කටුනායක Next කම්කරුවන් 1416ක් දොට්ට දමයි

රැකියා, වැටුප් හා ජීවන තත්වයන්ට එල්ල වන ප්‍රහාරය පරාජය කිරීමට කම්කරු පන්තියේ එකමුතුව සඳහා සටන් වදිනු

සමාජවාදී සමානතා පක්ෂය (වම)

19 වැනි සඳුදා රාත්‍රී Next Manufacturing සමාගමේ පාලනාධිකාරය සිය කටුනායක ඇඟලුම් කර්මාන්ත ශාලාව වසා දමන බව දන්වමින්, එහි වැඩ කල කම්කරුවන් 1416 දෙනෙකු වෙත WhatsApp පනිවිඩයක් යවා ඇත. තමන් විසින් යෝජනා කරනු ලබන වන්දි පැකේජය පිලිගැනීමට කැමති කම්කරුවන්ට ජූනි 15 හෝ ඊට පෙර එය ගෙවීමට සෑම උත්සහයක් ම ගන්නා බව දැනුම් දෙමින් සමාගම ඊට පසු දින තවත් WhatsApp පනිවිඩයක් රැකියාව අහිමි කරන ලද සේවකයින් වෙත යොමු කර ඇත.

කටුනායක Next කර්මාන්තශාලාව

බීබීසී සිංහල සේවය වාර්තා කර ඇති පරිදි “මෙම කරුන කම්කරු කොමිසමට යොමු වුවහොත්, ඔබට TEWA (වන්දි) ගෙවීම සහ අදාළ වන වෙනත් ඕනෑ ම ව්‍යවස්ථාපිත ගාස්තුවක් පසු දිනක දී ලබා ගැනීමට පමනක් හිමිකම් ඇත,” යනුයෙන් අදාල WhatsApp පනිවිඩය කම්කරුවන්ට දැනුම් දෙයි. වන්දි පැකේජය වෘත්තීය සමිති සාමාජිකයන් සහ වෘත්තීය සමිති සාමාජිකයන් නොවන දෙපිරිසට ම විවෘත බව ද එහි සඳහන් වේ.

Next පාලනාධිකාරය පවසන්නේ, නිෂ්පාදන පිරිවැය ක්‍රමයෙන් ඉහල යාම හා පසුගිය වසරවල ලාභ නොලැබීම කර්මාන්ත ශාලාව වසා දැමීමට පුධාන වශයෙන් හේතු වූ බව ය. සමාගම, වසර 30 ට මදක් වැඩි කලක්, කම්කරුවන්ගේ ශ්‍රමය සූරා කමින් වැඩී ඇත. එම සම්පූර්න වසර ගනන එහි සේවය කල 50 විය ඉක්ම වූ කම්කරුවෝ සිටිති. දොට්ට දැමූ කම්කරුවන්ට වෙනත් රැකියා සොයා දීමට උදව් කරන බව මෙම වසා දැමීම සඳහා එහි පැමිනි සයිමන් ෆිෂ් පවසා ඇත. මේ වනාහී දෙමාපියන් රැක බලා ගැනීම හා දුප්පත් සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙහෙසෙන, වැන්දඹුවන් ලෙස දරුවන් නඩත්තු කරන යනාදී වශයෙන් වගකීම් දරන මෙම කම්කරුවන්ට ඔච්චම් කිරීමකි.

දැවැන්ත ලාබ ලබන බහුජාතික සමාගමක්

ලංකාවේ Next සමාගම යනු බ්‍රිතාන්‍ය බහු ජාතික සමාගමක් වන Next Plc. හි ශාඛාවකි. එය ඇඳුම්, පාවහන්, උපාංග, රූපලාවන්‍ය සහ ගෘහ නිෂ්පාදන සඳහා විශේෂිත වූ ප්‍රමුඛ සිල්ලර වෙළෙන්දෙකි. එංගලන්තයේ එන්ඩර්බි හි මූලස්ථානය වන මෙම සමාගමට, ලොව පුරා වෙළඳසැල් 700 ක් පමන හිමි ය.

