නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: සහෝදරවරුන්ට යැවූ ලිපි – V

ජේම්ස් පී. කැනන්

පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු

8. බහුතරයේ සියලු කණ්ඩායම් වෙත යැවූ ලිපිය

නිව්යෝර්ක්, 1939 නොවැම්බර් 20

ප්‍රිය සහෝදරවරුනි, 

ස්ටැලින්වාදයේ නව හැරීමේ අර්ථභාරය සම්බන්ධයෙන් අප හා සුළුතර කණ්ඩායම අතර ඇති මතභේදය පිළිබඳව ඉහත ලිපියකින් මම ඔබට දැනුම් දුනිමි.

ලෝකය පුරා භූමිය අත්පත් කර ගැනීමේ නැපෝලියානු මාවතට ප්‍රවිෂ්ඨ වන අධිරාජ්‍යවාදී ස්ටැලින්වරයෙකු පිළිබඳ ඔවුන්ගේ න්‍යාය ඍජුවම පැන නඟින්නේ, සෝවියට් නිලධරය එහි සියලු අරමුණු හා අභිප්‍රායයන් සඳහා නව විජයග්‍රාහී පන්තියක් ලෙස ඉස්මතු වී සිටින්නේය යන බර්න්හැම්ගේ ප්‍රවාදයෙනි.    

ෂැට්මන් හා ඇබර්න් ආදී වශයෙන් සංයෝජනය තුළ සිටින සෙස්සන්, තමන් විසින් උකහා ගැනෙන දේශපාලන නිගමන තුළ දී, බර්න්හැම්ගේ “ඉවත් කර ගෙන ඇතැයි” පෙනී යන මෙම මූලික න්‍යායික පූර්වායවයට වඩවඩාත් අනුරූප වෙමින් සිටින අයුරු අපූර්ව ය. 

බර්න්හැම් හුදෙක් ම ශූර කේවල් කිරීමක යෙදී ඇති බැව් කෙනෙකුට අඩ ඇසකින් වුව දැකිය හැක. සිය ලේඛනය විධිගත ආකාරයෙන් ඉවත් කර ගැනීමේ හිලව්වට, එය සමස්ත සුළුතරයේ ප්‍රායෝගික දේශපාලන නිගමන තුළට කැබැලි වශයෙන් හොර රහසේ ගෙන ඒමට ඔහු සමත් වී සිටී.   

ජෝ හැන්සන් මා වෙත ඒවා ඇති, ලිබර්ටි සඟරාවට ලියූ ලිපියක් සඳහා ජ්‍යෙෂ්ඨයා විසින් කෙටුම්පත් කෙරුණු විවරණිකාවක පිටපත මේ සමඟ එවා ඇත. ස්ටැලින්වාදයේ කාර්යභාරය පිළිබඳ අපේ නව මතභේදයේ ආලෝකය තුළ ඔබ එය අතිශය සාවධානයෙන් යුතුව අධ්‍යයනය කළ යුතුය. පෙනී යන පරිදි, ඉහත ලිපියක් තුළ ඔබට එවන ලද අපේ විශ්ලේෂණය එයින් මුළුමනින් ම සනාථ වන සේ ය.  

සෑම සහෝදරයෙකු ම සෑම ලිපියක් ම ලද වහා ඒ බව තහවුරු කළ යුතු අතර, තම ප්‍රදේශයේ පක්ෂයේ තත්ත්වය සම්බන්ධයෙන් ද අපට තොරතුරු දන්වා එවිය යුතුය.

සහෝදරත්වයෙන්,

ජේ.පී. කැනන්

9. සී. චාල්ස් වෙත යැවූ ලිපිය

සී. චාල්ස්

නිව්යෝර්ක්, 1939 දෙසැම්බර් 1

සී. චාල්ස්,

ලොස් ඇන්ජලිස්, කැලිෆෝර්නියා.

ප්‍රිය සහෝදරය,

ඔබේ ලිපිය අද දින මා වෙත ලැබිණි. එමෙන් ම ඩේවිඩ් ස්ටීවන්ස් හා මාක් නයිට් විසින් එවන ලද ලිපි ද ලැබී ඇත. කරුණාකර මෙය එකී ලිපි තුන ම ලැබුණු බව තහවුරු කිරීමක් ලෙස සළකා, මෙම ලිපිය අනෙක් දෙදෙනාට ද පෙන්වන්න.  

ඔබ තිදෙනා ම රුසියානු ප්‍රශ්නය පිළිබඳව දෘඩ ආස්ථානයක් ගෙන ඇති බව අසන්නට ලැබීම පිළිබඳව ස්වභාවිකව ම අපි සියලු දෙනා සතුටට පත් වීමු. කෙසේවෙතත්, පෞද්ගලිකව මා ඊට වඩා වෙනස් යමක් කිසිදා අපේක්ෂා නො කළ බව මට කිව හැක. අපේ වැඩපිළිවෙල කැටි වීමට ඉවහල් වූ න්‍යායික හා දේශපාලන මතභේද තුළ වඩාත් ම ක්‍රියාකාරී ලෙස සහභාගී වී ඇති සහෝදරවරුන් සැබැවින් ම එයින් කිසිවක් හෝ උගත්තේ නැතැයි උපකල්පනය කිරීමට මට නො හැකි විය. ඔබේ ප්‍රතික්‍රියාව රට පුරා සිටින මූලික පක්ෂ ක්‍රියාධරයන්ගේ ප්‍රතික්‍රියාවට සම බව මට පැවසිය හැක.

