නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: සහෝදරවරුන්ට යැවූ ලිපි – VII

ජේම්ස් පී. කැනන්

පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු

11. බිල් මෝර්ගන් වෙත යැවූ ලිපියක්

නිව්යෝර්ක්

1939 දෙසැම්බර් 15

සැන් ෆ්‍රැන්සිස්කෝ, කැලිෆෝර්නියා

ප්‍රිය බිල්,

නිව්යෝර්ක් නාගරික සමුළුවේ ප්‍රතිඵල හමුවේ, රට මුළුල්ලේ ම සිටින සියලු සහෝදරවරු සීරුවෙන් සිටිය යුතු අතර, එළඹෙන ජාතික සම්මේලනය සඳහා සංවිධානාත්මක මෙන් ම දේශපාලන ක්‍ෂේත්‍රයේ දී ද ගැඹුරු සූදානම්වීමක අත්‍යවශ්‍යතාව පිළිබඳව ඒත්තු ගත යුතුය.

ඉහත ලිපියක මා ලියා එවූ පරිදි, විපක්ෂ සංයෝජනය නිලවරණයේ දී, ආසන්න වශයෙන් දෙකට එකක ජයක් ලැබූහ. සමානුපාතික නියෝජනයේ ඇතැම් සාවද්‍ය ගැලපීම්වල හා YPSL නියෝජිතයන් එක් වීමේ ප්‍රතිඵලයක් ලෙස, නාගරික සම්මේලනය තුළ ඔවුන්ගේ නියෝජනය මීට ද වඩා යම් තරමකින් ඉහළ ය. නිව්යෝර්ක් නියෝජිතයන් සංඛ්‍යාවේ විශාලත්වය සැළකිල්ලට ගත් කළ, බලවේගවල මෙම සම්බන්ධතාවයෙන් අදහස් කෙරෙන්නේ අප ජාතික සමුළුවට පැමිණෙන්නේ දැඩි ආබාධිත තතු යටතේ බවයි. රට පුරා ම ශාඛාවල බහුතර අභිප්‍රායය මුළුමනින් නියෝජනය වන බවට වග බලා ගැනීම සඳහා අප සැබෑ ප්‍රයත්නයක් නො දැරුවහොත්, සම්මේලනයේ ප්‍රතිඵලය හතරවැනි ජාත්‍යන්තරයේ ව්‍යසනයක් නියෝජනය කරන්නක් විය හැකිය.   

මම මේ සමඟ හිස් ෆෝර්මයක් එවමි. සම්මේලනයේ පූර්වාපේක්ෂාවන් පිළිබඳ ප්‍රමාණවත් ලෙස පැහැදිළි චිත්‍රයක් ලබා ගනු වස් අවශ්‍ය කෙරෙන සංඛ්‍යානමය තොරතුරු ලබා ගැනීම සඳහා අප්‍රමාදව එය පුරවා එවන්නැයි ඔබෙන් ඉල්ලා සිටිමි. ඊට අමතරව, සියලු සාමාජික ලැයිස්තු ප්‍රවේශමෙන් පරීක්ෂා කෙරුණු බවටත්, හිඟ සාමාජික මුදල් ගෙවා ඇති බවටත්, සෑම ශාඛාවක් ම සම්මේලනයේ දී හරියට ම එයට නීත්‍යානුකූලව හිමි සංඛ්‍යාවෙන් – ඊට නො වැඩි ලෙස හා නො අඩු ලෙස – නියෝජනය වන බවටත් වග බලා ගැනීමට මෙතැන් පටන් සුවිශේෂී ප්‍රයත්නයක් සංකේන්ද්‍රණය කළ යුතුය.

අපේ ව්‍යාපාරයේ වසර 11 ක ඉතිහාසය තුළ මා මේ විෂයය සම්බන්ධයෙන් ලියන්නේ ප්‍රථම වරට ය. ඊට හේතුව නම්, නිව්යෝර්ක්හි අත්දැකීම්වල ප්‍රතිඵලයක් ලෙස, කටයුතු තමන්ට රිසි ආකාරයට හැසිරවීම සඳහා දැරෙන ප්‍රයත්නයන් සම්බන්ධයෙන් සැකමුසුව හිඳීමට අපට හේතු ඇති නිසා ය. එකහෙළා ම නිලවරණ වංචාවක් වන එක් සිද්ධියක් අප දැනටමත් හෙළිදරව් කොට ගෙන ඇති අතර, තවත් ඇතැම් සැක සහිත සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අපි බරපතළ විමර්ශනයක් සිදු කරමින් සිටින්නෙමු. කෙටි කාලයකින් මේ පිළිබඳ සංයුක්ත තොරතුරු ඔබට ලබා දෙනු ඇත. ඒ අතරතුර, සම්මේලනය සඳහා සූදානම්වීමේ සංවිධානාත්මක පාර්ශ්වය කෙරේ බැරෑරුම් හා ඒකාග්‍ර අවධානයක් යෙදීම දැන් පටන් ආරම්භ කරන්න. සම්මේලන නීති අධ්‍යයනය කරමින් ඒවා දැඩි ලෙස අනුගමනය කෙරෙන බවට වග බලා ගන්න.       

