නොනවතින විප්ලවය සඳහා අඛන්ඩව සටන් වැදුනු වික්ස්  සහෝදරයා

නන්ද වික්‍රමසිංහ (1939-2025)

සමාජවාදී සමානතා පක්ෂය (වම)

අප්‍රියල් 20 දින, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාවේ පුරෝගාමී නායකයෙකු වන, නන්ද වික්‍රමසිංහ (වික්ස්) සහෝදරයා සිය ආදරනීය බිරිඳ, දරු මුනුබුරන් හා ශ්‍රී ලංකාවේ ද, ලොව පුරා ද සිටින සිය විප්ලවවාදී සගයන්ගෙන් සමු ගත්තේ ය. අධිරාජ්‍යවාදී දෙවන ලෝක යුද්ධයේ ගිනි පුපුරු දැල්වෙමින් තුබූ 1939 වසරේ උපන් වික්ස් අභාවප්‍රාප්ත වන්නේ, තෙවන ලෝක යුද්ධ සැලසුම්වලට එරෙහිව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීම උදෙසා මතු වී වැඩෙන තියුනු සටන් රැල්ලකින් ලෝකය උනුසුම් වෙමින් පවතිද්දී ය.

වික්ස් සහෝදරයා සාමාජිකත්වය දැරූ, කම්කරු පන්තියේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ආරමිභක සම්මේලනය 1938 සැප්තැම්බර් මාසයේ, ප්‍රංශයේ දී පැවැත් විනි. වික්ස් සහෝදරයා,1939 ඔක්තෝම්බර් 15දා ශ්‍රී ලංකාවේ දකුනු පලාතේ ගම්බද පෙදෙසකින් බිහි, වී වැඩී එම ජාත්‍යන්තර ව්‍යාපාරයේ ඉදිරි පෙල සටන්කරුවෙකු බවට පත් වූයේ ය. හතර වන ජාත්‍යන්තරය, සිය පාදක ඉදිරි දර්ශන ලියවිල්ල වන ධනවාදයේ මර ලතෝනිය හා හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ නමින් ඉදිරිපත් කලේ ය. වික්ස්ගේ ජීවිතයේ තිරසර පදනම එහි සඳහන් මෙම වැකිය තුල අන්තර්ගත ය. “මීලඟ කාල පරිච්ඡෙදයේ දී විප්ලවවාදී පක්ෂයක සාර්ථකත්වය රදා පවතිනු ඇත්තේ ප්‍රධාන වශයෙන් ම යුද්ධය පිලිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් එහි ප්‍රතිපත්ති මත ය. මෙහි ලා නිරවද්‍ය ප්‍රතිපත්තියක් මූලිකාංග දෙකකින් සමන්විත වේ. එනම්, අධිරාජ්‍යවාදය හා එහි යුද්ධය කෙරෙහි සම්මුති විරහිත ආකල්පයක් ගැනීම සහ, තම ක්‍රියා මාර්ගය මහජනතාවගේ ම අත් දැකීම් මත පදනම් කිරීමේ හැකියාව යන මේ දෙකෙනි.“ ( පිට 22) එලඹ ඇත්තේ, ඔහු ගෙන ගිය අරගලයේ පාඩම් මත ජාත්‍යන්තර කම්කරු පන්තිය පිහිටුවා ගැනීමේ කාලයයි.

