පිලිප් ගුවෙල්පා විසිනි
පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු
මෙම ලිපිය, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 දෙසැම්බර් 26 දින පල වූ “What makes human culture unique from culture of other animals?” නම් ලිපියේ පරිවර්තනයකි. සියලු රූ සටහන් ද ලෝසවෙඅ පල වූ එම ලිපියෙන් උපුටා ගත් ඒවාය.
******
මානවයෝ පෞරානික මහා වානරයන්ගෙන්* (පසු සටහන බලන්න) පරිනාමය වූ සත්ත්වයෝ වෙති. අපි ස්වභාව ධර්මයේ කොටසක් වෙමු. එතෙකුදු බොහෝ ආකාරවලින් අපි අසමසම වෙමු.
මානවයා යනු හුදු පරපුරෙන් පරපුරට ලබා දුන් ජානමය වශයෙන් නිර්නය වූ චර්යාවන් මත නොයැපී අලුතින් ඉගෙන ගන්නා වූ, එනම් – සංස්කෘතියක් ඇති, එකම සත්ත්වයායැයි සිතූ කාලයක් විය. කෙසේවෙතත් දශක ගනනාවක පර්යේෂන හෙලිදරව් කර ඇත්තේ, අග්‍රේෂයන්, කාක පවුලේ පක්ෂීන් ආදී වශයෙන් වන තවත් සත්ත්ව විශේෂ ගනනාවකට ද සංස්කෘතියක් ඇති බවය. ඒ කොයිහැටි වෙතත්, මානව සංස්කෘතිය පැහැදිලිව ම අන් සියලු සත්ත්වයන්ට වඩා ගුනානාත්මක ලෙස සුවිශේෂී ය. අපේ පැවැත්ම ම උදෙසා අපි ඉතා සංකීර්න සංස්කෘතික උරුමයන් මත රඳා සිටිමු. මෙම වෙනසට හේතුභූත වූයේ කුමක් ද? එය හුදෙක් මට්ටම් සම්බන්ධ ප්‍රශ්නයක් ද? නැතහොත් මානව සංස්කෘතිය සම්බන්ධ කිසියම් අද්විතීය දෙයක් වේ ද?
ඇරිසෝනා සරසවියේ ජේ. එච්. මෝර්ගන් සහ ස්ටැන්ෆර්ඩ් සරසවියේ මාකස් ඩබ්ලිව්. ෆෙල්ඩ්මන් යන පර්යේෂකයෝ මෙම ගැටලුවට ආමන්ත්‍රනය කරමින් නව කල්පිතයක් ඉදිරිපත් කර ඇත්තාහ. මෙම කල්පිතය ඉදිරිපත් කෙරී ඇත්තේ Nature Human Behavior ජර්නලයේ 2024 නොවැම්බර් 7 කලාපයේ “මානව සංස්කෘතිය අද්විතීය ලෙස සමුච්චිත වූවකට වඩා, අද්විතීය ලෙස විවෘතාග්‍ර වූවකි” යන මැයෙන් පල කල ලේඛනයක ය.
චිම්පන්සීහු ආම්පන්න භාවිතයට උගනිති. උදාහරනයක් ලෙස, කුඩා රිකිලිවලින් පත්‍ර ගලවා දමන ඔවුහු එම කෝටු වේ තුඹස්වලට ඇතුලු කොට, එහි එල්ලෙන වේයන් ආහාරයට ගනිති. මෙය සහජයෙන් සිදු කෙරෙන (එනම්, ජානමය වශයෙන් නිර්නිත) චර්යාවක් නොව, අනෙකුත් චිම්පන්සීන්ගේ ක්‍රියාවන් නිරීක්ෂනයෙන් ඉගෙන ගන්නා දෙයකි. එය, දෘඩ ඵලවල සවිමත් පිටපොත්ත බිඳීමට මිටියේ හා කිනිහිරයේ තාක්ෂන ක්‍රම යොදා ගන්නා වඳුරන් හා චිම්පන්සීන් නිරීක්ෂනය වී තිබීම, තුරුනු මාංශ භක්ෂකයන්ට ඔවුන්ගේ මව්පියන් විසින් දඩයම උගන්වනු ලැබීම ආදිය වැනි ය.
