12. ෆැරල් ඩොබ්ස්ට යැවූ ලිපියක්
ජේම්ස් පී. කැනන්
පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු
නිව්යෝර්ක්
1939 දෙසැම්බර් 15
ප්‍රිය ඩොබ්ස් සහෝදරය,
ෆින්ලන්තයේ සෝවියට් ආක්‍රමණය පිළිබඳව පසුගිය ඉරිදා අපි පක්‍ෂ අභ්‍යන්තර විවාදයක් පැවැත්වීමු. ඉනික්බිතිව එළැඹුණු සතියේ නිව්යෝර්ක් නාගරික සම්මේලනය පැවැත්වුනි. ඒ සම්බන්ධයෙන් මා වෙනත් ලිපියක ලියා එවා ඇත. මේ සිදුවීම් අප අතර ඇති බරපතළ වෙනස්කම් වඩාත් පැහැදිළිව හෙළිදරව් කිරීමට ද, නිව්යෝර්ක්හි කණ්ඩායම් මතභේදවල තතු ඉමහත් ලෙස තියුණු කිරීමට ද හේතුභූත වී ඇත.
අප නියුක්තව සිටින්නේ හුදෙක් වෙනස් මත ඉදිරිපත් කෙරෙන සාමාන්‍ය සාකච්ඡාවක නොව, පැති ගනු ලබන ශමනය කළ නොහැකි අරගලයක බව සෑම දිනෙක ම වඩවඩාත් පැහැදිළි වෙමින් පවතී. යන්තම් දෙ මසකට ඉහත පැවැති පුන්සැසියේ දී ෂැට්මන් ඉදිරිපත් කළ සංදිග්ධ යෝජනාව බර්න්හැම්ගේ බෝල්ෂෙවික්-විරෝධී ආස්ථානය කරා යන පාලමකැයි අප ලක්ෂනනය කළ බව ඔබට මතක ඇත. ෆින්ලන්ත සිදුවීම් සමඟ මෙම පාලම දැනටමත් තරණය කර ඇත. ෆින්ලන්තය පිළිබඳ යෝජනාවේ කර්තෘවරයා බර්න්හැම් වන අතර, අරගලයේ නව වර්ධනයන්ට අනුකූලව සුළුතරයේ විවාදකරු ලෙස, රුසියානු ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාවේ ආරම්භයේ දී පෙනී සිටි ෂැට්මන් වෙනුවට, නිව්යෝර්ක් සාමාජික රැස්වීමේ දී එම ස්ථානයට ඉදිරිපත් වූයේ බර්න්හැම් ය. බේස්බෝල් ක්‍රීඩාව ආශ්‍රයෙන් කිවහොත්, පන්දුව වීසි කරන්නාගේ මෙම වෙනස විසින් පෙන්නුම් කෙරෙන්නේ ක්‍රීඩාව එහි තීරණාත්මක සත්වැනි ඉනිමට ඇතුළුවන බවයි. උපමාව වෙනස් කොට කථා කළහොත්, විවාදයේ දී මා සඳහන් කළ පරිදි කිව හැක්කේ, බලය ලත් නියෝජිතයා විස්ථාපනය කරමින් ප්‍රධානියා ම පැමිණ ඇති බවත්, සැබෑ ප්‍රයුක්තීන් දැන් වඩාත් පැහැදිළි වනු ඇති බවත් ය.
