යුක්‍රේනයේ යුද්ධයෙහි ඓතිහාසික හා දේශපාලන පසුබිම පිලිබඳව මිතුරෙකුට ලියූ ලිපියක් – 1

පහත දැක්වෙන ලිපිය, රුසියානු – යුක්‍රේන් යුද්ධය පිලිබඳව මෑතකදී එජ සරසවියක පැවැත්වූ අන්තර්ජාල සාකච්ඡාවක් සම්බන්ධයෙන් සිය මතය විමසා සිටි මිතුරෙකුට ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් යවන ලද්දකි.

2024 මාර්තු 24 දින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල පිටුවේ පල වූ මෙම ලිපිය, යුක්‍රේන් යුද්ධය පිලිබඳ තියුනු පැහැදිලිකමක් ගෙන එයි. මෙම ලිපිය මෙහි කොටස් වශයෙන් පල කෙරෙනු ඇත.

(ඉදිරි කොටස්: කොටස 2)

ප්‍රිය මිත්‍රය,

රුසියානු-යුක්‍රේන් යුද්ධය සම්බන්ධයෙන් පැවැති අන්තර්ජාල සාකච්ඡාව කෙරේ මගේ අවධානය යොමු කරවීම පිලිබඳවත්, එකී විශ්ව විද්‍යාලයීය කටයුත්තට මට සම්ප්‍රවේශය සලසා දීම පිලිබඳවත් ඔබට ස්තුතිවන්ත වෙමි. එකී ප්‍රචාරයට සවන් දුන් මම දැන්, ඔබ ඉල්ලා ඇති පරිදි, ශාස්ත්‍රාලයීයයන් දෙදෙනාගේ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මගේ “වෘත්තීයමය” අදහස දක්වන්නෙමි. මගේ අවධානය කේන්ද්‍රගත වන්නේ, සමූලඝාතනය පිලිබඳ අධ්‍යයන ක්ෂේත්‍රයේ ඔහුගේ කටයුතු මා හට සමීප වන ඉතිහාසඥයාගේ ප්‍රකාශ කෙරේ ය. කොයි හැටියෙනුත් වඩාත්ම සැලකිය යුතු පරිකථනයන් ඉදිරිපත් කලේ ඔහුය.

කෙලින්ම කිවහොත්, ලෝක සිදුවීම්වල මෙම තීරනාත්මක හා බියකරු හැරුම් ලක්ෂ්‍යය කෙරේ ඔහුගේ නොගැඹුරු ප්‍රවේශයෙන්, ඉදින් මම මවිතයට පත් නොවීම් නම්, කලකිරීමට පත් වීමි. ඔබ දන්නා පරිදි, යුද්ධය පිලිබඳ මගේ තක්සේරුව ජාත්‍යන්තර සමාජවාදී දේශපාලනයේ ක්‍රියාකාරීව හුන් අයෙකුගේ තක්සේරුවකි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය යුක්‍රේනයට එල්ල කල රුසියානු ආක්‍රමනය ප්‍රසිද්ධියේ හෙලා දැක ඇත. කෙසේවෙතත්, දේශපාලනික වමේ මෙම සප්‍රතිපත්තික විරුද්ධත්වයත්, මෙම ආක්‍රමනය කිසිදු කුපිත කිරීමකින් තොරව රුසියාව විසින් ගන්නා ලද ප්‍රචන්ඩ පියවරක් ලෙස ඉදිරිපත් කරන අපරූපී ඒක පාර්ශ්වික එජ-නැටෝ නිල ප්‍රචාරන ආඛ්‍යානයත් අතර පොදු කිසිවක් හෝ නැත.

යුද්ධ හා විප්ලව වැනි තීරනාත්මක සිදුවීම් නොවෙනස් ලෙස හේතු ඵල සම්බන්ධය පිලිබඳ සංකීර්න ගැටලු ඉස්මතු කරයි. බැරෑරුම් දේශපාලන විශ්ලේෂනයක දී, ඉතිහාසය පිලිබඳ අධ්‍යයනයක් යනු අත්හල නොහැකි පදනමක් වීමේ එක් හේතුවක් වන්නේ එයයි. මෙම පොදු සත්‍යය, රුසියාව පිලිබඳ කවර හෝ සාකච්ඡාවක දී සුවිශේෂී වැදගත්කමක් අත්පත් කර ගනී. එම රට, විසිවන සියවසේ වඩාත්ම වැදගත් දේශපාලන සිදුවීම බවට තර්ක කල හැකි සිද්ධිය – එනම්, 1917 ඔක්තෝබර් විප්ලවය – සිදු වූ ස්ථානයයි. එකී විප්ලවයේ ඓතිහාසික, දේශපාලනික හා බුද්ධිමය උරුමය, තවමත්, අපේ කාලයේ පවා, රාව ප්‍රතිරාව නංවයි. අද්‍යතන ලෝකයේ දේශපාලනය හා ගැටලු වටහා ගැනීම සඳහා සෝවියට් ඉතිහාසය හැදෑරීම තවමත් තීරනාත්මකය.    

