ශාන්ත විජේසූරිය විසිනි
පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ, පොලිස් පරික්ෂක දොන් ලක්ෂ්මන් අමරතුංග කොළඹගේට විරුද්ධව බලපිටිය මහේස්ත්‍රාත් උසාවියේ විභාග කිරීමට නියමිතව තිබූ අංක AR 2049 /22 නඩුව විභාග නො කරන බව බලපිටිය මහේස්ත්‍රාත් දෙසැම්බර් 10 දා ප්‍රකාශ කලේය.
2022 ඔක්තෝම්බර් 12 වනදා, පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් අමරතුංග විසින් ඉන්දික ප්‍රභාත් හෙවත් ඇඹිලිපිටියේ පොඩි ඉන්දික වෙඩි තබා ඝාතනය කරනලදී. හෙලිදරව් වී ඇති පරිදි, එදින විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු නාඔටුන්න ආරච්චිගේ පියුමිට (බිරිය) අයත් කෝට්ටේගොඩ නිවසේ දී ඉන්දික අත්අඩංගුවට ගෙන, එතැන දී ම අමානුෂික ප්‍රහාරයකට ලක්කර “ආයුධ පෙන්වන්නටය”යි අහුංගල්ලට ගෙන ගියහ. අත්අඩංගුවට ගැනීම සිදු වන්නේ අහුන්ගල්ලේ RIU සංචාරක හෝටලය ඉදිරිපිට දී පුද්ගලයන් කිහිපදෙනෙකුට වෙඩි තැබුවේ ය යන බොරු චෝදනාව යටතේ ය.
ඉන්දික ප්‍රභාත් යුද හමුදා ඉංජිනේරු බලකායේ හිටපු ලාන්ස් කෝප්‍රල්වරයෙකි. ඔහු 2018 ට පෙර මංකොල්ල සිද්ධියකට සම්බන්ධ ව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිට ඇත. ඔහුට එරෙහි ව මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ මිනීමැරුම් සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් නැත. ඔහු කිසිදු පාතාල කණ්ඩායමක් සමග සෘජු ව සම්බන්ධ වී සිටි බවට හෝ කොන්ත්‍රාත් කළ බවට පොලිස් පොත්වල කිසිදු සටහනක් නොමැත. අහුන්ගල්ලේ සිදු කලා යැයි කියන ඝාතනවලට වග කිව යුතු පාර්ශව ඒ වන විටත් පොලිසිය දැන සිටියේ ය. එමෙන් ම ඔහුට එම ඝාතනවලට සම්බන්ධ පාතල කල්ලිවලින් තර්ජන එල්ල වී ඇත. අදාල පාතාල කල්ලි පොලිසියේ සහයෝගය ලබන බව රහසක් නො වේ. මේ නිසා ඉන්දික මරා දමන ලද්දේ එම කල්ලියක කොන්ත්‍රාත්තුවක් අනුව ය යන සැකයට සාධාරන හේතු තිබේ.
අහුංගල්ලේ දී ආයුධ සොයන්නට යයි ගෙන ගොස් අත්වල ඇඟිලි කඩා, දනහිස්වලට පොලුවලින් පහර දී වද දීමෙන් පසු ඉන්දික ඝාතනය කරනු ලැබ තිබිනි. ඔහුගේ මෘත ශරීරයේ අත්වල ඇඟිලි කිහිපයක් ම හැලී තිබෙන අයුරු දක්නට ලැබිනි. පොලිස් පරීක්ෂක කොළඹගේ සුපුරුදු ලෙස උසාවියේ දී කියා සිටියේ අත්අඩංගුවේ සිටි පුද්ගලයා සගවා තිබූ ආයුධයකින් තමන්ට වෙඩි තැබීමට උත්සාහ කල නිසා ආත්මාරක්ෂාව උදෙසා වෙඩි තැබූ බව ය. නමුත්, මරණ පරික්ෂණ වාර්තාව සහ ඉදිරිපත් වූ අනෙකුත් සාක්ෂි අනුව මෙය චේතාන්විත ව සිදු කළ මරනයක් බව බලපිටිය මහේස්ත්‍රාත්වරයා තින්දු කළේ ය.
