නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 8 – III

ජේම්ස් පී. කැනන්

පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු

හතරවැනි ජාත්‍යන්තරයට එහි මුල් කාලයේ ම මුහුණ දීමට සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර අරගලයක් පිළිබඳව ද, එහි ලා අභියෝගයට ලක් ව තුබූ දේශපාලන ප්‍රයුක්තීන් සම්බන්ධව ද පුළුල් සාකච්ඡාවක් පාඨකයා වෙත ගෙන එන මේ ලිපි මාලාවේ පරිච්ඡේද හතක් මේ දක්වා පරිවර්තනය කර පළ කළෙමු. තරමක දීර්ඝ පරිච්ඡේදයක් වන අටවැන්න කොටස් පහකින් පළ කිරීමට බලා පොරොත්තු වෙමු.

ඒ අනුව අද පළ කෙරෙන්නේ අටවැනි පරිච්ඡේදයේ තුන්වැනි කොටසයි.

මෙම පරිවර්තනය සඳහා උපයෝගී කොට ගැනුනේ Marxists Internet Archive අන්තර්ජාල ප්‍රකාශනයේ පල වී ඇති ඉංග්‍රීසි කෘතියයි. මෙම කෘතිය ප්‍රවේශමෙන් හැදෑරීම මාක්ස්වාදය වෙත ආකර්ෂණය වන්නන්ට මෙන් ම, වර්තමාන ලෝක අර්බුදය විසඳීමට සමත් කම්කරු පන්තියේ විප්ලවවාදී සංවිධානය ගොඩ නැඟීම පිළිබඳව උනන්දු වන සියලු දෙනාට ද අතිශයින් ප්‍රයෝජනවත් වනු ඇත.

8. ඇබර්න්වාදය: ව්‍යාධියක ඉතිහාස වාර්තාව – III කොටස

ෂැට්මන් තමන් මුළුමනින් වටහා නො ගන්නා බොහෝ විෂයයන් සම්බන්ධයෙන් ලියයි. එහෙත් ඇබර්න් කල්ලිය පිළිබඳ ප්‍රශ්නයේ දී ඔහු එහි සම්භවය, එහි විධික්‍රම, එහි ද්‍රෝහීත්වය හා පක්ෂයේ සමඟියට ඉන් එල්ල කෙරෙන ස්ථාවර තර්ජනය සම්බන්ධයෙන් ලියන්නේ එම විෂයය පිළිබඳ සාධිකාරී දැනුමකින් යුතුව ය. – මෙම විෂයය සම්බන්ධයෙන් ඔහු අධිකාරත්වය ලැබුවේ බොහෝ කලකට පෙර ය. තව ද, ඇබර්න් කණ්ඩායම කවර හෝ ආකාරයකින් වෙනස් වී නො මැති හෙයින්, සත්‍යය සැඟවීමට කිසිත් කණ්ඩායම්වාදී අවශ්‍යතාවයක් නොවූ ඊයේ මෙම විෂයය සම්බන්ධයෙන් ඔහු ලියූ දෑ, අද දවසේ මුළුමනින් ම උපයෝගී කර ගත හැකිය.

