නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 12-I

ජේම්ස් පී. කැනන්

පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු

හතරවැනි ජාත්‍යන්තරයට එහි මුල් කාලයේ ම මුහුණ දීමට සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර අරගලයක් පිළිබඳව ද, එහි ලා අභියෝගයට ලක් ව තුබූ දේශපාලන ප්‍රයුක්තීන් සම්බන්ධව ද පුළුල් සාකච්ඡාවක් පාඨකයා වෙත ගෙන එන මේ ලිපි මාලාවේ සිව්වන භාගය දොළොස්වන පරිච්ඡේදයෙන් ඇරැඹී පරිච්ඡේද දෙකක් පුරා දිග හැරේ. අද දින පළ කෙරෙන්නේ කොටස් දෙකකින් යුත් දොළොස්වන පරිච්ඡේදයේ පළමු කොටසයි.

දොළොස්වැනි සහ දහතුන්වැනි පරිච්ඡේදවලින් සමන්විත වන සිව්වැනි භාගය තුළ ප්‍රධාන ලේඛනය සමාප්ත වේ. කෙසේ වෙතත්, අතිශය අදාලත්වයකින් යුත් ලිපි ගනුදෙනු රාශියක් ද මෙම කෘතියට ඇතුළත් වන අතර, ඒවා අතර අතිශයින් වැදගත් ලිපි හුවමාරු කිහිපයක් මෙම සිව්වැනි භාගය තුළ ද ඇතුළත් වේ. මේ සියල්ල නිරවශේෂ ලෙස පාඨකයාට ලබා දීමට අපි අපේක්ෂා කරමු.

12. ‘කල්ලිය’ සහ ‘නායක ලබ්ධිය’ – I

පක්ෂයේ සාමාන්‍ය සාමාජිකයන්ගේ උත්සුකයන්ට සතුරු උත්සුකයන් ඇති, හා එකී උත්සුකයන්ට සේවය කිරීම සඳහා සැලසුම් කෙරුණු තම පිළිවෙත නිලධාරිවාදී ක්‍රමවේදයන්ගෙන් පක්ෂය මත පැටවීමට සිදුව ඇති වරප්‍රසාදිත කණ්ඩායමක් වශයෙන් පවතින පක්ෂ නිලධරයක පැවැත්ම තහවුරු කිරීමට විපක්ෂය කිසිදු ප්‍රයත්නයක් දරා නැත. එමෙන් ම, තමන්ගේ “නායක ලබ්ධියක් ” සහිත පාලක “කල්ලිය”ක් සඳහා වන කවර හෝ සමාජ පදනමක් සොයා ගැනීමට ද ඔවුන් උත්සාහ දරා නැත. එතෙකුදු වුව, මාක්ස්වාදීන් සෑම කම්කරු නිලධරයක් හෝ කල්ලියක් ම විශ්ලේෂණය කර එහි විධික්‍රම පැහැදිළි කර දෙන්නේ පළමුවෙන් ම එහි සමාජ පදනම අනාවරණය කර ගැනීමෙනි. ස්ටැලින්වාදී නිලධරයේ සැබෑ ස්වභාවය ට්‍රොට්ස්කි හා බෝල්ෂෙවික් ලෙනින්වාදීන් විසින් මුල්වරට හෙළිදරව් කෙරුනේ මෙම විධික්‍රමය යොදා ගනිමිනි; එනම් එම නිලධරය, තනි පුද්ගලයෙකුගේ අභිමතානුකූල අපේක්ෂාවන්ගෙන් හෝ පෞද්ගලික ලක්ෂණවලින් නිර්මිත අහඹු සැදුමක් ලෙස නො ව, “නායක ලබ්ධියකින් ආරම්භ නො වූ, එහෙත් අත්‍යවශ්‍යතාවය මත එය කරා එළැඹුණු සමාජ ප්‍රපංචයක් ලෙස සලකමිනි..