ඒ අනුව ඔහු, පොලිස් පරික්ෂක කොළඹගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇල්පිටියට 2024 ජුලි 09 වන දා නියෝග කළේ ය. මෙම නියෝගය පොලිස් අධිකාරී විසින් ක්‍රියාත්මක කරනු ලැබුවේ නැත. නඩු වාර කිහිපයක දී ම විත්තිකරු ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කල නියෝගය පලක් නො වී ය.
මේ අතර, කේ .ඒ. මහේෂ් ඉන්දික ප්‍රභාත් හෙවත් මරණකරුගේ නඩුව තවදුරටත් ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය නැති හෙයින්, එම නඩුව වසා තබන්නැයි නීතිපතිවරයා විසින් බලපිටිය මහේස්ත්රාත්වරයාට ලිඛිතව දැනුම් දී තිබිනි. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කල බලපිටිය මහේස්ත්‍රාත් ආර්. ඩී ජානක පෙරේරා, නොවැම්බර් 10 වනදා පැවති නඩු වාරයේ දී, නඩුව නැවත දෙසැම්බර් 10 විභායට ගන්නා බවත් එදිනට චූදිත නිලධාරියා උසාවියට ඉදිරිපත් කල යුතු බවත් දැනුම් දුන්නේ ය.
නමුත් දෙසැම්බර් 10 දින නඩු වාරය වන විට මහේස්ත්‍රාත්වරයා අදහස වෙනස් කර ගෙන තිබිනි. නීතිපතිවරයාගේ නියෝග අභියෝගයට ලක් කර ආරවුල් ඇති කර ගැනීමට තමාට කිසිදු උවමනාවක් නැති නිසා නඩුව විභාගයට නො ගෙන අවසන් කිරීමට තිරණය කළ බවත් අගතියට පත් පාර්ශවයට යුක්තිය ඉෂ්ට කර ගැනීමට අවශ්‍ය නම් ඉහල අධිකරණයට යා හැකි බවත් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය හමුවේ පැවසී ය. මාස 5ක් තිස්සේ අධිකරණ නියෝගය ක්‍රියාත්මක නො කල පොලිසිය සම්බන්ධයෙන් අධිකරණයට ගත හැකි පියවරක්ද නො වී ය. අධිකරණයට තව දුරටත් පෙර පැවති සාපේක්ෂ ස්වාධීනත්වය පවා නැත. එය සියල්ලන්ට සමාන ව යුක්තිය ඉටු කරන ආයතනයක් ලෙස පවතීන්නේ ය යන්න මිත්‍යාවක් බව මේ සිදුවීම්වලින් පෙනී යයි.
ජාතික ජන බලවේග ආන්ඩුවේ නීතිපති, මිනීමැරුමක් සම්බන්ධ කාරනයක දී, චූදිතයා තමන් එම ඝාතනය කල බව පිලි ගෙන තිබිය දී පවා, සාක්ෂි නැතැයි කලින් ම තීන්දු කර නඩුව විභාග කිරීම වැලැක්වීම කැපී පෙනෙන කරුණකි. පොලිස් විශේෂ කාර්ය බලකායට එරෙහි ව පුද්ගලයන් පැහැරගෙන ගොස් මරා දැමිම්, අතුරුදන් කිරීම් සහ අත්අඩංගුවට ගෙන වධ හිංසා පැමිණවීම් සම්බන්ධයෙන් නඩු 17 ක් විභාග වෙමින් පවතී. මෙසේ පැහැර ගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයින් අතරින් සහ වධහිංසා පුමුනුවන ලද පුද්ගලයින් වෙනුවෙන් නඩු පවරා ඇත්තේ ඉතාමත් සුළු පිරිසක් පමණි. වැඩි දෙනෙක් විශේෂ කාර්ය බලකාය සමග නඩු කීමෙන් ජිවත්ව සිටින අයටත් අනර්ථයක් වීමේ අනතුර හා වියදම් දැරීමට නොහැකි නිසා අසරන ව සිටිති. ඉන්දික ප්‍රභාත් සිද්ධිය එක් සාක්ෂියක් පමනි.
