කීත් ජෝන්ස් විසිනි
පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු
මෙහි පළ කෙරෙන්නේ, කීත් ජෝන්ස් විසින් ලියන ලදුව”, “After Venezuela, Trump targets Iran—the imperialist rampage escalates” යන මැයින් 2025 පෙබරවාරි 14 දින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) ඉංග්‍රීසි පිටුවේ පළ වූ ලිපියේ සිංහල පරිවර්තනයකි.
තාප න්‍යෂ්ටික ලෝක යුද්ධයක් කරා වන සිය ප්‍රයානය කඩිනම් කරමින් 2026 මුල් තෙදින තුළ වැනිසියුලාවට කඩා පැන ජනාධිපති මදුරෝ හා ඔහුගේ භාර්යාව බලහත්කාරයෙන් පැහැර ගත් ට්‍රම්ප් පාලනය දැන් ඉරානයට එරෙහි මිලිටරි මැදිහත්වීමකට පාරම්බාමින් සිටියි. ඉරාන පාලකයන්ට එරෙහිව පැතිර යන විරෝධතා මේ සඳහා පිනුම්පිත්තක් ලෙස භාවිතා කිරීම ඔවුන්ගේ සැලසුමයි.
මෙම තතු වටහා ගැනීම සඳහා මේ ලිපිය ඉමහත් ආලෝකයක් විහිදුවයි.

ඉරානය සිය නව යටත්විජිතවාදී ග්‍රහණයට ගැනීමටත්, එහි දැවැන්ත තෙල් සම්පත් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ පාලනය හා ආධිපත්‍යය යටතට පත් කර ගැනීමටත් තදාසන්න කාලයේ දශ ලක්ෂ 93 ක ජනයා වෙසෙන එම මැද පෙරදිග දේශයේ පාලන තන්ත්‍රය මාරු කිරීමේ මිලිටරි ප්‍රහාරයක් එල්ල කිරීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සූදානම් වෙමින් සිටී.
ඉරාන ආණ්ඩුවට එරෙහි විරෝධතාකරුවන් “ආරක්ෂා කිරීමේ” නරුම ආවරණය යටතේ එම රටට බෝම්බ හා මිසයිල හෙලීමට, ඇමරිකාවේ ෆැසිස්ට්වාදී ආඥාදායකයා විය හැකි ජනාධිපති ට්‍රම්ප් හා ඔහුගේ හෙංචයියන් රැල දින ගණනාවක් තිස්සේ තර්ජනය කරමින් සිටිති.
ජනවාරි 13 අඟහරුවාදා උදෑසන ඉරාන විරෝධතාකරුවන්ට යවන පණිවුඩයක් ලෙස සකසන ලද සමාජ මාධ්‍ය සටහනක ට්‍රම්ප් මෙසේ නිවේදනය කළේය: “ඔබේ ආයතන සිය’තට ගන්න… ආධාර මඟ එමින් පවතී.” මෙය පළ කෙරුනේ ඉරානයට පහර දීමේ “විකල්පයන්” පිළිබඳව පෙන්ටගනයේ ජනරාල්වරුන් හා සිය ආරක්ෂක කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමට යන්තමින් පැය කිහිපයකට පෙර ය.
විවෘත මූලාශ්‍ර රහස් තොරතුරු හා ගුවන් ගමන් නිරීක්ෂණ දත්තවලින් (Tracking Data) හෙළිදරව් කෙරෙන්නේ දෙසැම්බරයේ සිට පර්සියානු ගල්ෆ් කලාපයට යැවෙන යුද උපකරණවල උත්සන්න වීමකි. එය ඉරානයට එරෙහි යුද්ධයක් සඳහා පූර්ව අත්‍යවශ්‍යතාවයකි.
තමන් ඉරාන ජනතාවගේ “විමුක්තිදායකයා” ලෙස චිත්‍රණය කිරීමට දැරෙන ට්‍රම්ප්ගේ ප්‍රයත්නය, “මහා බොරු” පිලිබඳ හිට්ලර්වාදී සංකල්පය මත පදනම් වී ඇති භයංකාර වංචාවකි.