නිව්යෝර්ක් නාගරික සම්මේලනයට පූර්වයෙන් සිදු කළ උද්ඝෝෂණය තුළ දක්ෂිනාංශික සංයෝජනය අපට ටැමනී දේශපාලනයේ (මෙය, අනුග්‍රහ දැක්වීම මත පදනම් වූ, දූෂිත හා ලොකුලොක්කන් විසින් මෙහෙයවනු ලබන දේශපාලන මෙහෙයුම් හැඳින්වීමට යෙදෙන යෙදුමකි – පරිවර්තක) යථා මාත්‍රාවක් ලබා දුන්නේය. ඔවුහු කිසිදු දේශපාලන යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් තොරව තමන්ගේ සියලු දේශපාලන අනුග්‍රාහකයන් බලමුළු ගන්වා ගත්හ. අනෙක් අතට, බහුතරය සමඟ දේශපාලන එකඟතාවයකින් යුතු, එහෙත් සංවිධානාත්මක කරුණු සම්බන්ධයෙන් එක් හෝ අනෙක් ආකාරයක දුක් ගැනැවිලි හෝ විවේචන ඇති අයගේ සහයෝගය ඉල්ලා ඔවුහු ආයාචනා කළෝය. එසේ ම ඔවුහු සම්මේලනය සඳහා සූදානම්වීමේ තාක්‍ෂණික පාර්ශ්වය සම්බන්ධයෙන් ද – සමානුපාතික ප්‍රතිශත ගණන් බලමින්, එතැනින් මෙතැනින් ඡන්දයක් හරවා ගනිමින්, කාණ්ඩමික ප්‍රතිශතයන් තමන්ට වඩාත් වාසිදායක අයුරින් හසුරුවා ගත හැකි වන අයුරින් සාමාජිකයන් එක් ශාඛාවක සිට තවත් එකකට මාරු කරමින් – ඕනෑම ප්‍රාදේශීය කප්පිත්තන් කට්ටලයක් මෙන් කාර්යබහුල වී සිටියෝ ය. ඊට අමතරව ඔවුහු සැළකිය යුතු තරමේ “සොහොන් බිමෙන් මතු වූ ඡන්ද” – එනම්, කාලයක් පුරා නො දුටු, අසන්නට නො ලැබුණු, හා යම් නොසැලකිළිමත් භාවයකින් ශාඛා ලේඛනවල තවමත් නම ඇතුළුව තිබූ, හදිසියේ ම නිලවරණ දින රාත්‍රියේ හිඟ මුදල් ගෙවා ඡන්දය දීමට පැමිණි අයගේ ඡන්ද – පොදියකින් අපේ හිසට පහර දුන්නෝය. මෙම “නිලවරණ සේවකයන්” ගෙන් ඇතැම්හු සමාජවාදී පක්ෂය තුළ දී අපෙන් වැඩි යමක් ඉගෙන නොගත්තාහු වෙති, එහෙත් ඔවුහු ජැක් ඇල්ට්මන්ගෙන් (සමාජවාදී පක්ෂයේ නිව්යෝර්ක් නාගරිකයේ විධායක ලේකම්වරයා ලෙස සිටි ජැක් ඇල්ට්මන්, 1937 දී ට්‍රොට්ස්කිවාදීන් එම පක්ෂයෙන් නෙරපා හැරීමට මූලික කාර්යභාරයක් ඉටු කළේය – පරිවර්තක) බොහෝ දේ ඉගෙන ගෙන ඇත්තෝය. රටේ වෙනත් කොටස් කරා මෙකී විධික්‍රමවල සංක්‍රමණයක් අපට අපේක්ෂා කළ හැකිය.

