ජේම්ස් පී. කැනන්
පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු
හතරවැනි ජාත්‍යන්තරයට එහි මුල් කාලයේ ම මුහුණ දීමට සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර අරගලයක් පිළිබඳව ද, එහි ලා අභියෝගයට ලක් ව තුබූ දේශපාලන ප්‍රයුක්තීන් සම්බන්ධව ද පුළුල් සාකච්ඡාවක් පාඨකයා වෙත ගෙන එන මේ ලිපි මාලාවේ සිව්වන භාගය දොළොස්වන පරිච්ඡේදයෙන් ඇරැඹී පරිච්ඡේද දෙකක් පුරා දිග හැරේ. අද දින පළ කෙරෙන්නේ කොටස් දෙකකින් යුත් දොළොස්වන පරිච්ඡේදයේ දෙවැනි කොටසයි.
දොළොස්වැනි සහ දහතුන්වැනි පරිච්ඡේදවලින් සමන්විත වන සිව්වැනි භාගය තුළ ප්‍රධාන ලේඛනය සමාප්ත වේ. කෙසේ වෙතත්, අතිශය අදාලත්වයකින් යුත් ලිපි ගනුදෙනු රාශියක් මෙම කෘතියට ඇතුළත් වන අතර, ඒවා අතර අතිශයින් වැදගත් ලිපි හුවමාරු කිහිපයක් මෙම සිව්වැනි භාගය තුළ ද ඇතුළත් වේ. මේ සියල්ල නිරවශේෂ ලෙස පාඨකයාට ලබා දීමට අපි අපේක්ෂා කරමු.
12. ‘කල්ලිය’ සහ ‘නායක ලබ්ධිය’ – II
මෙම සබකෝලීන්ගේ ඇඹරුම් මෝලට ධාන්‍ය සපයමින් ෂැට්මන් අපේ ඔක්තෝබර් පුන්සැසිය පිළිබඳ විෂකුරු ලෙස විකෘත කළ වාර්තාවක් පළ කළේ ය. එහි අරමුණ වූයේ, වසර 10 කට වැඩි කාලයක් පොදු පක්ෂ කටයුතුවල නිමග්න වීමෙන් පසුව, සාමාජිකත්වයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිත්වය මඟින් තෝරා බේරා පත්කර ගන්නා ලද පක්‍ෂ නායකත්වයේ බහුතරය, හුදෙක් ඇදහිල්ල මත දේවල් තීරණය කරන ආගමික උන්මත්තකයන් රැළකට වඩා යමක් නො වන බව පෙන්වා දීමයි. අභ්‍යන්තර පත්‍රිකා අංක 3 හි ෂැට්මන් මෙසේ ලියයි:
පුන්සැසියේ දී බහුතර කණ්ඩායම, ට්‍රොට්ස්කි සහෝදරයාගේ ලේඛනයක් ඡන්දයට ඉදිරිපත් කළේය. එම ලේඛනය පුන්සැසියට ලඟා වූයේ පැය කිහිපයකට පමණක් පෙර ය. මෙම ලේඛනය සම්බන්ධයෙන් ප්‍රතිබිම්බනයකට අවස්ථාවක් කවර හෝ සහෝදරයෙකුට ලැබෙන්නට ඉඩක් නො වීය. ඔවුන්ගෙන් ඇතැමෙකුට එය කියැවීමට පවා අවස්ථාවක් නො ලැබිණි. යමෙකු එය මුළුමනින් කියවා තිබීම කිසිසේත් සිදුවිය හැක්කක් නො වීය. ඒ, එම අත් පිටපතේ එක් පිටුවක් ලේඛනය එවීමේ දී කිසියම් අහඹුවකින් නැති වී තිබීමේ සරල හේතුව නිසා ය. ඒ කොයි හැටි වෙතත්, කියවා හෝ නො කියවා, සම්පූර්ණයෙන් හෝ අසම්පූර්ණ වශයෙන් එය අධ්‍යයනය කොට හෝ නො කොට, ලේඛනය ඡන්දයට දමන ලදුව බහුතර ඡන්දයෙන් සම්මත විය. ඒ, එක් සහෝදරයෙක් ප්‍රකාශ කළ පරිදි, ට්‍රොට්ස්කි සහෝදරයාගේ ආස්ථානයේ නිරවද්‍යතාවය ඇදහිය හැකි වීමේ පදනම මත ය.
ෂැට්මන්ගේ වාර්තාව, කරුණුමය වශයෙන් සහ ඒවායේ අර්ථකථනයෙන් සාවද්‍ය ය.

- “සෝවියට් සංගමය යුද්ධයේ (The USSR in War)” නම් ට්‍රොට්ස්කිගේ ලේඛනයේ සම්පිණ්ඩනයක් ගැන ජාතික කමිටු පුන්සැසියේ සියලු සාමාජිකයන් දැන සිටියේ, “පැය කිහිපයකට පෙර” නො ව, සති දෙකකට වඩා පෙර සිට ය. පුන්සැසියේ ඡන්දය දීම සිදු වූයේ ඔක්තෝබර් 1 දා ය. සැප්තැම්බර් 12 දාතම යටතේ ට්‍රොට්ස්කි අපට මෙසේ ලියා එවීය: “මම දැන්, යුද ප්‍රශ්නය සම්බන්ධව, එක්සත් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ සමාජ ස්වභාවය පිළිබඳ අධ්‍යයනයක් ලියමින් සිටින්නෙමි. … එහි මූලික අදහස් පහත දැක්වෙන පරිදි වේ: …“[9] ඉනික්බිතිව ඔහු කටු සටහනක ආකාරයෙන් සිය අදහස් පළ කළේ, කිසිවෙකුට ඒවා වරදවා වටහා ගත නොහැකි ආකාරයෙනි. සැප්තැම්බර් 14 වන දින; එනම්, පුන්සැසියට දෙසතියකට වැඩි කාලයකට පෙර; මෙම කටු සටහන අනුපිටපත් කර, “පුන්සැසි ලේඛන” යන මාතෘකාව යටතේ ජාතික කමිටුවේ සියලු සාමාජිකයන් වෙත යවන ලදී. ඒ අනුව, පුන්සැසියේ ආරම්භයට හොඳ හැටි කල් තිබියදී, අදාළ සියල්ලෝ අවසාන ලේඛනයේ විස්තාරණය කෙරෙන ප්‍රවාදයේ මූලික න්‍යායික රේඛාව දැන සිටියෝය.
- ෂැට්මන් පවසන පරිදි ලේඛනය “ඡන්දයට දමන ලදුව බහුතර ඡන්දයෙන් සම්මත වූයේ” නැත. සම්මත වූ යෝජනාව මෙසේය: “‘සෝවියට් සංගමය යුද්ධයේ’ පාර්ශවකරුවෙකු වීම පිළිබඳ ට්‍රොට්ස්කිගේ ලේඛනයේ දේශපාලන නිගමන අනුමත කරන පුන්සැසිය, අපේ මූලික ආස්ථානයන්හි පදනම මත නව සිදුවීම් ඇගැයීමක් හා පැහැදිළි කිරීමක් වශයෙන් එය පළ කරන ලෙස දේශපාලන කමිටුවට උපදෙස් දෙයි.” ඊට පෙර සමස්ත “ලේඛනය අනුමත කිරීම” සඳහා ඉදිරිපත් වූ යෝජනාවක් වෙනස් කොට, “දේශපාලන නිගමන” අනුමත කිරීමට පමණක් සීමා කරන ලද්දේ නිශ්චිතව ම, එකී නිගමන සමඟ සම්පූර්ණයෙන් එකඟ වී සිටි ඇතැම් සහෝදරවරුන්ට ලේඛණය මුළුමණින් අනුමත කිරීම සඳහා ඡන්දය පාවිච්චි කිරීමට පෙර එය වඩාත් පූර්ණ ලෙස අධ්‍යයනය කිරීමට අවශ්‍ය වූ නිසා ය. මේ කාරනාවේ දී පුන්සැසියේ බහුතරයෙහි ක්‍රියා පිළිවෙත, ෂැට්මන්ගේ අපවාදාත්මක වාර්තාවේ සඳහන් වන දෙයෙහි ඍජු ප්‍රතිබද්ධය විය.
- “එක් පිටුවක් නැති වී තිබිණි” – එබැවින් “ඇදහිය හැකි බව”ට යොමු නො වී ලේඛනයෙන් ඉදිරිපත් කෙරෙන මාවත පිළිගැනීමට හැකියාවක් නො තිබුණි. තුට්ටු දෙකේ රැවටිලිකාරීත්වයෙන් සමන්විත මෙම අවමන්සහගත කොටස සකසා ඇත්තේ, දේශපාලන ලේඛණයක් විභාග කිරීමේ දී යමෙකු එය සෝදුපත් බලන්නෙකු ආකාරයෙන් පිරික්සා බලන බවත්, එහි සෑම වචනයක් ම හා සෑම කොමාවක් ම අදාළ ස්ථානයේ ඇත්නම් පමණක් ඊට අනුමැතිය දෙන බවත් සිතා සිටින්නන් වෙනුවෙනි. ලේඛණය ඉදිරිපත් කරන මාවත සියල්ලන්ට පැහැදිළිව තුබූ අතර, අනුමැතිය හිමි වූ දේශපාලන නිගමන සංක්ෂිප්තව ප්‍රකාශයට පත් කර තිබිණ. ඕනෑම දේශපාලන ලේඛනයක් කෙරේ සිය ආකල්පය නිර්ණය කර ගැනීමට බැරෑරුම් විප්ලවවාදියෙකුට එපමණක් ප්‍රමාණවත් ය. මෙය අප දන්නා තරම් ම හොඳින් ෂැට්මන් ද දනියි. ඔහු “නැති වූ පිටුව“ක් පිළිබඳ කෙස් පැලෙන තර්ක ගෙන එන්නේ, පක්ෂයේ නායකයන් සිතනමතන විප්ලවවාදීන් නො ව ආගමිකවාදී “ඇදහිල්ල“කට ඇබ්බැහි වූ දුර්වල මනස් ඇත්තෝ වෙති ය යන පිටස්තර ප්‍රවාදයට සහාය පිණිස ය.
මෙම නිදර්ශනයේ වාර්තාව උපුටා දැක්වීමට හා ෂැට්මන්ගේ මුසාකරණයන් යම්තාක් දුරට දීර්ඝව හෙළිදරව් කිරීමට මා ඉඩ වෙන් කළේ, ලව්ස්ටෝන්වාදීන් හා ඔවුන් බඳු සෙස්සන් ඇතුළු අපේ සතුරන්, හතරවැනි ජාත්‍යන්තරය තුළ “නායක ලබ්ධිය“ක් පවතින බවට වූ සිය ප්‍රවාදය ගොඩ නංවා ඇත්තේ එවැනි ඉතා තුනී දෑ භාවිතයෙන් නිසා ය. ෂැට්මන් වීසි කළ රස මසවුළු කැබැලි අල්ලා ගැනීමට ඔවුහු සමත් වූහ. තමන් මෙය යළි පළ කරන්නේ, “හුදෙක් ම, එකී පක්ෂය (SWPය) තුළ පවත්නා වාතාවරණය ස්ටැලින්වාදයේ අවිචාරවත්, ඒකාධිපති, නායක අභිවාදනමය චෛතන්‍යයන්ට වඩා කෙතරම් දුරස්තරදැයි පෙන්වා දීමේ අරමුණ වෙනුවෙනැ“යි පැවසෙන සෝපාහාසාත්මක සටහනක් ද සමඟ ඉහත වර්කර්ස් ඒජ් පත්‍රය ම ඉතා ප්‍රමුදිතව එය යළි මුද්‍රණය කලේ ය – එය ලියන ලද්දේ ඔවුන්ගේ ඵල ප්‍රයෝජනය සඳහා ම නොවේ ද?
එහෙත් විපක්ෂය පැමිණිළි කරන්නේ හතරවැනි ජාත්‍යන්තරයේ නායකයෙකු ගැන නොව, සමාජවාදී කම්කරු පක්ෂයේ නායකයෙකු ගැන පමණකැයි යමෙකු විරුද්ධත්වය දැක්විය හැකිය. නැත, නැත, නැත. ඔවුන් අදහස් කරන්නේ එය නො වේ. බර්න්හැම් වෙඩි තබන්නේ හතරවැනි ජාත්‍යන්තරයට හා එහි “නායක ලබ්ධිය“ට හා එහි “නායකයා“ට ය. කොයිහැටි වෙතත්, “කැනන්” යනු “සියලු අවස්ථාවන්හි, ව්‍යතිරේකයකින් තොරව ම, ට්‍රොට්ස්කිගේ දේශපාලන පිළිවෙත් භාරගන්නා, වහා ම හා ප්‍රශ්න නැඟීමකින් තොරව ම ඒවා පිළිගන්නා” ඇදහිල්ලකට ගොදුරු වූ “නායක ලබ්ධිකයෙක්” පමණෙකි. තේරුම් ගන්න. කැනන් වැඩි ම වුවහොත් “ගෞලයිටර්වරයෙකු” (a Gauleiter – නාසි ජර්මනියේ, නාසි පක්ෂයේ තුන්වැනි නායකයාගේ තනතුර) වීමට සුදුසු වනු ඇති විනා, එකම එක “ෆියුරාර්වරයා” (Führer – නාසි පක්ෂයේ උත්තරීතර නායකයා) වීමට ඔහුට කිසිදා නොහැක.
හතරවැනි ජාත්‍යන්තරය පිළිබඳ මෙම සංකල්පය බර්න්හැම් ඇමරිකානු කම්කරු පක්ෂයේ (American Workers Party – AWP) සිට ගෙන ආවකි. 1934 දී මස්ට් සංවිධානය සමඟ සංයෝජනයවීමේ සාකච්ඡා පැවැත්වෙන අතරතුර ඔහු මෙසේ ලිවීය:
කොමියුනිස්ට් ලීගය හා හතරවැනි ජාත්‍යන්තරය තනි පුද්ගලයෙකු මත රඳා පැවතීම ගැන AWPයේ විශ්වාසයක් නැත. කොමියුනිස්ට් ලීගය තුළ ට්‍රොට්ස්කි සත්‍ය වශයෙන් ම උසුලන ස්ථානය වැනි ස්ථානයක් උසුලන තනි පුද්ගලයෙකු – ඇතැම්විට ෆැසිස්ට් සංවිධානයක් හැරුණු කොට – කිසිදු සංවිධානයකට සිටිය යුතු නැත. ට්‍රොට්ස්කි යනු අසමසම දීප්තිමත් දේශපාලන විශ්ලේෂකයෙකු නමුදු, ඔහු කිසිදා පක්ෂයක් තුළ සඵල ආකාරයෙන් ක්‍රියාකාරී වී නොමැති බව ඉතිහාසයෙන් සිහිපත් කර ගැනීම වටී. සියල්ල තිබියේවා, ට්‍රොට්ස්කි අසාර්ථක වී ඇත. [ඇමරිකානු කම්කරු පක්ෂයේ ජාතික කාර්යාලය විසින් නිකුත් කෙරුණු ජේම්ස් බර්න්හැම්ගේ සංදේශය]
I I I
සිය අතිශය සදාචාරවත් සිරිත්විරිත්වලට අනුව බර්න්හැම් මෙම ප්‍රවාදය “ඉල්ලා අස්කර ගත්තේය.” එනම්, අපේ සාමාජිකත්වය තුළ විවෘතව එය ප්‍රකාශ කිරීමට දිරි වඩවා ගන්නා තුරු ඔහු එය සුරැකිව තබා ගත්තේය. ෂැට්මන් හා ඇබර්න්, සිය සහාය පුදදීම මඟින් ඔහුට මෙම ධෛර්යය ලබා දුන්නෝය. එහෙත් ඔවුන් එකී නිබන්ධනයට කිසිදු වටිනාකමක් එක් නො කළ අතර, හතරවැනි ජාත්‍යන්තරයේ සතුරන්ගේ සොයා ගැනීමක් වශයෙන් එහි සටහන් වී ඇති වෙළඳ ලකුණ සෝදා දමා එය පිරිසිදු කිරීමට ද ක්‍රියා නො කළෝය. අපේ පක්ෂයේ “කල්ලිය” හා “නායක ලබ්ධිය” සම්බන්ධයෙන් නම්, එකී න්‍යාය, අපේ ජාත්‍යන්තර සංවිධානයට යෙදු බ්‍රෑන්ඩ්ලර් ලව්ස්ටෝන් න්‍යාය තරමට ම තකතීරු වන අතර, සාක්ෂ්‍ය ලෙස දක්වන දේ ද එතරම් ම තුනී ඒවා ය. අපේ ව්‍යාපාරයේ සැබෑ කල්ලියක් – ඇබර්න් කල්ලිය – සම්බන්ධයෙන් කථා කරන විට අපි, දීර්ඝ කාලයක් පුරා එහි ක්‍රියාකාරකම් පිළිබඳ විස්තීර්ණ හා ලේඛනගත වාර්තාවක් ඉදිරිපත් කරමින්, රටක් හරහා දිවෙන ප්‍රධාන මාර්ගයක් තරම් පුළුල් පිය සටහන් සලකුණු මඟක් එය විසින් ශේෂ කෙරී ඇති බව ඔප්පු කළෙමු. අපේ චෝදකයෝ සිය සාක්ෂි සම්බන්ධයෙන් ඊට වඩා බෙහෙවින් මසුරු වෙති. “කැනන් කල්ලියේ පැවැත්ම ගැන ඔබට සැකයක් ඇත්දැ“යි ඔවුහු අසති. – “එය තනි සිද්ධියකින් තහවුරු කළ හැකිය.” මේ කියන “තනි සිද්ධිය” වෙන් කර ගෙන ඉන් කුමක් ඔප්පු කෙරෙන්නේදැයි අපි විමසා බලමු.
ජූලි සම්මේලනයේ සමාප්ති සැසිය අවසානය කරා ලං වන විට හා, න්‍යාය පත්‍රයේ අවසාන අංගය වූ නව ජාතික කමිටුව තෝරා ගැනීමේ අවස්ථාව එළඹෙන විට, නාම යෝජනා ලැයිස්තුවක් ඉදිරිපත් කිරීම සඳහා ෂැට්මන් නැඟී සිටියේය. ඒ වන විට බෙහෙවින් රෑ බෝ වී තිබිණ. නියෝජිතයෝ වෙහෙසට පත් ව හා නො සන්සුන්ව සිටියෝය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ඊළඟ දිනයේ පිටත්ව යාමට පෙර පැය කිහිපයක නින්දක් ලබා ගැනීමට අවශ්‍ය වී තිබිණ. ස්වභාවිකව ම මේ තත්ත්වය ෂැට්මන්ට කථාවක් පැවැත්වීම සඳහා බාධාවක් වූයේ නැත. එමෙන් ම ස්වභාවිකව ම මෙම කථාව, නව ජාතික කමිටුවේ සංයුතිය සම්බන්ධයෙන් තමන්ට අවශ්‍ය කුමක්දැයි නියෝජිතයන් දැන නො සිටි බවටත්, එය ඔවුන්ට කියා දිය යුතු බවටත් වන උපකල්පනය මත පිහිටා සිදු කළ සවිස්තරාත්මක වූත්, දීර්ඝ වූත්, සැදැහැවත් අනුශාසනා වලින් සපිරි වූත් එකක් විය. එහි ව්‍යාජ මවාපෑම් හා කුහක වචන හරඹ ඉවත් කළ කල්හි, ෂැට්මන්ගේ ලැයිස්තුව, පක්ෂය තුළ සිය අත්දැකීම් බොහෝ දුරට ම පන්ති කාමරයට සහ YPSL (තරුණ සමාජවාදී ලීගය – ඇමරිකානු සමාජවාදී පක්ෂයේ තරුණ ව්‍යාපාරය) කාර්යාලයට සීමා වූ නිව්යෝර්ක්හි වෘත්තීයවේදී “තරුණයන්” ගණනාවක් ජාතික කමිටුවට අලුතින් එක් කිරීම මඟින් එකී කමිටුවේ ගුරුත්ව කේන්ද්‍රයේ ස්ථාන මාරුවක් කිරීමක මට්ටමේ එකක් විය.
