ජේම්ස් පී. කැනන්
පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු
හතරවැනි ජාත්‍යන්තරයට එහි මුල් කාලයේ ම මුහුණ දීමට සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර අරගලයක් පිළිබඳව ද, එහි ලා අභියෝගයට ලක් ව තුබූ දේශපාලන ප්‍රයුක්තීන් සම්බන්ධව ද පුළුල් සාකච්ඡාවක් පාඨකයා වෙත ගෙන එන මේ ලිපි මාලාවේ පරිච්ඡේද අටක් මේ දක්වා සම්පූර්ණයෙන් පරිවර්තනය කර පළ කළෙමු. නවවන පරිච්ඡේදයෙන් ඇරැඹී පරිච්ඡේද තුනක් පුරා දිග හැරෙන කෘතියේ තෘතීය භාගය අද ආරම්භ කරමු. නවවන පරිච්ඡේදය කොටස් දෙකකින් පළ කෙරෙනු ඇති අතර, අද දින එහි මුල් කොටස පළ කෙරේ.
මෙම පරිවර්තනය සඳහා උපයෝගී කොට ගැනුනේ Marxists Internet Archive අන්තර්ජාල ප්‍රකාශනයේ පල වී ඇති ඉංග්‍රීසි කෘතියයි. මෙම කෘතිය ප්‍රවේශමෙන් හැදෑරීම මාක්ස්වාදය වෙත ආකර්ෂණය වන්නන්ට මෙන් ම, වර්තමාන ලෝක අර්බුදය විසඳීමට සමත් කම්කරු පන්තියේ විප්ලවවාදී සංවිධානය ගොඩ නැඟීම පිළිබඳව උනන්දු වන සියලු දෙනාට ද අතිශයින් ප්‍රයෝජනවත් වනු ඇත.
9. පක්ෂ තන්ත්‍රය පිළිබඳ ප්‍රශ්නය – I කොටස
මෙම කොටසේ දී, පක්ෂ “තන්ත්‍රය” පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට සහ, “යුද්ධය හා නිලධරවාදී ගතානුගතිකවාදය” නම් වූ අද්භූතජනක වින්චෙලීකෘත (1930 ගණන්වල දී ඉමහත් ප්‍රසිද්ධියට පාත්‍ර වූ ඕපාදූප පුවත්පත් කොළම් රචකයෙකු වූ වෝල්ටර් වින්චෙල් සම්බන්ධ යෙදුමකි) ලේඛනයේ ගැබ් වන තර්ක හා චෝදනා ගැන සලකා බැලීමට මම අදහස් කරමි. වින්චෙල්ට සාධාරණය ඉටු කිරීම සඳහා මා මුලින් ම සඳහන් කළ යුත්තේ, ඔහු සිය කැපී පෙනෙන කීර්තිය දිනා ගත්තේ, තමන් සිල්ලරට විකුණන ඕපාදූප අහුකොන් කැබැලිතිවල නිරවද්‍යතාව සම්බන්ධයෙන් අඩුවැඩි වශයෙන් අවධානය යොමු කිරීමෙනි. විපක්ෂයේ ඕපාදූප කොළමට මෙම ගෞරවය හිමි නො වේ. කැපී පෙනෙන කරුණු ලකුණු කිරීමේ අදහසින් යුතුව පැන්සලක් ද අතැ’තිව මම විචාරාත්මක කියැවීමක් සඳහා මෙම ලේඛනය අතට ගතිමි. ඉක්මනින් ම මම පැන්සල ඉවතට ලීමි. මක්නිසාද යත්, මා එහි සෑම පිටුවකම එන සෑම පේළියක් ම පාහේ පැන්සලෙන් ලකුණු කරමින් සිටි බව මට පෙනී ගිය නිසා ය. ආසන්න වශයෙන් වචන 25,000 කින් පමණ සමන්විත වූ මෙම සමස්ත ලේඛනයේ එකම සත්‍යවාදී ඡේදයක් හෝ නො වීය. එහි නිරවද්‍ය ලෙස වාර්තා කෙරුණු සිදුවීම්වල කියා ඇත්තේ මුළු සිදුවීමෙන් අඩකි. මුළුමනින් ම හා නිරවද්‍ය ලෙස වාර්තා කළ ඒවා වටහා ගෙන ඇත්තේ සාවද්‍ය ලෙස ය. ශංකාවන් හා ප්‍රාග් විනිශ්චයන් සත්‍ය කරුණු පිළිබඳ ප්‍රකාශයන් ලෙස හඟවා, අනල්ප ලෙස ඍජු අසත්‍යයේ කුළුබඩු යොදා සකසා, දීසියට බෙදා පිළිගන්වා ඇත. ඔවුන් වාර්තා කරන කාලසීමාව තුළ සිදු වූ සියල්ල අගතිගාමී ලෙස විකෘත කර හෝ ඒවාට වැරැදි අර්ථකථන දී හෝ ඇත. තව ද, වඩාත් ම වැදගත් කරුණු හා සිදුවීම් නිහඬව නො තකා හැර ඇත. සමස්ත ප්‍රබන්ධය ම මුළ සිට අගට ම වංක ය – මූලධර්මාත්මක තර්කවලට එරෙහිව මුහුණට මුහුණ ලා මුසාකරණයන්, සුළු සුළු පැමිණිළි, පෞද්ගලික චෝදනා සහ ඕපාදූප කැබැලිති පෙළ ගස්වන එය, සුළු ධනපති දේශපාලනඥයාගේ ලෝකයේ නියමානුකූල නිෂ්පාදනයකි.
