
නන්දන නන්නෙත්ති විසිනි
2025 ජනවාරි පලමුවැනි දා සිට ගෙවුනු දින 55 තුල වෙඩි තැබීමේ සිද්ධි 17 ක් සිදුව ඇති බව වැඩ බලන පොලිස්පති, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෙබරවාරි 22 දා පැවැත් වූ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කලේ ය. ඊට අමතරව පිහිවලින් පහර දීම් 5කි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ වාර්තාව අනුව එයින් 11ක් සංවිධානාත්මක අපරාධ ගනයේ ඒවා ය. වෙඩි තැබීම්වලින් 17 දෙනෙකු ඝාතනය වී තවත් ගනනාවකට තුවාල සිදු වී ඇත. සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම්වලින්, ජනවාරි 30 සිට පෙබරවාරි 22 දින දක්වා දින 24 තුල, වෙඩිතැබීම් හයකින් 11 දෙනෙකු ඝාතනය වී ඇත. අපරාධකාරයන්ගේ වෙඩි ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූවන් අතර අවුරුදු 7ක සහ අවුරුදු 9ක දරුවෝ දෙදෙනෙක් ද වෙති. අපරාධ කල්ලි නායකයෙකු ලෙස නම් දරා සිටින ගනේමුල්ලේ සංජීව තවත් එවන් කල්ලියක වෙඩික්කරුවෙකු විසින් ඝාතනය කෙරුනේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරනයේ විත්ති කූඩුව තුල දී ය.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කල විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට වැඩ බලන පොලිස්පති සමග මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහභාගී වූහ. ඔවුහු පාතාල කල්ලි අතර ගැටුම් මෙසේ උත්සන්න වීමට හේතු ලෙස පහත සඳහන් කරුනු ගෙන හැර පෑහ.
- ජාතික ජන බලවේගය ආන්ඩුව විසින් සාර්ථක ලෙස කර ගෙන යන -පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂන වැනි- විමර්ශන අඩපන කිරීම
- ජාජබ ආන්ඩුව පත්වීමෙන් පසු පාතාලයට ලැබුනු දේශපාලන රැකවරනය අහිමි වීම.
- එසේ රැකවරන අහිමි වීම නිසා ඒවාට සිය අනුගාමිකයන් මත ම යැපෙන්නට සිදු වීම
පාතාල කල්ලි එකිනෙකා මරා ගැනීමෙන් ආන්ඩුවේ විමර්ශන අඩපන කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නයක් අපට මතු වේ. තවද, අපරාධ කල්ලි නායකයන් වර්තමාන ආන්ඩුව බලයට පත් වීමට පෙර ලද දේශපාලන රැකවරන අහිමි වීම නිසා විදේශයන්හි සිට ක්‍රියාත්මක වන බව පොලිස්පති තව දුරටත් කීවේ ය. දේශපාලනඥයන් අපරාධකාරයන්ට අනුබල දුන් හා ඔවුන් යොදා ගත් අවස්ථා බොහෝ ය. එහෙත් ජාතික ජන බලවේගයේ ආන්ඩුව පත්වීමට වසර ගනනාවකට පෙර දීත් අපරාධ කල්ලි නායකයෝ පිටරටවල සිට ක්‍රියාත්මක වූහ. පාතල නායකයන් පිටරටවල සිට ක්‍රියාත්මක වන්නේ නීතියෙන් හා සෙසු අපරාධ කල්ලිවලින් එල්ල වන ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා වී ජාවාරම් පවත්වා ගැනීමට අවශ්‍ය නිසා ය. පොලිසිය අපරාධ මර්දනයෙන් පසු බැස සිටියේ හා ඒවාට අනුබල දුන්නේ හුදෙක් දේශපාලනඥයන්ගේ බලපෑම නිසා නො වේ. පොලිසිය යනු අතිශයින්ම දූෂිත ආයතනක් බව ජනතාවගෙන් වසන් කල නො හැකි ය
උසාවිය තුල සිදු කල ඝාතනයේ දී පවා පොලිසිය ඇතුලු වගකිව යුතු ආයතනවල ක්‍රියා කලාපය සැක සහිත ය. සංජීව ඝාතන තැතක් බුද්ධි අංශ විසින් වාර්තා කල නිසා ඉන් පෙර සතියේ ගම්පහ උසාවියේ පැවැත්වීමට නියමිතව පැවති නඩු විභාගයට ඔහු ගෙන නොයාමට පොල්ස්පතිවරයා තීන්දු කලේ ය. එම පොලිස්පතිවරයා ඊලඟ සතියේ ඔහු අලුත්කඩේ උසාවියට ගෙන ඒම ගැන දැනටමත් සමාජය තුල සාකච්ඡාවක් පවතී.
