නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 8 – V

ජේම්ස් පී. කැනන්

පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු

හතරවැනි ජාත්‍යන්තරයට එහි මුල් කාලයේ ම මුහුණ දීමට සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර අරගලයක් පිළිබඳව ද, එහි ලා අභියෝගයට ලක් ව තුබූ දේශපාලන ප්‍රයුක්තීන් සම්බන්ධව ද පුළුල් සාකච්ඡාවක් පාඨකයා වෙත ගෙන එන මේ ලිපි මාලාවේ පරිච්ඡේද හතක් මේ දක්වා සම්පූර්ණයෙන් පරිවර්තනය කර පළ කළෙමු. තරමක දීර්ඝ පරිච්ඡේදයක් වන අටවැන්න කොටස් පහකින් පළ කෙරෙන අතර, අද දින පළ කෙරෙන්නේ, එම අටවැනි පරිච්ඡේදයේ අවසාන – එනම්, පස්වැනි කොටසයි.

මෙම පරිවර්තනය සඳහා උපයෝගී කොට ගැනුනේ Marxists Internet Archive අන්තර්ජාල ප්‍රකාශනයේ පල වී ඇති ඉංග්‍රීසි කෘතියයි. මෙම කෘතිය ප්‍රවේශමෙන් හැදෑරීම මාක්ස්වාදය වෙත ආකර්ෂණය වන්නන්ට මෙන් ම, වර්තමාන ලෝක අර්බුදය විසඳීමට සමත් කම්කරු පන්තියේ විප්ලවවාදී සංවිධානය ගොඩ නැඟීම පිළිබඳව උනන්දු වන සියලු දෙනාට ද අතිශයින් ප්‍රයෝජනවත් වනු ඇත.

8. ඇබර්න්වාදය: ව්‍යාධියක ඉතිහාස වාර්තාව – V කොටස

එක් දහස් නවසිය තිස් හයේ වසන්තයේ මුල් දිනවල පැවැති එම පක්ෂ සම්මේලනය සමාජවාදී පක්ෂයට ඇතුල්වීමේ ප්‍රශ්නය විසඳීය. නායකත්වය හා පක්ෂයේ අති බහුතරයක් නව ගැටළු හා නව කර්තව්‍යයන් කෙරේ සිය අවධානය යොමු කළෝය. මස්ට්, වෙනත් යක්ෂයෙකුට එරෙහිව දෙවියන් සමඟ සන්ධානගත වීම සඳහා, කැනන්ට එරෙහිව ඇබර්න් සමඟ පැවැත්වූ සන්ධානය අතහැර දැමීය. ඇබර්න්, නායක කමිටුවේ සියලු වඩාත්ම රහසිගත කරුණු සම්බන්ධයෙන් “සහෝදරවරුන් දැනුවත් කර තබා ගැනීමේ” සිය කුප්‍රකට තැපැල් මාර්ගික අධ්‍යාපන ක්‍රමය මඟින්, කවර හෝ වියදමක් දරා සිය කල්ලිය එකට බැඳ තබා ගැනීමේ කර්තව්‍යය කරා හැරී ගත්තේය.

කෙළවරක් නැති ශඨ ප්‍රයෝගයන්හි හා අනවරත ද්‍රෝහීත්වයේ මෙම අධම ව්‍යාපාරය සමුළුවෙන් පසුව ද දිගට ම පවත්වා ගෙන ගිය අතර, ප්‍රධාන කවවල සිටි සියලු දැනුවත් සහෝදරවරු මේ බැව් දැන සිටියෝය. ඔවුන් අතර ලිපි හුවමාරුවල වරින්වර එය වාර්තා විය. සති කිහිපයක ඇවෑමෙන්, අසනීපයක් නිසා සති කිහිපයක් නගරයෙන් බැහැරව සිටි මට බර්න්හැම්ගෙන් ලිපියක් ලැබිණ. එහි මෙසේ සඳහන් විය:

පසුගිය රාත්‍රියේ මෙයර්ස්ගෙන් ලද ලිපියක මෙසේ සඳහන් වෙයි: ඔබ ICL සමුළුවට යන බව අපි …. වෙතින් දැන ගතිමු. ඔබේ ගමන දේශපාලන කමිටුව තුළ පමණක් දන්නා රහසිගත එකක් බව අප දැන ගත්තේ අපේ ප්‍රවණතාවයේ සාමාජිකයන් නො වන අය ද ඉදිරියේ ය. එම තොරතුර හා අමතර වැඩිමනත් තොරතුරු ඇයට ලබා දුන් බලධරයා ඇබර්න් බව ඇය පැවසුවා ය.” ඒ කාලයේ ම කෙරීගෙන් ලැබුණු ලිපියක මෙසේ අඩංගු වෙයි: “… පසුගිය රාත්‍රියේ සහෝදරවරුන් ගණනාවක් හා එක් පිටස්තරයෙතු ද හමුවේ, අප හතරවැනි ජාත්‍යන්තරය සඳහා වැඩ කිරීම නවතා ඇති බව  ….. සහෝදරිය ප්‍රකාශ කළාය. එම ප්‍රකාශයට විරුද්ධත්වය පළ කළ මම ඒ පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කරන ලෙස ඇයට අභියෝග කළෙමි. … තමන්ට දේශපාලන කමිටුවේ සාමාජිකයෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව, මෑතක පැවැති දේශපාලන කමිටු රැස්වීමක දී හරියට ම මෙම ප්‍රශ්නය සාකච්ඡා වී ඇති බවත්, එහි ප්‍රතිඵලය ලෙස ඇගේ විශ්මයජනක තර්කය තහවුරු වී ඇති බවත් ඇය ප්‍රකාශ කළාය. එහි සත්‍යතාව පිළිගැනීම එකහෙලා ප්‍රතික්ෂේප කළ මම, එය මට විශ්වාස කිරීමට නො හැකි බව හා මා එය විශ්වාස නො කරන බව කියා සිටියෙමි. එවිට ඇය, ඇබර්න් විසින් ලියන ලද ලිපියක් ඉදිරිපත් කර, එහි සිය තර්කය පදනම් කර ගත් කොටස කියැවූවා ය. එහි කියැවුණේ, IS සමුළුවක් පැවැත්වීමට නියමිතව තිබූ බවත්, ජිම් කැනන් එයට සහභාගී වීමට නියමිතව සිටි බවත්, එහෙත් මෙම සම්පූර්ණ කාරණය අතිශයින් අප්‍රකටව හා රහසිගතව තබා ගත යුතු බවත් ය. ට්‍රොට්ස්කි සහෝදරයා මෙම සමුළුවට සහභාගී වීමට නියමිත අතර එය ICL විසින් කැඳවනු ලබන සමුළුවක් සඳහා පූර්ව සූදානමකකි ආදී වශයෙන් එහි කියැවින. … මෙම සමුළුවට අපේ සහභාගීත්වය රහසක්ව තබා ගත යුතුව තුබුනේය යන කරුණ අනුව අප හතරවැනි ජාත්‍යන්තරයට වැඩ කිරීම නවත්වා තිබුනේය. (!) එය කෙතෙක් දුරට ද යත්, දෙවැන්නට (දෙවැනි ජාත්‍යන්තරයට) පක්ෂපාතීත්වය තහවුරු කිරීම දක්වා පවා..!