බෝල්ෂෙවික්වාදය නූතන යුගයේ එකම අවංක දේශපාලන ව්‍යාපාරය වී ඇත්තේ හුදෙක් බෝල්ෂෙවික්වරුන්ගේ ඉහළතර සදාචාරාත්මක ගුණය නිසා පමණක් නොව – ඔවුන්ගේ සදාචාරාත්මක උසස්බව අවිවාදිත ය – එම ව්‍යාපාරය පමණක් ම අපේ කාලයේ අව්‍යාජ මාක්ස්වාදීන් වූ නිසා ය; කම්කරුවන් සිය විමුක්තිය සඳහා ගෙන යන අරගලය තුළ ඔවුන්ගේ ආසන්නතම හා ඓතිහාසික උත්සුකයන් නිවැරැදි ලෙස අර්ථකථනය කර ආරක්ෂා කළේ එම ව්‍යාපාරය පමණක් නිසා ය. බෝල්ෂෙවික්වරුන්ගේ න්‍යායයන් හා දේශපාලනයත්, කම්කරුවන්ගේ හා ඔවුන්ගේ පෙරමුණු බලඇණි පක්ෂයේ උත්සුකයනුත් අතර කිසිදු පරස්පර විරෝධයක් නොමැත. ඔවුන්ට සත්‍යය – සම්පූර්ණ සත්‍යය – පැවසිය හැකි ය. සියලු වර්ගවල සුළු ධනේශ්වර දේශපාලනඥයන්ගේ වෙළඳ භාණ්ඩ වන අසත්‍යය හා මුසාකරණයන්, අර්ධ-සත්‍යයන්, විකෘතිකරණයන් හා ප්‍රයෝගයන්හි අවශ්‍යතාවයක් ඔවුන්ට නැත.
සෑමවිටම දේශපාලන ප්‍රශ්න ප්‍රමුඛස්ථානයේ තබා සංවිධානාත්මක ප්‍රශ්න ඒවාට යටත් කරන මාක්ස්වාදීන්ගේ දේශපාලන විධික්‍රමය ආපස්සට හරවමින් අපේ සුළු ධනපති විපක්ෂය, අන් සියලු සුළු ධනපති කණ්ඩායම් මෙන් ම, සිය තර්කවල ප්‍රධාන බර යොදා ඇත්තේ පක්ෂ තන්ත්‍රය පිළිබඳ – එනම්, නායකත්වය හා එය පක්ෂය මෙහෙයවන “විධික්‍රමය” පිළිබඳ – විවේචනයකට ය. ඔවුන්ගේ කණ්ඩායමේ නායකත්වය එක්සත් කරනු ලැබුනේ රුසියානු ප්‍රශ්නයෙන් නො ව මෙම ප්‍රශ්නය විසිනි. ඒ පමණක් නො ව, වැඩිමනත් දේශපාලන අත්දැකීම් රහිත සුළු ධනපති කොටස්වලින් අතිප්‍රමුඛ ලෙස සැදුම් ලත් ඔවුන්ගේ අනුගාමිකයන්ගේ වැඩි පංගුවක් ද එම කණ්ඩායමට බඳවා ගැනුනේ තන්ත්‍රය සම්බන්ධ ගැටළු වටා බව නිසැක ය. .
