ජේම්ස් පී. කැනන්
පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු
හතරවැනි ජාත්‍යන්තරයට එහි මුල් කාලයේ ම මුහුණ දීමට සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර අරගලයක් පිළිබඳව ද, එහි ලා අභියෝගයට ලක් ව තුබූ දේශපාලන ප්‍රයුක්තීන් සම්බන්ධව ද පුළුල් සාකච්ඡාවක් පාඨකයා වෙත ගෙන එන මේ ලිපි මාලාවේ අද පළ කෙරෙන්නේ හයවැනි පරිච්ඡේදයේ දෙවැනි – එනම් අවසාන – කොටසයි.
මෙය, Marxists Internet Archive අන්තර්ජාල ප්‍රකාශනයේ පල වී ඇති ඉංග්‍රීසි කෘතියේ පරිවර්තනයකි. මෙය ප්‍රවේශමෙන් හැදෑරීම මාක්ස්වාදය වෙත ආකර්ෂණය වන්නන්ට මෙන් ම, වර්තමාන ලෝක අර්බුදය විසඳීමට සමත් කම්කරු පන්තියේ විප්ලවවාදී සංවිධානය ගොඩ නැඟීම පිලිබඳ උනන්දු වන සියලු දෙනාට ද අතිශයින් ප්‍රයෝජනවත් වනු ඇත.
6. බර්න්හැම් පිළිබඳ කාරණාව – 2
මේ යුගයේ ෂැට්මන් හා මම, රුසියානු විප්ලවය පිළිබඳ හතරවැනි ජාත්‍යන්තරයේ ක්‍රියා මාර්ගය ඒකාබද්ධව ආරක්ෂා කරමින් ද, “තන්ත්‍රය” ආරක්ෂා කිරීම සඳහා ඒකාබද්ධව ක්‍රියා කරමින් ද අත්වැල් බැඳ කටයුතු කරමින් සිටියෙමු. ඒ අවස්ථාවේ, ෂැට්මන්ගේ අනුදැනුම හා සහභාගීත්වය සහිත ව මම ක්‍රක්ස් [ට්‍රොට්ස්කි] සහෝදරයාට බර්න්හැම් සම්බන්ධ ප්‍රශ්නය පිළිබඳව ලිපියක් යැවීමි. දැන් එම ලිපිය පළ කිරීම අවශ්‍යයැයි මම සලකමි. එයින්, වෛෂයිකව සිතන ඕනෑම සහෝදරයෙකුට, අඩුම තරමින් කරුණු දෙකක් පිළිබඳව ඒත්තු ගැන්වෙනු ඇතැයි මම සිතමි: 1) වර්තමාන අශමනීය තතු කරා සේන්දු වී ඇති බර්න්හැම් සමඟ ගැටුමේ පෙරටු සේයා මීට දෙ වසරකට ඉහත කාලයේ දී පැහැදිළිව පහළ වී තිබූ බව; 2) ඔහු සමඟ යහපත් සම්බන්ධතාවයක් පවත්වා ගෙන යාම සඳහා හැකි සියලු දේ කරමින් විප්ලවවාදී ව්‍යාපාරය සඳහා ඔහු සුරක්ෂිත කර ගැනීමට මට පෞද්ගලිකව අවශ්‍ය වී තිබූ බව.
මෙහිදී මම ක්‍රක්ස් සහෝදරයාට යැවූ ලිපිය මුළුමනින් උපුටා දක්වමි:
100 පස්වන පටුමඟ, කාමර අංක 1609, නිව්යෝර්ක් නඟරය 1937 දෙසැම්බර් 16
ප්‍රිය ක්‍රක්ස් [ට්‍රොට්ස්කි] සහෝදරය,
මිනියාපොලිස් කරා ගිය ගමන සඳහා, ඉතා අසීරු අවස්ථාවක් තුළ – පක්ෂ සමුළුව අද්දර – මගේ වැඩ සටහනේ සති දෙකක් ගත වූයේය. කෙසේවෙතත්, එය වටනා බව මම සිතමි. සියලු ඇඟවීම් වලින් පෙනී ගිය පරිදි අපි, ස්ටැලින්වාදීන්ගේ බොරු චෝදනා ඇටවීමේ ක්‍රීඩාව ව්‍යවර්ථ කිරීමෙහි ලා පමණක් නො ව, වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ ඔවුන්ට අතිශය බලගතු පහරක් දීමෙහි ලා ද අපි සාර්ථක වීමු. මේ පසු කී අවස්ථාවේ දී ඔවුන් මුහුණ දී සිටියේ හුදෙක් කණ්ඩායමක් ලෙස “ට්‍රොට්ස්කිවාදීන්ට” පමණක් නොවේ. මිනියාපොලිස්හි සංවිධිත කම්කරු ව්‍යාපාරයට ද මුහුණ දීමට ඔවුන්ට සිදු විය. ප්‍රතිඵලය ඔවුන්ට ව්‍යසනකාරී එකක් විය. ස්වභාවික ක්‍රියාවලියේ දිගහැරීමට අප ආධාරකාරී වූ බව මා පිළිගත යුතුය.