මෙය, සියලු ප්‍රධාන සහෝදරවරුන් දැන සිටි සිදුවීම් දුසිම් ගණනකින් එකක් පමණෙකි. පසුගිය ජූනි මාසයේ දී දේශපාලන කමිටුවට ඉදිරිපත් කළ ලේඛනයකින්, ඇබර්න් කල්ලිය “ජීවමානව පැවතියේ හා තවමත් පවතින්නේ,” අනෙකුත් දේ අතර, “රහසිගත තොරතුරු ද ඇතුලත්ව, ප්‍රලාප හා තොරතුරු හවුලේ බෙදා ගැනීමෙන්”යැයි ප්‍රකාශ කරන විට බර්න්හැම් තමන් කථා කරන්නේ කුමක් ද යන්න දැන සිටියේය. එක් දහස් නවසිය තිස් හයේ නොවැම්බර් 17 වන දා, සමාජවාදී පක්ෂය තුළ පිළිවෙත් සහ ක්‍රියා පටිපාටි සම්බන්ධ ඇතැම් ප්‍රශ්න මත බර්න්හැම් මා සමඟ තියුණු මතභේදයක සිටිය දී, එහෙත් ඇබර්න් සමඟ කාණ්ඩ ගැසීමේ අදහස ඔහුගේ මනස තුළට එබිකම් කිරීමට බොහෝ පෙරාතුව, ඔහු කැලිෆෝර්නියාවේ දී මට මෙසේ ලියා එවීය: “ඇබර්න්ගේ ඉදිරි දර්ශනය අපි සියලුදෙනා ම දන්නෙමු. සුපුරුදු ලෙස, ඔහු තම ඉදිරි දර්ශනය සඳහා සටන් වදින්නේ සිය කල්ලිවාදී විධික්‍රම මඟින්, කරදර අවුස්සමින්, කිසිවෙකු නො බලන විට ගියර පද්ධතිය තුලට මුරිච්චි යතුර වීසි කිරීමේ වර්ගයේ කඩාකප්පල්කාරී වැඩ කරමින්, බොර දියේ මාළු බාමිනි. පළමු සති හය තුළ අපි ඉන් සමහරක් දුටුවෙමු. ඔබ පිටත්ව යාමට පෙර අපේ නායක කමිටුවේ දී කෙරුණු මැඬලීමත්, මස්ට් විසින් ඔහු අතහැර දමනු ලැබීමත් මඟින් ඔහු යම් දුරකට මන්දනය විය. එහෙත් ඔහු තමන්ගේ ම මාවතේ දිගට ම යයි; ඒ පිළිබඳ වාර්තා ටිකෙන් ටික කාන්දු වෙමින් එයි.”

එකී ලිපියේ ම, ඇබර්න් කල්ලිය ආශ්චර්යජනක ලෙස අතුරුදහන් වී, කැනන්ගේ “කල්ලිය” එතරම් ම ආශ්චර්යජනක ආකාරයෙන් සොයා ගැනීමට පූර්වයෙන්, තනතුරක් සඳහා සටන් කිරීමේ දී මා අනුගමනය කළ, ඔහු එකඟ නො වූ, විධික්‍රම සම්බන්ධයෙන් ඔහු මෙසේ ලියා ඇත: “ස්වභාවිකව ම, ඔබ ඇබර්න් ක්‍රියා කරන ආකාරයෙන් ඒ සඳහා සටන් කරන්නේ හෝ ක්‍රියා කරන්නේ හෝ නැත. ඔබ කල්ලිවාදියෙකු නො වේ; ඔබ, ඔබේ ගොරෝසු අයිරිෂ් විලාසිතාවෙන් ‘බෝල්ෂෙවික් මුෂ්ටිය’ට අනුග්‍රහ දක්වන්නෙහිය.” ඉක්බිතිව සිදු වූ සිදුවීම් පෙන්නුම් කළ පරිදි ස්වභාවිකව ම, එකල මගේ ගොරෝසුබව සම්බන්ධයෙන් බර්න්හැම් දැරූ මතය යම් දුරකට අතිශයෝක්තියට නැංවූ එකකි. එකී මතභේදවල දී මගේ විධික්‍රම ඉතා මෘදු, සාමවාදී පවා, විය. එහෙත් ඒවා සම්බන්ධ “කල්ලිවාදී” වූ කිසිවක් නො වීයැයි පැවසීමේ දී බර්න්හැම් 100% ක් නිවැරැදි විය. එපමණක් නො ව, එම තක්සේරුව අදට, හෝ වෙනත් කවර හෝ කාලයකට අදාළව ද 100% ක් නිවැරැදි වනු ඇත.

