නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: සහෝදරවරුන්ට යැවූ ලිපි

ජේම්ස් පී. කැනන්

පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු

1. ජාතික කමිටුවේ සියලු සාමාජිකයන්ට යැවූ ලිපියක්

නිව්යෝර්ක්, 1939 සැප්තැම්බර් 8

ප්‍රිය සහෝදරය,

අපගේ පුන්සැසිය සඳහා සූදානම් වීම සම්බන්ධයෙන් නේවාසික දේශපාලන කමිටුවේ පසුගිය රැස්වීමේ දී ඉදිරිපත් කෙරුණු යෝජනා, සැප්තැම්බර් 5 දාතම දරන ලිපියක් මඟින් ඔබ වෙත ලැබී ඇත. 

මෙකී යෝජනා මා විසින් ඉදිරිපත් කෙරුණු ඒවා බවත්, ලේඛනමය සූදානමකින් හා, අනේවාසික සහෝදරවරුන්ට කල් තබා අධ්‍යයනය කර සලකා බැලීමට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සම්පාදනය කිරීමකින් තොරව වහාම පුන්සැසියක් කැඳවීමට ඉදිරිපත් වූ වෙනත් යෝජනාවලට එරෙහි වන පරිද්දෙන් ඒවා ඉදිරිපත් වී ඇති බවත් ඔබේ දැනගැනීම සඳහා මම සඳහන් කරමි. ඔබ වෙත ලැබී ඇති යෝජනාවලින් නිරූපණය වන පරිදි මගේ ආස්ථානයේ හරය වන්නේ මෙයයි:

1. සංවිධානයේ ප්‍රායෝගික වැඩ කටයුතු සම්බන්ධයෙන් නේවාසික කමිටුවට ක්‍රියා කළ හැකිය. කෙසේ වුව එය, වැඩි අඩු වශයෙන් නිසැක ලෙස පෙන්වා දී ඇති සැළසුම් ක්‍රියාත්මක කළ යුතුය.

2. රුසියානු ප්‍රශ්නය යළි (සාකච්ඡාවට) විවෘත කිරීමේ යෝජනාව සංවිධානාත්මක ප්‍රශ්නයෙන් වෙන් කොට වෙන ම සලකා බැලිය යුතු ය. තව ද, (ඒ පිළිබඳ) වෙනස් ආස්ථානයන් සූත්‍රගත කොට අනේවාසික සාමාජිකයන්ගේ අධ්‍යයනය හා පුන්සැසියට පෙර සලකා බැලීම සඳහා සන්නිවේදනය කරන තෙක්, රුසියානු ප්‍රශ්නය හදිසියේ කැඳවනු ලබන පුන්සැසියකට ගෙන නො ආ යුතු ය.  

බර්න්හැම් සහෝදරයා ලේඛනයක් භාර දී ඇති අතර, එය මේ ලිපිය ද සමඟ එම කවරයේ ම බහා ඔබ වෙත එවා ඇත. “රුසියානු රාජ්‍යයේ ස්වභාවය යුද්ධයේ ආලෝකය තුළින්” යන මාතෘකාව යොදා ඇති එම ලේඛනයේ දෙවැනි කොටසට පමණක් මෙහි දී මම මගේ අදහස් දැක්වීම සීමා කරමි. 

බර්න්හැම් සහෝදරයා මෙම මතයන් වාචිකව ඉදිරිපත් කළ දේශපාලන කමිටු රැස්වීමේ දී මගේ ආස්ථානය වූයේ, මාස දෙකකට ඉහත පැවැති අපේ පක්ෂ සම්මේලනයේ සිට මේ දක්වා, ස්ටැලින්-හිට්ලර් ගිවිසුම අත්සන් කිරීම හැර, ස්ටැලින්වාදී නිලධරයේ පිළිවෙත්වල සුවිශේෂී ලෙස අලුත් යමක් නොමැති බවයි. දැන් රුසියානු ප්‍රශ්නය අපේ සාමාජිකත්වය හමුවේ යළි විවෘත කිරීමට යෝජනා කරන්නන්ට තාර්කිකව එය සිදු කළ හැක්කේ, ස්ටැලින්-හිට්ලර් ගිවිසුම අත්සන් තැබීමේ පදනම මත පමණෙකි.