එක්සත් ජනපද අධිරාජ්‍යවාදය කිසිදා 1979 දී ෂා රජුගේ කෲර තන්ත්‍රය පෙරළා දැමූ මහජන නැඟිටීම සමඟ සමාදානයකට එළඹුණේ නැත. එය දශක ගණනාවක් පුරා ඉරානයට හා එහි ජනයාට එරෙහිව තර්ජන, මිලිටරි ප්‍රහාර හා ආර්ථික යුද්ධකරණයෙන් සමන්විත ව්‍යාපාරයක් ක්‍රියාවට නැංවීය. 2018 දී ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ සහාය ලත් ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ගිල්වා දමමින්, ඉරානයේ ආර්ථිකය කුඩුපට්ටම් කර එහි පාලන තන්ත්‍රයේ වෙනසක් ගෙන ඒමේ ප්‍රකාශිත අරමුණින් යුතුව ඉරානයට අඩපණ කරන සුළු සම්බාධක ඒක-පාර්ශ්විකව පැනවීය.
වොෂින්ටනය විසින් අපේක්ෂිත ප්‍රතිඵලය සෑමවිටම ඉරාන ජනයා ඇද දැමුවේ අගහිඟකම්වලට හා දුක්ඛිත භාවයට ය. සම්බාධක පැනවීමෙන් ඖෂධ හා දියුණු වෛද්‍ය උපකරණ ලබා ගැනීම අවහිර කිරීම පමණක් අකල් මරණ – ඉදින් ලක්ෂ ගණනකට නො වේ නම් – දස දහස් ගණනකට හේතුභූත විය.
සෑම විටම සිදුවන පරිද්දෙන් එක්සත් ජනපදයේ සංස්ථාපිත මාධ්‍ය සියල්ල ධවල මන්දිරයෙන් නිකුත් කෙරෙන එකම පිටපත කියවමින් සිටිති. ඔවුහු කිසිවක් ප්‍රශ්න නොකරති. කිසිදු සොයා බැලීමක් නොකරති.
අදින් දෙසතියකට මෙපිට කාලයේ වොෂින්ටනය වෙනිසියුලාවට නීති විරෝධී ප්‍රහාරයක් එල්ල කරමින්, එහි වැසියන් 80 කට වඩා මරා දමා, එහි ජනාධිපතිවරයා පැහැර ගෙන, ලෝකයේ විශාලතම ඛනිජ තෙල් සම්පත් මත සිය පාලනය පිහිටුවීය. ඊට පෙර සතිවල දී මාධ්‍ය – ඇමරිකානු අධිරාජ්‍යවාදයේ 2003 ඉරාක ආක්‍රමණයට පූර්ව කාලයේ දී සදාම් හුසේන්ගේ “සමූහ ඝාතක අවි” පිළිබඳව හුස්මක් කටක් නොගෙන පුනරුච්ඡාරණය කළ ආකාරයට ම – ජනාධිපති නිකොලස් මදුරෝ මත්ද්‍රව්‍ය ත්‍රස්ත-තන්ත්‍රයක නායකත්වය උසුලතැයි යන ඇමරිකානු පාලනයේ විනිවිද පෙනෙන සුළු මුසාව යළි යළිත් පුනරුච්ඡාරණය කළේය.
