කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම මග නොහැරිය යුත්තේ ඇයි?
නන්දන නන්නෙත්ති
බොගවන්තලාවේ පදිංචි කේ. විග්නේශ්වරන් එක් දරු පියෙකි. ඔහුගේ පුත්‍රයා 8 වසරේ ඉගෙනුම ලබන්නේ ය. විග්නේශ්වරන්, කම්කරුවන් 1416 දෙනෙකුගේ රැකියා හිටි අඩියේ අහිමි කරමින්, මැයි 20දා වසා දැමූ කටුනායක NEXT ඇඟලුම් කම්හලේ වසර 14ක් සේවය කල කම්කරුවෙකි.

ඔහු NEXT සමාගමේ සිය අත් දැකීම් විස්තර කරමින් මෙසේ කියා සිටියේ ය. “ෆැක්ටරියේ අවුරුදු 14, 15 වැඩ කරපු තවත් අය හිටියා. ඊට වැඩි කාලයක් සේවය කල අයත් හිටියා. කලාපෙන් ම අපේ ෆැක්ටරිය තමයි වැඩියෙන් ම ගෙව්වෙ. කලාපෙ වෙන ෆැක්ටරිවල පඩි අඩුයි. ඕටී, පැමිනීමේ දීමනා, වගේ එල්ලපුවගෙන් තමයි යම් පඩියක් ගන්නේ. ඒවා ඕන වෙලාවක ගලවන්න පුලුවන්. අපේ පඩිය රුපියල් 45,000ක්. පඩියට සමාන බෝනස් එකක් අවුරුද්දට දෙපාරක් දුන්නා. අනික් ෆැක්ටරිවල “කවරින්“වැඩ කරන්න ඕනෙ. (කවරින් යනු අවුරුදු, නත්තල් වැනි, අවස්ථාවල නිවාඩු ගැනීම සඳහා කලින් එම කාලයට නියමිත වැඩ ප්‍රමානය පියවීම ය.) නෙස්ට් එකේ එහෙම දෙයක් තිබුනේ නැහැ. කෑම දුන්නා. මේ නිසා අනුරාධපුර පොලොන්නරුව වගේ දුර බැහැරින් ආපු ලමයි අනික් ෆැක්ටරිවල ලමයිට වඩා කාලයක් වැඩ කලා. සියයට 95ක් හිටියේ ඒ අය.
“වැඩ තිබුන දවස්වල සෙනසුරාද ඉරිද පෝය නිවාඩු දවස්වල වැඩ කලාම ඕටී දුන්නා. උදේ 7 සවස 6 වැඩ දිනයේ අවසාන පැය ඕටී ගෙව්වා. පැයකට රුපියල් 337ක්. “නමුත්, අනික් ෆැක්ටරිවල වගේ ම, කම්කරුවන් කී දෙනෙක් අඩු වුනත් ඉන්න අය ටාගට් එක අඩු නො කර දෙන්න ඕනෙ. මාසෙකට රුපියල් 2600ක දීමනාවකුත් තිබුනා. ඒක ගන්න නම් මාසයට එක් දිනකට වඩා නිවාඩු නො දමා වැඩ කරන්න ඕනෙ. දුප්පත්කම නිසා නිවාඩු නැතිව වැඩ කරල හරි වැඩිපුර කීයක් හරි ගන්නයි ලමයින්ට ඕනෙ. නැති නම් බෝඩිංවලට ගෙවලා, පවුල් පිටින් ඇවිත් නැවතිලා ඉන්න අය ගෙවල් කුලී ලයිට් බිල් ගෙවලා ඉවර වුනාම ගෙදර යවන්න කීයක්වත් ඉතිරි වෙන්නෙ නැහැ.
“2019න් පසු ක්‍රමානුකූලව නිවාඩු දිනවල වැඩ කිරීම නතර කලා. ඕටී කැපුවා. ඕටී නැතිවුනාම ජීවත් වෙන්න වියදම් කරලා ගෙදරට යවන්න වෙන්නෙ 20,000ක් විතර තමයි. ඒකටත් පාර්ට් ටයිම් කෙහේ හරි වැඩ කරන්න ඕනෙ. හුඟක් ලමයි එහෙම කලා. ලමයි කන්නෙ නැතිව හිටපු අවස්තා ගොඩක් තිබුනා. කියන්නෙ නෑ ලජ්ජාවට. අන්තිමේ ගොඩක් අය රස්සාව අත් ඇරල ගියා. මම අස් වුනේ ෆැක්ටරිය වහන්න දවස් දහයකට කලින් මැයි10 වෙනිදා. අවුරුදු 14ක් වැඩ කලාට මට රුපියල් 315,000 තමයි ග්‍රැටිවිටි එක ලැබෙන්නෙ. ..
