2025 පලාත් පාලන ඡන්ද විමසීම පිලිබඳ හෙලිදරව්ව සහ පන්ති විඥානය

“පලාත් පාලන මැතිවරනය පාලක ජවිපෙ/ජාජබ කෙරෙහි වැඩෙන මහජන විරුද්ධත්වය පෙන්නුම් කරයි“ යන හිසින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ මැයි 13 පල වූ ලිපිය පිලිබඳ විමර්ශනයක්

නන්දන නන්නෙත්ති විසිනි

වසන්ත රූපසිංහ සහෝදරයා විසින් ලියන ලද ප්‍රස්තුත ලිපිය මුල් වරට මැයි 9 දින ඉංග්‍රීසි බසින් පල විය. අපගේ අවධානය මෙම ලිපියට විශේෂයෙන් යොමු විය යුතුයැයි අප කල්පනා කලේ, එයින් සමාජවාදී විප්ලවයේ දෘෂ්ටි ආස්ථානය වෙනුවට විරෝධතා දේශපාලන භාවිතයක් ඉස්මතු වී ඇති බව අපට පෙනී යන බැවිනි. එම කාරනය සසප හා කම්කරු පන්තිය තුල සාකච්ඡාවට යොමු කිරීම අපගේ යුතුකම හා වගකීම වන බව අපි සලකමු.

පලාත් පාලන ඡන්ද විමසීමේ ජය-පරාජය පිලිබඳව ධනපති ව්‍යාපාර ඉව බවකින් තොර ඝෝෂාවක් අවුලා ගෙන සිටී, එහි අර්ථය වන්නේ, මැතිවරනය මගින් විශේෂයෙන් දේශපාලනීකරනය වී, ස්වකීය ජීවිත සම්බන්ධ සැබෑ උත්සුකයන් මතු කරන මහජනයා ව්‍යාකූලත්වයට පත් කිරීම ය. එය එවන් සාකච්ඡාවක් මගින්, සමාන ගැටලුවලින් බැට කන පීඩිත මිනිසුන් අතර එකමුතුවක් ඇති වීමට ඇති ඉඩකඩ අහුරා දැමීම ද අරමුනු කර ගනී. මේ සාකච්ඡාවට සහභාගි වීම කම්කරු පන්තික විප්ලවවාදීන් වන අපගේ කාර්යයක් නොවේ. අපගේ අරමුන වන්නේ කම්කරු පන්තිය සමාජවාදය සඳහා බලය ගැනීමේ දෘෂ්ටියෙන් පන්තිය තුල මැදිහත්වීම ය.

එහෙත්, වසන්තගේ ප්‍රධාන අරමුන වන්නේ ජාජබයට මහජන පදනමක් නො තිබි බව ද, පසු ගිය ඡන්ද විමසීමේ දී “පාලක ජවිපෙ/ජාජබ කෙරෙහි වැඩෙන මහජන විරුද්ධත්වය පෙන්නුම් කර ඇති“ බව සහ එම පරාජයේ විශාලත්වය පෙන්නුම් කිරීම ද වේ. ඔහු “ජවිපෙ/ජාජබ, පසුගිය වසරේ මැතිවරනය ජයග්‍රහනය කලේ, සාම්ප්‍රදායික සංස්ථාපිත පක්ෂවලින් මහජනයා දැඩි ලෙස ඈත්ව සිටීමේ තත්වය ගසාකමිනි“යි යන වියුක්ත සත්‍යය ඉස්මතු කරමින් පටන් ගනී. ඉනික්බිති ඔහු මෙසේ පවසයි: “දැවැන්ත සහයෝගයක් පුරෝකථනය කල ජවිපෙ/ජාජබ නායකයෝ, ඔවුන්ගේ මැතිවරන පරිහානිය සුලුකොට පෙන්වති. නිල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමටත් පෙර, පක්ෂය “‘පැහැදිලි’ සහ ‘ශක්තිමත්’ ජයග්‍රහනයක් ලබන බව“ එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසුවේ ය. මෙසේ ජාජබ හා ඊට ගැති ප්‍රචාරක මාධ්‍ය ඉස්මතු කරන උන්මත්තක ප්‍රකාශ නිශ්ප්‍රභ කිරීමට ලිපිය සෑහෙන වෙහෙසක් ගනී. මේවා මතු කර පෙන්වීමෙන් කම්කරු පන්තියේ විප්ලවවාදී විඥානය අවදි වන්නේ නැත. හහෙත් මේවාට මෙතරම් අවධානයක් දීම මගින්, ලේඛකයා පවතින යථාර්ථය හමුවේ බෙහෙවින් වෙහෙසට පත් ව සිටින බව ප්‍රදර්ශනය කර ඇත.

