පලාත් සභා මැතිවරනය 2025, පන අදින පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ සලකුනක්

සමාජවාදී සමානතා පක්ෂය (වම) ප්‍රකාශනය

ඡායාරූපය: බුද්ධික වීරසිංහ / Getty Images

පසුගිය 6දා පැවැත් වූ පලාත්පාලන මැතිවරනයේ දී, පාලක පක්ෂය වන ජාතික ජන බලවේගයට පසු ගිය මහ මැතිවරනයේ එය ලබා ගත් ඡන්ද ප්‍රමානයෙන් තුනෙන් එකක් අහිමි විය. එම පක්ෂය ලද ඡන්ද ගනන 4,503,930 කි. 2024 නොවැම්බර් මහ මැතිවරනයේ දී ජාජබය ඡන්ද 6,863,186 ලබා ගත්තේ ය. ඒ අනුව 2,358,256 ඡන්දදායකයින් ප්‍රමානයක් ජාජබය සමග පෙර පැවති සම්බන්ධතාව බිඳ දමා ඇත. මෙම බිඳ වැටීමට ගත වූයේ මාස හයක කෙටි කාලයකි.

ඡන්ද විමසීම පැවැත් වූ පලාත් පාලන ආයතන 339න් ආයතන 265ක, ජාජබ පලමු ස්ථානයට පත් වූයේ වුව ද, සභාවක් පිහිටු වීම සඳහා ප්‍රමානවත් වන 50% ඉක්මවා බහුතරය දිනා ගැනීමට, ඊට හැකි වූයේ ආයතන 116 ක පමනි. ජාජබය වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා සිටින තවත් ආයතන 193ක ම බහුතර බලය දිනා ගැනීම සඳහා විරුද්ධ පාර්ශවයේ මන්ත්‍රීවරුන්ගේ සහාය දිනා ගැනීමට ඔවුන්ට සිදු වී ඇති අතර, ඒ සඳහා සෑහෙන මුදලක් වැය කිරීමට සිදු වනු ඇත.

මෙම තත්වය තුලින් මහජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ පක්ෂ කිහිපයක් යලි හිස එසවීම පෙන්නුම් කලේ ය. පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂයේ ප්‍රධාන කන්ඩායම වන සමගි ජන බලවේගය 17% කින් සිය ඡන්ද ප්‍රමානය වැඩි කර ගත්තේ ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුන 2018 දී පැවැත් වූ පලාත් සභා ඡන්ද විමසීමේ දී දිනා ගෙන මෙතෙක් පාලනය කල පලාත්පාලන ආයතන 221 ම අහිමි වී ගිය නමුත් මාස හයකට පෙර ඡන්ද පදනම පතුලට ම සිදී සිටිය දී ලබා ගත් ජන්ද ප්‍රමානය 175%කින් වැඩිකර ගෙන ලක්ෂ 9ක ඡන්ද ප්‍රමානයකට හිමිකම් කියා ඇත.

පොජපෙ 2018 පලාත් පාලන ඡන්දයෙන් පනස්ලක්ෂ හයදහස් අටසිය තිස් හතකින් පටන් ගෙන 2019 අගෝස්තු ජනාධිපතිවරනයේ දී හැටනව ලක්ෂයක් ද, 2019 නොවැම්බර මහ මැතිවරණයේ දී ආසන්න වශයෙන් එම ඡන්ද ප්‍රමානය ම ද රැක ගැනීමට සමත් විය. ඒ සමග ම කොවිඩ් වසංගතයට මුහුන දුන් එයට පැවති බංකොලොත්කම තව දුරටත් ආවරනය කිරීමට නො හැකි විය. ආන්ඩුව අවුරුදු තුනකින් ඇද වැටිනි. 2022 මහජන නැගීටීම මගින් එහි ජනාධිපති රටින් පලවා හරින ලදී. ඊලඟ වසර දෙක පාලනය බාර ගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආර්ථික බංකොලොත්කමින් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ක්‍රියාවට දැමුවේ ය. බදු ආදායම දල දේශීය නිෂ්පාදිතයෙන් 15% දක්වා ඉහල දැමීමට පියවර ගැනීම. අපනයන සීමා පැනවීම. මහජන සේවා සදහා වැය කල රාජ්‍ය වියදම් කැපීම වැනි දේ මගින් දැරිය නො හැකි එහි බර මහජනතාව මත පටවන ලදී. ඔහු මෙසේ ජනතාව අන්ත දුක්ඛිත භාවයේ වේදනාවට ඇද දමා ඩොලර් බිලියන හයක සංචිතයක් එකතු කර ගත්තේ ය.