එන්ඩර්බිහි Next මූලස්ථානයඡායාරූපය: ද ගාඩියන් අනුග්‍රහයෙනි

2025 මාර්තු 27, “The Gardian“ පුවත්පත, Next සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සයිමන් වුල්ෆ්සන් සමග කල සාකච්ඡාවක් උපුටා දක්වයි. ඒ අනුව ජනවාරි මාසය දක්වා ගෙවුනු වසර තුල, බදු ගෙවීමට පෙර එහි ලාභය 10% කින් ඉහල ගොස් ඇත. එය පවුම් බිලියන එකකට (£bn 1) වැඩි ය. විකුනුම් 8.2% කින්, එනම් පවුම් බිලියන 6.3 (£bn 6.3) දක්වා, ඉහල නැගී ඇත. සමූහයේ කොටස් බ්‍රහස්පතින්දා 9% ට වඩා ඉහල ගිය අතර වුල්ෆ්සන් පැවසුවේ ලබන වසරේ පවුම් බිලියන 1.07 කට (£bn 1.07) ආසන්න මුදලක් උපයා ගැනීමට අපේක්ෂා කරන බව ය. එය කලින් පුරෝකථනය කල ප්‍රමානයට වඩා පවුම් මිලියන 20 ක (£m 20) වැඩි වීමකි. නව මූල්‍ය වසරේ පලමු සති අට “අපගේ අපේක්ෂාවන්ට වඩා ඉදිරියෙන්” සිටීම මෙම අපේක්ෂාවට හේතු වී ඇතැයි වුල්ෆ්සන් පවසා ඇත.

අර්බුදය හා ප්‍රාග්ධනය කඳු ගැසීම

එක්සත් රාජධානියේ බදු වැඩිවීම් සහ රැකියා නීතිවල වෙනස්කම් හේතුවෙන් මෙහෙයුම් පිරිවැය ඉහල යාම වැනි අභියෝගවලට Next මුහුන දෙන බව Financial Times කියයි. ඉදිරි වසර තුළ විකුනුම් සහ ලාභවල සුලු වර්ධනයක් සමාගම අපේක්ෂා කරන නමුත් මෙම අභියෝග ජය ගැනීම සඳහා කාර්යක්ෂමතා වැඩිදියුනු කිරීම් සහ උපායමාර්ගික මිලකරනය සඳහා කැපවීම අවශ්‍ය බව ද එය ප්‍රකාශ කර ඇත. මේ අනුව දැනටමත් එය සිය ශාඛා කිහිපයක් වසා දමා ඇත. Next කටුනායක කම්හල වසා දැමීම යෝජනාවලට අනුකූල ය.

අන්තර් ජාතික සමාගම් අතලොස්සක් විසින් ලෝක ආර්ථිකය වසා ගනු ලැබ සිටින අතර වෙලඳපොල අල්ලා ගෙන සිටීම පිනිස වඩවඩා ශ්‍රමය සූරා කෑමට ඒවාට සිදු වී ඇත. ඒ සඳහා ඉහලම තාක්ෂනය යොදා ගනී. මෙම වියදම් අධික ක්‍රියාව ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු සියලු ධනේශ්වර රටවල දහස් ගනනින් කම්කරුවන් දොට්ට දැමීම හා කර්මාන්ත ශාලා වැසීම සාමාන්‍ය තත්වයක් බවට පත් කර ඇත. ඒ සමගම වැටුප්, සමාජ සුබ සාධන කප්පාදුව හා කම්කරුවන් පාලනය කරන දැඩි නීති රීති සඳහා ධනපතීහු ආන්ඩුවලට බල කරති. එහි අර්ථය වන්නේ, තාක්ෂනය කම්කරුවාගේ පහසුව පිනිස නොව, ප්‍රාග් ධනය කඳු ගැසීම පිනිස යෙදවෙන බවයි.

බංකොලොත් වෘත්තීයසමිතිවාදය

19 වැනි දා, සමාගමේ ප්‍රධානියෙකු වන සයිමන් ෆිෂ්, කටුනායක Next කම්කරුවන් ගාල් කර ගනු ලැබ සිටින, නිදහස් වෙලඳ කලාප හා පොදු සේවක සමිතිය සාකච්ඡාවක් සඳහා කැඳවා ගෙන ඇත. එහිදී සමාගම, කර්මාන්ත ශාලාව වසා දැමූ බව දැනුම් දුන්නේ යයි වෘත්තීය සමිතියේ සමලේකම් ඇන්ටන් මාකස් බීබීසි සිංහල සේවයට ප්‍රකාශ කර ඇත.

