ජේම්ස් පී. කැනන්
පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු
20. නිව් හෙවන්හි සහෝදරයෙකුට යැවූ ලිපියක්
නිව්යෝර්ක්, 1940 ජනවාදී 4
ප්‍රිය ෆ්‍රෑන්ක්,
ඔබේ ජනවාරි 3 දින දරන ලිපිය ලදිමි. ඒ අතරතුර ම ඔබට ඇතැම් අමතර ලේඛන ලැබෙන්නට ඇත.
ශාඛාවේ බහුතරය දැනටමත් පක්‍ෂ බහුතරයට පක්ෂපාතීත්වය පළ කර ඇති බව අසන්නට ලැබීම සතුටකි. කළ යුතුව ඇත්තේ මෙම මතය ඒකමතික මතයකට හැකිතාක් දුරට සමීප එකක් බවට පත් කර ගැනීම සඳහා නොනැවතී දිගට ම දැඩි ප්‍රයත්න දැරීමයි.
සම්මේලනයේ දී අප බහුතරයක් ලබා ගැනීම ප්‍රමාණවත් නැත. භේදයක් පිළිබඳ අදහස සමඟ සෙල්ලම් කිරීමට කිසිදු වික්‍රමකාමියෙකු නිර්භීත නො වන තරමේ බලගතු බහුතරයක් අපි ලබා ගත යුත්තෙමු.
ඔබ යෝජනා කළ පරිදි අපි ජ්‍යෙෂ්ඨයාගේ ලිපියේ පිටපතක් …. වෙත යවන්නෙමු. ඔබ ඔහු සමඟ සම්බන්ධතාවය පවත්වා ගෙන යාමත්, අපේ ආස්ථානයට ඔහුගේ එකඟතාව ලබා ගැනීමට සෑම ආකාරයකින් ම උත්සාහ කිරීමත් අතිශය වැදගත් ය. …
බොස්ටන්හි දී ද මීට බොහෝ සෙයින් සමාන තතුවලට අපි මුහුණ දී සිටින්නෙමු. ලැරි විසින් එවන ලද ලිපියකට අනුව, ප්‍රකට නායක ඩොන්ලන් රුසියාවේ රතු ෆැසිස්ට්වාදයට සහයෝගය දීමට අකැමැති හෙයින් පක්ෂයෙන් ඉල්ලා අස් වී ඇත. මෙය පක්ෂය තුළ විරුද්ධ පාර්ශ්වයේ පවතින එක් හිරිහැරයකි. ඔවුන්ගේ ඉගැන්වීම් ඒවායේ සියලු ඇඟවීම් තුළ සැබැවින් ම උකහා ගන්නා අයවලුන්ට, තවදුරටත් විප්ලවවාදී පක්ෂයක අත්‍යවශ්‍යතාව දැක ගත හැකි නො වේ.
සුබපැතුම් සමඟ,
සහෝදරත්වයෙන්,
ජේ.පී. කැනන්
21. උපාධිධාරී බර්න්හැම්වාදියෙක් (අභ්‍යන්තර චක්‍රලේඛයක්)
ජේ.පී. කැනන් විසිනි
සෝවියට් නිලධරය නව සූරා කන පන්තියක් බවටත්, එය දෙ පතුල දක්වා ම “අධිරාජ්‍යවාදී” බවටත් වන බර්න්හැම්ගේ න්‍යාය, ඔහුගේ ලබ්ධියට හැරුණු බොස්ටන්හි අයෙකු සිය හදවතින් ම බැරෑරුම්ව ගෙන ඇත. බර්න්හැම්ගේ විපක්ෂ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වූ ඩී. ලෝරන්ස් තව දුරටත් එම කණ්ඩායමට අයත් නැත. ඔහු උපාධිය ලැබීය. බර්න්හැම් (සිය මතය) ඔහුට පමණටත් වඩා ඒත්තු ගන්වා ඇති අතර; සෝවියට් සංගමය නව “අධිරාජ්‍යවාදී” රාජ්‍යයකැයි ඒත්තු ගත් පසුව, ප්‍රායෝගික මිනිසෙකු ලෙස ඔහු ස්වභාවිකව මෙම ප්‍රශ්නය තමාගෙන් ම විමසා බැලීය: කොයි ආකාරයෙන් හෝ, නැතහොත් කවර තතු යටතේ හෝ, එවැනි රාජ්‍යයක් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විවාද කිරීමට හෝ කෙස් පැලෙන තර්ක ගෙන ඒමට මා කරදර විය යුත්තේ මොන යක්ෂ වුවමනාවකට ද?
ඉක්බිති ඔහු ඉල්ලා අස්වීමේ ලිපියක් බොස්ටන් ශාඛාවට යැවීය. එහි ලේකම් සිය නිල වාර්තාව තුළ මෙසේ කියයි: “ලිපිය සම්බන්ධයෙන් විභාග කළ ශාඛාව ඒ පිළිබඳව බැරෑරුම් ලෙස සලකා බැලූ අතර, වෘත්තීය සමිතිවල අපේ සාමාජිකයන්ට ඉන් සිදුවිය හැකි හානි ද සැලකිල්ලට ගත් ඔවුන් ඉල්ලා අස්වීම ගැන දැරූ මතය ඊට වඩා තරමක් වෙනස් එකකි. විධායක කමිටුව ඔහු පහ කිරීම සඳහා ඒකමතික නිර්දේශයක් ගෙන ආවේය. ශාඛාව ද එම නිර්දේශය ඒකච්ඡන්දයෙන් අනුමත කළේය. විධායක කමිටුව ඉදිරිපත් කළ චෝදනාව පදනම් වූයේ, “හතරවැනි ජාත්‍යන්තරයෙන් පළා යාම” මත ය.
අගෙයි, බොස්ටන්! බෝල්ෂෙවික්වාදය රැකවල් කළ බොස්ටන් ශාඛාවට සුබ පතා තෙවරක් ජය ඝෝෂා කරමු!
22. ලියොන් ට්‍රොට්ස්කිට ලියූ ලිපියක්

නිව්යෝර්ක්
1940 ජනවාරි 11
ප්‍රිය ට්‍රොට්ස්කි සහෝදරය,
බර්න්හැම්ට ලියූ ඔබේ විවෘත ලිපිය ඊයේ රයිට් සහෝදරයා වෙත ලැබිණ. ඔහු දැන් එය පරිවර්තනය කිරීමේ නියැලී සිටී. ඔහු එය නිම කළ වහා ම එහි පිටපතක් බර්න්හැම් සහෝදරයාට ලබා දීමත්, ඒ සමඟ ම එය අපේ අභ්‍යන්තර බුලටීනයේ පළ කිරීමත් සිදු කෙරෙනු ඇත.
අපෝහකවාදය පිළිබඳ ප්‍රශ්නය පක්ෂ සාකච්ඡාව තුළට ගෙන ඒම සඳහා ඔබ විසින් දෙනු ලබන ආක්‍රමණශීලී තල්ලුව – කඳවුරු දෙක තුළ – බෙහෙවින් “අපෝහකාත්මක” ප්‍රතිචාර දනවමින් තිබේ. පහත දැක්වෙන මාර්ග ඔස්සේ ප්‍රහාරයට මුහුණ දෙන ලෙස සුළුතරයේ ආධාරකරුවන්ට උපදෙස් ලැබී ඇති බව පෙනේ:
- ප්‍රශ්නය විහිළුවකට පෙරළා ගනිමින්, තමන් දර්ශනවාදයේ විශාරදයෙක් වූයේ කවදා සිටදැයි ඇසීම ආදී වශයෙන් බහුතරයේ ආධාරකරුවන් සමච්චලයට භාජනය කිරීම.
