තාප න්‍යෂ්ඨික යුද්ධයක තර්ජනය හමුවේ කම්කරු පන්තිය ඉදිරියේ ඇති අභියෝගය  

පරාක්‍රම කුරුප්පු විසිනි

නාගසාකි න්‍යෂ්ටික පිපිරීමෙන් ජනිත බිම්මලක හැඩය ගත් වළාකුල – 1945, ඡායාරූපය අන්තර්ජාලයෙනි

2015 පෙබරවාරියේThe Bulletin of the Atomic Scientists ප්‍රකාශනයේ පළ කෙරුණු ලිපියක මාතෘකාව වූයේ; “What would happen if an 800-kiloton nuclear warhead detonated above midtown Manhattan?” (මැන්හැට්න් නගර කේන්ද්‍රයට ඉහළින් කිලෝ ටොන් 800 ක න්‍යෂ්ටික මිසයිල ශීර්ෂයක් පුපුරුවා හලහොත් කුමක් සිදුවනු ඇත්ද?) යන්නයි.

එම ලිපියේ විස්තර කෙරෙන පරිදි එවිට;

  • එහි පිපුරුම් තරංගවල හානිය උපරිම වන පරිදි සැතපුමකට මඳක් වැඩි ඉහළක අහසේ එය පුපුරා හැරියහොත්, තත්පර මිලියන දහයකින් එකක (මිලි තත්පර 0.0001 ක) කාලය තුල උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක මිලියන 200 කට (සෙල්සියස් අංශක මිලියන සියයකට) – එනම්, සූර්යයාභ්‍යන්තර උෂ්ණත්වය මෙන් 4-5 ගුණයක උෂ්ණත්වයකට – නැඟෙනු ඇත.
  • අධිතප්ත වායු ගෝලයක් නිර්මාණය වී, ආරම්භයේ දී එය පැයට සැතපුම් මිලියන ගණනක වේගයෙන් ප්‍රසාරණය වනු ඇත. එය අවට වාතය මත අධි වේගයෙන් ක්‍රියා කරන පිස්ටනයක් මෙන් ක්‍රියාත්මක වෙමින්, එකී ගිණිබෝලයේ කෙළවර දී අවට වාතය සම්පීඩනය කොට දැවැන්ත විශාලත්වයක් හා බලයක් සහිත කම්පන තරංගයක් නිර්මාණය කරනු ඇත. … 
  • ගිණි බෝලය ඊට කෙළින්ම පහළින් ඇති ව්‍යුහයන් වාෂ්ප කර දමමින්, අතිදැවැන්ත පිපුරුම් තරංගයක් හා අධිවේගී සුළං ප්‍රවාහ ඇති කර, සැතපුම් කිහිපයක් ඈතින් ඉතා ශක්තිමත්ව ඉදි කර ඇති කොන්ක්‍රීට් ව්‍යුහයන් පවා පොළොවට ම සමතලා කර දමනු ඇත. … 

පෘථිවි ගෝලය සම්බන්ධයෙන් ඇමරිකානු අධිරාජ්‍යවාදය හා ඊශ්‍රායලය, යුරෝපීය අධිරාජ්‍යවාදීන් ඇතුළු එහි අනුචරයන් සතුව පවතින සැළසුම එම පරිමාණයේ විනාශයකි. ඉරාන යුද්ධය ඒ සඳහා තැබෙන ප්‍රමුඛ පියවරක් සනිටුහන් කරයි.

ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය ආරම්භ කළ වත්මන් යුද්ධය හැම අතින් ම උච්ඡතම යුද අපරාධයකි. එසේ වන්නේ, එහි මුල් දිනයේ ම – පෙබ. 28 දා ම – පාසල් ළමුන් 170 කට අධික පිරිසක් ඝාතනය කරමින් ඇරඹුණු නිසා පමණක් නො වේ. එය, එක්සත් ජනපදයට තර්ජනයක් නො වූ රටකට එරෙහිව, එජ ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින් සිදු කළ නිසා ද නො වේ. යුද්ධයේ දී ප්‍රහාරකයන් ඇති කළ අපමණ සාපරාධී විනාශයන් නිසා ද නොවේ. එහි උච්ඡතම සාපරාධීත්වය නිර්ණය වන්නේ එය ඉහත කී සියලු අපරාධවල උල්පත හා ඒවායේ ඓක්‍යය එකී ආරම්භය තුළ ගැබ් කර ගෙන ඇති හෙයිනි.