මෙම කරුන මතුකිරීම වූ කලී දේශපාලන භාවානුගතිය පිලිබඳ කාරනාවක් නොවේ. ඉතිහාසඥයාගේ ආරම්භක ප්‍රකාශ එක්සත් සෝවියට් සමාජවාදී සමූහාන්ඩුවේ අවසාන දශක පිලිබඳව කෙටියෙන් සඳහන් කරමින් එහි විසුරුවා හැරීම විසින් ඇති කෙරුනු කම්පනය පිලිබඳව අවධාරනය කලේය. කෙසේවෙතත්, ව්ලඩිමීර් පුටින්ගේ පෞද්ගලික මනෝ විඥානය මත මෙම සිදුවීම ඇති කල බලපෑම සම්බන්ධයෙන් වූ ඔහුගේ අවධාරනය, රුසියාව හෝ වත්මන් යුද්ධය හෝ පිලිබඳ බැරෑරුම් වටහා ගැනීමකට මඟ පෑදුවේ නැත. සෝවියට් සංගමය විසුරුවා හැරීමට ස්ටැලින්වාදී නිලධරය ගත් තීන්දුව විසින් මතු කෙරුනු රාජ්‍ය තන්ත්‍රයේ සමාජ ආර්ථික පදනම් පිලිබඳව පැහැදිලි කිරීමට ප්‍රයත්නයක් ඔහු නොදැරීය.      

අත්‍යවශ්‍ය ප්‍රශ්න මතු නොකෙරින. පුටින් පාලනය ගෙන යන්නේ කාගේ උත්සුකයන් මත ද? පුටින්ගේ හා සෝවියට් සංගමයේ විදෙස් පිලිවෙත් සංසන්දනය කිරීමේ දී එම පිලිවෙතේ කවර අංගෝපාංග වෙනස් වී ද? කවර අංග දිගටම පවත්වා ගැනුනි ද?

භූගෝලය යනු එක් නොනැසී පවත්නා සාධකයෙකි. එය, ඒ සා මහත් ආක්‍රමන රැසකට බඳුන් වී ඇති භූමි භාගයක් වන රුසියාව හමුවේ දිගටම හොල්මන් කල සාධකයයි. එහි ලක්ෂ 300 ත් 400 ත් අතර පුරවැසියන් සංඛ්‍යාවකට මරනය උරුම කර දුන්, යන්තම් වසර 80 කට ඉහත නාසි ජර්මනිය විසින් දියත් කරන ලද සමූලඝාතක යුද්ධය පිලිබඳව මෙහිදී මා අමුතුවෙන් සඳහන් කල යුතු ද? 1989 දී බර්ලිනයේ කේජීබී මූලස්ථානයෙන් පිටත ඇති වූ කලහකාරී සිදුවීම් පුටින් තුල ඇති කල බලපෑම පිලිබඳව ඉතිහාසඥයා සඳහන් කලේය. “මහා දේශප්‍රේමී යුද්ධය” (1941 ජූනි 22 දා සිට 1945 මැයි 9 වන දින දක්වා දෙවැනි ලෝක යුද්ධයේ නැගෙනහිර යුද පෙරමුනේ නාසි ජර්මනිය හා සෝවියට් දේශය අතර ඇති වූ සටන් හැඳින්වීමට සෝවියට් දේශය භාවිතා කල යෙදුමකි -පරිවර්තක) හා එහි පසු කම්පන පිලිබඳ චිරස්ථායී සමාජගත ස්මරනයන් ඔහු තුල ඇති කරනු ඇති බලපෑමට වඩා වැඩි බලපෑමක් එකී (බර්ලිනයේ) සිදුවීම විසින් ඔහු වෙත ඇති කෙරෙතැයි මට විශ්වාස කල නොහැක.