දැන් ට්‍රම්ප්, ඔහුගේ දෑත් ශක්තිමත් කරන ඩිමොක්‍රටික් පාක්ෂිකයන් හා මාධ්‍ය, නව සාධාරණීකරණ හේතුවක් නිර්මාණය කිරීම සඳහා ඉරානයේ පැවැත්වෙන පෙළපාලි ගසා කමින් සිටිති. මේ නව සාධාරණීකරණය ඉදිරිපත් කර ඇත්තේ, පසුගිය ජූනි මාසයේ 1,000 කට වඩා ජනයාට මරණය කැඳවමින් දින 12 ක් පැවැති ඉරානයට එරෙහිව කළ එජ-ඊශ්‍රායල යුද්ධයේ යුක්තියුක්ත කළ හේතුව විස්ථාපනය කරමිනි. 2024 දෙසැම්බර් 29 දින මාර්-(අ)-ලාගෝහි පැවැති රහස් යුද මන්ත්‍රණයේ දී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතනියාහු විසින් කැඳවුම් කරන ලද හේතු දැක්වීම වූයේ ඉරානයේ සිවිල් න්‍යෂ්ටික වැඩ පිළිවෙල මතු කරතැයි කියන ලද තර්ජනයයි.
කම්කරු පන්තියේ කවරාකාර හෝ දේශපාලන ස්වයං-ප්‍රකාශනයක් මර්දනය කරන්නා වූත්, ෂාගේ කෲර රාජකීය ඒකාධිපතිත්වය පෙරළා දැමූ 1979 විප්ලවයෙන් ඉක්බිති ක්ෂණිකව කම්කරු ජනයාට ලබා දෙන ලද සමාජ සහන ක්‍රමානුකූලව කපා හෙලුවා වූත් ඉරාන පූජක ධනපති ජාතිකවාදී තන්ත්‍රය කෙරේ ජනයා අතර පුළුල්ව පැතිර ගිය කෝපයක් හා කළකිරීමක් පවතින බව නිසැක ය.
අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය වසා දමා ඇති තතු යටතේ ඉරානය තුළ ක්‍රියාත්මක වන සියලු බලවේග පිළිබඳ විස්තීර්ණ අගයනයක් සිදු කිරීම අසීරු ය. එහෙත් මේ මොහොතේ, ඉරානය තුළ දැන් දිග හැරෙමින් පවතින විරෝධතා කම්කරු පන්තියේ ඒවා හෝ, කම්කරු පන්තිය වෙනුවෙන් කෙරෙන ඒවා බවට විශ්වාසනීය සාක්ෂ්‍ය නො මැත. විරෝධතාකරුවන්ගේ සමාජ සංයුතිය, ඉරානයේ කම්කරුවන් හා ගම්බද වැඩකරන ජනයා මුහුණ දෙන හදිසි සමාජ-ආර්ථික ගැටළු ආමන්ත්‍රණය කරන කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් නො වීම හා බහුජන වැඩ වර්ජන ආකාරයේ කිසිදු සංවිධානාත්මක කම්කරු පන්ති මැදිහත්වීමක් නො පැවතීම මෙයට සාක්ෂ්‍ය දරයි.
විරෝධතාවලට මුල් පිරුවේ බසාර් වෙළඳුන් ය – එනම්, මුදල් ණයට දෙන්නන්, වෙළඳුන් හා කඩ සාප්පු කරුවන්ගෙන් සමන්විත ධනපති හා සුළු ධනපති කොට්ඨාශයකි. එය එතැන් පටන් වඩවඩාත් අත්පත් කර ගත්තේ යුක්‍රේනයේ, ජෝර්ජියාවේ හා අන් සෑම තැනක දීමත් ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ එහි ඒජන්තයන් විසින් කුපිත කරවන ලද “වර්ණ විප්ලවයන්ට” නිශ්චිත ආකාරයෙන් ම සමාන, දක්ෂිනාංශික, අධිරාජ්‍ය-ගැති ස්වභාවයකි.
