නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: සහෝදරවරුන්ට යැවූ ලිපි – II

ජේම්ස් පී. කැනන්

පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු

2. ජෝසෆ් හැන්සන්ට යැවූ ලිපියක් [11]

නිව්යෝර්ක්,

1939 ඔක්තෝබර් 24

ප්‍රිය ජෝ,

සෝවියට් රාජ්‍යයේ ස්වභාවය පිළිබඳ දෙවැනි ලිපිය [12] මට ලැබිණි. පළකිරීම සඳහා මම එය කමිටුව වෙත එවමි. එය සහෝදරවරුන්ට කරදර කරමින් තිබූ සංයුක්ත ප්‍රශ්න බොහොමයකට පිළිතුරු සපයයි. සමස්ත ප්‍රශ්නය සම්බන්ධයෙන් සැබැවින් ම පැහැදිළි කර ගැනීමට යත්න දරනා තාක් දුරට, පැහැදිළි කර ගැනීමෙහි ලා එය භෞතික වශයෙන් ආධාරකාරී වනු ඇත.    

ජෝසෆ් හැන්සන්

ඔබ පිටත්ව ගිය තැන් පටන් අභ්‍යන්තර තත්ත්වය තියුණු ලෙස හැරී ඇත. මතභේදයට ලක් වී ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් මෙහි – නිව්යෝර්ක්හි – පැවැති සාමාජික රැස්වීම් දෙක, ඉතා උණුසුම් ඒවා විය. පක්ෂය තුළ කණ්ඩායම්වාදී වැඩ කටයුතු සෑහෙන තරමකින් සිදුවෙමින් පවතින බව දැන් නිසැක ය. දැන් එය සෑහෙන ප්‍රචණ්ඩ ආකාරයකින් එළිමහනට එමින් පවතී.

දේදුණු වර්ණ ගත් කාණ්ඩයක් අපට එරෙහිව සිටිති. රාජ්‍යය පිළිබඳ මාක්ස්වාදී න්‍යාය සංශෝධනය කිරීමට අවශ්‍ය අයත්, මෙම නො වැදගත් නො වන කාරණයේ දී චිරස්ථාපිත ආස්ථානය පවත්වා ගැනීමට කැමැති අයත් එයට ඇතුළත් වෙති; සෝවියට් සංගමය පිළිබඳ ප්‍රශ්නයේ දී, අවංක පරාජකවාදීහු ද, කොන්දේසි විරහිතව සෝවියට් සංගමය ආරක්ෂා කරන්නෝ ද එයට ඇතුළත් වෙති; තව ද, බෝල්ෂෙවික්වාදයේ හා ස්ටැලින්වාදයේ අනන්‍යතාව ප්‍රතික්ෂේප කරන අය ද, ස්ටැලින්වාදය යනු, ඒ හෝ මේ ආකාරයෙන්, සංවිධානයේ විෂය පථය තුළ බෝල්ෂෙවික්වාදයේ ම තාර්කික ප්‍රතිඵලයයැයි සිතන්නෝ ද ඊට ඇතුළත් වෙති. මෙහි අවසානයට සඳහන් කළ ගැටලුව දැනටමත්, පක්ෂ “තන්ත්‍රය”ට එරෙහිව කණ්ඩායම්වාදී එදිරිවාදුකම් ජනනය කරන ඉමහත් ගාමක බලයක් ලෙස තමන් තහවුරු කර ගෙන සිටී. ඇසකින් අඩක් පමණක් හැර බැලීමෙන් වුව කෙනෙකුට පක්ෂයේ නිව්යෝර්ක් ශාඛාව තුළ සැඟවී ඇති – හෝ එතරම් හොඳින් සැඟවීමට නො හැකි වූ – සවරින්වාදය යහමින් පවතින බව පහසුවෙන් දැක ගත හැක.     