නන්ද වික්‍රමසිංහ හා එච්.එම්.බී. හේරත් 1989 දී එක්සත් පෙරමුනක් සඳහා වූ උද්ඝෝෂනය තුල ඕස්ට්‍රේලියානු කම්කරුවන් අමතමින්

එම පාඩම් අතර හතරවන ජාත්‍යන්තර තුලින් මතුව, ධනේශ්වර පීඩනය හමුවේ දන ගසා, මෙම ඉදිරි දර්ශනය හා කම්කරු පන්තියේ ඓතිහාසික කාර්යභාරය කෙරේ සැක සංකා පල කල අවස්ථාවාදී ප්‍රවනතාවකට එරෙහිව අරගලය පන්ති සටනේ තීරනාත්මක ලක්ෂ්‍යයක් සටහන් කර ඇත. ජාක තුලින් මතු වූ පැබ්ලෝවාදය නමින් කුප්‍රකට එම ප්‍රවනතාවට අනුව, සමාජ විප්ලවය සියවස් ගනනකින් මෙහා එලඹීමට ඉඩ නැත. ඒ වෙනුවට පවතිනු ඇත්තේ ස්ටැලින්වාදී ජාතික සමාජවාදය යි. අධිරාජ්‍යවාදයට එරෙහි සටන ඊනියා ප්‍රගතිශීලි ධනපති පාලකයන් විසින් පවරා ගනු ලැබ ඇත. ඒ අනුව, විප්ලවවාදීන්ගේ කර්තව්‍යය වනුයේ, එම ධනපතීන්ට සහාය පිනිස කම්කරු පන්තිය මෙහෙයවා ක්‍රමානුකූලව ධනපති පාලනය සමාජවාදය සඳහා යොමු කර ගැනීම ය.

ශ්‍රී ලංකාවේ දී ට්‍රොට්ස්කිවාදයේ නමින් පෙනී සිටි ලංකා සමසමාජ පක්ෂය, සිරිමා බන්ඩාරනායකගේ ධනපති ආන්ඩුව තුලට රිංගා ගැනීම සඳහා මෙහෙයවූයේ මෙම ප්‍රතිගාමී සංශෝධනවාදයයි. 1964 දී කල මෙම මහා පාවා දීමට එරෙහිව, ජාත්‍යන්තර කමිටුවේ මග පෙන්වීම යටතේ එහි ලංකා ශාඛාව ලෙස විප්ලවවාදී කොමියුනිස්ට සංගමය ගොඩ නැගීමට අභාවප්‍රාප්ත ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය, ඔහුගේ අනුප්‍රාප්තික අභාවප්‍රාප්ත විජේ ඩයස්, ආනන්ද වක්කුඹුර හා වර්තමානයේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ශ්‍රී ලංකාවේ කතෘ  කේ. රත්නායක ඇතුලු ප්‍රගතිශීලී තරුන කන්ඩායමක් සමග වික්ස් පෙරමුන ගත්තේ ය. විකොස පදනම් වූයේ රුසියානු විප්ලවයේ ඉදිරි දර්ශනය වූ නො නවතින විප්ලව න්‍යාය මත ය. සංශෝධනවාදී අවස්ථාවාදය සහමුලින් ම ධනවාදය බවට පරිවර්තනය වී ඇති අද දවසේ, එම අරගලයේ නිර්වද්‍යතාව දිදුලයි.

“පමා වී සිදු වන ධනේශ්වර වර්ධනයෙන් යුත් රටවල් සම්බන්ධයෙන්, විශේෂයෙන් විජිත හා අර්ධ විජිත රටවල් සම්බන්ධයෙන්, නොනවතින විප්ලව න්‍යාය ඉස්මතු කරන කරුන වන්නේ, එම රටවල ප්‍රජාතන්ත්‍රවාදය හා ජාතික විමුක්තිය දිනා ගැනීමේ කර්තව්‍යයන්ට පරිපූර්න වූත්, අව්‍යාජ වූත් විසඳුමක් ඇති විය හැක්කේ යටත් වූ ජාතියේ නායකයා වශයෙන් – අන් සියල්ලට වැඩියෙන් ගොවි ජනතාවගේ නායකයා වශයෙන් – කම්කරු පන්තිය පිහිටුවන ඒකාධිපතිත්වය තුලින් ම පමනකි“යන්නයි.

