නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 8 – IV

ජේම්ස් පී. කැනන්

පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු

හතරවැනි ජාත්‍යන්තරයට එහි මුල් කාලයේ ම මුහුණ දීමට සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර අරගලයක් පිළිබඳව ද, එහි ලා අභියෝගයට ලක් ව තුබූ දේශපාලන ප්‍රයුක්තීන් සම්බන්ධව ද පුළුල් සාකච්ඡාවක් පාඨකයා වෙත ගෙන එන මේ ලිපි මාලාවේ පරිච්ඡේද හතක් මේ දක්වා සම්පූර්ණයෙන් පරිවර්තනය කර පළ කළෙමු. තරමක දීර්ඝ පරිච්ඡේදයක් වන අටවැන්න කොටස් පහකින් පළ කෙරෙන අතර, අද දින පළ කෙරෙන්නේ එහි සිව්වැනි කොටසයි.

මෙම පරිවර්තනය සඳහා උපයෝගී කොට ගැනුනේ Marxists Internet Archive අන්තර්ජාල ප්‍රකාශනයේ පල වී ඇති ඉංග්‍රීසි කෘතියයි. මෙම කෘතිය ප්‍රවේශමෙන් හැදෑරීම මාක්ස්වාදය වෙත ආකර්ෂණය වන්නන්ට මෙන් ම, වර්තමාන ලෝක අර්බුදය විසඳීමට සමත් කම්කරු පන්තියේ විප්ලවවාදී සංවිධානය ගොඩ නැඟීම පිළිබඳව උනන්දු වන සියලු දෙනාට ද අතිශයින් ප්‍රයෝජනවත් වනු ඇත.

8. ඇබර්න්වාදය: ව්‍යාධියක ඉතිහාස වාර්තාව – IV කොටස

ඇබර්න් 1936 දී භේදයක් සඳහා වූ ඔහුගේ සැළසුම් ක්‍රියාත්මක නො කළේ මන්ද? ඉතා හොඳ හේතූන් දෙකක් නිසාය – ඒ දෙක ම ඔහුගේ පාලනයෙන් පිටස්තර ඒවා විය: එනම්, 1) කණ්ඩායම කුඩා සුළුතරයක් බවට ඌනනය විය; 2) භේදයකට විරුද්ධ ප්‍රවණතාව විසින් එය ඇතුලතින් අඩපණ කර දමනු ලැබීය.

සිය පෞද්ගලික බලපෑම ඇබර්න්ට ආවරණයක් වී තිබූ සහ ඇබර්න් සමඟ කණ්ඩායම් අරගලයේ දී සහයෝගීව හුන් වෙබර්, භේදයක පෙරදැක්ම ඉදිරියේ පසුබැස්සේය. ඇබර්න් හා මස්ට්ගේ භේදන ක්‍රියා මාර්ගයෙන් ප්‍රදර්ශනාත්මකව බිඳී ගිය ඔහු පක්ෂයේ එකමුතුව සඳහා එළිපිට ම දෘඩ ලෙස පෙනී සිටියේය. මෙය වර්තමාන තීරණාත්මක තතු තුළ තවත් අය සඳහා ආදර්ශයකි! එය, පක්ෂය කෙරේ පක්ෂපාතිත්වය දැක්වීම පිළිබඳ, මෙතුවක් නිසි පිළිගැනීමක් නො ලද ආදර්ශයකි. ඇබර්න් හා ඔහුගේ කවය වෙබර් “ද්‍රෝහියෙකු” ලෙස හෙළා දුටුවෝය. වඩාත් ම තීරණාත්මක හා වඩාත් ම භාරදූර තත්ත්වය තුළ තම ඉහළතම පක්ෂපාතීත්වය පවතින්නේ පක්ෂය කෙරේ බව පෙන්නුම් කිරීම නිසා, අද දක්වාමත් කල්ලිය විසින් ඔහු “සමාජයීය වශයෙන් බැහැර කරනු ලැබේ.” එම අරගලය සම්බන්ධයෙන් ඇබර්න්(ගේ ක්‍රියා කලාපය) ආවරණය කරනු සඳහා වෙබර්ට අවමන් කිරීම කෙතරම් ලජ්ජා සහගත ද? කෙතරම් සාපරාධී ද? “එකී වර්ෂවල මතභේදය තුළ වෙබර්ගේ ක්‍රියා කලාපය, එහි ලා අවම විරූපී භූමිකාව නො වූ” බව, බර්න්හැම්, ඇබර්න්, ෂැට්මන් හා බර්න්ගේ “යුද්ධය සහ නිලධාරිවාදී ගතානුගතිකවාදය” යන ලේඛනය පවසයි. මෙය අතිදුෂ්ට ලෙස ඉතිහාසය දුරාචාරයේ යෙදවීමකි! වෙබර් පක්ෂයට පක්ෂපාතියාගේ භූමිකාව ඉටු කරමින්, පක්ෂය භේද කළ හැකි අයගේ සැළසුම් අවුල් කර දැමීමට පක්ෂයට ආධාර කළේය. එම ක්‍රියාව පමණක් වුව, කණ්ඩායම් අරගලය තුළ වෙබර්ගේ දෝෂවලට වඩා අතිශය වැඩි බරකින් යුක්ත ය. එකල ෂැට්මන් හා බර්න්හැම් එසේ පිළිගත්හ. වඩාත් වෙනත් තීන්දුවක් උසුරුවා ලීමට ඔවුන් දැන් දරන වෑයම විසින් අපකීර්තියට පත් කෙරෙන්නේ ඔවුන් ම විනා, වෙබර් නම් නො වේ.