ඉන්දික ප්‍රභාත් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති හා නීතිඥ වරුණ ජයන්සුන්දර පැමිණ සිටි බව සිය සාක්ෂියේ දී පියුමි ප්‍රකාශ කලා ය. පොලිසියේ ප්‍රතිචාරය වූයේ, කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ සමුහ මංකොල්ල අංශය, ජයසුන්දරට එරෙහිව බොරු සාක්කි දී උසාවියට අපහාස කලේයැයි, 2024 සැප්තැම්බර් 03 වනදා පාන්දර ඇයගේ කෝට්ටේගොඩ නිවසට කඩා වැදි ඇය අත්අඩංගුට ගැනීම ය. ඇයට මරණ තර්ජන එල්ල වුනි. වින්දිතයන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරීය මගින් පියුමිට සැපයු ආරක්ෂාව බලපිටිය මහේස්ත්‍රාත්වරයා නඩුව වසා දැමීමත් සමග ඉවත් කර ගැනීමට යන බව වාර්තාවේ.
ජාජබ ආන්ඩුව බලයට පැමිණීමට පෙර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව යටතේ නීතිපතිවරයා මහර බන්ධනාගාර රැඳවියන් මරා දැමීමේ නඩුව වසා තබන්නැයි වැලිසර මහේස්ත්‍රාත් ධම්මික උඩුවවිදානට මේ අයුරින් ම දන්වා සිටියේය. එම සිදුවීමේ දී කොවිඩ් වසංගත මුල් කර ගෙන මහර බන්ධනාගාරයේ ඇති නොසන්සුන්තාවය පාලනය කිරීමේ මුවාවෙන් සිරකරුවන් 11 කට හිසට සහ පපුවට වෙඩි තබා ඝාතනය කරන ලදී. එම අපරාධය සිදු කළවුන් අත්අඩංගුවට ගන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිය දී නීතිපතිවරයා එම නඩු වසා දමන්නැයි එදා දැන්වීය.
ඊට ද ඉහත, රාජපක්ෂ පාලනය යටතේ කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් සහ රැඳවියන් ඇතුළු 27 දෙනෙකු 2012 නොවැම්බර් 10 වනදා වෙඩි තබා ඝාතනය කරන ලදී. එම අපරාධය සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර කොමසාරිස් රංජන් ළමා හේවාට දඬුවම් කළ ද, පසුව ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු නිදොස් කොට නිදහස් කළේය. වැලිකඩ සමුහ ඝාතනය සහ සිරකරුවන් පිරිසකට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිවෙකු අත්අඩංගුවට රැගෙන නැත.
ගම්පහ වැලිවේරියේ රතුපස්වල මහජනයා පිරිසිදු ජලය ඉල්ලා හේලිස් කොම්පැණියට එරෙහි ව 2013 අගෝස්තු 10 වනදා පැවැත්වූ උද්ඝෝෂණයට හමුදාව වෙඩි තබා උද්ඝෝෂකයන් තිදෙනෙකු මරා දැමූ අතර හතලිස් පස්දෙනෙකුට (45) දෙනෙකුට බරපතළ තුවාල සිදු කෙරිණි. එම නඩුව විමර්ශකයින්ගේ දෝෂ සම්බන්ධයෙන් අධිකරණයට මැදිහත් වීමට හැකියාවක් නැති නිසා විත්තිකරුවන් වන යුද හමුදා මේජර් ජනරාල්වරයා සහ හමුදා සෙබළුන් තිදෙනා සියලුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන බව ගම්පහ මහාධිකරණ විනිසුරු මඬුල්ල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසුහ. මේ අනුව මෙම මරණ හා තුවාල සිදු කළ අපරාධකරුවෙකු නැත; වින්දිත පීඩිතයන්ට ඉටු වූ යුක්තියක් නැත.