“…එනමුත් ජාතික ලිබරල් ධනේශ්වරයේ බලපෑමට විරුද්ධව කරන සමහන් කල නොහැකි අරගලයක් තුලින් හැර වෙනත් කිසි ම විදියකින් මෙම පන්ති දෙක අතර සන්ධානය ගොඩ නැගිය නො හැකි ය.“

“ප්‍රජාතන්ත්‍රීය විප්ලවයේ නායකයා හැටියට බලයට පත් වන කම්කරු පන්ති ඒකාධිපතිත්වය, නො වැලැක් විය හැකි ලෙසත් ඉතා ඉක්මනිනුත්, ධනේශ්වර දේපොල අයිතිය තුලට ගැඹුරු ලෙස කපා ගෙන යාම හා සම්බන්ධිත ව සපුරාලිය යුතු වන කර්තව්‍යයන්ට මුහුන දෙයි. ප්‍රජාතන්ත්‍රීය විප්ලවය කෙලින් ම සමාජවාදී විප්ලවය කරා වැඩෙයි. ඒ අනුව එය නො නවතින විප්ලවයක් වෙයි.“

“…සමාජවාදය ගොඩ නැගීම ග්‍රහනය කල හැක්කේ ජාතික හා ජාත්‍යන්තර පරිමානව සිදු වන  පන්ති අරගලයේ  අත්තිවාරම මත පමනි. ..“(නොනවතින විප්ලවය – ලියොන් ට්‍රොට්ස්කි) සමසමාජ පක්ෂය කල මහා පාවා දීමට එරෙහිව මෙම මූලධර්ම ආරක්ෂා කිරීම සදහා, හජාජක දේශපාලන මග පෙන්වීම වික්ස් ඇතුලු කන්ඩායමට ලැබිනි. 1968 දී, ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව ලෙස විප්ලවවාදී කොමියුනිස්ටි සංගමය ගොඩ නැගීම මෙම අප්‍රතිහත සටනේ අග්‍ර ඵලයයි.

අද දින කම්කරුවන් තරුනයන් හා සෙසු පීඩිතයන්ගේ අති මූලික අවශ්‍යතාවන් පවා සපුරා ගත හැකි අන් කවර ක්‍රියා මාර්ගයක් හෝ නො පවතී. 1980 දශකයේ අග භාගයේ සිට දේශ සීමා ඉක්මවා යමින් ක්‍රියාත්මක වන නිෂ්පාදනයේ භූගෝලියකරනය යන නව ප්‍රපංචය, සියලු ජාතිකවාදී දේශපාලන, ආර්ථික ක්‍රියා මාර්ගයන් යලි පිරීද්දීමට නො හැකි ලෙස බිඳ දමා ඇත. ජාතිකවාදයට බැඳුනු සියලු දේශපාලන සංවිධාන; එනම්, ජාතික විමුක්ති ව්‍යාපාර, ප්‍රතිසංස්කරනවාදී පක්ෂ හා වෘත්තීය සමිතිවලට; සිය පැරනි පිලිවෙත්වලින් නිශ්ක්‍රමනය වීමට බල කරනු ලැබ, ඒවා කම්කරු පන්තියට එරෙහි විවෘත අධිරාජ්‍ය ගැති ඒජන්සි බවට පරිවර්තනය කරන ලදී.