එවැනි ප්‍රශ්න, ඒවා අතරින් හොඳම ඒවා වුව, මතභේදයට තුඩු දී ඇති න්‍යායික හා දේශපාලනික ගැටලුවලට වඩා ද්වීතීයික වන අතර, සාකච්ඡාව තුළ දී ඒවාට යටත්ව සලකා බැලිය යුතුය. සාකච්ඡාවේ මුල් අදියරවල දී මෙම නො වැදගත් දේ සඳහා කාලය ගැනීම අභූතයක් විය හැකිව තිබිණි. කෙසේවෙතත්, දැන් මූලික ප්‍රශ්න ප්‍රමාණවත් ලෙස පැහැදිළි වී ඇති තතු තුළ, ද්වීතීයික ප්‍රශ්න සැලකිල්ලට ගනිමින්, විපක්ෂ විවේචකයන්ට ඔවුන් ඒ සා ස්ථිරසාර ලෙස ඉල්ලා සිටි පිළිතුරු ලබා දීම කාලෝචිත ය. මෙම ක්ෂේත්‍රයේ දී පවා උගත යුතු යමක් ඇත; පළමුවෙන්, ප්‍රබන්ධයට එරෙහිව කරුණු (පිහිටුවීම); දෙවනුව, කඳු ගසමින් පවතින සොච්චම් සිදුවීම්වලට එරෙහිව අප අතර වෙනස්කම් සම්බන්ධ වැදගත් කරුණු (පිහිටුවීම); සහ තෙවැන්න, එකී කරුණු සම්බන්ධයෙන් පවතින නො එකඟතා ද, මූලික ගැටළු සම්බන්ධයෙන් විපක්ෂ කණ්ඩායම සමඟ අපේ ඝට්ටනය ද අතර පවතින සමීප සම්බන්ධය (තහවුරු කිරීම).
තන්ත්‍රය වෙනුවෙන් විපක්ෂය කැප කළ ලේඛන සම්භාරය ගරා වෙන් කොට, විවිධාකාර පැමිණිළි හා දුක් ගැනැවිලි හා විවේචන උචිත ලෙස ගොඩ ගැසූ විට, අවසානයේ අපට පක්ෂ තන්ත්‍රයට එරෙහි අධිචෝදනා පහත දැක්වෙන ප්‍රධාන අංශවලට වෙන් කර දැක්විය හැකිය.
- තන්ත්‍රය (නායකත්වය) එහි දේශපාලනයේ දී ගතානුගතික ය.
- එය එහි විධික්‍රමවලින් නිලධාරිවාදී ය.
- වර්තමාන නායකත්ව කණ්ඩායම (ජාතික කමිටුවේ බහුතරය) යථාර්ථයේ දී, කමිටුවට ඉහළින් සිටිමින් පක්ෂය අවිධිමත් හා ව්‍යවස්ථා විරෝධී ආකාරයෙන් පාලනය කරන “කල්ලිය”ක ආධිපත්‍යය යටතේ පවතී.
- කෙසේවෙතත් මෙම “කල්ලිය”, “නායක වන්දනා පිළිවෙතක්” අනුයන අතර, එම “කල්ලිය” ම ද තනි පුද්ගලයෙකුගේ ආධිපත්‍යයට නතු වී ඇත. සෙසු අය හුදෙක් “අත් ඔසවන්නෝ” පමණක් වෙති.
- “කල්ලිය”ට ඉහළින් හා කමිටුවට ඉහළින් සිටින සහ පක්ෂය තුළ “තනි පුද්ගල නායකත්වය” පවත්වා ගෙන යන තනි පුද්ගලයා වන්නේ කැනන් ය.
