධිකාරය දරයි. මෙම ප්‍රශ්නය එලඹෙන විප්ලවය විසින් විසඳෙනු ඇතැයි ඔවුහු විශ්වාස කලහ. වත්මන් පන්ති සමාජයේ ධනපති දේශපාලන පක්ෂ, ව්‍යාජ වාම පක්ෂ හා වෘත්තීය සමිති ධනේශ්වර පාලනයේ නිලධාරිවාදී උපකරන ය.
1905 දී ලෙනින් මෙන්ෂෙවික් කන්ඩායම මාධ්‍යමික නිලධාරිවාදී කන්ඩායමක් බව හඳුනා ගත්තේ ය. එය මහජනයාගේ ඓතිහාසික අවශ්‍යතා ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට ධනේශ්වර ප්‍රතිසංස්කරනවාදය හා විප්ලවවාදය අතර වැනුනේ ය. ලෙනින් මෙම කන්ඩායම ක්ෂමා විරහිත ලෙස පිටු දැක්කේ ය. එම තීන්දුව සනාථ කරමින් එම කන්ඩායම රුසියානු විප්ලවයට එරෙහිව ධනපති පාලනයක් වෙනුවෙන් පෙනී සිටියේය. තවත් වරෙක ඉහත ආස්ථානය තව දුරටත් ඉස්මතු කරමින් ලෙනින්, පැහැදිලිකම සඳහා සටන් කිරීම වෙනුවට තේරී පත්වීම උදෙසා සටන් කිරීම නිලධාරිවාදය ලෙස නම් කලේ ය. මෙම ප්‍රකාශයට අනුව පලා ගිය විල්සන් කල්ලිය ද අනුයමින් සිටින පිලිවෙත වන, පැහැදිලිකම සඳහා කෙරෙන සාකච්ඡා හා විශ්ලේෂන පසෙක තබා තම අදහස් කෙසේ හෝ සෙසු අය මත පැටවීමේ බලහත්කාරය, හා පොදු දේපල කොල්ල කෑමේ භාවිතය ද නිලධාරිවාදයේ ලක්ෂනයකි.
එහෙත් තන්ත්‍රය සහ නිලධාරිවාදය යන වචනවල වෙනසවත් මෙම කල්ලිය නො දනී. ඔවුන්ගේ පිටු 65 තුල සඳහන් වන්නේ මේ දෙක ම එකක් බව ය. විප්ලවවාදී පක්ෂවල තන්ත්‍රයක් නැතැයි ඔවුහු සිතති. වෙනත් ඕනෑම සංවිධානයකට මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී, මධ්‍යගත විප්ලවවාදී පක්ෂකට නිලධාරි මන්ඩලයක් සහිත තන්ත්‍රයකින් තොරව පැවතිය නො හැකි ය යන කරුනට ඔවුන් අන්ධ ය.
සෝවියට් සංගමය පාලනය කල බොල්ෂෙවික් ප්‍රජාතන්ත්‍රවාදී තන්ත්‍රය පැහැර ගත් සෝවියට් රුසියාවේ ස්ටැලින්වාදී තන්ත්‍රය, සමස්ථ ලෝක කම්කරු පන්තියේ ම අවශ්‍යතා සිය අරමුනුවලට යටත් කල නිලධාරිවාදී තන්ත්‍රයකි. එහෙත් අවස්ථාවාදය වැලඳ නො ගත්, කම්කරු පන්ති ජාත්‍යන්තර ඉදිරි දර්ශනය සඳහා සටන් කරන පක්ෂයක් තුල නිලධාරීවාදී ප්‍රයත්න ඉස්මතු වීම පරස්පර විරෝධී තත්වයකි. මේ ගැටලුව විසඳා ගැනීම වෙනුවට තමන්ට වාසි පැත්තෙන් අල්ලා ගෙන පොර වදින්නේ, වෛෂයික සත්‍යය වෙනුවට, තමන්ට අවශ්‍යය ප්‍රතිඵලය ලබා ගැනීමේ අරමුන වෙනුවෙන් ක්‍රියා කරන තත්කාර්යවාදීන් ය.
අනෙක් අතට පක්ෂ නායකත්වය තුල නිලධාරීවාදය මතු කල වෛෂයික කොන්දේසි ගැන ත්‍රිත්වය නිහඬ ය. ඒ වෙනුවට ස්ටැලින්වාදී නිලධාරීවාදය ගැන කරුනු කියයි. මාක්ස්වාදීන් පැහැදිලිව ම වටහාගෙන ඇති පරිදි ස්ටැලින්වාදී නිලධාරිවාදය වෛෂයික පදනමක් නැති, ඉබේ පහල වූ, හුදු ආත්මීය දුර්වලතාවයන්ගේ ප්‍රකාශනයක් නො ව, අධිරාජ්‍යවාදය විසින් වට කරනු ලැබූ පසුගාමී රටක විප්ලවය, ලෝක විප්ලවය පමා වීමෙන් හුදකලා වීම, ලදරු කම්කරු රාජ්‍යය වසර තුනක සිවිල් යුද්ධයකට මුහුන පෑම, භාන්ඩ හිගය යන තත්වයන්ගේ ප්‍රකාශනයකි.
මෙයින් ම පැහැදිලි වන පරිදි, නායකත්වයක බරපතල වැරදි වටහා ගත හැකි වන්නේ, එය වැඩ කරන ජාතික හා ජාත්‍යන්තර ආර්ථික දේශපාලන කොන්දේසි තුලින් ඒවා පැන නැග වර්ධනය වූ ආකාරය පිලිබඳ ව ඓතිහාසික භෞතිකවාදය මත පදනම් ව සිදු කෙරෙන විශ්ලේෂනයකින් පමනි. විල්සන් කල්ලිය, පක්ෂ නායකත්වයේ ප්‍රශ්න හුදෙක් ම එම නායකයන්ගේ සදාචාරය පිලිබඳ ගැටලු බවට සිඳලයි..
(සැ.යු; මෙහි, නිලධාරිවාදය යන උපශීර්ෂය යටතේ සිව්වන ඡේදයේ තුන්වන පේලියෙහි ආ ‘පක්ෂයකට නිලධාරි තන්ත්රයකින් තොරව’ යන වාක්‍ය ඛන්ඩය යම් ව්‍යාකූලත්වයකට තුඩු දෙන බව හැඟී ගිය නිසා “නිලධාරි මන්ඩලයක් සහිත තන්ත්‍රයක්“ යනුවෙන් පසුව සංස්කරනය කරන ලදී.)