13. ලියොන් ට්‍රොට්ස්කිට ලියූ ලිපියක්
ජේම්ස් පී. කැනන්
පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු
නිව්යෝර්ක්,
1939 දෙසැම්බර් 21
ප්‍රිය හැන්සන් [ට්‍රොට්ස්කි] සහෝදරය,
එක් ඉතා වැදගත් ප්‍රශ්නයක් මෙයින් දන්වා එවමු. ඒ පිළිබඳ ඔබේ මතය හැරෙන තැපෑලෙන් ලබා ගැනීමට අපි කැමැත්තෙමු. පක්ෂයේ ප්‍රසිද්ධ ප්‍රකාශන තුළට සාකච්ඡාව ගෙන යාමට බර්න්හැම් හා ෂැට්මන් දැන් යම් කාලයක සිට බල කරමින් සිටිති. සෝවියට් රාජ්‍යයේ ස්වභාවය පිළිබඳ ඔබේ දෙවැනි ලිපිය ප්‍රකාශයට පත් කිරීමට අප මුල දී ගෙන තිබූ තීරණය පසුව යළි සලකා බලන ලද්දේ, එම ඇපීල් (Appeal) පුවත්පත තුළ ම එයට පිළිතුරු දීමේ අයිතිය සුළුතරය විසින් ඉල්ලා සිටින ලද නිසා ය. [21]
ඊළඟට ඔවුහු, ස්ටැලින්ගේ ෆින්ලන්ත ආක්‍රමණය පිළිබඳ දේශපාලන කමිටුවේ නිල ප්‍රකාශනය සමඟ සුළුතරයේ ප්‍රකාශනයත් Appealහි පළ කිරීමේ අයිතිය ඉල්ලා සිටියෝය.

දැන් ඔවුන් ප්‍රකාශ කරන්නේ, රුසියානු ප්‍රශ්නය සම්බන්ධයෙන් New Internationalහි මීළඟ කලාප ගණනක පළ කිරීමට තමන්ට අවශ්‍ය දීර්ඝ ලේඛනයක් තමන් අත ඇති බවයි. [22] අප මෙතෙක් මේ ලේඛනය දැක නැත. එහෙත් සියලු හැඟවීම් අනුව, එය ඔබට මෙන් ම බහුතරයට ද එරෙහි අතිශය විවාදශීලී ලේඛනයකැයි සිතා ගත හැකි ය.
මා ද ඇතුළුව මෙහි සිටින අපේ සහෝදරවරුන් බහුතරයක් සාකච්ඡාව ප්‍රසිද්ධ මාධ්‍ය තුළට රැගෙන යාමට විරුද්ධ ය. කෙසේවෙතත් ගෝල්ඩ්මන් ඊට පක්ෂ ය. අතිශය වැදගත් ප්‍රයුක්තීන් සමඟ මෙය සම්බන්ධ හෙයින්, මත අතර ඇති මේ වෙනස සැලකිල්ලට ගනිමින් ඔබේ උපදෙස් ලබා ගැනීමට අපි තීරණය කළෙමු.
මේ දක්වා අපට හැඟී ඇති පරිදි, ඉදින් B හා S වත්මන් සාතිශය තියුණු තතු තුළ, හා ඒ සා මූලික ප්‍රයුක්තීන් මත සිය අරගලය ප්‍රසිද්ධ මාධ්‍ය තුළට ගෙන ගියහොත් ඉන් ඔවුහු තමන්ට පසුබැසීමට ඇති මාවත තමන් ම කපා හරින්නෝ වෙති. සිය සංශෝධනවාදී වැඩ පිළිවෙල ලෝකය හමුවේ ප්‍රචාරය කළ පසු, පක්ෂය එය ප්‍රතික්ෂේප කිරීමේ තතු සමඟ සමථයකට එළැඹීම ඔවුන්ට මීට වඩා බෙහෙවින් අසීරු වනු ඇත.