නියෝජිතයෝ ෂැට්මන්ට නිරතුරුව බාධා කරමින් විවෘතව ම සිය නො ඉවසිල්ල ප්‍රදර්ශනය කළෝය. ඉනික්බිති ඩන් සහෝදරයා – කථාවක් පැවැත්වීමෙන් තොරව – ලැයිස්තුවක් ඉදිරිපත් කළේය. එය බර යොදා තිබුනේ ෂැට්මන්ගේ ලැයිස්තුවට ප්‍රතිවිරුද්ධ අතට ය. ඩන්ගේ ලැයිස්තුව පොදුවේ නියෝජිතයන් බහුතරයකගේ අභිමතයන්ට නැඹුරු වූවක් විය. ඔවුහු නායකත්වයේ සිටින්නන් දැන සිටියෝය, සංවිධාන වාර්තාව සම්බන්ධයෙන් නිමක් නැති පැය ගණන් විවාදවලට ඔවුන් ඇහුම්කන් දී තිබිණ. එකී විවාදයේ ආලෝකය තුළ, නව ජාතික කමිටුවේ සංයුතිය සම්බන්ධයෙන් ඔවුන් සිතා බලා නැතැයි උපකල්පනය කිරීම යනු අමු අවිනීතකමකි. මෙහිදී සාකච්ඡා සඳහා විරාමයක් ඉල්ලා සිටින ලදී. එවිට – කෙතරම් බියකරු ද! – “කිසියම් සංඥාවකින් මෙන් නියෝජිතයන් 30 ක් හෝ 35 ක් එකා මෙන් ශාලාවේ පසුපස කොටසට ගොස් කණ්ඩායම් රැස්වීමක් පැවැත්වූහ.” මෙම ක්‍රියා කලාපයේ වරද හෝ අසාමාන්‍යකම කුමක් ද? පැහැදිළිව පෙනී යන පරිදි, සම්මේලනයේ බහුතරයක් වූ එම “නියෝජිතයන් 30 හෝ 35” දෙනාට ඩන්ගේ ලයිස්තුවේ යම් සංශෝධන සිදු කිරීමට අවශ්‍ය විය. විවෘත සාකච්ඡාවකින් විනා ඔවුන්ට එය කළ හැකි අන් ක්‍රමයක් වී ද?

