පී.ජී. පුණ්‍යවර්ධන විසිනි
ඔඩු දුවමින් පවතින ගොවි ගැටලුවලට විසඳුම් ඉල්ලා සිටිමින් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට එරෙහිව ගොවි නැඟිටීම් පසුගිය සති කිහිපය පුරා රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා විය. ආණ්ඩුව වඩවඩාත් වේගවත්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩ පිලිවෙල නියෝග ක්‍රියාවට නංවමින් සිටිද්දී ගොවියෝ ඉහළ කෘෂි රසායන මිළ, අතරමැදියන්ගේ සූරාකෑම හා ප්‍රධාන ආහාර හා කෘෂි රසායන ව්‍යාපාරිකයන්ගේ සූරාකෑමට වඩවඩාත් නිරාවරණය වෙමින් සිටිති. ගොවියාගේ ප්‍රශ්න විසඳන බවට ප්‍රතිඥා දෙමින් බලයට පැන ගත් මීට ඉහත සෑම ආණ්ඩුවක් ම ගිය මඟ මේ ආණ්ඩුව විසින් ද අනුගමනය කෙරෙන බව ගොවියා දිනපතා ඉගෙන ගනිමින් සිටී.
පසුගිය සති කිහිපය විවිධ ප්‍රදේශවලින් මතු වූ වී ගොවීන්, උක් ගොවීන්, අර්තාපල් හා ලොකු ළූණු වගා කරන ගොවීන්ගේ උද්ඝෝෂණ මාලාවකින් ඇලලී ගියේය.
ජාජබ ආණ්ඩුව පසුගිය කන්නයේ දී වී අස්වනු රජයට විකුනන ලෙස ගොවියන්ට දෝෂාරෝපණ හා බලපෑම් කළ නමුත් දැනටත් ඒ සඳහා විධිමත් වැඩ පිලිවෙලක් සකසා නැති බවත්, විවෘත කර ඇතැයි පම්පෝරි ගැසූ ඇතැම් වී ගබඩා වසා දමා ඇති බවටත් වී ගොවියෝ චෝදනා කරති. ඔවුන් පවසන්නේ මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිමින් ප්‍රධාන වී මෝල් හිමිකරුවන් ගොවියාගේ නිෂ්පාදන කුනු කොල්ලයට මිල දී ගන්නා බවයි.
කෘෂිකර්ම ඇමති, නියෝජ්‍ය ඇමති ඇතුලු ජාජබ ප්‍රාදේශීය දේශපාලන නායකත්වය ගොවි සංවිධාන සමඟ පැවැත්වූ රැස්වීමක දී ගොවි සමිති සාමාජිකයෝ ආණ්ඩුවේ ප්‍රෝඩාකාරී පිළිවෙතට එරෙහිව සිය බරපතළ කෝපය ප්‍රදර්ශනය කළ බව පසුගිය සතියේ වාර්තා විය. සහල් මෝල් මාෆියාවෙන් ගොවීන් ගලවා ගන්නා බවට ප්‍රතිඥා දී බලයට පැමිනි ජාජබයට ඒ සඳහා ඇති වැඩ පිලිවෙල කුමක්දැයි ගොවීන් නැඟූ ප්‍රශ්නයට නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න නිරුත්තර විය.

කුඹුරුවලට බෝවී ඇති කීට විශේෂයක් නිසා අක්කර ගනන් ගොවි බිම් විනාශ වෙමින් පවතී. ගොවියන් රූපවාහිනී මාධ්‍ය අමතා ප්‍රකාශ කලේ එම උවදුර වලක්වා ගැනීම සඳහා ඉසීමට නිර්දේශිත කෘෂි රසායන බෝතලයක මිල රුපියල් දොලොස් දහසක් වන අතර, යලියලිත් එම රසායන ද්‍රව්‍ය යෙදූ නමුත් එම උවදුර පහව නොගිය බවයි. මෙම කෘෂි රසායනවල ප්‍රමිතිය පිළිබඳව සැක පහළ කරන ගොවියෝ කෘෂි රසායන ද්‍රව්‍ය ගෙන්වා බෙදාහරින ඒජන්තවරුන් හා ප්‍රධාන නිශ්පාදකයන් මේවා නියම ප්‍රමිතියට ගොවීන් වෙත ලබා නොදෙන බවට තමන්ට සැකයක් ඇති බව කියා සිටිති. ප්‍රමිතියෙන් තොර කෘෂි රසායන ගෙන්වීම හා බෙදා හැරීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නඟරයෙන් නඟරයට යමින් පෙත්සම් අත්සන් කිරීමේ විරෝධතාවයක් ගොවි ජාතික සමුළුව ආරම්භ කර ඇත.
“අපි දන්නේ ගොවිතැන් කරන්න පමනයි. ගොවිතැනට එවන පොහොර ඇතුලු අනෙකුත් රසායනික ද්‍රව්‍ය වල ප්‍රමිතිය පිලිබඳව සොයන්න අපි දන්නේ නෑ. රජය ඒවා නිසි පරිදී පරික්ෂා කර ගොවියන් අතට පත් කල යුතුයි. අපට එකක් කියන පුලුවන්. අපට ගොවිතැන් කරන්න බැරි තැනට මෙම කොම්පැනි කාරයෝ අපව සුරා කනවා,” ගොවීහු පවසති.