අපි අවසානය දක්වා වූ ක්‍රියාමාර්ගික සටනක් හමුවේ සිටින්නෙමු. අපේ බලඇණි සංවිධානය කිරීම ප්‍රමාද කිරීම වරදකි. ඊට ප්‍රතිබද්ධව, හතරවැනි ජාත්‍යන්තරයේ වැඩ පිළිවෙලට දක්වන සහාය තුළ පැහැදිළි හා අසංදිග්ධ ආස්ථානයක් ගන්නා අයට පමණක් දැඩි ලෙස සීමා කෙරුණු  සාමාජිකත්වයකින් යුත් දෘඩතර දේශපාලන කෝකසයක් (තෝරා ගත් සංවෘත අභ්‍යන්තර කණ්ඩායමක්) සංවිධානය කිරීමට ඔබ වහා කටයුතු කළ යුතුය. මඟින් හැරී යන්නන් සමඟ කල්ලි හෝ සංයෝජන අපට අවශ්‍ය නැත. අපට අවශ්‍ය වන්නේ ක්‍රියා මාර්ගය සඳහා, සමස්ත ක්‍රියා මාර්ගය සඳහා, අන් කිසිවක් නොව ක්‍රියා මාර්ගය සඳහා වන ඍජු, සම්මුති විරහිත අරගලයකි. එළඹෙන පක්ෂ සම්මේලනයේ දී ස්ථිරසාර බහුතරයක් දිනා ගැනීම සඳහා අරගලයක යෙදීමේ ව්‍යාපාරයක් මෙම කෝකසය සැළසුම් කළ යුතුය. එමෙන් ම අපෙන් නිවේදන ලබා ගැනීම සඳහා සහ අපට තොරතුරු හා වාර්තා එවීම සඳහා කෝකසයේ ලේකම්වරයා ලෙස කිසියම් සහෝදරයෙකු පත් කර ගත යුතුය.

විධිගත ලෙස පවත්වනු ලබන නිව්යෝර්ක් අර්ධ-වාර්ෂික නාගරික සම්මේලනය අපි හෙට පවත්වමු. ශාඛා ඡන්ද විමසීම්වල ප්‍රතිඵලවලට අනුව විපක්ෂයට ආසන්න වශයෙන් දෙකට-එකක බහුතරයක් හිමි වනු ඇත. නිව්යෝර්ක්හි පක්ෂ සාමාජිකත්වයේ ඇති අවාසිදායක සමාජ සංයුතිය හා ධනපති ප්‍රජාතන්ත්‍රවාදී මහජන මතයෙන් බැට කෑම හමුවේ පොදුවේ සුළු ධනේශ්වර කොටස්වල පවතින බියකරු අධෛර්යමත්කම මඟින් මෙහි යම් කොටසක් පැහැදිළි කළ හැකිය. අපි, පෘථිවියේ කම්පනයන්ට භූ කම්පන මානයක් ප්‍රතික්‍රියා කරන පරිද්දෙන් ධනපති මාධ්‍ය තුළ සෝවියට් සංගමයට එරෙහිව ඇති සෑම හෙඩිමකට ම හා සෑම කතුවැකියකට ම ප්‍රතිචාර දක්වන මිනිසුන් ස්වල්ප දෙනෙකු නො වන්නෙමු.

“තන්ත්‍රයට” – එනම්, දෘඩතර දේශපාලන දිශානතියකට හා ඊට අනුරූප සංවිධානාත්මක පර්යායකට – ඇති සිය විරෝධය විසින් එක්සත් කරන ලද, දේශපාලන ප්‍රශ්න සම්බන්ධයෙන් සියලු වර්ගවල එකිනෙකට වෙනස් හා එකිනෙකට පටහැනි දෘෂ්ටීන් දරන මිනිසුන්ගේ සංයෝජනයකට අපි මුහුණ දී සිටින්නෙමු යන එම කරුණට, සුළුතරයේ මෙම තාවකාලික ජයග්‍රහණයෙහි තවත් කොටසක් පවරා දිය හැකිය.

ඔවුන් සිය කණ්ඩායම් අරගලය හොර රහසේ බොහෝ කලෙකට ඉහත ආරම්භ කර තුබුනේය යන කරුණ ද නිව්යෝර්ක්හි දී සංයෝජනයට හිමි වූ ක්ෂණික වාසියට යම්තාක් දුරකට හිමිකම් දරයි. ජාතික සමුළුවේ දී, නිව්යෝර්ක් නියෝජිතයන්ගෙන් තුනෙන් දෙකක බහුතරයක්, කවරෙකුට හෝ කිසියම් ම පූර්ව දැනුම්දීමකින් තොරව, හදිසියේ ම ජාතික නායකත්වයේ විරුද්ධවාදීන් ලෙස නැඟී සිටින විට මෙම තතු වල ප්‍රාරම්භක ගර්ජනා අපට ඇසින. 

නාගරික සංවිධායක තනතුර සඳහා ෆ්‍රෑන්ක් විස්ථාපනය කිරීමට සංයෝජනය විසින් ඇබර්න් ඉදිරිපත් කොට ඇති බව දැන ගැනීම ඔබට උනන්දුව දනවන කරුණක් වනු ඇත. මෙය, රුසියානු ප්‍රශ්නය සම්බන්ධයෙන් බර්න්හැම්ගේ ආස්ථානයට යටත්වීම වෙනුවෙන් ඇබර්න්ට දෙන ලද සංවිධානාත්මක පාරිතෝෂිකය ලෙස ද පැවසීමේ කවර වරදක් ද?

ප්‍රකට නායකයන්ගේ පෙළගැස්ම තුළ පුදුම සහගත කිසිවක් නැත. සංශෝධනවාදය සඳහා දැරෙන ප්‍රයත්න (බර්න්හැම්), දුක්ඛදායක දෙගිඩියාව (ෂැට්මන්) හා, දේශපාලනික ගැටළු – සහ ක්‍රියා මාර්ගික ගැටළු පවා – “සංවිධානාත්මක” ප්‍රතිෂ්ඨාවන්ට මුග්ධ ලෙස යටත් කිරීම (ඇබර්න්) – මේ සියල්ල බොහෝ දුරට ම, අතීතයේ කාලයෙන් කාලයට එකී ප්‍රවණතා ප්‍රදර්ශනය කළ එක් එක් පුද්ගලයන්ට ම සීමා වී ඇත. වත්මන් තතු තුළ, යුද අර්බුදයේ පීඩනය යටතේ, ඒවා හුදෙක් සිය සැබෑ වර්ණය ප්‍රදර්ශනය කරනු පමණි.       