තව ද, මෙම දේදුණු කාණ්ඩයට සහයෝගය දෙන්නන්ගෙන් සියයට 50 කට නො අඩු පිරිසක්, සෝවියට් සංගමය පිළිබඳ ප්‍රශ්නයේ දී, සිය හැඟීම්වලින් සම්පූර්ණයෙන් ම පරාජකවාදීන් බව තථ්‍ය කරුණකි. සාමාජික රැස්වීම්වල දී සභා ශාලාව තුළින් සිදු කළ කථා පැහැදිළිව ම මෙය පෙන්නුම් කළේය. කෙසේවෙතත්, පවතින මේ තතු, ඒකාබද්ධ විපක්ෂය තුළ දෘඩ සහයෝගීතාවය ප්‍රකාශ කර සිටීමටත්, “ගතානුගතික” බහුතරයට එරෙහිව මුළු ප්‍රහාරක බලය යෙදවීමටත් අපේ මිත්‍ර ෂැට්මන් හා ඇබරන්ට බාධාවක් වී නැත. මා කී පරිදි, නිව්යෝර්ක්හි දී මතභේදය මුළ පටන් ම අත්‍යන්ත ප්‍රචණ්ඩ හැරීමක් ගෙන ඇත. රටෙහි සෙසු පෙදෙස්වල තත්ත්වය සම්බන්ධයෙන් ගත් කල, මේ දක්වා මට කිසිවක් හෝ අසන්නට ලැබී නැත.

ඉහත මා ඔබට ලබා දී ඇත්තේ, නිව්යෝර්ක්හි තත්ත්වය පිළිබඳව මගේ සුපුරුදු සංයමයෙන් හා මධ්‍යස්ථ භාවයෙන් යුතු හුදු කටු සටහනක් පමණෙකි. ඇතැම්විට, ලෝක අර්බුදය බුද්ධිමතුන් මත ඇති කරන විනාශකාරී බලපෑම විසින්, නිව්යෝර්ක් ශාඛාවේ බඳු සමාජ සංයුතියකින් යුත් පක්ෂ ශාඛාවක් තුළ සවරින්වාදී ප්‍රතික්‍රියා ඇති කිරීම පුදුමයට කරුණක් නො වන්නට පුළුවන. කෙසේවෙතත්, මෙම කණගාටුදායක රෝගී තත්ත්වය එක්සත් නායකත්වයක් මඟින් පොර බැදීමට නො හැකි වීම යම්තාක් දුරකට නො ගැළපෙන්නකි.    

අර්බුදකාරී මොහොතක නිව්යෝර්ක් ශාඛාවේ සමාජ සංයුතියෙන් මතු විය හැකි අනතුරු පිළිබඳව අප පමණට වඩා නො ගැඹුරු හා සෑහීමකට පත් දෘෂ්ටියක් දැරූ බව මා පිළිගත යුතුය. දැන් එය හිස මත හෙලන ලද පහරක් නො වේ නම්, නාසයට ම හෙලූ නින්දාශීලී තට්ටුවක් ලෙස පැමිණ ඇත. එය, පක්ෂයේ සමාජ සංයුතිය පිළිබඳව ඕ’බ්‍රයන්ගේ ලිපිය [13] සම්මේලනයට පෙර ඍජු අවධානයට යොමු කිරීමට අප අසමත්වීම වෙනුවෙන් ගෙවූ වන්දියක් ලෙස වුව හැඳින්විය හැකිය. එම වයෝවෘද්ධයාට දැන් සම්පූර්ණයෙන් යුක්තියුක්ත ලෙස අපට මෙසේ කිව හැකිය: “මම මෙය ඔබට කීවෙමි.”

සමස්ත තත්ත්වය තුළ පුපුරා නො ගිය බිම් බෝම්බ සේ සැඟව ගත් ගැඹුරු හා මූලික මතභේද එසේ ම පැවතීමේ පිරිවැය දරා ගනිමින්, නැවත වරක් පක්ෂය මුදුනේ ඇති කර ගනු ලැබෙන සමාදානයක් හා සම්මුතියක් තුළින් අපට පක්ෂයේ තියුණු අරගලයක් වළකා මඟ හැර යා හැකි ද? දීර්ඝ කාලයක් පුරා අඩුවැඩි වශයෙන් නිත්‍ය ලෙස ම පාහේ අප අනුයන ලද මාවත වූයේ එයයි. එසේ නැතහොත්, ඍජු හා අසංදිග්ධ දේශපාලන අරගලයක් මඟින් තත්ත්වය පිළිබඳ යම් පැහැදිළිකමකට එළැඹෙමින් බෙදුම් රේඛා තියුණු ලෙස සටහන් කිරීම අත්‍යවශ්‍ය වී ඇත් ද?

මේ සම්බන්ධයෙන් ඔබේ අදහස් හා උපදෙස් ලබා ගැනීමට කැමැත්තෙමි. මේ තත්ත්වය තුළ අලස හා සාමවාදී ප්‍රවිෂ්ඨයක් (ගැනීම) වැඩි ම වුවහොත් අපට ලබා දෙනු ඇත්තේ කෙටි කලෙකට මෝඩයාගේ පාරාදීසයට (මෝඩයාගේ පාරාදීසය: සැබෑ අනතුර නො දකින්නාගේ සතුටු උයන – ලිප ගිණි මොළවන තෙක් දිය කෙළින කකුළුවා පිළිබඳ සිංහල යෙදුම මෙයට ආසන්න අරුතක් දනවයි) යාමට ප්‍රවේශපත්‍රයක් පමණකැයි යන්න මගේ අදහසයි. ඔබේ අදහස කුමක් ද?

