නික් බීම්ස් විසිනි
පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු
මෙම ලිපිය 2025 අගෝස්තු 1 දින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඉංග්‍රීසි පිටුවේ පළ වූ The militarist agenda at the centre of Trump’s tariff war against the world නම් ලිපියේ පරිවර්තනයකි.

එක්සත් ජනපදයේ සෑම වෙළඳ ගනුදෙනුකරුවෙකු ම පාහේ ඇතුලත් වන පරිදි පුළුල් ආකාරයකින් තීරු බදු පනවමින් එජ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කෙරුණු විධායක ආඥාව, ඇමරිකානු හා ගෝලීය ධනවාදය ජරාජීර්ණවීමේ හා බිඳ වැටීමේ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
එය විසින් දැන් යලිත් නිර්මානය කරනු ලැබ ඇත්තේ, ව්‍යසනකාරී ආර්ථික හා දේශපාලනික ප්‍රතිවිපාක දනවමින් හා මානව ඉතිහාසයේ විශාලතම රුධිර ස්නානය ලෙස හැඳින්විය හැකි දෙවැනි ලෝක යුද්ධය සඳහා කොන්දේසි නිර්මාණය කිරීමෙහි ලා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරමින් එක්සත් ජනපදය 1930 ගණන්වල මහා අවපාතය සමයේ දී ඉදි කළ තීරුබදු පවුරට සමාන බදු පවුරකි.
ලෝකයට එරෙහි ට්‍රම්ප්ගේ ආර්ථික යුද්ධයේ ප්‍රතිවිපාක එදා ප්‍රතිවිපාකවලට වඩා නොඅඩු වැදගත්කමකින් යුතු වනු ඇත. එය යුද්ධය පැතිර යාම කරා නිර්දය ලෙස මඟ පාදන තීව්‍ර ආර්ථික ගැටුමක් වෙත ශීඝ්‍ර පල්ලම් බැසීමකට මාවත සකසනු ඇත.
ඇත්තෙන් ම පවත්නා තතු 1930 ගණන්වල පැවැති තත්ත්වයන්ට ද වඩා බැරෑරුම්වීමේ විභවයකින් යුතුය. එකල ජාත්‍යන්තර වෙළඳාම බොහෝදුරට සමන්විත වූයේ අමුද්‍රව්‍ය හා නිමි භාණ්ඩ අපනයනයෙන් හා ආනයනයෙනි. නිෂ්පාදනය බොහෝදුරට ම ජාතික දේශසීමා තුළ සිදු කෙරිණි.
අද දවසේ, කිසියම් නිශ්චිත රටක් තුළ නිෂ්පාදනය වීයැයි කිව හැකි වෙළඳ භාණ්ඩ කිසිවක් නො පවතී. සරලතම භාණ්ඩයේ සිට සංකීර්ණතම එක දක්වා සෑම භාණ්ඩයක් ම නිෂ්පාදනය කෙරෙන්නේ ලෝක ගෝලීය පරිමාණයක ය. ලෝකය සමෝධානික ආර්ථික ජීවියෙකු බවට පත්ව ඇති අතර, එපරිද්දෙන් ම කම්කරු පන්තිය ද වෛෂයික වශයෙන් සමෝධානය වූ හා ඒකාබද්ධ දේහයක් බවට පත් වී ඇත.
එහෙත් මෙම වර්ධනය; එනම්, නිෂ්පාදනය ගෝලීයකරණය වීම හා රටවල් සහ මහාද්වීප එකිනෙක හරහා සංකීර්ණ සැපයුම් දාම වර්ධනය වීම; විසින් ලෝක ධනේශ්වර පර්යායයේ කේන්ද්‍රීය ප්‍රතිවිරෝධය වන, එකිනෙකාට සතුරු ජාතික රාජ්‍ය සහ අධිරාජ්‍යවාදී බලවතුන් අතර ගෝලීය ආර්ථිකය හා ලෝකය බෙදී තිබීමේ තත්ත්වය, එහි තීව්‍රතාවයේ නව මස්තකයකට නංවනු ලැබ ඇත.
