නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: සහෝදරවරුන්ට යැවූ ලිපි – X

ජේම්ස් පී. කැනන්

පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු

15. පක්ෂ සාමාජිකයන්ට ලියූ ලිපියක්

ජේම්ස් පී. කැනන්

නිව්යෝර්ක්

1940 ජනවාරි 03

සියලු ලෝකල් සභා සහ ශාඛා වෙත.

ප්‍රිය සහෝදරවරුනි,

සෝෂලිස්ට් ඇපීල් පුවත්පත තුළ සාකච්ඡා කිරීම පිළිබඳ ගැටලුව ගැන

දැන් කලෙක සිට දේශපාලන කමිටුවේ සුළුතරය, සෝෂලිස්ට් ඇපීල් පුවත්පත ඇතුළු පක්ෂයේ ප්‍රසිද්ධ මාධ්‍යවල සිය ආස්ථානයන් ඉදිරිපත් කිරීම සඳහා බහුතරයේ ආස්ථාන සඳහා ලබා දෙන අවස්ථාවන්ට සමාන අවස්ථා ලබා දිය යුතුයැයි ඉල්ලා සිටිති. පක්ෂයේ ජාතික සමුළුවල දී හා හතරවැනි ජාත්‍යන්තරයේ සම්මේලනවල දී නියම කර ගත් වැඩ පිළිවෙලට පිළිමල්වීමේ [එකී වැඩ පිළිවෙලට එරෙහිව ඔවුන්ගේ වැඩ පිළිවෙල පිහිටුවීමේ] අයිතිය ඔවුහු ඉල්ලා සිටිති.  

දෙසැම්බර් 5 වන දින රැස්වීමේ දී බර්න්හැම් සහෝදරයා පහත දැක්වෙන යෝජනාව ඉදිරිපත් කළේය: “ෆින්ලන්ත ගැටුම පිළිබඳ නිල පක්ෂ ආස්ථානය පළ කෙරෙන එම පුවත්පත් කලාපයේ ම, සුළුතරය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව ද පළ කළ යුතුය.”

1940 පළ වූ සෝෂලිස්ට් ඇපීල් කලාපයක්

නැවත නැවතත් දේශපාලන කමිටු සාකච්ඡා තුළ දී ද, පසුකාලීනව ශාඛා රැස්වීම්වල දී පවා ද පක්ෂ සුළුතරය හා ඔවුන්ගේ ආධාරකරුවෝ, පක්ෂයේ හා ජාත්‍යන්තරයේ නිල වැඩ පිළිවෙලට එරෙහි වන පරිද්දෙන් ප්‍රසිද්ධ මාධ්‍ය තුළ වෙනත් වැඩ පිළිවෙලක් ආරක්ෂා කිරීම සාමාන්‍ය ක්‍රියා පටිපාටියකැයි ද, ඊට ඉඩ නො දීම මඟින් ස්ටැලින්වාදයේ සාරාර්ථ මත පිහිටා පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් ප්‍රතික්ෂේප කිරීම හැඟවෙතැයි ද යන මතය දරා ඇත්තාහ.

ඔවුන්ගේ න්‍යායික හා දේශපාලන ආස්ථාන තුළ දී මෙන් ම සංවිධානය පිළිබඳ මෙම සංකල්පය තුළ දී ද සුළුතරයේ නායකයෝ බෝල්ෂෙවික්වාදයේ මූලධර්ම හා සම්ප්‍රදායයන්ට ඔවුන්ගේ ඇති එදිරිවාදීකම විදහා දක්වති. “මාධ්‍ය නිදහස” ඉල්ලීමේ සටකපට ඝෝෂාව, විප්ලවවාදී මධ්‍යගතභාවයට එරෙහි සුළු ධනපති, අරාජකවාදී කැරැල්ලක් නියෝජනය කරයි.