1968 දී ආරම්භ කල විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය 1995 දී සමාජවාදී සමානතා පක්ෂය නමින් පක්ෂයක් බවට පත් කෙරුනි. එය ජාත්‍යන්තර කමිටුවේ සියලු ශාඛා සමාජවාදි සමානතා පක්ෂ බවට පත් කිරීමේ ඓතිහාසික තීන්දුවට යටත්ව තැබූ පියවරකි. ඊට හේතු පාදක වූ ප්‍රධාන කරුනු දෙකකි. පලමු කරුන වූයේ, හජාජාකව ජාතික පක්ෂවල එකතුවක් ලෙස සැලකූ ප්‍රති-ට්‍රොට්ස්කිවාදී ප්‍රවනතාවකට එරෙහිව, කම්කරු පන්තික ජාත්‍යන්තරවාදී ඉදිරී දර්ශනය වර්ධනය කර ඔසවා තැබීම ය. දෙවැන්න, නිශ්පාදනයේ භූගෝලීයකරනය විසින් ඇති කල ඉහත පෙන්වා දුන් ප්‍රතිඵල – එය කවුරු පිලිගත්තත් නැතත් – ජාත්‍යන්තර කමිටුව කම්කරු පන්තියේ ලෝක පක්ෂය ය යන කරුන වෛෂයිකව තහවුරු කරනු ලැබීම ය. අන් කිසිදු සංවිධානයකට ඊට ආදේශ විය හැකි වෛෂයික පදනමක් නැත.

අප ඉහතින් සඳහන් කලේ ජාත්‍යන්තරවාදය සඳහා අරගලයේ දී වික්ස් ඇතුලු පක්ෂය මුහුන දී සිටි අතිශය පීඩාකාරී තත්වයකට එරෙහිව අත්පත් කර ගත් ඓතිහාසික ජයග්‍රහනය ගැන ය. එය තව දුරටත් සැකෙවින් විස්තර කල යුතු ය. එවක හජාජාක නායකත්වය, අප මෙම ලිපියේ මුල් භාගයේ සටහන් කල,1953 පැන නැගී පැබ්ලෝවාදී අවස්ථාවාදයට එරෙහි අරගලය අවසාන ජයග්‍රහනය දක්වා ගෙන යාමට නොසමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස, ඔවුහු ලෝක ධනවාදයේ අර්බුදය උත්සන්න වීමෙන්, ව්‍යාපාරය මත බල පැවැත් වූ පීඩනයට දන නැමූහ. හජාජාක පියවරෙන් පියවර ජාතිකවාදයට යටත් කිරීම ලෙස ප්‍රකාශයට පත් වූ මෙම ප්‍රවනතාව මතු වූයේ,  ජාකවේ නායකත්වය දැරූ එහි ප්‍රධාන ශාඛාව ලෙස පැවති, බ්‍රිතාන්‍ය පක්ෂයේ හීලි, බන්ඩා, ස්ලෝටර් නායකත්වය තුලිනි. එය පිලිබිඹු වූ එක් ආකාරයක් වූයේ, බෝල්ෂෙවික් පක්ෂය පිලිබඳ සංකල්පය ඉවත දැමීම ලෙසිනි. හජාජාක වැඩ කටයුතු පිලිබඳ විමසීමට ශාඛාවලට ඇති  ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නොතකා සිටි ඔවුහු, තම නායකත්වය සියලු ශාඛා මත අත්තනෝමතික බලයක් ලෙස පතිත කිරීමට ක්‍රියා කලෝය.

මේ පිිලිබඳ ස්වකීය අත්දැකීම විස්තර කරමින්, එවකට වර්කර්ස් ලීගයේ නායකයා වූ හා වත්මන්හි ලෝක සමාජවාදී සමානතා පක්ෂයේ (එජ) සභාපති ඩේවිඩ් නෝර්ත් සහෝදරයා මෙසේ සඳහන් කර ඇත: “හීලි සම්බන්ධයෙන් ගත් කල, මතභේද පිලිබඳව මා කල ඉදිරිපත් කිරීම හමුවේ පැහැදිලිවම ඔහුට නිනව් නැතිව ගිය අතර, මා ඉස්මතු කල ගැටලු පිලිබඳ විවාද කිරීමට ඔහු කවරාකාර හෝ ප්‍රයත්නයක් නො දැරී ය. කෙසේ වෙතත් හීලි මගේ විවේචන වලින් පත් වූ වියවුලට වඩා වියවුල් වූයේ එකී විවේචන හේතුවෙන් කම්කරු විප්ලවවාදී පක්ෂ නායකත්වයෙහි එකමුතුව හදිසියේ ම පුපුරා යාම නිසා ය. කම්කරු විප්ලවවාදී පක්ෂයේ කටයුතු වලට “ඇඟිලි ගසමින්” ඔහුගේ කේඩරය “ආකූල කිරීම” ගැන, පෞද්ගලික සාකච්ඡාවලදී හීලි කෝපාවිෂ්ටව මට චෝදනා කලේ, බ්‍රිතාන්‍යයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ වැඩ කටයුතු පිලිබඳව එක්සත් ජනපදයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ නියෝජිතයෙකු තම අදහස් පල කිරීම, කිසියම් අයුරක මූල ධර්ම විරහිත, නීති විරෝධී ක්‍රියාවක් වූ පරිද්දෙනි. ..“ ඩේවිඩ් නෝර්ත්, Gerry Healy and his Place in the History of the Fourth International, Chapter 9: The “Dialectics” of Opportunism)