මේ අපරාධ යහමින් භාවිතා කරමින් මහජන ඡන්දයෙන් බලයට පැමිණි ජාතික ජන බලවේගයේ ආන්ඩුව, නීතිය සැමට සාධාරන ව ක්‍රියාත්මක කරන බවට පුනපුනා ප්‍රකාශ කිරීම නරුම වංචාවක් බව ඉහත මුල් සිදුවීම සනාථ කරයි. මින් පෙර හෝ එවන් සමානත්වයක් නො පැවති අතර, ජාජබ කටයුතු කරමින් සිටින්නේ එදා ද පැවැති අසමානතාව සෑම අතින් ම තවදුරටත් තීව්ර කිරිමට ය. එය දැනටමත් මහජනයා අනාරක්ෂිතභාවයට ඇද දමමින් පොලිස් මර්දන යන්ත්‍රය ශක්තිමත් කිරීමට පියවර ගනිමින් සිටී. ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත් විමෙන් අනතුරුව පැවති ජාතික ආරක්ෂක මණ්ඩල රැස්විමේ දී, පොලිස් විශේෂ කාර්ය බලකායට එරෙහි ව පවරා ඇති නඩු ඉවත් කර දෙන්නැයි ආරක්ෂක අංශ ප්‍රධානීහු ජනාධිපති අනුර දිසානායකගෙන් ඉල්ලා සිටියහ. දිසානයක මේ පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ගන්නැයි නීතිපති පාලින්ද රණසිංහට උපදෙස් දුන්නේ ය. නීතිපති, ඉන්දික ප්‍රභාත්ගේ නඩුව වසා තබන්නැයි බලපිටිය මහේස්ත්‍රාත්ට නියෝග කළේ ඊට පසු දා ය.
ජාජබ ආන්ඩුවේ මෙම පිලිවෙත පාලක පන්තියේ පැවැත්මේ අනිවාර්ය කොන්දේසි තුලින් ගලා අවුත් ඇත. එසේ වන්නේ, ආන්ඩුවට කිසිදු මහජන අවශ්‍යතාවක් ඉටු කිරීමේ කුමන හෝ වැඩ පිලිවෙලක් ඉදිරිපත් කල නො හැකි බැවිනි. ඒ වෙනුවට ධනපති පන්තියේ පැවැත්ම ආරක්ෂා කිරීම සඳහා අධිරාජ්‍යවාදී සැලසුම්වලට සමස්ත කම්කරු පන්තිය හා පීඩිතයින් යටත් කිරීම එය භාරගෙන ඇති වගකීමය.
ජාජබය සිය පක්ෂය ගොඩ නැගීමේ දී, පොලිසියේ හා හමුදාවේ විශ්‍රාමික ප්‍රධානීන් සහ ඒ සමග ම ආරක්ෂක අංශයේ සැලකිය යුතු කන්ඩායමක් සමග මධ්‍යම පන්තියේ දක්ෂිනාංශික ව්‍යාපාරයක් පෙල ගස්වා ගත්තේ මෙම වගකීම ඉටු කිරීමේ පරම චේතනාවෙනි. එහි අරමුන ‘රට ගොඩ නැගීම’ හෙවත් ධනේශ්වර රාජ්‍යයත්, ශ්‍රමය සූරාකමින් ලාභ ගැරීම සඳහා ධනපති පන්තියට ඇති ඊනියා අයිතියත් කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවගේ අභියෝගයෙන් බේරා ගැනීම ය.
ආරක්ෂක නියෝජ්‍ය අමත්‍යවරයා ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර,. මහජන ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න වැන්නන් පත් කර ගෙන ඇත්තේ මෙම තතු තුලය. එය සාමාන්‍ය තත්වයක් නො වේ.
ආන්ඩුවත් මහජනතාවත් මුහුන දී සිටින්නේ යල් පැන ගිය සමාජ ක්‍රමය පිලිබඳ ප්‍රශ්නයට ය. පාලක පන්තිය ඕනෑම විනාශයක් මගින් පන්ති පාලනය රැක ගැනීමට සූදානම් ය. එය පැරනි සහයෝගිතා දේශපාලනයට සමු දී ඇත. ඔවුන් එළඹ සිටින්නේ පන්ති යුද්ධයකට ය. මේ යටතේ කම්කරුවන්ට ගොවීන්ට හා තරුනයන්ට ධනපති රාජ්‍ය ආයතනවලින් හෝ ඒවායේ නීතිවලින් ආරක්ෂාවක් නැති බව අවධාරනය කර ගත යුතු ය. ඒ වෙනුවට රාජ්‍ය ආරක්ෂක ආයතන පීඩිත මහජනතාව මත ක්ෂමා විරහිතව කඩා පැනීම නො නැවතී උත්සන්න වනු ඇත. තමන්ගේ ම සුපරික්ෂාකාරී කමිටු හා ආරක්ෂක කමිටු පීඩිත ජනතාවගේ අවශ්‍යතාවක් වන්නේ මෙම කොන්දේසි තුලය. ඒ සදහා කම්කරු ක්‍රියාකාරී කමිටු තුල සංවිධානය වීම අත්‍යවශ්‍ය ය.