ජාතික කමිටුව සඳහා වූ ඡන්දය, සම්මේලනයේ ඊට පූර්වයෙන් සිදු වූ හා ඒ දක්වා මඟ පෑදූ සියල්ලෙන් වෙන් කොට හුදෙකලා සිද්ධියක් ලෙස සැලකීමට විපක්ෂය උත්සාහ දරයි. සම්මේලනයේ ඊට පෙර කටයුතු වලින්, විශේෂයෙන් ම සංවිධාන වාර්තාව පිළිබඳ විවාදයෙන්, පැහැදිළිව ම ඇඟවුම් කෙරෙන්නේ, මාස කිහිපයකට පසුව ඒ සා ප්‍රචණ්ඩ ආකාරයෙන් ඇවිල ගිය, පක්ෂයේ නිර්ධන පාන්තික හා සුළු ධනපති ප්‍රවණතා අතර පැසෙමින් බුබුළු දමින් තිබූ අරගලයකි. නිර්ධන පාන්තික කේන්ද්‍රස්ථාන වලින් පැමිණි නියෝජිතයන්ට මෙකී ඇඟවීම් නො හැඟී ගියේ නැත. ඔවුන් සියල්ල දැන සිටියේ නැත. එහෙත් මතභේදය ඇදී යන දිශාව ඔවුන්ට හැඟී ගිය අතර, ඒ අනුව ඔවුහු සිය පෙළගැස්ම ආරම්භ කළෝය. කණ්ඩායම් සාකච්ඡාවක උපචාරයෙන් තොරව ඉබේ ම මෙන් ෂැට්මන්ගේ ලැයිස්තුව වටා ඒකරාශී වූ නියෝජිතයන්ගේ සුළුතරය ද එපරිද්දෙන් ම කටයුතු කළෝය. ඩන් සහ ෂැට්මන් යන දෙදෙනා ම, වෙන් වෙන්ව, පක්ෂය තුළ යම් නිශ්චිත දේ හඟවති. අවසාන මොහොතේ ඔවුන් විසින් සිදු කෙරෙනු ඇති කවර හෝ කථාවකින් කිසිවක් වෙනස් වන්නේ නැත. ෂැට්මන් මෙය කිසි දා දැන ගනු නැත – එහෙත්, කථා විනිශ්චය කෙරෙන්නේ, හුදෙක් කියන දෙය විසින් පමණක් නො ව, එය කියන්නේ කවරෙක් ද යන කරුණ ද මත ය.
විපක්ෂ ලේඛණය සාක්ෂි දරන පරිදි, හා නිශ්චිත හේතූන් මත, මම පෞද්ගලිකව ලැයිස්තුව පිළිබඳ සාකච්ඡාවට කිසිසේත් සහභාගී නො වීමි. පක්ෂය තුළ මත වෙනස්කම් සුවිශේෂී අභියෝජනා තුළ අර්ථ කථනය වී නො මැති තාක්, පක්ෂාභ්‍යන්තර අරගලයක් වැලැක්වීමට මම බෙහෙවින් උත්සුක වීමි. එක් එක් අපේක්ෂකයන්ගේ සුදුසුකම්වල හා, සාමාජිකත්වය තුළ ඔවුන්ට ලැබෙන සහයෝගයේ පදනම මත නාමයෝජනා තෝරා බේරා සම්මේලනයට ලැයිස්තුවක් ඉදිරිපත් කිරීම සඳහා, ප්‍රධාන නියෝජිත කණ්ඩායම්වල නියෝජිතයන්ගෙන් සමන්විත නාම යෝජනා කොමිසමක් පිහිටුවීමට සමුළුව ආරම්භයේ දී මම යෝජනා කළෙමි. ජාතික කමිටුවේ සාමාජිකයන්ට සැබෑ අධිකාරයක් තිබීමට නම් ඔවුන් මුදුනේ සිටින්නන් විසින් උඩට ඇද ගනු ලැබීම වෙනුවට යටින් සිටින්නන්ගේ තල්ලුවෙන් උඩට ආ යුතුය යන පදනම මත, ජාතික කමිටුවට සාමාජිකයන් තෝරා ගැනීමේ දී පක්ෂයේ ප්‍රධාන නායකයන් පමණට වඩා මැදිහත් නො වීම හොඳම ක්‍රමය ලෙස මම සැලකීමි.
ඉදින් ෂැට්මන් ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් ප්‍රාරම්භය නො ගත්තේ නම් ඩන් සහෝදරයා ලැයිස්තුවක් ඉදිරිපත් නො කරනු ඇති බව මම දනිමි. ෂැට්මන්ගේ කථාව පැවැත්වෙන අතරතුර සැලසුම් කෙරුණු ඩන්ගේ මුල් ලැයිස්තුව, ඇතැම් නියෝජිතයන්ට අවසාන ලැයිස්තුවක් ලෙස මුළුමනින් ම සතුටුදායක එකක් වූයේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුහු වහා ම, ඩන්ගේ ලැයිස්තුවේ පොදු නැඹුරුවට සහාය දුන් නියෝජිතයන් අතර සාකච්ඡාවක් සඳහා සභා වාරය කල් තැබීමක් යෝජනා කළෝය. ඔවුන් විවෘතව මෙම සාකච්ඡාව ඉල්ලා සිටීමත්, ඔවුන් එය සියලු දෙනාට පෙනෙන පරිදි සමුළු ශාලාවේ පසුපස පැවැත්වීමත් විසින් හුදෙක් පෙන්නුම් කෙරෙන්නේ, ඔවුන් සාමාන්‍ය වශයෙන් තමන්ට අවශ්‍ය කුමක්දැයි දැන සිටි බව සහ ඔවුන් කිසිවෙකුගෙන් කිසිවක් නො සැඟවූ බවත් පමණෙකි. ඉදින් සමුළුවේ කිසියම් රහස් උපායයන් හෝ කල්ලි ක්‍රියාකාරකම් පැවතුනේ නම්, ඒ බහුතරයේ පාර්ශ්වයෙන් නම් නො වේ. ඔවුන්ගේ පැත්තෙන් සියල්ල සිදු කෙරුනේ ක්‍රමවත්ව, උචිත ලෙස, විවෘතව හා එළිපිට ය. රහස් කල්ලියක් සිටින බව “ඔප්පු කිරීමට” ගෙන හැර දැක්වූ මෙම “තනි සිදුවීම” ඇත්තෙන් ම පෙන්වා දී ඇත්තේ එහි ඍජු ප්‍රතිවිරුද්ධයයි. අනෙකුත් සියලු “සිදුවීම්” ද මේ ප්‍රකාරයේ ඒවා වෙති.
බහුජන පක්ෂයක නායකත්වය යටතේ කම්කරුවන්ගේ බහුජන ව්‍යාපාරයක් හරහා ස්වකීය සමාජවාදී අරමුණු සාක්ෂාත් කිරීමේ මාවත් සොයන නිර්ධන පන්ති විප්ලවවාදීන්ට කල්ලි හා කල්ලිවාදය හා ස්ථාවර කණ්ඩායම් පිළිබඳව ඇත්තේ අපුලකි. අපේ පක්ෂපාතීත්වයට උරුමකම් කිව හැකි එකම ස්ථාවර සැකැස්ම පක්ෂයයි. අප සම්බන්ධයෙන් නම්, කණ්ඩායම් යනු මතභේදයට තුඩු දී ඇති ක්ෂණික ගැටළු ශමනය වූ කල විසුරුවා හැරිය යුතු තාවකාලික සමූහනයන් ය. කල්ලි සම්බන්ධයෙන් කිව හැක්කේ ඒවා මූලධර්මාත්මක පදනමකින් තොර, කුට්ටාලියන් හා මිතුරන්ගේ සමූහනයන් බවයි. අප, අපේ ව්‍යාපාරයේ මූලාරම්භයේ සිට එවැනි ගර්හාන්විත දේ වලට එරෙහිව අධ්‍යාපනික අරගලයක් දියත් කළේ අවසානයේ අපේ ම කල්ලියක් තනා ගැනීම සඳහා නො වේ. මේ චෝදනාව ඇත්ත වශයෙන් ම සාධාරණීකරණයේ අංශුමාත්‍රයක් හෝ නො මැති අමු අපවාදයකි.
[9] Trotsky, In Defence of Marxism, p. 1.
පෙර කොටස් බලන්න:
හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්, 1, 2, 3, 4, 5, 6-I, 6-II, 7, 8-I, 8-II, 8-III, 8-IV, 8-V, 9-I, 9-2, 10, 11-I, 11-II, 11-III, 12-I