පක්ෂය තුල පැන නැගී පැවතුනු දේශපාලන අර්බුදය වහංගු කිරීම සඳහා මෙම තත්වය හීලිට අවශ්‍ය වී තිබීන. පක්ෂයේ හත් වන සම්මේලනයේ දී කිසිදු ප්‍රශ්නයකින් තොරව පෞද්ගලික සාමාජිකයන් පමනක් නො ව, සම්පූර්න කමිටුමත් තාවකාලිකව අත් හිටුවීමේ හා පලවා හැරීමේ පූර්න බලය තමන් අත රඳවා ගැනීමේ යෝජනාවක් ඔහු සම්මත කරවා ගත්තේ ය. නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවලින් තොරව විප්ලවවාදී පක්ෂයකට පවතිනු හැකි නැත. නමුත් ධනේශ්වර පීඩනයට දන නැමූ හීලිට, සමස්ත පක්ෂයම ඊට යටත් කර දීමේ ඒජන්සියක වග කීම දැරිය යුතු විය. ඒ නිසා ඔහුට එසේ හැසිරීම මග හැරිය නො හැකි විය.

මේ තත්වයට එරෙහිව, සංවිධානය ආරක්ෂා කිරීමට වර්කර්ස් ලීගය ගත් මූලිකත්වය සමග, කල් නො මරා පෙල ගැසීමට විකොසට හැකි විය. 1985-86 අරගලය තුලින් පැබ්ලෝවාදී අවස්ථාවාදයට අවසාන ප්‍රහාරය එල්ල කෙරින. එහි දී ක.වී.ප. පලායන්නන්ට එරෙහිව වර්කර්ස් ලීගය සමඟ උරිනුර පෙල ගැසී සටන් කල විකොස නායකත්වය එහි අතිමූලික කොටසක් න්‍යායිකව හා දේශපාලනිකව ඉටු කිරීමට සමත් වූ අතර, එකී අරගලයට කායිකව සහභාගී වූ නායක කන්ඩායමේ එක් සාමාජිකයෙකු වූයේ වික්ස් සහෝදරයා ය. අනතුරුව, අවස්ථාවාදී නායකත්වයේ පිරිහීමට තුඩු දුන් වෛෂයික කොන්දේසි පිලිබඳ ලබා ගත් වැටහීම, ලෝක ධනවාදයේ අර්බූදය සහ හතර වන ජාත්‍යන්තරයේ ‘කර්තව්‍යයෝ’ යන 1988 ඉදිරි දර්ශනය තුලින් ප්‍රකාශයට පත් විය. වික්ස් එම කෙටුම්පත් කිරීමේ මන්ඩලයේ සාමාජිකයෙක් වූයේ ය.