මිනියාපොලිස්හි අපේ සහෝදරවරු මුල සිට අග දක්වා ම ආක්‍රමණශීලීව උන්හ. මට පෙනී යන අන්දමට වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ ඔවුන් දරන ස්ථානය අන් කවරදාටත් වඩා ප්‍රබල ය. ජාතික වශයෙන් ද මෙම ගැටුමෙහි දී අප ජයග්‍රාහී වූ බව මම සිතමි. මහාචාර්ය ඩීවී සිය ගුවන්විදුලි කථාව තුළ මිනියාපොලිස් බොරු චෝදනා ඇටවීම පිළිබඳව සඳහන් කිරීම, අපේ උද්ඝෝෂණය කම්කරු ව්‍යාපාරයේ වර්ධනයන් අනුයන පුද්ගලයන්ගේ සෑහෙන පුළුල් කවයක සිත්සතන් තුළ සටහන් වී ඇති බවට වූ කිසියම් ඇඟවීමකි.
දැන් මගේ සියලු කාලය හා අවධානය සම්මේලනය සඳහා සූදානම් වීම කෙරේ යොමු කිරීමට හැකි වෙතැයි මම අපේක්ෂා කරමි. ඒ සම්බන්ධව මම සම්පූර්ණයෙන් ම ශුභවාදී වෙමි. රට පුරා ම ක්‍රියාශීලී සාමාජිකත්වය – විශේෂයෙන් ම කිසිසේත් සුළු සංඛ්‍යාවක් නො වන, බහුජන වැඩවල නිරත සාමාජිකයන් – අතිමහත් අපේක්ෂණයකින් හා උද්‍යෝගයකින් යුතුව සම්මේලනය දෙස බලා සිටින බව මම දනිමි.
රුසියානු ප්‍රශ්නය පිළිබඳ මතභේදය ප්‍රමාණාත්මකව එහි උචිත ස්ථානයේ තබමින්, සම්මේලනය අපේ පොදු ඉදිරි දර්ශන හා කර්තව්‍යයන් සහ වෘත්තීය සමිති තුළ අපේ සංයුක්ත වැඩ කටයුතුවල දිශාව ඔස්සේ දිශාභිමුඛ කිරීමට අපි සැළසුම් කරමු. අභ්‍යන්තර සාකච්ඡා බුලටිනවලින් පෙන්නුම් කෙරෙන පරිදි, සම්මේලනය හුදෙක් රුසියානු ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාවක් ලෙස නිශ්චය විය හැකිය යන දෘෂ්ටි කෝණය සම්බන්ධයෙන් ක්‍ෂේත්‍රයේ ක්‍රියාත්මක සහෝදරවරු බලගතු ලෙස කෝපයට පත්ව සිටිති.
සම්මේලන සාකච්ඡාවලදී මෙම ප්‍රශ්නය ප්‍රථම ස්ථානයට ගෙන ඒමේ අරමුණින් යුතුව මා වෘත්තීය සමිති වාර්තාව ඉදිරිපත් කළ යුතු බවට තීරණය වී ඇත. වෘත්තීය සමිති කටයුතුවල නිමග්න අපේ සහෝදරවරු අනපේක්ෂිත ස්ථාන සංඛ්‍යාවක ප්‍රමාණවත් සාර්ථකත්වයන් දිනා සිටිති. නව සාමාජිකයන් ආකර්ෂණය කර ගනිමින් පක්ෂය ඉදිරියට යමින් සිටින්නේ ද, විප්ලවවාදී සර්වශුභවාදයේ ජීවගුණය පවතින්නේ ද හරියට ම මෙම ස්ථානවල ය.