1949 සිට නැටෝවේ නැගෙනහිර දෙසට ප්‍රසාරනය දැක්වෙන සිතියමක් (අනුග්‍රහය: විකිමීඩියා)

1941 ජූනි 22 වන දින ආරම්භ වූ ව්‍යසනය රුසියානුවන්ගේ සාමූහික විඥානයේ කා වැදී පවතින්නකි. මෙය දෙවැනි ලෝක යුද්ධයෙන් පුටින් විසින් උපුටා ගන්නා ලද්දා වූ – ඇලෙක්සැන්ඩර් ඩුගින් වැනි අන්ත දක්ෂිනාංශික කොටස් ගැන කියනුම කවරේ ද – ජාතිකවාදීමය නිගමන සාධාරනීකරනය කිරීම සම්බන්ධ කාරනයක් නොවේ. එහෙත් කම්කරුවන් අතර ද ඇතුලුව පවත්නා රුසියානු අනුබෝධයන් වටහා ගැනීමෙහි ලා, අහිමි වූ අධිරාජ්‍යයක් පිලිබඳව පැවැත්තේ යයි කියනු ලබන සිහිනවලට වඩා, දෙවැනි ලෝක යුද්ධයේ අත්දැකීම වඩාත් වැදගත් වේ.

එසේ පවසන අතරම, යුද්ධය පිලිබඳ එම අන්තර්ජාල සම්මන්ත්‍රනයේ සාකච්ඡාව සම්බන්ධ වඩාත්ම ගැටලුකාරී කරුන ලෙස මා දුටුවේ, පසුගිය 30 වසර පුරා, නිරතුරුවම නැටෝ අනුචරයන්ගේ සහාය ලබමින් එක්සත් ජනපදය විසින් දියත් කරන ලද යුද්ධ පිලිබඳව කිසිදු සඳහනක් එහි දී සිදු නොවීමයි. මෙම යුද්ධය සම්බන්ධයෙන් මාධ්‍ය තුල කෙරුනු සමස්ත වාර්තාකරනය ලක්ෂනනය වී තුබුනේ අපුල දනවන සුලු මට්ටමක කුහකකමකිනි. ඉදින් පසුගිය මස තුල රුසියානුවන්ට වගකීම පවරා ඇති සියලු අපරාධ චෝදනා මුලුමනින් සත්‍යයැයි යමෙකු විසින් සලකන ලද ද, ඒවා එක්සත් ජනපදය හා නැටෝව විසින් ඉරාකයේ, ලිබියාවේ හා ඇෆ්ගනිස්තානයේ දී සිදු කල භීෂනයේ පරිමානයට එලැඹීමට සමත් නොවේ. එජ බෝම්බ දැමීම්, මිසයිල ප්‍රහාර හා ඉලක්කගත ඝාතනවලට ගොදුරු වූ අනෙකුත් රටවල් ගැන කීම පවා අවශ්‍ය නොවේ. විද්‍යුත් මාධ්‍යවලින් ප්‍රචාරය කෙරෙන හා මුද්‍රිත මාධ්‍යවලින් දකින්නට ලැබෙන ප්‍රවෘත්තිවලට අනුව, එක්සත් ජනපදය සාමූහික විස්මෘතියේ කිසියම් දරුනු අවස්ථාවකින් ආබාධිතව සිටින්නේය යන සංකල්පනය යමෙකුට ඇති විය හැක.       