මෙම ප්‍රශ්නයට සම්බන්ධ කොමියුනිස්ට් සංවිධානයේ සමහර පොදු මූලධර්ම සම්බන්ධයෙන් අපි බර්න්හැම් සමඟත්, මෑතකදී ෂැට්මන් සමඟත් වඩවඩාත් තියුණු වෙමින් පවත්නා ගැටුමකට මුහුණ දෙමින් සිටින්නෙමු. ප්‍රසිද්ධ මාධ්‍ය තුළ පක්ෂ මතවාදයට පටහැනි වීමට සුළුතරයකට ඇති අයිතිය සාමාන්‍ය ක්‍රියාවලියක් බවට පත් කර ගැනීම තහවුරු කිරීමට ඔවුහු සෑම කල්හි ම බල කරමින් සිටිති. සංවිධානාත්මක ප්‍රශ්න සම්බන්ධ වන බර්න්හැම්ගේ සෑම පියවරක දී ම හෝ යෝජනාවක දී ම, හැකි සෑම අවස්ථාවකම බොල්ෂෙවික් පක්ෂයේ ස්වාභාවික සංවර්ධනය ස්ටැලින්වාදී නිලධාරිවාදයේ රේඛා ඔස්සේ නැවැත්වීමට හිතාමතා පියවර ගත යුතුය යන අදහස ගම්‍යයෙන් සහ දැන් බොහෝ විට සුවිශද ලෙස ඉස්මතු කරනු දක්නට ලැබේ. දෙන ලද මොහොතක යෝජනාවල යෝග්‍යතාව හෝ අයෝග්‍යතාව නො තකා, සාමාන්‍ය ජනයාගේ මැදිහත්වීමකින් තොරව සිය කටයුතු නියාමනය කරන සහ, සිය අභ්‍යන්තර කටයුතු ප්‍රසිද්ධ කිරීම උචිත වන්නේ කවර කල්හි ද හා කවර තතු යටතේදැයි තමන් විසින් ම තීරණය කරන මධ්‍යගත හා විනයගරුක පක්ෂයක් පිළිබඳ අදහසට එරෙහිව එල්ල කෙරෙන පොදු ප්‍රහාරයට අපි සම්පූර්ණයෙන් විරුද්ධ වෙමු. මෑත දිනෙක රාත්‍රියේ දේශපාලන කමිටුව තුළ ඇති වූ තරමක උණුසුම් තර්කයක දී, ඉදින් කැරළි තත්ත්වයක් අතරතුර හැර, අන් ඕනෑම විටෙක පක්ෂයේ ක්‍රියාකාරකම් වර්ධනය කිරීමේ දී, සුළුතරයකට තම අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීමේ අයිතිය සහතික කළ යුතු බව බර්න්හැම් කියා සිටියේය. මම මෙසේ ඇසුවෙමි: “කැරැල්ල අතරතුර එසේ නො කරන්නේ ඇයි?”
පක්ෂ සුළුතරයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සම්බන්ධ ප්‍රශ්නය මෙම කාරනාවට සම්බන්ධව පැවැතිය හැකි නො වේ. සුළුතරය විසින් ඉදිරිපත් කරන සියල්ල අපේ අභ්‍යන්තර බුලටින තුළ පළ කරන අතර ඒවා සමස්ත සාමාජිකත්වය අතට පත් වේ. ඊට අමතරව, පක්ෂ ශාඛා හා සාමාජිකත්ව රැස්වීම් සාකච්ඡාවල දී කිසිදු වෙනස් ලෙස සැලැකීමක් කිසිසේත් ම සිදු නො වේ. සැබැවින් ම සුළුතරයේ වර්තමාන ඉල්ලීම වන්නේ මහජනයාට ආයාචනා කිරීමේ අයිතිය යි.