නාසි නායකයන්ට එරෙහිව 1945-46 නියුරම්බර්ග් නඩු විභාගයේ දී පැමිණිල්ල මෙය ඉදිරිපත් කළේ මෙසේය: එය, “සාමයට එරෙහි අපරාධයකි. – සාමයට එරෙහි අපරාධයක් යනු පරමතම ජාත්‍යන්තර අපරාධයයි. එය සෙසු යුද අපරාධවලින් වෙනස් වන්නේ සියලු ජාත්‍යන්තර අපරාධවල සමස්ත දුෂ්ඨ භාවයේ ඓක්‍යය එය තමා තුළ ගැබ් කරගන්නා නිසා ය.”  

යුද්ධය ආරම්භ කිරීමට හරියට ම සති දෙකකට පෙර – පෙබරවාරි 14 වන දින – එජ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මියුනිච් ආරක්ෂක සමුළුව ඇමතීය. ඔහුගේ කථාව වෙන් වූයේ කොල්ලකාරිත්වය හා බලහත්කාරී ආධිපත්‍යතාවයට ශිෂ්ටාචාරී මෙහෙයක ඇඳුම් ආයිත්තම් අන්දවා වෙස් ගැන්වීමට ය. කොල්ලකෑම, මර්දනය හා සමූහ ඝාතන මත ගොඩ නඟා තිබූ එකී යටත් විජිත පර්යායයේ – “මහා බටහිර අධිරාජ්‍යයන්ගේ” – පරිහානිය ගැන කම්පා වූ ඔහු, යටත් විජිත තුළ අධිරාජ්‍යවාදී කෲරකම් හා සමූලඝාතනයන් සම්බන්ධයෙන් “වරදකාරී හැඟීම් හා ලජ්ජාව” බැහැර කරන්නැයි යුරෝපයට බල කළේය. එළඹෙන දිනවල තමන්ට අවශ්‍ය දේ හා අනවශ්‍ය දේ ගැන ඔහුට මනා අවබෝධයක් පැවැති සේ ය!

ඉරානයට බෝම්බ දැමීම යනු සමස්ත මහා ජනකායකට හා ශිෂ්ඨාචාරයකට එරෙහි අපරාධයකි. ඔවුන් ටෙහෙරානය, ගෝම් හා ඉස්ෆහන් වැනි නගර ඉලක්ක කරන විට ඔවුන් ඉලක්ක කරන්නේ හුදු උපරිව්‍යුහයන් පමණක් නොවේ; ඔවුන් ඉලක්ක කරන්නේ ඓතිහාසික සමාජයක ඒකරාශී වූ බුද්ධිමය, සංස්කෘතික උරුමයන් හා සමාජ ජීවිතයයි. දශ ලක්ෂ 90 ක් සිටින ජාතියක් හුදු ඛණ්ඩාංක හා “තන්ත්‍ර මාරු කිරීමේ” සටන් පාඨවලට ලඝු කිරීමේ භාෂාව අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයේ භාෂාවයි.

ලොව පුරා කම්කරු පන්තිය මේ ප්‍රචණ්ඩ ආක්‍රමණයට සක්‍රිය ලෙස විරුද්ධ විය යුතුය. ප්‍රහාර වහා නැවත්වීමට ඉල්ලා සිටිය යුතුය. සමූහ ඝාතන සහ සංස්කෘතීන් මූලෝත්පාඨනය කිරීම රාජ්‍ය ප්‍රතිපත්තියේ අංගෝපාංග ලෙස සාමාන්‍යයීකරණය කිරීමේ අධිරාජ්‍යවාදී ව්‍යාපාරය එකහෙළා ප්‍රතික්ෂේප කළ යුතුය. 

