නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: සහෝදරවරුන්ට යැවූ ලිපි – III

ජේම්ස් පී. කැනන්

පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු

4. ජෝසෆ් හැන්සන්ට යැවූ ලිපියක්

නිව්යෝර්ක්,

1939 ඔක්තෝබර් 26

ප්‍රිය ජෝ,

ස්ටැන්ලි වෙත ක්‍රක්ස් එවූ පිළිතුර ලැබී ඇත. එය ඇතැම් කවයන් තුළ ක්‍රක්ස්ගේ ජනප්‍රියභාවය ඉහළ නැංවීමට හේතු නො වනු ඇත. එහෙත්, දේශපාලන ප්‍රශ්න සම්බන්ධයෙන් දෘඩ ආස්ථානයක් ගැනීම හා, ඒ සමග ම සියල්ලන් සතුටු කිරීම නොකළ හැක්කකි යන කණගාටුදායක නිගමනයට මා එළැඹුණේ බොහෝ කලෙකට ඉහත දී ය.

ක්‍රක්ස්ගේ මැදිහත්වීම උපරිම විචක්ෂනශීලී භාවයෙන් හා වගකීමෙන් යුතුව භාවිතා කිරීමට අපි අපේක්ෂා කරමු. විපක්ෂයේ කොටස්වල ඇතැම් මනෝභාවයන්ගේ ඇතැම් අශෝභන ඡායාර්ථයන් පවතින හෙයින් මෙය දෙගුණයකින් අවශ්‍ය වේ.

“ඒක පුද්ගල පක්ෂය” පිළිබඳ කතාබහ මෙහි බොහෝ සෙයින් පවතී. එහෙත් ඒ පසුපසින් ඉතා සමීපව කැන්සාස් සාවෙකු ලුහුබඳින සන්ධ්‍යා සෙවණැල්ලක් මෙන් රහසින් පිය මැන එන්නේ “ඒක පුද්ගල ජාත්‍යන්තරයකට” එරෙහි විරුද්ධත්වයයි. දේදුනු වර්ණ සංයෝජනය සඳහා සැබැවින් ම මාවත හෙළිපෙහෙළි කළ බර්න්හැම් සම්බන්ධයෙන් ගත් කල මෙය වඩාත් ම නො වළහා ප්‍රකාශයට පත් වේ. ඔහු එකී සංයෝජනය සඳහා මාවත සකසන්නේ, හුදෙක් රුසියානු ප්‍රශ්නය සම්බන්ධයෙන් පමණක් නො ව, පොදුවේ බෝල්ෂෙවික්වාදයේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ද, විශේෂයෙන් ම පක්ෂ සංවිධානයේ බෝල්ෂෙවික් ක්‍රමය සම්බන්ධයෙන් ද ඔහුට නිශ්චිත සංකල්ප පවතින නිසා ය.

හතරවැනි ජාත්‍යන්තරය තුළ ට්‍රොට්ස්කි සතු වූ දැවැන්ත ආනුභාවයට එරෙහිව තමන්ගේ කාලයේ SAPයේ* (*1930 දශකයේ මුල් දිනවල ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් වමට බිඳී ගිය මාධ්‍යමික සංවිධානයක් වූ ජර්මානු සමාජවාදී කම්කරු පක්ෂය) වීරයන් මතු කළ විරෝධතා මට හොඳින් මතක ය. මා සම්බන්ධයෙන් කිවහොත්, හොඳ අදහස් දරන පුද්ගලයන් දෙදෙනෙකුගේ ප්‍රමුඛත්ව බලපෑම එවැනි එක් අයෙකුගේ ප්‍රමුඛත්වයට වඩා හොඳ බව පිළිගැනීමට මම හැමදාමත් සූදානම් වී සිටියෙමි. ඇත්තෙන් ම දැන් ඉන් එපිටට යමින්, දූෂිත හා හිංසාකාරී මණ්ඩලයක මහිමයෙන් නො ව සිය අදහස්වල මහිමයෙන් නායකත්වය දෙන නායකයන් 10 දෙනෙකු, දෙදෙනෙකුට වඩා හොඳයැයි කීමට පවා මා සූදානම් ය. එහෙත් එය එපමණකි. පැරණිවීමත් සමඟ වැඩිදියුණු නො වන්නා වූ මෙම SAPවාදී න්‍යායයට යමෙකුට දිය හැකි උපරිම සහනය වන්නේ මෙයයි.      