නන්ද වික්‍රමසිංහ සහෝදරයා – ඡායාරූපය World Socialist Web Site වෙතින් උපුටා ගන්නා ලදී

මෙම අරගලයේ පාඩම් උකහා ගැනීම සඳහා දැඩි වෙහෙසක් අවශ්‍ය ය. ඒ වන විට පක්ෂයේ සිටි ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීමට හැකියාව ඇති සාමාජික සංඛ්‍යාව අල්ප ය. අදාල ලිය කියවිලි සිංහල භාෂාවට පරිවර්තනය කර කේඩරය අතට පත් කිරීමේ දී වික්ස් ගත් මූලිකත්වය සහ වෙහෙස සදානුස්මරනීය බව සඳහන් කල යුතු ය. මුල සිටම ජාත්‍යන්තර කමිටුවේ අභ්‍යන්තර සාකච්ඡා හා සෙසු ලිපි ලේඛන අතිවිශාල ප්‍රමානයක් සිංහල භාෂාවට පරිවර්තනය කලේ ඔහු ය. ඒ ජාත්‍යන්තරවාදී කේඩරයක් ශ්‍රී ලංකාව තුල වර්ධනය කර ගැනීමේ කර්තව්‍යය සඳහා වික්ස් සහෝදරයා උර දුන් විශිෂ්ඨ කටයුතු අතර ප්‍රධාන එකකි. ජාත්‍යන්තර කමිටුව සහභාගී වූ සියලු රැස්වීම්වල ප්‍රධාන පරිවර්තකයා වූයේ ද වික්ස් සහෝදරයා ය. ඔහු සිංහල හා ඉංග්‍රීසි යන භාෂා ද්වය ම මනා පරිචයකින් භාවිත කලේ ය.

1985 භේදය තුල හා ඉන් අනතුරුව, එම භේදයේ පාඩම් විශ්ලේෂනය කරමින් හජාජාක කල වැඩ කටයුතු ඓතිහාසික වැදගත්කමකින් යුතු ය. එකී වාර්තාව මේ වන විට සමස්ත මාක්ස්වාදී ව්‍යාපාරයේ පොහොසත් අත්දැකීම් ගැබ් කොට සංගෘහිත  ලේඛන මාලාවක් තුල අන්තර්ත වී ඇත. දැන් ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගලය හරියට ම මෙම තීරනාත්මක භේදයේ පාඩම් මත පිහිටුවා ගත යුතු ය.

එහෙත් පෙර කාල පරිච්ඡේදයේ හීලි නායකත්වයට ගොදුරු වීමෙන් උරුම වූ ඇතැම් හුරුපුරුදුකම් වලින් මුලුමනින් නිදහස් වීමට වික්ස් ඇතුලු නායකත්වය සමත් නො වූ බව ප්‍රකාශ කිරීම මඟ හැරියහොත් අපි අවශ්‍ය පාඩම් යටපත් කරන්නමෝ වෙමු. හීලි නායකත්වය ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදය නැමැති බොල්ෂෙවික් සංකල්පයට එරෙහිව ක්‍රියා කරමින් ජාක වර්ධනය ඇන හිටවූ සැටි ඉහත සඳහන් කලෙමු. හීලි අත මෙය මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය බවට පත් වූයේ ය. එය සාකච්ඡාවේදී පූර්න ප්‍රජාතන්ත්‍රවාදය හා ඒ මගින් බැස ගනු ලබන නිගමන ක්‍රියාවට දැමීමේ දී මධ්‍යගතව ක්‍රියාත්මක වීම යන සූත්‍රයේ පූර්න ප්‍රතිපක්ෂය ය. ස්ටැලින්වාදයේ සමස්ත අවස්ථාවාදී නිලධාරිවාදයේ විධික්‍රමය වූයේ මෙයයි. බොල්ෂෙවිකයන්ට අනුව නම්, මධ්‍යගතවාදී ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පයට, යුද්ධ, විප්ලව වැනි සුවිශේෂී අවස්ථාවන්හී ඉස්මතු වන අවශ්‍යතාවකට එහා ගිය තේරුමක් නැත.

