ජේම්ස් පී. කැනන්
පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු
හතරවැනි ජාත්‍යන්තරයට එහි මුල් කාලයේ ම මුහුණ දීමට සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර අරගලයක් පිළිබඳව ද, එහි ලා අභියෝගයට ලක් ව තුබූ දේශපාලන ප්‍රයුක්තීන් සම්බන්ධව ද පුළුල් සාකච්ඡාවක් පාඨකයා වෙත ගෙන එන මේ ලිපි මාලාවේ තෘතීය භාගය නවවන පරිච්ඡේදයෙන් ඇරැඹී පරිච්ඡේද තුනක් පුරා දිග හැරේ. අද දින පළ කෙරෙන්නේ එකොළොස් වන පරිච්ඡේදයේ තෙවැනි හා අවසාන කොටසයි. දොළොස්වැනි පරිච්ඡේදයෙන් ඇරඹෙන සිව්වැනි භාගය ලබන සතියේ පටන් පළ කෙරෙනු ඇත.
මෙම පරිවර්තනය සඳහා උපයෝගී කොට ගැනුනේ Marxists Internet Archive අන්තර්ජාල ප්‍රකාශනයේ පල වී ඇති ඉංග්‍රීසි කෘතියයි. මෙම කෘතිය ප්‍රවේශමෙන් හැදෑරීම මාක්ස්වාදය වෙත ආකර්ෂණය වන්නන්ට මෙන් ම, වර්තමාන ලෝක අර්බුදය විසඳීමට සමත් කම්කරු පන්තියේ විප්ලවවාදී සංවිධානය ගොඩ නැඟීම පිළිබඳව උනන්දු වන සියලු දෙනාට ද අතිශයින් ප්‍රයෝජනවත් වනු ඇත.
11. ‘නිලධාරීවාදය’ – III
මේ ආකාරයේ ම අමිශ්‍ර නිලධාරීවාදයේ තවත් උදාහරණයක්, පසුගිය වසන්තයේ මිනියපලස් ශාඛාවේ මැතිවරණ පිළිවෙත සම්බන්ධයෙන් බර්න්හැම් හා ෂැට්මන්ගේ යෝජනා තුළින් පෙන්නුම් කෙරින. ඉදින් මෙම යෝජනා ව්‍යවර්ථ නො කෙරුණි නම්, පක්‍ෂයටත්, කේන්ද්‍රීය නායකත්වය හා මිනියපලස් ශාඛාව අතර සම්බන්ධයටත් ඉන් අප්‍රමාණ හානියක් විය හැකිව තිබිණ. ශාඛාව මුලදී ම නගරාධිපති ධුරය සඳහා තමන්ගේ ම ස්වාධීන අපේක්ෂකයෙකු නම් කර තිබිණි. වෘත්තීය සමිති සමුළුවක් විසින් ලේබර් අපේක්ෂකයෙකු නම් කෙරුණු කල්හි, තම අපේක්ෂකයා ඉවත් කොට ගෙන එම ලේබර් අපේක්ෂකයාට සහාය දීමට ශාඛාව තීන්දු කළේය. එම අවස්ථාවේ, මිනියපලස් ශාඛාව කරා යන සංචාරයේ දී මෙම කරුණ ගැන පරීක්ෂා කරන ලෙස දේශපාලන කමිටුව විසින් මට පවරන ලදී. මා එහි ගිය පසු, ලේබර් අපේක්ෂකයා නම් කරන ලද සමුළුව පිළිබඳව මම කරුණු විමසා බැලීමි. එය වැදගත් වෘත්තීය සමිතිවල ඉතා හොඳ සහභාගීත්වයකින් යුතු වූ සමුළුවක් වූ බවත්, ලේබර් අපේක්ෂකයාට එකී වෘත්තීය සමිතිවල අනුග්‍රහය ලැබුණු බවත් මට දන්වන ලදී. මෙම අවස්ථාවේ තමන්ගේ අපේක්ෂකයා ඉවත් කර ගනිමින් ලේබර් අපේක්ෂකයාට සහාය දීමේ සහෝදරවරුන්ගේ ක්‍රියා මාර්ගය පක්ෂ පිළිවෙත හා මනාව අනුකූල බවට වන මගේ අදහස ප්‍රකාශ කළ මම, 1939 මැයි මස 2 වන දින පැවැති දේශපාලන කමිටු රැස්වීමට එසේ වාර්තා කළෙමි. බර්න්හැම් ඒ හා විගසින් ම මෙම ක්‍රියාවට එරෙහිව යෝජනා මාලාවක් ඉදිරිපත් කළේය. මම 1939 මැයි 2 දින දරන දේශපාලන කමිටුවේ වාර්තා සටහන්වලින් පහත උපුටා දක්වමි:
බර්න්හැම්ගේ යෝජනා:
1. නගාරාධිපති මැතිවරණයේ මූලික වටයෙන් තමාගේ ම අපේක්ෂකයා ඉවත් කර ගනිමින් අයිඩිට සහාය දීමට මිනියපලස් ලෝකලය විසින් ගන්නා ලද ක්‍රියා මාර්ගය, (a) ගතානුගතික වෘත්තීය සමිති නිලධාරීන්ට දෙන ලද අවස්ථාවාදී සහනයක් බවටත්, (b) අයිඩිට සහාය දීම සම්බන්ධයෙන් සැලකිල්ලට ගත් කල, එය අව්‍යාජ ස්වාධීන කම්කරු පන්ති දේශපාලන ක්‍රියාකාරීත්වයට සහාය දෙන පක්ෂ ආස්ථානය සමඟ ගැටෙන භාවිතයක් බවටත් දේශපාලන කමිටුව සලකයි.