ආරම්භයේ දී – සෑම විට ම සිදු වී ඇති පරිදි, එවැනි විරුද්ධ පක්ෂ, සාකච්ඡාවක ආරම්භයේ දී, එහි අවසානයේ දී ට වඩා බෙහෙවින් ශක්තිමත් ය – ඔවුන්ගේ ආධාරකරුවන් සමන්විත වූයේ ප්‍රධාන කොට ම, ඉහත අධ්‍යාපනික සාකච්ඡාවලට සහභාගී වීමේ ප්‍රතිලාභය ලබා නො මැති, අත්දැකීම් විරහිත සහෝදරවරුන්ගෙන් සහ, දේශපාලන අරගලයක් මධ්‍යයේ සිය “සංවිධානාත්මක” හිමිකම් පෑම් ඉදිරිපත් කිරීමට, අන් කිසිවෙකු එවන් අරගලයකට නායකත්වය දෙන තුරු අවුරුද්දෙන් අවුරුද්ද ඉවසිල්ලෙන් බලා සිටි අසාධ්‍ය කල්ලිවාදීන්ගෙනි.  

ජාතික පරිමාණයෙන් සැලකූ කල, පුද්ගලයන් පිළිබඳ දෘෂ්ටි කෝණයෙන් පෙනී යන පක්ෂ පෙළගැස්ම සංයෝජනයට හුදෙක් ම විනාශකාරී ය. ඇතැම්විට අපට දැනට දැන ගන්නට ලැබී නැති ව්‍යතිරේකයන් එතැන මෙතැන පැවැතිය හැකි වුවත්, සියලු කැපී පෙනෙන නිර්ධන පන්ති හා වෘත්තීය සමිති නායකයෝ පක්ෂ වැඩ පිළිවෙලට දෘඩතර ලෙස සහාය දක්වති. අතීතයේ සෑම තීරණාත්මක හැරීමේ දී ම අපට ඔවුන් මත රඳා සිටිය හැකි වූ අත්දැකීම් සහිත පක්ෂ ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් ද එය සත්‍ය වේ.

මේ මොහොතේ අපි යළිත් වරක්, මාධ්‍යමිකයන් සමඟ සම්බන්ධ වී සිටීම හා සංශෝධනවාදී සංවිධාන තුළට ප්‍රවිෂ්ඨ වීම සමඟ බැඳී ඇති අපෝහක ප්‍රතිවිරෝධයන්ගේ උත්ප්‍රාසාත්මක වෙළු කැවීමකින් පීඩා විඳිමින් සිටින්නෙමු. ට්‍රොට්ස්කිවාදීන් මස්ටී මාධ්‍යමිකයන් සමඟ සම්බන්ධ වීමේ දී ඔලර්වාදීන්ගේ විරුද්ධත්වයට එරෙහිව; සහ ඇබර්න්වාදීන්ට ද එරෙහිව; අපට බලය යෙදීමට සිදු වූ බව ඔබට මතක ඇත. කොයි හැටි වෙතත්, ඒකාබද්ධ වීම විධිමත් අර්ථයකින් තහවුරු වීමෙන් පසු ඊළඟ අදියරේ දී, ඔලර් හා ඇබර්න් යන දෙදෙනා ම අපට එරෙහිව – නිරවද්‍යව ම කිවහොත්, ස්වීකරණය නොවූ මාධ්‍යමිකයන් අතර – නව අරගලයකට සහාය දීමට අලුත් හේතු සොයා ගත්හ. එක් අතෙකින් දේශපාලනික හා දෘෂ්ටිවාදාත්මක අර්ථයෙන් ඒකාබද්ධතාවය සම්පූර්ණ කරමින් නිකායවාදීන් හුදෙකලා කර දැමීමටත්, අනෙක් අතින් කට්ටිවාදීන් වන්ධ්‍යාකරණය කිරීමටත් නව අභ්‍යන්තර අරගලයක් අවශ්‍ය විය. කොයි හැටි වෙතත්, පැරණි මස්ටිවාදී සංවිධානයේ රොඩුබොඩු ඇබර්න් කල්ලිය සමඟ දිගට ම රැඳී සිටිමින්, මේ අවුරුදු ගණනාව පුරා එහි යටිබිම්ගත පැවැත්ම පෝෂණය කිරීමට ආධාර කළේය.

ඊට සම අත්දැකීමක්, සමාජවාදී පක්ෂයට ඇතුළුවීමේ ස්ථාවර පිරිවැයෙහි අතපසු වූ ගාස්තුවක් ලෙස දැන් අප කරා පැමිණ ඇත. අප සමඟ එකාබද්ධවීමේ ක්‍රියාදාමය තුළ අවශ්‍ය වෙනස්කම් අත්පත් කර නො ගත්, බෝල්ෂෙවික්වාදයේ අදහස් හා විධික්‍රම සිය රුධිරය තුලට උකහා ගැනීමෙහි ලා සාර්ථක නො වූ වාම සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී කොටස් – තවමත් මෙම අදහස් හා විධික්‍රම නිවැරදිව වටහා ගෙන තමාගේ චින්තනයට උකහා නොගත් සංඛ්‍යාව සුළුපටු නො වේ – අද දවසේ විපක්ෂ සංයෝජනයේ ප්‍රධාන සහයෝගිතා පදනම වන්නේ මෙකී සහෝදරවරුන් ය. 1935 “ප්‍රවේශවාදීන්” වූ අපි, අතිශය තියුණු හා සංකේන්ද්‍රිත න්‍යායික හා දේශපාලන අරගලයක් ඔස්සේ හිටපු සමාජවාදී පාක්ෂිකයන්ට යළි අධ්‍යාපනය දීම හා ඔවුන් අප ව්‍යාපාරය තුළට උකහා ගැනීමේ අපේ කටයුතු සම්පූර්ණ කිරීමේ කර්තව්‍යය දැන් අප මත පවරා ගත යුත්තෙමු. 

