පරාක්‍රම කුරුප්පු විසිනි
ජාත්‍යන්තර කම්කරු පන්තිය තුළ සමාජවාදී විඥානය වර්ධනය කිරීම සඳහා කෘත්‍රිම බුද්ධියේ තාක්ෂණික ශක්‍යතාව උපයෝගී කර ගැනීමේ අරමුණින් ‘සෝෂලිස්ම් AI’ කෘත්‍රිම බුද්ධි යෙදවුම දියත් කිරීම පසුගිය දා ප්‍රකාශයට පත් කෙරින.
නොවැම්බර් 18 හා 22 දින දෙකේ බර්ලිනයේ හා ලන්ඩනයේ පැවැත්වූ ප්‍රසිද්ධ රැස්වීම දෙකක දී, ගැඹුරු වෙමින් පවතින ඇමරිකානු ධනවාදයේ අර්බුදය හා ආඥාදායකත්වයක් කරා ට්‍රම්ප් පාලනය විසින් දැරෙන ආයාසය සම්බන්ධ විශ්ලේෂණයක යෙදෙමින්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මණ්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් සහෝදරයා මේ පිළිබඳව නිවේදනය කළේය. බර්ලිනයේ හම්බෝල්ට්ඩ් සරසවියේ පැවැති රැස්වීමේ දී නෝර්ත් සහෝදරයා මෙසේ සඳහන් කළේය:

“කම්කරු පන්ති ව්‍යාපාරයේ අරමුණු හා උත්සුකයන් සඳහා කෘත්‍රිම බුද්ධියේ බලය උපයෝගී කර ගැනීමට ජාත්‍යන්තර කමිටුව පියවර ගනු ලැබ ඇති බව මා අද නිවේදනය කරන්නේ සතුටිනි. සති කිහිපයක් තුළ අපි, ජාත්‍යන්තර කම්කරු පන්තියේ සමාජවාදී විඥානය හා සංවිධානාත්මක ධාරිතාවය වර්ධනය කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය උපයෝගී කර ගන්නා විප්ලවවාදී යෙදවුමක් වන සෝෂලිස්ම් AI නිකුත් කරන්නෙමු. එය වූ කලී, එහි පරිශීලකයන්ට දේශපාලනික, ඓතිහාසික, සමාජයීය ප්‍රශ්න වේවා, සංවිධානය සහ උපායාත්මක මුල පිරීම් පිළිබඳ ගැටළු වේවා ඉදිරිපත් කොට, මාක්ස්වාදී චින්තනයේ අති දැවැන්ත කෝෂ්ඨාගාරයෙන් – ප්‍රථම කොට හා ප්‍රමුඛ කොට, ලක්ෂයකට වඩා බෙහෙවින් වැඩි ලිපි ඇතුළත් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කෝෂ්ඨාගාරයෙන් – උකහා ගනිමින් ප්‍රතිචාර දක්වන චැට්බොට් යෙදවුමකි.”
මෙම කටයුත්ත ලෝක විප්ලවය සඳහා තැබෙන යෝධ ඉදිරි පියවරක් ලෙස සලකන Socialist.lk වෙබ් අඩවියේ අපි, මෙම පියවර සම්බන්ධයෙන් අපේ සහෝදරාත්මක විප්ලවවාදී සුභාශිංසනය ලෝසවෙඅ වෙත හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව වෙත පළ කරනු කැමැත්තෙමු.
අශික්ෂිත මට්ටම් කරා නැඟුණු අසමානතාවයක හා ණය කන්දක මස්තකය අරා හිඳිමින් ලෝකයේ සම්පත්වලින් අතිමහත් වැඩි කොටසක් පොදි ගසා සිටින ධනපති පන්තිය අත ඇති තාක් කෘත්‍රිම බුද්ධිය ක්‍රියාත්මක වන්නේ කම්කරු පන්තියේ ජීවන මට්ටම් තලා දැමීමේ ආම්පන්නයක් වශයෙනි. ඔවුන් අත එය ක්‍රියාත්මක වන්නේ සාමූහික රැකියා සංහාරයේ, මර්දනයේ හා තාප න්‍යෂ්ටික ලෝක යුද්ධයක උපකරණයක් ලෙස ය.
ඊට විකල්ප ලෙස ලෝසවෙඅ විසින් දියත් කෙරෙන සෝෂලිසම් AI යෙදවුම කම්කරු පන්තිය විප්ලවවාදී අධ්‍යාපනයෙන් සන්නද්ධ කිරීමේ උපකරණයක් වනු ඇත. එය දියත් කිරීමේ තීන්දුව විසින් සනිටුහන් කෙරෙන්නේ රැකියා කප්පාදු, නැඟී එන ෆැසිස්ට්වාදී තර්ජන හා තාප න්‍යෂ්ටික යුද්ධයක අන්තරාය වශයෙන් ධනපති පන්තිය එල්ල කරන ප්‍රහාරයට එරෙහි කම්කරු පන්තියේ දැනුවත් ප්‍රතිප්‍රහාරයයි.
අප ජීවත් වන ලෝකය නිද්‍රාගත ගිණි කන්දක් වැනි ය. එහි බෑවුම්වල ශිෂ්ඨාචාරය සිය ස්මාරක ඉදිකරයි, සිය ස්ථාපිත ගොඩ නඟයි, සිය දෛනික ජීවිතය සංවිධානය කරයි. දීර්ඝ කාල පරිච්ඡේදයක් පුරා ගිණිකන්ද නිෂ්ක්‍රියව පවතී. එහෙත් එහි මතුපිටට යටින් ඉමහත් පීඩනයන් ඒකරාශී වෙමින් පවතී. මැග්මා (ද්‍රවීකෘත පාෂාණ) ඉහළ නඟී. කම්පනයන් තීව්‍ර වෙයි. අවසානයේ භූමි දර්ශනය මුළුමණින් පරිවර්තනය කරමින් විනාශකාරී බලයකින් යුතුව විදාරණය පැමිණේ.