එක් දහස් නවසිය 36-37 කාලයේ ට්‍රොට්ස්කි ආරක්ෂක කමිටුව තුළ අපේ සහෝදරවරුන් ඉටු කළ විශිෂ්ඨ කාර්යභාරය සමස්ත පක්ෂය ම කෘතඥතාවයෙන් හා අගය කිරීමෙන් යුතුව සිහිපත් කරයි. මෙම කර්තව්‍යයේ සාර්ථකත්වය සඳහා හුදු අපේ ප්‍රවණතාවයේ සියලු සාමාජිකයන්ගේ පමණක් නො ව, තෝමස්වාදී සමාජවාදීන්ගේ ද, එමෙන්ම, ස්වාධීන ලිබරල්වාදීන් හා රැඩිකල්වාදීන්ගේ පුළුල් කවයක ද සහයෝගය අවශ්‍ය විය. උපාය කෞශල්‍යය, විචක්ෂණ බුද්ධිය හා පුළුල් පිළිවෙත් අවශ්‍ය විය; මෙම දැවැන්ත ව්‍යාපාරය, පටු “ට්‍රොට්ස්කිවාදී” කණ්ඩායම් කටයුත්තක් ලෙස හැසිරවීම මාරාන්තික විය හැකිව තිබිණ. මා සිතන අන්දමට, සමස්තයක් ලෙස කොමිටියේ කටයුතුවල දේශපාලන අන්තර්ගතය සම්බන්ධයෙන් වැඩිමනත් කැප කිරීමකින් තොරව මෙම අන්තරායයන් වළක්වා ගත හැකි විය. එහෙත් එක් අදියරක දී, නොවැක් නො සිටි හා මොරෝ අසනීප වූ තතු තුළ කාර්යාලයේ කටයුතුවල අධිකාරය දැරීමට ඇබර්න් තාවකාලිකව පත් කරන ලදී. අදාළ සියලු සහෝදරවරුන්ගේ සාක්ෂ්‍යවලට අනුව, ඔහු වහා ම කාර්යාලය කණ්ඩායම් මූලස්ථානයක් බවට හැරවීය. ඒ සමස්තයක් ලෙස ට්‍රොට්ස්කිවාදී කණ්ඩායමේ නො ව, ට්‍රොට්ස්කිවාදී කණ්ඩායම තුළ කණ්ඩායමක මූලස්ථානය බවට ය. සවිඥානක කාර්යාල කළමනාකාරියගේ, පර්ල් ක්ලුගර් සහෝදරියගේ, ඉල්ලීම මත මොරෝට සිය අසනීපයෙන් නිසි සුවය ලබන්නට පෙර පෙරළා කාර්යාලයට පැමිණීමට සිදු විය.   

ලියොන් ට්‍රොට්ස්කිගේ ආරක්ෂාව සඳහා වූ ඇමරිකානු කමිටුව විසින් ට්‍රොට්ස්කිගේ චෝදකයන්ට පිළිතුරු දීම සඳහා 1937 පෙබරවාරි 5 වන දින නිව්යෝර්ක් නගරයේ පවත්වන ලද ප්‍රසිද්ධ රැස්වීමක් පිලිබඳ ජුලියන් ජේ. කොවල් සකස් කළ ලඝුලේඛ වාර්තාවේ මුල් කවරය ඡායාරූප අනුග්‍රහය: Internet Archive

තමන්ගේ ම පහත් හා නො වැදගත් කල්ලියේ උත්සුකයන් සම්බන්ධ වූ කල්හි, පක්ෂයේ උත්සුකයන් සම්බන්ධයෙන් මෙන් ම, පොදුවේ ව්‍යාපාරයේ පුළුල් උත්සුකයන් සම්බන්ධයෙන් පවා ඇබර්න් මුළුමනින් ම අන්ධව  සිටියේය. ඇබර්න් විසින් උසුලනු ලබන තනතුරු සෑමවිට ම “ඔහුගේ කල්ලිය පවත්වා ගෙන යාමට ආධාරකාරී වන ආකාරයෙන් පරිපාලනය කෙරෙතැ”යි පවසන විට බර්න්හැම් විසින් අදහස් කෙරුනේ ට්‍රොට්ස්කි ආරක්ෂක කමිටුවේ සිදු වූ ආකාරයේ සිදුවීම් ය.

