පරාක්‍රම කුරුප්පු

ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ඇති ඔහුගේ පොත් හතරක පිටපත් 360 ක් නිදහස් නොකොට රේගුවේ තබා ගැනීමත්, ජාජබ ආණ්ඩුවේ සංස්කෘතික ඇමතිවරයාගේ නියෝග මත ඒවා නිදහස් කිරීම ආරක්ෂක අමාත්‍යංශයේ අභිමතයට යටත් කිරීමත්, කලාවට එරෙහි රුදුරු රාජ්‍ය මැදිහත්වීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
ප්‍රදීපන් කවියාට එරෙහිව එසැවී ඇති රාජ්‍ය මර්දනයට එරෙහිව බොහෝ කලාකරුවෝ සිය ෆේස්බුක් ගිනුම් හා ලිපි හරහා සිය පිලිකුල ප්‍රකාශ කොට ඇත්තාහ. සාහිත්‍ය අනු මන්ඩලයේ සාමාජිකාවක වූ කල්පනා ඇම්බ්‍රෝස් කිවිඳිය සිය අප්‍රසාදය පල කරමින් එයින් ඉල්ලා අස් වී ඇත. දීපචෙල්වන්ගේ කෘතීන් රඳවා ගැනීම, ”නිර්මානකරුවාගේ ප්‍රකාශනයේ නිදහසත්, පීඩිතයාගේ අයිතියත් පිලිබඳ අප සියලු කල්හි දරන මතයට” පරස්පර වන්නේයැයි ඇය සිය ෆේස්බුක් ගිනුමේ සටහන් තබා ඇත.
දැනට දින 20 කට ආසන්න වෙමින් පවතින මෙම රඳවා ගැනීම කලාවේ හා භාෂණයේ මූලික අයිතියට එරෙහි ඍජු ප්‍රහාරයක් සේ ම, දමිල විරෝධී වර්ගවාදී ප්‍රහාරයක් ලෙස ද හෙලා දකින Socialist.lk වෙබ් අඩවිය, මෙම පොත් වහා නිදහස් කරන ලෙසත්, කලා ප්‍රකාශනවලට රාජ්‍ය මැදිහත්වීම් නවතා දමන ලෙසත් තරයේ ඉල්ලා සිටී.
දමිල භාෂාවෙන් සාහිත්‍යකරනයේ යෙදෙන දීපචෙල්වන් ප්‍රදීපන් රාජ්‍ය මර්දනයට මේ මුහුන දී සිටින්නේ පලමු වරට නොවේ. 2024 වසරේ මැද භාගයේ දී ද, ඔහු විසින් රචිත නවකතාවක අන්තර්ගතය සම්බන්ධයෙන් පොලීසිය ප්‍රශ්න කර ඇත.
2020 දශකය පුරා ම ලේඛනයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එරෙහිව දිගින් දිගටම රාජ්‍ය මර්දනයේ ප්‍රහාර එල්ල වූයේය. ඉන් කිහිපයක් පමනක් සිහිපත් කරන්නේ නම්, කෙටිකතාවක අන්තර්ගතය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගත් ලේඛක ශක්තික සත්කුමාර මාස 10 ක පමන කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුනු අතර, ‘නවරසම්’ නම් කවි පොත ලිවීම නිසා අත්අඩංගුවට පත් අහ්නාෆ් ජසීම් කවියා පුරා මාස 19 ක් සිරගත කර තබන ලදී. තව ද, ෆේස්බුක් සටහනක් නිසා අත්අඩංගුවට ගැනුනු සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රම්සි රසීක් මාස 5 ක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර තබන ලදී. ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරියගේ ඉදිරිපත් කිරීමක් නිසා අත්අඩංගුවට ගෙන සති 6 ක් ඇය රඳවා ගත් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට මෑතක දී ඒ සම්බන්ධයෙන් ලිඛිතව කනගාටුව පල කිරීමට සිදු විය.
ධනපති එජාප – ශ්‍රීලපොපෙ හවුලේ පිලිවෙත් අකුරටම රකිමින් සිටින ධනපති ජාජබ ආන්ඩුව, කලාවට එරෙහි ප්‍රහාරයේ බැටනය ඔවුන් අතින් සීරුවෙන් භාර ගනිමින් වැඩට බැස සිටී. ධනපති රාජ්‍යයේ සියලු ආයතන මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාර මාලාව සඳහා එකෙලි කර ගැනීමට ඔවුන් කටයුතු කර ඇති අයුරු ප්‍රදීපන් සිද්ධියේ දී රාජ්‍ය යන්ත්‍රය ක්‍රියාත්මක වී ඇති ආකාරයෙන් මනාව පෙනී යයි. පලමුවෙන් රේගුව මෙම පොත් පිටපත් රඳවා ගන්නේ මොන යම් හෝ රේගු නීති උල්ලංඝනයක පදනම මත නොව, පොත්වල අන්තර්ගතය පිලිබඳ ප්‍රශ්න කරමිනි. රේගුව විසින් රඳවා ගන්නා ලද පොත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශය සඳහා යොමු කෙරුනු අතර, මේ ප්‍රශ්නය ‘විසඳීමට’ මැදිහත් වූ සංස්කෘතික ඇමති ඇතුලු සංස්කෘතික අමාත්‍යාංශය ද ඒ පිලිබඳ තීරන ගැනීම දැන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට ම භාර දී ඇත.
මෙම සිද්ධියේ දී ද කලාකරුවන් සිරගත කිරීම හා ඔවුන්ගේ ප්‍රකාශනයේ අයිතියේ ගෙල සිර කිරීම ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූ ප්‍රකට කලාකරුවෝ වෙති. ලේඛකයෙකු හා විචාරකයෙකු ලෙස ප්‍රකට වර්තමාන සාහිත්‍ය අනු මන්ඩල සාමාජික ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන පවසා ඇත්තේ, “වෙන ආන්ඩුවක් තිබුනා නම් දීපචෙල්වන් මේ වෙනකොට හිරේ දාලා” ලෙස ය. ඔහුට අනුව ලේඛකයාට නොව ