ජේම්ස් පී. කැනන්
පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු
16. පක්ෂ සාමාජිකත්වයට ලියූ ලිපියක්

නිව්යෝර්ක්
1940 ජනවාරි 3
සියලු ලෝකල් සභා සහ ශාඛා වෙත:
ප්‍රිය සහෝදරවරුනි,
ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදය ගැන
ජනවාරි 3 දාතම දරන දේශපාලන කමිටු ලිපියට අතිරේකව අපගේ ව්‍යාපාරය විසින් අතීතයේ දී සංකල්පනය කර ක්‍රියාත්මක කර ඇති සහ නිල ලේඛනවල සඳහන් කර ඇති පරිදි, ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදය යන විෂයය පිළිබඳ අදාළ යොමු කිරීම් තුනක් වෙත අපි ඔබේ අවධානය යොමු කරමු.
- “ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදය යන්නෙහි අර්ථය වන්නේ, පක්ෂය විසින් කෙරෙන කාල නියමයන්ට අනුකූලව, නියම කෙරෙන ආකාරයෙන් පක්ෂය තුළ සාකච්ඡා කිරීමේ අයිතියයි. ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදය යන්නෙන් අදහස් කරන්නේ විනය ද වේ; එහි තේරුම සුළුතරය බහුතරයට යටත් කිරීමයි; එහි තේරුම සම්මේලනයකින් තෝරා ගන්නා ලද එක් ප්‍රමුඛ කමිටුවක් අතට, සම්මේලන අතරතුර කාල පරිච්ඡේදය තුළ අධිකාරී බලය මධ්‍යගත කිරීමයි; එහි තේරුම පක්ෂය සැමවිටම බාහිර ලෝකයට තනි ප්‍රතිපත්තියකින්, එහි බලය දරන ආයතන බහුතරයක ප්‍රතිපත්තියෙන්, මුහුණ දෙන බවයි. ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදය යන්නෙන් අදහස් කරන්නේ තනි පක්ෂ සාමාජිකයා සෑම විටම සහ සියලු තත්වයන් යටතේ තම ප්‍රසිද්ධ ක්‍රියාවන් සහ ප්‍රකාශන වලදී පක්ෂයේ ප්‍රතිපත්ති සහ තීරණ වලට යටත් විය යුතු බවයි.” – ජෝසෆ් සැ(z)ක් සාමාජිකත්වයෙන් නෙරපීම සම්බන්ධ දේශපාලන කමිටු වාර්තාවෙනි; මෙය 1935 ජූනි 4 දාතම යටතේ කම්කරු පක්ෂය (වර්කර්ස් පාර්ටි) විසින් නිකුත් කෙරී ඇත.
- ප්‍රසිද්ධ සාකච්ඡාවක් සඳහා වූ උයිලර්වාදීන්ගේ ඉල්ලීමට පිළිතුරු දෙමින් හා එය ප්‍රතික්ෂේප කරමින් කම්කරු පක්ෂයේ (Workers Party) පුන්සැසිය මෙසේ ප්‍රකාශ කළේය: “පක්ෂය තුළ පවතින මතභේද සම්බන්ධ ලිපි ලේඛන පක්ෂයේ ප්‍රසිද්ධ මාධ්‍ය කරා ගෙන යා යුතුයැයි පැවසෙන මූලධර්මයක් නැත. පූර්ව සම්මේලන සාකච්ඡා තුළ දී පවා තත්ත්වය එසේ ය; සෙසු කාල පරිච්ඡේදවල එකී අවකාශය ඊට ද වඩා බෙහෙවින් අඩු ය. ඉදින් එවැනි සාකච්ඡාවක් සිදුවීමට නම්, ඒ සඳහා නියෝගයක් දීම පවතින්නේ ජාතික කමිටුවේ වපසරිය තුළ ය.” – කම්කරු පක්ෂයේ අභ්‍යන්තර තත්ත්වය සම්බන්ධයෙන් 1935 ඔක්තෝබර් පුන්සැසිය විසින් සම්මත කෙරුණු සමුළු යෝජනාවෙන්.