සහෝදරත්වයෙන්,

ජේ.පී. කැනන්

3. වින්සන්ට් ආර්. ඩන්ට යැවූ ලිපියක්

නිව්යෝර්ක්, 1939 ඔක්තෝබර් 25

ප්‍රිය වින්සන්ට්,

ඊයේ ඔබ වෙත තැපැල් කරන ලද, ජෝ හැන්සන් අමතා මා විසින් ලියන ලද ලිපියේ පිටපත ඔබ වෙත ලැබී ඇති බව මගේ විනිශ්චයයි. එය ලිවීමෙන් පසුව, පක්ෂ අභ්‍යන්තර තත්ත්වය පිළිබඳව ස්ටැන්ලි සහෝදරයා විසින් යවන ලද ලිපියකට ප්‍රතිචාර ලෙස ක්‍රක්ස් (ට්‍රොට්ස්කි) එවූ ලිපියේ පිටපතක් අපට ලැබිණ. [14] ක්‍රක්ස්ගේ මෙම පිළිතුර හැන්සන් සහෝදරයා වෙත මා යවන ලද ලිපියේ පිටපත සමඟ එක ම කවරයේ බහා එවන ලදී. 

ඒ පිළිබඳ උනන්දු සහෝදරවරුන්ට, මගේ ආස්ථානය ඔවුන්ට දැන ගත හැකිවන පරිදි පෙන්වීමේ සම්පූර්ණ නිදහස ඔබට ඇත. කෲක්ස්ගේ ලිපියට ද එය අදාළ වේ, මන් ද, එය බොහෝ විට අභ්‍යන්තර බුලටිනයේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

වින්සන්ට් ආර්. ඩන්

සියලු ඇඟවීම්වලින් පෙන්නුම් කෙරෙන පරිදි, අපි බරපතළ අරගලයකට මුහුණ දී සිටිමු. හතරවැනි ජාත්‍යන්තරය සඳහා අරගලය මේ දැන් සංකේන්ද්‍රණය වී ඇත්තේ ඇමරිකානු ශාඛාව තුළ ක්‍රියා මාර්ගික අනම්‍යතාවය සඳහා වූ අරගලය තුළට ය. සෑම දුෂ්කර අවස්ථාවක ම පුපුරන සුළු අර්බුදවලට අභිමුඛවීමෙන් තොරව, දෘඩතර එක්සත්කමක් රැක ගනිමින්, යුද්ධය අබියසට සහ යුද්ධය හරහා යාමට අපට අපේ ශ්‍රේණි සැබැවින් ම සූදානම් කළ හැක්කේ මේ මාවත ගැනීමෙන් පමණි.

එවැනි මොහොතක සෑම මිනිසෙකු ම තමාට වඩාත් ම හොඳින් තම සේවය ලබා දිය හැකි ස්ථානය අරා ගත යුතුය. මෙහි සිටින සහෝදරවරුන්ගේ අදහසට අනුව මෙයින් ඇඟවුම් කෙරෙන්නේ ඊළඟ කාල පරිච්ඡේදයේ දී මා, පරිබාහිර සේ ම අභ්‍යන්තර දේශපාලන කටයුතුවල යෙදීමට නිදහස් කරමින්, හැකිතාක් දුරට පරිපාලනමය දින චර්යාවෙන් මුදා හළ යුතු බව ය. මගේ පැත්තෙන්, කටයුතුවල එවැනි ප්‍රතිසැකසුම් කිරීමක් භාර ගැනීමටත්, අරගලය තුළ මගේ වගකීම් කොටසට සම්පූර්ණයෙන් උර දීමටත් මා සූදානම් ය.