ට්‍රම්ප්ගේ පියවර විසින් සංඥා කෙරෙන්නේ, 1930 ගනන්වල ව්‍යසනයෙන් සහ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව, ඉහත කී ප්‍රතිවිරෝධයන්, දරා ගත හැකි මට්ටමක රඳවා තැබීමේ ප්‍රයත්නයක් ලෙස හඳුන්වා දෙන ලද පශ්චාත් යුද කාලීන වෙළඳ පර්යාය මුළුමනින් ම සිඳ බිඳ වනසා දැමීමයි. එක් පරිපාලන නිලධාරියෙකු එය හැඳින්වූ පරිදි, “මෙය වෙළඳාමේ නව ක්‍රමයකි.”
නිසැකව ම එය එසේ ය. ට්‍රම්ප්ගේ පියවරවල සම්පූර්ණ අර්ථභාරය ග්‍රහණය කළ හැක්කේ සහ වටහා ගත හැක්කේ, එම පියවරවල ඓතිහාසික සන්දර්භය තුල ඒවා පිහිටවූ කල්හි ය.
පශ්චාත් යුදකාලීන වෙළඳ පර්යාය පදනම් වූයේ තීරුබදු පැනවීම් පහත දැමීම හා සීමාවන් ඉවත් කිරීම මත ය. මෙකී යාන්ත්‍රණයන්ගේ ඉලක්කය වූයේ හුදෙක් ආර්ථිකයේ වැඩීම ප්‍රවර්ධනය කිරීම පමනක් නොවේ. ඒවාට ප්‍රගාඪ භූ දේශපාලනික අන්තර්ගතයක් ද පැවතින. 1930 ගනන්වල සෑම රටක් ම තීරුබදු හා වෙළඳ සීමාවන් හරහා තම ජාතික උත්සුකයන් ආරක්ෂා කිරීමට හා පෙරට ගෙන යාමට ප්‍රයත්න දැරූ ලෝක ආර්ථික පර්යායක් තුල උකහා ගන්නා ලද අත්දැකීම් මත ඒවා පදනම් කෙරී තිබින. එදා එකී තීරුබදු හා සීමා නිර්දය ලෙස පාර කපා තිබුනේ යුදමය ගැටුම් කරා ය.
පශ්චාත් යුදකාලීන පර්යාය ඉදි කෙරී තිබුනේ එක්සත් ජනපද ධනවාදයේ ආර්ථික ආධිපත්‍යයේ පදනම මත ය. එම ධනේශ්වරය, තමන් අත්‍යවශ්‍යයෙන් රැඳී සිටි ලෝක වෙළඳපොල යලි ගොඩ නැංවීමට තම දැවැන්ත කාර්මික ධාරිතාව යොදා ගත්තේය. එහෙත්, පැක්ස් ඇමරිකානාව හෙවත් ඇමරිකානු සාමයේ සංකල්පය තුළ, විසඳිය නොහැකි ප්‍රතිවිරෝධයක් ගැබ්ව තිබිණ. ලෝක ආර්ථිකයේ පුනරුත්ථානය ම ද, ඉන්පසුව පැමිණි එහි ප්‍රසාරනය ද එක්සත් ජනපදයේ ආධිපත්‍යය අනවරත ලෙස ඛාදනය කලේය. දශක ගනනාවක් පුරා පැතිර ගිය මෙකී ප්‍රමාණාත්මක දිරාපත්වීම දැන් ගුණානාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් කරා මඟ පාදා ඇත. එහි දී එක්සත් ජනපදය හුදෙක් යුරෝපය හා ජපානය වැනි පැරනි සතුරන්ට පමනක් නොව චීනය වැනි නව සතුරන්ට ද මුහුන දී සිටී.