එදින උසාවියේ සේවය කල පොලිස් නිලධාරීයාගේ සහ නීතිඥ පුෂ්ප කුමාර සමරනායකගේ ඇසින් දුටු සාක්ෂි අනුව අධිකරනයේ නියෝගයක් නැතිව විත්තිකරු ඉදිරිපත් කලේ ඇයි දැයි මහේස්ත්‍රාත්වරිය විමසා ඇත. එකෙනෙහි ම නැගී සිටි වෙඩික්කරුවා සංජීවට වෙඩි තබා පලා ගියේ ය.
තවද ඝාතනයෙන් අනතුරුව එය මෙහෙය වූ අය විසින් ම වෙඩික්කරු ගැන ඔත්තුව දුන් බවත් ඔහු අල්ලා ගනු ලැබුනේ ඒ ඔස්සේ ක්‍රියාත්මක වීමෙන් බවත් පොලිසියට පිලි ගන්නට සිදු වී ඇත. මෙම සිදුවීම්වල මනා පෙල ගැසීම, ගනේමුල්ලේ සංජීව ඝාතන සැලැස්ම පිලිබඳව ලබා දෙන බිහිසුනු ඉඟි කිසිසේත් සුලුපටු ඒවා නොවේ. අධිකරන නියෝගයකින් තොරව සැකකරු එදින ඉදිරිපත් කෙරුනේ නම්, ඝාතකයා ඒ බව හොඳින් දැන සිටි බව පෙනේ. ඝාතනයේ සැලසුම්කරු පෙරලා ඝාතකයා පිලිබඳ ඔත්තුව සපයා එම නය පියවා ඇති සේ ය!
පොලිස්පතිගේ වාර්තාවට අනුව, සංවිධානාත්මක අපරාධ කන්ඩායම් 58ක් හා අනුගාමිකයින් 1400ක් බුද්ධි අංශ විසින් හදුනා ගනු ලැබ ඇත. පලවෙනි, දෙවෙනි හා අනුග්‍රහය දෙන කන්ඩායම් මෙම සංඛ්‍යාවට ඇතුලත් ය. ඒවා මර්දනය කිරීම උදෙසා ගනිමින් සිටින පියවර රජයේ නියෝජිතයන් විසින් මාධ්‍යවේදීන් හමුවේ විස්තර කරන ලදී.
- පාතාල කල්ලි නිරායුධ කිරීම
- සංවිධානාත්මක අපරාධ කන්ඩායම්වලට සම්බන්ධ පොලිසියේ හා හමුදාවේ සාමාජිකයින් අත් අඩංගුවට ගැනීම
- සැකකරුවන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 7-1 වගන්තිය යටතේ රඳවා ගෙන ප්‍රශ්න කිරීම
- පාතාල ක්‍රියා බහුතරයකට හමුදාව හැර ගිය පුද්ගලයන් සම්බන්ධ වී ඇති නිසා හමුදාවෙන් පලා ගිය සියලු දෙනා අත් අඩංගුවට ගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් පෙබරවාරී 24 දා කල නියෝගය ක්‍රියාත්මක කිරීම
නිල වශයෙන් ප්‍රකාශ නො කෙරුන නමුත්, පස්වැනි පියවරක් ද දැනටමත් ක්‍රියාත්මක වේ. එනම්, සැකකරුවන් නඩු නො අසා මරා දැමීමයි.

පොලිස්පති නිවේදනය අනුව, “නව රජය පත් වූ 2024 සැප්තැම්බර් 21ට පසු“ ගිනි අවි දහසක් පමන අත්පත් ගර ගනු ලැබ ඇත. මෙහිදී අප වටහා ගත යුතු වන්නේ අපරාධකාරයන් බිහි වන්නේ ආයුධ තිබෙන නිසා නො ව අපරාධයේ අවශ්‍යතාව ආයුධ සොයා ගන්නා බව ය.