මැතිවරන දිනයේ ඡන්ද පොලක් – ඡායාරූපය උපුටා ගැනීම: ලංකා C නිව්ස් වෙබ් අඩවියෙන්

ලිපිය පුරා ඡේද වැඩි ගනනක් වැය කෙරෙන්නේ මෙවන් දේ විස්තර කිරීමට ය. “ජවිපෙ/ජාජබ, මාස හයකට පෙර පසුගිය නොවැම්බර් මාසයේ පැවති මහ මැතිවරනයට සාපේක්ෂව ඡන්ද මිලියන 2.3 කට වඩා අහිමි වී තිබේ.“ “ජවිපෙ/ජාජබ සමස්ත ජාතික ඡන්ද ප්‍රමානය පහත වැටී තිබෙන්නේ, ප්‍රචාරක කටයුතුවලට දැරූ අධික වියදම් ද නො තකමිනි“ “ඡන්ද මිලියන 4,503,930 ක් හෙවත් මුලු ඡන්දවලින් සියයට 43.26 ක් ලබා ගත් ජවිපෙ/ජාජබ පක්ෂය නිසැකවම ඒ පිලිබඳව පුරසාරම් දොඩනු ඇත. දැනටමත් සඳහන් කර ඇති පරිදි, එය පසුගිය වසරට වඩා ඉතා කැපී පෙනෙන පහත වැටීමකි.“ “ජවිපෙ/ජාජබ…. පූර්න බහුතරයක් ලබා ගත්තේ ආයතන 166ක පමනි“ තව දුරටත් ඔහු මෙසේ කියයි: “සුදුසුකම් ලත් ඡන්දදායකයින්ගෙන් සියයට 80 ක් වූ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය මේ සතියේ සියයට 60 කටත් වඩා තරමක් අඩු වී, පසුගිය වසරේ ජවිපෙ/ජාජබට ඡන්දය දුන් බොහෝ දෙනෙක් ඇතුලුව මිලියන සංඛ්‍යාත ඡන්දදායකයින් ඡන්දය ප්‍රකාශ කර නැත.“

ලේඛකයාගේ නොසන්සුන් බව කෙතෙක් ද යත් ඉහත වැකි තුනේ දී ම සැබෑ දත්ත ඔහු අතින් විකෘති වෙයි., ඔහු ඡන්ද මිලියන 4,503,930 ලෙස සටහන් කරන්නේ ඡන්ද හතලිස් පන්ලක්ෂ තුන්දහස් නවසිය තිහක සංඛ්‍යාව ය. වසන්ත ලියන ගනන ලෝක ජනගහනයන් මෙන් 500 ගුනය ඉක්මවා ඇත. ජාජබ ආයතන 166 පූර්න බහුතරයක් ලබා ගත්තේ ය යන්න ද විකෘතියකි. ජාජබ තමන්ට ආයතන 265 කම බලය තහවුරු කර ගත හැකි බවට වහසි බස් කීවත් ඔවුන්ට පූර්න බහුතර නියෝජනයක් ලැබී ඇත්තේ ආයතන 116 ක පමනි. මැතිවරනයේ දී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව ගැන ද ඔහු සොයා බලා නැත. වසන්ත පසු ගිය මැතිවරන‍යේ 68.93% වූ වලංගු ඡන්ද ගනන 80%.‍ ක් බවට පත් කරයි. පලාත් පාලන ඡන්ද විමසීමේ එය 60ට අඩු වූයේ නැත, 61.88 විය. කෙනෙකුට වැරදීම් සිදු විය හැකි ය. එහෙත් මෙය වැරදීමකට වඩා වගකීම් විරහිත ව ලේඛන කාර්යයේ යෙදීමකි. දත්තවල නිවැරදිභාවය නො තකා නිවැරදි නිගමනය කරා ලංවනු නො හැකි ය.

