චීන ජනරාල්වරුන් නෙරපා හැරීම ලෝක ධනේශ්වර අර්බුදයේ පිළිබිඹුවකි

නිහාල් ගීකියනගේ

වර්තමානයේ චීනයේ තාක්ෂණික විස්කම්, ආර්ථික සංවර්ධනය සහ සමාජ ප්‍රතිසංස්කරණ ගැන නිතර විවිධ වර්ගයේ වාර්තා සුලබ ය. එහෙත් ලෝක ධනේශ්වරයේ අර්බුදය චීනය තුළ ප්‍රකාශ වන ආකාරය පිළිබඳව ප්‍රධානතම පුවතක් චීනයෙන් වාර්තා වේ. එම වාර්තාවට අනුව චීන කොමියුනිස්ට් පක්ෂය ඉහලම ජෙනරාල්වරුන් නව දෙනෙකු නෙරපා හැර ඇත.

චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) පාලක මණ්ඩලය වන මධ්‍යම හමුදා කොමිසමේ උප සභාපති හී වයිඩොං ඇතුළු චීන ජෙනරාල්වරුන් නව දෙනෙකු චීන කොමියුනිස්ට් පක්ෂයෙන් නෙරපා හැර ඇති අතර, පසුව ඔවුන් හමුදාවෙන් ම නෙරපා හැර ඇත.

චීන හමුදාවේ ඉහල ම මට්ටම් වල නෙරපා හැරීම්, සන්නද්ධ හමුදාවන්හි පමණක් නොව පක්ෂ නායකත්වය තුල ද පවතින කැලඹිලි සහිත බව පෙන්නුම් කරයි. ජෙනරාල් හී වයිඩොං, මධ්‍යම හමුදා කොමිසමේ (CMC) සභාපතිත්වය දරන ජනාධිපති ෂී ජින් පිං සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෙනරල් ෂැං යුක්සියාට පසුව හමුදාවේ තුන් වැනි ස්ථානයට පත් විය. ඔහු පක්ෂයේ සාමාජිකයින් 24 දෙනෙකුගෙන් යුත් දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙකු වූ අතර එය සාමාජිකයින් 7 දෙනෙකුගෙන් යුත් දේශපාලන මණ්ඩල ස්ථාවර කමිටුවට පමණක් දෙවැනි වේ.

හී වයිඩොං – ඡායාරූපය අන්තර්ජාලයෙනි

ඔහු හෝ අනෙකුත් ජෙනරාල්වරුන් අට දෙනාට එරෙහි චෝදනා පිළිබඳව කිසිදු විස්තරයක් ප්‍රසිද්ධ කර නොමැත. නෙරපා හැරීම නිවේදනය කරමින් ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂැ ෂියාඕ ගැන්ග් ප්‍රකාශ කළේ නව දෙනා පක්ෂ විනය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති අතර අතිශය විශාල මුදල් ප්‍රමාණයක් සම්බන්ධව, රාජකාරියට අදාලව බරපතල අපරාධ සම්බන්ධයෙන් සැක කරන බවයි.

ජෙනරාල්වරුන්ට නිශ්චිත නොවන දුෂණ චෝදනා එල්ල වී ඇති අතර, පසුගිය සෙනසුරාදා PLA දින පතා පුවත් පතේ කතුවැකියකින් ඔවුන් නෙරපා හැරීමේ දේශපාලන ස්වභාවය අවධාරණය කරන ලදී. එහි සඳහන් වූයේ හමුදාව චීන කොමියුනිස්ට් පක්ෂයට (CCP) පක්ෂපාතී විය යුතු බවට වන මූලධර්මය නව දෙනා බරපතල ලෙස බිඳ දමා ඇති බවයි.
” ඔවුන් හමුදාවේ දේශපාලන පරිසරයට බරපතල ලෙස හානි සිදුකර ඇති අතර හමුදාවේ එකමුතුකම හා දියුණුව ගොඩනගන දේශපාලන දෘෂ්ටිවාදයේ අත්තිවාරමට බරපතල පහරක් එල්ල කර ඇතැ”යි කතුවැකිය ප්‍රකාශ කරයි.