තම වර්ගයාගේ අන්‍ය සාමාජිකයන් දෙන ලද කාර්යයන් ඉෂ්ට කර ගන්නා ආකාරය නිරීක්ෂනය කිරීමෙන් විවිධ සත්ත්ව විශේෂ, ඉහත කී චර්යාවන් මෙන් ම වෙනත් හැසිරීම් රටා ද උගනිති. කෙසේවෙතත් මෙකී චර්යා සීමිත ස්වභාවයේ ඒවා වෙති. වෙනස්කම් සිදුවන්නේ චේතනාන්විතව නොව ඉතා සෙමෙනි.
නව අධ්‍යයනයේ කතුවරු පලමුවෙන්, මානව සංස්කෘතියේ පවත්නා සුවිශේෂී ස්වභාවය පිලිබඳ දැනට පවත්නා උපකල්පනයන් දෙකක් හඳුනා ගනිමින් ඒවා ඇගයුම් කරති. ඉන් මුල් කල්පිතය වන්නේ, මානව සංස්කෘතිය සමුච්චිත වන බව සහ, එක් පරපුරක සිට ඊලඟ පරපුර දක්වා දැනුම ගොඩ නැඟෙන අතර එමඟින් එය සංකීර්නත්වයෙන් වැඩෙන බවයි. මානව-නොවන සත්ත්වයන්ගේ සංස්කෘතික දැනුම සාපේක්ෂව ස්ථිතික ය.

දෙවැනි උපකල්පිතය විසින්, “සමුච්චිත සංස්කෘතික වෙනස්වීම බලගැන්වීමේ ඥානන සාධකය ලෙස, ස්ථාවර, අතිශයින් විශ්වාසදායී සම්ප්‍රේෂනය සඳහා වන අපේ ධාරිතාව හඳුනා ගැනේ.” මෙය පදනම් වී ඇත්තේ “අනුකරනය, ඉගැන්වීම හා භාෂාව” මත ය. අන්‍ය සත්ත්වයන්ගේ සම්ප්‍රේෂනය අනුකරනයට හා ඉගැන්වීමට සීමා වී ඇත. එහි ප්‍රතිඵලය වන්නේ විශ්වාසදායීත්වයේ (එනම්, නිරවද්‍යතාවයේ) වඩාත් අඩු මට්ටමකි, නැතහොත් පමනට වඩා අනවශ්‍ය තොරතුරු ගැබ් වීමකි. භාෂාව උපයෝගී කොට සිදුකෙරෙන චේතනාන්විත උගැන්වීම්, ගෙන යනු ලබන තොරතුරුවල නිරවද්‍යතාවය හා සංකීර්නත්වය යන දෙකම ඉමහත් ලෙස වර්ධනය කරයි. කෙසේවෙතත් කතුවරුන්ගේ තර්කය වන්නේ, මානව සංස්කෘතියේ ඇති අද්විතීය ස්වභාවය පැහැදිලි කිරීමට මෙය අප්‍රමානවත් බව යි.
ඉනික්බිතිව ඔවුහු මානව සංස්කෘතියේ සුවිශේෂී ස්වභාවයට යටින් පවතිතැයි සිතිය හැකි වෙනත් පැහැදිලි කිරීම් හතක් විමර්ශනය කරති. මෙකී පැහැදිලි කිරීම් ලක්ෂන, සත්ත්ව විශේෂ ගනනාවක් තුල, ඇතැම් අපෘෂ්ටිවංශිකයන් තුල පවා, දැකිය හැකිය. එකී ලක්ෂන මෙසේ ය: අත්පත් කර ගත් ලක්ෂන පරපුරෙන් පරපුරට උරුම වීම, උරුමයේ යාන්ත්‍රනයන්, විචලනයන්ගේ අහඹු නොවන ජනනය, උරුම කල හැකි විචලන පරාසය, විචලනයන් වර්ගයාගේ ජෛවමය යෝග්‍යතාවය කෙරේ ඇති කරන බලපෑම්, විචලනයන් වර්ගයාගේ ජන්මමය යෝග්‍යතාවය කෙරේ ඇති කරන බලපෑම්, විචලනයන් පරිනාමීය ගතිකයන් කෙරේ ඇති කරන බලපෑම්. එහෙත් අධ්‍යයනය අවසානයේ සොයා ගෙන ඇත්තේ මේ කිසිවක් හුදු මානවයාට අනන්‍ය වූ ලක්ෂන නොවන බවයි.