“සමාගමට තවත් ෆැක්ටරි 2ක් තියෙනවා කලාපෙන් පිට, ආඬිගම සහ නවගත්තෙගම. අපට තරම් පඩි නැහැ, කෑමත් නැහැ. වැඩ කරන්නෙ ලඟ පාත ගම්වල ලමයි. ඒ අය ගෙදර ඉඳන් එන නිසා අපට වගේ වියදම් නැහැ. ට්‍රාන්ස්පෝර්ට් දෙනවා. ඒක සමාගමට ලාභයි. NEXT සමාගමට පාඩුයි කියන්නෙ බොරුවක්. ලාබෙට වැඩ ගන්නයි මේ ඔක්කොම කරන්නෙ.“
ඔහු තව දුරටත් පැවසුවේ, කලාපයේ ලමයින් අවුරුදු 2-3කට වඩා එකම ෆැක්ටරියේ රැඳී නො සිටින බව ය. බොහෝ දෙනෙක් රැකියාව අත් හැර යති. ඔවුන්ගෙන් සමහරෙක් විදේශ රැකියා සොයා යති. නමුත් ඔවුන්ගේ ආර්ථික අපේක්ෂා එයින් ඉටු වන්නේ නැත. කායිකව ද මීට වඩා පහසු වන්නේ නැත. පවතින සමාජ ක්‍රමය තුල මෙයින් ගැලවී ගැනීමට මාවතක් කම්කරුවන්ට නැති බව පැහැදිලි ය.
පසු ගිය වසර පහක් පමන කාලය තුල වර්ධනය වූ ඇඟලුම් කර්මාන්තයේ අර්බුදය, කම්කරුවන්ගේ හුස්ම හිර වන තරමට වැඩ ගැනීමට හාම්පුතුන්ට බල කලේ ය. මෙය සියලු කර්මාන්තයන්ට පොදු ය. එය සමහර කම්හල් අනවශ්‍ය බවට පත් කලේ ය. මෙය හුදෙක් එක ෆැක්ටරියක හෝ රටක හෝ තනි කර්මාන්තයක ප්‍රශ්නයක් නො වේ. නමුත් අපගේ ප්‍රස්තුතය වන ඇඟලුම් කර්මාන්තය, අප මුහුන දී සිටින පොදු තත්වය සම්බන්ධ පැහැදිලි කර ගැනීමකට වඩාත් උචිත ය.

ඇඟලුම් කම්කරුවන්ගේ රැකියා වැටුප් කැපී යන්නේ ඇයි?
ලෝක ඇඟලුම් කර්මාන්තය ගෝලීය රැකියා සහ ආර්ථික වර්ධනයට – විශේෂයෙන් ‘සංවර්ධනය වෙමින් පවතින‘රටවල සංවර්ධනයට- ප්‍රධාන දායකත්වයක් සපයන බවට මිත්‍යාවක් සමාජගත කර තිබිනි. එය ධනපතීන්ට විශාල ලාභ උත්පාදනය කල ව්‍යාපාරයකි. මීට දායක වූ ප්‍රධාන කරුන වූයේ කම්කරුවන්ට ගෙවන ඉතා අඩු වැටුප් ය. ඉතියෝපියාවේ සමහර ඇඟලුම් සේවකයකුගේ මාසික වැටුප $26කි. එය කර්මාන්තය සඳහා ගෝලීය වශයෙන් පැවති අඩුම මූලික වැටුප බව NYU stern, 2019 ප්‍රකාශ කර ඇත. බංග්ලාදේශයේ ඇඟලුම් සේවකයින් සඳහා 2023 වන ගෙවූ අවම මාසික වැටුප ටකා 8,000 ක් හෙවත් අමරිකන් ඩොලර් 72කි. ඇස්තමේනුතුගත අවශ්‍ය මූර්ත වැටුප වන $180 සමග සැසඳූ කල එය 60%ක අඩුවකි. ගෙවීම්වල දී පමනක් නොව එම වැටුපටම වැඩ කාලය දිගු කිරීමෙන් ද, කොඳු කැඩෙන ටාර්ගට්වලින් ද වැටුප් පහල දමනු ලැබේ. මේ අනුව අඩු ම වැටුප් කරා ආයෝජකයින්ගේ ඇදී යාම තවත් තැනක – ලෝකයේ කවර තැනක වුව – රැකියා අහෝසි වීමට මෙන් ම ඒවායේ වැටුප් පහල දැමීමට ද අවකාශය සම්පාදය කරයි.