මෙය, ඩොබ්ස් සහෝදරයාගේ අනාගත කටයුතු පිළිබඳ ප්‍රශ්නය තියුණුතම ආකාරයෙන් මතු කරයි. මෑතක දී එවන ලද ලිපියකින් ඔහු පළ කර ඇත්තේ,  සේවායෝජකයන් සමඟ වෘත්තීය සමිතියේ ගිවිසුම අත්සන් කිරීම හරහා මෑත මාසවල ඔහුගේ අවධානය මුළුමනින් ම දිනා සිටි බරපතළ වැඩ කටයුතු සම්පූර්ණ වී ඇති බවයි. ඔහු මෙසේ ද ලියයි: “මා සිටින්නේ කටයුතුවල කෙළවර සුළු සුළු නිමහම් කාර්යයන් මධ්‍යයේ ය. අනාගත වැඩ කටයුතු පිළිබඳ ප්‍රශ්නය කඩිනමින් ඔබ සමඟ කථා කිරීමට හැකි වෙතැයි මම අපේක්ෂා කරමි.” ඉදින් දැන්, ඔහු පක්ෂ පරිපාලන හා සංවිධානාත්මක කටයුතු සඳහා මූලස්ථානයට ගෙන ඒමේ අපේ මුල් සැලැස්ම ක්‍රියාවට නැංවුවහොත් එය ඉමහත් ලෙස ආධාරකාරී වනු ඇත.

ෆැරල් ඩොබ්ස් – ඡායාරූපය: Los Angeles Examiner/USC Libraries/Corbis via Getty Images

පවතින නඩු විභාග සමඟ බැඳී ඇති මිනියාපොලීස් සහෝදරවරුන් මුහුණ දෙමින් සිටින නව දුෂ්කරතා නිසා මෙය යම් ආකාරයක අවදානම්කාරී ස්ථාන මාරුවක් බව මම දනිමි. මා එය දකින අන්දමට, මිනියාපොලිස්හි පවතින දුෂ්කර තත්ත්වය, ඩොබ්ස් සහෝදරයා වෘත්තීය සමිති කටයුතුවලින් පක්ෂ වැඩ කටයුතු වලට ප්‍රදර්ශනාත්මක ආකාරයෙන් මාරු කිරීමට බාධකයක් ලෙස ක්‍රියා කරයි. එය ඔබට අවාසිදායක ප්‍රතිවිපාක දැනවිය හැකිය. ඒ අතර ම, පක්ෂය මුහුණ දී සිටින – ඉදින් අපට එය එහි නිවැරැදි නමින් හැඳින්වීමට අවශ්‍ය නම්, අර්බුදයක් යටතේ නැඟී සිටීම සඳහා වූ මුළුමහත් වසර 11 ක ක්‍රියා මාර්ගික සූදානම සනාථ කිරීමේ අරගලයකට නො අඩු දෙයක් වන – වර්තමාන අරගලය හමුවේ, සෑම තනි පුද්ගලයෙකු ම ඔහු වඩාත් ම ප්‍රයෝජනවත් වනු ඇති තනතුර සඳහා කැඳවීමේ අයිතිය හා වගකීම පවතී.  

මිනියාපොලිස් ශාඛාවේ අවශ්‍යතා වඩාත් ගැඹුරට කඩ කිරීමෙන් තොරව, ඩොබ්ස්ගේ කටයුතු පිළිබඳ ප්‍රශ්නයට පහත දැක්වෙන ආකාරයෙන්  අපට තාවකාලික විසඳුමකට එළැඹිය හැකියැයි මම සිතමි: ඩොබ්ස් ඔහුට හැකිතාක් කෙටි කාලයක් තුළ, පක්ෂය සම්බන්ධයෙන් තමාගේ ආධ්‍යාශයන් පිළිබඳ නිවේදනය කිරීමකින් තොරව, හා මිනියාපොලිස් සම්බන්ධයෙන් තීරණාත්මක අවස්ථාවක වෘත්තීය සමිති තත්ත්වයන්ට යළි ප්‍රවිෂ්ඨවීමේ ඉඩකඩ කපා හැරීමෙන් තොරව, සිය වෘත්තීය සමිති කටයුතු වලින් බැහැරව සිටීමට පිළිවෙල යොදා ගත යුතුය. කිසිදු ප්‍රසිද්ධ ප්‍රචාරයකින් තොරව, සුදුසු පක්ෂ නාමයක් යටතේ, ඔහුගේ ක්‍රියාකාරකම් මගින් සංක්‍රාන්ති කාලය තුළ පක්ෂ අරමුණු ඉතා හොඳින් ඉටු කළ හැකිය.