සප්‍රතිපත්තික දේශපාලනය වෙනුවට සංයෝජනතාවාදය ආදේශ කිරීම මඟින් පාවා දීමේ මාවතේ යමෙකුට කෙතෙක් දුර ගමන් කළ හැකි ද යන්න, පක්ෂයට හා හතරවැනි ජාත්‍යන්තරයට එරෙහිව ප්‍රති-මාක්ස්වාදී, සෝවියට් විරෝධී බර්න්හැම් සමඟ ඇති කර ගෙන ඇති ඇබර්න්ගේ වර්තමාන කණ්ඩායමෙන් හෙළිපෙහෙළි වන්නේ ප්‍රථම වතාවට නො වේ. එක්දහස් නවසිය තිස් පහ – තිස් හය කාලයේ කණ්ඩායම් අරගලය තුළ දී ඔහු “කැනන්-ෂැට්මන් තන්ත්‍රය”ට එරෙහිව සංයෝජනය වූයේ හුදෙක් අන්ත-වාමාංශික උයිලර්වරුන් හා ක්‍රිස්තියානි සමාජවාදී මස්ට් සමඟ පමණක් නො වේ. කම්කරු පක්ෂයේ (Workers Party) සාමාජිකත්වය තුළ සිටි ස්ටැලින්වාදයේ ඇතැම් දේශපාලන ඒජන්තයන් ද ඔහු සිය සංයෝජනයට එක් කර ගත්තේය. තව ද, එසේ ඔහු එක් කර ගත්තාහු, ඕනෑම අකුටිල සංවිධානයකට කා වැදී, සිය දේශපාලන අනන්‍යතාවය හෙළිදරව් නො කොට සිටින සැඟවුණු ප්‍රකෝපකාරීහු නො වූහ. එවැනි ඒජන්තයන් අපේ ම සාමාජිකත්වය තුළ ද සිටීම ගැන සැක ඉපිදවීමට හේතුවක් නැත. වර්කර්ස් පාර්ටිහි ඇබර්න්ගේ අනුචරයෝ යලියලිත් හා අනවරත ලෙස දීර්ඝ කාලයක් පුරා සිය දේශපාලන දිශානතිය පෙන්වූවෝ වූහ. ඇලන්ටවුන් ශාඛාවේ පක්ෂපාතී සහෝදරවරුන් හා ජාතික කමිටුවේ කැනන්-ෂැට්මන් කණ්ඩායම අනවතර ලෙස ඔවුන්ට එරෙහිව සටන් වැදුණු අතර, එතරම් ම අනවරත ආකාරයෙන් ඇබර්න්-මස්ට් පක්ෂ අභ්‍යන්තර කණ්ඩායම ඔවුන් ආවරණය කර ආරක්ෂා කළෝය. ඔවුහු එම පක්ෂ අභ්‍යන්තර කණ්ඩායම තුළ හා එහි නායකත්ව කායය තුළ පවා තබා ගන්නා ලදහ.