ට්‍රම්ප් විසින් ආරම්භකත්වය දෙන ලද ආර්ථික යුදකරණය වූ කලී, හුදෙක් ඔහුගේ හෝ ඔහුගේ ෆැසිස්ට්වාදී උපදේශකයන්ගේ හෝ විකල් මනස්වල නිර්මාණයක් නො වේ.
ඔහුගේ ක්‍රියා, ඔහු කරලියට පිවිසීමට බොහෝ කාලයකට ඉහත සිට වර්ධනය වෙමින් පැවැති, එක්සත් ජනපදය මුහුන දී සිටින සිය පැවැත්ම පිලිබඳ අර්බුදයේ ප්‍රකාශනයකි.
එක්සත් ජනපදය ලෝකයේ කාර්මික බලාගාරයේ තත්ත්වයේ සිට මූල්‍ය පරපුටුභාවයේ කේන්ද්‍රය බවට පරිවර්තනය වීම තුල මෙය නිරූපිත ය. 1987 ඔක්තෝබරයේ කොටස් වෙළඳපොළ බිඳවැටීමේ සිට 2000-2001 තාක්ෂණික බිඳවැටීම, 2008 මූල්‍ය කඩාවැටීම සහ වසංගතය ආරම්භයේදී 2020 මාර්තුවේ භාණ්ඩාගාර බැඳුම්කර වෙළඳපොළ අත්හිටුවීම දක්වා විහිදෙන කුණාටු සහ අර්බුද මාලාවකින් එය හෙළිදරව් විය.
එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට, තීරුබදුවලින් වේවා, අන් කිසියම් පියවරකින් වේවා මෙම අර්බුදය විසඳිය හැකි ආර්ථික වැඩ පිලිවෙලක් නොමැත. ඒ වෙනුවට එය දුවවනු ලැබෙන්නේ යාන්ත්‍රික උපක්‍රම භාවිතා කිරීම කරා ය.
විධායක ආඥාව මුළුල්ලේ ම දෘශ්‍යමාන වන්නේ ලෝකයට එරෙහි ට්‍රම්ප්ගේ තීරුබදු යුද්ධයේ මිලිටරිවාදී ස්වභාවයයි.
“දේශීය නිෂ්පාදන පදනම, තීරණාත්මක සැපයුම් දාම සහ මූලික ආරක්ෂක නිෂ්පාදන” සම්බන්ධයෙන් විදේශීය වෙළඳ ගනුදෙනුකරුවන්ගේ අන්‍යොන්‍යතාවයක් නොමැතිවීම ගැන එහි සඳහන් ය.
සමස්ත ආඥාව පුරා ම, එක්සත් ජනපදය සමඟ වෙළඳාම් කිරීමට අපේක්ෂිත සියලු රටවල් “ආර්ථික කරුණු හා ජාතික ආරක්ෂාව සමඟ බැඳුනු කරුණු සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ පෙළගැසීමේ අවශ්‍යතාව පිළිබඳව සඳහන් වේ. වෙනත් වචනවලින් කිවහොත්, ආධිපත්‍යය දරන අධිරාජ්‍යවාදී බලය ලෙස තමන් දරන ස්ථානය පවත්වා ගැනීම සඳහා එක්සත් ජනපදය විසින් දරනු ලබන ප්‍රයත්නය සමඟ – අන් සියල්ලටමත් වඩා චීනයට එරෙහි යුද්ධය තුල – ඔවුහු පෙළගැසිය යුත්තාහ. නො එසේ නම් ඔවුන්ට ආර්ථික වශයෙන් කුළුගෙඩි පහර එල්ල කෙරේ.
උදාහරණයක් ලෙස, ඉන්දියාව සම්බන්ධ කාරනාවේ දී ට්‍රම්ප්, මෝඩි ආන්ඩුව දෝෂ දර්ශනයට ලක් කර ඇත්තේ, “රුසියානු තෙල් හා ආයුධ මිල දී ගැනීම” සම්බන්ධයෙනි.