බෝල්ෂෙවික් සංවිධාන ක්‍රමය පූර්ව සම්මේලන කාල පරිච්ඡේදයක් තුළ දී සුළුතරයකට පක්‍ෂ සාමාජිකත්වයේ සලකා බැලීම හා තීරණය කිරීම උදෙසා තම මතය නිදහස් හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට පූර්ණ අයිතිය හා පහසුකම් සලසා දෙයි. කම්කරු ව්‍යාපාරය කවදා හෝ දැන සිටි භාවිතයන් අතරින් හොඳම හා වඩාත් ම අකුටිල ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය වන අපේ ව්‍යාපාරයේ මෙම සම්ප්‍රදාය, හා නො වෙනස්ව එක සේ පැවත එන භාවිතය, වර්තමාන සාකච්ඡාව තුළ දී ද සම්පූර්ණයෙන් ම පිළිපදින ලද්දේ ය. සුළුතරය ඉදිරිපත් කළ සියලු යෝජනා හා ලිපි කිසිදු වාරණයකින් හෝ වෙනස් ලෙස සැලකීමකින් තොරව එකාබද්ධව සංස්කරණය කළ අභ්‍යන්තර බුලටීනයේ පළ කරන ලදී. එය සෑම සාමාජිකයෙකු අතට ම පත් වේ. මතභේදයට ලක් වූ ප්‍රශ්න සාකච්ඡාවට ගැනෙන සියලු ශාඛා රැස්වීම් හා සාමාජික රැස්වීම් තුළ එක සේ ම ක්‍රියාත්මක වන නීතිය වන්නේ කාලය සමානව වෙන් කර දීමයි. සුළුතරයට සාමාජිකත්වය ඇමතීම සඳහා සාධාරණ අවස්ථාවක් හිමිවීම අවහිර කිරීමට කිසිදු සීමාවක් පනවා නැත.

පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයේ දෘෂ්ටි කෝණයෙන් – එනම්, සමස්ත සාමාජිකත්වය ඇමතීමේ සාධාරණ අවස්ථාවක් ලබා ගැනීමේ දෘෂ්ටි කෝණයෙන් – කවර වර්ගයේ හෝ පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි කිසිදු පදනමක් සුළුතරයට නො මැති අතර ඔවුන් එවැනි කිසිදු පැමිණිල්ලක් වාර්තා කර නැත. ජාතික කමිටුවේ බහුතරය කටයුතු කරන්නේ පක්ෂ ව්‍යවස්ථාව හා බෝල්ෂෙවික් ව්‍යාපාරයේ සම්ප්‍රදායයන්ට අනුකූලව මෙම නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාව සහතික කිරීමට හා සුරැකීමට පමණෙකි. 

කෙසේවෙතත්, පක්ෂයේ ප්‍රසිද්ධ ප්‍රකාශන සම්බන්ධයෙන් තතු පවතින්නේ වෙනස් ආකාරයකට ය. ඉදින් අභ්‍යන්තර සාකච්ඡා තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආධිපත්‍යය දරන්නේ නම්, පක්ෂයේ ප්‍රසිද්ධ ප්‍රකාශන හා ක්‍රියාකාරීත්වයන්හි ආධිපත්‍යය දරන්නේ මධ්‍යගතවාදයයි. පක්ෂයේ ප්‍රසිද්ධ මාධ්‍ය යනු පක්ෂ කමිටුවක පාලනය යටතේ සිදු කෙරෙන සාකච්ඡාවක උපකරණ නො වන අතර ඒවාට එසේ වීමට ද නො හැකි ය. ඒවා පක්ෂයේ නිල ආස්ථානය ඉදිරිපත් කිරීම හා ආරක්ෂා කිරීම සඳහා පක්ෂය හා එහි ජාතික කමිටුව සතු උපකරණ වේ. සාකච්ඡා බුලටින තුළ විපක්ෂයට බහුතරය සමඟ සම අයිතිය ඉල්ලා සිටිය හැකිය. එහෙත් පක්ෂයේ හා හතරවැනි ජාත්‍යන්තරයේ දෘෂ්ටි කෝණය – එය සාමාජික රැස්වීමක දී හෝ සම්මේලනයක දී වෙනස් කරන තුරු – ආරක්ෂා කිරීමේ කර්තව්‍යය පක්ෂයේ නිල ප්‍රකාශන සතු ය. පක්ෂ නිල පුවත්පතේ පිටු තුළ සාකච්ඡාවක් පවත්වා ගෙන ගිය හැක්කේ ජාතික කමිටුවේ බහුතරය විසින් තහවුරු කර ඇති සීමාවන් තුළ පමණෙකි. මේ පිළිබඳ නිදර්ශනයක් මීළඟට නිකුත් කෙරෙන නිව් ඉන්ටර්නැෂනල් කලාපයේ එයි. මෙය ප්‍රතික්ෂේප කරන කවරෙකු හෝ වේවා, මධ්‍යගත විප්ලවවාදී පක්ෂයක් පිළිබඳ සමස්ත සංකල්පය ම ප්‍රතික්ෂේප කරන්නෙකි. එමෙන් ම ඔහු, බහුතරයක තීරණ සුලුතරයකට රිසි පරිදි ප්‍රසිද්ධ ප්‍රහාරයට බඳුන් කරමින් පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කරන්නෙකි.

