නික් බීම්ස් විසිනි
මෙහි පළ කෙරෙන්නේ China trade surplus hits historic record යන මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ අද දින (ජනවාරි 17) පළ කර ඇති ලිපියේ සිංහල පරිවර්තනයයි.
පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු
චීනයේ වෙළඳ අතිරික්තය ඩොලර් ට්‍රිලියන 1.2 ක් දක්වා වර්ධනය වී ඇත. මෙය කවර හෝ වර්ෂයක කවර හෝ රටක් විසින් අත්පත් කර ගෙන ඇති අතිරික්තයේ ඉහළම මට්ටම වන අතර, ට්‍රම්ප් පාලනය විසින් ඉදිකරනු ලැබ ඇති තීරුබදු බාධක සහ සම්බාධක පැනවීම සඳහා සෙසු රටවලින් කෙරෙන තර්ජන තිබියදී වුව, එය ඉදිරියේ දී සැළකිය යුතු ආකාරයකින් පහත වැටෙනු ඇති බවට කිසිදු ඇඟවීමක් නො මැත.
2024 දී අත්පත් කර ගත් ඩොලර් මිලියන 993 ක අතිරික්තය පරයා යමින් මෙම නව වාර්තාව කරා සේන්දු වී ඇත්තේ එක්සත් ජනපදයට සිදු කෙරුණු අපනයනයන් සියයට 20 කින් පහත වැටී තිබීම නො තකා ය. ඊට වන්දි වශයෙන් හා ඊට ද වඩා වැඩිමනත් ප්‍රමාණයකින් සෙසු ලෝකය කරා කෙරුණු අපනයනයන් ඉහළ ගොස් ඇත.

පසුගිය වසරේ ගිනිකොනදිග ආසියාවට යැවුණු අපනයනයන් සියයට 13 කින් ඉහළට පිනූ අතර, යුරෝපා සංගමයට එය සියයට 8.4 කින් ද, ලතින් ඇමරිකාවට සියයට 7.4 කින් ද වර්ධනය වී ඇත. අප්‍රිකාවට සිදු කෙරුණු අපනයනයන් සියයට 26 ක විශාල ඉහළ නැඟීමක් පෙන්නුම් කරයි.
අප්‍රිකාව සම්බන්ධයෙන් ගත් කල, මෙම ඉහළ නැඟීමට යම්තාක් දුරකට හේතු වී ඇත්තේ මීට ඉහත කිසිදා මිළට නොගත් භාණ්ඩ මිළ දී ගැනීම ය. පසුගිය නොවැම්බරයේ චීන වෙළඳාම සම්බන්ධයෙන් සිදු කළ සමීක්ෂණයක් පිළිබඳ නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවට අනුව, දෙවසරකට ඉහත චීනය නයිජීරියාවට විකුණා ඇත්තේ ඉලෙක්ට්‍රික් මෝටර් රථ 100 ක් පමණෙකි. පසුගිය වසරේ එය දහස් ගණනකි. පසුගිය වසරේ ඇල්ජීරියාවට නැව්ගත කෙරුණු සූර්ය බලශක්ති පැනල ප්‍රමාණය 2024 දී යැවූ ප්‍රමාණය මෙන් සිව් ගුණයකි. අප්‍රිකාවට නැව්ගත කෙරුණු වානේ අපනයනයන් 2025 වසරේ සියයට 39 කින් ඉහළ ගොස් ඇත.
ඩොලර් අනුසාරයෙන් ගත් කළ 2024 සමඟ සංසන්දනය කිරීමේ දී අපනයනවල සියයට 5.5 ක වැඩිවීමක් පෙන්නුම් කෙරෙන අතර, අවම වශයෙන් කිවහොත් මේ මොහොතේ පෙනී යන පරිදි, එහි කෙළවරක් පෙනෙන තෙක් මානයේ නො මැත. දෙසැම්බර් මාසයේ අපනයන ඩොලර් අනුසාරයෙන් සැලකූ කළ සියයට 6.6 කි. එය නොවැම්බරයේ පැවැති 5.9 ක වර්ධන වේගයට වඩා බෙහෙවින් ඉහළ අගයක් වන අතර, බ්ලූම්බර්ග් පූර්වකථනයන්හි පෙර දැක තිබූ සියයට 3.1 ක වර්ධනය මෙන් දෙගුණයකට ද වැඩි අගයකි.
දෙසැම්බරයේ පමණක් වෙළඳ අතිරික්තය ඩොලර් බිලියන 114 කි. මාසික අතිරික්ත මට්ටම් අතර තුන්වැනි තැනෙහි ලා ගැනෙන එය අභිබවා ගිය මට්ටම් වාර්තා වී ඇත්තේ පසුගිය වසරේ ජනවාරියේ හා ජූනියේ පමණෙකි.