ඉරානය එක්සත් ජනපදයට කිසිදු තර්ජනයක් නො වූ බව ධනපති මාධ්‍ය තුළ පවා පුළුල්ව පිළි ගැනී ඇත. 2025 ජූනියේ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එක්සත් ජනපදය පහර දුන් දින දොළහේ යුද්ධයෙන් පසු ට්‍රම්ප් මත් නිවේදනය කළේ ඉරානයේ න්‍යෂ්ටික අවි ධාරිතාවය “සහමුලින් වනසා දැමූ” බවයි. පසුගිය පෙබ. 24 දින එජ මන්ත්‍රී මණ්ඩල දෙකේ ඒකාබද්ධ සැසිය අමතා පවත්වන ලද වාර්ෂික දේශනයේ දී ට්‍රම්ප් නැවතත් මෙය පුනරුච්ඡාරණය කළේය. දින හතරකින් ඔහුගේ මේ තක්සේරුව උඩුයටිකුරු විය. ඉරානය එක්සත් ජනපදයට “සමීපස්ථ තර්ජනයකැ”යි යන ඔහුගේ මේ නව තක්සේරුව ආරක්ෂක රහස් තොරතුරු ඒජන්සියේ (DIA) එකී තක්සේරුවට ද මුළුමනින් පටහැනි ය. DIA හි තක්සේරුව වන්නේ අන්තර් මහාද්වීපික මිසයිල ධාරිතාවයෙන් යුත් න්‍යෂ්ටික අවියක් නිපදවීමට ඉරානයට තවත් – දශක ගණනක් නො වේ නම් – අවම වශයෙන් වසර ගණනාවක් ගත වනු ඇති බවයි.

එසේ නම් මේ යුද උමතුවට හේතුව කුමක් ද?

2020 ජනාධිපතිවරණයෙන් ජෝ බයිඩන් ජය ලැබීමෙන් පසුව ඇති වූ ආණ්ඩු විරෝධී ෆැසිස්ට් කැරැල්ල සම්බන්ධ නඩුවේ ප්‍රධාන චුදිතයෙකු වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය.

රාජ්‍ය විරෝධී ෆැසිස්ට් කැරලි නායකයෙකුට ජනාධිපති ධුරයට නැඟ ගැනීමට අරමුදල් හා ආධාර දුන්නේ එක්සත් ජනපද කතිපයාධිකාරයයි. එනම්, ලෝක සම්පත්වලින් ඉතා වැඩි කොටසකට හිමිකම් කියන ප්‍රකෝටිපතීන්ගේ ස්ථරයයි. අංක 1 බිලියනපතියා වන එලන් මස්ක් ඇතුළුව, අවම වශයෙන් බිලියනපතියන් 13 දෙනෙකු ට්‍රම්ප් ආණ්ඩුවේ ප්‍රමුඛ තනතුරු සඳහා යෝජනා වූ අතර, හොවාර්ඩ් ලුට්නික්, ලින්ඩා මැක්මහොන්, ස්කොට් බෙසන්ට්, වොරන් ස්ටෙෆන්ස් හා ටොම් බරක් යන ප්‍රකෝටිපතියෝ ප්‍රධාන තනතුරු දරමින් සිටිති.

අශිෂ්ඨ අසමානතාවයක ප්‍රතිලාභීන් වන මේ කතිපයාධිකාරයේ ඉහළ ම ආදායම්ලාභී සියයට 10 පෘථිවි ගෝලයේ සම්පත්වලින් සියයට 74 ක අයිතිය දරන අතර, පහළ ආදායම්ලාභී සියයට 50 සතුව ඇත්තේ සම්පත්වලින් සියයට 2 ක ප්‍රතිශතයකි. මේ යුද්ධය බැඳී ඇත්තේ, අධි අසමානතාවයකින් යුතුව පෘථිවි ගෝලයේ සම්පත් භුක්ති විඳින මෙම ඉහළ ම ප්‍රකෝටිපතීන් ස්ථරයේ දඩයක්කාරී ආධිපත්‍යයික අරමුණු සමඟ ය.  

උපුටා ගැනීම – World Inequality Report, 2026 Executive Summary

මෙය ඔවුන්ගේ – ප්‍රකෝටිපතින්ගේ – ආණ්ඩුවයි. එම ආධිපත්‍යයික උමතුව ඔවුන්ගේ – ඔවුන්ගේ පන්තියේ – උමතුවයි.