ජර්මන් SAPයේ නායකයෝ: හෙන්රිච් ස්ට්‍රෝබෙල්, මැක්ස් සේඩෙවිට්ස් හා කුර්ට් රොසෙන්ෆෙල්ඩ් ඡායාරූප: wikipedia අනුග්‍රහයෙනි

කෙසේ වෙතත්,  ක්‍රක්ස්ගේ පෞද්ගලික තත්වයේ සියලු සුවිශේෂී තත්වයන් සැලකිල්ලට ගෙන, ආරම්භයේ සිට අවසානය දක්වා අදහස් පිළිබඳ අරගලයක් විනා පෞරුෂයන් අතර එකක් නො වන මෙකී අරගලයේ වගකීම ඕනෑම අවස්ථාවක අප අපගේ කර මතට ගන්නා බවට ඔබට සහතික විය හැකිය.

ජෝ, මට ඔබෙන් සුළු උදව්වක් අවශ්‍ය ය. අඩු වැඩි වශයෙන් අවුරුදු දෙකකට පමණ පෙර – ඒ, අපේ ප්‍රථම සම්මේලනයෙන් පසු 1938 ජනවාරියේ යැයි මම සිතමි – බර්න්හැම් පිළිබඳව අපේ වයෝවෘද්ධයාට ලිපියක් ලිවීමේ අවස්ථාව මට ලැබුණි. නිවෙසකින් නිවෙසකට මාරුවීමත්, මගේ බඩුමුට්ටු ඇසිරීම හා ඒවා ගලවා තෝරා බේරා ගැනීමත් අතරතුර මට එකී ලිපිය මගේ ලිපි ගොනු තුළ සොයා ගැනීමට නොහැකි විය. කොයෝවාකාන්හි ලිපිගොනු තුළ මෙම ලිපිය සොයා ගැනීමටත්, එම ලිපියේ හා ඊට වයෝවෘද්ධයා ලියූ පිළිතුරේ පිටපත් මා වෙත එවීමටත් ඔබට හැකි වනු ඇතැයි මම අපේක්ෂා කරමි.

මේ කරුණ මට විශේෂ වැදගත්කමකින් යුක්ත ය. ඒ, ක්‍රියා මාර්ගික පෙරමුණ පිළිබඳ බර්න්හැම්ගේ ප්‍රහාර හා නර්මාලාප සම්බන්ධයෙන් මගේ විරෝධතා, පෞද්ගලික විරුද්ධත්වයක් ලෙසත්, ඔහුගේ සාධනීය ගුණාංග හඳුනා ගැනීම ප්‍රතික්ෂේප කිරීමක් ලෙසත් අර්ථකථනය කිරීමට දැරෙන ප්‍රයත්නයන් හා බැඳුනු වැදගත්කමකි. අප අතර විරුද්ධත්වය වර්ධනය වීම සම්බන්ධ මගේ මතකයට යළි පණ පෙවීමට මට අවශ්‍ය ය.

ඔස්ටින් සිද්ධිය [15] සඳහා සූදානම් වීමේ දී ඔබේ සහ ක්‍රිස්ගේ සේවාව සති කිහිපයකට අවශ්‍ය විය හැකිය යන හැඟවීම් සම්බන්ධයෙන් මම පසුගිය දේශපාලන කමිටු රැස්වීමට වාර්තා කළෙමි. එය ඒකමතිකව අනුමත වූ අතර ඔබ මෙම පැවරුම භාර ගැනීම සම්බන්ධයෙන් මෙහි කිසිදු විරුද්ධත්වයක් නො මැත.

