නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: සහෝදරවරුන්ට යැවූ ලිපි – IV

ජේම්ස් පී. කැනන්

පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු

7. ලියොන් ට්‍රොට්ස්කිට ලියූ ලිපියක්

නිව්යෝර්ක්.

1939 නොවැම්බර් 8

ප්‍රිය හැන්සන් [ට්‍රොට්ස්කි] සහෝදරය, 

1. ඊයේ රාත්‍රියේ පැවැති දේශපාලන කමිටු රැස්වීමේ දී මම, සාකච්ඡාවේ නියාමනය පිළිබඳව මේ සමඟ එවා ඇති ප්‍රකාශනය හඳුන්වා දුනිමි. [18] එය සුළුතරය විසින් පිළිගන්නා ලදුව ඒකමතිකව සම්මත කරන ලදී. එමෙන්ම මෙම ප්‍රකාශනය සියලු පක්ෂ ශාඛාවලට යැවීමට ද තීරණය කෙරින. එය දේශපාලන සාකච්ඡා සඳහා සහ, ආනුෂංගික ලෙස බරපතල ප්‍රශ්න පිළිබඳව පැහැදිළි කර ගැනීම සඳහා වඩාත් වාසිදායක වාතාවරණයක් සම්පාදනය කිරීමට යම්තාක් දුරකට ආධාරකාරී වනු ඇතැයි මම සිතමි. ඒ අතරතුර ම එය, භේදයක වික්‍රමය සමඟ ක්‍රීඩා කිරීමට අවශ්‍ය විය හැකි කවරෙකුගේ හෝ මාවත අසුරා ලන බැරෑරුම් බාධකයක් වනු ඇත.

2. දේශපාලනිකව, සුළුතරය අපෙන් වඩාත් ඉවතට ඇදී යන අතර, සංයෝජනය තුළ බර්න්හැම්ගේ දේශපාලන ආධිපත්‍යය වඩාත් විද්‍යමාන වෙමින් පවතී. ඊයේ රාත්‍රියේ දේශපාලන රැස්වීමේ දී අපි කොමින්ටර්නයේ නව ප්‍රකාශනය හා ඒ සම්බන්ධයෙන් අපේ දේශපාලන අභිප්‍රේතය පිළිබඳව සාකච්ඡා කළෙමු. මේ කරුණ සම්බන්ධයෙන් ද තවදුරටත් අපට පොදු භාෂාවක් සොයා ගත නොහැකි බවක් පෙනී යයි. මක්නිසාද යත්, ස්ටැලින්වාදයේ කාර්යභාරය සම්බන්ධයෙන් අප තවදුරටත් එකඟ නො වන නිසා ය.

අපේ ශ්‍රේණි තුළ පවතින සංශෝධනවාදය යම් අයුරකින් අධිරාජ්‍යවාදී ස්වභාවයක් ගන්නා බවක් පෙනේ; එයට සියලු ක්‍ෂේත්‍ර එකින් එක ජය ගැනීමට අවශ්‍ය වී ඇත. මෙම නව ප්‍රතිවිරුද්ධතාව පැහැදිළි කිරීමේ තවත් ආකාරයක් විය හැක්කේ, රුසියානු ප්‍රශ්නයේ දී, එහි අතිමූලික ස්වභාවය නිසා, අතීතයේ මෙන් ම මෙහි දී ද, දේශපාලන දිශානතියක් ආධිපත්‍යය දරන බව පැවසීමයි.

අපි යෝජනාවලින් තොරව දේශපාලන කමිටු සාකච්ඡාව ආරම්භ කළෙමු. ඒ, ස්ටැලින්වාදයේ නව හැරීම පිළිබඳව, විශේෂයෙන් ම ඇමරිකානු කම්කරු ව්‍යාපාරය තුළ අප එය සමඟ සටන් කළ යුත්තේ කෙසේද යන දෘෂ්ටි කෝණයෙන්, අදහස් හා තොරතුරු හුවමාරු කර ගැනීමක් ලෙස ය. කෙසේවෙතත්, සෝවියට් නිලධර තන්ත්‍රයේ අරමුණු පිළිබඳ බර්න්හැම්ගේ තක්සේරුව අපේ තක්සේරුවට වඩා යම්තාක් දුරට වෙනස් බව සාකච්ඡාව තුළ ප්‍රත්‍යක්ෂ විය. 