“තිගැස්ම සහ විස්මය” (අතිප්‍රබල ලෙස බලය යෙදීමෙන් හා සුවිශේෂී බලයක් ප්‍රදර්ශනය කිරීමෙන් සටන්බිම පිලිබඳ ප්‍රතිවාදියාගේ ධාරනාවන් හිරිවට්ටවා, සටන් කිරීමට ඔහුගේ ඇති චේතනාව විනාශ කිරීම මත පදනම් වූ මිලිටරි උපාය මාර්ගයකි. මෙම සංකල්පය 1996 දී හාර්ලන් කේ. උල්මන් හා ජේම්ස් පී. වේඩ් විසින් පැහැදිලි කරනු ලැබ එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දී, සුවිශේෂී ලෙස එජ මිලිටරිය විසින් භාවිතා කරනු ලැබීම සඳහා වර්ධනය කරන ලදී – පරිවර්තක) කිසිවෙකුට මතක නැති ද? ඉදින් පෙන්ටගනය යුක්‍රේනය සමඟ යුද්ධය සැලසුම් කලේ නම්, යුද්ධයේ ප්‍රථම රාත්‍රියේ දී ම කියෙව් හා කාකිව් සමතලා කෙරෙනු ඇත. එජ මාධ්‍ය ක්‍රියා කලේ, ජීවිත තුනක් විනාශ කල මරුයුපුල්හි මාතෘ රෝහලට එල්ල වූ ප්‍රහාරය (එහි වර්තමාන භාවිතය තුල ඉදිරිපත් කෙරෙන විස්තාරනය සත්‍ය සේ පිලිගනිමින්) කිව නොහැකි තරම් වූ කෲර ක්‍රියාවක් ලෙස සලකමිනි. 1991 පෙබරවාරියේ දී, 1,500 ක් ස්ත්‍රීන් හා දරුවන් මරා දමමින් බැග්ඩෑඩය අසබඩ ඇමිරීයාහි ගුවන් ප්‍රහාරවලින් ආරක්ෂා වීමේ රක්ෂස්ථානයට එල්ල කෙරුනු එජ බෝම්බ ප්‍රහාර සියලු දෙනාට අමතක වී ගොස් ද? එක්සත් ජනපදයේ “තෝරා ගත් යුද්ධ”වල ප්‍රතිඵලයක් ලෙස සිදු වූ මරන සංඛ්‍යාවේ ඓක්‍යය දශ ලක්ෂයක් ඉක්මවා යන බවට විශ්වාසයෙන් යුතුව තක්සේරු කල හැකිය. තව ද, මියයාම් තවමත් සිදු වේ. ඇෆ්ගනිස්ථානයේ දශ ලක්ෂ සංඛ්‍යාත දරුවෝ හාමතයට ගොදුරු වෙමින් සිටිමි. නැටෝ බෝම්බ දැමීම්වලින් ලිබියාව තුල නිර්මානය කෙරුනු ව්‍යසනයෙන් නිර්මිත, අඳුරු පැහැති සමැති සරනාගතයෝ තවමත් මධ්‍යධරනී මුහුදේ ගිලී යමින් සිටිති. කිසිවෙකු මීට අවධානය යොමු කරත් ද? මධ්‍යම ආසියාවේ හා මැද පෙරදිග මිනිසුන්ගේ ජීවිතවලට ඇත්තේ යුක්‍රේනයේ යුරෝපීයයන්ගේ ජීවිතවලට වඩා අඩු වටිනාකමක් ද?               

දැන් පුටින් හිට්ලර් සමඟ සංසන්දනය කරන මාධ්‍යවේදීන්ට, සර්බියාවට එරෙහි ගුවන් සටන් අතරතුර දී හා පසුකලෙක ඉරාක ආක්‍රමනය අතරතුර දී තමා ම ලියු දෑ අමතක වී ඇති සේ ය. ඉතිහාසඥයා නිව්යෝර්ක් ටයිම්ස්හි තෝමස් ෆ්රීඩ්මන් හඳුන්වා දුන්නේ ප්‍රමුඛ භූ දේශපාලන චින්තකයෙකු ලෙස ය. සර්බියාවට එල්ල වූ එජ – නැටෝ බෝම්බ දැමීම් අතරතුර 1999 අප්‍රේල් 23 වන දින ඔහු ලියූවේ කුමක්දැයි අපි සිහිපත් කරමු:  

එහෙත් නැටෝවේ එකම ශක්තිය ඔවුන්ට සදාකාලිකව බෝම්බ දැමීමට ඇති හැකියාව නම්, එවිට ඔවුහු එයින් ගත හැකි සෑම අවුන්සයම ලබා ගත යුත්තාහ. අප අවම වශයෙන් අහසින් දෙන බැට දීම හරි හැටි කල යුතුය. සිය සර්බියානු සගයන් කොසොවෝහි “විශුද්ධකරනයේ” යෙදී සිටිනා අතරතුර මිනිසුන් තවමත් බෙල්ග්‍රේඩ්හි රොක් ප්‍රසංග පවත්වන්නෝය, ඉරුදින මෙරි-ගෝ-රවුන්ඩ් පැදීමට යන්නෝය යන අදහසම කුරිරු ය. බෙල්ග්‍රේඩයේ විදුලි එලි නිවී අන්ධකාර විය යුතුය: සෑම විදුලිබල ග්‍රිඩ් පොලක්ම, ජල නාලයක්ම, පාලමක්ම, මාවතක් ම හා යුද්ධයට සම්බන්ධතාවක් දක්වන කම්හලක්ම ඉලක්ක කල යුතුය.      