ස්වභාවිකව ම, මිනියාපොලිස් සහෝදරවරුන්ගේ එකඟතාවයෙන් තොරව අපට එවැනි තීරණාත්මක පියවරක් ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි නො වේ. එහෙත්, වර්තමානයේ බඳු ඒ සා ඒකාන්ත ආකාරයකින් පක්ෂ අවශ්‍යතාවයන් අප ඉදිරියට පැමිණ වූ කල්හි, ඔබේ පැත්තෙන් අවශ්‍ය ප්‍රාදේශීය පරිත්‍යාග සිදු කිරීමට ඔබ සූදානම් වනු ඇතැයි විශ්වාස කිරීමට අපට හේතු ඇත.

පක්ෂයේ ක්ෂණික අවශ්‍යතාවලට අමතරව සලකා බැලීමට වටනා තවත් පැත්තක් මේ ප්‍රශ්නයට තිබේ. මෙසේ කීමෙන් මා අදහස් කරන්නේ, වෘත්තීය සමිතිවාදයේ සීමිත ක්ෂේත්‍රයේ කටයුතුවලට වෙනස්වන ආකාරයේ, සර්ව-පාර්ශවීය අනාගත දේශපාලන කටයුතු සඳහා ඩොබ්ස් සහෝදරයා සූදානම් කිරීම ගැනයි. දැන්, අභ්‍යන්තර අර්බුදයේ දුෂ්කර මොහොතක, තමන් ඉස්මතු වී නො පෙනෙන ආකාරයකින් හා නිර්නාමිකව පවා පක්ෂයේ ඍජු සේවය සඳහා ඇතුළුවීම මඟින්, විප්ලවවාදී දේශපාලනයේ පෙරැළි තුළ වැඩදායී අත්දැකීම් ලබා ගැනීමේ තියුණු අවකාශයක් ඔහුට හිමි වනු ඇත. තම ක්‍රියාකාරීකම්වල ස්වභාවයේ හා එම ක්‍රියාකාරකම් සිදු කෙරෙන කොන්දේසිවල රැඩිකල් පරිවර්තනයකට සරිලන පරිදි වහා තමන් හැඩ ගස්වා ගැනීමට ඇති ඔහුගේ ශක්‍යතාවය පිළිබඳ එක එල්ලේ ම කෙරෙන පරීක්ෂණයකට මුහුණදීමට ඔහුට සිදුවනු ඇත.    

කම්කරුවන්ගේ බහුජන ව්‍යාපාරයක නායකයා වීම හා ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින වෘත්තීය සමිතියක සංසන්දනාත්මකව සරල වූත්, පුළුල් ලෙස දක්වා ඇත්තා වූත් ප්‍රශ්න විසඳීම යනු එකකි. මෙම ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන අයෙකු වීමේ හැකියාවෙන් යුත් සටන්කාමියෙකුගේ පෞද්ගලික ගුණාංග මා සම්පූර්ණයෙන් ම අගය කරන බව ඔබට මා අමුතුවෙන් කිව යුතු නැත. එහෙත්, බෙලහීන කරන සුළු අභ්‍යන්තර අර්බුදයකින් සිය කටයුතු තවදුරටත් සීමා කිරීමට සිදුව ඇති කුඩා දේශපාලන පක්ෂයක සංවිධානාත්මක කටයුතුවලට නායකත්වය දීමට හා ඒ අතරතුර ම එකී අර්බුදයට ක්‍රියා මාර්ගික විසඳුමක් සඳහා වූ අරගලයේ තිරසාර වැඩ කොටසක් ඉටු කිරීමට හැකි වීම යනු – එය තවත් එකකි.

තත්ත්වයන් විසින් ඉල්ලා සිටිනු ලැබෙන පරිදි සිය ක්‍රියාකාරකම් එක් ක්ෂේත්‍රයකින් තවෙකෙකට මාරු කිරීමට නිර්ධන පංති විප්ලවයේ නායකයෙකු සමත් විය යුතුය. 

එමෙන්ම, මෙම එක් එක් පැවරුම කාර්යක්ෂම ලෙස ක්‍රියාවට නැංවීම සඳහා එකී අත්දැකීම් අත්‍යාවශ්‍යක බව ද මෙහි දී එක් කළ යුතුය. වෘත්තීය සමිතියක් මෙහෙයවන්නේ කෙසේදැයි යමෙකුට පොතකින් ඉගෙන ගත නො හැකි බව පැවසීමේ අවස්ථාව අපට නිරතුරුව ලැබී ඇත. වෘත්තීය සමිති ව්‍යාපාරයේ ඉතිහාසය හා න්‍යායය ඔහුට පොත්වලින් උගත හැකි නමුත්, එහි සැබෑ නායකත්වය ඔහු ප්‍රායෝගිකව ඉගෙන ගත යුතුය. පක්ෂය සම්බන්ධයෙන් ද මෙය ම සත්‍ය වේ. පක්ෂයකට නායකත්වය දෙන්නේ කෙසේද යන්න ද යමෙකුට පොතකින් උගත හැකි නො වේ. ඉදින් එය කළ හැකි වී නම්, දේශපාලන පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් සෑම තැනම මෙවැනි දරිද්‍රතාවයක් නො පවතිනු ඇත. 