ස්ටැලින්ගේ “සාම” ප්‍රහාරය හා විප්ලවය පිළිබඳ තර්ජන හුදෙක් ම, කොමින්ටර්නය හා ධනපති රටවල් තුළ ඇති එහි පක්ෂ සෝවියට් විදෙස් පිළිවෙතේ වර්තමාන අවශ්‍යතාවලට සේවය කිරීමට භාවිතා කිරීමේ සමස්ත ස්ටැලින්වාදී ක්‍රීඩාවේ පුනරාවර්තනයක් බව අපි පැහැදිළි කළෙමු. මහජන පෙරමුණු ඝෝෂාව සැළසුම් කෙරී තුබුණු පරිදි ම වාමාවර්ත හැරීම ද සැළසුම් කර ඇත්තේ අධිරාජ්‍යවාදී බලවතුන්ට එරෙහි මූලික අරගලයක් සඳහා නො ව, ඒ හෝ මේ කඳවුර මත පීඩනය යෙදීමේ ක්‍රමයක් ලෙස ය. මූලික වශයෙන්, මහා බලවතුන් කිසිවෙකු හෝ සමඟ සටන් කිරීමට ස්ටැලින්ට අවශ්‍ය නැත; ඔහුට අවශ්‍ය ඔවුන් ඔහුට පාඩුවේ ඉන්නට ඉඩ දීමයි.     

ලෝක කරළිය මත ස්ටැලින්වාදයේ භූමිකාව හා උපක්‍රම සම්බන්ධයෙන් වන මෙම දෘෂ්ටිය අප අතර පොදුවේ වලංගු ලෙස පිළිගැනුණු එකක් වූ අතර, එය සෑම සාකච්ඡාවක දී ම යළියලිත් පුනරුච්චාරණය කළ යුතු වූයේ නැත. ඇත්තෙන්ම සාකච්ඡාව තුළ දී මම, මෙම පොදුවේ පිළිගැනුණු විශ්ලේෂණය යෝජනාවලට පූර්විකාවක් ලෙස ගෙන ඒමට වෙහෙස නො වී, වෘත්තීය සමිති තුළ සිටින අපේ සහෝදරවරුන්ගේ උපක්‍රම සම්බන්ධයෙන් ඇතැම් ප්‍රායෝගික යෝජනා සූත්‍රගත කිරීමට පටන් ගතිමි. එවිට ම, බර්න්හැම් ඒකාන්ත ලෙස වෙනස් දෘෂ්ටි ආස්ථානයක සිට යෝජනාවක් ඉදිරිපත් කළේය. ඔහුගේ න්‍යායයේ සාරාංශය, මේ ලිපියට අමුණා,  මා විසින් ඉදිරිපත් කරන ලද සෙසු යෝජනා ද සමඟ මා එවන ඔහුගේ යෝජනාවේ, “b” ලෙස අංක යෙදූ කරුණ තුළ අඩංගු වේ.     