බුද්ධිමය හා පන්ති පතිත (තමන්ගේ සමාජ පන්තියෙන් ඇද වැටුණු පුද්ගලයන්) රැඩිකලුන්ගේ කව තුළ දැන් ඒ සා බලගතු, පොදු අශුභවාදය සහ පරාජිතවාදී ස්වභාවය, මූලික ලෙස නිව්යෝර්ක්හි අපේ සංවිධානය කෙරේ බල පවත්වයි. මෙහිදී සමාජ සංයුතිය පවතින්නේ හොඳම ආකාරයෙන් නො වේ; එය අප පිළිගත යුතුය. එය බොහෝ දේ පැහැදිළි කරයි. සැබෑ කම්කරුවා සම්බන්ධයෙන් සැලකූ විට, දෛනික ජීවිතයේ ඔවුන්ට මුහුණ දීමට සිදුවන කර්කශ හදිසි අවදානම් තත්ත්වයන්, ලෝකයේ කණගාටුදායක තත්ත්වය පිළිබඳව වැඩිමනත් සමපේක්ෂණ සිදු කිරීමේ අවසරයක් ඔවුන්ට ලබා නොදෙයි. ඔවුන්ට පසුබැස යාමට ස්ථානයක් කොයි අතකින්වත් නැත.
අපේ බහුජන කටයුතු සංවිධානය කිරීමේ හා උත්තේජනය කිරීමේ ද, පක්ෂයේ සමස්ත ක්‍රියාකාරීත්වයන් මෙම දිශාවට යොමු කිරීමේ ද දෘෂ්ටි කෝණයෙන් සම්මේලනය සාර්ථක එකක් වෙතැයි මට සාධාරණ විශ්වාසයක් පවතී. ඒ අතර ම සත්තකින්ම අපි මූලධර්මාත්මක මතභේද මඟ හැර ලිස්සා නො යන්නෙමු. මේ කරුණ සම්බන්ධයෙන් මම ෂැට්මන් සහෝදරයා සමඟ බොහෝ වාර ගණනක් කථා කර ඇත්තෙමි. සෑම ප්‍රශ්නයකට ම පැහැදිළි හා නිශ්චිත බෝල්ෂෙවික් පිළිතුරක් ලබා ගැනීම සඳහා සටන් කිරීමට අපි මුළුමණින් එකඟ ව දැඩි තීරණයකට එළැඹ සිටින්නෙමු. ඒ අතර ම, මෙම අශමනීය අරගලය, පෞද්ගලික සහෝදරාත්මක සම්බන්ධතාවල කවර හෝ බැරෑරුම් බිඳීමක් ඇතිවීම වැලැක්වෙන ආකාරයකින් හා තානයකින් පවත්වා ගෙන යාමට ද අපි අපේක්ෂා කරමු. පක්ෂයේ අතිමහත් බහුතරයක, හා විශේෂයෙන් ම කම්කරු බෝල්ෂෙවිකයන්ගේ, නොසැලෙන සහයෝගය ගැන අපට සහතික හෙයින් මේ කාරණය සම්බන්ධයෙන් අපට උපරිම ආකාරයෙන් අප පාලනය කර ගත හැකිය.
ඔබ හමුවීමට B සහෝදරයාට ආරාධනා කළ යුතුය යන යෝජනාව සම්බන්ධයෙන් මැක්ස් හා මා යන දෙ දෙනාගේ ම අදහස වන්නේ, සමුළුවට පූර්වයෙන් නම් එවැන්නක් කිරීම සම්පූර්ණයෙන් ම බැහැර කළ යුතු බවයි. ඇත්තෙන් ම කිවහොත්, සමුළුවෙන් පසු එවැන්නක් කිරීමේ ශක්‍යතාවයක් තිබෙනු ඇත් ද යන්න පිළිබඳව මට මහත් සැකයක් පවතී. සමුළුවේ ප්‍රතිඵලය දෙස අප බලා සිටිය යුතුය.
මේ කාරණාව සම්බන්ධයෙන් පරිපූර්ණ අවංක භාවයෙන් යුතුව ඔබට ලියා එවීම මගේ වගකීමයැයි මම හඟිමි. එමෙන් ම, මා එසේ කරන්නේ මා සඳහන් කරන දේ ඔබ හා ඔබේ ආසන්නතම පක්ෂ සගයන් අතරට සීමා වන බවට සම්පූර්ණ විශ්වාසයෙන් යුතුව ය.