එයට අප කැමැති හෝ අකැමැති වේවා, අපි සර්බියානු ජාතිය සමඟ යුද්ධයක යෙදී සිටිමු. (සර්බියානුවෝ නිසැකවම එසේ සිතති) පරදු තැබී ඇති දේ අතිශය පැහැදිලි විය යුතුය: ඔබ කොසෝවෝව වනසා දමන සෑම සතියක් පාසාම අපි ඔබ සුනුවිසුනු කර දමමින් ඔබේ රට තවත් දශකයකින් ආපස්සට ඇද දමමු. ඔබට 1950ට යාමට අවශ්‍ය ද? අපට 1950 ඔබට ලබා දිය හැකිය. ඔබට 1389 කරා යාමට අවශ්‍ය ද? අපට 1389 ත් ලබා දිය හැකිය. ප්‍රස්තුත කරුන අපට ඒ ආකාරයෙන් රාමුගත කල හැකිනම්, මිලොසෙවිච් මහතාගේ ඇස් පෑදෙනු ඇත. තවද, ඊයේ අප ඔහුගේ ප්‍රථම වෙවිලීම දුටුවා විය හැකිය.

2003 එජ ඉරාක ආක්‍රමනයේදී ඇමරිකානු නියාමිත මිසයිල රැගත් යුද්ධ නෞකාවක් ටොමොහෝක් මිසයිලයක් මුදා හරී (අනුග්‍රහය: එජ නාවුක හමුදාව)

දැන් පුටින්ගේ අපරාධ පිලිබඳව බුබුලු නංවන වියරුවෙන් යුතුව කටයුතු කරන වොෂින්ටන් පෝස්ට් කොලම් රචක ජෝර්ජ් විල්ගේ වචන සිහිපත් කිරීමට මට ඉඩ දෙන්න. එජයේ ඉරාක ආක්‍රමනය අතරතුර, 2004 අප්‍රේල් 7 වන දාතම දරන කොලමක විල් ලියූවේ මෙසේය:  

රාජ්‍ය තන්ත්‍රය වෙනස් කිරීම, අල්ලා ගැනීම, ජාතිය ගොඩනැඟීම – තනි වචනයකින් කිවහොත් අධිරාජ්‍යය – යනු ලේ වැකි ව්‍යාපාරයකි. දැන් ඇමරිකානුවන් ඉරාකයේ නාගරික මිලීෂියා සටන්කරුවන් නිරායුධ කිරීමට හෝ පරාජය කිරීමට අවශ්‍ය වන ප්‍රචන්ඩත්වය සම්පාදනය කිරීමට තමාට වානේ පන්නරය දිය යුතුය. …

සතියක ඇවෑමෙන් 2004 අප්‍රේල් 14 දින විල් වොෂින්ටන් පෝස්ට් තුල තවත් ඝාතක ආක්‍රෝෂයක් මුදා හලේ මෙසේය:

නාවුක හමුදා හා සෙසු එජ බලකායයන්ගේ කටයුතුවල ප්‍රමුඛතාවය වන්නේ ඔවුන්ගේ මූලික කටයුත්ත බව – එනම්, මරනීය බලයක් යෙදීම බව – ෆලුජාවෙන් පසු හොඳින් පැහැදිලි ය. 

විල්ගේ කොලම් රචනා සුවිශේෂී නොවීය. ඒවා බොහෝ කොටම ඒ කාලයේ එජ පන්ඩිතයන් ලියමින් සිටි දේ පිලිබඳ නිදර්ශනයක් විය. එහෙත් වෙනස් වී ඇත්තේ වඩාත් පුලුල් මහජන ප්‍රතික්‍රියාවයි. ඒ සමයේ එජ යුද්ධවලට හා එම යුද්ධ අවුලුවා ලූ විදේශ ප්‍රතිපත්තියට එරෙහි විරෝධය පුලුල්ව පැතිරී තිබින. එහෙත් අද දින මහජන විරුද්ධත්වයේ අංශු මාත්‍රයක් හෝ සොයා ගැනීම අසීරුය.