ඉරානයට පමණක් නොව ඉරාකය, සිරියාව, රුසියාව අළලා ගත් යුද්ධ දශක ගණනාවක් පුරා සැලසුම් කර සූදානම් කළ ඒවාය. ඇමරිකානු පරිපාලනයේ ට්‍රම්ප් විරෝධීන් එල්ල කරන එකම චෝදනාව වන්නේ නිසි කල් නො බලා එය එල්ල කළ බව පමණෙකි.

මන්ත්‍රණ සභා රහස් තොරතුරු කමිටුවේ සාමාජික ඩිමොක්‍රටික් මන්ත්‍රී ජිම් හයිම්ස් පැවසූ පරිදි, “මැද පෙරදිග තවත් යුද්ධයක් දියත් කිරීමට නිසි මොහොත මෙයයැයි කියා සිටීමට දිය හැකි එකම හොඳ හේතුවක්වත් අපට අසන්නට ලැබී නැත.”    

පසුගිය පෙබරවාරි 19 වන දින – එනම්, වත්මන් යුද්ධයට දින 9 කට පෙර – හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මෙසේ ප්‍රකාශ කළේය: “එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අරමුණු – එනම්, ග්‍රහ ලෝකයේ ආධිපත්‍යය – සාමකාමීව සාක්ෂාත් කළ හැක්කක් නො වේ. එක්සත් ජනපදය සම්බන්ධයෙන් ගත් කල, ඉරානයට එරෙහි යුද්ධය යනු, චීනයට එරෙහිව ඉදිරියේ එළඹෙන ගැටුම සූදානම් කිරීමෙහි ලා අත්‍යවශ්‍ය අදියරකි.”

මේ යුද්ධයේ කේන්ද්‍රීය අභිප්‍රායය වන්නේ තමන්ගෙන් ගිලිහෙමින් පවතින ලෝක ආධිපත්‍යය ප්‍රතිස්ථාපනය කිරීමයි. ඉරාන ආක්‍රමණය එහි ප්‍රධාන පියවරකි. එහි හදිසිතම අරමුණ නම්, ඉරානයේ ඛනිජ තෙල් සම්පත් කොල්ල කෑමයි. ලෝකයේ සනාථ කරන ලද ඛනිජ තෙල් සම්පත් අතර විශාලත්වයෙන් සිව්වැන්න ඉරානය සතු ය. ස්වභාවික වායු සම්පත්වලින් විශාලත්වයෙන් දෙවැන්න හිමි වන්නේ ද ඉරානයට ය. තව ද එය, ලෝකයේ බලශක්ති පද්ධතීන්ගේ ගෙල සිර කළ හැකි, වැඩි ම මූලෝපායික වැදගත්කමකින් යුතු පටු සමුද්‍රතීර අතරෙහි ලා සැලකෙන හෝමුස් සමුද්‍ර සන්ධියේ උතුරුදිග වෙරළ තීරය පාලනය කරයි. මෙම සම්පත් පාලනයට ගැනීම සහ, ඊටත් වඩා, විරුද්ධවාදීන්ට ඒවා කරා ප්‍රවිශ්ටය අහිමි කිරීමේ හැකියාව, මැද පෙරදිග කලාපය පිළිබඳව දශක හතකට ද වඩා කාලයක් පුරා පැවැති එක්සත් ජනපද පිළිවෙතේ මූලිකතම අරමුණක් විය. මෙය අවුරුදු හැත්තෑවකට වැඩි කාලයක ඇමරිකානු අධිරාජ්‍යවාදී සැලසුම් ක්‍රියාවට නැංවීමකි. ඉරානය විසින් මෑතක කලැයි කියනු ලබන ඒ හෝ මේ ක්‍රියාවන් මීට කිසිදු සම්බන්ධයක් නැති බව පැහැදිළි ය.   