එවිට සාකච්ඡාවේ නව හැරීමක් සිදු වූ අතර, ස්ටැලින්වාදයේ නව ක්‍රියා මාර්ගවල අරමුණු පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡාවට අපි සෑහෙන දීර්ඝ කාලයක් වැය කළෙමු. අතීතයේ දී බොහෝ සේ නිරතුරුව පැහැදිළි කරන ලද පරිද්දෙන් අපි, ස්ටැලින්වාදී නිලධරය යනු සෝවියට් රාජ්‍ය දේහය මත හටගත් විකෘත වර්ධනයක් බවත්, එය තමාගේ ම ආර්ථිකය සමඟ රැඩිකල් ගැටුමක නියුක්තව ඇති බවත් පැහැදිළි කළෙමු. එහි අසාමාන්‍ය අස්ථායීභාවය සහ යුද්ධ හා විප්ලව වැනි ඕනෑම සමාජ කම්පනයන් හෝ කැළඹීම් කෙරේ එහි භීතියට හේතු වන්නේ මෙම තතු ය. ධනපති රටවල් තුළ ඇති (කොමියුනිස්ට්) පක්ෂ සෝවියට් විදෙස් පිළිවෙතේ වර්තමාන සිග්සැග් චලනයට සහාය පිණිස සිය ක්‍රියාකාරකම් නිර්මාණය කරති. මෙකී ක්‍රියාකාරකම් සැලසුම් කෙරෙන්නේ ඒ හෝ මේ අධිරාජ්‍යවාදී කණ්ඩායම පෙරළා දැමීමට හෝ අභිභවනය කිරීමට නො ව, ඔවුන් මිළ දී ගැනීම හෝ බිය ගැන්වීම සඳහා බ්ලැක්මේල් කිරීමේ ප්‍රයත්නයක් ලෙස ය.

බර්න්හැම් ද, ඔහු අනුගමනය කරමින් ෂැට්මන් ද, සියල්ල වෙනස් වී ඇති බවත්, ස්ටැලින් කල්ලිය දැන් ලෝක ආක්‍රමණයේ කිසියම් වර්ගයක නැපෝලියානු මාවතකට පා තබමින් සිටින බවත් පෙරට වඩා අවංක ව ද, සම්පූර්ණයෙන් ද පහදා දුන්නෝය. බර්න්හැම්ගේ අංක “b” දරන කරුණෙන් කියැවෙන්නේ මෙසේය: “සෝවියට් නිලධරය, තමාගේ ම බලය හා වරප්‍රසාදවලට සේවය කරනු වස් යුද්ධයට එරෙහිව නැඟිය හැකි මහජන විරෝධතාවල පාලනය සියතට ගැනීමට අරමුණු කර සිටී.” ඉන් ඉක්බිතිව සිදු වූ සාකච්ඡාවේ දී, විශේෂයෙන් ම ෂැට්මන්, මෙය ඉතාමත් ම විචිත්‍ර ආකාරයෙන් විස්තර කළේය. ඉන්දියානු ජාතිකවාදී නායකයන් මිළ දී ගැනීමට ස්ටැලින් ඩොලර් මිලියන ගණනින් වැය කරමින්, බ්‍රිතාන්‍යයට එරෙහිව, මොස්කව්හි සිට පාලනය කෙරෙන දැවැන්ත නැඟිටීමක් ආරම්භ කරන ආකාරය ඔහු චිත්‍රණය කර දැක්වීය.   

අපි අපේ මතය පහදා දෙමින්, ස්ටැලින්ට හුදෙක් කුඩා යාබද රටවල්වලට එරෙහිව පමණක් නො ව දැවැන්තතම අධිරාජ්‍යවාදී බලයන්ට ද එරෙහිව නැපෝලියානු ආක්‍රමණයේ හා අල්ලා ගැනීමේ මාවත ගත හැකි බවත්, එහෙත් ඒ හුදෙක් එක් කොන්දේසියක් මත පමණක් බවත් පෙන්වා දුනිමු. එනම්, ඒ සඳහා යථාර්ථය තුළ, සෝවියට් නිලධරය තම ආර්ථික පර්යාය සමඟ සුසංයෝගී වූ හා ස්වකීය දේශය තුළ තම ස්ථානය සුරක්ෂිත බවට තහවුරු වූ ආදී වශයෙන් වන නව විජයග්‍රාහී පන්තියක් නියෝජනය කළ යුතුය. ඉදින් තත්ත්වය සැබැවින් ම එසේ නම් නිසැකව ම අපි නිලධරයේ විෂයය සම්බන්ධයෙන් අප මෙතෙක් කියා ඇති සියල්ල සංශෝධනය කළ යුත්තෙමු. ඒ අතරතුර ම, එළඹෙන දීර්ඝ කාලයක් සඳහා බටහිර නිර්ධන පන්ති විප්ලවයත් සමඟ, සෝවියට් සංගමය තුළ විප්ලවය පුනර්ජනනය කිරීම කපා හැරිය යුත්තෙමු.