සූරා කෑමේ පරිමාව කෙබඳූ ද යත් 2020 ඔක්ස්ෆෑම් වාර්තාවකින් සොයා ගත්තේ ආසියාවේ ඇඟලුම් සේවකයින් ප්‍රසිද්ධ ඇඳුම් අයිතමයක සිල්ලර මිලෙන් 1%ට වඩා අඩුවෙන් උපයන බව ය. එක්සත් ජනපදයේ විකුනනු ලබන ඩොලර් 29 ක ටී-ෂර්ට් එකක් සඳහා, කර්මාන්තශාලා සේවකයාට උපයා ගත හැක්කේ ඩොලර් ශත 18–30 අතර ගනනකි.
ශ්‍රී ලංකාවේ කම්කරුවන් මෙම ලෝක ප්‍රවනතාවයේ ගොදුරු ය. ඊනියා සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව, 1978 කටුනායකින් පටන් ගෙන 2020 දක්වා කාලය තුල නිදහස් වෙලඳ කලාප 20ක් ඇති කර ඇත. ආයෝජන මන්ඩලයේ වාර්තා අනුව, ඒ වන විට, කම්හල්වලින් 20ක් වසා දමනු ලැබීමෙන් පසු 285ක් ක්‍රියාත්මක විය. 153,268ක් කම්කරුවෝ ඒවාය් සේවය කලහ. හාම්පුතුන් හා බැංකු සංවර්ධනය විය. කුකුලු කොටුත් නවාතැන් බවට පත් කල බෝඩිං හිමිකරුවෝ යමක් කමක් සොයා ගත්හ. පසුව මෑන් පවර් ආයතන පෙහොසත් විය. මේ කාලය තුල ලක්ෂ ගනනක් කම්කරුවෝ කලාපවල වැඩට ඇවිත් ගියහ. තව තවත් අය අලුතෙන් ඇතුලු වූහ, ගියහ. ඔවුනට ඉතිරි වුයේ ලෙඩ රෝග, දුප්පත්කම, ඇතැම් විට වෛශ්‍යා වෘත්තිය හෝ වෙනත් වංචනික ක්‍රියාවලට ගොදුරු වීම වැනි කාලකන්නිභාවය පමනි.
ලෝක රැකියා වෙලඳපොල හැසිරෙන්නේ නිමි භාන්ඩ වෙලඳපොල විසින් අනවනු ලබන තත්වයන් මත ය. ලෝක වෙලඳපොල තුල නිෂ්පාදකයන් අතර ඇත්තේ මාරාන්තික තරඟයකි. වැඩි ලාභ සඳහා වන මෙම තරඟය ම මිල ගනන් පහල වැටීමට හේතු වෙයි. ඊට මුහුන දීම උදෙසා නවීනතම තාක්ෂනය යොදා ගැනෙමින් නිශ්පාදනය දිනෙන් දිනම ස්වයංක්‍රීයකරනයට භාජනය කෙරෙන අතර, ධනපති පන්තිය අත දී මෙම නවීන තාක්ෂනය කම්කරුවාට වඩාත් නිදහස් හා පහසු තත්වයක් උදා කර දෙනු වෙනුවට තර්ජනයක් ලෙස නැගී සිටී.

