ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූ කම්පනය යුරෝපය දෙදරුම් කවයි: ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ ඇමරිකානු උත්සුකය සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන

නිහාල් ගීකියනගේ විසිනි

ග්‍රීන්ලන්තය පිළිබඳ ට්‍රම්ප්ගේ පිළිවෙතට විරෝධය දක්වමින් ජනයා ග්‍රීන්ලන්තයේ නූක්හි එක්සත් ජනපද කොන්සල් කාර්යාලය කරා පා ගමනක – 2026 ජනවාරි 17 [AP Photo/ එව්ජිනි මලොලෙට්කා] (උපුටා ගැනීම ලෝක සමාජවාදී වෙබ් අඩවියෙනි)

“1914 ජර්මනිය යුධ මාවතට තල්ලු කළ ගැටළු වලට ම එක්සත් ජනපද ධනවාදය මුහුණ දී සිටී. ලෝකය බෙදී තිබේද? එය නැවත බෙදිය යුතුය. ජර්මනියට එය “යුරෝපය සංවිධානය කිරීමේ” ප්‍රශ්නයක් විය. එක්සත් ජනපදය “ලෝකය” සංවිධානය කල යුතුය. ඉතිහාසය මානව වර්ගයා , ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගිනි කඳු පිපිරීම අබිමුවට මුහුණට මුහුණ පමුණුවයි.”

ලියොන් ට්‍රොට්ස්කි මෙම අනතුරු ඇඟවීම නිකුත් කර වසර 90 කට වැඩි කාලයකට පසු, ඔහු විස්තර කල ඇමරිකානු අධිරාජ්‍යවාදයේ “ගිනි කඳු පිපිරීම” නව සහ විශේෂයෙන් පුපුරණ සුළු අවධියකට පිවිස ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ලෙස නැවත පත් කිරීමෙන් වසරකට පසු, එක්සත් ජනපදයේ ආක්‍රමණශීලී විදේශ සහ මිලිටරි ප්‍රතිපත්තිය ඔවුන්ගෙන් යැපෙන රටවලට සහ ප්‍රකාශිත විරුද්ධවාදීන්ට එරෙහිව පමණක් නොව, යුරෝපයේ තමන්ගේම සහචරයින්ට එරෙහිව ද වඩවඩාත් උත්සන්න කෙරෙමින් පවතී.

වසර ආරම්භ වූයේ වෙනිසියුලාවට එල්ල වූ නීති විරෝධී ප්‍රහාරය සහ එහි ජනාධිපති නිකොලස් මදුරෝ පැහැර ගැනීමත් සමග ය. ඉන් පසුව එක්සත් ජනපද පිටුබලය ලත් පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීම සඳහා ඉරානයට බෝම්බ හෙලන බවට විවෘත තර්ජන එල්ල විය. දැන් මෙම ප්‍රතිපත්තිය යුරෝපයට එරෙහිව ද විවෘතව යොමු වෙමින් පවතී.

මේ මාසය මුල දී, ට්‍රම්ප් ග්‍රීන්ලන්තයේ හිමිකාරීත්වය පිළිබඳ ඔහුගේ යැයි කියනු ලබන හිමිකම් නැවත අවධාරණය කල අතර, ඔහුගේ සැලසුම් වලට විරුද්ධ වන යුරෝපීය රජයන්ට දැවැන්ත වෙළද සම්බාධක සහ මිලිටරි ප්‍රතිවිපාකවල තර්ජනය එල්ල කලේය. “ග්‍රීන්ලන්තය මත අපට සම්පූර්ණ පාලනය ලැබෙන තුරු ලෝකය ආරක්ෂිත නොවේ,”යැයි ඔහු නෝවේජියානු අගමැති වෙත ලිපියක් ලිවීය. ඒ සමගම, මිලිටරි බලය යෙදවීමට ඇති කැමැත්ත පැහැදිළි කල ඔහු, “සාමය ගැන පමණක් සිතීමට” තමන් තවදුරටත් බැඳී නැති බව නරුම ලෙස ප්‍රකාශ කළේය.