“කම්කරුවන්ට, ඡන්දය නොදී සිටීමෙන් හෝ විරුද්ධ ධනේශ්වර පක්ෂයකට ඡන්දය දීමෙන් තම අවශ්‍යතා ආරක්ෂා කර ගත නොහැකි,“ යයි වසන්ත කියයි. මේ සරල හා ඕනෑම කම්කරුවෙකු දන්නා නිගමනයට ඔහු එලඹෙන්නේ සාමාන්‍ය ඡන්දදායකයාගේ හා සුලු ධනේශ්වර බුද්ධිමතාගේ දෘෂ්ටියෙනි. කම්කරු පන්තිය මේ සරල සත්‍යය වටහා ගැනීමට බැරි තරම් දුර්වලයැයි සිතීම ද දුර්වල කමකි. කම්කරු පන්තියේ අවශ්‍යතාව වන්නේ තමන් මුහුන දී සිටින යථාර්ථය පිලිබඳ දේශපාලනය හෙලි පෙහෙලි කර ගැනීමය. ඒ වෙනුවට ලේඛකයා “කම්කරු පන්තිය මුහුන දෙන සමාජ ව්‍යසනයට හෝ ලෝක යුද්ධයේ අනතුරට, ධනේශ්වර ක්‍රමය තුල හෝ ජාතික රාජ්‍යය තුල විසඳුමක් නොමැත.“යි දැනටමත් දන්නා වියුක්ත සත්‍යයක් සිද්ධීන් මත පටවයි. එය නිශ්චිත තර්ක මත ගොඩ නැඟීමට ඔහු වෙහෙසක් නො ගනී. මෙසේ ඔහු උත්සාහ කරන්නේ තර්කානුකූල ඒත්තු ගැන්වීම වෙනුවට, ප්‍රතිඵල හේතු ලෙස ගෙන හැර පාමින් තම නිගමනයන් කරා කම්කරු පන්තියේ කොලරයෙන් ඇද ගෙන යාමට ය.

මාක්ස්වාදීන් වන “අප සමාජ ප්‍රශ්න වටහා ගන්නේ ඒවා අපගේ කැමැත්තට පිටින් අපට හොරෙන් වර්ධනය වන ආකාරයෙන් ම ය.“ මෙයින් අප මතුපිට සිදුවීම් නො තකා හරින බවක් නො හැඟවේ. ඒවා අතිශයින් ම වැදගත් ය. එම රූපය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන්නා වූ අන්තර්ගතයට සමීප වීමේ නොතිත් අරගලයකින් හැර මතුපිට ප්‍රකාශනයේ අරුත හා ඉන් ඉල්ලා සිටින වෙනස කුමක් ද යන්න ග්‍රහනය කර ගැනීමේ අන් මාවතක් නො පවතී. අපගේ ආත්මීය අවශ්‍යතාව ඉටු කර ගත හැකි වනුයේ එම පැහැදිලිකම මත ක්‍රියාත්මක වීමෙනි. කම්කරු පන්තියේ සංස්කෘතිය ඉහලට ඔසවා තැබිය හැකි වන්නේ එවන් වර්ගයේ හෙලිදරව් කිරීම්වලට පමනි.