ස්වභාවිකව ම මේ අරගලයේ කේන්ද්‍රස්ථානය වන්නේ නිව්යෝර්කයයි. මෙහි දී පවා අප සාර්ථක වනු ඇති බවට විශ්වාසයෙන් යුතුව සිටීමට අපට සෑම හේතුව ම පවතී. එහෙත් එළඹෙන ජාතික සම්මේලනයෙන් පසුව හතරවැනි ජාත්‍යන්තරයේ වැඩ පිළිවෙලට තවදුරටත් බාධා කිරීමට ගැනෙන කවර හෝ ප්‍රයත්නයක් අධෛර්යය කරනු වස්, රටේ සෙසු කොටස්වල, විශේෂයෙන් ම නිර්ධන පන්තික කොටස්වල අතිමහත් සහයෝගය අපට අවශ්‍ය වේ..

යම් කාලයක සිට මෙහි සිදුවෙමින් පවතින දේශපාලන අරගලයේ ගමන් මඟ තුළ දී අප වඩාත් ම තුෂ්ටිජනක සාර්ථකත්වයන් අත්පත් කර ගනිමින් සිටින්නේ තරුණයන් අතර ය. ආරම්භයේ දී සියලු වර්ගවල අදාළ නො වන හා වැදගැම්මකට නැති කරුණු  හා ප්‍රලාප හමුවේ කුලප්පු වූ ඔවුහු, මූලික ප්‍රතිෂ්ඨාවල ආලෝකයෙන් ගැටළු විමර්ශනය කිරීමට දැන් පටන් ගනිමින් සිටිති. විපක්ෂ සංයෝජනය ජාතික කමිටුව තැති ගැන්වීමට භාවිතා කිරීමට අපේක්ෂා කළ තරුණයන්ගේ “දෘඩ කණ්ඩායම” බිඳ වැටෙමින් පවතී. නිව්යෝර්ක් තරුණයන් අතර වඩාත් ම දක්ෂ සහෝදරවරුන්ගෙන් සැළකිය යුතු සංඛ්‍යාවක් සිය ආස්ථානය මුළුමනින් වෙනස් කොට ඇති අතර, දැන් ඔවුහු ක්‍රියා මාර්ගය හා අරගලයේ සප්‍රතිපත්තික විධික්‍රම සඳහා සටන් පෙරමුණේ සිටිති. මෙම ක්ෂේත්‍රයේ දී අපි සතිපතා පමණක් නො ව දිනපතා ම ද ජයග්‍රහණ ලබමින් සිටින්නෙමු. මෙම අරගලය නිමා වී එහි අත්දැකීම් පූර්ණව උකහා ගැනුණු කල්හි, පක්ෂ වැඩ පිළිවෙලට එරෙහිව සමූහයක් ලෙස තරුණයන් “පෙළ ගස්වා ගැනීම” මත රැඳී සිටීමට කිසිවෙකුට යළිත් හැකි වනු නැතැයි අපට විශ්වාසයෙන් අපේක්ෂා කළ හැකියැයි මම සිතමි.     

නිව්යෝර්ක් දිස්ත්‍රික් සම්මේලනයට පූර්වයෙන් පැවැති සාකච්ඡා පෙනී යන අන්දමට පැවැත්වී ඇත්තේ කිසියම් හෝ ජාතික දේශපාලන යෝජනාවන් සම්බන්ධ සැඳහුමකින් තොරව ප්‍රාදේශීය ස්වභාවයේ සංවිධානාත්මක ප්‍රශ්න වටා ය. කෙසේවෙතත්, යථා තතු තුළ, සංයෝජනය දෘඩ ලෙස බලමුළු ගැන්වී තිබුනේ ප්‍රාදේශීය, විධායක කමිටුව හා ප්‍රාදේශීය සංවිධායක ඊ.ආර්. ෆ්‍රෑන්ක් සහෝදරයා රුසියානු ප්‍රශ්නය සම්බන්ධයෙන් පක්ෂ ක්‍රියා මාර්ගයට සහයෝගය දීමේ පළිය ඔවුන්ගෙන් ගැනීමට ය. සාකච්ඡාවේ දී නිකුත් කෙරුණු සිය නිවේදන මඟින් ඔවුහු, “තන්ත්‍රයේ” වෙනසක් යන්නෙන් තමන් අදහස් කරන්නේ කුමක්දැයි යන්න පිළිබඳ පැහැදිළි ඇඟවීමක් ලබා දී ඇත්තාහ. ඇබර්න් සංවිධායකත්වය උසුලන, සංයෝජනයේ දේශපාලන වේදිකාව මත පිහිටා ගත් නව කමිටුවකට ඉඩ දෙමින් වර්තමාන ප්‍රාදේශීය නායකත්වය ධුරවලින් පහ කෙරෙනු ඇති අතර සංවිධායකයා ද සිය ධුරයෙන් ඉවත් කෙරෙනු ඇත.   

මෙය, ජයග්‍රහණයක දී ඔවුන් ක්‍රියාත්මක කරනු ඇති ජාතික සැළසුම් පිළිබඳ පෙරටු සේයා ගෙන එයි. මේ වර්ගයේ තන්ත්‍රයක්, වර්තමානයේ අපට ඇති “තන්ත්‍රයේ” අඩුපාඩු එකකට වඩා පෙන්වා දිය හැකි (මා වැනි) අය ද ඇතුළුව, රට පුරා සිටින බැරෑරුම්, පළපුරුදු හා දැනුවත් ක්‍රියාධරයන්ට ආකර්ෂණීය වෙතැයි යන්න මට බෙහෙවින් සැක සහිතය.