අත්දැකීම්වල පරීක්ෂාව අන් සියල්ලටම වඩා මෙම ක්ෂේත්‍රයේ තීරණාත්මක වේ. දැන්, ස්වෝත්තමවාදී වටලෑමක් යටතේ උග්‍ර අර්බුදයක මොහොතක දී, පක්ෂ සේවයට පැමිණීමෙන්, ඩොබ්ස් සහෝදරයාගේ අත්දැකීම් 100 ගුණයකින් වැඩි සාන්ද්‍රණයක් අත් කරගනු ඇති අතර, සාමාන්‍ය කාලයක දී ඔහුගේ පැමිණීම සිදු වී නම් එය සිදුවන වේගයට වඩා 100 ගුණයක වේගයකින් ඔහු සිය දේශපාලන අධ්‍යාපනය ඉදිරියට ගෙන යනු ඇත. දේශපාලන පක්ෂ නායකයෙකු ලෙස ඔහුගේ කුසලතා හෝ නොහැකියාවන් මෙම පරීක්ෂණයෙන් අතිශයින් වඩාත් නිරවද්‍යව සහ අසමසම කෙටි කාලයක් තුළ ස්ථාපිත වනු ඇත.

පක්ෂ නායකයෙකු ලෙස ඩොබ්ස් සහෝදරයාගේ විභවයන් සම්බන්ධයෙන් අප සැවොම එකම සුබවාදී අදහසක් බෙදාහදා ගන්නා බව අමුතුවෙන් කිව යුතු නො වේ. එහෙත් මෙම කොන්දේසි යටතේ, ඔහු පක්ෂ කටයුතු ආරම්භ කර සය මසක ඇවෑමෙන්, අප මෙන් ම ඔහු ද ඒ පිළිබඳව වැඩිමනත් දේ දැනගනු ඇති අතර එය වඩාත් නිශ්චිත දැනුමක් ද වනු ඇත.

I I I

එහි පතුලේ දී පක්ෂය භාජනය වී ඇති වැටලීම් තත්ත්වයේ පීඩනය පිළිබිඹු කරන පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය, දැනටමත්, පක්ෂ සම්මේලනයේ දී විස්තාරණය කෙරුණු අභිලාෂවත් ව්‍යාප්ති වැඩ පිළිවෙල ක්‍රියාවට දැමීම කෙරේ අඩපණ කරන සුළු බලපෑමක් එල්ල කිරීමට පටන් ගෙන ඇත. අප වට කොට ඇති මූල්‍යමය දුෂ්කරතා එහි බැරෝ මීටරය(පීඩනමානය)කි.

අභ්‍යන්තර අරගලය, පක්ෂය තමා කෙරෙහි ම යොමුවෙමින්, තම බාහිර උද්ඝෝෂණ සහ සංවිධාන කටයුතු නොතකා හැරීමට තල්ලු නොකරන බවට වග බලා ගැනීමට අප සෑම ආකාරයකින්ම පරිශ්‍රම දැරිය යුතුය. එසේ තල්ලුවීම, ව්‍යාප්තකාරක ප්‍රසිද්ධ ක්‍රියාකාරකම් හා ස්ථාවරත්වයට තුඩු දෙන නව නිර්ධන පාන්තික බඳවා ගැනීම්වල මාවතේ අපට සැබෑ විසඳුමක් සොයා ගත හැකි අර්බුදය හුදෙක් දිගු කෙරෙනු පමණෙකි.

අභ්‍යන්තර අරගලය අතරතුර අපගේ මහජන ක්‍රියාකාරකම් වැඩසටහන පවත්වා ගැනීම සඳහා අපට බොහෝ විට මිනසෝටා සහෝදරවරුන්ගෙන් අසමසම මූල්‍ය ආධාර ඉල්ලා සිටීමට සිදුවනු ඇත. මෙම ඉල්ලීම සමඟ පක්ෂයට නැවත වරක් ද්විත්ව නගරයේ (ද්විත්ව නඟරය – Twin City යන්න මිනියාපොලිස් නඟරය සඳහා යෙදෙන යෙදුනකි) සහෝදරවරුන් වෙත හැරීමට අයිතියක් ඇතැයි මම සිතමි.