සියල්ල සලකා බැලූ විට, හැම දේ ම හොඳින් සිදුවෙමින් පවතී. හරියට ම ඔරලෝසුවේ මෙම හෝරාව ගතවෙමින් තිබිය දී හතරවැනි ජාත්‍යන්තරයේ වැඩ පිළිවෙල පිළිබඳ ප්‍රශ්නය නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවේ කොන්දේසි යටතේ තෝරා බේරා ගැනීමට හැකිවීම සැබෑ ඇමරිකානු භාග්‍යයේ රස බැලීමක් නො වන්නේ ද? යුරෝපය තුළ යුද්ධය ඇවිලී යාම හා එක්සත් ජනපදය යුද්ධයට අවතීර්ණ වීම අතර කාල පරිච්ඡේදය මේ සම්බන්ධයෙන් ඉතා වටනා අතුරු කාලයකි. අවසාන ප්‍රතිඵල සම්බන්ධයෙන් මම මුළුමනින් ම ශුභවාදී දෘෂ්ටියක් දරමි. ..

නො වෙනස්ව,

ජේ.පී. කැනන්

5. ලියොන් ට්‍රොට්ස්කිට ලියූ ලිපියක්

නිව්යෝර්ක්.

1939 නොවැම්බර් 2

ප්‍රිය හැන්සන් [ට්‍රොට්ස්කි] සහෝදරය,  [16]

ඔක්තෝබර් 28 දාතම දරන ඔබේ ලිපිය ලදිමි. [17]

මා විසින් එම ලිපිය පෙන්වනු ලැබූ සහෝදරවරුන් ගණනාවක් ඔබ ඉදිරිපත් කර ඇති ඇඟවීම් හා යෝජනාවලට විරුද්ධත්වයක් පළ නො කළෝය. පෞද්ගලිකව මම ඒවාට සහය දෙන්නෙමි.

පවතින තත්ත්වය ඉතා තියුණු ය. පවතින වාතාවරණය මධ්‍යස්ථකරණයට හෝ, යම් හෙයකින් එය අසාර්ථක වුවහොත්, කාරනාව පැහැදිළි කර ගැනීමට හෝ, ඔබේ යෝජනාවල දිශා රේඛාව ඔස්සේ අප විසින් අනුගමනය කරනු ලැබෙන ක්‍රියා මාර්ගයක් ආධාරකාරී විය හැක. 

ඉදින් ඔබ යෝජනා කරන පියවරයන් සමඟ මම එකඟ නොවීමි නම් එසේ වුව, ක්‍රියාමාර්ගික අනම්‍යතාවය සඳහා එවැනි සහනයක් සටන් සගයෙකුට ලබා දීමට මා කිසිසේත් ම නො පැකිලෙනු ඇත. 

මා මෙම කෙටි සටහන ඔබ වෙත එවන්නේ, ඔබේ යෝජනාවල දිශා රේඛා ඔස්සේ ප්‍රධාන දේශපාලන කරුණු පෙරමුණට ගෙන ඒමටත්, ද්වීතීයික සංවිධානාත්මක ප්‍රශ්න උපුටා දැමීමට හෝ ඒවා සම්බන්ධ සම්මුතියකට ඒමටත් අපට කළ හැකි සියල්ල කරන බවට ඔබට යළිත් සහතික වීමට ය.