2. මිනියපලස් ලෝකලය සමඟ සන්නිවේදනය කර, ඉහත යෝජනාවේ ආලෝකය ලබා ගනිමින් එම ක්‍රියාව පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ලෙස, දේශපාලන කමිටුව පක්ෂ ලේකම්වරයාට උපදෙස් දෙයි.
3. මෙම තත්ත්වය පිළිබඳ පැහැදිළි කෙරෙන ප්‍රවේශමින් සකස් කළ ලේඛනයක් හා ඒ සම්බන්ධයෙන් දේශපාලන කමිටුවේ දෘෂ්ටි කෝණය ද, Socialist Appeal පුවත්පතේ පළ කළ යුතුය.
ඇත්තෙන් ම කෙනෙකු තෝන්තු කරවන සුළු යෝජනාවකි! මැතිවරණ උද්ඝෝෂණයක් මධ්‍යයේ, මිනියපලස් ශාඛාව සමඟ තවත් කතාබහකින් තොරව ම, අපේ නිල ප්‍රකාශනය තුළ ඔවුන්ගේ පිළිවෙත ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කිරීමට බර්න්හැම්ට අවශ්‍ය විය. ෂැට්මන්, බර්න්හැම්ගේ යෝජනාවට එවේලේ ම ඡන්දය දීමට සිය සූදානම පළ කර සිටියේය. (කමිටු රැස්වීම් වාර අතර පැවැත්වෙන සියලු නො නිල මන්ත්‍රණයන්ට විරුද්ධත්වයක් ප්‍රදර්ශනය කර සිටි මේ දෙදෙනා, මේ කරුණ තමන් අතර සාකච්ඡා කර කල්තබා ම මිනියපලස් ශාඛාව “වරදකරු” කර තිබූ බවට සැකයක් නො වීය.) මාස කිහිපයකට ඉහත ඔටෝ අර්බුදය තුළ ඔවුන් පෙන්වූ එකී ගති ලක්ෂණ ම මෙම සිදුවීමේ දී ද ඔවුන් විසින් පෙන්නුම් කෙරුණු අතර, ඉන් ප්‍රදර්ශනය වූයේ එකී අත්දැකීමෙන් ඔවුන් කිසිවක් උගෙන නො තිබූ බවයි. බර්න්හැම්ගේ යෝජනාවෙහි දේශපාලන දිශා රේඛාව පරිපූර්ණව ම වැරැදි ය; මිනියපලස් සහෝදරවරු නිවැරැදි වූහ; තව ද යෝජිත ක්‍රියා පිළිවෙත – පක්ෂයේ ප්‍රසිද්ධ පුවත්පත තුළ ක්ෂණිකව ම එකහෙළා කෙරෙන ප්‍රතික්ෂේපනයක් – අශික්ෂිත ලෙස නිලධාරීවාදී එකකි.