ජාජබය, 2024 නොවැම්බර් මැතිවරනයෙන් බලයට ගෙන එනු ලැබුනේ, මෙම තත්වයන්ට එරෙහිව පුපුරු ගසමින් පැවති මහජන වෛරය විසිනි. එකල “දීල බලමු“ යන පදය සමාජය තුල සුලබව පැවතිනි. දැන් එම ජනයා පෙර පැවති වික්‍රමසිංහ ආන්ඩුව අනුගමනය කිරීම හැර මාවතක් ජාජබට නැති බව අත් දකිමින් සිටී.

තමන් බලය ගත් මාස හයට කල වැඩ අන් කවර ආන්ඩුවක්වත් කර නැතැයි ජාජබ පවසන්නේ එවන් පසුබිමක ය. එම වැඩ මොනවා ද? විරැකියාවට හා දරිද්‍රතාවට විසඳුම් කෙසේ වෙතත්, රාජ්‍ය ආයතන වසා දැමීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම හෝ විකුනා දැමීමේ සැලසුම් ඉදිරියට යමින් තිබේ. රාජ්‍ය ආයතන 12ක් වසා දැමීමට රජය පෙබරවාරී මාසයේ තීරනය කලේ ය. වර්ග කිලෝ මීටර් තුනෙන් තුනට එක පාසැලක් හදන බවට පොරොන්දු දුන් ජාජබ සිසුන් 100 අඩු පාසැල් 100ක් වසා දැමීමට තීන්දු කලේය. නො ඉවසිය හැකි මට්ටමකට බදු ඉහල දැමුවේ ය. මෙහිදී, කලින් බදු අය නො කල අත්‍යවශ්‍ය භාන්ඩ කිහිපයක් ම අලුතින් බද්දට යටත් කරන ලදී.

රාජ්‍ය මර්දනය පෙර මෙන් ම ඉදිරියට ගෙන යමින් නිදහසට හා ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩක් නැති බව නැවතත් තහවුරු කර ඇත. අවලංගු කරනවායැයි පොරොන්දු වූ ත්‍රස්ත විරෝධී පනත ජාජබ ආන්ඩුව ද පෙර පැවති ආන්ඩු මෙන් ම යොදා ගනී. ඒ අතර අධිකරන ක්‍රියා පටිපාටියකින් තොරව හිතු හිතු ආකාරයට මිනී මැරීමට පොලිසියට අනුග්‍රහය ලබා දීම ද නො නැවතී සිදුවේ.

හූනු බිජුවටත් උද්ඝෝෂනය කරන්නේයැයි කම්කරු පන්තිය හෙලා දකිමින් ආන්ඩුව, සිය පීඩාකාරී වැඩපිලිවෙලට හා පාලනයට විරුද්ධ කිසිවකට ඉඩ නැත යන සංඥාව නිකුත් කර ඇත. එයට නිදහස් ජන මාධ්‍ය ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. පලාත් පාලන මැතිවරනයේ ප්‍රතිඵල සමග ම, මැයි 8දා, ආන්ඩුවේ පුවත්පත් සාකච්ඡාව රජයේ මාධ්‍ය හැඳුනුම් පත් නැති මාධ්‍යවේදීන්ට තහනම් කෙරුනි. මෙය, තමන්ට සහාය දුන් ඡන්දදායකයන්ගෙන් ලක්ෂ විසි තුනක් මාස හයක් වැනි කෙටි කාලයක් තුල තමන් හැර යාමෙන් එල්ල වූ අභියෝගයට ප්‍රතිචාර දැක් වූ ආකාරයක් ද වේ. ඔවුන්ට අනුව, භාෂනයේ හා ප්‍රකාශනයේ හා තොරතුරු දැනගැනීමේ නිදහස භුක්ති විඳීමට නම්, ආන්ඩුවේ බලපත්‍රයක් ලබා ගත යුතු ය.

