ග්ලාස්ටන්බරි උළෙලේ ප්‍රකට වූ පලස්තීනය සම්බන්ධ විරෝධතා ආස්ථානය සහ කම්කරු පන්තියේ හා තරුණයන්ගේ රැඩිකලීකරණය

තෝමස් ස්ක්‍රිප්ස් විසිනි

පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු

මෙම ලිපිය ඊයේ (ජූනි 30 දින) ‘Glastonbury’s defiant stand for Palestine and the radicalisation of the working class and youth’යන මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඉංග්‍රීසි පිටුවේ පළ වූ ලිපියෙහි සිංහල පරිවර්තනයයි.

නිල දේශපාලනයේ හා මාධ්‍යවලින් පාලනය කෙරෙන මතයේ පිට කටුව පුපුරුවා දමමින් මහජන මතය මතුපිටට විදාරණය වන අවස්ථා තිබේ. පසුගිය (ජූනි 28) ශනිදා සන්ධ්‍යාවේ එක්සත් රාජධානියේ ග්ලාස්ටන්බරි සංගීත සැණකෙළිය එවැනි එක් අවස්ථාවකි.

ලෝකයේ, රංගභූමි නොවන විවෘත පිටියක පැවැත්වෙන විශාලතම විවෘත සංගීත හා කළා උළෙල වන්නේ, නරඹන්නන් 210,000 ක ධාරිතාවයකින් යුත් මෙම ප්‍රසංගයයි. මෙම උළෙලට පූර්වයෙන් ගෙවී ගිය දිනවල දී මාධ්‍ය අවකාශය පිරී ගියේ, Kneecap (නීකැප්) නම් අයිරිෂ් රැප් ගායක ත්‍රිත්වය උළෙලේ ලැයිස්තුවෙන් කපා හරින ලෙස කොළම් රචකයන් හා දේශපාලකයන් විසින් කෙරුණු ඉල්ලීම් වලිනි. ඔවුන්ට සැණකෙළියේ ගැයීමට ඉඩ නො දිය යුතු බවට බ්‍රිතාන්‍යයේ ලේබර් අගමැති කියර් ස්ටාමර් ද සන් පුවත්පත අමතා පැවසීමත් සමඟ මෙම තතු කුළු ගැන්වින. මෙම සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන ලියම් ඔග් ඔ හැනර් (වේදිකාවේ දී ඔහු හැඳින්වෙන්නේ මෝ චාරා ලෙසය) වෙත ත්‍රස්තවාදය සම්බන්ධ ගොතන ලද චෝදනා එල්ල කෙරී ඇත. ඊට හේතු වී ඇත්තේ, කණ්ඩායම දරන පලස්තීනයට පක්‍ෂපාතී ආස්ථානයන්ට දැවැන්ත මහජන සහායයක් හිමි වේයැයි ධනපති මහජන මතයේ භාරකරුවන් කණස්සල්ලට පත්ව සිටීමයි.       

අවසානයේ එය ඔවුන් බිය වූ තතුවලට ද වඩා නරක තත්ත්වයක් උදා කළේය.

එංගලන්තයේ සමර්සෙට්හි වර්දි ෆාම්හි 2025 ජූනි 28 වන ශනිදා පැවැති ග්ලාස්ටන්බරි උළෙලේ දී ප්‍රාසාංගික ගායනයක යෙදෙන Kneecap හිප්හොප් ත්‍රිත්වය [AP Photo/Scott A Garfitt/Invision]

බීබීසී නිෂ්පාදකයෝ Kneecap ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම සජීවීව විකාශනය නො කිරීමේ බියගුළු තීරණයට එළැඹ ගත්හ. ඒ වෙනුවට එම කොටස කපා හරිමින්  ඔවුහු ලන්ඩනයේ පන්ක් රොක් ගායක යුග්මයක් වන බොබ් වයිලන් කරා යොමු වූ අතර, ඔවුහු වහා “පලස්තීනයට නිදහස, නිදහස” හා “IDFහට (Israel Defense Forces – ඊශ්‍රායල ආරක්ෂක හමුදා) මරණය, මරණය” යනුවෙන් ගැයීමට වන්හ. ඊශ්‍රායලයේ සන්නද්ධ හමුදා ආක්‍රමණකාරී හා ජනඝාතක සාපරාධී යුද්ධයක් දියත් කර ඇති අයුරු පිළිකුලෙන් හා ක්‍රෝධයෙන් යුතුව බලා සිටි තරුණ ජනයාගෙන් ප්‍රධාන කොට සමන්විත වූ ප්‍රේක්ෂක සමූහය දහස් ගණනින් ඊට ප්‍රතිචාර දැක්වූවෝ ය.