- අපෝහක භෞතිකවාදය සැබැවින් ම උනන්දුව දනවන විෂයයකි. එහෙත් ඒ ගැන සාකච්ඡාව කළ යුත්තේ වෙනත් වෙලාවක ය.
- කණ්ඩායම් අරගලයක් අතරතුර මෙම ප්‍රශ්නය හඳුන්වා දීම නරක විධික්‍රමයකි. (ඔබ දන්නා තරමින් අවස්ථාවාදීහු කවදා හෝ මාක්ස්වාදීන්ගේ “විධික්‍රමවලට” විරුද්ධ නො වී සිවීමට සමත් වූවාහු ද?)
- පැහැදිළිව ම එය, පරිබාහිර කරුණු එන්නත් කිරීම මඟින් සුළුතරය භේද කිරීමේ කාණ්ඩමික උපක්‍රමයකි. එහෙත් අප සියලු දෙනා අපේ “නිගමන” සම්බන්ධයෙන් එකඟ වී සිටින හෙයින් මෙම උපාමාරු සාර්ථක වනු නැත.
අනෙක් අතින්, බහුතර කණ්ඩායමේ සාමාජිකයෝ, අපෝහක භෞතිකවාදයේ විෂයයට අදාළව ඔබ සිදු කළ සටන්කාමී මැදිහත්වීම කෙරේ ඉමහත් අභිරුචියෙන් හා උද්‍යෝගයෙන් යුතුව ප්‍රතිචාර දක්වා ඇත්තාහ. මක්නිසාදයත්, එකී මැදිහත්වීම ගැඹුරු දේශපාලන හා න්‍යායික අරගලයක් සමඟ බැඳී සිදු කර ඇති හෙයිනි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අධ්‍යයනය සඳහා කෘතීන් හැදෑරීමට හැරී ඇත්තාහ. මෙම ගැටලුව බැරෑරුම් ලෙස හදාරා ඇති රයිට් සහෝදරයාගේ මෙහෙයවීම යටතේ මෙකී විෂයය සම්බන්ධයෙන් පක්ෂ පාසල තුළ අධ්‍යයන පන්තියක් ආරම්භ කිරීමට තීරණයක් ගන්නා ලෙස කැඳවුම් කරන පොදු ඉල්ලීමක් නිරායාසයෙන් ම ඉදිරිපත් වූයේය. ඔබේ මුල්පිරීම සම්බන්ධයෙන් පොදුවේ තෘප්තියක් හා ඉමහත් අගය කිරීමක් පවතී. අපේ සහෝදරවරුන් බොහෝ දෙනෙකුට හුදෙක් ජයග්‍රහණය කිරීමට පමණක් නො ව ඉගෙනීමට අවශ්‍ය වී ඇත. ජලය උරා ගන්නා ස්පොන්ජි පරිද්දෙන් ඔවුහු මෙම අරගලයේ පාඩම් උකහා ගනිමින් සිටිති. ඉහත රාත්‍රියේ පැවැති කෝකස රැස්වීමේ දී සම්මේලනය කල් දැමිය හැකි බවට ඉදිරිපත් වූ යෝජනාවකට අදාළව අපේ තරුණ සහෝදරවරුන් අතර සිටින හොඳම හා වඩාත්ම බලාපොරොත්තු රැඳවිය හැකි සහෝදරයෙක් ඔහු අසල සිටි අය අමතා මෙසේ කීය: “සාකච්ඡාව දිගු වෙතැයි මම අපේක්ෂා කරමි. මම සෑම දිනෙකම (එයින්) ඉගෙන ගනිමින් සිටිමි.”