ස්ටැලින්වාදී නිලධරය නියෝජනය කරන්නේ, කම්කරු රාජ්‍යයක පදනම මත ඉතිහාසයේ ප්‍රථම වරට පහල වූ වරප්‍රසාදිත සමාජ කණ්ඩායම් ය. ස්ටැලින්වාදයේ සැබෑ අබිරහස විසඳීමේ යතුර සොයා ගත්තේ මාක්ස්වාදීහු – එනම්, ට්‍රොට්ස්කිවාදීහු – පමණක් වෙති. ඔවුහු පළමුව එහි සමාජ පදනම හෙළිදරව් කළෝය. එහි වරප්‍රසාද හා සුවිශේෂී උත්සුකයන්, බහුජනයාගේ සමාජවාදය කරා වන ප්‍රයානයේ දී එකී ජනයාගේ උත්සුකයන් සමඟ සමනය කළ නොහෙන ආකාරයෙන් ගැටෙන බව ඔවුහු පෙන්වා දුන්නෝය. තම සුවිශේෂී උත්සුකයන්ට සේවය කිරීම් වස් පක්ෂයේ වැඩ පිළිවෙලට හා සම්ප්‍රදායයට ප්‍රතිවිරුද්ධ වූ පිළිවෙත් රේඛාවක් හඳුන්වා දීමට ස්ටැලින්වාදී නිලධරයට සිදු විය. එවැනි පිළිවෙතක් පක්ෂය මත හා රට මත පැටවීමට පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය මැඩ පැවැත්වීමටත්, නිලධාරීවාදී ප්‍රචණ්ඩත්වය යොදා තමන්ගේ පිළිවෙත් රේඛාව බලහත්කාරයෙන් පවත්වා ගෙන යාමටත්, පක්ෂ යාන්ත්‍රණයේ සියලු බලය සංකේන්ද්‍රණය කිරීමටත් ඔවුන්ට සිදු විය.   

එහෙත් රට තුළ පන්ති උත්සුකයන් අතර ගැටුම සහ විවිධ වරප්‍රසාදිත කණ්ඩායම් අතර ඇති එදිරිවාදුකම් හා ඔවුන්ගේ උත්සුකයන් අතර ගැටුම, පක්ෂ යාන්ත්‍රණය ඇතුලත ම කණ්ඩායම් අරගල තුළින් විකෘත ප්‍රකාශනයක් අත්පත් කර ගති. මෙම තතු විසින් තන්ත්‍රය අස්ථායී කෙරුණු අතර, එමඟින් පක්ෂයේ සාමාන්‍ය සාමාජිකත්වයට හා පොදුවේ වැඩකරන ජනයාට ද මැදිහත්වීමේ අවස්ථා නිර්මාණය කෙරින. කාලයක් ගත වන තුරු වාම විපාර්ශ්වය, හරියට ම යාන්ත්‍රණය තුළ වූ එවැනි දැදුරු අතරින් රිංගා යමින්, එය පෙරළා දැමීමට තර්ජනය කළේය. මෙය, තවතවත් පටු බල සංකේන්ද්‍රණයක අයෝමය අවශ්‍යතාව නිලධරයට පෙන්වා දුන්නේය. එකිනෙකා අතර ගැටෙමින් සිටි වරප්‍රසාදිත කණ්ඩායම්වලට, මහජන මැදිහත්වීමකින් තොරව සහ ඔවුන් සියල්ලන් ම මහජනයාට එරෙහිව එක්සත් කෙරෙන ආකාරයෙන් තම ගැටුම් බේරුම්කරණය සහ නියාමනය සඳහා මාධ්‍යයක් අවශ්‍ය විය. පක්ෂයේ විප්ලවවාදී පාර්ශ්වය සම්පූර්ණයෙන් විනාශ කිරීමෙන් පසුව තනි, සර්ව-බලධාරී නායකයා – බේරුම්කරුවා – ලෙස; සෝවියට් බොනපාට්වරයා ලෙස; ස්ටැලින් ඉස්මතු වූයේ මෙම අවශ්‍යතාවය තුළිනි.