ලංකා සීනි සමාගමේ හිඟුරාන, පැල්වත්ත හා සෙවනගල කම්හල් සඳහා උක් සම්පාදනය කළ උක් ගොවියන් මුහුණ දී ඇති අර්බුදය බරපතළ එකකි. තම නිශ්පාදන මිලදීගෙන මාස ගනනාවක් ගෙවීගෙන ගොස් ඇතත් අලෙවිකරණ ලද ගොවීන්ගේ උක් වලට ලැබීමට නියමිත මුදල් මේ වන තුරු සමාගම් මගින් මුදල් නිකුත් කිරීම ප්‍රමාද කර ඇත. සෙවනගල කම්හල පමණක් ගොවියන්ට ගෙවිය යුතු මුදල රුපියල් මිලියන දෙසීයක් ඉක්මවා යන බව ගොවියෝ කියති. මේ නිසා තමන් වගා සදහා ගත් ණය මුදල් ගෙවා ගැනීමට පමණක් නොව එදිනෙදා වියදමට හෝ මුදල් නැත. සීනි කම්හල්වලට ට්‍රැක්ටර් කුලියට දුන් අයට ගෙවීමට ඇති මුදල ද රුපියල් මිලියන හත අටක් වන බව සෙවණගල සීනි සමාගමේ ඒකාබද්ධ ගොවි බල මණ්ඩලයේ සභාපති රුවන් සංජීව කුමාර පවසයි. පසුගිය මාස වලදී තම උක් අස්වැන්න කපා උක් කර්මාන්ත ශාලාව වෙත කුලී ප්‍රවාහන රථ මගින් රැගෙන විත් ඒවා භාර දීමට දින ගනන් පෝලිම් වල රස්තියාදු වනට සිදුවිය. පැල්වත්ත සිනී කම්හලෙහි පාලන අධිකාරිය ගොවීන්ට පවසන්නේ ජාත්‍යන්තර වෙළදපොල තුල තරගයට මූණ දීමට තම සමාගමට නොහැකි බවයි. ආනයනික සීනි සියයට දහ අටක වැට් බද්දෙන් හා සියයට 2.5 ක ජාතික ආරක්ෂණ බද්දෙන් නිදහස් කර ඇතත් දේශීය සීනි කර්මාන්තය මේ බදු දෙක ම ගෙවිය යුතුය.
ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා පසුගිය අගෝස්තු 4 දා ප්‍රකාශ කළ පරිදි:
“මේ වෙද්දි සීනි මෙට්‍රික්ටොන් 23,000ක් විකුණගන්න විදිහක් නැතුව ගොඩගැහිලා. එතනෝල් විශාල ප්‍රමාණයක් තියනවා විකුණගන්න විදිහක් නෑ. අනිත් පැත්තෙන් උක් වගාවට පොහොර යොදන්න ඕන කාලේ ඇවිත්. නමුත් ගොවීන්ට පොහොර ටික ගන්න විදිහක් නෑ. පැල තවාන් නඩත්තු කරගන්න විදිහක් නෑ. ඒ කියන්නේ ඊලග කන්නයේ වගාවට අවශ්‍ය බීජ ටිකවත් ගොවීන්ට ලැබෙන්නෙ නෑ. අපි දන්නවා උක් වගාවෙදි සාමාන්යෙන් අවුරුදු තුන හතරකට සැරයක්වත් බිම් සකස් කිරීම කරන්න ඕන. හැබැයි ඒ සඳහා අවශ්‍යවන යන්ත්‍ර සූත්‍ර ටිකවත් අද ගොවීන්ට නෑ. ඒ වගේම තමයි විකුණපු උක් අස්වැන්නේ සල්ලිවත් ගොවීන්ට ලැබිලා නෑ. …
මේ කන්නයේදී හිඟුරාන ප්ලාන්ටේෂන් එකේ ගොවීන් අක්කර 65,000ක් වගා කළා. දැන් ඒකෙන් උක් ටොන් දෙලක්ෂ පනස්දාහක් අඹරගන්න බැරුව ඉතුරු වෙන්න නියමිතයි. පසුගිය මාර්තු මාසේ කපන්න තිබ්බ උක් අස්වැන්න තමයි මේ වෙද්දි සෙවණගල ගොවීන් කපන්නේ. ඒ උක්ගස්වල සාරවත් බව දැන් ගිහිල්ලා. ඒ උක්ගස්වල දැන් අවශ්‍ය සීනි ප්‍රමාණය නෑ. මෙච්චර ප්‍රශ්නයක් වෙලත් ආණ්ඩුවට උක් ගොවීන් ගැන කිසිඳු තැකීමක් නෑ. … උක් ගොවීන් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළාට පස්සේ සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයා කිව්වේ තව සති තුනක් ඉවසන්න කියලා. .. ඔහු මේ කියන්නේ දැනට ලංකාවට ගෙන්නලා තියෙන එතනෝල් ඉවර වෙනකල් ගොවීන්ට බලාගෙන ඉන්න කියලා. ඊටපස්සෙ සීනි සමාගම්වල එතනෝල් විකුණගන්න. නමුත් අපි දන්නවා ඇමතිවරයා කියන විදිහට සතියෙන් දෙකෙන් එතනෝල් ඉවරවෙලා ඉබේටම විසඳන ප්‍රශ්නයක් නෙවෙයි මේක. මොකද දැනටමත් විශාල එතනෝල් ප්‍රමාණයක් ලංකාවට ගෙන්නලා ඉවරයි. අනික් පැත්තෙන් දැනට බඩඉරිඟු විශාල ප්‍රමාණයක් ගෙන්නනවා. උක්වලට වඩා අඩු වියදමකින් බඩඉරිඟු මගින් එතනෝල් නිෂ්පාදනය කරන්න පුලුවන්. එතනිනුත් පහර වදින්නේ උක් ගොවීන්ට. අනිත් එක තමයි මේ වෙද්දි කුඹුරුවල ගොයම් කැපෙනවා. එතකොට සහල් වලිනුත් එතනෝල් නිෂ්පාදනය කරන්න පුලුවන්. ඒ නිසා අපිට පේනවා ඇමතිවරයා කියන විදිහට උක් ගොවීන්ට තව සති දෙකකින් ස්වර්ග රාජ්‍යය පහළ වෙන්නේ නෑ.”