පෞද්ගලික සම්බන්ධතා පළුදු විය හැකි කිසිවක් කිරීමට හෝ කීමට අපට අවශ්‍ය වූයේ නැත. මූලධර්මාත්මක දිශානති රේඛා බොඳ කර දැමීම සම්බන්ධ කරුණක දී හැර අන් සියල්ල සම්බන්ධයෙන්, මැක්ස් හා මම හැකිතාක් දුරට සමථයෙන් හා සුමට ආකාරයෙන් කටයුතු කරන්නෙමු. එහෙත් එය මෙම කාරනාවේ හුදු හරය පමණෙකි. අපට පෙනී යන පරිදි, B සහෝදරයා හුදෙක් රුසියාව සම්බන්ධයෙන් පමණක් නො ව පොදුවේ මූලික මූලධර්මවලට ද එරෙහිව කැරළි ගැසීමට කටයුතු කරයි.
සමුළුව වඩවඩාත් සමීප වන විට අපි පක්ෂය පිළිබඳ සංකල්පය සම්බන්ධයෙන් වඩවඩාත් ගැටුමට එළැඹී සිටින්නෙමු. ප්‍රජාතන්ත්‍රවාදය, මධ්‍යගතවාදය, අශමනීය ගුණය, පිටස්තර මනෝ භාවයන් හා න්‍යායයන් කාන්දු වීමට එරෙහි මුරණ්ඩු විරුද්ධත්වය, ව්‍යසනයන් පිළිබඳ මොර දෙන පණ්ඩිතමානී උඩු බුරන්නන්, පරාජිතවාදීන් හා මැසිවිලි නඟන්නන්ට එරෙහි නිර්දය ප්‍රහාරයක අවශ්‍යතාව, මේවා පිළිබඳ ප්‍රශ්න – වත්මන් තතු තුළ බෝල්ෂෙවික්වාදයේ අර්ථය උච්චාරණය කරන මේ සියලු ප්‍රශ්න සම්බන්ධයෙන්, ඉදින් ආචාරශීලී ව ගෙන යන්නේ වී වුව, අපි වඩවඩාත් ප්‍රගාඪ වූ ගැටුමක් තුළට පිවිසෙමින් සිටින්නෙමු. සතුරන්ගෙන් හා විසමෝධානීය සාධකවලින් යුත් ලෝකයකට එරෙහිව අප අවි අමෝරා ගත යුතු මෙවැනි කාලයක, B සහෝදරයා ඔහුගේ පසුබිම විසින් ද, ඔහුගේ වටාපිටාව හා ඔහුගේ පුහුණුව විසින් ද බලගතු ලෙස අබලදුබල කරනු ලැබ සිටියි. ඔහුට ශක්තිමත් චරිත ස්වභාවයක් ඇති අතර, ඔහුගේ හැකියාව පිළිබඳව මා අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් මට පෙනී යන අන්දමට, රුසියානු ප්‍රශ්නයෙන් – සහ දැන් අනෙකුත් ප්‍රශ්නවලින් ද – ඉස්මතු වන මතභේද, ප්‍රාථමික වශයෙන් – නැතහොත්, මූලික වශයෙන්යැයි කීම වඩාත් හොඳ ය – බුද්ධිමය හෝ න්‍යායික ඒවා නො වේ.
දැන් මා ප්‍රිය මිත්‍රය, මා ඔබට මෙය කිව යුතුය. ඔහු බුද්ධිමය ස්ව-උත්කෘෂ්ටභාවයේ ව්‍යාධියෙන් පෙලෙතැයි මම සිතමි. කවරෙකුට නම් මෙය සුව කළ හැකි ද? ඉදින් ඔහු බෝල්ෂෙවික් කම්කරුවන්ගේ කණ්ඩායමක් සමඟ මුළුමණින් ම අනන්‍ය ව, ඔවුන්ගේ දෛනික ජීවිතයේ අරගලයෙහි ජීව ගුණයේ ආනුභාවය යටතට ගෙන ආ හැකි වී නම්, යමෙකුට මේ පිළිබඳ වඩාත් වැඩි අපේක්ෂාවක් තබන්නට හැකි වනු ඇත. එහෙත් අවහිරය ඇත්තේ එතැන ය. තමන් අපෙන් එකෙකු බවට පත්වීම ගැන හැඟීමක් ඔහුට සැබැවින් ම නැත. ඔහුට පක්ෂ කර්තව්‍යයන් යනු වෘත්තියක් නො ව අමතර නියුක්තියකි. ක්‍ෂේත්‍රයේ අපේ සහෝදරවරුන්ගේ ක්‍රියාකාරීත්වයන්හි කොටස්කරුවෙකු වීම සඳහා, ඔවුන් සමඟ ජීවත් වීම සඳහා, ඔවුන්ගෙන් උගැනීම සඳහා හා තම පෞද්ගලික ජීවිතයේ දී ඔවුන්ගේ බලපෑම යටතට පැමිණීම සඳහා රටතොට සංචාරය කිරීමට ඔහුට නො හැකිය. ඔහුගේ සමාජමය පරිස්ථිතිය හාත්පසින් ම වෙනස් ය. සැබෑ බුද්ධිමතුන්ගේ මෙන් ම ව්‍යාජ බුද්ධිමතුන්ගේ ද ශාස්ත්‍රාලයීය ලෝකය දැන් පොදුවේ බරපතළ අසාරවාදයේ ද, සියල්ල පිළිබඳ නව සංශයවාදයක ද බරින් මැඬි ඇති බව ඔබ ඉතා හොඳින් දන්නෙහි ය.