සෝවියට් දේශය විසුරුවා හැරුනු තැන් පටන් එක්සත් ජනපදය අනුගමනය කල ආක්‍රමනකාරී විදේශ ප්‍රතිපත්තිය පරීක්ෂා කර බැලීම හුදෙක් ඇමරිකානු කුහකවත හෙලිදරව් කිරීම සම්බන්ධ කාරනාවක් නොවේ. රුසියානු පිලිවෙත් සූත්‍රගත කෙරුනු ගෝලීය සන්දර්භය පිලිබඳ විශ්ලේෂනයකින් විනා ඒවා වටහා ගැනීම කෙසේ නම් කල හැකිද? එක්සත් ජනපදය නිර්දය ලෙස යුද්ධ දියත් කර ඇත යන්න සත්‍ය කරුනක් ලෙස පවතිද්දී, පුටින් නැටෝවේ ප්‍රසාරනය අනතුරු හැඟවීමේ සංඥාවක් ලෙස ගැනීම අතාර්කික ද? කලු මුහුදු කලාපය, කැස්පියන් මුහුදු කලාපය හා සත්තකින්ම යුරේසියානු භූ ස්කන්ධය කෙරේ එක්සත් ජනපදය දක්වන ඉමහත් මූලෝපායික උනන්දුව පිලිබඳව පුටින් මෙන්ම රුසියානු ප්‍රතිපත්ති සම්පාදකයෝ ද නිසැකවම දනිති. නැසීගිය ස්බිග්නියෙෆ්  බ්‍රෙසින්ස්කි සහ අනෙකුත් එජ භූ මූලෝපායඥයන් දීර්ඝ කාලයක සිට යුරේසියාවේ – ඊනියා “ලෝක ද්වීපයේ” – එක්සත් ජනපද ආධිපත්‍යය තීරනාත්මක මූලෝපායික අභිප්‍රායයක් ලෙස අවධාරනය කොට ඇති බව කිසිසේත් රහසක් නොවේ.     

චීනය සමඟ එක්සත් ජනපදයේ උත්සන්න වෙමින් පවත්නා ගැටුමේ සන්දර්භය තුල මේ ප්‍රගම්‍යය වඩාත් තීරනාත්මක වී ඇත.

යුක්‍රේනයේ අනාගතය එක්සත් ජනපදයට අතිශය වැදගත් කරුනක් බවට පත්ව ඇත්තේ මෙම රාමුව තුලය. යුක්‍රේනය තුල සිය බලපෑම අහිමි වී ගියහොත් රුසියාව අල්පතර බලයක් බවට පිරිහෙලනු ලැබෙතැයි බ්‍රෙසින්ස්කි විශේෂයෙන්ම සඳහන් කලේය. වඩාත් අනිෂ්ටාර්ථ දනවමින්, යුක්‍රේනයේ යුද්ධයක් සඳහා රුසියාව පෙලඹවීම පිලිබඳව බ්‍රෙසින්ස්කි විවෘතවම සඳහන් කලේ, එවැන්නක් ඉහත ඇෆ්ගනිස්ථානයේ සෝවියට් ආක්‍රමනය සේ ම ස්වයං විනාශකාරී වනු ඇතැයි යන අපේක්ෂාවෙනි. 2014 එජ සහාය ලත් මයිඩාන් කුමන්ත්‍රනය දක්වා ආපස්සට යමින්, යුද්ධ පූර්ව සිදුවීම් පිලිබඳ විමර්ශනයක් සිදු කලහොත්, මෙම අභිප්‍රාය දැන් මුදුන්පත් වී ඇතැයි යන තර්කයට බලගතු සහායක් ලැබෙනු ඇත.

නැවතත් සඳහන් කරමි. එක්සත් ජනපදයේ හා නැටෝවේ ක්‍රියාකාරකම් තුල බැරෑරුම් තර්ජනයක් පැවැති බව රුසියාවට ප්‍රත්‍යක්ෂ වීය යන්න ආක්‍රමනය පිලිබඳ සාධාරනීකරනයක් නොවේ. එහෙත් එක්සත් ජනපදයේ පිලිවෙත් ඒ සඳහා මඟ හෙලි කලේ හා හිතාමතාම එය අවුලුවා ලූයේ කෙසේදැයි විචාරාත්මක තක්සේරුවක් නොතිබිය යුතු ද?  