භාග්‍යයකට මෙන්, මෙම අවස්ථාවේ දේශපාලන කමිටුව තුළ ඔවුන්ගේ ක්‍රියාවන් සීමා කිරීමේ බලපෑම් පැවතියේය. ජාතික කමිටු සාමාජිකයෙකු ලෙස සහභාගී වූ ගෝල්ඩ්මන් මෙසේ යෝජනා කළේය: “පුරපති මැතිවරණයෙන් හඩ්සන් සහෝදරයාගේ අපේක්ෂකත්වය ඉල්ලා අස්කර ගැනීමේ හා අයිඩිට සහාය දීමේ තම ක්‍රියා මාර්ගය පිළිබඳ පූර්ණ පැහැදිළි කිරීමක් ඉල්ලා සිටිමින් මිනියපලස් ලෝකලයට ලිඛිත දැනුම් දීමක් සිදු කිරීමට අපි පක්ෂ ලේකම්වරයාට උපදෙස් දෙමු.” ඔහුගේ යෝජනාව පිළිගන්නා ලද අතර, මිනියපලිස් සහෝදරවරුන් වඩාත් සවිස්තරාත්මක තොරතුරු ලබා දෙන තුරු ක්‍රියා මාර්ගයක් ගැනීම කල් තබන ලදී. දෙසතියක ඇවෑමෙන් මැයි 16 දින පැවැති දේශපාලන කමිටු රැස්වීමේ වාර්තාවන්හි, වැඩිදුර වර්ධනයන් මෙසේ දැක්වේ:
- මිනියාපොලිස් මැතිවරණ තතු සම්බන්ධයෙන් විස්තරාත්මක තොරතුරු දැක්වෙන ලිපියක් මිනියපලස් වෙතින් ලැබී ඇත.
- කරුණු ගණනාවක් සම්බන්ධයෙන් තොරතුරුවල අවශ්‍යතාව දක්වමින් බර්න්හැම් ප්‍රශ්නයක් මතු කළේය.
- බර්න්හැම්ගේ යෝජනාව: වැඩිදුර තොරතුරු ලබා දෙන ලෙස මිනියපලස් පක්ෂ ශාඛාවට දැන්වීම සහ එම තොරතුරු ලැබෙන තුරු ලේඛනය පළ නො කිරීම. – සම්මත විය.
ඉතා කෙටි කාලයක් තුළ මිනියපලස් ප්‍රශ්නය නැවතත් න්‍යාය පත්‍රයට ඇතුළු වූ අතර එය මැයි 31 දේශපාලන කමිටු සාකච්ඡා සටහන්වල වාර්තා වී ඇත.
- මැතිවරණ පිළිවෙත සම්බන්ධයෙන් ඔවුන්ට යොමු කළ අවසාන ප්‍රශ්නවලට පිළිතුරු ලෙස මිනියපලස් ශාඛාවෙන් ලැබූ ලිපිය කියැවීම.
- යෝජනාව: මේ සම්බන්ධ මුල් යෝජනාව බර්න්හැම් සහෝදරයා විසින් ගෙන එන ලද හෙයින්, ඔහු සහභාගී වන මීළඟ කමිටු රැස්වීම දක්වා මෙම කරුණ පිළිබඳ සාකච්ඡාව කල් තැබීම. – සම්මත විය.
මේ කරුණ අවසාන වශයෙන් විසඳීමකට එළඹුණේ ජූනි 6 දින පැවැති දේශපාලන කමිටු රැස්වීමේ දී ය. මෙම දිනයේ රැස්වීම් සටහන්වල මේ කරුණ ගැන මෙසේ සඳහන් වේ:
- මැතිවරණ තත්ත්වය පිළිබඳව මිනියපලස් වෙතින් පැමිණි වැඩිදුර තොරතුරුවල සංක්ෂිප්තයක් කැනන් ඉදිරිපත් කිරීම.
- පොදු සාකච්ඡාව.
- බර්න්හැම්, පහත දැක්වෙන ප්‍රකාශය සමඟින්, 1939 මැයි 2 වන දින රැස්වීමට ඉදිරිපත් කළ ඔහුගේ යෝජනාව ඉල්ලා අස් කර ගැනීම: “අප වෙත ලැබී ඇති අමතර තොරතුරුවලින්, මිනියපලස් මැතිවරණවල දී අයිඩිට සහයෝගය දීම අපගේ ලේබර් පක්ෂ පිළිවෙත සමඟ නො සීහෙන්නේය යනුවෙන් මා විසින් ඉහත දී දරන ලද හා මගේ යෝජනාවලින් සූත්‍රණය කරන ලද අදහස සාවද්‍ය බව පෙන්නුම් කරන හෙයින්, මම එකී යෝජනා ඉල්ලා අස් කර ගනිමි.”