එක් දහස් නවසිය තිස් හයේ පෙබරවාරියේ දී සමාජවාදී පක්ෂයට ඇතුළුවීම සම්බන්ධයෙන් පැවති දිග්ගැස්සුනු කන්ඩායම් අරගලයේ අවසානයට ආසන්නව, විපක්ෂයේ මස්ට්-ඇබර්න් සංයෝජනය අප වෙත භේදයක තර්ජනය එල්ල කරමින් සිටියදී, ෂැට්මන් අරගලයේ ඉතිහාසය සහ ඇමරිකාවේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය, පක්ෂයේ අභ්‍යන්තර බුලටින් දෙකක අවකාශය අත්පත් කරගත් තනි පරතරයකින් යුත් පිටු 70 කින් යුත් අනුකෘති ලේඛනයකින් සාරාංශ කළේය. එහි අන්තර්ගතයේ ඇති බර, “මාක්ස්වාදී දේශපාලනය ද? නැතහොත් ප්‍රතිපත්ති විරහිත සංයෝජනවාදය ද?”යනුවෙන් වූ එකී ලේඛනයේ මාතෘකාවෙන් පෙන්නුම් කෙරේ. මුළ සිට අග දක්වා ම එය ඇබර්න් කල්ලියට එරෙහි තිරසාර විවේචනයක් විය. එහි හැඳින්වීමේ දී සඳහන් කෙරුණු පරිදි, ලේඛණයේ අරමුණ වූයේ කල්ලිවාදී දේශපාලනයට හා ප්‍රතිපත්ති විරහිත සංයෝජනවාදයට එරෙහි අරගලය තුළ තරුණයන්ට අධ්‍යාපනය ලබා දීමයි.   

ෂැට්මන් මෙසේ ලියයි: “අන් සියල්ලටමත් වඩා එහි ඉලක්කය වන්නේ අපේ ව්‍යාපාරයේ සටන්කාමී, දැනුම් පිපාසයෙන් පෙළෙන තරුණයන් ය. එක් අර්ථයකින් ගත් කල, එය ඔවුන්ට කැප කෙරී ඇත. … තරුණ පෙළ විප්ලවවාදී මාක්ස්වාදයේ, සප්‍රතිපත්තික දේශපාලනයේ ජීව ගුණය තුළ පුහුණුව ලද යුතුය. එහි රුධිර ප්‍රවාහය තුළ කල්ලිවාදී දේශපාලනයේ හෝ ආත්මීයවාදයේ, පුද්ගලික සංයෝජනවාදයේ, කුමන්ත්‍රණවල, ප්‍රලාපවල විෂට එරෙහි බලගතු ප්‍රතිශක්තියක් අඩංගු විය යුතුය. සියලු මතුපිට තතු විනිවිද යමින් සෑම ගැටළුවක ම සාරය කරා කිමිදීමට එය උගත යුතුය. දේශපාලනිකව සිතීමට, සුවිශේෂී ලෙස දේශපාලන ප්‍රතිෂ්ඨාවන්ගෙන් මඟ පෙන්වනු ලැබීමට, ගැටළු සම්බන්ධයෙන් මූලධර්මවල පදනම මත පිහිටා තමන් සමඟ ම ද, අන්‍යයන් සමඟ ද තර්ක කිරීමට සහ සෑමවිටම මූලධර්මාත්මක අභිප්‍රායයන් මත ක්‍රියා කිරීමට එය උගත යුතුය.” [Workers Party අභ්‍යන්තර බුලටිනය, අංක 3, 1936 පෙබරවාරි, 2 පිටුව]

Workers Party අභ්‍යන්තර බුලටිනය අංක 3, 1936 පෙබරවාරි – 1 කොටස. ඡායාරූපය: marxists.org වෙතිනි