වයිලන්, “පලස්තීන ජනයා වෙනුවෙන් හා ඊශ්‍රායලය ද, එක්සත් රාජධානිය ද, එක්සත් ජනපදය ද, බටහිර ලෝකයේ වැඩි කොටස ද දුස්සහාය දෙන අපරාධවලට එරෙහිව කථා කිරීමට වේදිකාව අහිමි වී ඇති” ජනයාට එම ඛණ්ඩය කැප කළෝය.

පැයකට පසුව, Amyl and the Sniffers නම් ඕස්ට්‍රේලියානු (පන්ක් රොක්) කණ්ඩායමේ ඇමි ටේලර්, “මා සිතන්නේ පලස්තීනයේ ජනයා පිළිබඳව ය”යි සඳහන් කරමින්, ඔස්ට්‍ර්ලියාවේ හා එක්සත් රාජධානියේ ලේබර් ආණ්ඩු ‘මෙලෝ දෙයක් නො කරතැ’යි අවමානාත්මක ව පැවසීය.

ඊට ඉහත දිනයේ අයිරිෂ් ජාතික පොප් ගායිකා CMAT සිය ගායනා නිම කළේ “පලස්තීනයට නිදහස, නිදහස” යැයි උසුරුවමිනි. ඩබ්ලින්හි ඉන්හේලර් සංගීත කණ්ඩායමේ එලිජා හෙව්සන්, “පලස්තීනයේ ජනයාට, ඇතැම් උන්මත්තකයන් උදෙසා හාමතයට හෝ බෝම්බ ප්‍රහාරවලට ලක් කෙරෙන ඕනෑම අහිංසක ජනතාවකට” එක් ගීයක් කැප කළේය. Rizzle Kicks කණ්ඩායමේ ජෝර්ඩන් ස්ටෙෆාන්ස් සාම්ප්‍රදායික කෙෆියා හිස් ආවරණ පැළඳ පලස්තීන ධජයක් රැගෙන සිටි සිය මව වේදිකාවට කැඳවීය.

මේ සෑම අවස්ථාවක දී ම රැස්ව සිටි ජනයාගේ ප්‍රතිචාරය දැවැන්ත එකක් විය.

Kneecap ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම ග්ලාස්ටන්බරිහි දසදහස් ගණන් ජනයා නැරැඹු අතර, නරඹන්නන් පිරී ඉතිරී යන කල වෙස්ට් හෝල්ට්ස් වේදිකාව අවට ප්‍රදේශය වසා දැමීමට සංවිධායකයන්ට සිදු විය. තවත් දශ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එය බීබීසී අයි-ප්ලේයරයෙන් (අයි-ෆෝන් සඳහා වූ යෙදවුමකි) නරඹනු ඇත. 

මෙම ත්‍රිත්වයට මෙම ප්‍රේක්ෂක ගණය උපයා දෙන ලද්දේ හුදු ඔවුන් විසින් ගන්නා ලද සප්‍රතිපත්තික ආස්ථානය විසින් පමණක් නො වේ; අඟලක් හෝ ආපසු නො දෙන, ආපස්සට එක් පියවරක් හෝ නො ගන්නා, ඔවුන්ගේ විරෝධාකල්පික ලීලාව ද ඊට හේතු විය.

සෙනසුරාදා ප්‍රසංගය ඉදිරිපත් කෙරුනේ එම ජීවගුණය තුළ ය. ප්‍රසංගය ආරම්භයේ දී විවිධ පුද්ගලයන් සංගීත කණ්ඩායම හෙළා දකින හා ඔවුන් වාරණය කළ යුතු බව ප්‍රකාශ කරන වීඩියෝ ප්‍රදර්ශනය කෙරෙන විට අවඥාසහගත හූ හඬක් රැව් පිළිරැව් දුන්නේය. කණ්ඩායමේ සාමාජිකයන් තිදෙනා පැමිනුණේ ඉමහත් ප්‍රීති ඝෝෂාවක් මධ්‍යයේ ය. “ග්ලාස්ටන්බරි, මම නිදහස් මිනිහෙක් වෙමැ”යි මෝ චාරා නිවේදනය කළ අතර, රැස්ව සිටි ප්‍රේක්ෂකයෝ “මෝ චාරා නිදහස් කරනු!”යැයි ඝෝෂා කළෝය.     