විවාදය සටනක සියලු ආතතියෙන් යුක්ත විය. අපි එකිනෙකා සමඟ විවාද කළා නො ව, උනුනුන් හා සටන් වැදුනෙමු. අපට “සාකච්ඡා” කළ නො හැකි වූයේ, අප එක ම පූර්වාංගයෙන් පටන් නො ගත් හෙයින් හා එක ම තලයක රැඳී කථා නො කළ හෙයින් ය. මා මගේ මුළු තර්කය ම ගොඩ නඟන ලද්දේපහත කරුණු වටා ය: ෆින්ලන්ත සිදුවීම් ව්‍යාජ හේතුවක් කර ගනිමින් රූස්වෙල්ට් හා හූවර් සෝවියට් සංගමයට එරෙහිව දේශපාලනික හා දෘෂ්ටිවාදාත්මක යුද්ධයකට ඇමරිකානු හා ලෝක ධනේශ්වරය බලමුළු ගන්වන බව; ඇත්තෙන් ම මෙම ව්‍යාපාරය දැනටමත්, ඍජු මිලිටරි මැදිහත්වීමක සියලු වැදගත්කමෙන් යුක්ත විය හැකි ද්‍රව්‍යමය ආධාර (හූවර්ගේ අරමුදල් රැස් කිරීමේ කමිටුව, ෆින්ලන්තයේ ණය කපා හැරීම, ඉතාලියෙන් හා එංගලන්තයෙන් යුදමය ද්‍රව්‍ය සැපයීම ආදී වශයෙන්) සම්පාදනය කිරීමේ අදියර කරා වර්ධනය වී ඇති බව; සහ මෙකී තතු තුළ අප, “යුද්ධය හා හතරවැනි ජාත්‍යන්තරය” පිළිබඳ අපේ නිබන්ධයේ මූලික කරුණු යළි තහවුරු කර ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුය යන කරුණ.
- ප්‍රධාන සතුරා සිටින්නේ අපේ රට තුළ ම ය – රූස්වෙල්ට්-හූවර් සංයෝගය හෙළිදරව් කර ඊට එරෙහිව සටන් වදිනු.
- ස්ටැලින් නො තකා, ස්ටැලින්ට එරෙහිව, සෝවියට් සංගමය ආරක්ෂා කරනු. බර්න්හැම් ඔහුගේ මුළු දේශනය ම ගොඩ නැඟුවේ ස්ටැලින්වාදයට යටත් වූවන් ලෙස පක්ෂයේ ජාතික කමිටුවට එරෙහිව එල්ල කළ ප්‍රහාරයක් වටා ය. සෝවියට් සංගමය කම්කරු රාජ්‍යයකැයි යන්න ඔහු ප්‍රතික්ෂේප කළේය – ඔහු බලය ලත් නියෝජිතයෙකු හරහා නො ව තමන්ගේ ම නමින් පෙනී සිටි හෙයින් මම ඔහු ප්‍රකෝප කරමින් සිය ආස්ථානය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටියෙමි. ඔහු රතු හමුදාවේ පරාජයට සහාය දෙන බව නිවේදනය කළේය.
එය දුෂ්කර හා කර්කශ විවාදයක් විය. පැති දෙකක්. කඳවුරු දෙකක්. බර්න්හැම්, පන්ති සතුරාට එරෙහිව සිය වාග් චාතුර්යය දැක්වීමේ දී කිසි දා මුළුමණින් ඔහුගෙන් බැහැර නො වූ මහාචාර්යමය නාගරිකත්වය පසෙකට ලා, ජාතික කමිටුවට එරෙහිව කලහකාරී ලෙස හා විලිලජ්ජා විරහිත ආකාරයෙන් පවා පහර දුන්නේ ය. එය ඇත්තෙන් ම ප්‍රධාන සතුරා ජාතික කමිටුව වූ සේ ය. ඔහු, සිය විරුද්ධවාදියා මුල්ලකට කොටු කර ගත් මිනිසෙකුගේ කෲර අධිමානයෙන් යුතුව, ෆින්ලන්තයේ සෝවියට් ආක්‍රමණයට එරෙහි ප්‍රසිද්ධ රැළියක පවත්නා මහජන කෝලාහලයට මුහුණ දෙන්නැයි මට අභියෝග කළේය. අප සියල්ලන්ට පෙනී ගියේ, ඔහු බලගතු බලවේග තමන් පසුපස සිටින බව හඟනා මිනිසෙකු පරිද්දෙන්, නුපුරුදු ස්වයං-නිසැක බවකින් හා ආත්ම විශ්වාසයකින් කථා කරන ලෙසකි.