ඩේවිඩ් නෝර්ත්
එක්සත් ජනපදයේ පන්ති අරගලයේ විදාරනය ධනේශ්වර ක්‍රමයේ කුණු වෙමින් පවතින ව්‍යුහයන් විනාශ කර දමනු ඇති නමුත්, එය නව ලෝකයක ශක්‍යතාවයට ද දොර විවෘත කරනු ඇත. කවර හමුදාවක හෝ සංස්ථාපිතයක බලයට වඩා වැඩි බලයක් සමාජ පරිපීඩනයේ පතුළින් නැඟී එනු ඇත. එනම්, සියලු වටිනාකම් නිෂ්පාදනය කරන්නා වූ, එහෙත් තත්‍ය වශයෙන් ම කිසිවකට හෝ හිමිකමක් නැති පන්තියක සාමූහික බලයයි. විද්‍යාත්මක සමාජවාදයේ හා වෛෂයික යථාර්ථය පිළිබඳ විශ්ලේෂණයේ මඟ පෙන්වීම ලබමින් මෙම බලය සවිඥානකව ක්‍රියාත්මක වන විට එය ජාතිකත්වයේ හා වාර්ගිකත්වයේ සියලු බාධක අතු ගා දමා විමුක්තිය සඳහා වූ පොදු අරගලයක් තුළ මානව වර්ගයා එක්සත් කරනු ඇත.
සෝෂලිස්ම් AIහි ඇති විපරිනාමීය විභවය පැහැදිළි කරමින් නෝර්ත් මෙසේ පැවසීය:
“විද්‍යාත්මක සමාජවාදයේ විප්ලවවාදී ඉදිරි දර්ශනය සමඟ සංයෝජනය වූ කෘත්‍රිම – එසේ නැතහොත් ආවර්ධිත – බුද්ධියේ පවතින දැවැන්ත අධ්‍යාපනික විභවය පෙර නොවූ විරූ ශක්‍යතාවයන්ට දොර විවර කරයි. කම්කරු පන්තියේ සවිඤ්ඤානකත්වය, ධනේශ්වර අර්බුදයේ වෛෂයික කොන්දේසි, කම්කරු පන්ති බලය කරා මාවත පිළිබඳ පැහැදිළි කිරේම – මේ සියල්ල, මීට ඉහත පරම්පරාවලට සිතා ගත නොහැකි ව පැවැති පරිමාණයකින් පතුරුවා හළ හැකිය.”
ප්‍රගාඪ ඓතිහාසික සමාන්තරනයන් ගෙන හැර දක්වමින් නෝර්ත් මෙසේ ද කීය:
“දහඅට වන සියවසේ දී ඩීඩ්‍රොගේ විශ්ව කෝෂය නො දැනුවත්කමේ ගිල්වා තැබුණු මහජනතාවන්ට දැනුමේ දොරටු විවෘත කිරීම මඟින්, ප්‍රංශ විප්ලවයට දායක වූ බුද්ධි ප්‍රබෝධයේ ආම්පන්නය බවට පත් වූයේ යම් සේ ද, එපරිද්දෙන් ම, යථා ලෙස වර්ධනය කරනු ලදුව හා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලනය කරනු ලදුව කෘත්‍රිම බුද්ධිය විප්ලවවාදී මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී පක්ෂය විසින් භාවිතා කෙරෙන කල්හි සහ ධනේශ්වර ලාභ ඉපැයීම වෙනුවට කම්කරු පන්තියට සේවය කිරීම සඳහා කැප කෙරෙන කල්හි, සමාජවාදී විඥානයේ උපකරණය බවට පත්වීමට එයට හැකි ය.”
සෝෂලිස්ම් AI යෙදවුම “ක්‍රමලේඛනගත කෙරෙන්නේ, ස්ථාපිත මාධ්‍ය මඟින් සකසනු ලබන පිළිතුරක් ලබා දීමට ක්‍රමලේඛගත දැනට පවතින චැට්බොට් යෙදවුම් ආකාරයට නො වන” බව නෝර්ත් අවධාරණය කළේය. ඒ වෙනුවට “එය, කම්කරු පන්තියේ දෛනික අරගල තුළ පැන නඟින තීරණාත්මක ගැටළුවලට නිරවද්‍ය හා ගැඹුරින් ගවේෂණය කරන ලද පිළිතුරක් ලබා දෙනු ඇත. එය බුද්ධිමතුන්, ශිෂ්‍යයන්, තරුණයන් විසින් අතිශය පුළුල් පරාසයක ගැටළු අළලා ඉදිරිපත් කෙරෙන ප්‍රශ්නවලට පිළිතුරු දෙනු ඇති අතර ඒවා, කම්කරු පන්තියේ උත්සුකයන් පිළිබිඹු කරන හා ඒවා ප්‍රකාශයට පත් කරන පිළිතුරු වනු ඇත.”
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2025 නොවැම්බර් 23 දින පළ වූ World Socialist Web Site to launch Socialism AI නිවේදනය ඇසුරෙනි.
ඉහත මුල් ලිපිය අවසානයේ දී ඇති ස්ථානයේ ඔබේ විද්‍යුත් තැපැල් (ඊ මේල්) ලිපිනය ඇතුළත් කිරීමෙන් SocialismAI දියත් වූ වහා ඒ පිළිබඳව දැනුම් දීමක් ඔබට ලබා ගත හැකිය.