ඇබර්න් “තන්ත්‍රයක” පෙරදැක්ම පිළිබඳ මෙම සඳහන් කිරීම්, වර්තමාන “තන්ත්‍රයට” පක්‍ෂපාතව පෙළ ගැසීම සඳහා සියල්ලන් තැති ගැන්වීමට සැළසුම් කෙරුණු “බියජනක ප්‍රචාරනයක්” ලෙස ඔබ භාර නො ගනු ඇතැයි මම අපේක්ෂා කරමි. මා සිදු කරන්නේ හුදෙක් ඔබට සංයෝජනයේ නිව්යෝර්ක් සැළසුම් හා ඒවා ජාතික වශයෙන් ප්‍රක්ෂේපනය වන්නේ කෙසේද යන්න පිළිබඳ සැබෑ කරුණු දැක්වීම පමණි. ෂේක්ස්පියර්ගේ ප්‍රවේශම්කාරී හැම්ලට්ගෙන් පහත දැක්වෙන අවස්ථාවෝචිත උපුටා දැක්වීම ඉදිරිපත් කරමින් ඔබට ඔබේ ම නිගමන කරා එළැඹීමට මම ඉඩ හරින්නෙමි. “අප නොදත් වෙනත් ආපදා කරා පියා හැඹීමට වඩා අපට ඇති ආපදා දරා ගැනීම වටනේය.” 

නිව්යෝර්ක් ප්‍රාදේශීය නායකත්වයට හා සංවිධායකයා වශයෙන් ෆ්‍රෑන්ක්ට එරෙහි උද්ඝෝෂණය ඇත්ත වශයෙන් ම සැබෑ කෝපාවේගයකි. පසුගිය සය මස තුළ ඔවුන්ගේ වැඩ කටයුතුවල වටිනාකම් මත ඔවුන්ට ලබා දීමට උචිත වන්නේ අවලාද නො ව ප්‍රශංසා සහ අනුමැතියයි. පක්‍ෂ සම්මේලනයේ සිට කෝලින්වාදීන්ට එරෙහි අරගලයේ දී හා පොදු ක්‍රියාකාරකම්වල දී අප සැබෑ කැළඹීල්ලක් ඇති කිරීමට සමත් වූ එක ම ස්ථානය වූයේ නිරවද්‍යව ම මෙම නායකත්වය යටතේ මෙම නිව්යෝර්ක්හි දී ය. සියලු වාර්තා හා කරුණුවලින් පෙන්නුම් කෙරෙන්නේ, ඊට ඉහත සය මස සමඟ සැසඳීමේ දී – නැතහොත් අවුරුද්දකට ඉහත එකී කාල පරිච්ඡේදය සමඟ සැසඳීමේ දී – පසුගිය සය මස තුළ නිව්යෝර්ක්හි වැඩ කටයුතුවල හුදෙක් සුළු දියුණුවක් නො ව; සැබැවින් ම සියලු ක්ෂේත්‍රවල ක්‍රියාකාරකම් කිහිප ගුණයකින් වැඩි වීමකි.

රටේ සෙසු ප්‍රදේශවල ක්‍රියාකාරීත්වයන් මට යම්තාක් දුරකට හුරුපුරුදු හෙයින්, මෑත කාල පරිච්ඡේදයේ නිව්යෝර්ක් සංවිධානය ලද ජයග්‍රහණ සම්බන්ධයෙන් එම සංසන්දනය ම කළහොත්, එහි දී ද මේ තතු වලංගු බව මට ඉඳුරා කිව හැක. ජාතික සම්මේලනයේ දී සංවිධානය පිළිබඳ ප්‍රශ්නය අප සාකච්ඡා කරන විට, නිව්යෝර්ක්හි කටයුතුවල නායකයා ලෙස පසුගිය සය මාසය තුළ ෆ්‍රෑන්ක්ගේ වාර්තාව සෙසු සියල්ලන්ට ඉහළින් පවතින බව වාර්තාවල පදනම මත මට හොඳින් ම විශ්වාස ය. 

ෆ්‍රෑන්ක් ඉවත් කිරීමට හා අපකීර්තියට පත් කිරීමටත්, ඇබර්න් මඟින් ඔහු විස්ථාපනය කිරීමටත් දැරෙන ප්‍රයත්නය පිළිබඳව, වෘත්තීය සමිති කටයුතු දිශාවට හා පොදුවේ නිර්ධන පන්තිකරණයේ දිශාවට දිශාභිමුඛ වීම බැරෑරුම් ලෙස ගන්නා සියලු පක්‍ෂ සහෝදරවරුන් උනන්දුසහගත විය යුතු ය. ෆ්‍රෑන්ක් නම් පුද්ගලයා තුළ අපට සිටින්නේ, සිය තුරුණු බව නො තකා, වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ කීර්තියට පත් වූ හා පක්ෂයේ කැපී පෙනෙන වෘත්තීය සමිති නායකයෙකු බවට පත් වූ සහෝදරයෙකි. පක්ෂ සංවිධායකයා ලෙස ඔහු පොහොසත් අත්දැකීම් සමුදායක් (සංවිධානය තුළට) ගෙන ආ අතර, කම්කරුවන් සමඟ වැඩ කිරීමේ, ඔවුන් සංවිධානය කිරීමේ හා ඔවුන්ගේ භාෂාව වටහා ගැනීමේ ඔහුගේ ධාරිතාව ඔප්පු වී ඇති එකකි. එවැනි සහෝදරවරු අපේ ශ්‍රේණි අතර දුලබ ය හ.