එක් දහස් නවසිය තිස් හත වසරේ ගිම්හානයේ මුල් දිනවල, සමාජවාදී පක්ෂය තුළ අපේ කණ්ඩායම් අරගලය තීරණාත්මක මට්ටමකට එළඹෙන බැව් පැහැදිළි විය. එහි ලා අපගේ මූලෝපායය සාකච්ඡා කිරීමට සහ, නොවැලැක්විය හැකි හා අත්‍යවශ්‍ය භේදය සඳහා අපේ සැළසුම් සකස් කර ගැනීමට අපේ කණ්ඩායමේ ප්‍රධාන කමිටුවේ අතිශය රහසිගත රැස්වීමක් පැවැත්වින. දින කිහිපයක ඇවෑමෙන් මෙම රැස්වීමේ රහසිගත අංශ ද ඇතුළත්ව, මොහු කුමක් කීවේ ද, අනෙක් තැනැත්තා කුමක් කීවේ ද, අවසානයේ තීරණය වී තිබුනේ කුමක්ද – ආදී වශයෙන් අපේ සියලු “යුද” රහස් ද සමඟ, සම්පූර්ණ වාර්තාවක් ජැක් ඇල්ට්මන් අත තිබිණ. ඇල්ට්මන් මෙම වාර්තාව පළ කර එය සමාජවාදී පක්ෂයේ සාමාජිකත්වය අතර පතුරුවා ලූ අතර, එමඟින් අප පත්වූ දුෂ්කර අවස්ථාව හා අපට සිදු වූ හානිය කිසිසේත් සුළුපටු නො වීය. ඇල්ට්මන් ප්‍රසිද්ධියට පත් කළ රැස්වීම් වාර්තාවට අඩංගු වූයේ, වෙනත් නගරයක විසූ, ජාතික කමිටුවේ සාමාජිකයෙකු හෝ නො වූ, කණ්ඩායමික සහචරයෙකුට ඇබර්න් ලියූ ලිපියකි. පැහැදිළි හේතූන් මත තාවකාලිකව අනෙකුත් සහෝදරවරුන්ට ලබා නොදුන් තොරතුරු ලැබීමේ කවර හෝ අයිතියක් ඇබර්න්ගේ මෙකී සහචරයාට නො වීය. ඇබර්න්ට අනුව, බෙදා හැරීමේ දී වැරදි තැනකට ගිය ලිපිය ඇල්ට්මන්ගේ අතට පත් වී ඇත.    

මීට ඉහත ලබා තිබූ සියලු අත්දැකීම්වල මස්තකයේ පිහිටි මෙම විශ්වාස ඝාතක ක්‍රියාව, අපේ පක්ෂයේ නායක කව තුළ දැවැන්තතම කෝපාග්නියක් දැල්වීය. ඇබර්න්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම බැරෑරුම් ලෙස සලකා බලන ලදී. කෙටි කලෙක ඇවෑමෙන්, අපේ කණ්ඩායමෙහි කුඩා මෙහෙයුම් මණ්ඩලය සඳහා පමණක් ලියැවුණු, සමාජවාදී පක්ෂයේ නිලධරය සමඟ භේදවීමේ අරගලය තුළ අපේ මූලෝපායය සම්බන්ධ අතිශය රහසිගත ලිපියක්, නිව්යෝර්ක් ශාඛාවේ එක් එක් සාමාජිකයාට හෙළිදරව් කෙරුණු බවත්, එහි සාමාජිකත්වය පුරා ම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බවත් සොයා ගත් කල්හි කෝපයේ ගිණිදැල් වඩවඩාත් බුරා ඇවිලිණ. එම අවස්ථාවේ අපි මෙම තොරතුරු කාන්දුව පිළිබඳ පරීක්ෂා කිරීමට පාලන කොමිසමක් (කැනන් හා ෂැට්මන්!) පත් කිරීම දක්වා ම දුර ගියෙමු. මෙකී ලිපියේ අන්තර්ගතය ඔවුන්ට ඇබර්න් විසින් දැනුම් දෙන ලද බව සහෝදරවරුන්ගේ අභියෝග කළ නො හැකි සාක්ෂි ඇසුරෙන් පාලක කොමිසම තහවුරු කළේය. එම අවස්ථාවේ අප විසින් ඇබර්න්ට එරෙහිව බලගතු විනය ක්‍රියා මාර්ගයක් නො ගන්නා ලද නම්, ඒ හුදෙක් ම, සමාජවාදී පක්ෂයේ මාධ්‍යමිකයන් සමඟ අප දරුණුතම අරගලයක ගැඹුරටම කිඳී සිටි නිසා සහ, මාධ්‍යමික සතුරාට එරෙහි අරගලයට සියලු ශක්තීන් හා අවධානය සංකේන්ද්‍රණය කරනු වස්, තවත් වතාවක් ද්‍රෝහී ක්‍රියාවකට සමාව දීම හොඳම පිළිවෙලයැයි – ඥානවන්ත ලෙස හෝ අඥාන ලෙස – කල්පනා කිරීම නිසා ය. ඒ හැරත්, අපේ බිහිසුණු “තන්ත්‍රය” කිසිවෙකුට කිසිවක් සඳහා කිසිදාක දඬුවම් දී නැති අතර, වටහා ගත නො හැකි කිසියම් සිහිමඳකමේ හේතුවක් මත, එය සිය වාර්තාව පලුදු කර ගැනීමට කැමැති වූයේ නැත.   