ස්ටැලින්-හිට්ලර් ගිවිසුම සම්බන්ධයෙන් මොලොටොව් – රිබෙන්ට්‍රොප් අතර සාකච්ඡා අතරතුර රිබෙන්ට්‍රොප් ස්ටැලින් හමුවක් – ඡායාරූපය: Wikimedia Commons අනුග්‍රහයෙනි

කෙසේ වෙතත්, මෙම ගිවිසුම අලුත් එකක් වනුයේ, හුදෙක් ම විදේශ සබඳතා ක්ෂේත්‍රයේ ස්ටැලින්ගේ පැරැණි පිළිවෙත හිට්ලර් සමඟ ගිවිසුම හරහා රාජ්‍යතාන්ත්‍රිකව සාක්ෂාත් වී ඇතැයි යන අර්ථයෙන් පමණෙකි. – මෙය අපි එක් වරකට වඩා කථා කර ඇත්තෙමු – ඒ සා විස්තීර්ණ හා සියලු පැති අලලා සිදු කෙරුණු සාකච්ඡාවකින් පසුව, අපේ පක්ෂය සම්බන්ධයෙන් සැලකූ කල සම්පූර්ණ ම පාහේ ඒකමතියකින් එළැඹ ගත් පක්ෂයේ හා හතරවැනි ජාත්‍යන්තරයේ ආස්ථාන, ෆැසිස්ට් හා ප්‍රජාතන්ත්‍රවාදී අධිරාජ්‍යවාදී කඳවුරු අතර ස්ටැලින්ගේ විදෙස් පිළිවෙත ඒ මේ අත පැද්දීම මත කිසිසේත් රඳා පවතින්නේ නැත. අප අපේ ආස්ථාන කරා එළැඹියේ සෝවියට් සංගමයේ ආර්ථික ව්‍යුහයේ ස්වභාවය මත සහ එක් එක් හා සෑම රාජ්‍යයක් ම, ව්‍යතිරේකයකින් තොරව ම, එහි මූලික පන්ති ස්වභාවයේ දෘෂ්ටි කෝණයෙන් අගයනය කිරීමේ මාක්ස්වාදී මූලධර්මය මත ය.  

දෙ මසකට ඉහත පැවැති අපේ පක්ෂ සමුළුවේ සිට ගත වූ කාලය තුළ සෝවියට් සංගමයේ ආර්ථික ව්‍යුහය කිසියම් ප්‍රගාඪ වෙනසකට භාජනය වී ඇත් ද? තත්ත්වය පිළිබඳ මා දන්නා තරමින් නම් එහි මූලික වෙනසක් සිදු වී නැත. මා සම්බන්ධයෙන් කිව හැක්කේ, අපේ පක්ෂ සමුළුවේ ඉතා හොඳින් සලකා බලා ගන්නා ලද තීරණ, ඒවා ගැනීමට අප පෙලඹවූ කරුණු ගෙවුණු කාලය තුළ ප්‍රගාඪ වෙනසකට භාජනය වී ඇතැයි යමෙකු පෙන්වා දෙන්නේ නම් මිස, යළි සමාලෝචනය කිරීමට මා අකැමැති බවයි. 

මෙය පුන්සැසියේ බහුතරයේ මතය ද වනු ඇති බව මම විශ්වාස කරමි. එය එසේ නො විය හැක්කේ කෙසේ ද? පක්ෂයේ හා ජාත්‍යන්තරයේ ආස්ථානය හදිසි විනිශ්චයක ප්‍රතිඵලය නො වීය. මෙම ප්‍රශ්නය මීට ඉහත දී ඇති තරම් – ඇත්තෙන් ම ඇති පමණටත් වඩා – සාකච්ඡා විය. ප්‍රශ්නයේ සෑම පැති ම අලලා වෙළුම් ගණන් ලේඛන ලියනු ලැබ, අධ්‍යයනය කරනු ලැබ, විවාද කර ඇත. ඉහත දී කියා ඇති සියල්ල යළි පැවසීම අවශ්‍යයැයි මම නො සිතමි; පවතින ලේඛන පිළිබඳව සඳහන් කර ඒවා වෙත යොමු කිරීම ප්‍රමාණවත් ය.

බර්න්හැම් සහෝදරයා යෝජනා කරන්නේ සෝවියට් සංගමය කපා හැරීමට ය. ඔහුගේ තර්කනය මට විනිශ්චය කළ හැකිතාක් දුරට, එය ආසන්න වශයෙන් ඔහුගේ පැරැණි ආස්ථානය කරා එළැඹීමේ දී ඔහු යොදා ගත් තර්කනය ම ය. දැන් ඔහු ඊට නව විස්තාරණයක් එක් කරනු පමණි: එනම්, සෝවියට් සංගමය ආරක්ෂා කිරීම අත්හැර දැමීම යි. එහි දී මට ඔහු අනුගමනය කළ නො හැකි අතර, මට රුසියානු කම්කරුවන්ට එම උපදෙස දිය නො හැකිය. සෝවියට් සංගමය ආරක්ෂා කිරීමේ අදහසට ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය තුළ අර්ථයක් ලැබෙන්නේ හරියට ම යුද්ධ කාලයක දී නම්, යුද්ධය දොරට තට්ටු කරන මොහොතේ ම එම අදහස අත්හැර දැමීමට මම යෝජනා නො කරමි. 