ජාවාරම්කරුවන්ට පොලිසියේ හෝ හමුදාවේ ඉහල තැන්වල සම්බන්ධකම් පවතින බව කුප්‍රකට ය. හුදෙක් පොලිස් කොස්තාපල්ලා අත් අඩංගුවට ගනු ලැබීම පහත් තැනින් ජලය ගලා යාමට සම ය. එයින් ප්‍රශ්නය නො විසඳේ.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගැනීම මහජනතාවට අනතුරුදායක වන්නා සේ ම නීතිය අවභාවිතා කිරීමක් ද වේ. සංජීව ඝාතන නඩුවේ ප්‍රධාන විත්තිකරු සමිඳු දිලිශාන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මෙම සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ විමර්ශන සිදු කල නො හැකි බව අධිකරනය හමුවේ පවසා ඇත. එසේ රඳවා ගත හැක්කේ අදාල පනතේ සඳහන් වන ආකාරයෙන් සුවිශේෂී පුද්ගලයෙකු මරනයට පත්කිරීම හෝ ඊට අදාල සාක්ෂිකරුවකු මරනයට පත් කිරීම යටතේ පමනකි.
හමුදාවෙන් පලා ගිය හා නිත්‍යානුකූලව ඉවත් වූ මෙන් ම දැනටත් සේවය කරන ඇතැම්හු පාතලයේ ක්‍රියාත්මක වී සිටිති. ඒ වෙනුවට හමුදාවෙන් පලා ගිය සියලු දෙනා අත් අඩංගුවට ගැනීම හුදෙක් සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පියවරක් නො ව ඔවුන් මත පීඩනය වැඩි කිරීමකි. එම තත්වය අපරාධ ලෝකයට තවත් සාමාජිකයන් පලවා හැරීමට හැකි ය.
දරිද්‍රතාව නිසා යුද්ධයට උරා ගනු ලැබූ තරුනයෝ යුද්ධයට පමනක් නො ව, හමුදා තුලම පවතින පීඩනයන්ට ද මුහුන දුන්හ. හමුදා සේවය ඔවුනගේ සහ එම පවුල්වල දරිද්‍රතාව අහෝසි කලේ නැත. මේ කාරනා දෙක විසින් බොහෝ සෙබලුන් මානසික ව්‍යාධිවලට ගොදුරු වූහ. ඔවුන් මත් ද්‍රව්‍යවලට හා අපරාධවලට පෙලඹ වූ කරුනු මේවා ය. රුසියානු යුක්රේන් යුද්ධයේ දී රුසියානු හමුදාවේ සේවයට බැඳුනු ශ්‍රී ලාංකික පුහුනු හමුදා සෙබලු පැවසූ පරිදි ඔවුන් ඊට බැඳී ඇත්තේ ලැබෙන වැටුපෙන් දූ දරුවන් රැක බලා ගැනීමට නො හැකි බැවිනි. යුද්ධයේදී තමන් මිය ගියහොත් තම පවුලට ජීවත් වීමට සරිලන ආදායමක් ලැබෙනු ඇතැයි ඔවුහු විශ්වාස කලහ. මෙසේ, ජීවත්වීම සඳහා ජිවිතය හෝ මරනය තෝරා ගැනීමට සිදු වූ සමාජයක තරුනයන් පාතාලයට නැඹුරු වීම දඬුවම්වලින් නතර කල හැකි නො වේ. දුප්පත්කම සමස්ත පාතාලයේ වපසරිය පුලුල් කරයි.