නො නැවතුනු අත්පොළසන් නාදයක් මධ්‍යයේ නොයීසි ඔ’කැරියාලාන් (මොග්ලායි බප්) බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ කුරිරු මර්දනකාරී ඉතිහාසය පිළිබඳව සඳහන් කළේය: “එය බ්‍රිතාන්‍ය අධිකරණ පද්ධතිය යටතේ අයිරිෂ් මිනිසෙකු සම්බන්ධයෙන් යුක්තිය ගබ්සා වූ ප්‍රථම අවස්ථාව නො වේ.”

ඊළඟ නඩු දිනය යෙදී ඇති අගෝස්තු 20 වන දින පිටත සිට විරෝධතා දක්වන ලෙස කැඳවුම් කළ ඔහු වැඩිදුරටත් පැවසුවේ, “වඩාත් වැදගත් වන්නේ පලස්තීනයට සහාය දීම” බවයි. “මක්නිසාද යත්, මේ සියල්ල ඒ වෙනුවෙනි.”   

රැස්ව සිටි ජනයා අමතා මෝ චාරා, “ඊශ්‍රායලය යුද අපරාධ කරුවෝ වෙති. මෙය අමු ම අමු ජනඝාතනයකි,”යැයි කීය. සංගීත කණ්ඩායම, “Kneecap වෙනුවෙන්, පලස්තීනය වෙනුවෙන් හා හුදු සත්‍යය ම වෙනුවෙන් පෙනීසිටීම” සම්බන්ධයෙන් ප්‍රේක්ෂාගාරයට ස්තුති කළෝය. මේ සියල්ල ප්‍රකාශ කෙරුණේ, සමුදුරක් සේ රළ නැංවූ සිය ගණන් පලස්තීන ධජ සමූහයක අබියස ය. “බීබීසීයේ කිසියම් සංස්කාරකවරයෙකුට බර වැඩක් පැවරෙනු ඇතැ”යි මෝ චාරා සමච්චල් කළේය.

මෙම උතුරා යන සහයෝගයේ වැදගත්කම මොග්ලායි මෙසේ සංක්‍ෂිප්තව දැක්වීය: “පලස්තීන ව්‍යාපාරය කුඩා බවත්, බහුතරය එයට ආධාර නො කරන බවත් අප ලවා සිතවන්නට ඔවුන්ට අවශ්‍ය ය, එහෙත් බහුතරය වන්නේ අපයි.”

එපමණක් නො වේ, කම්කරු පන්ති බහුතරයත්, පාලක පන්තිය, ඔවුන්ගේ මාධ්‍ය හා ඔවුන්ගේ ආණ්ඩුත් අතර ඇති සතුරුකමේ අගාධය දැවැන්ත එකකි. “පලස්තීනයට නිදහස!” යන හඬ නැඟීමේ හැඟීම්වල ශක්තියට අභියෝග කළ එකම හඬ වූයේ, “කෙයර් ස්ටාමර්, මකබෑ වෙයං!” යනුවෙන් යළියලිත් කළ කෑ ගැසීම පමණෙකි.    

මෙම සමාජ විරුද්ධත්වය අතිප්‍රමුඛ ලෙස දකුණෙන් නැඟෙන්නක් ලෙස ඉදිරිපත් කිරීමට මාධ්‍ය හා දේශපාලනඥයෝ කළ හැකි සියල්ල කරමින් සිටිති. එහි අරමුණ වන්නේ තමන් විසින් ජාතිකවාදය ප්‍රවර්ධනය කරනු ලැබීමට හා සංක්‍රමණික විරෝධී අථිති භීතිකාවට (ආගන්තුකයන් පිළිබඳව ඇති භීතිකාව) ක්ෂමාවට කරුණක් ලෙස එය ඉදිරිපත් කිරීමයි. මේ අතරතුර ලැබූ ග්ලාස්ටන්බරි අත්දැකීම යථාර්ථයේ තවත් යථා නිරූපණයකි. ජනගහණයේ අතිමහත් බහුතරය, විශේෂයෙන් ම තරුණ ජනයා, තියුණු ලෙස වමට හැරෙමින් සිටින අතර, වඩාත් ම සිතන මතන හා සප්‍රතිපත්තික කලාකරුවන් විසින් එම වමට හැරීම ප්‍රකාශයට පත් කෙරේ.