බ්‍රසීලයට සියයට පනහක තීරුබදු පැනවීම විසින්, ඔහුගේ ආඥාවට යටින් පවතින න්‍යාය පත්‍රය වඩාත් ම පැහැදිලි ලෙස හෙළිදරව් කෙරී ඇත. එක්සත් ජනපදය සතුව වෙළඳ අතිරික්තයක් පවතින රටවල් අතලොස්ස අතරින් බ්‍රසීලය ද එකකි. එය නො තකා, බ්‍රසීලයට සියයට 50 ක තීරුබදු ප්‍රහාරයක් එල්ල කර ඇත.
එහෙත් බ්‍රසීලය ට්‍රම්ප්ගේ ඉලක්කයක් වී ඇත්තේ ඔහුගේ ෆැසිස්ට් අනුචරයා වන ස(z)හීර් බොල්සොනාරෝගේ කුමන්ත්‍රන ප්‍රයත්නය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරන ක්‍රියාමාර්ග ගැනීම නිසා සහ, ඩොලර් පද්ධතියෙන් පිටත ජාත්‍යන්තර මූල්‍යකරන විකල්ප සොයා ගැනීමට යත්න දරන බ්‍රික්ස් (BRICS) කණ්ඩායමේ වඩාත් ම ප්‍රමුඛ සාමාජික රටවලින් එකක් බ්‍රසීලය වන නිසා ය.
දැවැන්ත නය බරක් දිගට ම පවත්වා ගෙන යාමට එක්සත් ජනපදයට ඇති ධාරිතාව සඳහා ඩොලරයේ ආධිපත්‍යය අත්‍යවශ්‍ය වෙයි. ට්‍රම්ප් අවස්ථා ගනනාවක දී කියා ඇති පරිදි, එම ආධිපත්‍යය අහිමිවීම යනු, එක්සත් ජනපදයට තමන් යුද්ධයකින් පරාජය වීමට සමාන දෙයක් වනු ඇත.
එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යය වඩාත් ම විවෘත ලෙස හා වඩාත් ම ප්‍රචණ්ඩ ලෙස ප්‍රකාශයට පත් වනු ඇත්තේ උත්පාතයේ කාල පරිච්ඡේදයක් තුල දී නො ව අර්බුද ග්‍රස්ත සමයක දී යැයි මීට ශත වර්ෂයකට ම පාහේ ඉහත දී ලියොන් ට්‍රොට්ස්කි පැහැදිළි කළේය.
ඒ දූරදර්ශී අනතුරු ඇඟවීම සනාථ වී ඇත. සෙසු රටවල් සමඟ දැන් ඊනියා ගනුදෙනු සිදු කෙරෙන ස්වභාවය තුල මෙය නිදර්ශනය වේ. එම ගනුදෙනුවල ස්වභාවය නිර්ණය වන්නේ සාකච්ඡාවල ප්‍රතිඵල ලෙස නො ව, ඔවුන් ට්‍රම්ප්ගේ නියෝගයට අනුව අවනත වන්නේ ද, නැතහොත් අඩපන කරන සුළු සම්බාධකවලට මුහුණ දෙන්නේ ද යන කරුණ මත ය.
යුරෝපා සංගමය සමඟ එළඹ ගත් “ගනුදෙනුව” තුළ මෙය වඩාත් ම විශද ලෙස පෙනේ. තමන් ඇමරිකානු වෙළඳපොළවලින් මුළුමණින් කපා හැරීමේ විභවය සහිත තීරුබදු පැනවීමේ තර්ජන හමුවේ යුරෝපා සංගමය ට්‍රම්ප්ගේ ඉල්ලීම්වලට දණ නැමීය.
