නන්දන නන්නෙත්ති විසිනි

බාලවයස්කාර දැරියක බරපතල ලෙස ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාව එල්ල වූ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන භික්ෂුව අත් අඩංගුවට ගැනීම හෝ ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීම ශ්‍රී ලංකා පොලිසිය මාස තුනකට ආසන්න කාලයක් – දින86ක්- මග හැර සිටියේ ය.
2026 මාර්තු 6දා 15 වියැති දැරියක් “පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටින” බවට නිට්ටඹුව පොලිසියට ලැබුනු පැමිනිල්ලක් ඉහල පෙලේ පුද්ගලයන් හරහා සැකකාර භික්ෂුව විසින් ම සිදු කරනු ලැබ ඇති බව සදහන් වේ.
නිට්ටඹුව පොලිසිය, බාල වයස්කාර දැරිය සිය භාරයට ගෙන ප්‍රශ්න කිරීමේදී, දැරිය සියලු කරුනු හෙලිදරව් කලා ය. පොලිසිය ඇය රාගම ලමා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවා තබා ගෙන කල් මැරී ය.
පිපීරීම සිදු වන්නේ කුරුනෑගල ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වන බිමල් රුහුණගේට මෙම තොරතුරු දැන ගැනීමට ලැබීමෙන් ය. ඔහු තමන්ට ලැබුනු විශ්වාසවන්ත තොරතුරක් මත, බාලවයස්කාර දැරියක අටමස්ථානාධිපති හිමියන් සහ තවත් පිරිසක් අතින් අපයෝජනය වන බවටත්, ඇයගේ මව ඊට මුදල් ආධාර ලබාගෙන අනුබල දෙන බවටත් අවස්ථා කිහිපයකදීම දුරකථනයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ (NCPA) හදිසි ඇමතුම් අංශ වෙත (1929 ළමා උපකාරක සේවය හරහා) දැනුම් දී තිබිනි. ඔහු විසින් අප්‍රේල් 23 වනදා නිල වශයෙන් ලිඛිත මෝසමක් මගින් අටමස්ථානාධිපතිවරයා දැරිවිය දූෂනය කල බව දැනුම් දීම හරහා එම කාරනය ජනතාව අතරට ගෙන නො ගියේ නම් සියල්ල වලලා දැමීමට නියමිතව තිබිනි.

පොලිසිය, බැරිම තැන, මැයි 8 දා භික්ෂුවට විරුද්ධව නිල වශයෙන් අධිකරනය හමුවේ චෝදනා ගොනු කලේ ය. මේ වන විට භික්ෂුව දැරියට ලබා දී ඇති දුර කථන ඇමතුම් 88ක් ඇතුලු ඇගේ වයස 11 -12 අවධියේ සිට අපයෝජනය කල බවට නොබිඳිය හැකි සාක්ෂි ලැබී ඇත.
ආන්ඩුව, දේශපාලනඥයන්, පොලිසිය හා රාජ්‍ය නිලධරය, වෛද්‍යවරු, නීතිඥයන් සහ මධ්‍යම පන්තික වර්ගවාදී, ආගම්වාදී රොත්තක් දැරියට එරෙහිව නැගී සිට ඇත. ආන්ඩුව තමන් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට අත නොගැසීමේ නියායෙන් ඇඟ බේරා ගත්තේ ය. හිටපු ඇමති දිලුම් අමුනුගම “හේමරතන හිමි අත් අඩංගුවට ගෙන ඇත්තේ ගනිකාවකගේ ප්‍රකාශයක් නිසා ය“යි ප්‍රසිද්ධියේ කියා සිටියේ ය. මුල සිට ම හේමරතන වෙනුවෙන් නීතිඥයන් 30කට වඩා උසාවියේ ස්වේච්ඡාවෙන් පෙනී සිටි අතර දැරිය වෙනුවෙන් නීතිඥයෙකු නො වීය. ප්රතිගාමී නීතිඥයෝ හේමරතනට විරුද්ධ සියලු දෙනා එන්ජීඕ කාරයන් හා බුද්ධාගමේ හතුරන් ලෙස නාමකරනය කලහ. වෛද්‍යවරු ඔහු අසාධ්‍ය රෝගියෙකු ලෙස සහතික කර අත් අඩංගුවට ගැනීම වැලැක්වීමට උත්සාහ කලහ.