ඔවුහු මා හිස් අහස් තලය මධ්‍යයේ, නො පවතින පිරමිඩයක මස්තකය මත ස්ථානගත කරති. ප්‍රථම අත්‍යවශ්‍යතාවය වන්නේ මහ පොළොවට බැස ගැනීමයි. එම වඩාත් ස්ථාවර ස්ථානයේ වාසිය ලබමින්, චෝදනාව පිළිබඳ සියලු වඩාත් ම වැදගත් කරුණුවලට පිළිතුරු දීම හා, යථා තතු තුළ බහා පක්ෂ කායකත්වයේ තත්ත්වය පැහැදිළි කිරීම දුෂ්කර නො වේ. ඉදින් එසේ කිරීමේ දී, මා පිළිබඳව හා පක්ෂ ඉතිහාසය නිර්මාණය කිරීමෙහි ලා මා ඉටු කළ හෝ ඉටු කිරීමට අසමත් වූ කොටස පිළිබඳව බොහෝ සේ කථා කිරීමේ ඒ සා ප්‍රසන්න නො වන කර්තව්‍යයට මා උර දිය යුතු නම්, මා එසේ කරන්නේ ප්‍රශ්නය මෙසේ පෞද්ගලික ආකාරයෙන් මා ඉදිරියට පමුණුවා ඇති හේතුව නිසා පමණක් බව පක්ෂ සහෝදරවරුන් වටහා ගත යුතුය. පෞද්ගලික චෝදනා පවා මඟ හැර යාමට හෝ ඒවාට පිළිතුරු නො දී සිටීමට මම අදහස් නො කරමි. සියලු සත්‍යය හා සියලු අයිතිය අපේ පාර්ශ්වයේ පවතින හෙයින් කිසිවක් හෝ මඟ හැර යාමට අපට හේතුවක් නැත. ඕනෑ තරම් බහුලව සිදු වී ඇති අපේ අතපසුවීම් හා අපේ අඩුපාඩු විපක්ෂයේ විවේචනය විසින් ස්පර්ශ කර ඇත්නම් ඒ ඉතා යන්තමිනි. ඔවුන්ගේ ප්‍රහාරය එල්ල වී ඇත්තේ අපේ වැරදි වෙත නොව අපේ යහගුණයන් වෙත ය.

දෙවසරකට ඉහත පැවැති චිකාගෝ සම්මේලනයේ සිට ගත වූ සමස්ත කාල පරිච්ඡේදය ප්‍රධාන විවේචනවලින් ආවරණය කෙරේ. සියල්ල අයහපත් වී ය යන න්‍යාය හෝ උපකල්පනය මත පිහිටා ඔවුහු, සිදු කළ සියල්ලෙහි හෝ සිදු නො කළ සියල්ලෙහි වගකීම ජාතික කමිටුවේ බහුතරය වෙත, නැතහොත් ඔවුන් පවසන පරිදි “කැනන් තන්ත්‍රය” වෙත, පවරති. එහෙත් පසුගිය දෙවසරක් වැනි කාලය තුළ පක්ෂ තන්ත්‍රය විසින් අනුයන ලද විධික්‍රම සහ ඊට ඉහත අපේ ව්‍යාපාරයේ ආරම්භයේ පටන් ගෙවුණු වර්ෂවල කටයුතු සිදු වූ ආකාරය අතර කවර හෝ විශාල වෙනසක් සොයා ගැනීමට කිසිවෙකුට හැකි වී නැත. එවැනි කවර හෝ විභේදනයක් දැක්වීමට විපාක්ෂිකයෝ තැත් නො කරති. ප්‍රහාරයට ලක් වී ඇත්තේ සමස්තයක් ලෙස පක්ෂයේ වාර්තාවයි. ඇබර්න් ට්‍රොට්ස්කිට ලියූ ලිපියේ කියා සිටින්නේ, තන්ත්‍රය පිළිබඳ ප්‍රශ්නය “මේ මුළුමහත් වසර ගණන තුළ සතුටුදායක ලෙස විසඳි නැති” බවයි. අපේ ව්‍යාපාරයේ කාව්‍යමය ඉතිහාසඥයා වන, කිසිත් දැක නැති – නො දන්නා දෙයක් නැති ජොන්සන් මෙසේ ලියයි: “දස වසරක් පුරා නායකත්වය කැනන්ගේ ය.” (අපට සිතා ගත හැකි පරිදි, ඉදින් ජොන්සන් සඳහන් කරන්නේ හතරවැනි ජාත්‍යන්තරයේ ඇමරිකානු ව්‍යාපාරයේ සමස්ත ඉතිහාසය ගැන නම්, එය ආරම්භ වූයේ වසර 10 කට පෙර නොව, වසර 11 ක් සහ තවත් අඩ වසරකට පෙර බව ඔහුට පෙන්වා දිය යුතුය.)