++++++++++++++++

“යුද්ධය හා නිලධරවාදී ගතානුගතිකවාදය” අපට ඉදිරිපත් කෙරෙන්නේ, “පසුගිය තෙ වසර තුළ” තමන් පක්ෂ අභ්‍යන්තරයේ කරදර ඇති කිරීම නවතා දමා ඇති පමණක් නොව, අන්‍යයන් විසින් උසි ගන්වන ලද ආරාවුල් පවා සමථයට පත් කරන කරුණාවන්ත පොලිස් භටයෙකුගේ භූමිකාව පවා ඉටු කර ඇති, ප්‍රතිසංස්කරණය වූ හා පාරිශුද්ධකරණය වූ කල්ලිවාදියෙකුගේ සංවේදී චිත්‍රයයි. “ඇත්ත වශයෙන් ම නම්, (සමාජවාදී පක්ෂයට-ප.) ඇතුළුවීමට එරෙහි අරගලයට වෙබර් සමඟ නායකත්වය දුන් ඇබර්න්, පසුගිය තෙ වසර තුළ වර්තමාන මතභේදය පුපුරා යාම දක්වා ම, සියලු ආරාවුල් වළක්වා ගැනීමටත් ආරාවුල්  පැන නැඟුණු කල්හි ඒවා සන්සුන් කිරීමටත් අන්තිම කෙළවර දක්වා ම යත්න දරා ඇත.”        

සරල සත්‍යය නම්, සිය අතීත ක්‍රියාකාරිත්වය මඟින් ඇබර්න් කල්ලිය කෙතෙක් අපකීර්තියට පත්ව තුබුණි ද යත්, කිසිදු අරගලයක් එළිපිට පවත්වා ගෙන යාමට තරම් එය නිර්භීත නො වීමයි. ඇබර්න් කල්ලියට කිසි දා දේශපාලන වේදිකාවක් නො තිබුණු අතර, එහි 10 වසරක ඉතිහාසය තුළ කිසි දිනෙක එය, අරගලයකට දේශපාලන වැඩ පිළිවෙලක් හා “මුහුණක්” ලබාදීම සඳහා බලගතු අනුචරයන් නො මැතිව විවෘත අරගලයක් සිදු කිරීමට භාර ගෙන නො මැත. මුල් ම කාලයේ එයට ෂැට්මන් සිටියේය. ඊළඟට මස්ට් සහ ස්පෙක්ටර්, දැන් බර්න්හැම් සහ යළිත් ෂැට්මන්. අතරමැදි කාලවල කල්ලිය සැඟවී සිටිමින් එහි ප්‍රලාප බෙදා හරිමින්, තන්ත්‍රය පිළිබඳ දුක් ගැනැවිලි හා පැමිණිළි මුමුණමින්, තරුණ හා අත්දැකීම් රහිත සහෝදරවරුන් මංමුළාවේ හෙලා, බලගතු නායකයන් අතර ගැටුමක් පුපුරා යන තුරු කල් මරයි. එසේ ගැටුම් පැන නැඟුණු කල්හි එය විරුද්ධ පාර්ශ්වයේ දේශපාලන වැඩ පිළිවෙලට – එය කවර වැඩ පිළිවෙලක් හෝ වේවා – සිය සහයෝගය පුද කිරීමට මාන බලයි. ඒ, “සංවිධානය සම්බන්ධ ප්‍රශ්නය” මත සංයෝජනයක හිලව්වට ය.