2021 දෙසැම්බර් 28 වන දින, එනම්, ආක්‍රමනයට දෙමසකට ආසන්න කාලයකට පෙර, Foreign Affairs සඟරාවේ (එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය හා භූ දේශපාලන කටයුතු පිලිබඳ විශ්ලේෂන ගෙන එන සඟරාවකි – පරිවර්තක) අන්තර්ජාල කලාපයේ පල කෙරුනු ලිපියක, විශ්ලේෂක ද්මිත්‍රි ට්‍රෙනින් මෙසේ ලිවීය:

නැටෝව ප්‍රසාරනය කිරීම සම්බන්ධයෙන් විධිමත් දීර්ඝකාලීන ප්‍රමාද සහන කාලයකට සහ, අතරමැදි පරාස මිසයිල යුරෝපයේ ස්ථානගත කිරීමෙන් වැලකීමට එජ රජය එකඟ වන්නේ නම්, නිශ්චිතවම ක්‍රෙම්ලිනය සෑහීමකට පත්වනු ඇත. රුසියාව හා නැටෝව අතර, ඔවුන්ගේ භූමි ප්‍රදේශ හමුවන පෙදෙස් ඔස්සේ – එනම්, බෝල්ටික් සිට කලු මුහුද දක්වා – හමුදා බලඇනි හා හමුදාමය ක්‍රියාකාරකම් සීමා කෙරෙන වෙනම සම්මුතියක් මඟින් ද ඔවුන් සනසවා ලිය හැකිව තිබින, ….

සත්තකින්ම බයිඩන් පාලනය රුසියාව සමඟ බැරෑරුම් ලෙස සටනකට එලැඹීමට කැමැත්තේ ද යන්න විවෘත ප්‍රශ්නයකි. රට තුල දේශපාලන ධ්‍රැවාන්තගතවීම නිසා ද, පුටින් සමඟ සම්මුතියකට එලඹීම, ඒකාධිපතියෙකු හමුවේ දන නැමීය යන විවේචනයට බයිඩන් පාලනය විවර කරන නිසා ද එක්සත් ජනපදය තුල කවර හෝ සම්මුතියකට එරෙහිව ඉහල විරුද්ධත්වයක් පවතී. වොෂින්ටනය හා මොස්කව් අතර සාකච්ඡා මඟින් ඇති කෙරෙන නිරාකරනයක් තමන් අගු පිලට හෙලනු ඇතැයි යුරෝපයේ නායකයන්ට හැඟී යනු ඇති හෙයින්, යුරෝපය තුල ද විරුද්ධත්වය ඉහල මට්ටමක පවතිනු ඇත. [“පුටින්ට ඇත්තෙන්ම යුක්‍රේනයෙන් අවශ්‍ය කුමක්ද : රුසියාව යත්න දරන්නේ නැටෝවේ ප්‍රසාරනය නැවැත්වීමට ය, වැඩි පුර බිම් ඈඳා ගැනීමට නොවේ”]

ඉදින් යුක්‍රේනය නැටෝවෙන් පිටත සිටීමේ තතු පිලිබඳ එකඟතාවයක් තහවුරු කර ගත හැකිව ඇති නම්, එය වත්මන් තත්ත්වයට වඩා සතුටුදායක තත්ත්වයක් නොවන්නේ ද? යුක්‍රේනය නැටෝව තුලට සමෝධානය කර ගැනීමට විරුද්ධවීමට රුසියාවට කිසිදු හේතුවක් නොවීයැයි බැරෑරුම් ලෙස තර්ක කල හැකිද? 1962 ඔක්තෝබර අර්බුදයේ අත්දැකීම ලත් අයට, එය ප්‍රේරනය වූයේ සෝවියට් සංගමය කියුබාව තුල බැලස්ටික් මිසයිල ස්ථානගත කිරීම නිසා බව මතක ඇත. මෙය සිදු කෙරුනේ කස්ත්‍රෝ තන්ත්‍රයේ පූර්න කැමැත්ත මත වූ නමුදු, ජනාධිපති කෙනඩි පැහැදිලිව පැවැසුවේ, බටහිර අර්ධ ගෝලය තුල සෝවියට් හමුදාමය පෙනී සිටීමක් එක්සත් ජනපදය නොඉවසන බව සහ, එම කරුන සම්බන්ධයෙන් න්‍යෂ්ටික යුද්ධයක අවදානම ගැනීමට එය සූදානම් බවය. ඒ 60 වසරකට ඉහතදී ය. ඉදින්, උදාහරනයක් ලෙස, මෙක්සිකෝව හෝ වෙනත් ඕනෑම කැරිබියානු හෝ ලතින් ඇමරිකානු රටක් චීනය සමඟ හමුදාමය සන්ධානයකට – හුදෙක්ම ආරක්ෂාව සඳහා පමනකැයි කියා සිටින එකකට පවා – එලඹුනි නම්, බයිඩන් පාලනය අද දින ඊට වඩා අඩු කලහකාරී ආකාරයකින් කටයුතු කරනු ඇතැයි කිසිවෙකුට බැරෑරුම් ලෙස විශ්වාස කල හැකිද?   