මැතිවරන ප්‍රතිඵලය මේ තත්වයන්ට එරෙහිව ආන්ඩුවට පාඩමක් උගන්වා ඇතැයි ඇතැමෙක් යෝජනා කරති. එම අදහස මගින් වගා දිගා කෙරෙන්නේ, ආන්ඩුව තමන් ප්‍රතික්ෂේප වනවාට බියෙන් ඉහත සඳහන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ධනේශ්වර අවශ්‍යතාවලට ඉහලින් මහජන අවශ්‍යතා තබනු ඇතැයි යන මිත්‍යාව ය. මෙය මාරක වැරදි වැටහීමකි. ලොව කිසිදු ආන්ඩුවකට තව දුරටත් ප්‍රතිසංස්කරනවාදී පන්ති සම්මුති පිලිවෙතක් අනුගමනය කිරීමට ඉඩක් ඇති බවට සාක්ෂියක් නැත.

ජාජබ ආන්ඩුවේ ප්‍රතිපත්තිවල පදනම ගොඩ නැඟී ඇත්තේ, රනිල් වික්‍රමසිංහ ආන්ඩුව දියත් කල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැලසුම් මත බව අප දැනටමත් පෙන්වා දී ඇත. ජාජබ අයවැය ලේඛනයට පවා මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබිය යුතු ය. එය තමන් අනුමත කරනු ලැබ ඇති නය මුදලේ හතර වන කොටස ඇන හිටුවා, ශ්‍රී ලංකාවේ ආන්ඩුව විදුලි බිල වැඩි කිරීම කල් පමා කිරීම ගැන සිය විරෝධය පල කලේ ය.

මේ අතර ජාජබ ආන්ඩුව, ශ්‍රී ලංකාවේ බංකොලොත්කම මෙතෙක් පාලනය කල ඒ හෝ මේ ආන්ඩුවල අඩුලුහුඬුකම්වලින් පැන නැගුනු බව නැවත නැවතත් කියයි. නමුත් බංකොලොත්කමේ සැබෑ පදනම් සොයා ගනු ලැබිය යුතු වන්නේ ධනේශ්වර පද්ධතිය තුලිනි. ශ්‍රී ලංකාව මුහුන දී සිටින්නේ ලෝක ආර්ථික අර්බූදයට මැදි වූ රටක ඉරනමට ය. එකී අර්බුදය ලංකාව තුල ක්‍රියාත්මක වන සංයුක්ත තත්ත්වය ප්‍රකාශයට පත් වන්නේ එය මුහුන දී සිටින නය අර්බුදය හරහා ය. ඊට ගොදුරු වූ පසුගාමී ධනපති රටකට, අධිරාජ්‍යවාදයේ උවමනාවන්ට සහමුලින් ම යටත් වීම හැර කල හැකි අන් දෙයක් නැත. තව දුරටත් මූල්‍ය අරමුදල ද, ලෝක බැංකුව ද, එක්සත් ජනපදය හා ඉන්දියාව ද ශ්‍රී ලංකාවේ ආන්ඩුව මෙහෙයවන දුරස්ත පාලකයන් නො වේ. ඒවා මේ රෝගී එලදෙනගේ කර මත නැගගෙන ඇය දක්කා ගෙන යයි. ඊට වෙනත් ආකාරයක පැවැත්මක් මෙරට ධනපති පන්තියට නැත. හොරකමෙන්, නාස්තියෙන්, දූෂනයෙන් තොර පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ජාජබ කියා පෑම තුල සඟවා ක්‍රියාවට දමා ඇත්තේ එම අධිරාජ්‍ය ගැති ධනේශ්වර අවශ්‍යතාවන් ය. ‘නාස්තියෙන් තොර’ යන පදයෙන් පාලක පන්තිය අදහස් කරන්නේ, රැකියා කප්පාදුව, මහජන අවශ්‍යතාවයන් සඳහා කරන යෙදවීම් සීමා කිරීම, ශ්‍රම ඵලදායිතාව ඉහල දැමීමේ නමින් කම්කරුවන් ඉහලම මට්ටමට සූරා කෑම හා දුප්පත්කම වගා දිගා කිරීමයි. 2022 ප්‍රකාශයට පත්වූ බංකොලොත්කමින් යම් තරමක ගොඩ ඒමක් වාර්තා කල 2024 දී මෙරට ආර්ථිකය 5% දක්වා ඉහල ගොස් තිබිනි. ඒක පුද්ගල ආදායම පෙර වසරේ පැවති ඇමරිකානු ඩොලර් 3836 සිට 4,516 ( රුපියල් 1,364.235) දක්වා ඉහල ගියේ ය. “රට“ පෙර පැවති තත්ත්වයට වඩා පොහොසත් විය. කම්කරු පන්තියට හෝ සෙසු දුප්පතුන්ට එය දැනුනේවත් නැත. ධනපතියන්ට පමනක් ලස්සන ජීවිතයක භයංකර සිහින අවදි කර ගැනීමට හැකි වී ඇත. ධනපතියන්ගේ මේ සිහින හා ජාජබයට ඡන්දය පාවිච්චි කල ලක්ෂ 69 කට ආසන්න ජනයාගේ ජීවන අපේක්ෂාවන් අතර ඇත්තේ පරිපූර්න ප්‍රතිවිරෝධයකි.