මේ ආකාරයෙන් ස්ටැලින්, තවත් සුවිශේෂී අධිකාරිත්වයක් දැරූ නායකයෙකු වූ ලෙනින්ට හාත්පසින් ම වෙනස් වර්ගයක “නායකයෙකු” ලෙස පෙනී සිටී. ඔහු සිය ස්ථානයට නැඟී ඇත්තේ සහමුලින් ම වෙනස් භාවිතයකිනි. ලෙනින් නම් මාක්ස්වාදියා සහ විප්ලවවාදියා, මහජන උත්සුකයන් තථ්‍යාකාරයෙන් ප්‍රකාශයට පත් කළ අතර, ඔහු දැරූ ස්ථානය පවත්වා ගැනුනේ නිර්ධන පන්තියේ වඩාත් ම සවිඥානක කොටසේ කැමැත්ත, හා ඇත්තෙන්ම ආදරය ද, මත ය. එහි ප්‍රතිඵලයක් ලෙස ලෙනින් ජනයා මත රඳා සිටි අතර, රට තුළ සහ පක්ෂය තුළ වරප්‍රසාද ලත් කොටස්වලට එරෙහිව එකී ජන සහයෝගය බලමුලු ගැන්වීම සඳහා පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය විය. ස්ටැලින් නම් සංශෝධනවාදියා සහ විප්ලවය පාවාදෙන්නා සිය ස්ථානය කරා නැඟුනේ මහජනයාගේ ස්වේච්ඡාමය අපේක්ෂාව මත නො ව, එකී අපේක්ෂාවන්ට එරෙහිව වරප්‍රසාද ලත් කණ්ඩායම් සිදු කළ අරගලය තුළිනි. ස්ටැලින් “නායකයා” වූයේ ජනයා ඔහුට “ආදරය” කළ නිසා නො වේ; ඔහු ආඥාදායක බලය වූ හෙයින්, ජනගහනයේ වරප්‍රසාදිත කොටස්වල බේරුම්කරු, ආරක්ෂකයා සහ හොඳම නියෝජිතයා ලෙස ඔහුගේ ස්ථානය සවිමත් කරනු වස් සිය කීර්ති නාමය කෘත්‍රිම ව පුම්බා ප්‍රවර්ධනය කළ යුතු සෝවියට් බොනපාට්වරයා ඔහු වූ හෙයින්, ඔහුට “ආදරය” කිරීම අනිවාර්ය වේ. ඉදින් යමෙක් මේ ගැන නො එකඟ වෙත් ද, ඔහුට ඒත්තු ගැන්වීමට GPUව (සෝවියට් රාජ්‍ය ඔත්තු සේවය) සිටී.    

ස්ටැලින්වාදයේ සියලු “විධික්‍රම” වර්ධනය වූයේ, ඒ හැර අනෙකුත් විධික්‍රම මඟින් තමාගේ පැවැත්ම ගෙන යා නො හැකි, ජනයාට මැදිහත්වීමේ අවකාශය සලසන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා පටිපාටිවලට අවසර දීමට එඩිතර නො වන, අස්ථායී වූත්, ඉහළින් ම වරප්‍රසාදිත වූත් නිලධරයක අත්‍යවශ්‍යතාවලිනි. කොමින්ටර්නයේ (කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ) පක්‍ෂවල ස්ටැලින්වාදී නිලධරයන් සම්බන්ධයෙන් නම්, ඒවා හුදෙක් රුසියානු සමාජ ප්‍රපංචයේ විස්තාරිතයන්, එහි විදේශීය ඒජන්තයන් ය. ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂය තුළ සිටින නිලධර රැළේ ප්‍රධාන සමාජ පදනම ඇත්තේ සෝවියට් සංගමය තුළ ය. වෘත්තීය සමිති ව්‍යාපාරය හා සංශෝධනවාදී දේශපාලන පක්ෂ ආදියේ නිලධරයන්ගෙන් එය ප්‍රභේදනය කොට දක්වන විශේෂත්වයන් එයින් පැහැදිළි කෙරේ.