චීනයේ මෙම අතිරික්තය මෑතකාලීන ආර්ථික ඉතිහාසයේ දැක ඇති කවර හෝ එකකට වඩා විශාලත්වයෙන් ඉහළ මට්ටමක පවතින්නකි. ජපානයේ අතිරික්තය 1993 දී ඩොලර් බිලියන 93 ක අගයක් ගත් අතර, එය අද දින මූල්‍ය අගයන්ට අනුව ඩොලර් බිලියන 214 කට තුල්‍ය වේ. ජර්මනියේ අතිරික්තය 2017 දී ඩොලර් බිලියන 364 කට තුල්‍ය අගයක් කරා නැඟිනි.
චීනය මෝටර් රථ, බැටරි සහ සූර්ය පැනල ඇතුළු වර්ධනය වන භාණ්ඩ පෙළක ලොව ප්‍රමුඛයා බවට පත්ව ඇත. එය ලෝකයේ ප්‍රධාන වානේ නිෂ්පාදකයා වන අතර එහි නැව් තැනීමේ ධාරිතාව ඉදිරියේ එක්සත් ජනපදයේ එකී හැකියාව අඟුටුමිට්ටෙකු වැනි ය. ඇමරිකා එක්සත් ජනපදය සහ සෙස්සන් විසින් පනවනු ලැබ ඇති සීමාවන් තිබිය දී ම, ඒවා නොතකා, මෑතක දී ආරම්භ කළ සමාගමක් වන DeepSeek, එක්සත් ජනපදයේ නිෂ්පාදනය කෙරෙන වර්ධිත බුද්ධි පිළිසඳර රොබෝ (AI chatbot) මෙවලම් හා සංසන්දනය කළ හැකි එම වර්ගයේ මෙවලමක් පසුගිය වසරේ නිර්මාණය කළේ, එක්සත් ජනපදය ඒ සඳහා යොදන පිරිවැය සමඟ සැසඳීමේ දී ඉතා සුළු පිරිවැයක් දරමිනි. මෙය එහි තාක්ෂණික හැකියාවන් බලගතු ලෙස පෙන්නුම් කරන්නක් විය.
ලාබ චීන ආයාතයන්ගෙන් තම වෙළඳපොළවල් පිටාර ගොස් ඇතැයි අතිරික්තය සම්බන්ධයෙන් ප්‍රධාන ආර්ථික බලවතුන්ගෙන් – විශේෂයෙන් ම යුරෝපා සංගමයෙන් – නැඟෙන විවේචනවලට ප්‍රතිචාර දක්වමින් චීන ආණ්ඩුව එම විවේචන යළි ඔවුන් වෙත ම හරවා යැවීම සඳහා යත්න දැරීය.
චීනයේ රේගු පොදු පරිපාලනය පිළිබඳ නියෝජ්‍ය ඇමති වෑං ජුන් පවසා ඇත්තේ චීනයේ හවුල්කරුවන්ගේ අපනයන පාලනය, සිය ආනයන මීට වඩා වැඩි කිරීමෙන් චීනය වළක්වා ලන බවයි.
ඉක්බිති, එක්සත් ජනපදය වෙත එල්ල කළ – එහෙත් ඍජුව එහි නම සඳහන් නො කළ – සඳහනකින් ඔහු වැඩි දුරටත් මෙසේ කියයි: “ඇතැම් රටවල්, ඉහළ තාක්ෂණික නිෂ්පාදන චීනයට අපනයනය කිරීම අවහිර කිරීම සඳහා විවිධ ව්‍යාජ හේතු ඉදිරිපත් කරමින් ආර්ථික හා වාණිජ ප්රයුක්තීන් දේශපාලනීකරණය කරන බව පෙන්වා දිය යුතුය; නො එසේ නම්, අප මීට වඩා දේ ආනයනය කරනු ඇත. ආනයන වර්ධනය සඳහා දැවැන්ත ඉඩකඩක් පවතී.”
එහෙත් වෙළඳාම නිදහස් කිරීමත් අපනයන පාලනයන් ඉවත් කිරීමත් සඳහා කෙරෙන එවන් කැඳවීම් අපනයන සීමා අඩු කිරීමට සමත් වනු නැත. ඒ වෙනුවට ඉඩ ඇත්තේ මේ අවහිර කිරීම් තවත් තීව්ර කිරීමට ය. යුරෝපා සංගමය විසින් ගනු ලැබීමට නියමිත පියවරවල පෙරටු සේයා මතු කරමින් ප්‍රංශ ජනාධිපති එම්මානුවල් මැක්රෝන් පවසා ඇත්තේ චීනයෙන් පිටාර යන භාණ්ඩ ප්‍රවාහය “දරා ගත නොහැකි” බවයි.