******

කෙසේවෙතත්, බර්න්හැම් සහෝදරයා මතු කළ ප්‍රශ්නයේ තවත් පැතිකඩක් තිබේ. එනම්, ප්‍රමාණවත් සාකච්ඡාවකින් පසුව එළැඹ ගන්නා පක්ෂ තීන්දු කෙරේ දක්වන ආකල්පයයි. මා සම්බන්ධයෙන් නම්, මෙම කරුණ ප්‍රශ්නයේ අනෙක් පැත්තට වඩා කිසිසේත් නො අඩු වැදගත්කමකින් යුක්ත ය. මා මෙය කියන්නේ, විප්ලවවාදී නිර්ධන පන්ති අරගලයට සාර්ථක නායකත්වයක් සඳහා කොන්දේසි වනුයේ, පක්ෂය පිළිබඳ නිවැරැදි සංකල්පය, පක්ෂයේ නිසියාකාර ක්‍රියාකාරිත්වය හා පක්ෂයේ සෑම තනි පුද්ගලයෙකු ම එහි සාමූහික අභිමතයට අවනතවීම බව මා තරයේ විශ්වාස කරන නිසා ය.

ස්වභාවිකව ම සියලු දෙනාට තම මතය දැරීමේ අයිතියක් ඇත. එහෙත් පක්ෂයට ද, පක්ෂයක් වශයෙන් සිය මතය දැරීමේ අයිතිය ඇත. තව ද, පක්ෂයේ සාමූහික මතයට – විශේෂයෙන් ම අර්බුදකාරී අවස්ථාවන් හි දී – මාර්ගය ඉඩ දිය යුතුව ඇත.

අප අපේ දෙවැනි සම්මේලනය යන්තම් මාස දෙකකට ඉහත දී පැවැත්වූ බව මොහොතකට සලකා බලන්න. එය පැවැත්වුනේ, ඊට වසර එක හමාරකට ඉහත පැවැති, ඒකමතික අනුමැතියකට ඉතා සමීප වැඩි ඡන්දයකින් රුසියානු ප්‍රශ්නය පිළිබඳ ආස්ථානයකට එළැඹ ගත්, ඊට ඉහත සමුළුවෙන් පසුව ය. පසුගිය ජූලියේ පැවැති සමුළුවේ දී – මැදිහත්වීම් සියල්ල තිබිය දී – රුසියානු ප්‍රශ්නය සම්බන්ධ පක්ෂ ආස්ථානය පිළිබඳව යෝජනාවක් ගෙන ඒමට හෝ ඒ සම්බන්ධව නැවත සලකා බැලීමක් ඉල්ලා සිටීමට හෝ එකදු සහෝදරයෙකුවත් සොයා ගත හැකි වූයේ නැත. දැන්, ඉන් මාස දෙකක් ගතවූ තැන, අවුරුදු පහකට වැඩි කාලයක් ස්ටැලින් අත්සන් කිරීමට තැත් කරමින් සිටි ගිවිසුමක්, ඊට ද වඩා, අපේ ම ශ්‍රේණි අතර නිරන්තරයෙන් විමර්ශනයට ලක් වූ, බොහෝ කාලයකට ඉහත පෙර දැක පවා තිබූ ගිවිසුමක් අත්සන් කළ පමණින්, රුසියානු ප්‍රශ්නය පිළිබඳ අපේ මූලධර්මාත්මක ප්‍රතිපත්තිය වෙනස් කිරීමට ඉල්ලීමක් හදිසියේ ම අපට අභිමුඛ කොට ඇත.    

මට පුංචි ප්‍රශ්නයක් නැඟීමට අවසර දෙන්න. මෙය ටිකක් දුරට පක්ෂය විහිලුවට ගැනීමක් නො වන්නේ ද? මෙය, ඒ සා දෘඩතර ලෙස හා ඒ සා ඒකාන්ත ආකාරයෙන්, එතරම් දුරදිග ගිය හා සියලු පැති අලලා ගත් සාකච්ඡාවකින් පසුව සිය රුසියානු ආස්ථානය ගන්නා විට පක්ෂයට මෙලෝ අවබෝධයක් නො තිබූ බව හා තමන් කරන්නේ කුමක්දැයි නො දැන සිටි බව උපකල්පනය කිරීමක් වැනි නො වේද?