ප්‍රසිද්ධ රැස්වීමක දී සෝවියට් සංගමය ආරක්ෂා කිරීමට ලැබුනහොත් මා ඉතා සතුටු වනු ඇති බවත්, යමෙකු එවැන්නක් සූදානම් කරතැයි මා අපේක්ෂා කරන බවත්, එහෙත් අවාසනාවට මෙන් මගේ පළමු කර්තව්‍යය වී ඇත්තේ සෝවියට් සංගමය අපේ ම පක්ෂය තුළ ආරක්ෂා කිරීම බවත් ඊට පිළිතුරු දෙමින් මම කියා සිටියෙමි. ෆින්ලන්ත ප්‍රශ්නය වටා පවතින සමස්ත මහජන කලබැගෑනිය ප්‍රමුඛ වශයෙන්, එක්සත් ධනේශ්වරය පුවත්පත්, ධර්මාසන, ගුවන් විදුලි මධ්‍යස්ථාන හා සන්නිවේදනයේත්, තොරතුරු සම්පාදනයේත් සෙසු මාධ්‍ය හරහා බලමුළු ගන්වා, මහජන මතය මත හෙළා ඇති බලගතු පීඩනයේ ප්‍රකාශනයක් ලෙස මම ලක්ෂණනය කළෙමි. ස්ටැලින්, සෑම විටෙක ම මෙන් මෙහි දී ද, මහජන අභිප්‍රායයන් පරත්වාරෝපණය කිරීමටත් ප්‍රජාතන්ත්‍රවාදී අධිරාජ්‍යවාදී හාම්පුතුන්ගේ ක්‍රීඩාවට සේවය සැපයීමටත් කළ හැකි සියල්ල කරන්නට ඇති බවට සැකයක් නැත. එහෙත් අප ඒ හේතුවෙන් පීලි පැන මෙම කරුණේ දී ප්‍රශ්නයේ සාරය නො දැක නො සිටිය යුතු බව මම කියා සිටියෙමි.
අපේ පක්ෂය ඇතුළත සෝවියට් සංගමයට එරෙහිව එල්ල කෙරෙන ප්‍රහාරය යනු ධනපති මහජන මතයේ පීඩනයට බියසුලු ලෙස යටත්වීමකැයි මම ලක්ෂණනය කළෙමි -දෙවියන්ගේ නාමයෙන්, මා නිවැරදි ය! සැබෑ යුද්ධය පටන් ගැනීමට පෙර දැනටමත් මෙම පීඩනය හමුවේ දණ නවන පක්ෂයක් සැබෑ තාපය ක්‍රියාත්මක වූ කල නැඟී සිටීමට කිසිසේත් සමත්වනු නැතැයි මම කීවෙමි. අප කිසිසේත් එතරම් හොඳින් එකට කටයුතු නො කළ බව ඔබට පෙනෙනු ඇත.