මෙය ගෝලීය සංසිද්ධියකි. Kneecap කණ්ඩායමට එරෙහි දඩයම පළමුවෙන් ම උසි ගන්වන ලද්දා වූ ඇමරිකානු කොචෙලා උළෙලේ දී ඔවුන් ලද පිළිගැනීමෙන් ද, ට්‍රම්ප්ට එරෙහිව දශ ලක්ෂ සංඛ්‍යාත ජනයා විරෝධය දැක්වූ “රජුන් එපා” විරෝධයෙන් ද එය සනාථ විය.

තව ද, කම්කරු පන්තිය හා එහි වඩාත් තරුණ පරපුර වහා රැඩිකලීකරණය වෙමින් සිටිති. මීට පෙර ග්ලාස්ටන්බරිහි ඇති වූ ප්‍රධාන දේශපාලන ව්‍යාපාරය වූයේ, 2017 දී “ඕ, ජෙරමි කෝබින්” යනුවෙන් හඬ නඟමින් නැඟී සිටි, ටෝරීන්ට (කොන්සර්වේටිව්වරුන්), ලේබර් පාක්ෂික දක්ෂිණාංශයට හා විශේෂයෙන් ම යටත් විජිත පන්නයේ ප්‍රචණ්ඩත්වයට හා යුද්ධයට විරුද්ධව අරගලයකට කෝබින් නායකත්වය දෙතැයි අපේක්ෂා කළ, කම්කරුවන්ගේ හා තරුණ ජනයාගේ, වමට වන නැඹුරුවක ආරම්භක අවධීන් ප්‍රකාශයට පත් කළ ව්‍යාපාරයයි.

එහෙත් එදා සිට ගෙවී ගිය අවුරුදු – පාලක ප්‍රභූව ජනඝාතනයකට විවෘතව අනුග්‍රහය දැක්වීම, යුරෝපය තුළ න්‍යෂ්ටික ආයුධවලින් සන්නද්ධ බලවතුන් අතර යුද්ධය ඇවිළී යාම, වසංගතය සම්බන්ධයෙන් අනුගමනය කෙරුණු සමූහ ඝාතක පිළිවෙත, සහ තවත් දේ – බහුජන විඥානය මත සිය මුද්‍රාව තබා ඇත. කෝබින්වාදය සැලකිය යුතු ලෙස අපකීර්තියට පත් වී ඇත. ඒ, අන් සියල්ලටමත් වඩා, දශ ලක්ෂ සංඛ්‍යාත ජනයා අපරාධකරුවන් බවට නිවේදනය කිරීම සාධාරණීකරණය කිරීමට දැන් යොදා ගැනෙමින් තිබෙන “වාම ප්‍රතියුදෙව්වාදය”ට එහි යටත්වීම මඟිනි.  

ග්ලාස්ටන්බරිහි දී ප්‍රදර්ශනය කෙරුණු උග්‍ර සම්මුති විරහිත අධිරාජ්‍ය විරෝධී හා ලේබර් පක්ෂ විරෝධී මනෝභාවයන්, ප්‍රතිසංස්කරණවාදී සූරූපතාවලින් ද, ආචාරශීලී ආයාචනයන්ගෙන් සහ කෝබින්ගේ අනෙක්-කම්මුලත්-හරවනු වර්ගයේ සාමවාදයෙන් ද සංසිඳුවීමට නො හැකි වනු ඇත. “සියලු දෙනාට කෙළවා දැමූවන් කවුරුන්දැයි” සියල්ලන්ට “මතක තිබෙනු” ඇති බවටත්, “ඉතිහාසයට ද එය අමතක නො වන බව”ටත් මෝ චාරා ප්‍රතිඥා දෙන විට පිරිස නැවත වරක් ඝෝෂා නැංවූහ.      