ඒ වෙනුවට වර්තමාන අධ්‍යයනයේ කතුවරුන් යෝජනා කරන්නේ, මානව සංස්කෘතිය අද්විතීය වන්නේ එහි “විවෘතාග්‍රභාවය” (open-endedness) නිසා බවයි. අන් සියලු සත්ත්වයන්ට වෙනස් ලෙස මිනිසාට, අවසාන ඉලක්කයක් සපුරා ගැනීම සඳහා පියවර ගනනාවක සංකීර්න අනුපිලිවෙලක් ඉගෙන ගැනීමේ හා ක්‍රියාවට දැමීමේ හැකියාව ඇත. වෙනස් කර්තව්‍යයන් ගනනාවක් සාක්ෂාත් කිරීමට මෙකී පියවර හෝ අතුරු ඉලක්ක වෙන් වෙන්ව යොදා ගත හැකිය යන අර්ථයෙන් ගත් කල එකී පියවර හෝ අතුරු ඉලක්ක “මොඩියුලාකාර” වේ. තව දුරටත් කිවහොත්, ඒවා නව අවශ්‍යතාවලට සරිලන පරිදි නව්‍ය අනුපිලිවෙලවලට නිර්මානාත්මක ආකාරයෙන් යලි ගැලපිය හැකිය.
උදාහරනයක් ලෙස, සාධකයන්ගේ පුලුල් පරාසයකට ඉඩ සැලසෙන හා උපයෝජනය වන ආකාරයෙන් ඉතා මටසිලුටු ලෙස යොදා ගත හැක්කක් වන භාෂාව සම්බන්ධයෙන් මෙය හොඳින් ප්‍රකට වේ. කතුවරුන් සුවිශේෂී ලෙස මේ සම්බන්ධයෙන් සඳහන් නොකරන නමුදු, මෙකී සුඛ නම්‍යතාවයේ පදනම රැඳී ඇත්තේ භාෂාවේ ම ස්වභාවය – එනම්, පරිබාහිර ලෝකයේ ක්‍රියාවන් හා ප්‍රපංච, මනෝමය සංකේත හෝ අදහස්වලට වියුක්තනය කරන චින්තනයේ යාන්ත්‍රනය – තුල ය. මේ තතු, නව වාක්‍ය තැනීම සඳහා වචන සංයෝග කරමින්, පෙරලා එම වාක්‍ය නව්‍ය ඡේද තුලට ඒකාබද්ධ කරමින් මීට ඉහත නොපැවැති දේ ප්‍රකාශ කිරීමට උපයෝගී කර ගත හැකි පරිද්දෙන් ම, අදහස්, මූලාරම්භයේ දී ඒවා උපුටා ගැනුනු තත්ත්වයන්ට වඩා වෙනස් තත්ත්වයන්හි දී නව්‍ය ආකාරවලින් හසුරුවා ලීමට හා යොදා ගැනීමට අවකාශ සලසයි. චිම්පන්සීන් වේ තුඹස්වලින් වේයන් බිලී බා ගැනීමට කෝටු භාවිතා කිරීම වැනි චර්යා, අතිසීමිත තනිතනි ක්‍රියාවන් ගනනක් සමඟ බැඳුනු (සුදුසු කෝටුවක් තෝරා ගැනීම, එහි පත්‍ර කිසිවක් ඇත්නම් ඒවා සිඳ දැමීම සහ එය තුඹස තුලට ඇතුලු කිරීම), අතිශය සුවිශේෂී ඒවා වන අතර, එම චර්යා වෙනත් ප්‍රයෝජන සඳහා පවරා දිය හැකි නොවේ. චිම්පන්සින්ට හා ගෝරිල්ලන්ට ආම්පන්න නිර්මානයේ හෝ මානව භාෂාවේ වඩාත් සංකීර්න අනුක්‍රමයන් ඉගැන්වීමට දරන ලද ප්‍රයත්නයන්ට වැඩි සාර්ථකත්වයක් ලැබී නැත. ඊට පිලිමල් ආකාරයෙන් මානවයන්ට, නව ප්‍රපංච හා නවක තතුවලට ආමන්ත්‍රනය කිරීමේ ශක්‍යතාව හිමි වන පරිද්දෙන්, චර්යාමය මොඩියුල මනෝමය ලෙස හසුරුවා ලිය හැකි, සහ බොහෝදුරට අසීමිත ආකාරයෙන් ම පාහේ යලි සංයුක්ත කල හැකි වියුක්තීන් ලෙස ග්‍රහනය කර ගැනීමේ හැකියාව පවතී. විවෘතාග්‍රභාවය යන යෙදුමෙන් කතුවරුන් හඳුන්වන්නේ මෙයයි. සත්තකින් ම මෙකී මනෝමය නිර්මිතයන්ගේ සඵලතාව අන්තර් ක්‍රියාකාරීත්වයේ අපෝහක ක්‍රියාවලියකට යටත් වේ. සැබෑ ලෝකයේ උපයෝගී කර ගැනීමේ දී මේවා පරීක්ෂා කර පිරිපහදු කර ගත යුතු හෝ බැහැර කල යුතු වේ.