තව ද, ෂැට්මන් එකල කල්ලි දේශපාලනය ගැන ලියන විට ඔහු සඳහන් කළේ කැනන්ගේ මනඃකල්පිත කල්ලියක් ගැන නො වේ. එකල ඔහු, දැන් එය පවතින ආකාරයෙන් ම යථාර්ථයේ පැවැති කල්ලියකට එරෙහිව කැනන් හා උරිනුර ගැටී සටන් වදිමින් සිටියේය. ඊනියා “කැනන් කල්ලියේ” නිරවද්‍ය සම්භවය සම්බන්ධයෙන් ෂැට්මන් කිසිදා අපට අවබෝධ කර දී නැත. ඇබර්න් කල්ලියේ සම්භවය පිළිබඳව ඔහු අනල්ප ලෙස නිශ්චිත තොරතුරු සම්පාදනය කළේය. “එය දේශපාලන පදනමකින් තොරව රාත්‍රී ඝනාන්ධකාරය තුළ ගොඩ නැඟුණු බව හා සම්පූර්ණ දෑවුරුද්දක් පුරා වූ එහි පැවැත්ම තුළ කිසිදු පැහැදිළි දේශපාලන පදනමක් සළකුණු කිරීමෙන් තොරව පැවැතුනු බව; එහි පැවැත්මේ පදනම, පැරැණි හා මුළුමනින් කල් ඉකුත් වී ගිය පෞද්ගලික හා කණ්ඩායම්වාදී එදිරිවාදුකම් අකාමකා දැමීම ප්‍රතික්ෂේප කළ කල්ලියක ප්‍රතිපත්ති විරහිත සංයෝජනය වූ බව; එහි ප්‍රධාන අරමුණ ‘කැනන් (සහ, ඔහු සමඟ පවත්වන සමීප සහයෝගය හේතුවෙන් ෂැට්මන්) චප්ප කර දැමීම’ බව” (එම – 22 පිටුව) සිය ලේඛනය තුළ පෙන්වා දීමේ පූර්ව නිමිති දැක්වූ ෂැට්මන්, අවසානයේ එය ඉටු කළේය.          

ඇත්ත වශයෙන් ම ඔහු කථා කරන මේ කල්ලිය “රාත්‍රී ඝනාන්ධකාරය තුළ පිහිටුවනු ලැබූයේ” ෂැට්මන්ගේ ඉහත උපුටා දැක්වුණු ලිපියෙන් දෙ වසරකට නොව හත් වසරකට පූර්වයෙන්, වාම විපක්ෂයේ මුල් දිනවල දී ය. ඇබර්න් කණ්ඩායමේ සම්භවයේ දින වකවානු සඳහා ෂැට්මන් යොදන්නේ තමන් එකී කණ්ඩායමෙන් බිඳී ගිය කාල වකවානුව දැක්වෙන පසු දාතමකි. ඇබර්න් කණ්ඩායම, කිසියම් අවාසනාවන්ත අත්දැකීමකින් යමක් ඉගෙන ගන්නා පුද්ගලයන්ගේ ඉවත්වීම් නිසා නිරන්තරව “බිඳ වැටෙන” අතර, ඉන්පසු එහි මූලික අරටුව නො බිඳී පවත්වා ගනිමින් වහා ප්‍රතිනිර්මාණය වෙයි. ඉනික්බිති එය ප්‍රලාප, පෞද්ගලික දුක්ගැනවිලි හා “සංවිධානාත්මක ප්‍රශ්න” විප්ලවවාදී දේශපාලනය ලෙස වරදවා වටහා ගන්නා අත්දැකීම් නැති හා වැඩි දැන උගත්කම් නැති සාමාජිකයන් අතරින් නව බඳවා ගැනීම් උපුටා ගැනීමට පටන් ගනියි.    

ෂැට්මන්ට අනුව මෙම කල්ලියේ බඳවා ගැනීමේ විධික්‍රම මොනවා ද?  අද මෙන් එදා ද: “… එය, සිය විරුද්ධවාදීන්ට විවෘතව සහ අවංකව මුහුණට මුහුණ දී කෙරෙන න්‍යායාත්මක අභිමුඛනයක විධික්‍රම මඟින් දිනා ගත් එකදු පක්ෂපාතියෙකු හෝ නැත. එහි විධික්‍රම වඩාත් වෙනස් ය: එය, ඇබර්න් විසින් රහසේ යවනු ලබන, එහෙත් පක්ෂය ඉදිරියේ ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීමට කිසිදා එඩිතර නො වන විෂකුරු ‘තොරතුරු සටහන්’ ලිපිවල එකක් කියයි; එළිපිට තවෙකක් කියයි.” …”(61 පිටුව) 