පෙර පැවති ආන්ඩුව යුක්තියේ මෙහෙයුම නමින්, වඩාත් නිවැරදිව කිවහොත් පාතාලය මැඬිමේ මුවාවෙන්, සාමාන්‍ය නීතිය පවා නො තකා පීඩිත මහජනයා ත්‍රස්ත කිරීමේ ව්‍යාපාරයක් දියත් කලේ ය. පොලිසිය කුඩු පැකැට්ටුවක් දමා අහිංසක පුද්ගලයන් අත් අඩංගුවට ගෙන සිර ගෙවල් පුරවමින් සිය රාජකාරිය ඉටු කල අවස්ථා බොහෝ ය. මේ අතර පොලිසියට අත් අඩංගුවේ සිටි සැකකරුවන් ඝාතනය කිරීමේ අවසර ලැබී තිබිනි. අර්ධ පොලිස් රාජ්‍යයක් ගොඩ නැගෙමින් පැවතිනි. එකී මෙහෙයුම, ආන්ඩුව මුහුන දී සිටි අර්බුදය පීඩිත මහජනයා මත හෙලීමට දැරූ තැතක් බව ඉක්මනින්ම හෙලිදරව් විය. ජාතික ජන බලවේගය තුනෙන් දෙකක ඡන්දයක් ලබා දීමෙන් මෙම වල් වැදුනු නීතියට එරෙහි මහජන පෙල ගැසීම ද ප්‍රකාශයට පත් කලේ ය.
එහෙත් පසු ගිය 21දා ජාජබ ආන්ඩුවේ පොලිසිය ද කොටහේනේ දී, සැකකරුවන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කරමින් පැරනි නාටකය නැවත කරලියට ගෙනැවිත් ඇත. පෙර මෙන් ම ආයුධ සොයා ගැනීමට සැකකරුවන් ගෙන යමින් සිටිය දී, පොලිසියට මරනීය ප්‍රහාරයක් එල්ල කිරිම නැමති කුප්‍රකට ප්‍රබන්ධය යලි දොරට වඩම්මවා ඇත. සත්‍යය සමස්ත සමාජය දනී. පොලිසිය මේ සැකකරුවන් දෙදෙනාට හිටගෙන සිටින්නට නො හැකි වන තෙක් පහර දුන්නේ ප්‍රදේශවාසීන් සිය ගනනකගේ ඇස් ඉදිරියේ ය. සැකකරුවන් ගෙන යනු ලැබුනේ සන්නද්ධ පොලිස් කන්ඩාමක් විසිනි. අනිවාර්යයෙන් ම සැකකරුවන්ට මාංචු දමා තිබිය යුතු ය. එසේ තිබිය දී ආයුධයක් උදුරා ගෙන පහර දීමට එම සැකකරුවන්ට නො හැකි බව විශේෂයෙන් පැහැදිලි කිරීම අවශ්‍ය නො වේ. වැඩ බලන පොලිස්පතිගෙන් මේ පිලිබඳ විමසූ විට, “නීතියේ ප්‍රතිපාදන තියෙනවා පුද්ගලික ආරක්ෂාව සදහා පියවර ගැනීමට“ යි පිලිතුරු දුන්නේ ය. මෙම ඊනියා ප්‍රතිපාදන පොලිිසිය විසින් ඕනෑම පුද්ගලයෙකුට විරුද්ධව මේ ආකාරයෙන් ක්‍රියාවට දැමිය හැකි ය.
උක්ත මාධ්‍ය හමුවේ දී මාධ්‍ය වේදියෙක් වැදගත් ප්‍රශ්නයක් මතු කලේ ය. “STFR 398/ 2008 මූලික අයිතිවාසිකම් නඩුවට අදාලව, එවකට සිටි පොලිස්පති පොලිසියට නිකුත් කල ගයිඩ් ලයින් එකක්, 2023 අප්‍රේල් මාසේ උසාවියට බාර දුන්නේ ය. ඒ අනුව සැකකරුවෙක් එලියට අරගෙන යන අවස්ථාවේ මුල සිට යලි රැගෙන එන තෙක් එම අවස්ථාව වීඩියෝ කල යුතු ය. එම වීඩියෝව දැන් එලියට දමනව ද? එමෙන් ම එවැනි අවස්ථාවක දී සහකාර පොලිස් අධිකාරීවරයා දැනුවත් කල යුතු ය. මෙම නිර්දේශ පිලිපැද්දා ද? මීට පොලිස්පතිගේ පිලිතුර වූයේ විමර්ශන සිදු වන නිසා ඒ සම්බන්ධ අනාවරනයකට කල් වැඩි බව ය. මෙම ප්‍රකාශය, ඝාතන පිටුපස ඉහලින් පැමිනි නියෝගයක් හා අනුමැතියක් පවතින බවට සාක්ෂියකි. ආන්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක මෙම 25 දා ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කල ප්‍රකාශවලින් නැවතත් තහවුරු වී ඇත්තේ මෙම ක්‍රියාව ආන්ඩුවේ අනුමැතියෙන් සිදු වූ බව ය.