පසුගිය සතියේ අග භාගයේ දී නගර මධ්‍යස්ථාන “අල්ලා ගෙන අත්පත් කර ගැනීමෙන්” ආණ්ඩුව පෙරළා දැමීමට බලපෑම් කරන්නැයි විරෝධතාකරුවන්ට බල කළ ෂාගේ පුත් රේසා පාලවි ඔටුන්න හිමි කුමරා වැනි විදේශගත අධිරාජ්‍යවාදී ක්‍රියාකාරීන් මෙන් ම, CIA සහ සෙසු අධිරාජ්‍යවාදී ඔත්තු සේවාවල ක්‍රියාකාරීන් ද ප්‍රත්‍යක්ෂ ලෙස ම මේවාට සම්බන්ධව සිටින අතර, ප්‍රචණ්ඩත්වය ඇවිලවීමෙහි ලා ඔවුහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරති. ඉරාන භූමිය තුළ ඊශ්‍රායල ඒජන්තයන් ක්‍රියාත්මක වෙමින් සිටිතැයි, පසුගිය බ්‍රහස්පතින්දා (ජන. 8 දින) අන්ත දක්ෂිනාංශිකයෙකු වන ඊශ්‍රායලයේ උරුමය පිළිබඳ ඇමති අමිචායි එළියාහු පාරම් බෑවේය.
ඉරානයේ තේරී පත් වූ ජනාධිපති ජාතිකවාදී මොසාදි පළවා හැරීමට CIA ය හා බ්‍රිතාන්‍ය M15 ආරක්ෂක සේවාව කුමන්ත්‍රණයක් සංවිධානය කළ 1953 දී මෙන් ම මෙහි දී ද, අධිරාජ්‍යවාදය ඉරාන ධනේශ්වර හා සුළු ධනේශ්වර කොටස් හරහා වැඩට බැස සිටියි. අධිරාජ්‍යවාදයේ ඍජු ඒජන්තයන් ලෙස ක්‍රියාත්මක වීම මඟින් ස්වකීය ධනය හා වරප්‍රසාද සුරක්ෂිත කර ගැනීමට ආසක්ත වූ ඉස්ලාමීය ජනරජ ස්ථාපිතයේ කළකිරීමට පත් කොටස් ද ඊට ඇතුළත් බවට සැකයක් නැත.
විරෝධතා තුළ මේ මොහොතේ ප්‍රමුඛ ලෙස ඉස්මතු වී සිටින කොටස් පීඩිත බහුජනයාගේ තතු සම්බන්ධයෙන් දුෂ්ට ලෙස සතුරුව සිටින්නෝ වෙති. “මගේ හදවත ස්ඵන්දනය වන්නේ ඉරානය වෙනුවෙන් පමණි – ගාසාව වෙනුවෙන් හෝ ලෙබනනය වෙනුවෙන් නොවේ” යන ප්‍රමුඛ විරෝධතා සටන් පාඨයෙන් ද, ඇෆ්ගනිස්ථාන සරණාගතයන් විරෝධතාකරුවන්ගේ ඉලක්ක බවට පත් වීමෙන් ද, වඩවඩාත් පාලවී රාජවංශය සරණ යාමට විරෝධතාකරුවන් නැඹුරු වීමෙන් ද මෙය නිදර්ශනය වේ.
ඉස්ලාමීය ජනරජයේ දුෂ්පාලනය හේතුවෙන් හා “ප්‍රජාතන්ත්‍රවාදයේ” නාමයෙන්, අන්ත දක්ෂිණාංශික බලවේග සමඟ එක්සත් වීමක් කැඳවා සිටින, ඉරානය තුළත් ඉන් පිටතත් වෙසෙන ව්‍යාජ වම්මුන් විසින් පතුරුවා හැරෙන ව්‍යාකූලත්වය හේතුවෙන් ඇතැම් කම්කරුවන් හා ශිෂ්‍යයන් කණගාටුදායක ලෙස දැනට පැවැත්වෙන විරෝධතාවල සහ රාජ්‍ය මර්දනයේ ග්‍රහණයට හසු වී ඇති බවට සැකයක් නැත. එහෙත් ලෝක සමාජවාදී වෙබ් අඩවිය මීට ඉහත පැහැදිළි කළ පරිදි, “ඉරානය තුළ පවතින කවර හෝ ප්‍රගතිශීලී ප්‍රවණතාවයක් වහා ම ට්‍රම්ප්ගේ ‘සහයෝගය’ ප්‍රතික්ෂේප කළ යුතු අතර, එය තදාසන්න එජ යුද ක්‍රියාකාරීත්වයක තර්ජනය හෙළා දැක, ඉරාන ආර්ථිකයේ ගෙල සිර කරන දණ්ඩනීය සම්බාධක වහා ඉවත් කරන ලෙස කැඳවුම් කළ යුතුය.”