සැබැවින් ම ඔහුගේ වැටහීමකින් තොරව, B සහෝදරයා මත්, ඔහුගේ දෛනික පරිසරයේ මෙම පීඩනයේ බලපෑමට හසුව ඇත. පක්ෂයේ සිය සහ-ක්‍රියාකාරීන් සුළු කොට තැකීමටත්, අපේ ජාත්‍යන්තර සහෝදරවරුන්ගේ පවා ආනුභාවයට නතු වීමේ හෝ කිසියම් දෙයක් උගැනීමේ අදහසට ප්‍රතිරෝධය දැක්වීමටත් ඇති මහත් ප්‍රවණතාවයක් සමඟ මෙය සංයෝග කරන්න. ප්‍රශ්නය තුළ කවර හෝ පහසු විසඳුමක ප්‍රතිඥාව ගැබ් වී නො මැති බව ඔබට දැකිය හැක.
B සහෝදරයා පිළිබඳ මෙම පෞද්ගලික අර්බුදය – සැබැවින් ම එය එවැන්නකි – පැමිණෙන බව දීර්ඝ කාලයක් පුරා මට හැඟී ගිය බව මා කිව යුතුය. විප්ලවවාදී පක්ෂය මිනිසුන් මුළුමනින් ගිල ගන්නා බවත්, ඔවුන්ගෙන් සියල්ල ඉල්ලා සිටින බව සහ එයට හුදු ඉඟිබිඟි පාන්නන් බැහැර කරන බවත් – අප සියලු දෙනා දන්නා සේ ම – මම දනිමි. B සහෝදරයා, සියලු අයිතිවාසිකම් වලට අනුව දැන් පක්ෂයේ ප්‍රමුඛතම නායකයන්ගෙන් කෙනෙකු ලෙස තමා ස්ථාපනය කොට ගෙන ඇති තතු තුළ, හා වඩාත් ක්‍රියාකාරී වෘත්තීයමය කාර්ය මණ්ඩලයක අත් හළ නො හැකි අවශ්‍යතාව ද සිත්හි දරමින් සිටින තතු තුළ, අවම වශයෙන් නිලධාරියෙකු බවට – ඉන් හැඟවෙන සියල්ල සමඟින් – පත්වීමට තමා සූදානම් කළ යුතුව ඇත. පසුගිය ගිම්හානයේ මා කැලිෆෝර්නියාවේ සිට ආපසු පැමිණි විට, ඔහු එවැනි බරපතළ තීරණයකට සූදානම් බවට අපේක්ෂාවක් මට තිබිණ. සමාජවාදී පක්ෂය සමඟ අපේ භේදය සමඟින් ඔහු ජාතික ලේකම් තනතුර භාර ගත යුතුයැයි මම වක්‍රාකාරයෙන් ඔහුට යෝජනා කළෙමි. එවකට කිසිදු බැරෑරුම් වෙනස්කම්වල අංශුමාත්‍රයක්වත් නො වූ නමුත්, එම අවස්ථාවේ මෙම යෝජනාවට ප්‍රතිචාර දැක්වීමට ඔහු අසමත්වීම, අනාගතය පිළිබඳ සැක ශංකාවන්ගෙන් මගේ සිත පුරවා ලී ය.