පුරා විද්‍යාත්මකව එවැනි චර්යාමය සංකීර්නත්වයක වර්ධනය, සරලතම ඔල්ඩොවන් (වසර මිලියන 2.9 සිට 1.7 දක්වා වූ කාලයකට පූර්වයෙන්) සිට ඉන් ඔබ්බට වූ පාෂාන ආයුධවල පරිනාමය තුල සොයා ගත හැකිය. සෑම අදියරක දී ම, ක්‍රියාවලිය තුල වඩාත් වැඩි සුනම්‍යතාවයකින් හා නවීකරනයකින් යුත්, වඩවඩාත් වැඩියෙන් විශේෂිත වූ ආම්පන්න නිපදවීමට අවශ්‍ය නිෂ්පාදන පියවර හා නිෂ්පාදන තාක්ෂනයන් සංඛ්‍යාවත් ඒවායේ විවිධත්වයත් වර්ධනය විය.
ඊට අමතරව, භාෂාව භාවිතා කිරීමේ හැකියාව නිසා, මානව සංස්කෘතිය තිරස් සම්ප්‍රේෂනයේ ඉහල මට්ටමකට නතු වේ. වෙනත් වචනවලින් කිවහොත්, ඊට හුදු එක් පරපුරකින් ඊලඟ පරපුරට (එනම්, මව්පියන්ගෙන් දරුවාට – නැතහොත් සිරස් සම්ප්‍රේෂනය) පමනක් නොව, සමකාලීනව කන්ඩායමේ අන් සාමාජිකයන් සමඟ ද (දැනුම) බෙදා දිය හැක. එනම්, තිරස් සම්ප්‍රේෂනය ද සිදු කල හැකිය. මෙම තත්ත්වය විසින්, චර්යාවන්ගේ නව්‍ය සංයෝජනයන් ඉදිරිපත් කල හැකි පුද්ගල සංඛ්‍යාව ප්‍රසාරනය කෙරෙන අතර, එමඟින් නව ගැටලු විසඳීමේ විභවය වර්ධනය කෙරේ.
වඩාත් මෑතක පල වී ඇති අධ්‍යයනයක් මෝර්ගන් හා ෆෙල්ඩ්මන් අධ්‍යයනය වර්ධනය කරමින් ඊට වඩාත් වැඩි සංකීර්නත්වයක් එක් කර ඇත. පසුගිය (2024) දෙසැම්බර් 5 වන දින Peer J විද්‍යාත්මක ජර්නලයෙහි පල වූ “මෙවලම් භාවිත කිරීමේ ස්වභාවික කර්තව්‍යයක් අතරතුර චිම්පන්සි ක්‍රියාකාරිත්වයෙහි අබද්ධ යැපීම් හා අනුක්‍රමික ව්‍යුහය” නම් ලේඛනය තුල දැක්වෙන පරිදි, එලියට් හොවාර්ඩ්-ස්පින්ක් හා සගයන්, ගිනියාවේ බොසෝ වනාන්තරයේ වල් චිම්පන්සියන් නිරූපනය කරන වීඩියෝ දර්ශනවල දශක ගනනාවක් පුරා පැවැති දත්ත ගබඩාවක වීඩියෝ දත්ත උපයෝගී කර ගත් අතර, එහිදී චිම්පන්සියන්, දෘඩ පිට කටුවකින් යුත් ගෙඩි බිඳ ගැනීම සඳහා මිටිය සහ කිනිහිරය ආකාරයට ගල් භාවිතා කල අයුරු වාර්තා වී තිබින. වයස අවුරුදු 6 ත් 60 ත් අතර චිම්පන්සියන් 8 දෙනෙකු, මෙසේ ඵලවල පිට කටුව බිඳීමේ ප්‍රයත්න 3,882 ක් එහිදී පර්යේෂකයන් විසින් නිරීක්ෂනය කෙරින. මේවාට බහුවිධ තනි තනි ක්‍රියාවන් ඇතුලත් වී තිබින. “අල්ලා ගැනීම,” “වත් කිරීම,” “හැරවීම” සහ “ඉහිරවීම” ඒ අතර විය.