ග්‍රාමීය ප්‍රදේශවලින් ලැබෙන වාර්තා වඩවඩාත් වාසිදායක වෙමින් පවතී. අන් සියල්ලට ම වඩා සතුටුදායක කරුණ වන්නේ නිර්ධන පාන්තික ක්‍රියාකාරීන් මෙන් ම පක්ෂයේ පැරැණි මූලික ක්‍රියාධරයන් ද බහුතරයට සහාය දීමට රොක්වෙමින් සිටීමයි. නිව්යෝර්ක් හා චිකාගෝ වලින් පිටත පක්ෂය මූලිකව නිර්ධන පන්තික ය. සාමාජිකත්වය, ඔවුන්ගේ සමාජ සංයුතිය, හා මතභේද පිළිබඳව ශාඛා සාමාජිකයන් දරන ආකල්පය පිළිබඳ ප්‍රශ්න ඉදිරිපත් කොට රට පුරා ම සිටින අපේ ආධාරකරුවන් වෙත යවන ලද ප්‍රශ්නාවලියකට පිළිතුරු මට දැන් ලැබෙමින් පවතී. ඒවා සම්පූර්ණයෙන් ම ලැබුණු පසු එකී සංඛ්‍යා විශ්ලේෂණය කරමින් හා ඇතැම් අදාළ අදහස් පළකිරීම් උපුටා දක්වමින් පරිපත්‍රයක් සැකැසීමට මම අදහස් කර ගෙන සිටිමි.
අත්දැකීම් සහිත කම්කරු බෝල්ෂෙවිකයන් පක්ෂයේ සැබෑ වියවුල වටහා ගෙන සිටින බව දැකීම අතිශය උනන්දුව දනවන – හා ධෛර්යමත් කරන සුළු – කරුණකි. කාරනාව කුමක්දැයි ඔවුන් දැන සිටි අතර, බහුතර පාර්ශ්වයෙන් ඉදිරිපත් කෙරෙන විවිධ ලේඛන හා තර්ක ඔවුන්ට පෙනී යන්නේ තමාගේ ම අදහස් හැඩ ගන්වා ඉදිරිපත් කෙරෙන සූත්‍රකරණයන් සේ ය. උදාහරණයක් ලෙස එක් අයෙකු මෙසේ ලියා ඇත: “මෙහි අපේ ශාඛාව 100% ක් ම බෝල්ෂෙවික්-ලෙනින්වාදී විධික්‍රමවලට සහාය දෙයි. ශාඛාවේ සංයුතිය නිර්ධන පාන්තික බව සහ එය මුළුමණින් ම එසේ බව සැළකිල්ලට ගත් කල එය පුදුමයට කරුණක් නො වේ. ජ්‍යෙෂ්ඨයාගේ ලිපිය විශිෂ්ඨ ය. එය සුළුතර ප්‍රවණතාව පිළිබඳ මගේම සිතුවිලි ප්‍රකාශයට පත් කරයි. මෙම සුළු ධනේශ්වර කණ්ඩායම පමණට වැඩි කාලයක් අපේ චිකාගෝ සංවිධානයට බාධා පමුණුවා ඇත.”
තවත් අයෙකු මෙසේ ලියා ඇත: “‘සමාජවාදී කම්කරු පක්ෂයේ (SWP) සුළු ධනේශ්වර විපාර්ශ්වය’ පිළිබඳ ලිපිය මා තවමත් දැක නැති හෙයින්, ඒ පිළිබඳව මගේ අදහස් දැක්විය නොහැකිය. මට කිව හැක්කේ, ඉදින් ලිපියක මාතෘකාවක යම් අර්ථයක් වේ නම්, මේ ලිපිය හරියට ම නිසි තැනට ඇණය ගසා තිබිය යුතුය යන්න පමණෙකි.”
සහෝදරත්වයෙන්,
ජේ.පී. කැනන්
පෙර කොටස් බලන්න:
හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්, 1, 2, 3, 4, 5, 6-I, 6-II, 7, 8-I, 8-II, 8-III, 8-IV, 8-V, 9-I, 9-2, 10, 11-I, 11-II, 11-III, 12-I, 12-II, 13, L1, L2, L3, L4, L5, L6, L7, L8, L9, L10, L11, L12