මීට අමතරව, නිව් ඉන්ටර්නැෂනල් හි කතුවරුන් සැප්තැම්බර් කලාපයේ ස්ටැලින්-හිට්ලර් ගිවිසුම පිළිබඳ කතුවැකියෙහි, ස්ථාපිත පක්ෂ ස්ථාවරයට පටහැනිව, රුසියානු ප්‍රශ්නය පිළිබඳ නව ස්ථාවරයක් වක්‍රාකාරයෙන් ලියා ඉදිරිපත් කිරීමට තරම් දුර ගොස් ඇතැයි යන ගර්හාකටයුතු කරුණ ද මෙයට එකතු කළ යුතුය.

නිව් ඉන්ටර්නැෂනල් – 1939 සැප්තැම්බර් අනුග්‍රහය: Marxists.org

පක්ෂ ස්ථාවරය මඟින්, වචන තෝරා ගැනීමෙහි ලා වඩාත් ම ආන්තික සුපරීක්ෂාවෙන් යුතුව විස්තර කෙරී ඇත්තේ සෝවියට් නිලධරය පරපුටු කුලයක් ලෙස විනා පන්තියක් ලෙස නො වේ. නිව් ඉන්ටර්නැෂනල් සැප්තැම්බර් කලාපය, අත්සන් තබන ලද සාකච්ඡා ලිපියකින් නො ව පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරිපත් කෙරෙතැයි අනුමාන කෙරෙන කතුවැකියක් තුළ, නිලධරය සූරාකන්නන් ලෙස – එනම්, පාලක පන්තියක් ලෙස- හදිසියේ නිවේදනය කෙරේ. මෙය පක්ෂයට කරන ලද අවමානයක් වැන්නක් නො වේද? මට එය පෙනෙන්නේ එසේ ය.

තවත් එක් කරුණක් ඇත. පක්ෂ සම්මේලනයෙන් ගනු ලබන තීරණ පුන්සැසියෙන් වෙනස් කළ නොහැකි බව පෙන්වා දීමමත් අනවශ්‍යයැයි මම සිතමි. ඒ අනුව, තනි තනි කතුවරුන් විසින් ඔවුන්ගේ අභිමතය පරිදි එකී තීරණ වෙනස් කිරීම් ගැනකියනුම කවරේ ද? ප්‍රමාණවත් තරම් ඉවසිලිවන්ත සහ බොහෝ කාලයක් පීඩා විඳ ඇති පක්ෂ සාමාජිකත්වය, එවැනි ඕනෑම මවාපෑමකට එරෙහිව නැගී සිටිනු ඇත. ඒ ගැන අපට සහතික විය හැකිය.

සාකච්ඡාවකින් හා නව සම්මේලනයක් පැවැත්වීමෙන් තොරව ආස්ථාන වෙනස් කළ නො හැකිය. මේ මොහොතේ, දුෂ්කර ප්‍රායෝගික අභියෝගවලට මුහුණ දී සිටිමින්, තව ද පක්ෂ සම්මේලනයකින් පසු ඒ සා කෙටි කලෙකින්, නව සාකච්ඡාවක් පැවැත්වීමේ සුඛෝපභෝගය අපට දැරිය හැක්කක් ද? එය මට සැක සහිත ය. 

සත්තකින් ම කවර වියදමක් දරා හෝ හදිසි වෙනස්කම් සිදු කිරීමට සිදුවන තත්ත්වයන් මතු විය හැකි ය. පිළිවෙත්වල දෝෂයක් නිවැරැදි කිරීමට අපට ඇති ඉඩකඩ අහුරා ගැනීම හෝ නව තත්ත්වයන් හමුවේ පැරැණි පිළිවෙතක් උපයෝගී කර ගැනීම අනුවණකමක් වනු ඇත. එහෙත් වර්තමාන ගැටලුව සම්බන්ධයෙන් ගත් කල මට පෙනී යන අන්දමින්, මේ සා ආසන්න කාලයේ සමාප්ත වූ සම්මේලනය තුළ හෝ පූර්ව සම්මේලන සාකච්ඡා තුළ ඔවුන් යෝජනා නො කළ වෙනසක් දැන් යෝජනා කරන අයට, පක්ෂ සම්මේලනය කාලයේ අප දැන නො සිටි, මූලික ස්වභාවයේ නව කොන්දේසි යටතේ, නව සාකච්ඡාවක් සඳහා වන සිය ඉල්ලීමට අභිප්‍රේරණයක් දැන් ලැබී තිබිය යුතු ය. එම අභිප්‍රේරණය දැනවූ කොන්දේසි මේ දක්වා ම අපට හෙළිදරව් කෙරී නැත.    

ජේ.පී. කැනන්

පෙර කොටස් බලන්න:

හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්123456-I6-II78-I8-II8-III8-IV8-V9-I9-21011-I11-II11-III, 12-I, 12-II, 13

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top