පසුගිය වසරේ මුල් මාස 11 සඳහා චීනයේ වෙළඳ අතිරික්තය ඩොලර් ට්‍රිලියනය ඉක්මවා යන කල්හි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකරණ අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජීවා පසුගිය මාසයේ චීනයේ සංචාරයක යෙදෙමින් මෙසේ චීන ආණ්ඩුවට ඉතා තුනී ආවරණයකින් යුතු අනතුරු හැඟවීමක් සිදු කළා ය:
“කොටින්ම කිවහොත්, සිය අපනයන හරහා අති විශාල වර්ධනයක් ජනනය කර ගැනීමට ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය වශයෙන් චීනය විශාල වැඩි ය. තව ද, අපනයන කෙරේ රැඳුනු වර්ධනයක් මත රැඳී සිටීම ගෝලීය වෙළඳ ආතතීන් තවදුරටත් උත්සන්න කිරීමේ අවදානම මතු කරයි.”
වෙනත් වචනවලින් කිවහොත්, මේ අපනයනවල සැඩ පහර දිගටම ගලා යන්නේ නම්, සෙසු රටවල් තීරු බදු හා වෙනත් අවරෝධනයන් මඟින් පෙරළා පහර දෙනු ඇත.
චීනය තුළ ම සිටින ඇතැමුන් ද ඇතුළුව IMFහි හා අන්‍යයන්ගේ ඉල්ලීම වන්නේ ආණ්ඩුව දේශීය ආර්ථිකය උත්තේජනය කිරීමට හා සිය සමාජ සේවාවන් ප්‍රසාරණය කිරීමට මීට වඩා දේ කළ යුතු බවයි. එහෙත්, පාරිභෝජනය ඉහළ නැංවීම සඳහා ගැනෙන ඇතැම් කෙටිකාලීන පියවර හැරුණු කොට එවැනි පියවර ගැනීමට ක්ෂී ජින්පිං තන්ත්රය ක්‍රියා කරන බවට කිසිදු සංඥාවක් නොමැත.
චීනය තුළ වර්ධනය ඉහළ නැංවීමට පියවර ගැනීම ප්‍රතික්ෂේප කිරීම, ගැටළුවලට තුඩු දී තිබේ. පරිභෝජන වියදම් එක තැන පල් වෙමින් පැවතීම, ඉහළ-තාක්ෂණික හා අපනයන ක්ෂේත්රවලින් බැහැර ක්ෂේත්රවල ආයෝජන පහත වැටීම සහ දේපළ උත්පාතය බිඳ වැටීමේ ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය මත ඇති කෙරෙන ආපස්සට ඇදීම සමඟ ආණ්ඩුව දිගටම පොර බදමින් සිටී.
සමාජ සේවා සම්බන්ධයෙන් පැවසිය හැක්කේ, ක්ෂි තන්ත්රයේ “සමාජවාදී” ව්‍යාජ මවාපෑම් තිබිය දීම, ලෝකය පුරා ඇති ධනේශ්වර ආණ්ඩු සේ ම එකී තන්ත්රය ද වියපත් අය හා වඩාත් පුළුල් ලෙස කිවහොත් කම්කරු පන්තිය සඳහා වන සුබසාධන පියවර ප්‍රසාරණය කිරීමට සතුරු බව ය.
ක්ෂි 2021 දී මෙසේ ප්‍රකාශ කළේය: “සුබසාධන ප්රතිලාභ ඉහළ ගිය කල්හි, ඒවා පහසුවෙන් පහළට ගෙන ආ නො හැකිය. අපේ ධාරිතාවයට වඩා වැඩියෙන් ‘සුබසාධනවාදයේ’ නියැලීම පවත්වා ගෙන යා නො හැක්කක් වන අතර, එය නො වැළැක්විය හැකි පරිදි බැරෑරුම් ආර්ථික හා දේශපාලන ගැටළු ඇති කරනු ඇත.”
බටහිර ඕනෑම “නිදහස් වෙළඳපොල” ධනේශ්වර දේශපාලනඥයෙකුගේ මුවින් පිට විය හැකි වචන වලින් ක්ෂි මෙසේ පවසා ඇති බව වාර්තා වේ: “අලසබව බෝ කරන ‘සුබසාධනවාදයේ’ උගුල තුළට ඇද වැටීමෙන් අප නිශ්චිතව ම වැළකී සිටිය යුතුය.”