මස්ට්-ඇබර්න්-ස්ටැලින්වාදීන් අතර සංයෝජනය, ඇලන්ටවුන්හි ප්‍රාදේශීය රැකියා විරහිත ලීගයන් සඳහා ඡන්දවල දී, ස්ටැලින්වාදීන්ගේ නිල නියෝජිතයන් සමඟ ඒකාබද්ධ වෙමින්, තමන්ගේ ම පක්ෂයේ සාමාජිකයන්ට එරෙහිව තරඟ කරන තරම් දුර ගියේය! මේ තත්ත්වය, 1936 ජනවාරි 28 දාතම යටතේ නිකුත් කරන ලද කැනන්-ෂැට්මන් කණ්ඩායමේ අංක 5 දරන බුලටීනයේ විස්තර කෙරුනේ මෙසේ ය: 

වර්කර්ස් පාර්ටි අංක 5 දරන බුලටිනයේ පටුන – (නැවත මුද්‍රණය) – ඡායාරූපය: ප්‍රොමිතියස් පර්යේෂණ පුස්තකාලයෙන්

පසුගිය වසරේ දී, සිය ස්ටැලින්වාදයට පක්ෂපාතී දිශානතිය සම්බන්ධයෙන් විවේචනයට පාත්‍රව සිටි මස්ට්වාදියා වන රීච්, අවසානයේ දී මදර් බ්ලූර් (එලා රීව් බ්ලූර් හඳුන්වන ලද්දේ බ්ලූර් මාතාව යන අරුත් දෙන මදර් බ්ලූර් ලෙසය – පරිවර්තක) හා බුඩෙන්ස් කථා කිරීමට නියමිත වූ ස්ටැලින්වාදී රැස්වීමකට ප්‍රසිද්ධිය දෙන තරම් දුර ගියේය. මෙය සිදුවූයේ ඇලන්ටවුන්හි රැකියා විරහිතයන්ගේ ලීගයේ නියෝජිතයන්ගේ රැස්වීමක දී ය. මේ සම්පූර්ණ කරුණ පිළිබඳ විමර්ශනය කළ දේශපාලන කමිටුව එළැඹි නිගමනය වූයේ, හුදෙක් රීච් දෝෂදර්ශනයට ලක් කිරීම පමණක් සිදු කළ ඇලන්ටවුන් ශාඛාව, එබඳු සාපරාධී ක්‍රියාවක් සම්බන්ධයෙන් මුළුමනින් ම පමණ ඉක්මවූ මෘදු ආකල්පයක් ගෙන ඇති බවයි. දේශපාලන කමිටුව නියෝග කළේ, සම්මේලන යෝජනා හා සම්මේලන නියෝජිතයන් තේරීම සඳහා ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ඔහු වෙත ලබා දෙමින් මාස තුනකට ඔහුගේ සාමාජිකත්වය තහනම් කිරීමට ය. … ඔවුහු දේශපාලන කමිටු තීන්දුවට අකීකරු වීමට තීරණය කළෝය. …

රැකියා විරහිතයන්ගේ ලීගයේ ලීහයි ප්‍රාන්ත විධායක මණ්ඩලයට තෝරා පත් කර ගැනීමේ ඡන්දයේ දී, ස්වකීය පක්ෂයේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම අතු ගා දැමීමට එහි [මස්ට්-ඇබර්න්] පක්ෂ අභ්‍යන්තර කණ්ඩායම තීරණය කළේය. අපේ ප්‍රවණතාවයට සහයෝගය දුන්, ඒ වනවිට විධායක මණ්ඩල සාමාජිකත්වය දරමින් සිටි තිදෙනෙකු අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කර දමා, ඡන්දයට අදාළ වූ ස්ථාන හය ම පිරවීමට මස්ට්වාදීන් හය දෙනෙකුගෙන් සමන්විත ලැයිස්තුවක් ශාඛාවේ රැස්වීමක දී, මස්ට්වාදීන් සතු වූ වැඩි ඡන්දයෙන් (ඡන්ද 22-21 ලෙස එක් වැඩි ඡන්දයකින්) සම්මත කරන ලදී. දේශපාලන කමිටුවේ සුළුතරයේ අභියාචනය මත ලැයිස්තුව නිවැරදි කරමින්, දැනට නිල දරන තිදෙනාට යළි තේරී පත්වීම සඳහා තරඟ කිරීමේ අවස්ථාව ලබා දීමටත්, ඉතිරි ස්ථාන තුන සඳහා තරඟ කිරීමට මස්ට්වාදීන්ට ඉඩ දීමටත් පසුව තීරණය කරන ලදී. මෙය, බලවේගවල සැබෑ සම්බන්ධතා සමඟ මෙන් ම එක් එක් අපේක්ෂකයන්ගේ කුශලතා සමඟ ද අනුකූල වන යුක්තියුක්ත බෙදීමක් විය. මෙම තීරණය අමුඅමුවේ උල්ලංඝනය කෙරින. මස්ට්වාදීහු ඡන්දයේ දී අපේ සහෝදරවරුන්ට එරෙහිව තරඟ කළෝය. එපමණක් නො ව, ඡන්දයේ දී ස්ටැලින්වාදීන්ගේ ඡන්දවල ආධාරයෙන් අපේ සහෝදරවරුන් පරාජය කළෝය. …      