ධනේශ්වර දේශපාලන විධික්‍රමය එහි තවත් ලාක්ෂණික ආකාරයකින් තමා ම විද්‍යමාන වී ඇත. සෑම ධනේශ්වර දේශපාලනඥයෙක් ම සැමවිට ම බදු අඩු කරමින්, ඒ අතර ම කාර්යක්‍ෂමතාව වැඩි කිරීමට ප්‍රතිඥා දෙයි. මේ දක්වා අපේ සාකච්ඡා තුළ දක්නට නො වූ වාචාලකම් හා පුරසාරම් ප්‍රචාරණය, නිව්යෝර්ක් පූර්ව-සම්මේලන කාල පරිච්ඡේදය තුළ දී, යථාර්ථයට අල්පමාත්‍ර හෝ සම්බන්ධයකින් තොරව ද, නාගරික කටයුතුවල වෙනස් අංශ අතර වෙනස්කමකින් තොරව ද පූර්ණ ලෙස මල් දරා පුබුදු වී ඇත. පසුගිය මාස හය තුළ සිදු කළ සියල්ල සාවද්‍ය හා අකාර්යක්‍ෂමයැයි හෙළා දකින ලද අතර, නව පරිපාලනය යටතේ සියල්ල වඩාත් හොඳින් සිදු කෙරෙනු ඇතැයි ඉටු කළ නොහැකි පොරොන්දු වපුරනු ලැබීය. ඔවුහු සමාජවාදය හැර අන් සියල්ල ලබා දෙන බවට ප්‍රතිඥා දුන්හ; එහෙත් ස්වභාවිකව ම ඒ සඳහා, – පෙනී යන පරිදි “අපේ රට තුළ ම” නො ව, අපේ ම පක්ෂයේ ජාතික කමිටුව තුළ සිටින – ප්‍රධාන සතුරා පෙරළා දැමෙන තුරු බලා සිටින්නට සිදු වනු ඇත. මෙම ධනපති ප්‍රචාරණ ව්‍යාපාරයේ එක් ප්‍රතිඵලයක් – එනම්, එක් ප්‍රාදේශීය නිලධාරීන් කණ්ඩායමක් තවත් එකකින් විස්ථාපනය කිරීම – අවසානයේ නිවැරදි කළ හැකි බව යමෙකුට පහසුවෙන් ම පිළිගත හැකිය. එහෙත් අනෙක් හා වඩාත් වැදගත් ප්‍රතිඵල – එනම්, පක්ෂයට වැරදි අධ්‍යාපනයක් ලබා දීම, නරුමකම ප්‍රවර්ධනය කිරීම, ඡන්ද දිනීම සඳහා කැප වීමේ පරමෝද්‍යෝගය, ආදිය – ඒවා එතරම් පහසුවෙන් පරාජය කළ නො හැකි වනු ඇත.  

සම්මේලනයේ දී ස්ථාපනය කරන ලද නව නාගරික කමිටුව, ඡන්දය පාවිච්චි කිරීමෙන් තොරව සියලු රැස්වීම්වලට සහභාගී වන විකල්ප සාමාජිකයන් ද ඇතුළුව සාමාජිකයන් 21 දෙනෙකුගෙන් සමන්විත වේ. එවැනි අපූර්ව ප්‍රමාණයකින් යුත් කමිටුවක් සාමාන්‍ය කාලවල දී පවා ප්‍රාදේශීය කටයුතු කාර්යක්‍ෂමව සංවිධානය කිරීමට නිසි ලෙස අනුගත වනු නැතැයි ඇතැම්විට ඔබ කියනු ඇත. තව ද, කවරාකාරයෙන් වුව, යුද තත්ත්වයන් විසින්, වඩාත් වැඩි ආරක්ෂාව හා චල්‍යතාව සඳහා ධූරාවලි රේඛාව පුරා ඉහළ සිට පහළට ම වඩාත් කුඩා කමිටු ගොඩ නැඟීමට අණවනු ලැබෙතැයි ද ඔබ කියනු ඇත. එහෙත් එවැනි විරෝධතා, සිය විවිධ ප්‍රවණතා සෑම එකකට ම නියෝජනයක් ලබා දීම මෙන් ම, හරියට ම තමන් එහි සාමාජිකයන් නො වූ හේතුව නිසා ම පැරැණි කමිටුවට එරෙහි වූ විවිධ තනි පුද්ගලයන්ට “සැළකිලි දැක්වීම” සංයෝජනයට අත්‍යවශ්‍යය යන කරුණ නො තකා හරී.