- කැනන්ගේ යෝජනාව: තමන්ගේ අපේක්ෂකයා ඉවත් කර ගනිමින් හා අයිඩිගේ අපේක්ෂකත්වයට සහාය දෙමින් මිනියපලස් ශාඛාව විසින් ගන්නා ලද ක්‍රියා මාර්ගය පවතින තතු යටතේ දේශපාලනික වශයෙන් නිවැරැදි බවට දේශපාලන කමිටුව සලකයි. – ඒකඡන්දයෙන් සම්මතයි.
මෙය දේශපාලන වගකීම් විරහිතභාවය හා නිලධාරිවාදය පිළිබඳ සැබෑ උද්දීපනයකින් සමන්විත පුරාවෘත්තයකි. නිලධාරිවාදී භාවිතයන්හේ ක්ෂුද්‍රතම අන්තරායයට සංවේදී පක්ෂයේ සෑම ලෝකල් සභාවක් ම මෙම සිදුවීම පිළිබඳව ඕනෑ කමින් සිතා බලත්වා. ඉදින් බර්න්හැම්-ෂැට්මන් ජය ගත්තාහු නම්, මිනියපලස් සහෝදරවරුන්ගේ ක්‍රියා කලාපය සෝෂලිස්ට් ඇපීල් (Socialist Appeal) තුළ ප්‍රතික්ෂේප කෙරෙනු ඇත. ඔවුන් ප්‍රසිද්ධියේ අපකීර්තියට පත් කෙරෙනු ඇත. ලේබර් අපේක්ෂක අයිඩිට දුන් සිය සහාය ඉවත් කර ගනිමින්, තම ස්වාධීන අපේක්ෂකයා යළි තරඟයට ඇතුළු කිරීමට ඔවුන්ට සිදුවනු ඇත. ඊළඟට, සති පහක ඇවෑමෙන්, සහ මැතිවරණයට සතියකට පමණ පෙර, ඔවුන්ට මුදු මොළොක් ආකාරයෙන් දැනුම් දෙනු ඇත්තේ, වඩාත් සම්පූර්ණ පරීක්ෂණයකින් පසු දේශපාලන කමිටු යෝජනා “ඉල්ලා අස්කර ගත්” බව සහ, සිය පිළිවෙත ප්‍රසිද්ධියේ යළිත් වරක් නො පිට හරවා, කොයිහැටි වෙතත් අයිඩිගේ අපේක්ෂකත්වයට සහාය දීමට මිනියපලස් ශාඛාවට නිදහස ඇති බවයි. ඇතැම්විට, මිනියපලස් සහෝදරවරුන්ගේ පිළිවෙත සම්බන්ධ සිය ප්‍රතික්ෂේපනය ප්‍රතික්ෂේප කිරීමට තරම් දේශපාලන කමිටුව නිර්ලෝභී වන්නට පවා ඉඩ ඇත. කෙසේවෙතත් එය සෑහෙන පමණෙකින් සමපේක්ෂණය කරන ලද උපකල්පනයකි. බර්න්හැම්ට ඔහුගේ දෝෂාරෝපණ යෝජනාව ඉල්ලා අස්කර ගැනීමට බල කරනු ලැබීමෙන් පසුව පවා, වාර්තාවලින් පෙන්නුම් කෙරෙන පරිදි, මිනියපලස් පිළිවෙත අනුමත කරමින් සාධනීය යෝජනාවක් ගෙන ඒමට තරම් විනීතකමක් ඔහුට නො වීය.
පක්ෂයේ නිර්ධන පන්ති කොටස තුළ සිය ගරුත්වයට යටි වළ කපා ඇති ආකාරය පිළිබඳව සුළු ධනපති කණ්ඩායමේ නායකයෝ නිරතුරුව මැසිවිලි නඟති. එහෙත් ඔටෝ අර්බුදයේ දී හා මිනියපලස් ලෝකල් මැතිවරණවල දී එවැනි භාවිතයන් හා විධික්‍රම උපයෝගී කර ගැනීම මඟින් ඔවුන් තමන්ට ම එල්ල කරගත් මුෂ්ටි ප්‍රහාර ඉක්මවා යන ප්‍රහාරයන් ඔවුන්ගේ බලපෑමට හා අධිකාරියට එරෙහිව එල්ල කිරීමට, ඔවුන්ගේ වඩාත් ම අනර්ථකාමී සතුරාටවත් නො හැකි වනු ඇත.
තෘතීය භාගය නිමි.
පෙර කොටස් බලන්න:
හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්, 1, 2, 3, 4, 5, 6-I, 6-II, 7, 8-I, 8-II, 8-III, 8-IV, 8-V, 9-I, 9-2, 10, 11-I, 11-II