ලුවී බුඩෙන්ස් -ඡායාරූපය අන්තර්ජාලයෙනි

ඇබර්න් ඇතුළු පක්ෂාභ්‍යන්තර කණ්ඩායමේ ජාතික නායකත්ව මට්ටමේ සාමාජිකයෙකු වූ ආර්නෝල්ඩ් ජොන්සන් ද සමඟ ඇලන්ටවුන්හි ස්ටැලින්වාදී ඒජන්තයන් වූ රීච් හා හැලේ,  ස්ටැලින්වාදී පක්ෂයට බැඳී සිටි හිටපු මස්ට්වාදී බුඩෙන්ස් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූහ. ස්වභාවිකව ම ඔවුන් මුළු බලය යොදා යත්න දරමින් සිටියේ පක්ෂය භේද කර, සමාජවාදී පක්ෂය තුලට එය සාර්ථකව ප්‍රවේශවීමේ ශක්‍යතාව විනාශ කිරීමට ය. සෑමවිට ම, සියලු රටවල හතරවැනි ජාත්‍යන්තරයේ ශ්‍රේණීන් තුළ සිටි ස්ටැලින්වාදී ප්‍රකෝපකාරීන්ගේ ප්‍රධාන එල්ලය වූයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයන්හි දී අධෛර්යමත් කරන සුලු භේදයන් ඇති කිරීමට ප්‍රකෝපකරණයන් සිදු කිරීමයි. අප පක්ෂ සම්මේලනයට සමීපවත් ම, ඇබර්න්-මස්ට් පිල කුඩා සුළුතරයක් බවට පිරිහී ගිය අතර, වෙබර් සහ අන්‍යයන් පක්ෂ එකමුතුභාවයේ ආස්ථානය ගැනීමේ හේතුවෙන් එහි භේද වැඩ පිළිවෙල ව්‍යවර්ථ වී ගියේය. ඒ හා ම, නිසැකව ම උපදෙස් මත ක්‍රියා කළ ස්ටැලින්වාදී ඒජන්තයෝ, ස්වකීය සැබෑ වර්ණය විදහා දැක්වීමට තීරණය කළෝය. අපේ පක්ෂ සමුළුව ඇරඹුණු දා ජොන්සන්, රීච් හා හැලේ යන ඇබර්න්ගේ ස්ටැලින්වාදී අනුචරයෝ  ඉල්ලා අස්වීමේ ඒකාබද්ධ ලිපියක් ඉදිරිපත් කර, “ප්‍රතිවිප්ලවවාදීන්” ලෙස අප හෙලා දකිමින්, තමන් කොමියුනිස්ට් පක්ෂයට “බැඳෙන” බව නිවේදනය කළෝය. මෙකී ලිපිය ඊළඟ දිනයේ ඩේලි වර්කර් පත්‍රයේ පළ කෙරින.