ග්‍රීන්ලන්තය පිළිබඳ ආරවුල , අක්‍රමවත් ජනාධිපති වරයෙකුගේ තවත් උමතු නොහික්මුණු ක්‍රියාවක් පමණක් නොවේ. එය ඇමරිකානු අධිරාජ්‍යවාදයේ උපාය මාර්ගික අවශ්‍යතා පිළිබඳ ප්‍රකාශනයකි. එහි ස්වභාවික සම්පත්, නැගී එන නැව් මාර්ග සහ අතිමහත් මිලිටරි වැදගත්කම හේතුවෙන් ආක්ටික් කලාපය ගෝලීය එදිරිවාදිකම්වල කේන්ද්‍රීය ක්ෂේත්‍රයක් බවට පත්ව ඇත. උතුරු අත්ලාන්තික් සාගරයේ තම ආධිපත්‍යය සුරක්ෂිත කර ගැනීමට සහ චීනය, රුසියාව යන දෙකටම එරෙහිව සටන් කිරීමට, ග්‍රීන්ලන්තය පාලනය කිරීම අත්‍යවශ්‍ය බව වොෂින්ටනය සලකයි. ඩෙන්මාර්කයේ ස්වෛරීභාවය සහ යුරෝපීය සහචරයින්ගේ අවශ්‍යතා පසෙකට තල්ලු කරනු ලැබීමෙන් පෙන්නුම් කරන්නේ පශ්චාත් යුද්ධ අත්ලාන්තික් සාගර පර්යායේ බිඳ වැටීම දැනටමත් කෙතරම් දුරට ඉදිරියට ගොස් ඇද්ද යන්නයි.

එක්සත් ජනපදයේ මෙන්ම ලොව පුරා ම යුරෝපීය ජනගහනය අතරත් ට්‍රම්ප්ගේ ක්‍රියාවන් පුළුල් කෝපයක් සහ විරෝධයක් ජනනය කර තිබේ. නමුත් යුරෝපීය ආණ්ඩු ප්‍රගතිශීලී හෝ සාමකාමී විකල්පයක් නියෝජනය කරන බවට වන මිථ්‍යාවට කම්කරුවන් හා තරුණයින් යටත් නොවිය යුතුය. යුරෝපීය අධිරාජ්‍යවාදීන්ට ඇති එකම මාවත වන්නේ ආර්ථික හා මිලිටරි ගැටුමකට විවෘතව සූදානම් වීමයි

ධනේශ්වර චින්තන පර්ෂද තුල, එක්සත් ජනපදය සහ යුරෝපය අතර යුද්ධයක් ඇතුළත් අවස්ථා පවා දැන් විවෘතව සාකච්ඡා කෙරෙමින් පවතී. “අපි එක්කෝ වෙළඳ යුද්ධයක් කරනවා, නැත්නම් අපි සැබෑ යූද්ධයක ඉන්නවා, බ්‍රසල්ස් හි පර්යේෂණ ආයතනයක් වන බෲගල් හි ජේෂ්ඨ සාමාජිකයෙකු වන ජේකබ් ෆන්ක් කර්ක්ගාඩ් පැවසීය. එවැනි ප්‍රකාශ මගින් අවධාරණය වන්නේ ගැටුම ආර්ථික ආරවුල් වලට පමණක් සීමා නොවන බවත්, සම්පත් හා බලපෑම් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අධිරාජ්‍යවාදී බලවතුන් අතර සටන නේටෝව සහ පශ්චාත් යුද්‍ධ කාලීන පද්ධතියම පුපුරා යවන බවත්, වෙළඳ යුද්ධයක් අවසානයේ යුද්ධයක් බවට පත් වන බවත්ය.