වික්ස් මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය නැමැති සූත්‍රය අත් නො හැරියේ ය. එසේ නැතිව පක්ෂය ගොඩ නගනු හැකි නොවේ ය යන පූර්වයේ අනුගමනය කල පිලිවෙතට ඔහු අනුගතව සිටියේ ය. නිදසුනක් ලෙස භේදයෙන් අනතුරුව ගෙවී ගිය මුලු කාලය ම වික්ස් පමනක් නො ව සෙසු අය කල පරිවර්තනවල දී ද Democratic Centralism යන්න මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය ලෙස පරිවර්තනය වී ඇත. මෙය දැනටමත් පක්ෂයේ න්‍යායික දේශපාලන වර්ධනයට සිදු කර ඇති හානිය සුලුපටු නො වේ.

ලිපියේ සීමාව තුල සිටිමින් සඳහන් කරන්නේ නම්, භේදයෙන් පසු එහි පාඩම් මුලුමනින් උකහා ගැනීම සීමා කල වෛෂයික කොන්දේසිවලට අපි මුහුන දී සිටියමු. දකුනු ආසියාවේ අවිවාදිත පරිනත මාක්ස්වාදී න්‍යායධරයා මෙන් ම හජාජාක භේදයේ මූලික ප්‍රතිපදාන කල විකොස ලේකම් කීර්ති බාලසූරියගේ හදිසි මරනය, 1987 ඉන්දු ලංකා ගිවිසුමත් සමග ඇවිලී 1990 ගනන් මැද දක්වා ඇදී ගිය, කම්කරුවන්ට හා තරුනයන්ට එරෙහි ලේ වැකි මර්දනය ඒ අතර විය. අවස්ථාවාදී සංවිධාන මේ තත්වයන් සමග පෙල ගැසී සිටි තතු යටතේ පක්ෂය ඔවුන් හෙලිදරව් කරමින් කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් ගොඩ නැගීමේ උද්ඝෝෂන සඳහා වැඩි අවධානයක් යොමු කලේ ය. මෙම පුරුද්දෙන් මිදීමට පක්ෂය සෑහෙන කාලයක් වැය කල අතර නියමිත පරිවර්තනය සාර්ථක ලෙස සිදු කිරිමට පක්ෂය සමත් වූයේ නැත. ඉදිරි දර්ශනය හා ක්‍රියා මාර්ගය වර්ධනය සඳහා ඒකාබද්ධ ප්‍රයත්නයක් දරනු වෙනුවට, සසප නායකත්වය හුදෙක් ස්වකීය දැනුම හා පලපුරුද්ද ගැන විශ්වාසය තැබීම කේඩරයේ වර්ධනය ඇන හිටවීමට හේතු විය. මෙය ජය ගැනීමට දෘඩතර අරගලයක් අවශ්‍ය වන අතර, එවන් අරගලයක් පක්ෂය වඩා ඉහල මට්ටමකට ඔසවා තබනු ඇත.

එසේ නමුත්, වික්ස් සහෝදරයා, ලෝක අධිරාජ්‍යවාදයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා සහ, ලෝක පක්ෂය ගොඩ නැගීම සඳහා තමන් එලැඹ ගත් තීන්දුවෙන් විතැන් වූයේ නැත. ඒ වෙනුවට එම ඓතිහාසික අරගලයේ වාහකයෙකු වන තැන තමන් දැනුවත්ව පිහිටුවා ගත්තේ ය. 2018 වසරේ පක්ෂ සම්මේලනය තෙක් සසප මධ්‍යම කාරක සභාව හා දේශපාලන කමිටුව නියෝජනය කල වික්ස් සිය අසනීප තත්වය නිසා ශාරීරික වශයෙන් දුර්වල වූයෙන්, නිල වශයෙන් ඒවාට පත් නො කෙරුනත්, තමන්ට හැකි ඕනෑම වේලාවක එම කමිටුවලට සහභාගී වීමේ ඉඩ කඩ ඔහුට විවරව පැවැතිනි.. ඔහු සිය ශාරීරික අසීරුතා උත්සන්න වන තෙක් ම, අදාල කමිටු සාකච්ඡාවලට සිය දායකත්වය ලබා දුන්නේ ය.