මෙම අවස්ථාව නො ලැබෙන විට දී ඇබර්න් කණ්ඩායම, බෝල්කන් රාජ්‍යයක් මෙන්, “ගැටුම්වලින් වැළකී සිටී.” ඒ හොඳ හිත නිසා නො ව, අසරණකම හා තමන්ගේ ම දෙපයින් නැඟී සිටීමට ඇති බිය නිසා ය. හුදෙක් “පසුගිය තෙ වසර” නො ව අපේ ව්‍යාපාරයේ සමස්ත ඉතිහාසය ම පෙන්වා දෙන්නේ, පක්ෂයේ බෝල්කන් රාජ්‍යය වන ඇබර්න් කල්ලිය, පක්ෂය තුළ සාමය පවතින විට සැඟවී සිටින බවත්, එහෙත් “සිය දේශසීමා සහතික කළ හැකි” හා සිය “භූමිය” යන්තමකට හෝ විස්තීරණය කිරීමෙහි පවා සමත් බලවත් සහචරයෙකු ලද මොහොතේ ම සෑමවිටම යුද්ධයට සූදානම් බවත් ය.    

කල්ලි දේශපාලනය හා සංයෝජනතාවාදය, සහ මෙකී නින්දිත භාවිතයන් නියෝජනය හා සංකේතවත් කරන ඇබර්න් කණ්ඩායම සත්තකින් ම, 1936 දී ෂැට්මන් ලියූ පරිදි, “පක්ෂයේ රුධිර ප්‍රවාහය තුළ දුෂ්ට ප්‍රවාහයක් නියෝජනය කරයි.” ඔවුන්ගේ දායකත්වය හිමි වන්නේ පක්ෂයේ අධ්‍යාපනයට නො ව එහි දූෂණයට ය. තමන්ගේ ශ්‍රේෂ්ඨ කර්තව්‍යයන් සාක්ෂාත් කිරීම සඳහා ස්වකීය ජීවිතය පවත්වා ගැනීමටත්, ඉදිරියට යාමටත් පක්ෂය මෙම ව්‍යාධියෙන් තමන් සුවපත් කර ගත යුතුය. ඇබර්න් කල්ලියේ ඓතිහාසික වාර්තාව මතින් උඩින් මත්තෙන් ලිස්සා යාමට විපක්ෂ සංයෝජනය දරන ප්‍රයත්නය විසින්, මුළ සිට අගට ම දොස් නො දැකිය හැකි ප්‍රතික්ෂේප නො කළැකි කරුණුවලින් සංයුක්ත කළ, එහි සැබෑ ඉතිහාසය සම්බන්ධ මෙම විස්තීර්ණ අගයනය අත්‍යවශ්‍ය කටයුත්තක් බවට පත් කෙරින. සියලු කල්ලි මෙන් ම ඇබර්න් කල්ලිය ද වැඩී වර්ධනය වන්නේ අඳුරේ දී ය. එය දිවා එළියට ඇද දමා, එය කුමක් ද යන්න සහ එය සෑමවිටම කුමක් වී ද යන්න පක්ෂයට පෙන්වා දීම අත්‍යවශ්‍ය විය. වර්තමාන තත්ත්වය තුළ භේදයක් සඳහා, ඇබර්න්ගේ ද්‍රෝහී නඩයේ ඉහළ ම මට්ටමේ දායකත්වය ලැබ සිදු කෙරෙන තර්ජනය, පක්ෂයට අවසාන අනතුරු හැඟවීමක් ගෙන එයි: කල්ලි දේශපාලනය හා සංයෝජනතාවාදය තව දුරටත් ඉවසා සිටිය හැකි නො වේ! පක්ෂයේ ජීවිතය පැවතීමට නම් කල්ලි දේශපාලනය හා සංයෝජනතාවාදය විනාශ කළ යුතුය. ඉදිරියෙහි එළඹෙන පක්ෂ සම්මේලනය හමුවේ මෙම කල් දැමිය නො හැකි කර්තව්‍යය මුහුණට මුහුණ ලා අභිමුඛ වී ඇත.

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – දෙවැනි භාගය සමාප්තයි.

මීළඟට මෙම කෘතියේ තුන්වැනි භාගය ඇරඹේ.

පෙර කොටස් බලන්න:

හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්, 1, 2, 3, 4, 5, 6-I, 6-II, 7, 8-I, 8-II, 8-III, 8-IV

Scroll to Top