සියල්ල සැහැල්ලුවෙන් සිතන විපක්ෂවාදී නායකයන් අපේ පක්ෂ කාර්ය මණ්ඩලය හා ස්ටැලින්වාදී නිලධරය අතර අනන්‍යතාවයක් හෝ සාම්‍යයක් පවා තහවුරු කිරීමට ප්‍රයත්න දරන විට ඔවුන් කරන්නේ, කාඩ් කුට්ටමේ කාඩ් යොදා නිවෙසක් තැනීමට යත්න දැරීමකි. පළමුවරට ස්පර්ශ කළ සැනෙන් එය බිඳ වැටෙයි. මාක්ස්වාදය සිය දේශපාලනය අර්ථකථනය කර ගැනීම සඳහා උපයෝගී කොට ගන්නා සමාජ විද්‍යාත්මක විශ්ලේෂණයට පසුපස හරවන මේ ස්වයං – විලාසිතාවන්ගෙන් යුත් “ස්වාධීන චින්තකයන්” විසින් හෙළිදරව් කරනු ලැබ ඇත්තේ, මේ ප්‍රශ්නයේදීත් තමන්, ස්ටැලින්වාදයේ සමාජ පදනමත්, ස්ටැලින්වාදීන් යොදාගන්නා ක්‍රමවේද භාවිතා කිරීමට ඔවුන් අනවනු ලබන එහි භූමිකාවත් පිළිබඳ අවබෝධයකින් තොරව, ස්ටැලින්වාදය එහි විධික්‍රම හා ක්‍රමවේද ඇසුරෙන් විනිශ්චය කරන ලද පිලිස්තීනු මාධ්‍යවේදීන්ගේ හා සුළු ධනපති සදාචාරවාදීන්ගේ වහල් අනුකාරකයන්ට වඩා වැඩි යමක් නො වන බවයි.  

නිලධාරිවාදී ප්‍රචණ්ඩත්වය, තනි පුද්ගල ආඥාදායකත්වය, සියලු විරුද්ධත්වයන් “ඒකාධිපති ආකාරයෙන්” මර්දනය කිරීම ආදී වශයෙන් වූ ස්ටැලින්වාදයේ හා ෆැසිස්ට්වාදයේ දේශපාලන සමානකම් සැලැකිල්ලට ගත් බොහෝ නො ගැඹුරු ස්ටැලින්-විරෝධී මාධ්‍යවේදීහු, ස්ටැලින්වාදය හා ෆැසිස්ට්වාදය සර්වසම ය යන නිගමනය කරා පහසුවෙන් එළැඹ ගත්හ. නිර්ධන පන්ති විප්ලවය පිළිබඳ කලකිරුණු සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් හා රැඩිකලුන්ගෙන් බොහෝ දුරට සමන්විත වූ එම පුද්ගලයෝ ම, කැපී පෙනෙන ආනුභාවයකින් හා අධිකාරියකින් යුතු නායකයෙකු හතරවැනි ජාත්‍යන්තරයට ද සිටින බව නිරීක්ෂණය කරමින්, මෙම පෞද්ගලික අධිකාරියට වඩාත් වෙනස් ප්‍රභවයක් හා වැදගත්කමක් තිබෙන්නේ ද යන්න සොයා බැලීමට වෙහෙස නො වී, “ස්ටැලින්වාදය හා ට්‍රොට්ස්කිවාදය – මේ දෙකම එකයැ”යි නිවේදනය කරමින්, රුසියානු විප්ලවයේ ආරක්ෂකයන් හා එහි පාවා දෙන්නන් සමාන කිරීමට යුහුසුලු වෙති.