එමෙන් ම මෙම මනෝභාවය ස්ටාමර්ට බිය ගැන්විය හැක්කක් ද නො වේ. ලේබර් ආණ්ඩුව අර්බුද ග්‍රස්තව සිටී. එය එකක් පසුපස එකක් පොලිස් රාජ්‍ය ප්‍රහාර එල්ල කරමින්, ඒ සෑම අවස්ථාවක ම වඩවඩාත් විශාල බහුජන ප්‍රතිප්‍රහාරයක් සඳහා ඇරයුම් කරමින් සිටී. ඩීජේ ප්‍රෝවායි “අප සියල්ලන් පලස්තීන ක්‍රියාකාරීන්” සංවිධානයේ කමිසයක් එළි දැක්වීම පිළිගනු ලැබුවේ තවත් ප්‍රීතිඝෝෂා නැංවීමකිනි. මෙම එළි දැක්වීම සිදු කරන ලද්දේ එකී සංවිධානය තහනම් සංවිධානයක් බවට පත් කරමින්, එහි සාමාජිකයන්ට සහාය පළ කිරීම පවා “ත්‍රස්තවාදී” ලෙස නම් කර නීති විරෝධී කිරීමට පෙරාතුව ය.

ස්ටාමර් ආණ්ඩුව ද, එහි ජාත්‍යන්තර අනුචරයන් ද ජනගහණයේ බහුතරයේ අභිමතය තහනම් කිරීමේ අභිප්‍රායෙන් කටයුතු කරන බවත්, මංමුළා සහගත ලෙස හුදෙකලා වී සිටින්නේ ඔවුන් බවත් අන් කවරදාටත් වඩා නිසැක වෙමින් පවතී.

ඔවුන්ට ද එය දැනේ. පරම සියොන්වාදී ඉදිරි පෙළ මන්ත්‍රීවරයෙකු වන වෙස් ස්ට්‍රීටිං, ඉරිදා උදෑසන ස්කයි නිව්ස් සමඟ සම්මුඛ සාකච්ඡාවක යෙදෙමින් අසාමාන්‍ය කුලෑටි ආකාරයකින් පෙනී සිටියේය. 

මාස කිහිපයකට ඉහත දී නම්, ග්ලාස්ටන්බරි සිදුවීම් සම්බන්ධ ප්‍රශ්නයක්, ඊශ්‍රායල රජයේ විරුද්ධවාදීන්ට එරෙහි දක්ෂිණාංශික ආක්‍රෝශ පරිභව වර්ෂාවක් ඔහුගේ මුවට නංවනු ඇත. එහෙත් මහජන මතයේ තුලනය කුමක්දැයි දන්නා ස්ට්‍රීටිං, එම විෂයය පිළිබඳව කාලය වැය කිරීමෙන් “වැඩිමනත් සතුටක්” නො ලැබීමට ඉටා ගත්තේය. “ඊශ්‍රායල තානාපති කාර්යාලය අමතා, ඔබේ ම නිවස පිළිවෙලට සකසා ගන්නා” ලෙස කිව යුතුයැයි ඔහුට ද හැඟී තිබිණ.    

මේ කිසිවක් ස්ට්‍රීටිංගේ ජනඝාතනවාදී දේශපාලනයේ කිසිවක් හෝ වෙනස් නො කරයි.

ගාසාවේ ජනඝාතනයට හා ඊශ්‍රායලයේ අධිරාජ්‍යවාදී ආධාරකරුවන්ට විරුද්ධත්වය දක්වන්නන් මුහුණ පාන ලොකු ම අවහිරය වන්නේ, යුද විරෝධී හා පලස්තීන ව්‍යාපාරවල වර්තමාන දේශපාලන නායකත්වය සහ, කම්කරු පන්තිය තුළ විකල්පයක් පිළිබඳව පැහැදිළි අවබෝධයක් නො පැවතීමේ කරුණයි. බහුජන දේශපාලන මනෝභාවය කෝබින්, බර්නි සැන්ඩර්ස් හා ලෝකය පුරා එවැනි දේශපාලන චරිතවලට වඩා අතිශයින් වමට ගිය එකකි. එහෙත් ඔවුන් ඉක්මවා යාමට නම් එය උචිත වැඩ පිළිවෙලක් – එනම්, ඩවුනිං වීදියේ හා ධවල මන්දිරයේ හා යුරෝපයේ සියලු අගනගරවල අධිරාජ්‍යවාදී අපරාධකරුවන් පරාජය කිරීමට ප්‍රමාණවත් ලෙස ශක්තිමත් එකම සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුළු ගැන්වීමට සමත්; ජනඝාතනයට, යුද්ධයට එරෙහි විප්ලවවාදී සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයක වැඩ පිළිවෙලක් – වර්ධනය කළ යුතුය. එය එසේ කරනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top