ඉතා ඉක්මනින් සිය මහජන පදනම් පතුලටම සිඳී යනු ඇති බව ආන්ඩුව නිසැකයෙන් ම දැන සිටී. ආන්ඩු බලය ගැනීමට පෙර සිටම ඔවුන්ගේ උපදේශකයන් යෝජනා කලේ සියලු අමාරු දේ මුල් මාස හය තුල ඉටු කර ගැනීම අවශ්‍ය බව ය. ඉන් අනතුරුව ආන්ඩුවේ ජනප්‍රියත්වය නැතිව යන බව ඔවුහු නිවැරදිව පෙරදුටහ.

“හදල මිසක් දෙන්නෙ නැහැ. දෙන්න නොවේ ගත්තේ“ යනුවෙන් බොහෝ අවස්ථාවල ජනාධිපති අනුර කුමාර දිසානායක තර්ජනය කරනවා ඔබ අසා දැක ඇත. ඉහත පෙන්වා දුන් සියලු තත්වයන්ට අනුව මේ නම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය පිලිබඳ කතාවයි. ජනතා විරෝධයට ගොදුරු වූ ආන්ඩුවකට ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කල නො හැකි ය. මෙය ලොව පුරා පාලක පන්තිය මුහුන දී සිටින අභියෝගයකි. පැරනි ආකාරයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් දෙසට ආපසු ගමන් කිරීමට මින් ඉදිරියට එන කිසිදු ආන්ඩුවකට හැකියාවත් නැති අතර, කම්කරු පන්තියට ද මෙම පාලනය යටතේ තව දුරටත් රැකී පවතිනු නො හැකි ය. එකිනෙකට මුලුමනින් සතුරුවන ධනපති පන්තියේ හා කම්කරු පන්තියේ අවශ්‍යතාවලට එකවර සේවය කිරීමට ආන්ඩුවට නොහැක. ආන්ඩුව මෙහෙයවනු ලබන්නේ මෙලෙස ඉස්මතු වන ධනපති පන්තියේ පන්ති අවශ්‍යතාවයෙන් ගෙනි. එබැවින් මහජන විරෝධතාවලින් පාඩම් ඉගෙන ගැනීමේ ඉස්පාසුවක් හෝ අවකාශයක් හෝ ඔවුන්ට නැත.