ගෝල්ඩ්මන් දරන මතය වන්නේ ප්‍රසිද්ධ මාධ්‍ය තුළ කෙරෙන සාකච්ඡාවක් අපේ අරමුණට සේවය කරනු ඇති බවයි; එනම්, මතභේදය තුළ අප ඉදිරිපත් කරන තර්කවල බලය, පක්‍ෂ හිතවතුන් හතරවැනි ජාත්‍යන්තරයේ වැඩ පිළිවෙල වටා වඩාත් දෘඩතර ලෙස බලමුළු ගන්වනු ඇති බවයි. එය එසේ වනු ඇති බව මගේ ද අදහස යි. එහෙත් මා අවධාරණය කරන්නේ, අප මෙම පියවර ගන්නමෝ නම්, අප එය කළ යුතු වන්නේ හොඳින් හිතාමතා, එහි යහ ප්‍රතිඵල මෙන් ම අයහපත් ප්‍රතිඵල ද පිළිබඳ මනා වැටහීමකින් යුතුව බවයි. ප්‍රසිද්ධියේ සිදු කෙරෙන සාකච්ඡාවක් බර්න්හැම් හා ඔහුගේ උප ග්‍රහයා වන ෂැට්මන් අපට ප්‍රතිවිරුද්ධ දිශාවට කෙරෙන විස්ථාපනයේ වේගය වැඩි කිරීමට කිසිසේත් අසමත් වනු නැති බව අප වටහා ගත යුතුය.
III
නිව්යෝර්ක්හි තත්ත්වය සෑම දිනක ම වඩවඩාත් තියුණු වෙමින් පවතී. ගැටුමට සම්බන්ධ ආස්ථානයන් අතර සම්මුතියක් සඳහා කවර හෝ ඉඩක් ඇතැයි කිසිවෙක් – සහනශීලී ගෝල්ඩ්මන් පවා – පුරෝකථනය නො කරති. මාධ්‍ය සඳහා සාකච්ඡාව විවෘත කිරීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අපේ තීරණය ගත යුත්තේ මෙම තතු සිහියේ තබා ගනිමිනි. සඟරාව දැනටමත් ප්‍රමාද වී ඇති හෙයින් අප ඉදිරි දින කිහිපය තුළ දී තීරණය ගත යුතු ය. ඔබේ අදහස අපට වහා දන්වා එවන්නේ නම් අපි සියලු දෙනා එය ඉතා ඉහළින් අගය කරන්නෙමු.
සහෝදරත්වයෙන්,
ජේ. පී. කැනන්
14. සීට්ල්හි සහෝදරයෙකුට ලියූ ලිපියක්
1939 දෙසැම්බර් 27
ප්‍රිය ඩික්,
අභ්‍යන්තර අර්බුදය සම්බන්ධයෙන් කෝකසයේ ලිපි හුවමාරුවල පිටපත් මම නිතිපතා ඔබ වෙත ඒවා ඇත්තෙමි. ඔබට ඒවා ලැබෙමින් තිබේ ද? ….
සමාජවාදී කම්කරු පක්ෂය තුළ සුළු ධනපති විරුද්ධ පක්ෂය පිළිබඳව වැඩිමහල්ලා ලියූ මෑත ම ලිපිය සම්බන්ධයෙන් ඔබේ මතය, හා අරගලය පිළිබඳව පොදුවේ ඔබ දරන මතය දැන ගැනීමට මා සතුටු ය.
මගේ අදහස කෙටියෙන් කිවහොත්, මීට වසර කිහිපයකට ඉහත දී අන්ත වාමවාදීන් සමඟ අප කළ මූලික අරගලය දැන් දක්ෂිණාංශික ප්‍රවණතාවය සමඟ කරන්නට සිදු වී ඇති අතර, මෙම අරගලය තුළ තීරණාත්මක ජයග්‍රහණයක් ලබා ගැනීම පක්ෂයේ ඉදිරි වර්ධනය සඳහා පූර්ව අවශ්‍යතාවයකි.
සහෝදරත්වයෙන්,
ජේ. පී. කැනන්
[21] එම දිනවල පක්ෂයේ සතිපතා ප්‍රකාශනය The Socialist Appeal යන නමින් පළ කෙරින. පසුව එය යළිත් එහි මුල් නම වූ The Militant කරා මාරු කෙරින.
[22] “සෝවියට් රාජ්‍යයේ ස්වභාවය පිළිබඳ ට්‍රොට්ස්කිගේ දෙවැනි ලිපිය” සඳහා In Defense of Marxism, 24 පිටුව බලන්න.
පෙර කොටස් බලන්න:
හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්, 1, 2, 3, 4, 5, 6-I, 6-II, 7, 8-I, 8-II, 8-III, 8-IV, 8-V, 9-I, 9-2, 10, 11-I, 11-II, 11-III, 12-I, 12-II, 13, L1, L2, L3, L4, L5, L6, L7, L8
