නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: සහෝදරවරුන්ට යැවූ ලිපි – VI

ජේම්ස් පී. කැනන්

පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු

10. ජෝසෆ් හැන්සන්ට යැවූ ලිපියක්

නිව්යෝර්ක්, 1939 දෙසැම්බර් 14

ප්‍රිය ජෝ,

කම්කරු ආරක්ෂක සංවිධාන පිළිබඳ ලිපිය සම්බන්ධයෙන් ඔබ විමසූ බව රයිට් මට පැවසීය. ඔහු එය අප වෙනුවෙන් පරිවර්තනය කර ඇත. එහෙත් අපට ඇත්තේ එකම පිටපතක් පමණෙකි. එම ලිපියේ අන්තර්ගතයට අනුව එය මාධ්‍යවල පළ කිරීමට සැළසුම් කළ එකක් ද, නැතහොත් අභ්‍යන්තර බුලටීනයේ පළ කිරීමට හෝ ආඥාපත්‍රයක් ලෙස ශාඛාවලට යැවීමට හෝ සැළසුම් කළ එකක් ද යන්න පැහැදිළි නැත. කරුණාකර මෙය වහා ම පිරික්සා බලා එය මේ කවර ආකාරයට ප්‍රකාශයට පත් විය යුතුදැයි යන්න අපට දැන්වීමට ඔබට හැකි ද? එවිට අපි වහා ම ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්නෙමු.

නිව්යෝර්ක් නඟරය තුළ පක්ෂ (සාමාජිකත්ව)යේ සමාජ සංයුතිය පිළිබඳ ඇතැම් සංයුක්ත සංඛ්‍යා දැන් මා සතුව ඇත. ලියාපදිංචි කිරීමක් මෑත කාලයක සිදු කෙරුණු බව ඔබට ඇතැම්විට මතක තිබෙනු විය හැකිය. සිය වෘත්තීය සමිති කටයුතු සඳහා ලියාපදිංචිය පරීක්ෂා කළ සෑම් ගෝර්ඩන්ගේ ප්‍රකාශයට අනුව, නිව්යෝර්කයේ පක්ෂ සාමාජිකත්වයෙන් සහ තරුණ සංවිධානයේ (YPSL) සාමාජිකත්වයෙන් හයෙන් එකක් පමණක් කාර්මික කම්කරුවන්ගෙන් සමන්විත ය. මෙම සංඛ්‍යාව මා විමතියට පත් කළ අතර, නිශ්චිත තතු සහිත වාර්තාවක් මට ලබා දෙන ලෙස මම නාගරික කාර්යාලයෙන් ඉල්ලා සිටියෙමි. එය මට ලැබුණු වහා ම මම ඔබට පිටපතක් එවන්නෙමි.

නිව්යෝර්ක්හි සුළුතරය සතුව ඇති ඉමහත් අතිභාරය ජාතික මට්ටමේ තරඟයේ දී අපට සැලකිය යුතු අබලදුබල බවක් අත්පත් කර දෙයි. වඩාත් නිර්ධන පාන්තික දිස්ත්‍රික්ක තුළ ඇති බලවත් බහුතර බලය නිව්යෝර්ක්හි දුබලතාව අතිතුලනය කිරීමට පහසුවෙන් සමත් වනු ඇතැයි යන න්‍යායෙන් මම කටයුතු කරමින් සිටියෙමි. කෙසේවෙතත්, පසුගිය සම්මේලනයේ නියෝජනය පිළිබඳ සංඛ්‍යාවන්ගේ පදනම මත ඊයේ මා සිදු කළ වඩාත් ප්‍රවේශම්කාරී පරීක්ෂාවක් විසින් ඉදිරිපත් කෙරෙන චිත්‍රය ඉතාමත් ශුභවාදී එකක් නම් නොවේ. බැලූ බැල්මට, සමුළුවේ දී අපට කුඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් සහතික වී ඇති බැව් පෙනී යයි. පැති මාරු හෝ අනපේක්ෂිත මවිතයන් කිහිපයකින් තත්ත්වය අනෙක් අතට මාරු විය හැකිය. 