විවාදය කෙළවර වූයේ ඊළඟ රැස්වීමේ දී සළකා බැලීම සඳහා අභියෝජනා කෙටුම්පත් කිරීමට ගත් තීරණය සමඟිනි. මගේ යෝජනාව බහුතර කණ්ඩායමේ අභියෝජනාව සඳහා පදනම ලෙස ගනු ලැබෙන අතර, සුළුතර කණ්ඩායමේ අභියෝජනාව බර්න්හැම්ගේ යෝජනා මත පදනම් වනු ඇත.    

මෙම යෝජනා දෙකම එතැනදී ම සූත්‍රගත කෙරුණු බව සිහියේ තබා ගත යුතුය. එබැවින් ඒවා අවසාන නිමවුම් කිරීම්වලින් හා හැඩයෙන් තොර ය. කෙසේවෙතත්, ඒවා එකිනෙකට පටහැනි මේ මත දෙකේ සාරාංශය සම්පාදනය කරයි.

ඇබර්න්, වැදගත් ප්‍රශ්න න්‍යාය පත්‍රයට ඇතුල් වී ඇති විට නො වෙනස්ව ම පාහේ ඔහු සිදු කරන අන්දමට, නිහඬව වාඩි වී සිටි බව මා සඳහන් කළ යුතුය. සෑම විටෙක ම පාහේ ඔහු සිදු කරන්නේ, නිහඬව වාඩි වී බලා සිට, අභ්‍යන්තර කණ්ඩායම් අරගලයේ ප්‍රාවශ්‍යතා මත සිය ආස්ථානය සීරු මාරු කර ගැනීම යි. ඒ විනා, එය අනෙක් අතට සිදු නො කෙරේ.   

ඡන්ද විමසීමේ දී සුළුතර කණ්ඩායමේ සාමාජිකයෝ සිව් දෙනා බර්න්හැම්ගේ සූත්‍රගත කිරීමට පක්ෂව ඡන්දය දුන්හ. බහුතරයේ සාමාජික අට දෙනා මගේ යෝජනාවට ඡන්දය පාවිච්චි කළෝය. මෙම ප්‍රතිවිරෝධී අභියෝජනා සූදානම් කළ වහා ම ඔබ වෙත ඒවායේ පිටපත් එවන්නෙමි. යුද්ධයේ එළිපත්තේ හිඳිමින්, ස්ටැලින්වාදයේ කාර්යභාරය පිළිබඳ විෂයය සම්බන්ධයෙන් මේ තාක් සිතා ඇති, කියා ඇති හා සිදුකර ඇති සියල්ල කුණු කූඩයට දමා, මුල පටන් අලුතින් පටන් ගැනීමට දැරෙන මේ නව ප්‍රයත්නය සම්බන්ධයෙන් දීර්ඝ අදහස් දැක්වීමක් සිදු කිරීමට ඔබට අවශ්‍ය වනු ඇති බව මට නිසැක ය.  

අප අපේ ව්‍යාපාරයේ ක්‍රියා මාර්ගික පදනම් පිළිබඳව මූලික අරගලයකට අවතීර්ණ වෙමින් සිටින බව අන් කවරදාටත් වඩා පැහැදිළි ය. එහෙත් මා සම්බන්ධයෙන් ගත් කල, අසාරවාදයේ හෝ අධෛර්යයේ අංශුමාත්‍රයකින් හෝ තොරව මම ඊට මුහුණ දෙමි. මෙහි සිටින මගේ සමීපතම සහ-ක්‍රියාකාරීන්ගේ ආකල්පය ද එය මය. එක්සත් ජනපදය යුද්ධයට අවතීර්ණ වීමට පූර්වයෙන්, හා නිදහස් සාකච්ඡා මඟින් මේ ගැටලුව විසඳා ගැනීමටත්, හතරවැනි ජාත්‍යන්තරයේ ක්‍රියාධරයන්ට ඒ පිළිබඳ යළි අධ්‍යාපනය දීමටත් අවකාශ ඇති කොන්දේසි යටතේ මෙම සැඟවුණු දුබලතාව එළිමහනට පැමිණීම ගැන අපි හුදෙක් ඉමහත් සතුටට පත් වී සිටින්නෙමු.