Workers Party අභ්‍යන්තර බුලටිනය අංක 3, 1936 පෙබරවාරි – 2 කොටස. ඡායාරූපය: marxists.org වෙතිනි

කල්ලිය දේශපාලනිකව නියෝජනය කළේ කුමක් ද? සිතැඟි සඟවන බැරෑරුම් මුහුණකින් යුතුව කැනන්ගේ “ගතානුගතිකවාදය” ගැන ඒකාබද්ධ චෝදනාවන්ට ඇබර්න් සමඟ හවුලේ අත්සන් තබන සදා ක්‍රියාශීලී ෂැට්මන්, නැඟී එමින් සිටි ඇබර්න් හා ඔහුගේ කණ්ඩායමේ දේශපාලනය ගැන එදා කියා තිබුනේ මෙසේ ය: “එය නියෝජනය කරන්නේ දේශපාලනික වඳ භාවයයි, අකර්මන්‍යතාවයයි, බියසුලු බවයි, එඩිතර නවෝත්පාදනයන් කෙරේ ඇති භීතිය යි. එය ගතානුගතික [අසනු! අසනු!] නිකායවාදී විශේෂයකි.” (61 පිටුව)        

තවදුරටත්: “ඉදින් ඇබර්න් – වෙබර් කණ්ඩායම පිළිබඳ ලුහුඬු විලක්ෂණයක් කිරීමට අප නියෝග ලදහොත්, අපේ සූත්‍රනය එහි දේශපාලන නැඹුරුව හා එහි සංවිධානාත්මක විධික්‍රම විස්තර කෙරෙන වචන දෙකකට සීමා වනු ඇත: ගතානුගතික කල්ලියක්.” (62 පිටුව)

එය නියෝජනය කරන්නේ කුමක් ද? “එය අපේ රුධිර ප්‍රවාහය තුළ – එනම්, මූලධර්මාත්මක විධික්‍රම මත තමන් පදනම් කර ගන්නා, කල්ලි දේශපාලනය හා පෞද්ගලික සංයෝජනතාවාදය පිළිකුල් කරන විප්ලවවාදී මාක්ස්වාදී ප්‍රවාහය තුළ – සෞඛ්‍යයට අහිතකර හා දුෂ්ට ප්‍රවාහයක් නියෝජනය කරයි. එහි කල්ක්‍රියාව, එහි ආචාරවිධි, එහි චාරිත්‍රවාරිත්‍ර, එහි විධික්‍රම එය අපේ ව්‍යාපාරයට පිටස්තර වූ පර්යායක් බවට පත් කරයි.” (63 පිටුව)   

ඉහත උපුටා දැක්වූ ලේඛනය තුළ සහ එම දිනවල කණ්ඩායම් අරගලය අරභයා නිකුත් කෙරුණු වෙනත් ලේඛන තුළ ෂැට්මන් මුළුමනින් සනාථ කර ඇත්තේ, කැනන් “චප්ප කර දැමීම” හැර අන් සියලු ඉලක්කයන්ට අන්ධ ව සිටි ඇබර්න්ගේ ප්‍රතිපත්ති විරහිත කල්ලිය, අන්ත වාමාංශික උයිලර්වාදීන් සමඟ, මස්ට් සමඟ හා ඉතා තුනී වෙස්මාරුවකින් ආවරණය වී පක්ෂය තුළ සිටි ස්ටැලින්වාදී ඒජන්තයන් සමඟ පවා සංයෝජනය වූහ! මේ සංයෝජන එකක් එකක් පාසා බිහිසුණු පසුවිපාක ගෙන දුන්නේය. උයිලර්වාදීහු පක්ෂයෙන් හා හතරවැනි ජාත්‍යන්තරයෙන් බිඳී යමින් කර්කශ සතුරන් බවට පත්වූහ. ඉන් අධෛර්යමත් නො වූ ඇබර්න් මස්ට් සමඟ එක්ව, තවත් භේදයකින් පක්ෂයට ටෝර්පිඩෝ ප්‍රහාරයක් එල්ල කිරීමට ඕනෑකමින් ම සූදානම් වූයේය. වර්තමානයේ දී මෙන් ම එදා ද සම්මේලනයේ සුළුතරය බවට පත්වීමේ නිසැක පෙරදැක්ම හමුවේ ඇබර්න්, අද මෙන් එදා ද, ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදයේ මූලධර්මය යටතේ සම්මේලනයේ තීරණ පිළිගන්නා බවට පක්ෂයට කවර හෝ සහතිකයක් ලබා දීම ප්‍රතික්ෂේප කළේය. ඊට පටහැනි ලෙස, අපේ ඉතිහාසයේ වඩාත් ම තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් අබියස දී, සමාජවාදී පක්ෂයට ඇතුළුවීමෙන් අපේ හුදෙකලාව බිඳ දැමීමේ සංකීර්ණ උපායයකට අප අපේ බලවේග ඒකරාශී කරමින් සිටි අවස්ථාවේ, අපේ සාමාජිකත්වය භේද කිරීම සඳහා හිතාමතා සකස් කළ සැලැස්මක් ඔහු ඉදිරියට දැමීය.  