එහෙත් ඉදින් අපි පක්ෂයේ මුහුණත කම්කරුවන් දෙසට හැරවීමෙන් එහි ස්වභාවය හා සංයුතිය වෙනස් කිරීමට බැරෑරුම් ලෙස අදහස් කරන්නමෝ නම්, මේ වර්ගයේ සංවිධායකයන් තව තවත් එක් කර ගැනීම මඟින් අපේ වෘත්තීයමය පක්‍ෂ කාර්ය මණ්ඩලයේ සංයුතිය වෙර ගැන්වීමට අප හිතාමතා අරමුණු නො කළ යුතු ද? තව ද, ඔහු සෑමවිටම වැඩුණු මිනිසෙකු සේ කථා කරන හා ක්‍රියා කරන නමුත්, වයස පිළිබඳ දෘෂ්ටි කෝණයෙන් බැලූ කල ෆ්‍රෑන්ක් තවමත් 26 වියැති තරුණයෙකි. වයස අතින් ගතහොත් ඔහු, සිය දරුවන් ය්ප්සෙල (යිප්සෙල් යන වදන භාවිතා වූයේ තරුණ සමාජවාදී ලීගයේ [YPSL – ය්ප්ස්ල්] සාමාජිකයන් හැඳින්වීමට ය) සාමාජිකයන් වීමට තරම් වයසැති, එහෙත් කොයි හැටි වෙතත්, තමන් අමතා කියන තියුණු වදනක් “තරුණයන්ට” අසාධාරණ ලෙස සැලකීමකැයි සදාකාලිකව කන්කෙඳිරි ගාන මෙකී වෘත්තීයමය හා සදාකාලික යිප්සෙල්වරුන් බොහොමයකට වඩා තරුණ ය. මේ ‘තරුණයන්’ට අනුව, ඔවුන් තවමත් අපේ හැසිරීම්වල යථා තතු හා කෲරත්වයට නිරාවරණය කිරීමට ළපටි වැඩි ය. දෙවියෝ අපට කමා කරත්වා! අපේ එම හැසිරීම් සෑමවිටම මනෝඥ ලීලාවන් හා විශ්ව විද්‍යාල පංති කාමරවල ආචාර විධිවලට සම නො වන බවට අප පාපෝච්චාරණය කළ යුතුය. 

අනෙක් අතට, අපේ පක්ෂයේ පළපුරුදු සාමාජිකයන් සෑම කෙනෙකු ම දන්නා කුසලතා හා අඩුපාඩුකම් සහිත ඇබර්න් දෘඩ ලෙස පක්ෂාභ්‍යන්තර මිනිසෙකු වන අතර, සෑම කල්හි ම ඔහු සිටියේ එවැන්නෙකු ලෙස ය. අවුරුදු ගණනාවකට පෙර International Labor Defense (කම්කරුවන්ට හා දේශපාලන දඩයම් කිරීම්වලට පාත්‍රවන්නන්ට නෛතික සහාය ලබා දීම සඳහා කොමින්ටර්නයේ ඇමරිකානු ශාඛාව 1925 දී ආරම්භ කළ සංවිධානයකි.) සම්බන්ධ කටයුතුවල දී මට සිය සහාය ලබා දුන් කෙටි කාලය තුළ හැරුනු කොට ඔහුගේ අත්දැකීම් සුවිශේෂී ලෙස පක්‍ෂ අභ්‍යන්තර කටයුතු හා ක්‍රියාකාරකම්වලට සීමා වී පැවතින. මෙය, ඔහුගේ පරිපාලනමය කුසලතාවයන් නිදහසේ ක්‍රියාකාරී විය හැකි ඒ හෝ මේ පක්ෂ තනතුර දැරීමෙහි ලා ඔහුට නුසුදුසුකමක් නො වන බව නිසැක ය. එහෙත් පක්ෂ අභ්‍යන්තරය දෙසට හැරී අප දෙසට නො ව, පරිබාහිරය දිශාවට – කම්කරුවන්ගේ දිශාවට – පක්ෂයේ ක්‍රියාකාරකම් හැරවීම සඳහා වීරෝදාර ප්‍රයත්නයක් දැරීමට අපට බල කෙරී ඇති කාලයක, පක්ෂයේ වඩාත් ම වැදගත් දේශපාලන දිස්ත්‍රික්කයේ සංවිධායකයා ලෙස ඔහුට කල හැක්කේ ආපස්සට ගන්නා පියවරක සංකේතය බවට පත්වීම පමණෙකි. ඇබර්න් මඟින් ෆ්‍රෑන්ක් විස්ථාපනය කිරීමේ ප්‍රතිඵලය වනු ඇත්තේ, දිග දුර නො දක්නා කාණ්ඩමික සලකා බැලීම්වල බලපෑමෙන් අපේ අවසාන සම්මේලනයේ දිශානතිය ගබ්සාවීමකි.

තවත් එක් කරුණක් වෙයි – එය සුළුපටු කරුණක් ද නොවේ. පක්ෂ සමඟිය සඳහා සහ පක්ෂයේත් හතරවැනි ජාත්‍යන්තරයේත් රාමුව තුළ, එක් අතෙකින් නෙරපා හැරීම්වලින් තොරව හා අනෙක් අතින් භේද හා ඉවත් වී යාම්වලින් තොරව ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා ඒකච්ඡන්දයෙන් සම්මත කෙරුණු යෝජනාව ඔබ දැක ඇත. සමස්ත පක්ෂය මෙම සහතික කිරීම අපේක්ෂාවෙන් සිටි අතර එය සාදරයෙන් පිළිගත්තේය. එහෙත් ෆ්‍රෑන්ක් විස්ථාපනය කිරීමට ඇබර්න් ගෙන යන ප්‍රචණ්ඩ උද්ඝෝෂණය මඟින් මෙම සහතික කිරීම වැර ගැන්වෙන්නේ කෙසේද? අතීතයේ දී පක්ෂය තුළ භේදයක් සංවිධානය කිරීමට ඇබර්න් විසින් දැරුනු ප්‍රයත්න දෙකක් පිළිබඳව අපි දන්නෙමු. ඉදින් එහි දී ඔහු සාර්ථක නො වී නම් ඒ, ඇතැම් විට, එක අතකට ඔහු තමන් පිළිබඳව සිතා සිටින තරම් හොඳ “සංවිධායකයෙකු” නො වන නිසා සහ, අනෙක් අතට අප ඔහුගේ මාවත හමුවේ යම් බාධක ස්ථානගත කළ නිසා විය හැකිය. වඩාත් නිරවද්‍ය ලෙස කිවහොත්, අප ඔහුගේ ක්‍රියා මාර්ගයට කෙතෙක් නිර්දය ලෙස පහර දුන්නමෝ ද යත්, ඔහුගේ භේදකාරී කණ්ඩායමේ කෝකසය බිඳී යමින් එය දැඩි පෞද්ගලික පක්ෂපාතීත්වයක් දක්වන්නන්ගේ කුඩා කවයක් බවට පත් වී, කිසිවෙකුගේ සැලකිල්ල යොමු වීමට තරම් වන මට්ටමේ භේදයකට සමත් නො වන තත්ත්වයකට ඌනනය වීම නිසා ය.  