ජාජබ පෙරට දමන රට ගොඩ නැගීම හෝ ජාතිය ගොඩ නැගීම ප්‍රතිගාමී යෝජනාවකි. ලෝකයේ කොතැනකවත් ඊට ඉඩක් නැත. ධනේශ්වර ජාතිය හා ආරථිකය, රාජ්‍ය සමග ද, එකිනෙක සමග ද පරස්පර විරෝධතාවකට පැමින ඇති බව ලෙනින් පැවසුවේ 1915 තරම් ඈත දී ය. “ආර්ථිකය සදහා රාජ්‍ය කුඩා වී ඇත. ප්‍රසාරනය වීමට පරිශ්‍රම දරමින් එය ජාතිය පාගා දමයි. ආර්ථිකය තමන්ගේ පැත්තෙන් මිහිතලයේ ජන-වාර්ගික කන්ඩායම්වල බෙදී යාමට අනුව සිය බලවේගවල සහ සම්පත්වල ස්වභාවික චලනය යටත් කර දැමීම ප්‍රතික්ෂේප කරයි.“ (ලෙනින් “Struggle for a revolutionary international, New park, Monad 1984, page 370 ) අන් කවරදාටත් වඩා අද දින, ලෝකය මෙහය වන නියාමය මෙයයි.

සමස්ත ලෝක ධනේශ්වරයට ම වත්මන් සමාජ ආර්ථික අර්බුදයෙන් ගැලවී ගැනීමේ මාවතක් නැත. ලෝක වෙලඳපොල තරගය දැන් ප්‍රකාශයට පත් වන්නේ තැන තැන ගිනි කඳු මෙන් විදාරනය වන යුද ගිනි ජාලා වලින් හා දැවැන්ත මහජන කැරලිවල ස්වරූපයෙනි. රුසියාවට එරෙහිව යුක්‍රේනය ඇමරිකාව ප්‍රමුඛ නේටෝවේ අත් වාරුවෙන් ගෙන යන යුද්ධය, ඇමරිකාවේ සහාය ලබමින් දියත් වන ඊශ්‍රායලයේ මැද පෙරදිග සමූල ඝාතක යුද්ධය, මේ වන විට අසල්වැසි ඉන්දියාව හා පකිස්ථානය අතර ඇවිලෙන යුද ගින්න එහි මං සලකුනු ය. යුද්ධය ප්‍රමුඛ ධනේශ්වර රටවල මූලික අවධානය යොමු වූ දෙයයි. ඒවා ඒ සදහා අති දැවන්ත මුදලක් වැය කරයි. යුද වදින රටවල මෙන්ම ඊට මැදිවන රටවල කම්කරු පන්තියට ද මේ විනාශය එක සේ බල පවත්වයි. මහා පරිමාන නය අර්බුදයක පැටලී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අධිරාජ්‍යවාදී පර්යාය පමනක් සිය ගැලවුම්කරුවන් ලෙස දකින ධනපති පන්තියට මේ යුද උගුලට ගෙල තබනු විනා අන් මාවතක් නැත.

ලෝකයේ කම්කරු පන්තිය මේ ධනපති රාජ්‍යවල ජාතිකවාදය පෙරලා දමා සහෝදරත්වයේ අත් වැල අල්ලා ගත යුතු ය. ජාජබ ආන්ඩුවේ ප්‍රහාරයට මුහුන දී පැවැත්ම රැක ගැනීම වූ කලී, කල් තබා ඒ ආකාරයෙන් සංවිධානය වීම පිලිබඳ ප්‍රශ්නයකි. කම්කරුවන්ගේ හා පීඩිතයන්ගේ ඉරනම විසඳීම පාර්ලිමේන්තුවාදී පක්ෂයකට හෝ පාර්ලිමේන්තුවකට පැවරීම තව දුරටත් වලංගු නො වේ. මේ වැටහීම මත පිහිටා කම්කරු පන්තිය තමන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු තුල සංවිධානය විය යුතුය. එල්ල වන ප්‍රහාරවලට එරෙහිව අරගල කල හැක්කේ ඒ ආකාරයෙන් ම පමනෙකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top