සිදුවීම්වල මේ හැරීම සම්මේලනය මත ඇති කළ ධාරණාවන් විස්තර කිරීමට පවා නො හැකි තරම් ය. සංයෝජනතාවාදයේ කෙතරම් විනාශකාරී ප්‍රතිඵලයක් ද! විප්ලවවාදී ව්‍යාපාරයේ ඉතිහාසය තුළ කවර හෝ කලෙක, එකී සම්මේලනයේ දී සංයෝජනතාවාදී ඇබර්න්-මස්ට් කණ්ඩායම මුහුණ දුන් තරමේ අපකීර්තියකට හා ගර්හාවකට කණ්ඩායමක් පාත්‍ර වී නැතැයි කිසිදු අවදානමකින් තොරව පැවසිය හැකිය. එදා පැවැති ව්‍යසනකාරී වාතාවරණය, විප්ලවවාදී දේශපාලනයේ ස්වකීය ප්‍රථම බැරෑරුම් පාඩම ලබා ගනිමින් සිටි තරුණ සහෝදරවරුන්ගේ චිත්තයන් තුළ අමතක කළ නොහෙන පරිද්දෙන් සනිටුහන් විය. සංයෝජනතාවාදයේ වංකගිරිය තුළ සිර වී සිටි අනල්ප තරුණ සහෝදරවරු සංඛ්‍යාවක් එම සම්මේලනයේ දී යළි අධ්‍යාපනය ලැබීම ආරම්භ කළෝය. ඔවුහු එහි දී ප්‍රගාඪ පාඩමක් උගත්හ. ශ්‍රේෂ්ඨ මූලධර්ම හා දේශපාලන ආස්ථාන සම්බන්ධ පක්ෂ මතභේදයක දී,  ඔවුන්ගෙන් කිසිවෙකු හෝ, “තන්ත්‍රය” පිළිබඳ වඳුරු-ප්‍රලාප දොඩමින් සිටිනු දැකීමට කිසිවෙකුට කිසිදා නොහැකි වනු ඇත.    

අපේක්ෂා භංග වූ හා පරාජයට පත් ඔහුගේ කණ්ඩායම දිරිය බල සුන් වූ අතළොස්සක් බවට පිරිහෙලනු ලැබීය. ඇබර්න්, ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදයේ මූලධර්ම යටතේ සම්මේලන තීන්දුවලට “යටත් වූයේය”. ඒ පක්ෂයට ඇති පක්ෂපාතිත්වය නිසා නො ව කිසිදු සරණකින් තොර වූ නිසා ය. එසේ කිරීමේ දී පවා ඔහු විෂකුරු එදිරිවාදුකම් පිරිමසා ගැනීමක තමාට ආවේණික අවසන් ඉඟියක් දැක්වීය. විරුද්ධ පක්ෂයේ පිළිගත් නායකයන්ගෙන් එක් අයෙකු වූ වෙබර්ට, නව ජාතික කමිටුව තුළ සුළුතරය නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි කෙරෙමින්, එහි ලැයිස්තුවට ඔහුගේ නම ඇතුලත් නො කෙරින. එසේ සැළසුම් කෙරුණේ කණ්ඩායමේ උත්සුකයන්ට වඩා ඉහළින් පක්ෂය කෙරේ පක්ෂපාතිත්වය තැබීම සහ පක්ෂ එකමුතුකම සඳහා දැඩි ලෙස ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ඔහුට “දඬුවම්” කිරීමට ය. සම්මේලනයේ බහුතරය එවන් තුච්ඡ ක්‍රියා පටිපාටියක් ඉවසා දරා නො සිටින බව අමුතුවෙන් කිව යුතු නො වේ. බහුතරය වෙබර්ට අනුග්‍රහ දක්වමින් තමන්ගේ ම අපේක්ෂකයන්ගෙන් එක් අයෙකු ඉවත් කර ගත්තේය. “එකී වර්ෂවල මතභේදය තුළ”, සියලු දෙනාගේ “භූමිකාව” කිසිදු වැරදි වැටහීමකට අවකාශ නොලැබෙන තරමට පැහැදිළි වී තිබූ කාලයේ, ෂැට්මන් සහ බර්න්හැම් ද ඇතුළුව අප සියලු දෙනා වෙබර්ගේ “භූමිකාව” ඇගයුම් කළේ එ පරිද්දෙනි.

පෙර කොටස් බලන්න:

හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්, 1, 2, 3, 4, 5, 6-I, 6-II, 7, 8-I, 8-II, 8-III

Scroll to Top