- “පුන්සැසිය,… ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදයේ මූලධර්මවලට අනුකූලව පූර්ව සම්මේලන සාකච්ඡාව සඳහා ක්‍රියා පටිපාටීන් සහ සමුළුව සඳහා විධිවිධාන නියම කරනු ඇත. සාමාජිකත්වයේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන් ම ආරක්ෂා කරනු ලැබේ. කෙසේ වෙතත්, හොඳින් ස්ථාපිත බොල්ෂෙවික් ක්‍රියා පටිපාටියට සහ WP හි ව්‍යවස්ථාවට අනුකූලව, නිවැරදි ක්‍රියා පිළිවෙත කුමක්ද සහ සාමාජිකත්වයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න තීරණය කිරීමත්, පක්ෂයේ ව්‍යවස්ථාවේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමත් සම්මේලනයේ සහ දේශපාලන කමිටුවේ පරමාධිපත්‍යය සහ යුතුකම බව සම්මේලනය නිශ්චිතව ම ප්‍රකාශ කරයි. කිසිදු පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට මෙම ඊනියා ‘අයිතිය’ තමාට ම පවරා ගත නොහැක.” – කම්කරු පක්ෂයේ අභ්‍යන්තර තත්ත්වය සම්බන්ධයෙන් 1935 ඔක්තෝබර් පුන්සැසිය විසින් සම්මත කෙරුණු සමුළු යෝජනාවෙන්.
සහෝදරත්වයෙන්,
දේශපාලන කමිටුව
ජේ.පී. කැනන්
ජාතික ලේකම්
17. සියලු බහුතර කණ්ඩායම් වෙත ලියූ ලිපියක්
නිව්යෝර්ක්, 1940 ජනවාරි 3
ප්‍රිය සහෝදරවරුනි,
සමුළුව අවම වශයෙන් මාසයකට කල් දැමුවහොත් එයින් පක්ෂයට සෑම ආකාරයකින්ම ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි යන්න මෙහි සිටින අපේ මතයයි. කෙසේවෙතත්, එවැනි කල් දැමීමක් සඳහා ඉල්ලා සිටිමින් ශාඛා විසින් කෙරෙන යෝජනාවලින් තොරව කමිටුව තුළ එම පියවර ගැනීමට අපි අකැමැත්තෙමු.
සම්මේලනය අවම වශයෙන් මාසයකට කල් දමන ලෙස ඉල්ලා සිටින යෝජනා සෑම ශාඛාවක් තුළ ම ඉදිරිපත් කරන්නැයි අපි ඉල්ලා සිටිමු. ඊට හේතු වශයෙන් කරුණු ලැයිස්තුවක් පහත දක්වන්නෙමු. ඒ අතරින්, ඔබ කෙටුම්පත් කරන යෝජනාවට උචිතයැයි ඔබ විසින් සලකනු ලබන ඕනෑ ම එකක් හෝ ඒ සියල්ල ම හෝ උපුටා දැක්වීමට ඔබට හැකි ය. කරුණාකර එවැනි කවර හෝ යෝජනා සම්මත කර ගැනීම් පිළිබඳව අපට වහා ම දැනුම් දීමටත්, ඒවායේ නිල පිටපත් ජාතික කාර්යාලයට නො පමාව එවීමටත් කටයුතු කරන්න.
I I I
සම්මේලනය කල් තැබීමට හේතු
- මාසයක කල් දැමීමකින් ඉතා දුරස්තර ප්‍රදේශවල සිට මෝටර් රථවලින් පැමිණීම සඳහා වඩාත් යහපත් කාලගුණ තත්ත්වයක් ලැබෙනු ඇත. පෙබරවාරි මාසය වන විටත් දැඩි ශීතලක් පවතියි. කවර වියදමක් දරා හෝ බටහිරදිග ශාඛාවන්හි පරිපූර්ණ නියෝජනයක් සහතික කර ගැනීමට අපට අවශ්‍ය ය. වඩාත් යහපත් කාලගුණ තත්ත්වයක් ඇති කාලය තෙක් මාසයක් කල් දැමීම, ඔවුන්ට මෝටර් රථවලින් පැමිණීම සඳහා ආධාරකාරී වනු ඇත.