සහෝදරත්වයෙන්,

ජේ.පී. කැනන්

6. ලියොන් ට්‍රොට්ස්කිට ලියූ ලිපියක්

නිව්යෝර්ක්

1939 නොවැම්බර් 4

ප්‍රිය හැන්සන් [ට්‍රොට්ස්කි] සහෝදරය,

බ[ර්න්හැම්] සහෝදරයා සම්බන්ධයෙන් 1937 දෙසැම්බරයේ ලියූ පැරණි ලිපිවල පිටපත් ලදිමි. ඒවා මා වෙත එවීම පිළිබඳව ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. එම ලිපි, මේ සම්බන්ධ වත්මන් දුෂ්කරතා ඒවායේ මූලික හේතූන් ද සමඟ කල් තබා පෙර දකින ලද බවටත්, නො එසේව, මගේ පැත්තෙන් පැවැති ඔලමොට්ටල කමකින් හෝ උපායශීලී නො වීමේ හේතුවෙන් ඇවිස්සුණු ඒවා නො වන බවටත් ස්වයං සහතික කර ගැනීම සඳහා පෞද්ගලිකව මට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.   

මෙහි තත්ත්වය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. ඔබ සතිපතා හෝ, ඔබට තොරතුරු ලැබීමේ කොන්දේසි මත අවකාශ ලැබෙන පරිදි දිනපතා පවා හෝ, වර්ධනයන්ගේ ගමන් මඟ සාවධානව අනුයනු ඇතැයි ද, තව දුරටත් සාකච්ඡාවලට සහභාගී වනු ඇතැයි ද මම අපේක්ෂා කරමි. සාමාන්‍ය මතභේදයක දී නම්, ඔබේ පැත්තෙන් සිදුවීම් දෙස පැත්තකට වී බලා සිටීමෙන් හෝ අතිශය සංයමයකින් යුත් සීමිත මැදිහත්වීමකින් මා හොඳින් ම සෑහීමකට පත් විය හැකිව තිබිණ. එහෙත් දැන් අපේ සැලකිල්ලට භාජනය වී පවතින්නේ අපේ ව්‍යාපාරයේ ක්‍රියා මාර්ගය සඳහා හා පොදු දෘෂ්ටිවාදය සඳහා වන මූලික අරගලයක් පිළිබඳව ය යන්න ද, හුදෙක් ඒ හෝ මේ කාරනාව සම්බන්ධයෙන් බෝල්ෂෙවික් මතයේ ජයග්‍රහණය සඳහා නො ව, බෝල්ෂෙවික් දේශපාලනයේ හා පර්යායේ උත්තරීතරභාවය සඳහා ය යන්න ද දිනපතා වඩවඩාත් පැහැදිළිව පෙනී යමින් පවතී.

ට්‍රොට්ස්කි

“තන්ත්‍රය” පිළිබඳ තර්ක වලින් රුසියානු ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාව අවුල් කර දැමීම සම්බන්ධයෙන් ඔබ, ඔක්තෝබර් 22 වන දින ස්ටැන්ලි වෙත යවා ඇති ඔබේ ලිපියෙන් පහර දී ඇත. මතභේදයට ලක් වී ඇති දේශපාලන ප්‍රශ්නය (රුසියානු ප්‍රශ්නය) සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් ආස්ථාන දරන සහෝදරවරුන්, “තන්ත්‍රය” වෙනස් කිරීමේ අරමුණින් කණ්ඩායමක් තුළ ඒකාබද්ධ වීමේ සැබවින් ම කෝපය දනවන සුළු නොසැළකිල්ල ගැන ඔබ සඳහන් කරන්නේ, එම කරුණ යාන්තමින් ස්පර්ශ කරමින් පමණෙකි. – මා සිතන අන්දමට ඒ, පසුව අදහස් දැක්වීමට ඉඩ තබා ගනිමිනි.