රුසියානු විප්ලවයේ අද්විතීය නායකයා වන වී.අයි. ලෙනින් දේශපාලන හෙලිදරව් කිරීම් ගැන විශේෂයෙන් සඳහන් කල “කල යුක්තේ කුමක් ද“ කෘතියේ පෙන්වා දී ඇති පරිදි, “දේශපාලන හෙලිදරව් කිරීම්වලින් තොර දේශපාලන විඥානයක් තිබිය නො හැකි ය“ එය විප්ලවයේ ප්‍රධාන අවියකි. කම්කරුවන්ට සරල ආර්ථික ගැටලු පමනක් නොව, පූර්න දේශපාලන පද්ධතිය හෙලිදරව් කල යුතු ය. සමාජය තුල ඇති අයුතුකම්, පීඩනය, හා රාජ්‍ය ආයතනවල දූෂනය කම්කරුවන්ට පැහැදිලිව දැක්විය යුතු ය. එනම්, ඒවා එසේ සිදු වන්නේ ඇයිදැයි පැහැදිලි කිරීම විප්ලවවාදී පක්ෂයක වග කීමයි.

ලෙනින් සිදු කල තීරනාත්මක හෙලිදරව් කිරීම “රජය හා විප්ලවය“ කෘතියේ අඩංගු ය. රජය යනු පීඩක පන්තියක් විසින් වෙනත් පන්තියක් මත ක්‍රියාත්මක කරන පීඩනය පවත්වා ගෙන යාමේ ආයතනයක් යයි ද, සැබෑ සමාජවාදය සඳහා රාජ්‍යය බිඳ දැමීය යුතු බව ද එහි ඔහු පෙන්වා දුන්නේ ය. ලෙනින්ගේ මෙම අරගලය නො වන්නට 1917 විප්ලවය සිදුවීමට ඉඩක් නො තිබිනි. තමන් හදිසියේ මිය ගියහොත් මෙම කෘතිය බෙදා හැරීමට කටයුතු යොදන ලෙස ලෙනින් ඉල්ලා සිටියේ ය. දේශපාලන හෙලිදරව් කිරීම් යනු, සිදු වන දෙය ගැන හා එහි වෙන් වෙන් කොටස් ගැන පැහැදිලි කමකින් හා පන්ති අරගලයේ ඓතිහාසික අත් දැකීම් මත පිහිටා පමනක් සිදු කල හැකි දෙයකි.

වී. අයි. ලෙනින්

ඉහත පෙන්වා දුන් කරුනු අනුව පලාත් පාලන ඡන්ද ප්‍රතිඵල පිලිබඳ ප්‍රශ්නයට මැදිහත් විය යුතුව පැවතියේ කෙසේ ද? මැයි 11 දින, සසප(වම) socialist.lk වෙබ් අඩවියේ, පලාත් සභා මැතිවරනය 2025, පන අදින පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ සලකුනක්“ යන හිසින් පල කල ප්‍රකාශය තුල අපි අපෙන් ම එය විමසා බැලීමු. ඒ අනුව අත්පත් කර ගත් වැටහීම මෙසේ සටහන් කලෙමු. “මැතිවරන ප්‍රතිඵලය මේ තත්වයන්ට (කම්කරු පන්තියට එරෙහි ආර්ථික හා දේශපාලන ප්‍රහාරයන්ට) එරෙහිව ආන්ඩුවට පාඩමක් උගන්වා ඇතැයි ඇතැමෙක් යෝජනා කරති. එම අදහස මගින් වගා දිගා කෙරෙන්නේ, ආන්ඩුව තමන් ප්‍රතික්ෂේප වනවාට බියෙන් ඉහත සඳහන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ධනේශ්වර අවශ්‍යතාවලට ඉහලින් මහජන අවශ්‍යතා තබනු ඇතැයි යන මිත්‍යාව ය. මෙය මාරක වැරදි වැටහීමකි. ලොව කිසිදු ආන්ඩුවකට තව දුරටත් ප්‍රතිසංස්කරනවාදී පන්ති සම්මුති පිලිවෙතක් අනුගමනය කිරීමට ඉඩක් ඇති බවට සාක්ෂියක් නැත.“ ඒ වෙනුවට රූපසිංහ සහෝදරයා විසින් රචිත ලිපිය හුදෙක් ම ආන්ඩුවේ මහජන පදනම ඛාදනය වීම ගැන ලියයි. දැන් ඉන් මහජනයාට අවස්ථාව ලැබී ඇති සේ ය.

