හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ජාත්‍යන්තර මැයි දින රැලියට එක්වන්න!

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් සංවිධානය කරනු ලදුව මැයි 4 වන ඉරිදා පැවැත්වෙන ජාත්‍යන්තර අන්තර්ජාල මැයි රැලිය සඳහා ලියාපදිංචි වන ලෙසත්, එයට සහභාගී වන ලෙසත් Socialist.lk කර්තෘ මන්ඩලය වෙබ් අඩවියේ සියලු පාඨකයන්ගෙන් ඉල්ලා සිටී.

මෙම අන්තර්ජාල ජාත්‍යන්තර මැයි රැලිය මැයි 4 වන දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් අලුයම 12.30ට ආරම්භ වනු ඇත.

එක්සත් ජනපදය තුල ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යලි තේරී පත්වීමත් සමඟ උත්සන්න කර ඇති වෙලඳ යුද්ධයත්, අධිරාජ්‍යවාදයේ පිටුබලය මත යුක්‍රේනයේ සිට රුසියාවට එරෙහිව සිදු කෙරෙමින් පවතින යුද්ධයත්, මැද පෙරදිග දී ඊශ්‍රායල සියොන්වාදී තන්ත්‍රය මෙහෙයවා අධිරාජ්‍යවාදයේ අනුග්‍රාහකත්වයෙන් පලස්තීන ජනයාට එරෙහිව සිදු කෙරෙමින් පවතින අතිශය කුරිරු ජනඝාතනයත්, ඉතා මෑතක දී ඉන්දියාව හා පාකිස්තානය අතර යුද්ධයක පෙර ලකුනු පහල වීමත් අනතුරු හඟවන්නේ සමස්ත මානව වර්ගයා අතු ගෑවී යාමේ අන්තරාය දරන න්‍යෂ්ටික යුද්ධයක අද්දර කරා අධිරාජ්‍යවාදය ලෝකය ගෙන යමින් සිටින බවයි. එමෙන් ම, ට්‍රම්ප් බලයට පත්වීමෙන් පමනක් නොව ජර්මනිය, ප්‍රංශය ඇතුලු රටවල් ගනනාවක ම නව වර්ධනයන්ගෙනුත් පෙනී යන්නේ, ෆැසිස්ට්වාදයේ අනතුරෙහි එලිපත්ත කරා ලෝක කම්කරු පන්තිය පමුනුවනු ලැබ ඇති බවයි.

ඉන්දියාව හා පකිස්තානය අතර යුද්ධයක අනතුරු සංඥා දැල්වෙමින් පවතින්නේ චීනයත් සමඟ යුද්ධයක් කරා ඇමරිකානු අධිරාජ්‍යවාදය විවෘතව ම පිඹුරුපත් සකස් කරමින් සිටින තතු යටතේ ය. ඒ අනුව න්‍යෂ්ටික යුද්ධයක අනතුර දැන් මේ කලාපයේ ම ජනයා වහා මුහුන දිය යුතු අභියෝගයක් බවට පමුනුවා ඇත. ධනේශ්වරයේ ජාත්‍යන්තර පරිමාන අර්බුදයේ ප්‍රකාශනයන් ලෙස මතු වී ඇති මෙම අනතුරු කවර හෝ ජාතික වැඩ පිලිවෙලකින් විසඳිය නොහැකි ඒවා ය. මේ බරපතල අන්තරායයන් හමුවේ, යුද්ධයට හා ෆැසිස්ට්වාදයට එරෙහිව ජාත්‍යන්තර ක්‍රියා මාර්ගයක් විස්තාරනය කර ගැනීම කම්කරු පන්තියේ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ අංකය බවට පත් වී ඇත.

එකී ක්‍රියා මාර්ගික වැඩ පිලිවෙල සාකච්ඡා කෙරෙන එකම ජාත්‍යන්තර මැයි රැලිය වන්නේ හජාජාක / ලෝසවෙඅ සංවිධායකත්වයෙන් පැවැත්වෙන මෙම මැයි දින රැලියයි. එය wsws.org/mayday ඔස්සේ අන්තර්ජාලයේ සජීවී ලෙස විකාශනය වනු ඇත. මැයි රැලිය සඳහා පහත දැක්වෙන සබැඳුම ඔස්සේ ලියාපදිංචි වන මෙන් අපි අපේ සියලු පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු. (ලිපියේ ඉහල ඇති බැනරය මඟින් ද ඔබට ලියාපදිංචි වීමේ පිටුවට පිවිසිය හැකිය.)
https://www.wsws.org/en/special/pages/international-mayday-online-rally-2025.html?utm_source=wsws&utm_medium=frontpage&utm_campaign=frontpage-may-day-2025#register

Scroll to Top