අප මුහුණ දී සිටින්නේ සිතා ගත හැකි සෑම පදනමකින් ම අපට එරෙහි සියලු කොටස්වල පොදු සංයෝජනයකට බව ඔබ අමතක නො කළ යුතුය. විපක්ෂය, එහි දේශපාලන නායකයා (බර්න්හැම්) විසින් නියෝජනය කෙරෙන පරිදි නම්, හුදෙක් රුසියානු ප්‍රශ්නය සම්බන්ධයෙන් පමණක් නොව සංවිධානය පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් ද සැලකූ කල, නිසැක ලෙස ම දක්ෂිණාංශික විරුද්ධ පාර්ශ්වයකි. මේ තතු, පක්ෂයේ ශේෂව සිටි අන්ත-වාම විපක්ෂයේ ඉතිරි කුඩා කොටස් එම සංයෝජනය වටා පෙළ ගැසීමෙන් වළක්වා නැත. සංයෝජනයේ නායකයන් මෙම දිශාවෙන් ද ලැබෙන සහයෝගය කිසිසේත් පළවා නො හරින බව අමුතුවෙන් කිවයුතු නො වේ. ඊට අමතරව, ඔවුහු අවමානයට හා පීඩාවට පත් සියල්ලන්ගේ ඡන්ද පිළිබඳව ද ගණන් තබා ගෙන සිටිති. ඒ, ඔවුන් අවමානයට හෝ පීඩාවට පත් කළේ කවුරුන්දැයි යන්න නො තකා ය. උදාහරණයක් ලෙස මැකිනිගේ පරුෂකම් හා රළු හැසිරීම්වලින් යුක්තියුක්ත ලෙස අමනාපයට පත් අපේ නිව්යෝර්ක් තරුණයන් බොහෝ දෙනෙක් “තන්ත්‍රය”ට එරෙහිව – මැකිනි සමඟින් – පෙළ ගැසී සිටිති.

අනෙක් අතට, නිර්ධන පන්ති ක්‍රියාකාරීන්ගේ අතිමහත් බහුතරය සිටින්නේ අපේ පැත්තේ ය. මෙය අන් සෑම තැනක් සේ ම නිව්යෝර්ක් සඳහා ද අදාළ ය. එඩ්වර්ඩ්ස් සහෝදරයා විසින් සම්පාදනය කරන ලද සංඛ්‍යාලේඛන දත්ත අතර මේ පිළිබඳ සමහර සංඛ්‍යාලේඛන ද ඇතුළත් කළ යුතුය.

අපි තරුණ ව්‍යාපාරය තුළ ස්ථාවර ප්‍රගතියක් ලබමින් සිටිමු. එහෙත් මෙහි දී අපට පටන් ගැනීමට සිදු වූයේ බිංදුවේ සිට ය. අරගලය පටන් ගැනීමට පෙර ම, තරුණයෝ සියල්ලෝ ම, ඕපාදූපවල හෝ ඒ හා මේ ආකාරයේ කුඩා දුක්ගැනවිලිවල පදනම මත පෙළ ගැසී සිටියහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට කෙතරම් විෂ කවා හා අවමංගත කර දමා තිබිණි ද යත්, ඔවුන් අතර බැරෑරුම් දේශපාලන සාකච්ඡාවක් ඉදිරියට ගෙන යාම දුෂ්කර කර්තව්‍යයක් බවට පත්ව තිබිණ. 

මෙතැන් පටන්, අපේ ප්‍රමුඛ තරුණ සහෝදරවරුන් සමඟ එක්ව සතියකට එක් රාත්‍රියක් තරුණයන් සමඟ දේශපාලන සාකච්ඡා සඳහා වෙන් කිරීමට මම කටයුතු පිළිවෙල කරමින් සිටිමි. සප්‍රතිපත්තික දේශපාලනය යන්නේ සැබෑ අර්ථය කුමක්දැයි පැහැදිළි කිරීමෙන් ආරම්භ කෙරෙන දීර්ඝ දේශන මාලාවක් සඳහා කෙටුම්පත් සකසා ඇත. එක පැත්තකින් ඇබර්න් ගුරුකුලයේ කල්ලි දේශපාලනඥයන් විසින් ද, අනෙක් පැත්තෙන් තරුණ ව්‍යාපාරයේ නායකත්වයේ සිටින, තවමත් සිය පැරණි හැව ගලවා දමා නැති හිටපු සමාජවාදී පාක්ෂිකයන් – ඔවුන් ඉහත කී පිරිසට වඩා හොඳ ය – විසින් ද කුරිරු ලෙස වැරදි අධ්‍යාපනයක් ලබා දෙනු ලදුව අවමංගත කරනු ලැබ සිටින අපේ තරුණයන්ට මෙය පැහැදිළි කර දිය යුතුය. කාලයත් සමඟ ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ඉගෙන ගැනීමට හැකියැයි අපේක්ෂා කිරීමට හේතු පවතී. කෙසේවෙතත්, සෙසු පිරිසට ඉගෙන ගැනීමට උවමනා නැත.