ඔහු පැවසූ පරිදි ම එම සති දෙකෙන් පසු උක් ගොවියාට පොරොන්දු දේශය ලැබී නැත. විවිධ කමිටු, කාර්ය සාධක බලකා පිහිටුවමින් දේශපාලකයෝ එති. යති. ගොවියෝ තවමත් කබලේ බැදෙමින් සිටිති. සෙවනගල, පැල්වත්ත, ඇතිමලේ සහ ගල්ඔය කර්මාන්ත ශාලාවල සේවකයන් 80,000 කට වඩා සිටින අතර, ඔවුන්ගෙන් යැපෙන ජීවිත ගණන 163,000 කට අධිකය. පසුගිය මාසයකට වැඩි කාලයක් ඔවුහු වීදි බැස උද්ඝෝෂණයේ යෙදෙමින් සිටිති.
ගොවීන් දැනටමත් අවබෝධ කරගෙන ඇත්තේ පවතින ජාතික ජන බලවේග ආණ්ඩුව ගොවි ජනතාවගේ චංදය ලබා ගැනීම සදහා දුන් පොරොන්දු බොරුවක් බවයි. ගොවීන් පවසන්නේ, තමන් වසර ගණනාවක් වගා කල ඉඩම් ද, රජය සතුයැයි කියාගන්නා වනාන්තර ඉඩම් ද ඇතුළත් ව හෙක්ටයාර දහස් ගණනක් දේශිය හෝ විදේශීය පෞද්ගලික ව්‍යවසායකයින්ට විකිණීමට සැලසුම් කර ඇති බවයි.
දිනෙන් දින මූණ දෙන ආර්ථික අර්බුද හමුවේ බිඳ වැටෙමින් යන තම ජීවන මට්ටම් හමුවේ රට පුරා එළවලු ගොවීන් ද පත් වී ඇත්තේ විසඳුමක් නැති අර්බුදයකට ය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වට්ටක්කා ගොවීන් ප්‍රකාශ කරන අන්දමට වට්ටක්කා කිලෝවක් රුපියල් දහයත් විස්සත් අතර මිලකට වෙලෙන්දන් විසින් මිලදී ගැනීම හේතු කොටගෙන විශාල පාඩුවක් දැරීමට ඔවුන්ට සිදුවී ඇත. ලොකු ළූණු අස්වැන්න නෙලීමට ආසන්න වෙද්දී ආනයනික ලොකු ළූණු කිලෝව රුපියල් 70-100 අතර මිළ ගණන්වලට අලෙවි වන බව පවසන ගොවීහු, මේ වන විටත් මහා පරිමාණ වෙළඳුන් විශාල තොග ගොඩ ගසා ගනිමින් දේශීය ගොවියාගේ නිෂ්පාදන කුණු කොල්ලයට ගැනීමට පසුබිම සකසා ඇතැයි කියති.
මේ සියලු ගොවි ගැටළු හමුවේ විසඳුම් නොමැති ජාජබ ආණ්ඩුව කම්කරු සටන්වලට එරෙහිව පතුරුවන ද්වේශයට සමාන ද්වේශයක් ගොවියාට එරෙහිව ද පතුරුවමින් සිටිති. ගොවියාට එරෙහිව පාරිභෝගිකයා උසි ගැන්වීමේ මේ ප්රයත්නය පසුපස ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත කම්කරු පීඩිත ජනයාට එරෙහිව සූදානම් කෙරෙන ප්‍රහාරය හමුවේ කම්කරුවන් හා පීඩිතයන් භේද භින්න කර දැමීමේ පවිටු අභිප්‍රායයි.