1934 දී සිදු වූ වීරෝදාර අරගල මගින් ලබා දුන්, කිසිසේත් සුළුපටු නො වන සාර්ථකත්වයේ ප්‍රවාහය මත මිනසෝටා හි අපගේ වෘත්තීය සමිති අංශය මෑත වසරවලදී පාවී ගොස් ඇත. අනෙක් අතට එම අරගල ආභාෂය ලබා ඇත්තේ 1934 වැඩවර්ජනවලට පෙර වසර හය තුළ ප්‍රමුඛ කාර්ය මණ්ඩලය විසින් හුදකලාව සිදු කරන ලද ඉවසිලිවන්ත හා දෘඩතර න්‍යායික හා දේශපාලනික කටයුතුවලිනි. – එය අමතක නොකළ යුතුය. ඉදින් සෑහෙන සුවපහසු දනවන සුළු සිය වත්මන් තත්ත්වය කෙතෙක් අස්ථාවර එකක්දැයි අපේ වෘත්තීය සමිති කටයුතුවල නියුතු සහෝදරවරුන් සිහියේ තබා නො ගතහොත් එම තත්ත්වය ඔවුන්ගේ මනෝභාවයන් මත නිශේධනීය බලපෑමක් ඇති කළ හැකිය; ඒ, වැඩි දියුණු වී ඇති තත්ත්වයන් හා ජීවන මට්ටම් ස්ථිරසාර ලෙස සහතික ඒවා ලෙස උපකල්පනය කිරීමට පටන් ගතහොත් හා, තමන්ටත් නො දැනීම, සුළු ධනපති ජීවන චර්යාවන් වර්ධනය කිරීමටත්, ලෝකය සෑම මූට්ටුවකින් ම පුපුරා යාමේ තතු තුළ තමන් ආරක්‍ෂිත බවට මායාවන් වර්ධනය කර ගැනීමටත් පටන් ගතහොත් ය.       

මෙකී ඇති විය හැකි මායාවන්ගෙන් මිදී ගැනීම සඳහා දැන් ම වුව ආරම්භයක් ගැනීම නරක අදහසක් නො වේ. දෙවැනි ජාත්‍යන්තරයේ වෘත්තීය සමිතිවල සමස්ත ඉහළ ස්ථරයට ආරක්ෂිතව හිඳිමින්, තරබාරු වෙමින්, තතු පවතින ආකාරය පිළිබඳ තෘප්තිමත්ව හා සතුටුදායක ලෙස කල් ගෙවිය හැකි වූයේ ඔවුන් ධනේශ්වර ලෝක පර්යාය ස්ථාවර වෙමින් පැවැති හා වැඩි වර්ධනය වෙමින් පැවැති යුගයක සිටි නිසා ය. එවැනි ශක්‍යතා මේ දිනවල නො පවතී. අපේ සහෝදරවරුන් මේ ප්‍රශ්නයට කෙළවරක් කරා ම මුහුණ දෙමින්, නව්‍යවූත් ප්‍රචණ්ඩවූත් කම්පන හා විස්ථාපනයන් පූර්වාපේක්ෂා කරමින්, උචිත ලෙස තමන් හැඩ ගස්වා ගත යුතු අතර, එය වඩාත් ඉක්මණින් සිදුකිරීම වඩාත් හොඳය.

වත්මන් තීරණාත්මක පරීක්ෂාව තුළ පක්ෂයට ලබා දෙන ද්‍රව්‍යමය සහයෝගය පිළිබඳ සිය තක්සේරු කිරීම් දෙගුණ කිරීමට ස්වේච්ඡාවෙන් එකඟ වීම මඟින්, ප්‍රවාහයට ප්‍රතිවිරුද්ධව යළිත් වරක් පිහිනා යාම සඳහා අනධික ආරම්භයක් ගැනීමට බලපෑමට ලක් වූ සහෝදරවරුන්ට පුළුවන. එම ප්‍රකාශය ම පක්ෂය තුළ සෑම බැරෑරුම් සහෝදරයෙකු ම සම්බන්ධයෙන් ද වලංගු ය.

සහෝදරත්වයෙන්,

ජේ.පී. කැනන්

[11] 1939 ඔක්තෝබරයේ ජෝසෆ් හැන්සන් මෙක්සිකෝවේ ට්‍රොට්ස්කිගේ ලේකම් කාර්යාලයේ කටයුතු කිරීමට පිටත්ව ගියේය. මෙම ලිපිය හා මෙයින් අනතුරුව එන, හැන්සන් එහි රැඳී සිටි සමයේ ඔහු අමතා ලියූ ලිපි ට්‍රොට්ස්කිගේ දැන ගැනීම සඳහා ද ලියූ ඒවා ය.