මෙම ද්‍රෝහී වැඩ පිළිවෙලෙහි අභිප්‍රාය කුමක් වී ද? එක් දහස් නවසිය තිස් තුනේ පැරැණි අරගලයේ දී, අප හුදෙකලා වී හා එක තැන රැඳී සිටි එම වකවානුවේ, අපගේ අල්පතර බලවේගවල භේදයක් අපේ ළාබාල ව්‍යාපාරයේ මළ බෙරය හඬවන්නට හොඳට ම ඉඩ තිබූ තතු තුළ, භේදයක් සඳහා – අපේ ජාත්‍යන්තර සංවිධානයේ මැදිහත් වීමෙන් හා ෂැට්මන්, ලුවිට් හා වෙනත් අය ඇබර්න්ගෙන් බිඳී ඉවත්වීමෙන් පමණක් වැලැකී ගිය භේදයක් සඳහා – ඔහු දැරූ ප්‍රයත්නයේ අභිප්‍රාය කුමක් වී ද? යුද්ධයේ ද, අප ව්‍යාපාරය ඉදිරියේ පවතින ඓතිහාසික අවස්ථාවේ හා පරීක්ෂාවේ ද සමීපස්ථ හෝරාවේ දී, හතරවැනි ජාත්‍යන්තරයේ ඇමරිකානු ශාඛාවේ භේදයක් ඇති කිරීම පිළිබඳ තර්ජනය කිරීමේ අභිප්‍රාය කුමක් ද?

මෙම සාකච්ඡාව පුරා අපේ පක්ෂයේ අත්දැකීම් පූර්ණ සහෝදරවරුන්ගේ සිත් තුළ අප්‍රකාශිත සිතුවිළි ලෙස හටගත් ප්‍රශ්න මේවා ය. අරගලය වර්ධනය වන විට සහ ඇබර්න්ගේ ද්‍රෝහී වැඩ පිළිවෙල වඩවඩාත් පැහැදිළිව හෙළිදරව් වන විට සිතුවිළි කසුකුසු බවට පත් වූ අතර, එම කසුකුසු අද ඝෝෂාකාරී හඬ නැඟීමක් බවට පත්ව ඇත! පක්ෂයේ එකමුතුව සඳහා සීරුවෙන් සිටිනු! අපේ ඉතිහාසයේ වඩාත් ම තීරණාත්මක මොහොතේ අපේ බලකායයන් භේදභින්න කර දැමීමේ සැළසුම්වලට එරෙහිව සීරුවෙන් සිටිනු! 

පෙර කොටස් බලන්න:

හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්, 1, 2, 3, 4, 5, 6-I, 6-II, 7, 8-I, 8-II

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top