ස්ටැලින්වාදයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ එහි “නායක ලබ්ධිය”ය යනුවෙන් වන දීප්තිමත් ප්‍රතිපදානය බ්‍රැන්ඩ්ලර් – ලව්ස්ටෝන් විසින් දායාද කෙරුනේ, සෝවියට් දේශයේ දේශපාලන විප්ලවයකට පක්ෂපාතීත්වය පළ කළ හතරවැනි ජාත්‍යන්තරය ප්‍රතිවිප්ලවවාදීයැයි හෙළා දකිමින්, ඔවුන් එහි ස්ටැලින්වාදී පක්ෂයේ අභ්‍යන්තර පිළිවෙත් ආරක්ෂා කළ කාලයේ ය. තම ආස්ථානය පැහැදිළි කරමින් ඔවුන් කියා සිටියේ මේ සියලු ගැටළු හුදෙක් ම ස්ටැලින්වාදී පක්ෂයේ “නරක තන්ත්‍රය”ක ප්‍රතිඵලය බවයි. ඔවුන්ගේ තර්කය වූයේ, ස්ටැලින්වාදී පක්ෂය තුළට යම් සාධාරණ ප්‍රමාණයකින් ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දෙන ලද නම්, සහ “සමානයන් අතර ප්‍රමුඛයාගේ” ස්ථානය ස්ටැලින්ට හිමි වන තත්ත්වයකින් “නායක ලබ්ධිය” විස්ථාපනය කරන ලද නම්, සියල්ල – ට්‍රොට්ස්කිවාදීන් සමූහ ඝාතනය කිරීම ද ඇතුළත් ව – යථා තත්ත්වයට පැමිණෙනු ඇති බවයි.           

හෙන්රිච් බ්‍රැන්ඩ්ලර් – ඡායාරූපය Marxists.org අනුග්‍රහයෙනි

හතරවැනි ජාත්‍යන්තරයේ ව්‍යාපාරය “නායක ලබ්ධියේ” ව්‍යාධියෙන් පීඩා විඳින බවට වූ න්‍යාය මුළින්ම බෙදා හැරියේ බ්‍රැන්ඩ්ලර් – ලව්ස්ටෝන් සහ බ්‍රැන්ඩ්ලර්වාදී අංකුරවල නායකයන් ද ජර්මානු SAPය (වොල්චර් සහ සමාගම)[8] ද ඇතුළු මෙකී ප්‍රගාඪ හා අව්‍යාජ චින්තකයෝ ම වෙති. ට්‍රොට්ස්කි සතුව හමුදාවක් හෝ, GPU වක් හෝ, බිය වැද්දීම සඳහා රැකියා සම්බන්ධයෙන් පාලනයක් හෝ, තමන්ට “ආදරය” කිරීම සඳහා ද, ඔහු උත්තරීතර නායකයා ලෙස පිළිගැනීම සඳහා ද ජනයා දූෂණයෙන් පොළඹවා ගැනීමට මුදල් හෝ නො වීය යන සැබෑ කරුණ වැනි තම න්‍යායයට නො ගැළපෙන, සුළු හා නො වැදගත් විස්තර සැලකිල්ලට නො ගෙන අත්හැර දමන ලදී. මාක්ස්වාදයේ පදනම් හැර දමා යන යමෙකු අවිකල්පයෙන් ම හරියට ම නො තකා හරින්නේ ප්‍රාථමික හා මූලික හා තීරණාත්මක එකී තොරතුරු ම ය. ස්ටැලින්වාදය එක් දහස් එක්වැනි වතාවට ඔවුන්ගේ ඇඟෑලුම් පෑම් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව පමණක් ඔවුන්ගෙන් බිඳී තුබුණු මාධ්‍යමිකයෝ, කවර වියදමක් හෝ දරා තවත් “නායකයෙකු”ගේ පාලනය යටතට නො වැටී සිටීමට අධිෂ්ඨාන කොට ගෙන සිටියෝය. ඔවුහු “ස්වාධීනත්වය” සඳහා මුළු වැරෙන් අදිටන් කොට සිටියෝය – ඒ ට්‍රොට්ස්කිගෙන්, එනම්, ඔවුන්ට සාර්ථකව පොර බැදීමට හෝ නිෂ්ප්‍රභ කිරීමට නො හැකි ට්‍රොට්ස්කිගේ අදහස්වලින්, ස්වාධීනව සිටීමට ය. තව ද, “ෆැසිස්ට්වාදයට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදී යුද්ධය” තුළ මහජන පෙරමුණ හා සමාජ-දේශප්‍රේමී පාවාදීම කරා යන මාවතේ දී ඔවුහු නෝර්වීජියානු ලේබර් පක්ෂය හා ලන්ඩන් බියුරෝව ද සමඟ එක්සත් වෙමින් සිය ස්වාධීනත්වය පෙන්නුම් කර සිටියෝය.