වැඩිහිටි චිම්පන්සීන් සම්බන්ධ අවස්ථාවලින් අඩක දී පමන අදාල කර්තව්‍යය සඳහා, මානවයා විසින් උපයෝගී කර ගැනෙන සංවිධාන ප්‍රවර්ගවලට සමාකාර වූ විස්තාරිත ධුරාවලියක සකස් කෙරුනු, ඇතැම්විට වෙන් වෙන් කාලාවකාශයන් තුල සිදු කෙරුනු, බහුවිධ ක්‍රියා සම්බන්ධ වූ බව ඔවුන්ට පෙනී ගියේය. චර්යාවේ මෙකී සංකීර්න මට්ටම හට ගැනුනේ නිරීක්ෂනයට භාජනය වූ තනි තනි චිම්පන්සින්ගෙන් අඩක් පමනක් අතරින් බව ඔවුහු නිරීක්ෂනය කලහ. මෙකී වෙනස කාලය සමඟ වැඩි දියුනු නොවීම විසින් යෝජනා කෙරෙන්නේ, ශ්‍රම කර්තව්‍යයන් ධූරාවලි ආකාරයෙන් ව්‍යූහගත කිරීමේ සංජානන හැකියාව, චිම්පන්සි අනුවර්තනයේ අත්‍යවශ්‍ය අංගයක් නොවන බවයි. මානව සංස්කෘතික අද්විතීයත්වයට යටින් පවත්නා මානසික ධාරිතාවයේ අවම වශයෙන් ප්‍රාරම්භක අවස්ථාව හෝ, අපගේ සමීපතම පරිනාමීය ඥාතීන් වන චිම්පන්සීන් සතුව පැවතීම මවිතයට කරුනක් නොවේ. මෙකී හැකියාව, අඩුම තරමින් ප්‍රාථමික මට්ටමකින් හෝ, මානවයාගේ හා චිම්පන්සීන්ගේ අවසාන පොදු පූර්වජයා සතුව පැවැති සේ ය. පරිනාමය සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන්නේ පවත්නා “අමුද්‍රව්‍ය” මත ය. එය මුල පටන් ම වැඩ අරඹන්නේ කලාතුරකිනි. ඊලඟ විශාල ප්‍රශ්නය වන්නේ මෙයයි: විවෘතාග්‍රභාවය සඳහා වන ධාරිතාව මානවයා සඳහා ඒ සා අතිවිශාල ලෙස ප්‍රසාරනය වූයේත්, එහෙත් චිම්පන්සින් අතර එතරම් පහත මට්ටමක පවතින්නේත් කෙසේද?
පසු සටහන:
මනුජයන් (Hominids) ලෙස ද හැඳින්වෙන මහා වානරයන්, වර්ගීකරනයෙන් අග්‍රේෂයන්ගේ පවුලට අයත් වන අතර, වර්තමානයේ පෘථිවියේ වාසය කරන ගන හතරකට අයත් ජීවී විශේෂ අටක් මීට අයත් ය:
- පොන්ගෝ ගනය: බොර්නියා, සුමාත්‍රා හා ටපනුලිහි ඔරංඔටං සත්ත්වයන් මේ ගනයට අයත් ය.
- ගොරිල්ලා ගනය: පෙරදිග හා බටහිර ගොරිල්ලා සත්ත්වයන් මීට අයත් ය.
- පැන් ගනය: චිම්පන්සීන් හා බොනොබෝවන් (පිග්මි චිම්පන්සීන්) මේ ගනයට අයත් ය.
- හෝමෝ ගනය: මේ ගනයෙන් ශේෂව සිටින්නේ නූතන මානවයා පමනෙකි.