සියලු හැඟවීම් වලින් පෙනී යන පරිදි, විරෝධතාවල අධිරාජ්‍ය-ගැති ස්වභාවය වඩාත් පැහැදිළි වී ඇති හෙයින්, එය ඉරාන සමාජයේ වඩාත් වරප්‍රසාදිත කොටස්වලට සීමා වී ඇත. කම්කරු පන්තිය තුළ ෂාගේ තන්ත්‍රයේ මතකය – එනම්, එය එජ අධිරාජ්‍යවාදයට දැක්වූ යටත්භාවය, රටේ ධනය ඒකාධිකාරී ලෙස අත්පත් කර ගත් ආකාරය හා එය රැඳී සිටි කුරිරු මර්දනය පිළිබඳ මතකය – නො නැසී පවතී.
ඉරානයේ සිදුවීම් සම්බන්ධයෙන් දැන් සිය “ත්‍රාසය” හා “පිළිකුල” නිවේදනය කරන අධිරාජ්‍යවාදීන්, ගාසාව තුළ පළමුව බයිඩන් යටතේ ද, දැන් ට්‍රම්ප් යටතේ ද වොෂින්ටනය විසින් පිදෙන පරිපූර්ණ සහයෝගය හා මිලිටරි ආධාර සමඟ, ඊශ්‍රායලය දැන් සිදු කරමින් පවතින සාපරාධය – වටලා කොටු කර ගත් සමස්ත ජනකායයක් නාසි පන්නයෙන් හාමතයේ තැබීම තිබියේවා; දස දහස් ගණනින් පලස්තීන පුරුෂයන්, ස්ත්‍රීන් හා දරුවන් ඝාතනය කිරීම – සම්බන්ධයෙන් කම්පාවට පත් වී නැත.
වසර ආරම්භයේ දී වෙනිසියුලාව සම්බන්ධයෙන් ක්‍රියා කළ පරිද්දෙන් ම ට්‍රම්ප් පාලනය ක්‍රියා කරමින් සිටින්නේ ආන්තික අපරාධකාරීත්වයකින් හා අනවධානයකිනි.
කෙසේවෙතත්, වෙනිසියුලාවට එරෙහි ප්‍රහාරය, හා තන්ත්‍ර මාරු කිරීමේ ක්‍රියාන්විතයට ආසන්නව වොෂින්ටනය විසින් පිදෙන පරිපූර්ණ සහයෝගය හා මිලිටරි ආධාර සහිතව ඉරානයට එරෙහිව එල්ල කළ ප්‍රහාරය එකිනෙක සමඟ සම්බන්ධ වන්නේ අපරාධකාරීත්වයට වඩා වැඩි යමකිනි. මේ ප්‍රහාර, වර්ධනය වෙමින් පවතින ලෝක යුද්ධයක කොටස් ය.
චීනය සමඟ යුද ගැටුම සූදානම් කිරීම තුළ ලෝකයේ ඛනිජ තෙල් සම්පත් සිය ග්‍රහණයට ගැනීමට එක්සත් ජනපදය යත්න දරයි. චීනය එහි දෛනික ඛනිජ තෙල් පරිභෝජනයෙන් සියයට 70 කට වඩා වැඩි ප්‍රමාණයක් ආනයනය කරයි. විවිධ තක්සේරු කිරීම්වලට අනුව, ඉරානය 2025 දී චීනයේ සියලු ආනයන වලින් සියයට 11 ක් සම්පාදනය කළ අතර වෙනිසියුලාව සියයට 3-4 ප්‍රතිශතයක සැපයුම්කරුවා විය. ඉරාන ඛනිජ තෙල්වලට ප්‍රවේශය අහිමිවීම චීනයේ ස්වාධීන කාර්මික පදනම මත සැලකිය යුතු ආර්ථික හා මූලෝපායයික කම්පනයක් දනවනු ඇත.