මින් පෙර මෙවන් අවස්ථාවල මෙම සමාජ තට්ටු හා නිලධරය ක්‍රියාත්මක වූ ආකාරය ද සැලකිල්ලට ගැනීමෙන් පෙනී යන පරිදි පද්ධතියේ ක්‍රියාකාරීත්වය ගැන පැහැදිලි චිත්‍රයක් මෙහි ඇත.
2015 කොටදෙනියාවේ දී අවුරුදු 5ක බිලිඳියක් වූ සේයා දූෂනය කර ඝාතනය කිරීම ගැන චූදිත “කොන්ඩයා“ හෙවත් දුනේෂ් ප්‍රියශාන්ත නමැත්තාට අමානුෂික පහරදීම් සහ දරාගත නො හැකි වධහිංසා දී පොලිසිය ලියූ ලියකියවිලිවලට ඔහු ලවා අත්සන් කරවා ගෙන, නඩු පැවරිනි. නීතිඥයෝ ඔහු වෙනුවෙන් පෙනී නො සිටියහ. පසුව ප්‍රියශාන්ත එම අපරාධයට වැරදිකරු නොවන බව විද්‍යාත්මකව ඔප්පු වීම සහ සැබෑ අපරාධකරු හමු වීම නිසා ඔහු නිදහස් කරන ලදී.
අටමස්ථානාධිපති අත් අඩංගුවට ගැනීමට හෝ පොලිසියට අවශ්‍ය නො වී ය.
ප්‍රකාශිත තත්වය හුදෙක් තනි පුද්ගලයෙකුගේ සදාචාරාත්මක පරිහානියක් හෝ හුදු ආගමික ප්‍රශ්නයක් ලෙස හකුලා දැක්විය නො හැකි බව දැනටමත් තහවුරු වී ඇත.
එය, ධනේශ්වර සමාජ ව්‍යුහය, එහි අර්බුදය සහ රාජ්‍ය උපකරණයේ ක්‍රියාකාරීත්වය සමඟ බද්ධ වූ ගැඹුරු දේශපාලන-ආර්ථික සාධකවල අන්තර් ක්රියාකාරීත්වයේ ප්රතිඵලයකි
ආගමික සංස්ථා සහ ධනපති පාලක පන්තිය අතර පන්ති සන්ධානය නොවැලැක් විය හැකි එකකි. ආගම යනු පාලක පන්තිය විසින් මහජනතාව මත තම මතවාදී ආධිපත්‍යය පවත්වා ගැනීමට සහ පන්ති විඥානය මොට කිරීමට භාවිත කරන ප්‍රධාන මෙවලමකි.
ශ්‍රී ලංකාවේ අටමස්ථානය වැනි ප්රමුඛ ආගමික ආයතනවල නායකයින් හුදු ආගමික නායකයින් පමනක් නොවේ. ඔවුහු මෙරට ධනේශ්වර රාජ්‍යයේ දේශපාලන තීන්දු තීරන කෙරෙහි ඍජුව ම බලපාන, ධනපති පාලක පන්තියේ (රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයින් සහ මහා පරිමාන ව්‍යාපාරිකයින්ගේ) ව්‍යුහයේ අවියෝජනීය කොටස්කරුවෝ වෙති.
නීතියේ සහ රාජ්‍ය උපකරනයේ පන්තිමය ස්වභාවය තීරනාත්මක ය. පොලිසිය සහ අධිකරන පද්ධතිය සැමවිටම ක්‍රියාත්මක වන්නේ පාලක පන්තියේ සහ බලවතුන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමටය.
වින්දිත දැරිය වෙනුවෙන් පෙනී සිටීමට ඇයට එරෙහිව යෙදෙන බලයට යන්තමින් හෝ සම කළ හැකි බලයක් හෝ සම්පත් නොමැති වීම තුලින් පෙන්නුම් කෙරෙන්නේ නීතිය ඉදිරියේ සමානත්වයක් ඇතැයි කියන ධනේශ්වර ප්රජාතන්ත්රවාදයේ මිථ්‍යාව බිඳවැටී ඇති ආකාරයයි. රාජ්‍ය ආයතන (පොලිසිය ආදී) වින්දිතයාට අවාසි වන ලෙස ක්‍රියා කරන බවට නැඟෙන චෝදනා, ධනපති රාජ්‍යය සැමවිටම පාලක පන්තියේ සාමාජිකයන් ආරක්ෂා කිරීමට මැදිහත් වන බව පිළිබඳ සම්භාව්‍ය මාක්ස්වාදී ආස්ථානය යලිත් තහවුරු කරයි.