- කණ්ඩායම් දෙක විසින් ඉදිරිපත් කොට ඇති යෝජනා සම්බන්ධයෙන් පක්ෂය තුළ සාකච්ඡාවක් ඇතිවීම අපට අවශ්‍ය ය. ඔවුන්ට (සම්මේලනයේ දී) බහුතර ඡන්ද සංඛ්‍යාවක් හිමි වුවහොත්, සෝවියට් රාජ්‍යය හා එය ආරක්ෂා කිරීම පිළිබඳ පක්ෂ ආස්ථානය කුමක් වනු ඇත්ද යන්න නිරවද්‍යව පළ කෙරෙන යෝජනාවක් සුළුතරය ඉදිරිපත් කළ යුතු බවට සෑම තැනකදී ම අප ඉල්ලා සිටිය යුතුය. මෑතක දී ඔවුහු රුසියානු ප්‍රශ්නය පිළිබඳව වචන 25,000 කින් සමන්විත ලේඛනයක් භාර දී එය බෙදා හැරීමට ද කටයුතු කළෝය. එම ලේඛනය තුළ මේ සරළ ප්‍රශ්න දෙක මඟ හැර යාමට ඔවුහු සමත් වී ඇත්තාහ. ඔවුහු සම්මේලනයට යෝජනාවක් ගෙන එන බව පවසති. එහෙත් ඊට පෙර එය දැක ගැනීමට හා ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට සාමාජිකත්වයට අයිතියක් ඇත. තමන් ඡන්දය දෙන්නේ කුමක් සඳහා ද යන්න සාමාජිකයන් දැන සිටිය යුතු හෙයින් දෙපැත්තේ ම සමුළු යෝජනා ඉල්ලා සිටින බව ශාඛා යෝජනාව සඳහන් කළ යුතුය. බහුතරයේ සවිස්තරාත්මක යෝජනාව නිව් ඉන්ටර්නැෂනල්හි ඊළඟ කලාපයේ පළ කෙරෙනු ඇත.
- සමාජවාදී කම්කරු පක්ෂයේ සුළු-ධනේශ්වර විපක්ෂය පිළිබඳ සිය ලිපියේ ට්‍රොට්ස්කි සහෝදරයා මාක්ස්වාදී දර්ශනය පිළිබඳ ප්‍රශ්නය මතු කර ඇති හෙයින්, පක්ෂ සාමාජිකත්වයට මෙකී ස්ථාවරයන් දෙක අතර විනිශ්චය කිරීමට සහ එකී සාකච්ඡාවේ ක්‍රියාවලිය තුළ ඔවුන්ගේ මාක්ස්වාදී අධ්‍යාපනය වැඩිදියුණු කිරීමට හැකි වන පරිදි, මෙම කරුණ සම්බන්ධයෙන් සුළුතර නායකයින්ගේ පිළිතුර කුමක්දැයි ශාඛාවන් විමසිය යුතුය.
I I I
පක්ෂයේ වැඩපිළිවෙලට පහර දීම සඳහා ඇපීල් පුවත්පතේ තීරු විවෘත කළ යුතු බවට කෙරෙන සුළුතරයේ ඉල්ලීමට පිළිතුරු දෙමින් දේශපාලන කමිටුවෙන් සියලුම ශාඛාවලට චක්‍රලේඛ ලිපියක් ලැබෙනු ඇත. මෙම අවස්ථාවේ දී, බොල්ෂෙවික් සංවිධානයේ අර්ථය පිළිබඳව තරුණ හා වඩා අත්දැකීම් අඩු සහෝදරවරුන් කිහිප දෙනෙකු දැනුවත් කිරීමට අපට විශිෂ්ට අවස්ථාවක් තිබේ.
මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් සියලුම පක්ෂ ශාඛාවන් තුළ ව්‍යතිරේකයකින් තොරව යෝජනා සකස් කළ යුතු බවත්, ස්ථාවරයන් දෙකෙහි අර්ථය සහ වැදගත්කම පිළිබඳව ගැඹුරු සාකච්ඡාවක් පැවැත්විය යුතු බවත් අපි යෝජනා කරමු. අවශ්‍ය සියලු තර්ක දේශපාලන කමිටුවේ ප්‍රකාශයේ සහ ඔබට ලැබෙන රොක් සහෝදරයාගේ [ට්‍රොට්ස්කි] ලිපි දෙකෙහි අඩංගු වේ.
මේ කාරණය සම්බන්ධයෙන් අප ප්‍රහාරයකට එළැඹිය යුතුය. පක්ෂ සාමාජිකත්වය මතභේද පිළිබඳව තීරණය කිරීමට පෙර තම කරදර මහජනතාවට පැවසීමේ “අයිතිය” ඉල්ලා සිටීමේදී තරම්, විපක්ෂ කණ්ඩායමේ නායකයින් මහජන මතයට යටත් වීමේ ආකල්පය පැහැදිලිව පෙන්නුම් කළ අන් අවස්ථාවක් නැත.
I I I
ඉදින් – ස්ටැලින් ද ඇතුළුව – සමස්ත ලෝකයට ම එරෙහිව සෝවියට් සංගමය ආරක්ෂා කිරීමට අප භාරගන්නා නිමේෂයේ, ඇපීල් පුවත්පත සාකච්ඡාවේ අවයවයක් බවට පරිවර්තනය කළහොත්, එහි උද්ඝෝෂනාත්මක වටිනාකම විනාශ වනු ඇත්තේ කෙසේදැයි මහජන ව්‍යාපාරය තුළ බැරෑරුම් කටයුතු කරන සියලු සහෝදරවරුන් ආනුභූතික ලෙස ම වටහා ගනු ඇත. සෝවියට් සංගමය ආරක්ෂා කිරීමේ ඇපීල්හි උද්ඝෝෂණය ක්‍රියාවක් බව මෙතැනදී පෙන්වා දිය යුතුය. එය සසඳා බැලිය යුත්තේ වැඩ වර්ජන තත්ත්වයක් දශ දහස් ගුණයකින් වැඩි කළ විට ලැබෙන දේ සමඟ ය. යම් දෙන ලද වැඩ වර්ජනයක් අමනෝඥ එකක් බවටත්, ඒ නිසා එය නවතා දැමිය යුතු බවටත්, ඒ හෝ මේ හේතුව මත වර්ජන කමිටුවක සාමාජිකයෙකුට හැඟී යා හැකි අතර, සිය දෘෂ්ටි කෝණය වර්ජන කමිටුවේ සංවෘත සීමාවන් තුළ පැහැදිළි කිරීමට ඔහුට පූර්ණ අයිතියක් තිබිය යුතුය. එහෙත් කම්කරු ශ්‍රේණීන් තුළ එම ගැටලුව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර එවැනි තනි පුද්ගලයෙකුට ඔහුගේ සටන ජනයා කරා රැගෙන යාමට අවසර දෙන කමිටුවක් සත්තකින් ම කාලකන්නි කමිටුවක් විය යුතුය. තව ද, එවැනි ක්‍රියාවකට පෙළඹෙන යම් පුද්ගලයෙකු හැඳින්වෙනු ඇත්තේ කාලකන්නි යන්නට වඩා වැඩිමනත් දෙයකිනි.
සහෝදරත්වයෙන්,
ජේ.පී. කැනන්
පෙර කොටස් බලන්න:
හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්, 1, 2, 3, 4, 5, 6-I, 6-II, 7, 8-I, 8-II, 8-III, 8-IV, 8-V, 9-I, 9-2, 10, 11-I, 11-II, 11-III, 12-I, 12-II, 13, L1, L2, L3, L4, L5, L6, L7, L8, L9, L10