පසුගිය වසර එකොළහ හමාරක වාර්තාව ප්‍රතික්ෂේප කිරීමේ මොනම අදහසක් හෝ මට නොමැති නිසා; සමස්තයක් ලෙස එය අයහපත් නොව යහපත්යැයි මා විසින් සලකනු ලැබෙන නිසා; රුසියානු බෝල්ෂෙවික් පක්ෂයේ ආකෘතියට අනුව සැදුම් ලත් අපේ පක්ෂය, අවංකව ම කිවහොත්, අන් කවර පක්ෂයකට හෝ වඩා වැඩියෙන් දෘඩතර ලෙස හා එහි ශ්‍රේෂ්ඨ මූලාකෘතියේ රටාවට වඩාත් සමීපතර ලෙස ඉදි වී ඇතැයි මා විශ්වාස කරන නිසා (“එය ඉතිහාසයේ එන, බෝල්ෂෙවික් දිශානතීන් ඔස්සේ තමා ගොඩනංවා ගත් දෙවැනි පක්ෂය” බව, වර්ණනය ඉක්මවා යන තරමේ බුහුටිකමකින් යුත් ජොන්සන් කියයි); වසර එකොළහ හමාරක අපේ වැඩ කටයුතු හා ජයග්‍රහණ සම්බන්ධයෙන් මා එම මතය දරන නිසා, මගේ වගකීමට නිවැරැදිව බැර කරන කවර හෝ කොටසක වගකීම ප්‍රතික්ෂේප කිරීමට මට කිසිදු හේතුවක් නැත. එහෙත් සියලු ගෞරවය හෝ, ඔබේ අභිමතය පරිදි සියලු දෝෂ, මා වෙත පැවරීම ඓතිහාසිකව සාවද්‍ය වන අතර, පක්ෂ නායකත්වය තුළ වර්තමාන අරගලයේ මූලයන් අතීතය තුළ පවතින හෙයින්, එය එකී අරගලය සම්බන්ධයෙන් සැබෑ වැටහීමක් ලබා ගැනීමට බාධාකාරී අගතියක් සිදු කරයි. පක්ෂය ගොඩ නැඟීමට බොහෝ දෙනා දායක වූහ. ඉතිහාසයේ එන කවර හෝ පක්ෂයක් කවදා හෝ අපේ පක්ෂයට වඩා ප්‍රජාතන්ත්‍රවාදී වී නැත; කවර හෝ වර්ගයක යාන්ත්‍රණයක බලහත්කාරයෙන් හෝ සීමා කිරීම්වලින් අපේ පක්ෂයට වඩා විමුක්තව පැවැතී නැත. මෙම නිදහස් ප්‍රජාතාන්ත්‍රික වාතාවරණය තුළ අපේ ව්‍යාපාරය, වෙනස් බලවේග, ප්‍රවණතා හා තනි පුද්ගලයන් බොහෝ සංඛ්‍යාවකට සිය සැබෑ ගුණානාත්මකභාවය හෙළි කොට පක්ෂයේ වර්ධනය සඳහා දායකත්වය සම්පාදනය කිරීමට හා එහි නායක ක්‍රියාධරයන් හැඩ ගස්වා ගැනීමට පූර්ණතම අවස්ථාව ලබා දෙන සමාජයීය ඉන්ද්‍රියයක් ලෙස වර්ධනය විය.
එහෙත් අපේ පක්ෂයට සතුරු පන්ති වාතාවරනය ජනිත කළ බලපෑමෙන් හා පීඩනයෙන් මිදී සිටීමට තුබූ හැකියාව අන් ඕනෑම පක්ෂයකට වඩා වැඩිතර එකක් වූයේ නැත. අපේ ව්‍යාපාරයේ මූලාරම්භයේ සිට ම මෙම පීඩනය, පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රවණතා අතර අරගලය තුළ ඒ හෝ මේ මට්ටමෙන් ප්‍රකාශයට පත් විය. නො ගැඹුරු ජොන්සන් හඟවන පරිද්දෙන් අපේ පක්ෂය සමජාතීය බෝල්ෂෙවික් පක්ෂයක්ව පැවතුනේ නැත; එය ඒ වෙනුවට, බෝල්ෂෙවික්වාදයේ ප්‍රමිතිය සාක්ෂාත් කර ගැනීමට අරගල කරන සහ, සෑම කල්හි ම අභ්‍යන්තර ප්‍රතිවිරෝධයන්ගෙන් ආකුල වූ සංවිධානයක් විය. වර්තමාන අභ්‍යන්තර අරගලය වූ කලී හුදෙක් ම, එකිනෙකා නුරුස්නා ප්‍රවණතා අතර පවතින මෙම දීර්ඝ අභ්‍යන්තර අරගලයේ උච්ඡතම පුපුරා යාමයි.