මාකස් ප්‍රශ්නයට පිලිතුරක් සොයා ගෙන ඇත. සේවකයන් හා සමාගම අතර සාමූහික ගිවිසුමක් පවතින බැවින් මෙවැනි තීරනයකට එලඹීමට පෙර සේවක වෘත්තීය සංගම් හා සාකච්ඡා කිරීමට බැඳී සිටින බව ඔහු සයිමන් ෆිෂ්ට මතක් කර දුන්නේ ය. “මේක නීත්‍යනුකූල නැහැ. ඒ ගොල්ලෝ මෙහෙම කරනවා නම් කම්කරු කොමසාරිස්ගේ අවසරය ගන්න ඕනේ,” මාකස් තව දුරටත් කීවේ ය. මෙම සිදුවීම සම්බන්ධව ජාත්‍යන්තර මැදිහත් වීමක් සඳහා පියවර ගන්නා බවත්, NEXT සමාගමේ මව් ශාඛාව පිහිටි එංගලන්තයේ වෘත්තීය සමිති දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවත් මාකස් පවසා ඇත.

ඇන්ටන් මාකස් ඇතුලු වෘත්තීය සමිති නියෝජිතයෝ

එම රාත්‍රියේ ම, කම්කරුවන් දොට්ට දැමු සමාගම, තමන් නියම කරන වන්දිය ලබා ගැනීමට නො කැමති නම් කැමති ක්‍රියා මාර්ගයක් ගත හැකි යයි නිවේදනය කලේ ය. මාකස්, ෆිෂ් සමග එකඟ වූයේ මෙයට ද? එසේ නැතහොත් ඔහු නොමිලේ ලබා දෙන නීති උපදෙස් ගැන ෆිෂ්ගේ උනන්දුවක් නො වී ද? ඒ කවරක් වුව, මාකස් දැන් කම්කරුවන්ට යෝජනා කරන්නේ කුමක් ද? කම්කරුවන් හාම්පුතුන්ට නතු කර දීම සඳහා ආන්ඩුව හා කර්මාන්තකරුවන් සමග සාකච්ඡා කිරීම සම්බන්ධ අතීත වාර්තාවක් ඇන්ටන් මාකස්ට හා ඔහුගේ වෘත්තීය සමිතියට ඇත.

ඇඟලුම් කම්හල වසා දැමීමට ප්‍රධානතම හේතුව වන්නේ එය ලාභ නොලැබීම ය යන සමාගමේ නිවේදනය මාකස් ඇත්තනී ප්‍රතික්ෂේප කරයි. කටුනායක නිදහස් වෙලඳ කලපයෙන් බැහැර NEXT සමාගම සතුව තවත් කාර්මාන්ත ශාලා දෙකක් ඇත. ඇන්ටන් මාකස්ට අනුව ඒවා වසා දැමීමට පියවර ගෙන නැත්තේ එම කර්මාන්ත ශාලා තුල වෘත්තීය සමිති නැති බැවිනි. “අපි කේවල් කෙරුවා නේ පඩිය ගැන. අපි රුපියල් 4,225ක පඩි වැඩි කිරීමක් ගත්තා මේ අවුරුද්දේ.” “ඇත්ත ම හේතුව තමයි, ඒගොල්ලන්ට ඕන විදියට වෘත්තීය සමිතිය හීලෑ කර ගන්න බැරි වීම.” එහෙත් පෙනී යන පරිදි, ඇන්ටස් මාකස් සහ ඔහුගේ වෘත්තීය සමිතිය හීලෑ කරන හැටි සමාගම දැන සිට ඇත. දැන් තමන් හීලෑ නොවී කුමක් කරන්නේ දැයි මාකස් ප්‍රකාශ කල යුතු ය.

කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති, කටුනායක NEXT කර්මාන්තයේ හාම්පුතුන් සමග වෘත්තීය සමිති , වෙන කම්හල්වල නැති ආකාරයේ, සාමූහික ගිවිසුමක් එලඹ ඇති බව අද පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය. මේ ප්‍රශ්නය නිර්මානය කරනු ලැබ ඇත්තේ එම ගිවිසුම මගින් යයි ඔහු කීය. එනම් කම්කරුවන් දොට්ට දැමීමට අවස්ථාව සලසා දුන්නේ එම ගිවිසුම ය. ඒ හේතුවෙන් කටුනායක කම්හල පාඩු නිසා වසා දැමුවාට අනෙක් පලාත්වල ඒවා වසා නොදමන බව ඔහු තව දුරටත් පැවසී ය. කෙසේ වෙතත් කර්මාන්ත ඇමති සහ වැඩ බලන කර්මාන්ත ඇමති දෙපොලම ඊයේත් අදත් කල ප්‍රකාශවලින් නිශ්චිතව කියවුනේ කම්හලෙන් ලබා දෙන වන්දි මුදල ගැන සාකච්ඡාකිරීමකට කාරනය සීමා වන බව ය.

ආයෝජන ගෙන්වා ගැනීමේ අර්බුදය

ආයෝජකයන් මෙරටින් බැහැර වීමේ හා මෙරටට ආකර්ශනය නොවීමේ ප්‍රශ්නයට පාලක පන්තිය මුහුන දී සිටී. අඩුම තරමින් ඔවුන් රටින් බැහැර වී යාම වලක්වා ගැනීම පවා අපහසු බව මෙහිදී ද පැහැදිලි වේ. 2022 Esquel සමාගම කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ කම්හල් දෙකක් වසා දැමුවේ ය. එයින් කම්කරුවන් 1500 ට රැකියා අහිමි විය. 2023 වසරේ Brandix කටුනායක, වැලිසර, අවිස්සාවේල්ල, රක්වාන, හබරාදූව කම්හල් විනිමය ප්‍රශ්න හා ඇනවුම් අඩු වීම නිසා වසා දමන ලදී. බ්‍රැන්ඩිස් ගියේ අඩු වැටුප් සහිත බංග්ලාදේශයට ය. තවත් සමාගම් ගනනාවක කම්කරුවෝ මේ ඉරනමට මුහුන දුන්හ. 2023 වසරේ ඇඟලුම් අංශයේ රැකියා 50,000 ක් අහිමි වූ බව නිදහස් ඇඟලුම් හා පොදු සේවක සංගමයේ සම ලේකම් මාකස් පුවත්පත්වලට ප්‍රකාශ කර තිබිනි.

ගෝලීය ඉල්ලුම පහත වැටීම, නිෂ්පාදන පිරිවැය වැඩිවීම සහ බංග්ලාදේශය වැනි අනෙකුත් නිෂ්පාදන මධ්‍යස්ථානවලින් ලැබෙන තරඟකාරිත්වය මෙම වසා දැමීම් වලට හේතු වී ඇත. ඒ සමගම නය අර්බුදය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවල අභියෝගයට ද ඔවුහු මුහුන දී සිටිති. මේ හේතු මත සිදු වන විදුලි බිල ඉහල දැමීම වැනි පියවරයන් ආයෝජකයන්ගේ කනස්සල්ලට හේතු වේ.

ආයෝජන ආකර්ෂනය උදෙසා ආන්ඩුව

ඇඟලුම් අපනයන ආදායම 2018-2019 වර්ෂවල ඇමරිකානු ඩොලර් බිලියන 5 හා 5.3ක් වීය. 2020 වසංගත වසරේ එය 2019 වඩා 22%න් පහල වැටුනි. 2021- 2022 ආර්ථික බංකොලොත්කම තිබිය දී නැවත එය බිලියන 5 හා 5.59 ලෙස සටහන් විය. බංකොලොත් වීමේ බල පෑම යටතේ විශාල වශයෙන් පිරිවැය ඉහල ගියේ ය. එහෙත් ඇඟලුම් අපනයන 4.9 සීමාවේ රැදී සිටියේ ය. 2024 දි එය යලිත් 5.05 නැග ගත්තේ ය. වසංගතය තුල මෙම ආදායම් රඳවා ගැනුනේ, දහස් ගනනක් ඊට බිලි කරමින් වැඩ ගැනීම, දහස් ගනනකට රැකියා අහිමි කිරීම, අතිකාල හා දීමනා නොගෙවීම යන පිලිවෙත් මගිනි. ආර්ථික බංකොලොත්කමට සමාගම් ඔරොත්තු දුන්නේ එසේ කම්කරුවන් මත බර පැටවීමෙනි.