ෆ්‍රෑන්ක් ලොවෙල්

නව කමිටුවේ පළමු සැසිවාරය අපට කොල්ලකාරී දේශපාලනයේ මාත්‍රාවක් ලබා දී ඇති අතර, ඒ සමඟ ම, රට පුරා, “තන්ත්‍රය” පිළිබඳව සිත් තැවුලට පත්ව සිටින එකී සහෝදරවරුන්ට වෙනස් තන්ත්‍රයක් පිළිබඳ පූර්ව චිත්‍රයක් ලබා දී ඇත. නගර සංවිධායකයා ලෙස සිටි ෆ්‍රෑන්ක් වෙනුවට ඇබර්න් පත් කෙරින. රැකියා විරහිතයන් අතර කටයුතුවල අධ්‍යක්‍ෂවරයා ඔවුන් අතරින් කෙනෙකු විසින් විස්ථාපනය කරන ලදී. ඊළඟට පක්‍ෂ අධ්‍යාපන අංශය භාරව සිටි රයිට් සහෝදරයා වහා ම ඉවත් කර ඒ වෙනුවට කාටර් පත් කෙරින. මෙම පහ කිරීම සුවිශේෂී විරුද්ධත්වයක් හා අමනාපයක් ඉස්මතු කළේය. රයිට් සහෝදරයා හෘදය සාක්ෂ්‍යානුගත ලෙස තමන්ට පැවරුණු සෑම කර්තව්‍යය ම භාර ගනිමින් ඉටු කරන ආකාරය සියල්ලෝ දනිති. තව ද, ඔහුගේ මෙහෙයවීම යටතේ පක්‍ෂයේ පාසල මාක්ස්වාදය උගන්වනු ඇතැයි යන්න පිළිබඳ සැක පහළ කිරීමට හේතුවක් කිසිවෙකුට තිබිය නො හැකිය. මා අසා ඇති සියලු වාර්තාවලට අනුව, අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වශයෙන් රයිට් සහෝදරයා ඉටු කළ කටයුතු පොදුවේ පක්‍ෂය විසින් ඉහළින් පිළිගනු ලැබිණ. තමන් උචිතයැයි සළකන ආකාරයකට ඕනෑම අයෙකු ඕනෑම තනතුරකින් ඉවත් කිරීමටත්, ඒ වෙනුවට සුදුසුයැයි තමන් හඟින ඕනෑම අයෙකු එම තනතුරට පත් කිරීමටත් බහුතරයට අයිතියක් ඇතැයි කියා සිටීමට අමතරව ඔහුගේ ඉවත් කිරීම සාධාරණීකරණය කිරීම සඳහා කිසිදු බැරෑරුම් ප්‍රයත්නයක් දැරී නැත. මෙම “අයිතිය”ට අභියෝග කළ නො හැකිය. එහෙත් ඔවුන්ගේ නිව්යෝර්ක් කාර්ය සාධනය පොදු භාවිතය පිළිබඳ පූර්වාදර්ශයක් ලෙස අප වටහා ගතහොත්, පක්‍ෂය නිසැකව ම අභ්‍යන්තර “තන්ත්‍රයක” ආකාරයෙන් අලුත් දෙයක් අත්විඳීමට නියමිතව සිටී. 

උදක් ම සාධාරණ හා සම්පූර්ණ චිත්‍රයක් ඉදිරිපත් කිරීම සඳහා, එක් තනතුරක් – වෘත්තීය සමිති අධ්‍යක්ෂ ධූරය – සෝවියට් දේශය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූවන්ට ඉතිරි කරන ලද බව මා පිළිගත යුතු ය. සංවිධාන කටයුතු සඳහා ඔහුගේ ඇති හොඳක් නැතැයි යන ප්‍රකාශිත පදනම මත පක්‍ෂ සංවිධායකයා ලෙස ඔහු දැරූ තනතුරෙන් පහ කෙරුණු ෆ්‍රෑන්ක් කෙරේ වෘත්තීය සමිති කටයුතු සංවිධානය කිරීමේ හා මෙහෙයවීමේ කර්තව්‍යයෙහි ලා විශ්වාසය තබා ඇත. මේ වූ කලී, කුඩා විරෝධෝක්තියක වියදම දරමින් පවා, නාගරික කමිටුවේ සුළුතරයට ලබා දුන් සහනයක් ද? නැත. හේතුව එය නොවේ. නිව්යෝර්ක් නගරය තුළ සංයෝජනයේ සියලු ආධාරකරුවන් අතරින්, වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ධූරය සඳහා අවශ්‍ය කෙරෙන අත්දැකීම් හා අධිකාරීත්වයක් ඇති එකම අයෙකු හෝ සොයා ගැනීමට ඔවුන්ට හැකි වී නැත. එම කරුණ මෙහි සැබෑ පෙළගැස්ම ගැන බොහෝ දේ කියයි. එය ඒ පිළිබඳ සියලු දේ ම පාහේ කියයි.

සහෝදරත්වයෙන්,

ජේ.පී. කැනන්    

පෙර කොටස් බලන්න:

හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්123456-I6-II78-I8-II8-III8-IV8-V9-I9-21011-I11-II11-III12-I12-II13L1L2, L3, L4, L5, L6

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top