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය නම් ලේඛනයේ 9 වන පරිච්ඡේදයේ හතරවැනි ජාත්‍යන්තරයේ ආරම්භක නායකයෙකු වූ ජේම්ස් පී. කැනන් මෙසේ ලියයි: “නායකත්වය යනු සුවිශේෂී ලෙස මූලස්ථානයේ කාර්යාලය තුළ සිටින පුද්ගලයන්ට අයත් කටයුත්තක්ය යන සංකල්පය තුච්ඡ හා නො ඉවසිය හැකි තරම් නිලධාරිවාදී එකකි. …. කාර්යාලමය නායකත්වය භංග වේවා! ඔබට කිසි දා කාර්යාලයක සිට නිර්ධන පන්ති ව්‍යාපාරයක් ගොඩ නැඟිය නො හැකිය.” වික්ස් සහෝදරයාගේ පක්ෂ භාවිතය මේ ආකල්පය ඔස්සේ හැඩ ගැසුනු එකක් විය. ජනයා අතර දේශපාලන උද්ඝෝෂනයේ යෙදීම ප්‍රිය කල ඔහු ඒ සඳහා කාලය යොදා ගැනීමට විශේෂ අවධානයක් යෙදීය.

එසේ ම, වික්ස් තමා වටහා ගත් දෙය සෙසු අයට සංනිවේදනය කිරීමේ දී ඉවසිලිවන්ත වූ අතර, පැහැදිලිව භාෂාව හැසිර වූයේ ය. ඔහු අවශ්‍ය කරුනු නිසි ලෙස ගොනු කර කතා පැවැත්වීමේ කලාව දැන සිටි, දක්ෂ කථිකයෙකි. මෙම කරුනේ දී ඔහු දෙවැනි වූයේ කීර්ති බාලසූරිය හා විජේ ඩයස්ට පමනි. දක්ෂ විප්ලවවාදී ලේඛකයන්, සංවිධායකයන් මෙන් ම දක්ෂ කථිකයන්ගෙන් ද තොරව විප්ලවවාදී ව්‍යාපාරයක් පවත්වා ගත නො හැකි ය.

තමන්ට සුව පහසු ජීවිතයක් අත් කර ගැනීමට අවශ්‍ය පෞද්ගලික කොන්දේසි පැවතුනත්, පක්ෂයේ ඉල්ලීමට අවනතව පූර්නකාලිකයෙකු ලෙස ක්‍රියාත්මක වීම තරම් වෙනත් සුවයක් ගැන වික්ස් විශ්වාස නො කලේ ය. කෙනෙකුගේ ජීවිතයේ අතිශය වැදගත් කටයුත්ත නම්, ප්‍රගතියේ මාවත වන, සමාජ විප්ලවය වෙනුවෙන් කැප වීම ය. ඇමරිකාවේ ට්‍රොට්ස්කිවාදී නායකයෙකුව සිටි ජේම්ස්. පී. කැනන් පැවසූ පරිදි, “පක්ෂය එහි වෘත්තීයමය කාර්ය මණ්ඩලයට ගෞරව බහුමාන දක්වයි. වෘත්තීයමය විප්ලවවාදීන්ගේ රැකියාව සියලු රැකියා අතර වඩාත් ම ගරු කටයුතු එක වශයෙන් එය සළකයි. සෑම තරුණ පක්ෂ සාමාජිකයෙකුගේ ම ඉහළතම ප්‍රාර්ථනාව හා අභිලාෂය විය යුත්තේ සිය ජීවිතය තුළ එවන් වෘත්තිකයෙකු වීමට සුදුස්සෙකු වීමයි.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top