ආයොජකයන් ඉල්ලා සිටින්නේ ද ආන්ඩුව ලබා දීමට දත කන්නේ ද මීට වඩා රුදුරු සූරා කෑමකි. ඊට අවශ්‍ය දුප්පත්කම හා විරැකියාව අඩුවක් නැතිව පවතී. අනික් ප්‍රධාන කරුන වන්නේ කම්කරුවන්ගේ මූලික වෘත්තීය හා මානුෂික අයිතින් උල්ලංගනය කිරීම ය. රට ගොඩ නැගීම නමින් ආන්ඩුව පෙරට දමන්නේ මෙම වැඩ පිලිවෙල ය. වර්ජන, උද්ඝෝෂන කරන අයට සතයක්වත් නො දෙන බවට දුම්රිය කම්කරුවන්ට ආන්ඩුව කල තර්ජනය එක් නිදසුනකි. අධ්‍යාපන සුදුසුකම් සලකා උද්ඝෝෂනය කල සම සෞඛ්‍ය උපාධිධාරීන්ට ආන්ඩුව සිය ගනනක් පොලිසිය මෙහෙයවා පහර දුන්නේ ය. වෘත්තීය සමිති ආන්ඩුවේ අවශ්‍යතාව සමග පෙල ගැසිය යුතු බව එහි නියෝජිතයෝ නො සඟවා කියති. “වෘත්තීය කමිටු මොකට ද?” යි ඔක්තෝබර් 31දා කොලඹ පැවති “මහජන හමුවක” දී ජාතික ජන බලවේගයේ විධායක සභිකයෙකු වන ලක්ෂමන් නිපුන ආරච්චි ප්‍රශ්න කලේ ආන්ඩු බලය ලැබෙන්නටත් පෙර ය. තව දුරටත් ඔහු අනතුරු ඇඟවූයේ, “ස්ට්‍රයික් කියන්නේ මොන වගේ දෙයක් ද“යි, අනාගතයේ උපදින දරුවන්ට කියා දීමට, දෙමාපියන්ට සිදු වනු ඇති බවට ය.

කම්කරු පන්තියේ පිලිවෙත

මෙසේ පැහැදිලි වන පරිදි, කම්කරුවන්ට එරෙහිව එල්ල කෙරෙන රුදුරු මර්දනයන්ගේ, තීව්‍ර සූරාකෑමේ හා රැකියාවලින් නෙරපා දැමීමේ මුල් පවතින්නේ හුදෙක් රටේ දේශසීමා තුල නොවේ. සමස්ත ලෝක ගෝලය අලලා ගත් ධනපති අර්බුදයක් මෙම ප්‍රහාරවලට යටින් පවතී. මේ තත්වයට මුහුන දී ආර්ථික දේශපාලන නිදහස දිනා ගැනීමට කම්කරුවන්ට ඇති මූලික අවිය වන්නේ ස්වකීය පන්තියේ එකමුතු ශක්තියයි. එවන් එකමුතුවක් දේශ සීමාවෙන් ඔබ්බට ගෙන යා යුතු අතර, එසේ ගෙන යා හැකි ය. දැන් රැකියා අහිමි වූ කම්කරුවන්, සෙසු කම්කරුවන්ගේ සහාය ලබමින් වැඩපලක් ගානේ, ගමක් ගානේ ගොස් මෙම එකමුතුව සදහා සටන් වැදිය යුතු ය. යම් හෝ ප්‍රතිසංස්කරනයක් පවා එවන් අරගලයකින් මෙපිට ලබා ගනු හැකි නො වන බව විස්තර කල යුතු නැත. මෙම කටයුත්ත සදහා වෘත්තීය සමිති හා ධනපති ගැති ව්‍යාපාරවලට එරෙහිව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම අත්‍යවශ්‍ය ය. ඒවා කම්කරුවන්ගේ මහා වර්ජන ඇතුලු සටන් තුලින් දිනන තුරු පෙරට යනු ඇත. සමාජවාදී සමානතා පක්ෂය (වම) ඒ සඳහා මග පෙන්වීමට සූදානම්ව සිටී.

( එවන් අරගලයක් සූදානම් කරන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීමට අප අමතන්න. WhatsApp – 07770 49537, email- socialisteditor@gmail.com)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top