කම්කරුවන් මේ අනතුර වටහා ගත යුතුය: එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ඉරානයට එරෙහිව ගණනය කළ නො හැකි තරමේ ප්‍රතිවිපාක දනවන නව යුද්ධයක අද්දර පසුවෙයි. ඉරානයට තර්ජනය කරමින් රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මෙසේ පවසා ඇත. “[ට්‍රම්ප්] යමක් කරන බව කියන විට ඔහු සැබැවින් ම අදහස් කරන්නේ එයයි.” ආඥාදායකයෙකු ලෙස පාලනය කරන බවට ට්‍රම්ප් සපථ කර ඇති සේ ම, ඉරානයට එරෙහිව මිලිටරිමය ක්‍රෝධෝන්මාදය මුදා හරින බවට ද ඔහු යළි යළිත් සපථ කර ඇත.
“මට ජාත්‍යන්තර නීතිය අවශ්‍ය නැතැ”යි ට්‍රම්ප් පසුගිය සතියේ නිව්යෝර්ක් ටයිම්ස් වෙත පැවසීය. ඔහු වැඩිදුරටත් කීවේ, “මා නැවැත්විය හැක්කේ මගේ ම අභිමතයට පමණකැ”යි යනුවෙනි.
යථාර්ථයේ දී ඔහු නැවැත්විය හැකි යමක් පවතී: එය නම් ජාත්‍යන්තර කම්කරු පන්තියයි. ඉරානය සමඟ යුද්ධයට ට්‍රම්ප් සූදානම් වෙමින් සිටින මොහොතේ පවා නිව්යෝර්ක් නගරයේ 15,000 ක් හෙද සේවකයෝ වැඩ වරා සිටිති. මෙය, මෙම නගරය තුළ දශක ගණනාවකින් ඇති වූ විශාලතම හෙද වර්ජනයයි. ප්‍රංශය තුළ කප්පාදුවලට එරෙහිව ලක්ෂ ගණනක් වැඩ වර්ජනය කර සිටිති. නොවැම්බරයේ දී ඉතාලියේ මහා වැඩ වර්ජනයක් පැවැත්වින. බෙල්ජියමේ කම්කරුවෝ එහි හවුල් ආණ්ඩුවට එරෙහිව වර්ජනය කර සේවා ස්ථානවලින් පිට වී ගියෝය. ජර්මනියේ සිට, එක්සත් රාජධානියේ සිට ලතින් ඇමරිකාව දක්වා ම ධනපති ක්‍රමයට හා යුද්ධයට එරෙහි ගෝලීය ව්‍යාපාරයක් සඳහා වෛෂයික තතු ඉස්මතු වෙමින් පවතී.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය සිය නව අවුරුදු ප්‍රකාශනයේ සඳහන් කළ පරිදි ම, “2026 වර්ෂය නිර්බාධිත මිලිටරි ප්‍රචණ්ඩත්වයේ වර්ෂයක් වනු දැකීමට තමන්ට අවශ්‍ය බව පාලක පන්තිය පැහැදිළිව දක්වා ඇත. පිළිතුර විය යුත්තේ 2026, පන්ති අරගලයේ වර්ෂය හා සමාජවාදය සඳහා බහුජන ව්‍යාපාරයක් වර්ධනය කිරීමේ වර්ෂය බවට පත් කර ගැනීමයි.” මෙය රඳා පවතිනු ඇත්තේ කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ගොඩ නඟා ගැනීම හා එහි අරගල රාජ්‍ය දේශසීමා මායිම් ඉක්මවා එක්සත් කිරීම පිණිස, කම්කරු පන්තිය තුළ මාක්ස්වාදී මූලධර්ම තුළට මුල් බැස ගත් සහ නො නවතින විප්ලවයේ උපාය මාර්ගයෙන් සන්නද්ධ නව නායකත්වයක් ගොඩ නැඟීම මත ය.