යුරෝපා සංගමය ආපස්සට පියවර තැබුවේ, පරිපූර්ණ වෙළඳ යුද්ධයක් හමුවේ ය. එය තවමත් එවැන්නකට සූදානම් නැත. එහෙත්, එම කාණ්ඩය “යටත්වීමට ඉවසිලිවන්ත වූ බව”ට වන ප්‍රංශ අගමැති ෆ්‍රැන්කොයිස් බයිරෝගේ ප්‍රකාශයෙන් සංකේතවත් වන පරිදි, මෙම යටත්වීම හෙළා දැකීමට පාත්‍ර විය.
මෙම “ගනුදෙනුව” ස්ථිරභාවයක් ගෙනැවිත් ඇති බවට යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේයන් විසින් කියා ඇති නමුදු, එය නො තකා, ක්‍රෝධෝන්මාදය හුදෙක් ඇරැඹුනා පමණක් බවත්, එජ අධිරාජ්‍යවාදයේ න්‍යාය පත්‍රය වන්නේ තමන් සම්පූර්ණයෙන් ම යටත් කර ගැනීම බවත් යුරෝපාකරයේ පාලක පන්තීහු දනිති. එජ අධිරාජ්‍යවාදයේ විරුද්ධවාදීන්ට, තමන් දිගටම පා දූවිලි බවට පත් කෙරෙන වැඩ පිළිවෙලක් පිළිගත නො හැකි අතර, ඔවුන් එසේ නො කරනු ඇත.
මේ අනුව, නව අන්තර් අධිරාජ්‍යවාදී යුද්ධයක බීජ රෝපණය කර ඇතුවා පමණක් නො වේ; ඒවා පැළ වීමට පටන් ගෙන ඇත.
20 වන සියවස තුළ ජර්මානු අධිරාජ්‍යවාදය එක්සත් ජනපදයට එරෙහිව දෙවරක් යුද වැදී ඇති අතර, දෙවැනි ලෝක යුද්ධයේ දී ජපානය ආසියා-පැසිෆික් කලාපයේ ආධිපත්‍යය සඳහා ලෙයින් පෙඟුණු ගැටුමක නිමග්න විය. පශ්චාත් යුද සමයේ දී මෙම ප්‍රතිවිරෝධයන් මැඩ පවත්වනු ලැබ හා සීමාවන් තුළ රඳවා ගනු ලැබ පැවැති නමුදු, එහි පදනම් දැන් දෙදරා ඇත. ඒවා දැන් 1930 ගණන්වල දී පරිදි යළිත් වරක් මතුපිටට විදාරණය වීමට සැදී පැහැදී සිටී.
එහෙත් එකී කාල පරිච්ඡේදය හා වත්මන් තතු අතර අත්‍යවශ්‍ය වෙනසක් පවතී. කම්කරු පන්තිය දැන් පොර බදමින් සිටින දැවැන්ත අන්තරායයන්ට මුහුණ දීමේ දී එකී පන්තිය මෙම වෙනස ග්‍රහණය කළ යුතුය.
1930 ගණන්වල දී කම්කරු පන්තිය – අන් සියල්ලට මත් වඩා ජර්මනිය තුළ නාසීන් බලයට පැමිණීම නිසා – දැවැන්ත පරාජයන්ට මුහුණ දී තිබිණ. එහෙත් අද දිනයේ කම්කරු පන්තිය පරාජය වී හෝ අධෛර්යයට පත් වී නැත. ලෝකය පුරා ම – අන් සියල්ලන්ට මත් වඩා තරුණයන් අතර – වමට වර්ධනය වෙමින් පවතින ව්‍යාපාරයක්, වඩවඩාත් ගැඹුරු වන ධනේශ්වර-විරෝධී මනෝභාවයක් හා සමාජවාදී විසඳුමක් දෙසට හැරීමක් පවතී.