සමාජ-ආර්ථික පීඩනය සහ ළමා ශ්‍රමය සූරාකෑමත් ළමා අපයෝජනයනුත් අද්‍යතන ධනවාදයේ අනිවාර්ය අංගයෝ ය.
ධනේශ්වර ක්‍රමය තුල සියලු මිනිස් සබඳතා, (ශරීරය සහ දරුවන්ගේ අනාගතය පවා) ලාභය හෝ පැවැත්ම උදෙසා විකිනෙන “වෙලඳ භාන්ඩ” (Commodities) බවට පත් වේ.
දැඩි ආර්ථික පීඩනය සහ දරිද්‍රතාවය හේතුවෙන් පීඩිත පන්තිවල දෙමාපියන් තම දරුවන් මෙවැනි බලගතු පුද්ගලයන්ගේ සෙවනට හෝ ආශ්‍රයට පත් කිරීමට සිදුවන වටපිටාව නිර්මානය කරන්නේ පවතින ධනේශ්වර ආර්ථික අර්බුදය විසිනි. මෙය හුදෙක් පුද්ගලික සදාචාරයේ ප්‍රශ්නයක් නොව, ධනවාදය විසින් පීඩිත පන්තිය ඇද දමා ඇති අන්ත අසරනභාවයේ ඛේදවාචකයකි.
සිවිල් සංවිධාන හා මධ්‍යම පන්තික ලිබරල්වාදීන්ගේ විරෝධතා මඟින් ඉල්ලා සිටිනු ලබන්නේ හුදෙක් “පවතින ක්‍රමය තුල සාධාරණත්වය”යි. එම සීමාව, මෙම අපරාධවලට මුල් වී ඇති ධනේශ්වර දේපල ක්‍රමය සහ පන්ති පාලනය පිලිබඳ කාරනය අඳුරු කරමින් එම අපරාධවල සැබෑ හේතු වසං කරයි. සත්‍යය නම්, පවතින ක්‍රමයට එරෙහි අරගලයකින් තොරව හුදු ධනේශ්වර රාජ්‍යයෙන් යුක්තිය ඉල්ලීම නිශ්ඵල බවය.
අපරාධවලට එරෙහිව පෞද්ගලික මට්ටමින් ඉදිරිපත් වන මාධ්‍යවේදීන්ට විශාල අවදානමක් ගැනීමට සිදුවේ. ධනේශ්වර ක්රමයේ ව්‍යුහයම සැකසී ඇත්තේ සාමාන්‍ය මිනිසුන්ගේ හඬවල් යටපත් කරමින්, ඉහල ප්‍රභූන් ආරක්ෂා කිරීමට බැවින්, තනි පුද්ගල සටන්වලට මේ තත්වය වෙනස් කිරීමට අවස්ථාව නැත. බිමල් රුහුනගේ 2024 වසරේදී කුරුනෑගල ප්‍රදේශයේ දරුවන් දරුකමට විකීනීමේ ජාවාරමක් පිලිබඳව තොරතුරු වාර්තා කිරීම නිසා පොලිස් අත්අඩංගුවට පත්වෙමින් පීඩාවට ලක්වූ මාධ්‍යවේදියෙකි. මෙවැනි සාහසික අපරාධවලින් කාන්තාවන් සහ දරුවන් සැබැවින් ම නිදහස් කරගත හැක්කේ, ආගමික සහ දේශපාලන ප්‍රභූන් ආරක්ෂා කරන ධනපති ක්‍රමය තුරන් කර, කම්කරු පන්තියේ නායකත්වයෙන් යුත් සමාජවාදී පරිවර්තනයක් මඟින් සමාජය මුළුමනින්ම ප්‍රතිසංවිධානය කිරීමෙන් පමනි. හිංසනයෙන් තොර ජීවිතයක් ලබා ගැනීමට දරුවන්ට හැකි වනු ඇත්තේත්, සැබෑ යුක්තිය හා සමානාත්මතාවය තහවුරු වනු ඇත්තේත් එමඟින් පමණෙකි.
