අරුණ කර්තෘ සීඅයිඩීයට කැඳවයි – මාධ්‍ය බිය ගැන්වීමේ බියගුළු ප්‍රයත්නය හෙලා දකිමු!

‘ග්‍රාම නිලධාරී සහතිකය මදි, පොලිස් වාර්තා ගන්න මහජන කමිටු ප්‍රධානීන්ගේ අනුමැතිය ඕනෑ’ යන හිසින් පළ කළ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබාදීම සඳහා ‘අරුණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

ඉහත ප්‍රවෘත්තිය සම්බන්ධ‍යෙන් ලද පැමිණිල්ලකට අදාළව කෙරෙන විමර්ශනය සඳහා පුවතට අදාළ සියලු ලේඛන සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙනුවට අත්සන් කොට ඇති එහි සහකාර පොලිස් අධිකාරීවරයා ය.

‘අරුණ’ කර්තෘ මහින්ද ඉලේපෙරුම

මෙම පුවත අසත්‍යයැයි ආරක්ෂක ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී එය වහා ප්‍රතික්ෂේප කළ නමුත් ඉන් පසුව විපක්ෂ නායකයා ඇතුළු මන්ත්‍රීවරුන් හා මාධ්‍යවේදීන් එම පුවත සත්‍ය බවට විවිධ තොරතුරු ඉදිරිපත් කර ඇත.

දැන් මෙම පුවත්පත් කතුවරයා සීඅයිඩීයට කැඳවීම මඟින් ඔහු බිය ගැන්වීමට දරන උත්සාහය අරුණ පුවත්පතට එරෙහි ප්‍රහාරයක් නොව, නිදහස් අදහස් ප්‍රකාශනයට එරෙහි ප්‍රහාරයකි. ධනපති අර්බුදයේ මුළු බර කම්කරු පීඩිත ජනයාගේ කර මත පැටවීමේ වගකීමට උර දී සිටින ජාජබ ආණ්ඩුවට කවර හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක පැවතීමට ඉඩ දිය හැකි නො වේ. මේ ප්‍රහාරයන්හි අවසාන ඉලක්කය මානා ඇත්තේ කම්කරු පන්තිය දිශාවට ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉලේපෙරුමට එවා ඇති ලිපිය

මෙම තුච්ඡ බිය ගැන්වීම හෙළා දැකීමටත්, ඊට එරෙහි වීමටත් කම්කරු පන්තිය ඇතුළු ශිෂ්‍යයන් හා තරුණ තරුණියන් ද, කලාකරුවන් ද, මාධ්‍යවෙදීන් ද, පීඩිතයන් ද පෙරට ආ යුත්තේ එබැවිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top