ජාත්‍යන්තර නීතිය, මානව හිමිකම් සහ “නීති මත පදනම් වූ ජාත්‍යන්තර පිලිවෙලක්” පිළිබඳ යුරෝපීය ආණ්ඩු විසින් කරන ලද කුහක ආයාචනා, අවඥාවට පමණක් සීමා විය යුතු නැත. පසුගිය දශක තුන තුල, ඔවුන් කොසෝවෝ සිට ඇෆ්ගනිස්ථානය, ඉරාකය සහ ලිබියාව දක්වා එක්සත් ජනපදය මෙහෙය වූ සෑම ආක්‍රමණශීලී යුද්ධයකටම සහාය දී ඇත.දින කීපයකට පෙර, ඔවුහු වෙනිසියුලාවට සහ ඉරානයට එරෙහිව එක්සත් ජනපද ආක්‍රමණය සමග පෙල ගැසුනෝය. ගාසා තීරය සුන්බුන් බවට පත් කර දස දහස් ගණනක් – විශේෂයෙන් කාන්තාවන් සහ ළමුන් මරා දමමින් පලස්තීනුවන්ට එරෙහිව සිදු කෙරෙන ජන සංහාරයට ද ඔවුහු හවුල්කරුවෝ වෙති.

පැහැදිලිව කිවහොත්: යුරෝපයේ කම්කරුවෝ හා තරුණයෝ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ “ගිනි කඳු පිපිරීමට” පමණක් නොව යුරෝපීය අධිරාජ්‍යවාදයේ “ගිනි කඳු පිපිරීමට” ද මුහුණ දී සිටිති. වෙළඳ යුද්ධයක් පවා යුරෝපයේ සහ එක්සත් ජනපදයේ කම්කරුවන්ට විනාශකාරී ප්‍රතිවිපාක ඇති කරනු ඇති අතර, මහා අවපාතයට සමාන පරිමාණයකින් මහා විරැකියාවකට සහ දරිද්‍රතාවයට තුඩු දෙනු ඇත.

යුරෝපීය බලවතුන්ගේ නැවත සන්නද්ධ කිරීමේ සැලසුම් වල පරිමාණය, පලමු හා දෙවන ලෝක යුද්ධ වලට පෙර වසර සිහිපත් කරයි. විශේෂයෙන් ජර්මානු අධිරාජ්‍යවාදය නැවත වරක් එහි මහා බල සම්ප්‍රදායන් විවෘතව පුනර්ජීවනය කරමින් රුසියාවට එරෙහිව, එක්සත් ජනපදයට එරෙහිව සහ ගෝලීය වශයෙන් තම අවශ්‍යතා තහවුරු කර ගැනීම සඳහා මහාද්වීපය මිලිටරිමය වශයෙන් මෙහෙය වීමේ ඉලක්කය හඹා යමින් සිටී.

යුරෝපයේ කම්කරුවන් සහ තරුනයන් යොමු විය යුත්තේ ගෝලීය කම්කරු පන්තිය දෙසටය. ඔවුන්ගේ සහචරයන් වන්නේ බර්ලිනයේ , පැරීසියේ, ලන්ඩනයේ හෝ බ්‍රසල්ස් හි ආණ්ඩු නොවේ, යුරෝපා සංගමය නැවත සන්නද්ධ කිරීමේ වැඩ සටහන් නොවේ, යූරෝපීය මිලිටරිවාදය “ප්‍රගතිශීලී” වාචාල කතා වලින් සැරසූ ව්‍යාජ වාම පක්ෂ නොවේ. ඔවුන්ගේ ස්වාභාවික සහචරයින් වන්නේ එක්සත් ජනපදයේ සහ ලොව පුරා සිටින යුද්ධයේ, කප්පාදුවේ සහ ආඥාදායකත්වයේ එකම වර්ධනයට මුහුණ දෙන කම්කරුවන්ය.

(2026 ජනවාරි 19 වන දින ජොහැන්නස් ස්ටර්න්ගේ කර්තෘත්වයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඉංග්‍රීසි පිටුවේ පළ වූ, The eruption of American imperialism reaches Europe: The conflict over Greenland and the fight against imperialist war /20 January 2026 by Johannes Stern මැයෙන් යුත් ලිපිය ඇසුරෙනි)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top