නිව්යෝර්ක් සාමාජික රැස්වීම්වල දී අපි මෙම පරිපූර්ණ ප්‍රතිපත්ති විරහිත භාවයට එරෙහිව ඉතා සටන්කාමී ප්‍රහාරයක් එල්ල කොට ඇත්තෙමු. පසුගිය ඉරිදා මගේ කථාවේ දී මම, පුන්සැසියේ වාර්තාවලින් උපුටා දක්වමින්, සෝවියට් රාජ්‍යයේ ස්වභාවය පිළිබඳව ඇබර්න්, බර්න්හැම් හා ෂැට්මන් දැරූ එකිනෙකට වෙනස් ආස්ථාන තුන ගෙන හැර දැක්වීමි. එය පිරිහී ගිය කම්කරු රාජ්‍යයක් ලෙස ලක්ෂණනය කෙරෙන අපේ යෝජනාවට පක්ෂව ඇබර්න් ඡන්දය දුන්නේය. බර්න්හැම් එය “කිසියම් ම හෝ අරුතකින්” කම්කරු රාජ්‍යයක් වේයැයි යන අදහස මුළුමනින් ප්‍රතික්ෂේප කළේය. මේ ප්‍රශ්නය තමන් මේ මොහොතේ මතු නො කරන බවට ෂැට්මන් නිවේදනය කළේය.     

සෑම සහෝදරයෙකුට ම තම වෙනස් අදහස දැරීමට ඇති අයිතිය ප්‍රශ්න නො කරමින් ම මම මෙම ප්‍රශ්නය සභාව වෙත හා සුළුතරයේ නායකයන් වෙත යොමු කළෙමි: ඉදින් සම්මේලනයේ දී සුළුතරය බහුතරය බවට පත් වුවහොත්, මෙම ප්‍රශ්නය සම්බන්ධ පක්ෂ ආස්ථානය කුමක් වේ ද?

එලෙසම, එකී සහෝදරවරුන් තිදෙනා සෝවියට් සංගමයේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයට එකිනෙකා එකිනෙකට වෙනස් වූ පිළිතුරු ලබා දී ඇති බව ද ලේඛනගත වාර්තාවලින් මම පෙන්වා දුනිමි. එකී ප්‍රශ්නය ම මම යළිත් ඇසීමි: මෙම කණ්ඩායම බහුතරය බවට පත් වුවහොත් සෝවියට් සංගමයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පක්ෂය කුමක් පවසනු ඇත් ද?

එවැනි ප්‍රශ්න සුළුතර කණ්ඩායම මත ඇති කරන විනාශකාරී බලපෑම ඔබට සිතා ගත හැකි ය. අවශ්‍ය නොපසුබට උත්සාහයෙන් හා සටන්කාමීත්වයෙන් යුතුව එල්ල කෙරෙන එබඳු දේශපාලන ප්‍රහාරයක් ඊට බඳුන් වන කණ්ඩායම බිඳ දැමීමට නියමිත බව දේශපාලන නිරීක්ෂකයෙක් ඉතා විශ්වාසයෙන් යුතුව කියා සිටිනු ඇත. යම්තාක් දුරකට මෙම ධාරණාව දැනටමත් සාක්ෂාත් වෙමින් පවතී. [සුළුතර] කණ්ඩායමේ අස්ථාවර ආස්ථානයේ සිට බහුතරයට සහයෝගය දීම කරා සාමාන්‍ය සාමාජික සහෝදරවරුන්ගේ කැපී පෙනෙන විස්ථාපනයක් අපි දැන් දකිමින් සිටිමු.

එහෙත් නායකයන් සම්බන්ධයෙන් තතු කෙසේද? හැඟවීම් ගණනාවකින් පෙනී යන පරිදි, ඔවුහු සිය අශක්‍ය ආස්ථානයෙන් අත් මිදීමට උත්සාහ දරති. ඒ, එකිනෙකා තමාගේ ම ආස්ථානය ආරක්ෂා කර ගනිමින් කණ්ඩායම යකාට යැවීමෙන් නො ව, ඒ වෙනුවට, කණ්ඩායමේ ප්‍රාවශ්‍යතාවයන්ට සරිලන පරිදි තම ප්‍රතිපත්තීන් නැවත සීරුමාරු කිරීම මඟිනි. එනම්, සියලු සලකුණු වලින් පෙනී යන්නේ, මතභේදයට මුල් වූ ප්‍රශ්නවලට ඒකරූපී පිළිතුරු කරා එළැඹීම සඳහා ඔවුන් එකිනෙකාගේ ආස්ථානයන්ට සහන දීම මඟින් ලඟා විය හැකි පොදු ආස්ථානයක් වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවයි.