ආරම්භයේ පටන් ම පක්ෂයේ නායකත්වය (තන්ත්‍රය) කිසිදා තනි පුද්ගලයෙකු හෝ, තනි ප්‍රවනතාවයක් හෝ පවා, විසින් ඒකාධිකාරයට ගනු ලැබ නො පැවතුනි. විවෘත කණ්ඩායම් අරගලවල කාල පරිච්ඡේදයන්හි දී බහුතරය සෑමවිටම සුළුතරය මත යම්තාක් දුරකට රැඳී පැවතුනු අතර, සුළුතරය සමඟ වගකීම් බෙදාහදා ගැනීමට එයට බල කෙරිණ. පක්ෂය තුළ සාමකාමී කාලවල දී මධ්‍යගත නායකත්වය රැඳී තුබුණේ තනි පුද්ගලයෙකුගේ උර මත නො ව, එක් එක් තැනැත්තන් අතර එකිනෙකා එකඟ වන කරුණු මෙන් ම මත ගැටුම් සහිත කරුණු ද පැවැති, විවිධ වර්ගයේ පුද්ගලයන් කණ්ඩායමක් මත ය. මෙම නායක කණ්ඩායම තුළ, කිසිදා වැඩිමනත් ස්ථාවර නො වූ සමතුලිතතාවය අඛණ්ඩව ම රුකුල් දී පවත්වා ගන්නා ලද්දේ අන්‍යොන්‍ය සමථය හා අනෙකාට සහන දීම් විසිනි. චිකාගෝ සම්මේලනයෙන් පසු – වඩාත් නිරවද්‍යව කිවහොත් 1935 පටන් – පක්ෂ “තන්ත්‍රය”, තනි අවිරෝධී හා සමජාතීය කණ්ඩායමක් මඟින් නියෝජනය වූවක් නො වූ අතර, එය බොහෝ දුරට අස්ථායී සන්ධානයක් විය. සැලකිය යුතු අභ්‍යන්තර ඝර්ෂණයක් තිබියදී ම, සම්පූර්ණයෙන් පරිණත වූ දේශපාලන වෙනස්කම් නො පැවැති තතු තුළ, මෙම සන්ධානය නො බිඳී එකට පැවතුනි. එළඹෙන යුද අර්බුදයේ පීඩනය යටතේ එහි වෙනස් සංඝටකවලට තමන් හෙළිදරව් කර ගැනීමට සිදු වූ කල්හි, එය බිඳී කැබැලි වී ගියේය. ඝර්ෂණය, අස්ථාවරත්වය සහ නො එකඟතාවයන් හා ගැටුම් වරින්වර පමණක් විවෘත අරගල බවට පත් වූ අතර, වඩාත් නිරතුරුව ඒවා අන්‍යොන්‍ය සමථයන් හා එකිනෙකාට ඉඩ දීම් මඟින් සකසා ගන්නා ලදී. විපක්ෂ නායකයෝ දැන්, මෙම තත්ත්වය රහසිගත “කල්ලියක” කූටෝපායයන් ලෙස අතීතයට බලපාන පරිදි පැහැදිළි කිරීමට ප්‍රයත්න දරති. යථාර්ථයේ දී මේ සියල්ල සාක්ෂි දරනුයේ හුදෙක්, එක් අතෙකින් නායකත්ව කමිටුවේ සමජාතීය භාවයක් නො පැවතීම ගැන ය; අනෙක් අතින්, පොදු පෙළගැසීම්වල මූලික වෙනස්කම් තවමත් නියත ලෙස තහවුරු වී නො තිබුණේය යන කරුණ ගැන ය. සන්ධාන නායකත්වයේ කණ්ඩායම් හා පුද්ගලයන්ගේ දේශපාලන මුහුණුවර පූර්ණ පැහැදිළිකමකින් හෙළිදරව් කිරීමට, එළැඹෙන යුද්ධය විසින් ජනිත අර්බුදයේ පීඩනය අත්‍යවශ්‍ය විය. වත්මන් කණ්ඩායම් අරගලයේ දී විවෘතව පුපුරා යාමට පෙර, ගැටුමේ ක්‍රමානුකූල, දිගු කල් ඇදී ගිය වර්ධනය තුළ මෙය පෙන්නුම් කෙරේ.
පෙර කොටස් බලන්න:
හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්, 1, 2, 3, 4, 5, 6-I, 6-II, 7, 8-I, 8-II, 8-III, 8-IV, 8-V