යුද්ධයේ වඩාත් පුළුල් අරමුණ වටහා ගත හැක්කේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ වඩාත් පුළුල් ගමන් පථය සැලකිල්ලට ගැනීමෙන් පමණෙකි. වෙනිසියුලානු තෙල් අල්ලා ගැනීම හා ඉරානයට පහර දීම පවතින්නේ එකම මූලෝපායක කොටස් ලෙස ය: චීනය සමඟ යුද ගැටුමකට එළඹීම සඳහා සූදානම් වීම් වස් චීනයේ ස්වාධීන කර්මාන්ත පදනමේ ගෙල සිර කිරීම එහි අරමුනයි. චීනයේ ඉහළ තාක්ෂණික නිෂ්පාදන අඩපණ කිරීම සඳහා ඒවාට අවශ්‍ය සැපයුම් අවහිර කිරීමට පසුගිය වසරවල ක්‍රියා කළ එක්සත් ජනපදය චීනයේ ජංගම දුරකථන වෙළඳපොල කඩාකප්පල් කළේය. මේ අවහිර කිරීම් තිබියදී ම චීනයට පසුගිය වසරවල වාර්තාගත වෙළඳ අතිරික්තයක් හිමි වී ඇත. මෙය චීනයේ ආර්ථික පදනමට මාරාන්තික පහරක් එල්ල කිරීම සඳහා එජ අධිරාජ්‍යවාදයේ ප්‍රයත්නය තීව්‍ර කිරීමට හේතුභූත වී ඇත. මෙම ආක්‍රමණය, සිය දෛනික දේශීය පාරිභෝජන අවශ්‍යතාවයෙන් සියයට 70 කට වඩා ආනයනය කරන චීනයේ සැපයුම් කඩාකප්පල් කිරීමට දරන උත්සාහයේ කොටසකි. ඉරානය චීනයේ බලශක්ති ආනයනවලින් සියයට 10 කට වඩා සපයන සැපයුම්කරුවා ය. එම සැපයුම් අහිමි වීම චීනයේ කාර්මික පදනමට වදින මාරක පහරක් වනු ඇත.

එක්සත් ජනපදයේ මෙම වියරුවට ඉලක්ක වී ඇත්තේ ඉරානය, චීනය, රුසියාව, කියුබාව වැනි රාජ්‍ය පමණක් නොවේ. එය සිය අනුචරයන් වන කැනඩාව, ඩෙන්මාර්කය, ස්පාඤ්ඤය හා යුරෝපා රටවල් වෙත ද එහි තර්ජනය එල්ල වූයේය.

ජනමත විචාරවලින් පෙනී යන පරිදි, මෙම ප්‍රහාරය එක්සත් ජනපදයේ ජනයා අතර දිනපතා වැඩෙන විරෝධයට ලක් වී ඇත.

මෙම යුද්ධය ලොව පුරා සියලු කම්කරුවන්ට හා පීඩිතයන්ට මාරක ප්‍රතිවිපාක දැනවීමට නියමිතය. තාප න්‍යෂ්ටික යුද්ධයක සමීපස්ථ අන්තරායයට අතිරේක ව වත්මන් යුද්ධයේ ඍජු ප්‍රතිවිපාක ලෙස පැන නැඟීමට නියමිත ඉන්ධන හිඟයට, මිළ උද්ධමනයට, කර්මාන්ත බිඳ වැටීමේ ප්‍රතිඵල ලෙස ඇති කෙරෙන රැකියා හිඟයට, සමස්ත ලෝකයේ ම කම්කරුවන්ට හා දුගීන්ට වහා මුහුණ දීමට සිදු වනු ඇත. යුද්ධයේ බර කම්කරු පීඩිතයන්ගේ කර මත පැටවීම හැර අන් විකල්පයක් මේ ධනපතියන් සතුව නැත. කම්කරු පීඩිතයන්ට මේ යුද්ධයට විරුද්ධ වීමට සියලු හේතු ඇත.

එක්සත් ජනපදයේ තන්ත්‍ර මාරුවකින් මෙම අන්තරායය වැලැක්විය හැකියැයි සිතන්නෝ වෙති. රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් පක්ෂ ද, බර්නි සැන්ඩර්ස්, සොහ්රාන් මම්දානි හා ඇලෙක්සැන්ඩ්‍රියා ඔකේසියෝ කෝර්ටෙස්(z) ඇතුළු DSA (ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන්) ද මෙම යුද්ධයේ වැඩ බෙදා ගත් හවුල්කරුවෝ වෙති. කම්කරු පන්තිය මත DSA දේශපාලන බලපෑම ක්‍රියාත්මක වන්නේ යුද විරෝධී මනෝභාවයන් කැබැලිවලට බෙදා ස්ථානීය විරෝධයන් තුළ සිර කිරීම ලෙසයි, මහජන කෝපය පෙත්සම් ව්‍යාපාරවලට, කොන්ග්‍රස් උපාමාරුවලට හා මැතිවරණ ආයාචනාවලට කොටු කර ඒවා අධිරාජ්‍යවාදයේ ද්‍රව්‍යමය පදනමට අනතුරක් නොවන තැනට ඇල් මරා දීමට කටයුතු කරන ඔවුහු, යුද්ධය සැබවින් ම නැවැත්විය හැකි ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු පැන නැඟීම, වර්ජන ව්‍යාපාර, වරාය අවරෝධනයන් වැනි සැබෑ කම්කරු පන්ති මැදිහත්වීම්වලින් පාලක පන්තිය බේරා ගැනීම සිය කාර්යභාරය කර ගෙන සිටිති.