මට වැටහෙන පරිදි, මේ දක්වා කණ්ඩායමේ වේදිකාව ලෙස සේවය සැලසූ, තිදෙනා වෙන් වෙන්ව තමන්ට ගැළපෙන්නේයැයි තමන් සිතන ආකාරයට අර්ථකථනය කළ ෂැට්මන්ගේ සංදිග්ධ යෝජනාව, ඔවුන් සියලු දෙනා දායක වන නව යෝජනාවකින් විස්ථාපනය වීමට නියමිත ය.  

එසේ කිරීමෙන් සංයෝජනවාදය පිළිබඳ චෝදනාවෙන් ගැලවීමට හා, තනි වේදිකාවක් සහිත එකම කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට ඔවුන් අපේක්ෂා කරන බව පෙනේ. අපට නම් මෙයින්  හැඟවෙන්නේ අදහස් සමඟ සෙල්ලම් කිරීමේ ක්‍රීඩාවේ තවත් නිරූපනයක් පමණෙකි. ඉන් සිදුවනු ඇත්තේ තරුණයන් අතර දේශපාලන නරුමකම ප්‍රවර්ධනය වීම පමණෙකි. එමඟින් කිසි දා, ඩි ලියොන් විසින් ඒ සා සිත් කාවදින සුළු ආකාරයෙන් කළ පහත ප්‍රකාශයේ ජීව ගුණය තුළ ඔවුන්ට අධ්‍යාපනය ලබා දීම කළ හැකි නො වේ: “මූලධර්ම පිළිබඳව බැරෑරුම් වන්න, ඒවා පිළිබඳව අවංක වන්න.”

I I I

රුසියානු ප්‍රශ්නය පිළිබඳ විවිධ තර්ක සහ පිළිතුරු පිළිබඳ පොදු සංග්‍රහයක් යෝජනාවක ස්වරූපයෙන් සකස් කිරීමට අපි තීරණය කර ඇත්තෙමු. එය සමුළුව සඳහා අපගේ වේදිකාව ලෙස ඉදිරිපත් කරනු ලැබේ. මේ සමඟ ම, පක්ෂයේ ස්වභාවය සහ අභ්‍යන්තර පාලන තන්ත්‍රය පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධ යෝජනාවක් ද ගෙන ඒමට අපි සැලසුම් කරමු. මෙම ප්‍රශ්න දෙක පිළිබඳව දෙවසරකට ඉහත සමුළුවේ දී ඉදිරිපත් වූ එකිනෙකට ප්‍රතිවිරුද්ධ යෝජනා මඟින් පක්‍ෂ බහුතරය හා කාටර් – බර්න්හැම් සුළුතරය අතර වූ ගැටළු නිර්වචනය කෙරුණු බව සිහිපත් කිරීම තරමක උත්ප්‍රාසයක් දනවයි. එවකට අපේ පැත්තේ සිටගෙන සිටි ෂැට්මන් හා ඇබර්න් හුදෙක් ම අනෙක් පැත්තට මාරු වීමත්, බර්න්හැම් අපෙන් තවතවත් ඉවතට පියවර නැඟීමත් හැර, එවක් පටන් මේ දක්වා මතභේදවල සාරයේ කිසිදු වෙනසක් වී නැත.  