මෙම අතිශයින් අවංක අදහස මා විසින් ලියන ලද්දේ, ප්‍රශ්නයේ ස්වභාවය – මා එය දකින අයුරින් – ඔබ දැන සිටීම අත්‍යවශ්‍යයැයි මා සිතන නිසා ය. ඇතැම්විට, එම පදනම මත, පොදු භාෂාවක් හා පොදු මාවතක් පාදා ගැනීමෙහි ලා අප හා B සහෝදරයා යන දෙපාර්ශ්වයට ම ආධාරකාරී විය හැකි හැඟවීම් හා යෝජනා ඉදිරිපත් කිරීමට ඔබට හැකි විය හැක.
සහෝදරත්වයෙන්,
(අත්සන් කළේ) ජේ.පී. කැනන්
බර්න්හැම්ගේ සුළු ධනේශ්වර ආකල්පය පිළිබඳ මගේ මතය වර්තමාන කණ්ඩායම් අරගලයේ විදාරණය හමුවේ හදිසියේ සූත්‍රණය කරන ලද්දක් නො වන බවට මෙම ලිපිය සාක්ෂ්‍ය දරයි. “බුද්ධිමය ස්ව-උත්කෘෂ්ටභාවයේ ව්‍යාධිය” – එය සුලුධනේශ්වරයේ ව්‍යාධියයි.
එහෙත් තවමත් මෙය සම්පූර්ණ කථා වස්තුව නො වේ. මා ක්‍රක්ස්ට ලියූ ලිපියේ සඳහන් කළ පරිදි, එම ලිපිය ලිවීමට කෙටි කාලයකට පෙර (කෝර්කොරන් ඝාතනයේ දිනවල) මට මිනියාපොලිස්හි සිටීමට අවස්ථාව සැලසී තිබිණ. එහිදී මම, පක්ෂය තුළ ඇති මතභේද පිළිබඳව ද, නිව්යෝර්ක්හි ප්‍රධාන කමිටුවේ තත්ත්වය පිළිබඳව ද ප්‍රධාන සහෝදරවරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමි. නූගත් බුද්ධි-ද්වේශීන් ලෙස විපාක්ෂිකයන් විසින් දැන් විස්තර කෙරෙන මෙම සහෝදරවරු, මෙම සාකච්ඡාවේ දී, බර්න්හැම් සමඟ ඇති මතභේදය අනවශ්‍ය ලෙස ඔහු අමනාප කර නො ගන්නා, හෝ පක්ෂය තුළ ඔහු දරන ස්ථානය අයුතු ලෙස දුර්වල නො කෙරෙන ආකාරයකින් විවාද කිරීමට තමන්ගේ ඇති අභිප්‍රාය ඉතා දැඩි ලෙස අවධාරණය කර සිටියෝය. තමන් ඔහුගේ හැකියාවන් ඉතා ඉහළින් අගය කරන බවත්, ඔහුට සහෝදරාත්මක ව සැලකීම පිළිබඳ සහතික කිරීම, සමුළුවෙන් පසු දිගටම පක්ෂ නායකයෙකු ලෙස කටයුතු කිරීමට පහසු කර දීමක් වෙතැයි අපේක්ෂා කරන බවත් ඔවුහු සුපැහැදිලි ලෙස දන්වා සිටියෝය.
මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ අභිමතයන්ට අනුකූලව කටයුතු කිරීමට මගේ ඇති සූදානම මම සහතික කළෙමි. කෙසේවෙතත්, බර්න්හැම් සමඟ ඇති සැබෑ අවහිරය වන්නේ, ඔහුගේ සාවද්‍ය දේශපාලන ආස්ථානයට වඩා, ඔහුගේ ධනේශ්වර පෞද්ගලික ජීවිතය හා පක්ෂය සිය නායකයෙකුගෙන් ඉල්ලා සිටිය යුතු වඩවඩාත් තදබල අභියෝගකාරී ඉල්ලීම් අතර වූ වඩාත් මූලික ගැටුම බවට වූ මගේ මතය මම ප්‍රකාශ කළෙමි. එවැනි අවස්ථාවන්හි දී මිනිසුන් තමන්ගේ පෞද්ගලික දුෂ්කරතා සහ ප්‍රතිවිරෝධතා, කඩිමුඩියේ පක්ෂය සමඟ එළැඹි “දේශපාලන වෙනස්කම්” ලෙස යුක්තියුක්ත කිරීමට අවිඥානකව ම යත්න දරන බව මා නිරතුරුව නිරීක්ෂණය කර ඇති බව ද මම ඔවුන්ට කියා සිටියෙමි. ඉදින් බර්න්හැම් සැබැවින් ම අපෙන් එකෙකැයි අපට සහතික ලෙස හැඟී යන්නේ නම්, ඉදින් තමාගේ පැත්තෙන් සිය පෞද්ගලික ප්‍රතිවිරෝධතා විසඳා ගෙන විප්ලවවාදී ව්‍යාපාරය තුල අව්‍යාජ ලෙස වැඩ කිරීමට පැමිණීමේ අධිෂ්ඨානයක කිසියම් සංඥාවක් ඔහුට පෙන්විය හැකි නම් – එවැනි අවස්ථාවක දී, අප අතර දේශපාලන වෙනස්කම් සහෝදරාත්මක සාකච්ඡාවල හා පොදු වැඩ කටයුතුවල ගමන් මඟ ඔස්සේ අවසානයේ ජය ගත හැකි බවට අපේක්ෂා කිරීම සඳහා අපට වඩාත් හොඳ පදනමක් පවතිනු ඇත.