තරගයේ අනිටු පල විපාක යලි යලිත් මෙම ස්වභාවය ගැඹුරට ඇදගෙන යයි. ලෝක වෙලඳපොල කෙතරම් භාන්ඩ ප්‍රමානයක් ඉල්ලා සිටින්නේ ද යන්න කිසි ආයෝජකයෙකුට දැන ගැනීමට විදියක් නැත. ඔවුහු වෙලඳපල අවශ්‍යතාවයට වඩා වැඩියෙන් නිෂ්පාදනය කරන අතර එමඟින් භාන්ඩ නාස්ති වී, අර්බුදය තවත් ගැඹුරු කෙරෙයි. අනෙක් අතට, වෙලඳ තරඟය මඟින් ප්‍රවර්ධනය කරනු ලැබෙන විලාසිතාවල වේගයෙන් වෙනස්වීම්, පෙරලා එම තරඟය ම තවත් උත්සන්න කිරීමට හේතුකාරක වෙයි. මේ සියලු කරුනු නැවත නැවතත් කම්කරුවන් මත පීඩනය දැඩි කරන අතර, එමඟින් දුර්වල කර්මාන්ත වසා දැමීමට ආයෝජකයන්ට බල කෙරේ. අප මෙතෙක් විස්තර කල වෙලඳපොල උච්චාවචනයන්ගේ බල පෑම කෙබඳු ද යත්, 2019 වසරේ කොවිඩ්-19 වසංගතයේදී එය, මිලියන ගනනක් කම්කරුවන් රැකියා විරහිතයන් බවට පත් කලේ ය.
භූ දේශපාලනික ආතතීන් විසින් ඇති කරනු ලබන අමුද්‍රව්‍ය හිඟවීම් හා ඒවායේ මිල ඉහල යාම්, දුප්පත්කම පැතිරී ම නිසා අලෙවිය පහල යාම් වැනි දේ, මෙහි ලා තීරනාත්මක බලපෑමක් ඇති කරන සාධක වේ. ඉහත පෙන්වා දුන් ලෝක පරිමාන වෙලඳ යුද්ධයෙන් ජනිත මෙම ආතතීන් ඒ ඒ ජතික රාජ්‍යවලින් ඉල්ලා සිටින්නේ, අනෙකාගේ වෙලඳපොල, අමුද්‍රව්‍ය ප්‍රභව කොල්ල කා හෝ තම ලාභය කුලු ගන්වා ගැනීමේ තත්වයකි. අවසානයේ දී, තම රටෙි ධනපති පන්තියේ අවශ්‍යතා හා ඔවුන්ගේ දේපලවල ආරක්ෂාව, ලෝක යුද්ධයකින් විසඳා ගැනීම කරා තල්ලු වීම විනා අන් මාවතක් මෙම ජාතික රාජ්‍යයන්ට නැත.
මේ අනුව, ජාතික රාජ්‍ය පද්ධතිය තුල මෙසේ මෝරා වැඩෙන යුදවාදී ආතතිය, කම්කරු පන්තියට ඍජුව ම විරුද්ධව, වත්මන් ගෝලීය නිෂ්පාදනය තුල, කම්කරු පන්තිය ඇට මිදුලු කරා සූරාකෑම සඳහා එකිනෙකා අතර කෙරෙන ප්‍රචන්ඩ තරඟයකට වඩා වැඩි යමක් නොවේ. මේ තතු තුල, කුමන කම්කරුවෙකුට වුව රැකියාව, වැටුප, සහ සෙසු අයිතීන් දිනා ගැනීමේ පහසු මාවත් – ජාතික මාවත් – නැති බව ඇති තරම් පැහැදිලි ය. මේ වන විට අංශ ගනනාවක රාජ්‍ය හා පුද්ගලික දෙ අංශයේ ම කම්කරුවෝ සිය අයිතීන් දිනා ගැනීම සදහා සටන් වදිමින් සිටිති. මේ වන විට මිදිගම මිචෙලින් සෙල්ස් සමාගමේ කම්කරුවන්ගේ අරගලය තුල, අවශේෂ කම්කරුවන් විසින් ග්‍රහනය කරගනු ලැබිය යුතු අතිශය වැදගත් පාඩම් රැසක් ගැබ්ව ඇත. එහි ක්‍රියාත්මක ජනතා විමුක්ති පෙරමුනට අයත් වෘත්තීය සමිතිය විවෘතව ම එම කම්කරුවන්ට එරෙහි හතුරු බලවේගයක් බවට පත්ව ඇත. නිදහස් වෙලඳ කලාප හා පොදු සේවක සංගමය NEXT කම්කරුවන් මුහුන දී සිටින සැබෑ තතු වසන් කරමින්, ඔවුන් හාම්පුතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටී. කොවිඩ් සමයේ ඇතැම් කම්කරුවන් රැකියාවෙන් ඉවත් කිරීම, වැටුප් ඇනහිටුවීම, හෝ අඩ වැටුප් දීම වැනි හාම් පුතුන්ගේ යෝජනාවලට එය සහයෝගය පල කලේ ය.