යුද්ධයේ කොන්දේසි යටතේ රුසියානු ප්‍රශ්නය පිළිබඳ අපේ සාකච්ඡාව සාරයෙන් ගත් කල හතරවැනි ජාත්‍යන්තරයේ සාකච්ඡාව බවට පත් වන්නේය යන සත්‍ය කරුණ හමුවේ, රුසියානු යෝජනාව කෙටුම්පත් කිරීමේ දී ජාත්‍යන්තරයේ සහභාගීත්වය නිශ්චිතව ම කාලානුරූපව උචිත වන බව අපි සිතමු. අප සම්බන්ධයෙන් නම් ප්‍රශ්නය වන්නේ යෝජනාවේ කර්තෘත්වය නො ව, එය සමස්ත ජාත්‍යන්තරයට ම මඟ පෙන්වීමක් ලෙස එක් එක් හා සෑම කරුණක් සම්බන්ධයෙන් ම වඩාත් ම නිරවද්‍ය හා උපදේශාත්මක ආකාරයෙන් සූත්‍රගත වී තිබීමයි.

අපි යෝජනාවක් සකස් කරමින් සිටින්නෙමු. එහෙත් ඔබට කාලය විසින් අවකාශ සැලසෙන පරිදි කෙටුම්පතක් ඉදිරිපත් කළ හැකි නම් අප ඒ පිළිබඳව අතිශයින් කෘතඥ වනු ඇත. ඒ අතර ම, අපේ සැළසුම වන්නේ අපේ යෝජනාවේ කෙටුම්පත ඔබේ විවේචන හා සංශෝධන සඳහා ඉදිරිපත් කිරීමට ය.

III

මෙම ලිපියේ මුල් භාගයේ මා සඳහන් කළ පරිදි, රුසියානු ප්‍රශ්නය සම්බන්ධයෙන් පමණක් නො ව, දෘෂ්ටිවාදය හා දේශපාලන විධික්‍රමය පිළිබඳ සෙසු ප්‍රශ්න සම්බන්ධයෙන් ද ඔබේ මැදිහත්වීම උදක් ම උචිත ද අත්‍යවශ්‍ය ද වන බව මගේ හැඟීමයි. පක්‍ෂ උපායාත්මක හෝ ආචාරධාර්මික හේතූන් මත එක් ගැටළුවක් පැහැදිළි කිරීමකින් තොරව හැර දැමීමේ හෝ, එක් බැරෑරුම් සහෝදරයෙකු අවිනිශ්චිතතාවයේ තැබීමේ අවදානම ගැනීම සරලව ම අභූතයක් වනු ඇත. 

සියලු ඇඟවීම් වලින් පෙනී යන පරිදි, පක්ෂයේ නිර්ධන පන්ති මධ්‍යස්ථාන සියලු මූලික ප්‍රශ්න සම්බන්ධයෙන් පරිපූර්ණව ම දෘඩ ආස්ථානයක් දරමින් සිටිති. …

සහෝදරත්වයෙන්,

ජේ.පී. කැනන්

[15] මෙහි දී සඳහන් කෙරෙන සිදුවීම වන්නේ ඩයිස් කමිටුව ටෙක්සාස්හි ඔස්ටින්හි දී පැවැත්වීමට සැළසුම් කෙරුණු විශේෂ සැසි වාරයක දී සාක්ෂිකරුවෙකු ලෙස ලියොන් ට්‍රොට්ස්කිට ආරාධනය කිරීමයි. ට්‍රොට්ස්කි ආරාධනය පිළිගත් අතර, ඉන්පසු ඩයිස් කමිටුව සිය ආරාධනය ඉවත් කර ගත්තේය. බලන්න: In Defence of Marxism, පිටු 85-86 සහ 91පිටුවේ සිට ඉදිරියට

[16] පිටුවාහලේ සිටියදී ට්‍රොට්ස්කිට විවිධ රටවල්වල වාසය කිරීමට සිදුව තිබූ තත්ත්වය තුළ, නිරතුරුව ඔහුට ලිපි යැවීමේ දී ඔහුගේ ලේකම්වරුන්ගේ නමින් යවන ලදී.

[17] ට්‍රොට්ස්කි, In Defence of Marxism, 212 පිටුව

පෙර කොටස් බලන්න:

හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්123456-I6-II78-I8-II8-III8-IV8-V9-I9-21011-I11-II11-III, 12-I, 12-II, 13, L1, L2

Scroll to Top