සමුළුවෙන් කෙටි කලකට පසු දිනෙක, ඉතා වැදගත් කරුණක් සාකච්ඡා කිරීම සඳහා කාර්යාලයෙන් පිටත දිවා ආහාරයක දී ෂැට්මන් හා සමඟ තමන් හමුවන ලෙස බර්න්හැම් මගෙන් ඉල්ලා සිටියේය. මිනියාපොලිස් සාකච්ඡාවට සහභාගී වී තිබූ සහෝදරයෙක් එහි දී මා ප්‍රකාශ කළ දේ ගැන ඔහුට වාර්තා කළ බව, මෙම හමුවේ දී ඔහු කියා සිටියේය. එය සිදු කෙරුනේ යහපත් විශ්වාසයකින් හා හොඳම අභිප්‍රායයන් මත බව, කෙසේවෙතත්, ඔහු අවධාරණය කළේය. ඊට පිළිතුරක් ලබාදීම සඳහා සූදානමකට අවකාශ නො ලැබිය හැකි පරිද්දෙන් ප්‍රශ්නය එවැනි ඍජු ආකාරයකින් මුහුණ ඉදිරියට පමුණුවා තිබීම ගැන මම මගේ කණගාටුව පළ කළෙමි. කෙසේවෙතත් දැන් ගින්නට පිදුරු වැටී තිබිණි. දැන් ගැටළුවට මුහුණ දීම විනා කළ හැකි අන් කිසිවක් නො වීය.
බර්න්හැම් අවංකව පැවසුවේ, ඔහුගේ දේශපාලන මතභේද තුළ ඔහු හුදෙක් සිය පෞද්ගලික ප්‍රතිවිරෝධයන් යුක්තියුක්ත කරතැයි යන මගේ උපකල්පනය සත්‍ය විය හැකිය යන්න සම්බන්ධයෙන් තමාට අවිනිශ්චිත බවයි. එය සැබෑ ප්‍රතිවිරෝධයක් බවත්, තමන් එය හඳුනා ගෙන ඇති බවත් සඳහන් කළ ඔහු, එය ස්ථිරසාර ලෙස විසඳීමට තමන් තවමත් සූදානම් නැතැයි පැවසීය. පක්ෂ කටයුතුවල වඩාත් ගැඹුරට කිඳී නිමග්න වනු වෙනුවට, මෙම කරුණ සලකා බැලීමට තමාට වැඩි කාලයක් අවශ්‍ය බව කී ඔහු ඉදිරි කාලයේ දී තම නිත්‍ය ලේඛණමය කටයුතු හැර අන් සියලු පක්ෂ කටයුතුවලින් මුදා හරින ලෙස ඉල්ලා සිටියේය. අපි මේ කරුණ මිත්‍රශීලී ලෙස සාකච්ඡා කළෙමු; අප ඔහුට නිලධාරීවාදී නියෝග කිසිත් පැනවූයේ නැත; අපි ඔහුගේ ඉල්ලීම්වලට එකඟ වීමු.
එක්දාස් නවසිය තිස් අටේ ජනවාරි 20 වන දින පැවැති දේශපාලන කමිටු රැස්වීම් සටහන් තුළ මෙම කරුණ පිළිබඳ නිල නිරාකරණය පහත දැක්වෙන පරිදි වාර්තා වේ:
කැනන් විසින් ඉදිරිපත් කෙරුණු යෝජනාව: ඉදිරි කාලය සඳහා බර්න්හැම් සහෝදරයාගේ කටයුතු සුවිශේෂී ලෙස ලේඛණමය හා කතෘ ක්‍රියාකාරකම් වන අතර, චර්යානුගත උපකමිටු වැඩ කටයුතුවලින් ඔහු නිදහස් කෙරේ. සම්මත විය.