ට්‍රොට්ස්කි

දේශපාලනයේ සප්‍රතිපත්තික විධික්‍රමය පිළිබඳ මගේ පහදා දීම තුළ ඇමරිකානු කොමියුනිස්ට් ව්‍යාපාරයේ ඉතිහාසය එහි අභ්‍යන්තර අරගලවල ආලෝකයෙන් නිරූපණය කර දැක්වීමට මම අදහස් කරමි. එමෙන් ම, පසුගිය වසර 10 තුළ අපේ ජාත්‍යන්තර සංවිධානයේ අත්දැකීම්වලින් දැඩි ලෙස උපුටා ගැනීමට මම කටයුතු කරන්නෙමි. රයිට් සමඟ එක්ව මම පැරණි අභ්‍යන්තර හා ජාත්‍යන්තර බුලටිනවලින් අවශ්‍ය ලේඛන සකසමින් සිටිමි. ලාභදායී පැය කිහිපයක් ගත කිරීමට ඔබට අවශ්‍ය නම් ඔබ මෙම ලිපි ලේඛන ලිපිගොනුවලින් සොයා ගෙන කියවා බැලිය යුතුය. වසර ගණනාවකට ඉහත ලැන්ඩෞ, නෙවිල්, නින් ආදීන් සමඟ වූ මතභේද තුළ ජ්‍යෙෂ්ඨයා* ලියා ඇති දේවල්, ඒවායේ නැවුම් බවෙන්, කාලෝචිත භාවයෙන් හා යුද අර්බුදයේ පීඩනය යටතේ අපේ පක්ෂය තුළ ඇවිලී ඇති අරගලයට පවතින අදාළත්වයෙන් කෙනෙකු විමතියට පත් කරනු සමත් ය. ඉතා අල්ප සංස්කරණයකින් හා නම්ගම් මාරු කිරීමකින් පසුව, ඒවා වර්තමාන සාකච්ඡාවට ප්‍රතිපදානයන් ලෙස අපේ අභ්‍යන්තර බුලටිනයේ පළ කළ හැකි බවට, මේ ලිපි ගණනාවක් සම්බන්ධයෙන් අපි සඳහන් කර ඇත්තෙමු.

වර්තමාන මතභේදයේ වඩාත් ම මූලධර්මාත්මික අංශයන් සම්බන්ධයෙන් ක්‍රක්ස්* තවත් ලිපියක් ලියන බව අසන්නට ලැබීම ගැන මම සත්තකින් ම අතිශයින් සතුටු වෙමි. ඔහුගේ පැත්තෙන් කෙරෙන තථ්‍ය සාධනීය මැදිහත්වීමක් වන එය, දේවල් සැබැවින් ම මොනවාදැයි පෙන්වා දෙනු ඇති අතර, ඇතැම්විට හතරවැනි ජාත්‍යන්තරයට බේරා ගැනීමට වටනා අය බේරා ගැනීම සඳහා කළ හැකි එක ම දෙය ද එයයි.

සහෝදරත්වයෙන්,

ජේ.පී. කැනන්

* මෙහි දී ජ්‍යෙෂ්ඨයා හා ක්‍රක්ස් ලෙස හැඳින්වෙන්නේ ලියොන් ට්‍රොට්ස්කි ය – පරිවර්තක

පෙර කොටස් බලන්න:

හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්123456-I6-II78-I8-II8-III8-IV8-V9-I9-21011-I11-II11-III12-I12-II13L1L2, L3, L4, L5

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top