සහෝදරත්වයෙන්,

ජේ.පී. කැනන්

සටහන්:

18. පක්ෂ එකමුතුව සම්බන්ධ යෝජනාව

දේශපාලන කමිටුවේ කණ්ඩායම් දෙකේ ම ප්‍රධාන නියෝජිතයන්ගේ අත්සනින් පක්ෂ සාමාජිකයන් වෙත ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීම සඳහා යෝජනාවක්

වර්තමාන අභ්‍යන්තර සාකච්ඡාව, බහුතරයක් විසින් ක්‍රියාත්මක කෙරෙන නෙරපා හැරීමක් හෝ, සුළුතරයක් ඉවත් වී යාමක් මඟින් සිදු වන භේදයකට මඟ පැදිය හැකියැයි ඇතැම් සහෝදරවරුන් විසින් පළ කර ඇති බිය හමුවේ, දෙපාර්ශවයේ ම ප්‍රධාන නියෝජිතයෝ මෙසේ නිවේදනය කරති: 

1. භේදයක වාතාවරණය තුරන් වන පරිදි හා පක්ෂයේ එක්සත්කම පවත්වා ගැනෙන බව පක්ෂ සාමාජිකයන්ට තහවුරු කෙරෙන පරිදි සාකච්ඡාව නියාමනය කිරීම අත්‍යවශ්‍ය ය. මේ අරමුණ සාක්ෂාත් කිරීම සඳහා, භේදවීමේ හා නෙරපා හැරීමේ සියලු තර්ජන සාකච්ඡාවෙන් බැහැර කිරීමට දෙ පාර්ශ්වය ම එකඟ වේ.

2. මතභේදයට ලක් වී ඇති කරුණු, පක්ෂයේ හා හතරවැනි ජාත්‍යන්තරයේ රාමුව තුළ සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන් මඟින් පැහැදිළි කර ගැනීම හා විසඳා ගැනීම. නිදහස් සාකච්ඡාව සඳහා අත්‍යවශ්‍ය කාල පරිච්ඡේදයෙන් අනතුරුව, දෙපාර්ශ්වයට එකඟතාවයකට එළැඹීමට නොහැකි වුවහොත්, මතභේදය පක්ෂ සම්මේලනයක් මඟින් විසඳා ගත යුතුය. එහි දී එක් පාර්ශ්වයක් සම්මේලනයට පෙර කාලයේ ආරක්ෂා කරන ලද මතය හේතුවෙන් නෙරපා හැරීමෙන් හෝ අනෙක් පාර්ශ්වය ඉවත් වී යාමෙන් තොරව කටයුතු කළ යුතුය.

3. සාකච්ඡාවේ කාල සීමාව අතරතුර පක්ෂයේ දෛනික කටයුතුවල දී පක්ෂයට ගැති සහයෝගීතාවයක් පවත්වා ගැනීමට දෙ පාර්ශ්වය ම බැඳී සිටිති.

4. අභ්‍යන්තර බුලටිනය එක් පාර්ශ්වයකින් එක් අයෙකු බැගින් වූ කර්තෘවරුන් දෙදෙනෙකු විසින් ඒකාබද්ධව සංස්කරණය කළ යුතු ය.

5. එක් පාර්ශ්වයකින් දෙදෙනා බැගින් වූ සිව් පුද්ගල පක්ෂ කොමිසමක් පිහිටුවිය යුතුය. පක්ෂ කොමිසමේ කාර්යය වන්නේ සාකච්ඡාව තුළින් මතු විය හැකි, සංවිධානය සම්බන්ධ සියලු පැමිණිළි, අයුක්තීන්, තර්ජන, අපවාද හෝ විනය කඩකිරීම් විමර්ශනය කිරීම හා ඒවා සංයුක්ත නිර්දේශ සමඟ දේශපාලන කමිටුවට වාර්තා කිරීමයි. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top