බෝල්ෂෙවික් පක්ෂයක පවතින අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදය සහ, සියලු වර්ණවල ප්‍රතිසංස්කරණවාදී හා මාධ්‍යමික පක්ෂවල පවතින ව්‍යාජ-ප්‍රජාතන්ත්‍රවාදය අතර මූලික වෙනසක් වෙයි. නෝමන් තෝමස්ගේ සමාජවාදී පක්ෂයේ බොහෝ සේ ප්‍රචාරයක් ලබා දෙන ලද ප්‍රසිද්ධ “සාකච්ඡාවේ නිදහස”, එම පක්ෂයේ විප්ලවවාදී වාමාංශයට මුකවාඩම් දැමීමට බාධාවක් වූයේ නැත. අනෙක් අතට බෝල්ෂෙවික් පක්ෂයක පවතින නිර්ව්‍යාජ හා අකුටිල ප්‍රජාතන්ත්‍රවාදය, එක් එක් අරාජකවාදී පුද්ගලයන්ට මහජනයා ඉදිරියේ පක්ෂ වැඩ පිළිවෙල ප්‍රතික්ෂේප කිරීමේ හා එයට පහර දීමේ “නිදහස” සහතික කරන්නේ ද නැත.        

බෝල්ෂෙවික් සම්ප්‍රදාය හුරුපුරුදු හා එය භාවිතයේ යොදවන හා එය ආරක්ෂා කිරීමට ආශක්ත සහෝදරවරුන්ට මෙකී සලකා බැලීම් ප්‍රත්‍යක්ෂ ඒවා ය. වෙනස් අදහස් පැවැතිය හැක්කේ සංවිධානයේ වෙනත් සම්ප්‍රදායයන්ගෙන් අනුප්‍රාණය සොයා යන්නන්ට පමණෙකි. එහෙත් බෝල්ෂෙවික් සම්ප්‍රදායයන් පෙරළා දැමීමටත්, සිය ප්‍රකාශන හරහා මහජන ප්‍රතිවිරෝධතාවලින් තොරව කථා කිරීමට පක්ෂයට ඇති අයිතිය බිඳ දැමීමටත් සුළුතරය දරන ප්‍රයත්නය හුදු අදහස් වෙනසකට වඩා වැඩි යමකි. තමන්ගේ මත පක්ෂයේ සාමාජිකයන් අතට පත් කර තීරණය ගැනීම පක්ෂ සාමාජිකත්වයට භාර දීමෙන් සුළුතරයේ නායකයන් සෑහීමකට පත් නො වන බව පැහැදිළිව පෙනේ. පක්ෂය සිය වැඩ පිළිවෙල සම්මත කිරීමට පෙර, එය මහජනයා හමුවේ ප්‍රසිද්ධියට පත් කිරීමට ඔවුන්ට අවශ්‍ය ය.        

ඔවුන් මෙම ඉල්ලීම ඉදිරිපත් කරන බලපෑම්කාරී ස්වභාවය සැළකිල්ලට ගත් කල මෙසේ ඇසීම උචිත ය: මෙම නො ඉවසිල්ලේ ප්‍රභවය කුමක් ද? මහජනයාට ආයාචනා කිරීමට පෙර ඔවුන්ගේ ම පක්ෂයේ තීන්දුව දෙන තුරු බලා සිටීමට ඔවුන්ට නො හැක්කේ ඇයි? පැහැදිළි කිරීම මුළුමනින් ම ඉතා සරල එකකි. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදී මහජන මතය ඉදිරියේ තමන් සාධාරණීකරණය කර ගැනීමට අවශ්‍ය ය. පක්ෂ සාමාජික රැස්වීම තෙක් බලා නො සිට, සහ පක්ෂ සාමාජිකත්වය තම ආස්ථානය පිළිගනු ඇතැයි ඔවුන් පිළිබඳ විශ්වාස නො කොට, තමන්, විපක්ෂය, අප තරම් නරක නැති බව සියලු ඊස්ට්මන්ලා, හුක්ලා සහ අන්‍යයන්ට හඬ ගා කීමට ඔවුන්ට අවශ්‍ය ය. එමෙන් ම, නරක “ට්‍රොට්ස්කිවාදීන්” සිටිය දී ම, දේවල් පිළිබඳව වඩාත් සාධාරණ – හා වඩාත් ජනප්‍රිය – දැක්මක් සහිත හොඳ අය ද සිටින බව දන්වා සිටීමට ඔවුන්ට අවශ්‍ය ය.    