අප සමාජවාදී පක්ෂයට ප්‍රවේශවීමට පෙර පැවැති පක්ෂ සම්මේලනයේ දී, තීරණාත්මක මොහොතේ ඇබර්න්ගෙන් වෙන් වෙමින් හා භේදවීමේ වැඩ පිළිවෙල අඩපණ කරමින් වෙබර් සහෝදරයා පක්ෂයට පක්ෂපාතීව ඉටු කළ ක්‍රියා කලාපය පිළිබඳ නිසි පිළිගැනීමක් පක්ෂය විසින් මෙතෙක් සිදු කර නැත. (ඇබර්න් කල්ලිය වෙබර්ගේ මෙම “ද්‍රෝහී ක්‍රියාව” අමතක කර හෝ ඊට සමාව දී හෝ නො මැති බව කීම අවශ්‍ය නොවේ. ඔවුහු මේ දක්වා ම ඔහු සාමාජයීය ලෙස ඇසුරෙන් බැහැර කර සිටිති. පසුගිය සම්මේලනයේ දී පවා ඔහු ජාතික කමිටුවෙන් ඉවත් කිරීමට ඔවුහු කූට ප්‍රයත්නයක් දැරූහ. පෙනී යන පරිදි, පළිගැනීමේ මනෝ භාවය සතුව කෘතඥතාවයේ මනෝභාවයට වඩා දීර්ඝ මතකයක් පවතින සේ ය.)

CLA සංවිධානය (ඇමරිකානු කොමියුනිස්ට් ලීගය)[19] තුළ පැරණි කැනන් – ෂැට්මන් අරගලය සිහිපත් කිරීමට දැන් කාලය එළැඹ ඇත. අප සියල්ලන්ට ම මතක ඇති පරිදි එය භේදයක අද්දර කරා ම අප ගෙන ආ අතර, භේදයක් වළක්වන ලද්දේ ජාත්‍යන්තර මැදිහත්වීම විසින් පමණෙකි. එහි දී සාමදාන එකඟතාවයට හා ප්‍රතිවිරුද්ධ කාණ්ඩමික සංවිධාන විසුරුවා හැරීමට ප්‍රතිරෝධය දැක්වූයේ හරියට ම ඇබර්න් ම ය. ෂැට්මන් පක්ෂ ලේඛනයක් තුළ මෙය සහතික කර ඇත. එම අවස්ථාවේ භේදයක් ඇති කිරීමේ තැත අඩපණ කෙරුනේ ෂැට්මන්, ලෙවිට් හා අන්‍යයන්ගේ කැරැල්ල විසිනි.       

තවත් සැලකිල්ලට ගත යුතු කරුණක් වෙයි. භේදය දවසේ න්‍යාය පත්‍රයට ඇතුළත්ව තිබූ කාලයේ නිව්යෝර්ක් ප්‍රාදේශීය සංවිධායක ධුරය භාර ගනිමින්, එකී ධාරිතාවය තුළ ජාතික නායකත්වය සමඟ අරගලය හැකි සෑම ආකාරයකින් ම තියුණු හා උත්සන්න කිරීමට කටයුතු කළ ඇබර්න්, සාම එකඟතාව ඇති කර ගත් කල්හි ප්‍රාදේශීය සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වූයේය.

ඉදින් අතීතය හා වර්තමානය අතර කිසිදු සම්බන්ධයක් නැතැයි විශ්වාස කිරීමට හේතු ඇත්නම්, නව තත්ත්වයක් යටතේ යමෙකුගේ අතීත දෝෂ අවුස්සා පාදා ගන්නා අවසාන තැනැත්තා මා වනු ඇත. එහෙත් දැන් අප මුහුණ දී සිටින්නේ, කවර කලෙක දී හෝ අපේ ශ්‍රේණි අතර බෙදීම් නිර්මාණය කර ඇති ප්‍රශ්න අතරින් වඩාත් ම මූලික ප්‍රශ්න පිළිබඳව පක්ෂය තුළ පැන නැඟී ඇති අතිශය බරපතළ අර්බුදයකට ය. නිව්යෝර්ක්හි වාතාවරණය ආන්තික ලෙස තියුණු එකකි. අපේ අත්දැකීම් අපට උගන්වන්නේ සෑම කණ්ඩායම් ගැටුමක් තුළ ම භේදයකට ඇති ඉඩකඩ හා භේදයක අන්තරාය දැකීමට ය. ඊට ඉහත යුද්ධයේ හා පූර්ව යුදකාලීන ව්‍යාපාරයේ අත්දැකීම් පසෙකින් තැබූවේ වී වුව, ඇමරිකානු කොමියුනිස්ට්වාදී ව්‍යාපාරය තුළ මගේ අවුරුදු 20 ක පෞද්ගලික අත්දැකීම් තුළ මා නිරීක්ෂණය කර ඇත්තේ කණ්ඩායම් අරගල වඩාත් ඉහළ මට්ටමක දී මඟ පාදා ඇත්තේ, යළි එක්සත්වීමකට වඩා භේදයන් කරා බව ය.  