මාක්ස්වාදී ක්‍රියා මාර්ගයට යටින් වළ කපමින්, සෑම අලුත් සිදුවීමක් ම ස්වාධීන ප්‍රශ්නයක් ලෙස ගැනීමේ අනුභූතිවාදී ප්‍රවිෂ්ඨයකින් මාක්ස්වාදී දේශපාලන විධික්‍රමය විස්ථාපනය කිරීමට බර්න්හැම්ට අවශ්‍ය ය. මේ සම්බන්ධයෙන් බර්න්හැම්ගේ අදහස් හා සංකල්ප සමඟ මට පෞද්ගලිකව කිසි දා කවර හෝ සහානුභූතියක් නො තිබිණි. එහෙත්, බර්න්හැම් පක්‍ෂයේ ගමන් මඟ කෙරේ කිසිදු තීරණාත්මක බලපෑමක් තහවුරු කර ගැනීමට අසමත් හුදෙකලා සාධකයක් ලෙස පැවැති තාක් කල්, ඔහු සමඟ අපේ වෙනස්කම් අවසානය දක්වා ගෙන යාමට – තවත් අයට මෙන් ම – මට ද හේතුවක් නො වී ය. එහෙත් දැන් බර්න්හැම් පක්ෂය තුළ සංඛ්‍යාත්මකව බලගතු සංයෝජනයක නියෝජිතයා ලෙස කථා කරන හෙයින්, තත්ත්වය යම් දුරකට වෙනස් වී ඇත. සියලු ක්‍ෂේත්‍ර තුළ මාක්ස්වාදී ක්‍රියාමාර්ගය හා විධික්‍රම අවිවාදිත ආධිපත්‍යයක් ලෙස තහවුරු කරන තුරු, මෙම ප්‍රති-මාක්ස්වාදී ප්‍රහාරය හමුවේ අඟලක් හෝ පසුබැසීම වේවා, අරගලය තුළ නිමේෂයක හෝ දයාවක් දැක්වීම වේවා අපරාධකාරී අනුවණකමක් හා හතරවැනි ජාත්‍යන්තරයට ද්‍රෝහීවීමක් වනු ඇත.
සටන සෑම ආකාරයකින් ම එළිමහනට පැමිණ ඇති හෙයින්, කිසිවක් හෝ නො කියා නො හැරීම් වස්, දක්ෂිනාංශික සංයෝජනයේ ප්‍රධාන නායකයන් තිදෙනා – බර්න්හැම්, ඇබර්න් හා ෂැට්මන් – පිළිබඳ දේශපාලනික හා පෞද්ගලික ලක්ෂණනයන් තවත් ලිපියක ලියා එවමින් [20]; මෙකී මිනිසුන් තිදෙනා අතරින් ඒ හෝ මේ තැනැත්තා සිදුකිරීමට ඉඩ ඇති මාරුවීම් හෝ පසුබැසීම් පිළිබඳ සමපේක්ෂණයේ යෙදීම යනු පක්‍ෂ අර්බුදය විසින් මුණ ගස්වා ඇති ප්‍රශ්නවලට ප්‍රවිෂ්ඨ වන වැරදි ක්‍රමයක් බව පෙන්වා දීමට මම අපේක්ෂා කරමි. මෙම මිනිසුන්ට එරෙහිව සම්මුති විරහිත අරගලයකින් බෝල්ෂෙවික්වාදයේ ආස්ථාන යළි අත්පත් කර ගැනීමට පක්‍ෂ සාමාජිකත්වයට උගැන්විය යුතුය. පක්‍ෂය යුද්ධයට සූදානම් කළ හැකි එක ම මාවත එයයි. පක්‍ෂ ශ්‍රේණි සවිඥානකව තම බලය තහවුරු කර ගැනීමෙන් පසු මෙම පුද්ගල චරිතවලින් කවරෙකු හෝ වේවා, නො එසේ නම් ඔවුන් සියලු දෙනා වේවා, කුමක් කරනු ඇත් ද යන ප්‍රශ්නය – එහි සකලවිධ වැදගත්කම් තිබිය දී ම – කොයිහැටි වෙතත් දෙවැනි ගණයේ ප්‍රශ්නයක් වනු ඇත.
සහෝදරත්වයෙන්,
ජේ.පී. කැනන්
පෙර කොටස් බලන්න:
හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්, 1, 2, 3, 4, 5, 6-I, 6-II, 7, 8-I, 8-II, 8-III, 8-IV, 8-V, 9-I, 9-2, 10, 11-I, 11-II, 11-III, 12-I, 12-II, 13, L1, L2, L3, L4, L5, L6, L7
[20] – මෙකී ගුනාංගීකරණයන් ලිපි ආකාරයෙන් ලියනු වෙනුවට කැනන් ඒවා “නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය” කෘතිය තුළ දීර්ඝ ලෙස ගෙන හැර දැක්වීය.