[12] ට්‍රොට්ස්කි, “Again and Once More Again on the Nature of the USSR”, In Defense of Marxism

[13] 1939 ජූලි මාසයේ පැවති එස්ඩබ්ලිව්පී සමුළුව ආසන්නයේ දී, ට්‍රොට්ස්කි කැනන් වෙත පෞද්ගලික ලිපියක් යැවීය. 1939 මැයි 27 දිනැති මෙම ලිපියෙන්, සෝෂලිස්ට් ඇපීල් ප්‍රකාශනය පිළිබඳ දේශපාලන කමිටුවේ සාකච්ඡා සම්බන්ධයෙන්, ට්‍රොට්ස්කි, එවකට පක්ෂයේ පැවති – විශාල නගරවල; විශේෂයෙන් නිව්යෝර්ක්හි සුලු ධනේශ්වර කොටස්වල ප්‍රමුඛතාවයක් සහිත වූ – සමාජ සංයුතියේ සැඟවී තිබූ අනතුර පිළිබඳව අනතුරු ඇඟවීමක් කළේය.

මෙම ලිපියේ අවසාන කොටස පහත පරිදි වේ:

“සාර්ථකත්වයේ කොන්දේසියක් ලෙස රැඩිකල් සහ නිර්භීත වෙනසක් අවශ්‍ය වේ. මෙම පුවත්පත ඇමරිකානු කම්කරුවන් සම්බන්ධයෙන් ගත් කල පමණට වඩා බුද්ධිමත් ද, පමණට වඩා ශාස්ත්‍රීය ද, පමණට වඩා වංශාධිපති ද වන අතර, පක්ෂය එහි අනාගතය සඳහා සූදානම් කිරීමට වඩා එය පවතින හැටියෙන් පිළිබිඹු කිරීමට එය වඩාත් නැඹුරු වේ.

“ඇත්ත වශයෙන්ම එය පුවත්පතේ ප්‍රශ්නයක් පමණක් නොව, සමස්ත ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගය පිළිබඳ ප්‍රශ්නයකි. ඉතා හොඳ සහ කැප වූ, නමුත් තම යුතුකම වන්නේ තමතමන් අතර සාකච්ඡා කිරීම නොව, නැවුම් කම්කරුවන්ගේ පරිස්ථිතියකට විනිවිද යාම බව සම්පූර්ණයෙන්ම වටහා නොගන්නා, සුළු ධනේශ්වර පුරුෂයන් හා ස්ත්‍රීන් ඕනෑවටත් වඩා පක්ෂයට සිටින බව මම තවමත් සිතමි. මම මගේ යෝජනාව නැවත කියමි: යම් කාලයක් තුළ, මාස තුනක් හෝ හයක් ලෙස ගනිමු, පක්ෂය සඳහා කම්කරුවෙකු දිනා නොගන්නා පක්ෂයේ සෑම සුළු ධනේශ්වර සාමාජිකයෙකුම අපේක්ෂක සාමාජික තනතුරට පහත හෙලා, තවත් මාස තුනකට පසු පක්ෂයෙන් නෙරපා හැරිය යුතුය. සමහර අවස්ථාවල එය අසාධාරණ විය හැකි නමුත්, සමස්තයක් ලෙස පක්ෂයට ඉතා අවශ්‍ය වන සුබවාදී කම්පනයක් ඉන් ලැබෙනු ඇත. ඉතා රැඩිකල් වෙනසක් අවශ්‍ය වී තිබේ.

සහෝදරත්වයෙන්,
වී. ටී. ඕ’බ්‍රයන් [ලියොන් ට්‍රොට්ස්කි]”

කැනන් අවධාරණය කර ඇති පරිදි, ට්‍රොට්ස්කිගේ අනතුරු හැඟවීමට හෝ ඔහුගේ යෝජනාවට එම අවස්ථාවේ නිසි අවධානයක් හෝ සැලකිල්ලක් නො දැක්විණි.

[14] ට්‍රොට්ස්කි, In Defense of Marxism, 34-36 පිටු

පෙර කොටස් බලන්න:

හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්123456-I6-II78-I8-II8-III8-IV8-V9-I9-21011-I11-II11-III, 12-I, 12-II, 13, L1

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top