මෙම අත්දැකීම් වලින් අප සියලු දෙනා නිගමනය කළ යුත්තේ, මතභේදයක මූලාරම්භයේ දී ම පක්ෂ එකමුතුකම ආරක්ෂා කර ගැනීම සඳහා හැකි සෑම පියවරක් ම ගැනීම අත්‍යවශ්‍ය වන බව ය. එකමුතුකමේ ප්‍රකාශනය ඒකාබද්ධව සම්මත කිරීම සඳහා;  දුක් ගැනැවිලි විමර්ශනය කිරීමට සම නියෝජනයකින් යුත් (සමානත්ව) කොමිසමක් පත් කිරීම සඳහා; සුළුතරය වෙනස්කම්වලට භාජනය නො කරනු වස් අභ්‍යන්තර බුලටීනය සඳහා ඒකාබද්ධ සංස්කාරකවරුන් පත් කිරීම සඳහා; සමානත්ව කොමිසම පිහිටුවීමේ පටන් වත්මන දක්වා එකී කොමිසම හමුවේ එකදු දුක් ගැනවිල්ලක් හෝ නො නැඟෙන මට්ටමට සංවිධානය පිළිබඳ පැමිණිළි අහෝසි කර දැමීම සඳහා; වූ අපේ යෝජනා මෙහෙයවනු ලැබුනේ මෙකී ආකල්පය විසිනි.

එහෙත්, පක්ෂ සමඟිය රැක ගැනීමට හිතාධ්‍යාශයෙන් අපේක්ෂා කරන සුළුතරයේ කොටස් වෙත හුදෙක් සාමකාමී අභිනයන් දැක්වීමෙන් හා අනුග්‍රහ දැක්වීමෙන් පමණක් එකමුතුකම ආරක්ෂා නො වන බවට ද අපේ අත්දැකීම් ඇසුරෙන් අපට සාක්ෂ්‍ය දැරිය හැකියැයි මම සිතමි. භේදයක් ඇති කිරීමේ අදහස සමඟ සෙල්ලම් කිරීමට පවා ඉදිරිපත් වන සියලු කොටස් හෙළිදරව් කොට හෘදය සාක්ෂ්‍යයට අනුකූලව ක්‍රියා කරන සහෝදරවරුන් ඔවුන්ගෙන් වෙන් කර ගැනීම සඳහා, එකී භේදකාරීන් හුදෙකලා කිරීම සඳහා සහ එමඟින් ඕනෑම භේදකාරී වික්‍රමාන්විතයක් අඩපන කර දැමීම සඳහා, සටන්කාමී අරගලය පිළිබඳ අපෝහක අනුපූරකය ද පැවතිය යුතුය.

අඩු වැඩි වශයෙන් සාමාන්‍ය පක්ෂ සාමය පැවැතුනු පසුගිය දෙ වසර තුළ කිසි දාක නිව්යෝර්ක්හි නාගරික සංවිධායක ධුරය පිළිබඳව ඇබර්න්ගේ උනන්දුවක් නො වීය. සෑම නාගරික සම්මේලනයක දී ම – නිව්යෝර්ක්හි මෙය සෑම සය මසකට වරක් ම පැවැත්වේ – ඇබර්න්ගේ පෞද්ගලික කල්ලියේ එක් හෝ අනෙක් අයෙකු සංවිධායක ධුරය සඳහා ඔහුගේ නම යෝජනා කර ඇත. ඒ සෑම අවස්ථාවක දී ම ඔහු එම යෝජනාව සැලකිල්ලට ගැනීම එක හෙළා ප්‍රතික්ෂේප කළේය. දැන්, කණ්ඩායම් අරගලයක් – අප කවදා හෝ දැන සිටි තියුණුතම හා වඩාත් ම කර්කශ අරගලය – කුළු ගැන්වී ඇති මොහොතේ, ඇබර්න් නිව්යෝර්ක් සංවිධායක ධුරය ලබා ගැනීමටත්, එහි දී තම කාර්යය මනා ලෙස ඉටු කළ තරුණ සහෝදරයෙකු ඉවත් කිරීමටත්, ඔහු අපකීර්තියට ලක් කිරීමටත් යෝජනා කරයි.           

ඊට අමතරව, අපේ ව්‍යවස්ථාව යටතේ දේශපාලන කරුණු සම්බන්ධයෙන් අධිකාරිත්වයක් දරන එකම ආයතනය වන ජාතික කමිටුවට එරෙහි ප්‍රතිවාදී දේශපාලන කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ අරමුණින් යුතුව නිව්යෝර්ක් ප්‍රාදේශීය කමිටුවක් පිහිටුවීමට යෝජනා කර ඇත. මෙම ක්‍රියාදාමය තුළ සුළුතර සංයෝජනයේ සැළසුම කවරක් හෝ වේවා, මේ සමස්ත යෝජනාවලිය, විශේෂයෙන් ම වත්මන් තතු තුළ ඇබර්න් සංවිධායක ධුරයට නම් කිරීම, අපට අභුභ ඇඟවීම් දනවන්නකි.   

අපේ සුපරීක්ෂාකාරීත්වය පිළිබඳව ඔබට අප මත විශ්වාසය තැබිය හැකි ය. මන්ද යත්, පහත දැක්වෙන සටන් පාඨ දෙක සාක්ෂාත් කර ගැනීම අපේ අංක 1 විප්ලවවාදී කර්තව්‍යය ලෙස – වඩාත් නිරවද්‍යව කිවහොත් ද්විත්ව කර්තව්‍ය ලෙස – අප නියම කොට ගෙන සිටින නිසා ය: හතරවැනි ජාත්‍යන්තරයේ ක්‍රියා මාර්ගය පවත්වා ගෙන යාම, සහ එකී ක්‍රියාමාර්ගයේ පදනම මත පක්ෂ එකමුතු බව පවත්වා ගෙන යාම.

සහෝදරත්වයෙන්,

ජේ.පී. කැනන්

සටහන්:

[19] CLA – ඇමරිකානු කොමියුනිස්ට් ලීගය හෙවත් කොමියුනිස්ට් ලීග් ඔෆ් ඇමරිකා: 1928 දී ඇමරිකානු ට්‍රොට්ස්කිවාදීන් කොමියුනිස්ට් පක්ෂයෙන් නෙරපා දැමීමෙන් පසුව එක්සත් ජනපදයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ක්‍රියාත්මක වූයේ මෙම නමින් ය.

පෙර කොටස් බලන්න:

හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්123456-I6-II78-I8-II8-III8-IV8-V9-I9-21011-I11-II11-III12-I12-II13L1L2, L3, L4

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top