මෙම නිවේදනයන් සිදුකිරීමට ඇති සිය ආන්තික නො ඉවසිල්ල තුළ සුළුතරයේ නායකයෝ “ප්‍රජාතන්ත්‍රවාදය” සඳහා කෙරෙන සටකපට ඝෝෂාවෙන් පක්ෂයේ අඩු අත්දැකීම් සහිත සාමාජිකයන් හා තරුණයන් කුලප්පු කිරීමට යත්න දරති. ජාතික කමිටුව සුළුතරයේ නායකයන්ට මෙසේ පිළිතුරු දෙයි: ප්‍රජාතන්ත්‍රවාදය – පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය – යනු හරියට ම ඔබට ලැබෙන දෙයයි. එනම්, පක්ෂ සාකච්ඡා තුළ සුළුතරයට ලැබෙන පූර්ණ හා සමාන අයිතිවාසිකම්. එහෙත් එපමණකි! මෙකී මතභේද පිළිබඳව තීරණය කරනු ඇත්තේ පක්ෂයේ සාමාජිකයන් විනා මහජනයා නො වේ! ඔබ පක්ෂයේ තීන්දුව ලැබෙන තුරු බලා සිටිය යුතු ය. පක්ෂයේ තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු ඔබට මහජනයාට ආයාචනා කළ නො හැකිය.    

පක්ෂයේ ප්‍රසිද්ධ මුද්‍රිත මාධ්‍ය තුළ සුළුතරයට “සම අයිතිවාසිකම්” ඉල්ලා සිටීම යනු මධ්‍යගත පක්ෂ සංවිධානය පිළිබඳ බෝල්ෂෙවික් මූලධර්මයට එල්ල කරන ප්‍රහාරයකි. මෙය එහි සම්ප්‍රදායයන් අපයෝජනය කිරීමක් හා විකෘති කිරීමක් ද, මෙන්ශෙවිකයේ සාරාර්ථය ඔස්සේ පක්ෂයට වැරදි අධ්‍යාපනයක් ලබා දීමේ ප්‍රයත්නයක් ද වෙයි. පක්ෂයේ හා හතරවැනි ජාත්‍යන්තරයේ වැඩ පිළිවෙලට එල්ල කරන කවර හෝ ප්‍රහාරයක් කවර තත්ත්වයක් යටතේ වේවා පක්ෂයේ දේශපාලන උද්ඝෝෂණයේ ආම්පන්නය වන සෝෂලිස්ට් ඇපීල් පුවත්පතේ පළකිරීමට තමන් ඉඩ නො දෙන බව ජාතික කමිටුව නිවේදනය කරයි. ඊට පටහැනි ලෙස, සෝෂලිස්ට් ඇපීල් පුවත්පත, සාමාජික රැස්වීමක දී හෝ සම්මේලනයක දී පක්ෂ ආස්ථාන වෙනස් නො කරන තාක් කල් සියලු ප්‍රශ්න සම්බන්ධයෙන් පක්ෂ ආස්ථානය සටන්කාමී ලෙස ආරක්ෂා කිරීම සඳහා පමණක් ම කැප වනු ඇත.    

දේශපාලන කමිටුව

සමාජවාදී කම්කරු පක්ෂය

ජේ.පී. කැනන්

ජාතික ලේකම්

පෙර කොටස් බලන්න:

හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්123456-I6-II78-I8-II8-III8-IV8-V9-I9-21011-I11-II11-III12-I12-II13L1L2, L3, L4, L5, L6, L7, L8, L9

Scroll to Top