තීරණාත්මක කර්තව්‍යය වනුයේ මෙම ව්‍යාපාරය පැහැදිළි ඉදිරි දර්ශනයකින් සන්නද්ධ කිරීමයි. අර්බුදය පැන නඟින්නේ ට්‍රම්ප්ගේ ලැදියාවන් කෙරෙන් නො වන බවත්, ඒ වෙනුවට අර්බුදය මතු වන්නේ සමස්ත ධනේශ්වර පර්යායේ හා එහි ජාතික රාජ්‍ය පද්ධතියේ ඓතිහාසික බංකොලොත් කමින් බවත් පිළිබඳව වන අවබෝධය මත එය පදනම් විය යුතුය.
එබැවින්, එය විසඳිය හැක්කේ, සමාජවාදී වැඩ පිළිවෙල සඳහා දේශපාලන අරගලය තුළ කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීම මත පදනම් වූ ජාත්‍යන්තරවාදී ඉදිරි දර්ශනයක් සඳහා කෙරෙන සටනකින් පමණෙකි. එම අරගලයේ ආදර්ශ පාඨය වන්නේ “ප්‍රධාන සතුරා සිටින්නේ රට තුළය,” යන්නයි.
ඇමරිකානු කම්කරු පන්තිය සඳහා ක්ෂණිකව ඉන් අදහස් වන්නේ ට්‍රම්ප් විසින් ප්‍රවර්ධනය කෙරෙන ජාතිකවාදී න්‍යාය පත්‍රයට එරෙහි සටනයි. ඔහුගේ තීරුබදු යුද්ධ ඇමරිකාව යළිත් ශ්‍රේෂ්ඨත්වයට නංවනු ඇති බවටත්, කම්කරුවන්ගේ තතු වැඩි වර්ධනය කරනු ඇති බවටත් කෙරෙන ඔහුගේ සියලු කියාපෑම් සම්බන්ධයෙන්, වෛෂයික ජීවමාන ආර්ථික කරුණු පවසන්නේ ඊට පටහැනි කථාවකි. තීරුබදු එක්සත් ජනපද කර්මාන්තවල පිරිවැය ව්‍යුහය ඉහළ නංවන අතර, සිය ලාභය පවත්වා ගැනීම සඳහා මෙකී අමතර පිරිවැය ජය ගැනීමට හාම්පුතුන් මෙහෙයවෙනු ඇත්තේ රැකියා හා සේවා කොන්දේසිවලට දැවැන්ත ප්‍රහාර එල්ල කිරීමට ය.
එමෙන්ම, ලෝකය පුරා කම්කරුවන් “තමන්ගේ” පාලක පන්තීන්ගේ ඉදිරි දර්ශනය ප්‍රතික්ෂේප කරමින් ඊට එරෙහිව සටන් කළ යුත්තාහ. එකී පාලක පන්තීන් සම්බන්ධයෙන් ගත් කල, එජ අධිරාජ්‍යවාදය විසින් දියත් කර ඇති ආර්ථික යුද ව්‍යාපාරයට එරෙහිව ඔවුන්ට ඇති ඉදිරි මඟ වනුයේ ජාතිකවාදී වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමයි. මෙය විනාශය කරා වැටුණු මාවතකි. ලෝකයේ ට්‍රොට්ස්කිවාදී සංවිධානය වන හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ම පමණක් විසින් ඉදිරිපත් කරනු ලබන ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනය වූ කලී යම් ආකාරයක මනෝරාජික අරමුණක් නො වේ. ට්‍රම්ප්ගේ යුද්ධය විසින් නිදර්ශනය කෙරෙන ධනවාදයේ මර ලතෝනිය නව හා වඩාත් අනතුරුදායක පවා වන අදියරකට අවතීර්ණ වන විට, අද දිනයේ පවතින එකම ශක්‍ය හා යතාර්ථනිරූපිත වන්නේ එයයි. තීරණාත්මක කර්තව්‍යය වන්නේ ඒ සඳහා සටන් කිරීමට අත්‍යවශ්‍ය නායකත්වය ගොඩ නැඟීමයි.