1949 දී ප්‍රධාන වශයෙන් ගොවි හමුදාවන්ගේ සහය ඇතිව බලයට පත් වූ සී සී පී (CCP)ය, බාහිර තර්ජන වලට මුහුණ දීමට පමණක් නොව, අර්බුද කාලවලදී අභ්‍යන්තර විරුද්ධත්වය තලා දැමීමට ද PLA මත දැඩි ලෙස විශ්වාසය තබා ඇත. විශේෂයෙන් 1960 ගනන්වල මාඕ සේතුංගේ වැරදි ලෙස නම් කරන ලද මහා නිර්ධන පංති සංස්කෘතික විප්ලවය සහ 1989 දී බීජිං හි තියනන්මෙන් චතුරශ්‍රයේ මහජන විරෝධතා සහ වැඩ වර්ජන අතරතුර මේ කෙරෙහි අවධානය යොමු කළ PLA, ඒවා ඉතා කුරිරු ලෙස මර්ධනය කලේය.

ට්‍රම්ප් පරිපාලනය චීනය සමග යුද්ධය සඳහා වේගවත් කරන සූදානම, මන්දගාමී ආර්ථිකය, විශේෂයෙන් තරුණයන් අතර ඉහල විරැකියාව සහ ඉහල යන සමාජ ආතතීන්ට චීන කොමියුනිස්ට් පක්ෂ තන්ත්‍රය මුහුණ දී සිටින බව සැලකිල්ලට ගත් කල, පක්ෂ සාමාජිකයන් ලෙස “විශ්වාසය භංගවීම” පිළිබඳ චෝදනා විශේෂ වැදගත්කමක් ගනී.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඉහත කාලයේ ලියූ පරිදි, 20 වන සම්මේලනයේ දී ෂී ජින් පිං ශ්‍රේෂ්ඨ නායකයෙකු ලෙස නාට්‍යකාරී අයුරින් නිරූපණය කිරීම චීන කොමියුනිස්ට් පක්ෂයේ ශක්තියේ ලකුණක් නොව එහි දුර්වලතාවයේ ලක්ෂණයකි. සෑම පෙරමුණකම වර්ධනය වන අර්බුදයක් මධ්‍යයේ, පක්ෂය එකට තබා ගැනීමට පාලන තන්ත්‍රයට අයෝමය පුද්ගලයෙකු මවා පෙන්වීම අවශ්‍ය විය.

“මන්දගාමී චීන ආර්ථිකය, ගැඹුරු සමාජ ආතතීන් සහ බීජිං සමග යුද්ධයක් කරා වොෂින්ටනයේ වේගවත් වන තල්ලුව මධ්‍යයේ පක්ෂය තුල පැතිරී ඇති භූගත කණ්ඩායම් අතර අවිනිශ්චිත ලෙස තුලනය කරමින් ෂී බොනපාට්වාදී නායකයෙකුගේ චරිතය භාර ගෙන තිබේ,” යනුවෙන් WSWS ලිවීය.

2023 දී චීනයේ න්‍යෂ්ටික අවි ගබඩාව අධීක්ෂණය කරන PLA රොකට් බලකායේ නායකත්වය, එහි අණදෙන නිලධාරී ලී යුචාඕ , ඔහුගේ නියෝජ්‍ය අණදෙන නිලධාරී ල්‍යූ ගුවැන්බින් සහ හිටපු නියෝජ්‍ය අණදෙන නිලධාරී ෂැං ෂෙන්ෂොං ඇතුළු සියලු දෙනාම ඔවුන්ගේ තනතුරු වලින් ඉවත් කර දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලදී. ලී වෙනුවට පත් කල තැනැත්තා පසු ගිය සතියේ නෙරපා හරින ලද නව දෙනා අතර වේ.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඇසුරෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top