බැරෑරුම් ලෙස ආමන්ත්‍රනය නොකෙරුනු තවත් කරුනක් වෙයි. සමූහ ඝාතක ස්ටෙපාන් බන්දෙරා ද, යුක්‍රේන ජාතිකවාදීන්ගේ සංවිධානයේ (OUN) හා එහි සන්නද්ධ බලකාය වූ යුක්‍රේන්ස්කා පොව්ස්ටන්ස්කා ආර්මියා (UPA)හි තැති ගන්වන සුලු උරුමය සමඟ අනන්‍ය වන අසො(z)ව් බැටෑලියන් වැනි හිස සිට දෙපතුලට සන්නද්ධ පැරාමිලිටරි බලකායයන් ද උත්කර්ෂයට නැංවීමේ යලි අලුත් වී ඇති ප්‍රවනතාව තුලින් විදහා දැක්වෙන, යුක්‍රේන ෆැසිස්ට්වාදයේ දිගින් දිගටම පවත්නා දේශපාලනික හා සංස්කෘතික බලපෑම අවම කොට දැක්වීමට මහාචාර්යවරු දෙදෙනාම ක්‍රියා කලෝය. යුක්‍රේන යුදෙව්වන් සමූලඝාතනය කිරීමෙහි ලා OUN හා UPA ඉටු කල තීරනාත්මක ක්‍රියා කලාපය යනු තහවුරු වී ඇති ඓතිහාසික කරුනකි. ඔවුන්ගේ ජනඝාතක අපරාධ පිලිබඳ වඩාත්ම මෑතක ලියැවුනු වාර්තාව වන, ජෝන් පෝල් හිම්කා විසින් ලියන ලද, ‘යුක්‍රේන ජාතිකවාදීන් සහ මහා සමූලඝාතනය: යුක්‍රේන යුදෙව් ජාතිය වනසාලීම තුල OUN හා UPAහි සහභාගීත්වය, 1941-1944’ කෘතිය කියැවීමට පවා ඉතා අසීරු ය.    

ඡායාරූපය: 2022 ජනවාරි 1 දින යුක්‍රේනයේ කියෙව්හි පැවැති රැලියක දී විවිධ ජාතිකවාදී පක්ෂවල සාමාජිකයෝ ගිනි පන්දම් හා ස්ටෙපාන් බන්දෙරාගේ ආලේඛ චිත්‍රයක් රැගෙන යති. (අනුග්‍රහය: AP ෆොටෝ / එෆ්රෙම් ලුකට්ස්කි) 

දෙවන ලෝක යුද්ධයේ භීෂනය “හුදෙක්ම” ඉතිහාසය පිලිබඳ කාරනාවක් “නොවේ”. (මෙහිදී මා “හුදෙක්ම නොවේ” යන වචන උද්ධෘත ලකුනු අතර දක්වා ඇත්තේ, මහා සමූලඝාතනය වැනි අපරාධ සමඟ සම්බන්ධ සිදුවීම් පිලිබඳව සඳහන් කිරීමේ දී මෙම වචන ද්වය කිසිවිටෙකත් භාවිතා නොකල යුතු වන හෙයිනි.) සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් අනතුරුව කාල පරිච්ඡේදයේ දී ස්ටෙපාන් බන්දෙරා ලබ්ධිය හා ඔහු සම්බන්ධ වූ අපරාධ සියල්ල සාධාරනීකරනය කිරීම, යුක්‍රේන දේශපාලනික හා සංස්කෘතික ජීවිතයේ විභවයක් හා අතිශයින් බියකරු සාධකයක් ලෙස යලි මතු වූ බව හොඳින් දන්නා කරුනකි.