ලොව පුරා කම්කරු පන්තිය මේ ධනපති යුද්ධය විසින් ජනනය කෙරෙන බරට කර ගැසීම ප්‍රතික්ෂේප කළ යුතුය. යුද්ධය නිසා ඉහළ යන ප්‍රවාහන හා බලශක්ති පිරිවැය කම්කරුවන්ගේ කර මත තැබීමට ධනපතියන්ට මොන ම අයිතියක් හෝ නැත. ඊට ඉඩ දිය යුතු නැත. යුද්ධය විසින් ජනිත අර්බුද මධ්‍යයේ අධ්‍යාපන සෞඛ්‍ය සේවාවලට අත තැබීමට ධනපති ආණ්ඩුවලට ඉඩ දිය යුතු නැත. යුද්ධය හමුවේ ‘ජාතික’ දුෂ්කරතාවලට කර ගැසීමට කම්කරුවන්ට කියා සිටීමේ කිසිදු අයිතියක් ධනපති ආණ්ඩුවට නැත. මෙම යුද්ධයේ කවර හෝ ‘ජාතික’ ප්‍රතිලාභයක් වේවා, අලාභයක් වේවා, ඒ දෙක ම පාවිච්චි කෙරෙනු ඇත්තේ කම්කරු පන්තියට එරෙහිව ය. මේ සම්බන්ධ ආස්ථානයක් ගැනීම හා ඊට එරෙහිව ස්වාධීන ව සංවිධානය වීම ලෝක කම්කරු පන්තියේ හා පීඩිතයන්ගේ වගකීමක් හා අවශ්‍යතාවයක් වේ. 

වත්මන් යුද්ධයට එරෙහි විරෝධතා

කම්කරුවන් මෙම යුද්ධය වහා අවසන් කරන ලෙස ඉල්ලා සිටිය යුතුය. යුද්ධය වහා නවත්වන ලෙස ඉල්ලා සිටිමින් කම්හල්, වැඩබිම්, පාසල් හා නිවහන් ප්‍රදේශවල රැස්වීම්, පා ගමන් හා උද්ඝෝෂණ සංවිධානය කළ යුතුය. ගාසා ජනඝාතනය වහා නැවැත්වීමට ඉල්ලා සිටිය යුතුය. දරුවන් හා නිරායුධ මිනිසුන් ඝාතනය කරන, ඔවුන්ට ආහාර හා ජලය අවහිර කර මරා දමන සියලු යුද අපරාධකරුවන්ට දඬුවම් පැමිණවීමට සටන් වැදිය යුතුය. ඒ සඳහා කම්කරුවන්ගේ ස්වාධීන යුද විරෝධී සංවිධාන ගොඩ නඟා ගත යුතුය. මෙම අරගලයට සෙසු පීඩිතයන්ගේ සහාය ගොනු කර ගත යුතුය.

මෙය, යුද්ධය වැළක්වීමේ සැබෑ ධාරිතාවය සහිත පන්තිය වන කම්කරු පන්තිය කරලියට කැඳවීමේ හා ඔවුන්ගේ ජාත්‍යන්තර එකමුතුව සඳහා සටන් වැදීමේ ප්‍රථම පියවර වනු ඇත. ලෝක තාප න්‍යෂ්ටික යුද්ධයක විනාශයේ තර්ජනයට මුහුණ දිය හැකි එකම ප්‍රායෝගික ක්‍රමය වන්නේ මෙයයි.

ආශ්‍රිත ලිපි:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top