Workers Age – 1939 ඔක්තෝබර් 21 දින පළ වූ සමාජවාදී කම්කරු පක්ෂයේ සාමාජිකයන්ට හා අනුගාමිකයන්ට කළ ආයාචනය – රූපය: Marxixts.org අනුග්‍රහයෙනි

අපට අපේ ඇමරිකානු පක්ෂය තුළ හා හතරවැනි ජාත්‍යන්තරය තුළ “නායක ලබ්ධිය”ක් හා “ඒක පුද්ගල තන්ත්‍රයක්” ඇති බවට වන න්‍යායය  පක්ෂයේ සුළු ධනපති විරුද්ධ පාර්ශ්වය සොයා ගත්තක් නො වේ; ඔවුහු අන් සියල්ල ණයට ගත් පරිද්දෙන් ම එය පිටස්තර මූලාශ්‍රවලින් ණයට ගත්හ. අපේ පක්ෂයේ වර්තමාන සාකච්ඡාවේ මුල් දිනවල දී, ලව්ස්ටෝන්වාදීහු, ඥාතී භූතාත්ම සොයා යමින්, “සමාජවාදී කම්කරු පක්ෂයේ සාමාජිකයන්ට හා අනුගාමිකයන්ට ආයාචනයක්” නිකුත් කළෝය. මෙම “ආයාචනය” අප අතර අයාලේ හා දඩාවතේ යන්නන් වෙතොත්, ඔවුන්ට ලව්ස්ටෝන්වාදී සංවිධානයට බැඳෙන ලෙස ආරාධනා කළේය. ඒ සඳහා පෙළඹවීම කුමක් ද? “එහි දී ඔබට, කම්කරුවන්ගේ අවශ්‍යතා හා උත්සුකයන් සපුරා ලීම සඳහා ස්වාධීනව හා ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ ම පිළිවෙත් නිර්ණය කර ගනු විනා, මොස්කව්හි හෝ මෙක්සිකෝ නගරයෙහි සිටින “නායකයා’ විසින් පනවනු ලබන ‘පක්ෂ දේශපාලන මාර්ග රේඛාව’ අනුගමනය කිරීමට කටයුතු නො කරන සංවිධානයක් හමුවනු ඇත.” (Workers’ Age, ඔක්. 21, 1939). “නායක ලබ්ධිය”කින් ලබන “ස්වාධීනත්වයේ” වෙළඳ භාණ්ඩය පිළිබඳ සැබෑ උනන්දුවක් ඇති අයට මුල් ලිපිය ලබා ගත හැක්කේ කොතැනින්දැයි දැන ගැනීම පිණිස මම මෙම උපුටා දැක්වීම, නොමිලේ පළකෙරෙන දැන්වීමක් වශයෙන් මෙහි යළි මුද්‍රණය කරමි. 

පෙර කොටස් බලන්න:

හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්, 1, 2, 3, 4, 5, 6-I, 6-II, 7, 8-I, 8-II, 8-III, 8-IV, 8-V, 9-I, 9-2, 10, 11-I, 11-II, 11-III

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top