කම්කරුවන්ට තමන් වෙනුවට ආදේශකයක් නැත. තමන්ට එරෙහි ලෝකයක් ඇත. එම ලෝකය පවත්වා ගෙන යන්නේ කම්කරුවන්ගේ ශ්‍රමය විසිනි. ලාභ ලැබීම සඳහා ප්‍රාග් ධනයට ඇති හිමිකම ඔවුන් බැඳ දමා ඇති දම්වැලයි. එය සිඳ දැමීමට සියලු කම්කරුවන් ඒකාබද්ධ වුවහොත් ඔවුන්ට දිනා ගැනීමට ලෝකයක් ඇත. හුදෙක් රැකියා රැක ගැනීමෙන් නො නැවතී ඔවුන්ට, දුප්පත්කම ද, සමාජ අසමානතාව ද, නාස්තිය ද, විනාශකාරී යුද්ධය ද අවසන් කල හැකි ය.
වර්තමාන තත්ත්වය ඉල්ලා සිටින්නේ, ධනේශ්වර අවශ්‍යතාවන්ට ගැට ගැසුනු වෘත්තීය සමිතිවලට හා කම්කරු පන්තියේ ඓතිහාසික විප්ලවවාදී ගුනය ප්‍රතික්ෂේප කරන ව්‍යාජ වාම සංවිධානවලට එරෙහිව පන්තියක් ලෙස කම්කරුවන්ගේ එකමුතුව යි. එම එකමුතුව උදෙසා කම්කරුවෝ තමන් මුහුන දී සිටින සෑබෑ තතු වටහා ගන්නා සාකච්ඡා වර්ධනය කරමින් තමන්ගේ ම ස්වාධීන සංවිධාන ගොඩ නැගිය යුතු ය. ඒවා රුසියානු කම්කරුවන්ට ඒකාධිපති සාර් පාලනය පෙරලා දැමීමට ශක්තිය ලබා දුන් සෝවියට් සභාවල ආදර්ශය ගත යුතු ය.
කම්කරුවන් විසින් ගොඩ නගනු ලැබිය යුතු මෙම සංවිධාන වෙනුවට කිසිදු සංවිධානයකට – විප්ලවවාදී පක්ෂයකට පවා – ආදේශ වනු නො හැකි ය. කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂයක වගකීම වන්නේ, කම්කරු පන්තියට මර උගුලක් බවට පත්ව ඇති වෘත්තීය සමිති ප්‍රතිසංස්කරනවාදී විඥානයට එරෙහිව සටන් වදිමින්, ඒ සඳහා මග පෙන්වීම සහ එහි ම කොටසක් ලෙස එම කමිටුවලට එක් වී වැඩ කිරීම ය. අනතුර වන්නේ මේ වන විටත් නිදහස් වෙලඳ කලාපයේ හෝ වෙනත් තැනක, කාර්මික කම්කරුවන්ගේ ස්වාධීන සටන් කමිටු බිහි වී නො තිබීම ය.
ෆැක්ටරි කමිටු ගොඩ නැගීම, ඒවා මගින් ආයතනවල ගනුදෙනු පරික්ෂා කිරීමේ අයිතිය තහවුරු කර ගැනීම, කම්කරුවන්ගේ සේවා කාලය හා සෙසු අයිතීන් පිලිබඳ සාකච්ඡාකර තීන්දු ගැනීම අවශ්‍ය ය. ප්‍රසිද්ධ රැස්වීම්, පෙලපාලි, සමස්ත කම්කරු පන්තිය සහභාගීවන මහා වැඩ වර්ජන වැනි පන්ති ක්‍රියා මේ අයිතීන් දිනා ගැනීමේ සටනේ අත්‍යවශ්‍ය ක්‍රියාවන් ය. කම්කරුවන්ගේ මෙන් ම සමාජ අර්බුදයේ ගිල්වා සිටින තරුන දූ පුතුන්ගේ ද අනාගතය පිලිබද ඉරනම විසදන අන් වැඩ පිලිවෙලක් නැත. සමස්ත ලෝක පීඩිත ජනතාවගේ ම ජීවිතය හා මරනය අතර ප්‍රශ්නයක් වන මෙම ක්‍රියා මාර්ගය ඒකාන්තයෙන් එම මහා ජනයාගේ සහාය දිනා ගැනීමට නියමිත ය.