ජන මාධ්‍ය නියෝජිතයන්ගේ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින්, දරිද්‍රතාව හා රැකියාවක් සොයා ගැනීමේ අපහසුව, මත්ද්‍රව්‍ය සහ අපරාධවලට යොමුවීමට හෝ අනුබල දීමට මිනිසුන් යොමු කර ඇති බව පොලිස්පතිවරයා පිලිගත්තේ ය. එහෙත් හුදෙක් ආර්ථික ප්‍රශ්න නො ව ඒවාට විසඳුමක් ඔවුනට පෙනෙන තෙක් මානයක නො වීම, එනම් ස්වකීය ප්‍රශ්නවලට විසඳුම් පවතින ධනපති සමාජ ක්‍රමය තුල නොවන බව ගැන වැටහීම, මීට ප්‍රධාන හේතුවයි.
දේශපාලනිකව ගත් කල මෙම තත්වයන් පිලිබඳ විරෝධතාවක් පැවැත්වීම හෝ ඒ පිලිබඳව හුදු අදහස් ප්‍රකාශ කිරීම පවා මර්දනයට හේතු වීම, විශේෂයෙන් නීතිය අසමානත්වය, මෙවන් නීති විරෝධි ක්‍රියාවන්ට පසුගාමී පුද්ගලයන් පෙලඹවීමේ වාතාවරනයක් නිර්මානය කර ඇත. යම් ප්‍රශ්නයකදී පොලිසියට පැමිනිල්ලක් කිරීම පවා දුප්පතුන්ට පහසු නැත. පොලිසිය කුමන ආකාරයෙන් හෝ තමන්ට සම්බන්ධ පුද්ගලයාට වාසි සැලසීමට කටයුතු කිරීම රහසක් නො වේ. අධිකරනයක නඩුවක් සඳහා වියදම් දැරීමට පීඩිත මිනිසුන් හැකියාවක් නැත. හැම අතින් ම තමන් පීඩාවට පත් වීම නීතිය තමන් අතට ගැනීමට බොහෝ දෙනා පොලඹවයි. ආර්ථික දේශපාලන අසමානතාව අවසන් නො කරන තාක් සංවිධානාත්මක හෝ පුද්ගලබද්ධ අපරාධ වැලැක්වීම යනු ප්‍රෝඩාවකි. ඒ වෙනුවට දැනටමත් පෙනී ගොස් ඇති පරිදි අනීතික, දූෂිත, හා මර්ධනකාරී රාජ්‍ය යන්ත්‍රයක් අපරාධ මැඩීමේ මුවාවෙන් ඉස්මත්තට ගැනෙමින් පවතී.
සමාජ සමානතාව සඳහා ධනවාදය අතු ගා දැමීම අවශ්‍ය ය. කම්කරු පන්තිය, ධනපති පක්ෂ හා ඊනියා පිරිසිදු ධනවාදයක් වෙනුවෙන් පෙනී සිටින ව්‍යාජ වම්මුන්ට එරෙහිව; විශේෂයෙන් මහා වෘත්තීය සමිතිවල කෝපරේට්වාදයට එරෙහිව; කම්කරු ක්‍රියාකාරී කමිටු තුල සංවිධානය වීම මෙහි මූලික අවශ්‍යතාවයකි. ඒවා, පීඩිත ගොවීන් හා තරුනයන් ධනවාදී ව්‍යසනයට එරෙහි සටනට බලමුලු ගන්වනු ඇත. එවන් එකමුතුවක් සඳහා තැබෙන පියවර ම පවා, පීඩිත තරුනයන්ගේ ඇතැම් ස්ථර යොමු වී සිටින සාපරාධී තත්වයෙන් මුදවා ගැනීමේ මුල් පියවරක් බවට සනාථ වනු ඇත.