ඉදින් පක්ෂය තුළ සිටින, නීරස කර්තව්‍යයන්ගෙන් මුදා හැරීම ප්‍රතික්ෂේප කෙරුණු කිසියම් කම්කරුවෙකු දේශපාලන කමිටුවේ මෙම රැස්වීම් සටහන කියවුවහොත්, ඔහු පක්ෂය තුළ “දෙවැනි පන්තියේ පුරවැසියන්” සිටීම පිළිබඳ ඇතැම් නිගමන සත්තකින් ම උකහා ගැනීමට ඉඩ ඇත. එහෙත් අපේ අග්‍රගන්‍ය පක්ෂ බුද්ධිමතා එකී ප්‍රවර්ගය තුළ ස්ථානගත වී ඇති බවට කිසිදු සාක්ෂ්‍යයක් ඔහුට සොයා ගත නො හැකි වනු ඇත. (මෙම වාර්තාවෙන් අහම්බයකින් ඉගෙන ගත හැකි දෙයක් නම්, දේශපාලන කමිටුවේ විධිමත් තීන්දු ඊට පෙර පැවැති අවිධිමත් සාකච්ඡා වලින් සූදානම් කෙරුණු එක ම අවස්ථාව, සුප්‍රසිද්ධ ඔටෝ උද්ඝෝෂණයේ “නව අවුරුදු රැස්වීම” පමණක් නො වූ බවයි. එවැනි අවස්ථා බොහෝ තිබී ඇති අතර, අනාගතයේ දී ද තවත් එවැනි බොහෝ අවස්ථා ඇති වනු ඇත. ඕනෑම බැරෑරුම් “සාමූහික නායකත්වය”ක සාමාන්‍ය විධික්‍රමය එයයි.)
එවක් පටන් කුමන වෙනස්කම් සිදු වී ද? සියලු පෞද්ගලික හා දේශපාලනික සහයෝගීතාවය බිඳ දමා අවසානයේ අප වර්තමාන තත්ත්වය කරා ගෙන ඒමට හේතුභූත වූයේ කුමක් ද? මගේ පැත්තෙන් කිසිවක් වෙනස් වී නැත; අද ද මගේ ගමන් මාර්ගය එදා මාවත ම ය. බර්න්හැම් ප්‍රතිවිරුද්ධ දිශාවට අනවරතව ගමන් කළේය. ෂැට්මන්, ඉහත වාර්තා කළ කථාබහෙන් පසු කෙටි කාලයක දී බර්න්හැම්ගේ කක්ෂය තුළට විස්ථාපනය වීමට පටන් ගත්තේය. දෙපසට ගලා ගිය අප දෙදෙනා දැන් සිටින්නේ ප්‍රතිවිරුද්ධ කඳවුරු වල ය. බර්න්හැම්, ඔහුගේ “විද්‍යාව සහ විලාසිතාව” ලිපිය සාක්ෂ්‍ය දරන පරිදි, මාක්ස්වාදයෙන් ද, බෝල්ෂෙවික්වාදයෙන් ද, නිර්ධන පන්ති විප්ලවයෙන් ද මුළුමණින් බිඳී ගොස් ඇත. පෙර දිනයේ බර්න්හැම්ට එරෙහිව බෝල්ෂෙවික්වාදය ආරක්ෂා කළ ෂැට්මන්, අද දින බෝල්ෂෙවික්වාදයට එරෙහිව බර්න්හැම් ආරක්ෂා කරයි. මෙකී වර්ධනයන් කැනන්ගේ “නිලධාරීවාදය” හා “කල්ලියක” කූටෝපායයන් පිළිබඳව කෙරෙන සඳහන් මඟින් පැහැදිළි කිරීම සඳහා උත්සාහ කිරීමට ඔවුන්ට ඉඩ දෙමු. මේවා හුදෙක් සිදුවීමට පසු සොයාගන්නා ලද හුදු නිදහසට කරුණු කීම් ය. මා විසින් පෙන්වා දෙන ලදැයි මා විශ්වාස කරන පරිදි, මගේ සියලු ප්‍රයත්න යෙදවුනේ වෙනත් අවසානයක දිශාවට ය.