අප තව දුරටත් ලියූ පරිදි, “මේ අතර ජාජබ ආන්ඩුව, ශ්‍රී ලංකාවේ බංකොලොත්කම මෙතෙක් පාලනය කල ඒ හෝ මේ ආන්ඩුවල අඩුලුහුඬුකම්වලින් පැන නැගුනු බව නැවත නැවතත් කියයි. නමුත් බංකොලොත්කමේ සැබෑ පදනම් සොයා ගනු ලැබිය යුතු වන්නේ ධනේශ්වර පද්ධතිය තුලිනි. ශ්‍රී ලංකාව මුහුන දී සිටින්නේ ලෝක ආර්ථික අර්බුදයට මැදි වූ රටක ඉරනමට ය…. “

ආන්ඩුවේ ඡන්ද පදනම සෝදා පාලු වීම අනපේක්ෂිත දෙයක් වූයේ නැත. “ඉතා ඉක්මනින් සිය මහජන පදනම් පතුලටම සිඳී යනු ඇති බව ආන්ඩුව නිසැකයෙන් ම දැන සිටී. ආන්ඩු බලය ගැනීමට පෙර සිට ම ඔවුන්ගේ උපදේශකයන් යෝජනා කලේ සියලු අමාරු දේ මුල් මාස හය තුල ඉටු කර ගැනීම අවශ්‍ය බව ය. ඉන් අනතුරුව ආන්ඩුවේ ජනප්‍රියත්වය නැතිව යන බව ඔවුහු නිවැරදිව පෙරදුටහ…“ කම්කරු පන්තිය බරපතල අනතුරකට මුහුන දී සිටින බව මෙයින් පැහැදිලි වේ. හුදෙක් ආර්ථික කාරනා නොව, දේශපාලන නිදහස යන කාරනය සම්බන්ධයෙන් කම්කරු පන්තිය ධනවාදය සමග ගනුදෙනු බේරා ගැනීමේ අවශ්‍යතාව ඉන් දැනුම් දෙයි.

“සමස්ත ලෝක ධනේශ්වරයට ම වත්මන් සමාජ ආර්ථික අර්බුදයෙන් ගැලවී ගැනීමේ මාවතක් නැත. ලෝක වෙලඳපොල තරගය දැන් ප්‍රකාශයට පත් වන්නේ තැන තැන ගිනි කඳු මෙන් විදාරනය වන යුද ගිනි ජාලා වලින් හා දැවැන්ත මහජන කැරලිවල ස්වරූපයෙනි…. යුද වදින රටවල මෙන්ම ඊට මැදිවන රටවල කම්කරු පන්තියට ද මේ විනාශය එක සේ බල පවත්වයි. මහා පරිමාන නය අර්බුදයක පැටලී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අධිරාජ්‍යවාදී පර්යාය පමනක් සිය ගැලවුම්කරුවන් ලෙස දකින ධනපති පන්තියට මේ යුද උගුලට ගෙල තබනු විනා අන් මාවතක් නැත.“

සත්‍ය ඵලදායී නිගමන ගලා එන්නේ මෙවන් විශ්ලේෂනාත්මක හෙලිදරවු කිරීම් තුලිනි. ඒ සඳහා තමන් මැදිහත් වන විෂය සම්බන්ධයෙන් දක්වනු ලබන, න්‍යාය කෙරේ කුසීත, තත්කාර්යවාදී ආකල්පයන්ගෙන් දැනුවත්ව බැහැර වීම අවශ්‍ය ය. මේ කාරනා දෙක ම, පවතින දේශපාලන වාතාවරනය හමුවේ පසු බැසීමක් නියෝජනය කරන බවට තමන් ම අනතුරුව හඟවා ගැනීම සුදුසු ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top