දේශීය ආර්ථිකය පුළුල් කිරීම සඳහා වන ඉල්ලීමට ප්රතිවිරුද්ධව, චීන රජය තාක්ෂණය සංවර්ධනය කිරීමේ එහි ප්රයත්නය ද්විගුණ කර ඇත. දැනටමත් වෙළඳ අතිරික්තය චීනයේ ආර්ථික නිර්යාතයන්ගෙන් දහයෙන් පංගුවකට වඩා වැඩි තත්ත්වයක් තුළ, නවතම පස් අවුරුදු සැලැස්මේ කේන්ද්‍රස්ථානය ලෙස පවතින්නේ මෙම ක්ෂේත්රයේ වැඩි දුරටත් ඇති කෙරෙන සංවර්ධනය සහ අපනයනවල තවදුර වැඩිවීමකි. එළැඹෙන මාර්තු මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති ජාතික මහජන සම්මේලනයේදී මෙම පස් අවුරුදු සැලැස්ම විධිමත් ලෙස අනුමත කෙරෙනු ඇත.
චීන කොමියුනිස්ට් පක්ෂයේ නිල පිළිවෙත වන්නේ “චීනයේ සාමකාමී සංවර්ධනය”යි. (ඉහත දී මෙම පිළිවෙත “චීනයේ සාමකාමී නැඟීම” ලෙස හැඳින්වුණු අතර, ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන්ගෙන් එල්ල වන විරෝධය ශමනය කිරීමේ ප්රයත්නයක් ලෙස එය සංශෝධනය කරන ලදී.)
එහෙත් අලංකාරෝක්තිවල වෙනස්කම් වෛෂයික ආර්ථික යථාර්ථයන් වෙනස් නො කරයි. වාර්තාගත වෙළඳ අතිරික්තය පිළිබඳ නිවේදනයේ ප්‍රතිඵලය වනු ඇත්තේ, හුදෙක් චීනය සමඟ යුදමය වශයෙන් ගනුදෙනු බේරා ගැනීමට අධිරාජ්‍යවාදය විසින් සිදු කෙරෙන සූදානම තීව්ර කිරීමයි.
ට්‍රම්ප්ට ඉහත බොහෝ කලක සිට ම එකකට පසු එකක් වශයෙන් එක්සත් ජනපදය පාලනය කළ අනුප්‍රාප්තික ආණ්ඩු, චීනයේ වර්ධනය හා තාක්ෂණික අභිවෘද්ධිය එක්සත් ජනපදයේ ලෝක ගෝලීය ආධිපත්‍යයට ඇති ප්‍රධාන තර්ජනය ලෙස දකිමින්, එකී වර්ධනයන් ආපස්සට ඇදීමේ ප්රයත්න වශයෙන්, තීරුබදු, අපනයන පාලනය සහ චීන තාක්ෂණය භාවිතා කිරීම එක්සත් ජනපදය තුළ මෙන් ම ලෝක ගෝලීය වශයෙන් ද තහනම් කිරීම ආදී වශයෙන් තමන් සතු වූ සෑම ආර්ථික පියවරක් ම භාවිතා කර ඇත්තාහ.
එහෙත් වාණිජ සංඛ්‍යාවන්ගෙන් හෙළි කෙරෙන පරිදි මෙම ප්රයත්න පැහැදිළිව ම අසාර්ථක වී ඇත. එක්සත් ජනපදය ප්‍රකට උත්තරීතරත්වයක් උසුලන එකම ක්ෂේත්රය වී ඇත්තේ ඉහළ තාක්ෂණික සංවර්ධනයයි. එහෙත් එම තතු ද ක්‍රමානුකූලව ඛාදනය වෙමින් පවතී. වාර්තාගත අතිරික්තය සම්බන්ධයෙන් එක්සත් ජනපදය නිහඬව සිටියි. – නිසැකව ම ඒ, පසුගිය ඔක්තෝබරයේ දී චීනය සමඟ එළැඹුණු වසරක් වලංගු වෙළඳ ගිවිසුමට අනුකූලව ය – එහෙත් ඒ අතර ම, ඇතැම් මාධ්‍යවල විස්තර කෙරී ඇති පරිද්දෙන් කිවහොත්, සිය පියවරවල “ප්රේක්ෂනීය ව්යවර්ථභාවය” නිසි අවධානයට යොමු වනු ඇත.
එහි අර්ථය වන්නේ, එක්සත් ජනපදය සිය ආර්ථික ආධිපත්‍යය පවත්වා ගැනීමට දරන ප්රයත්නය තුළ වඩවඩාත් වැඩියෙන් අධිරාජ්‍යවාදී යුද්ධය කරා හැරීමයි.
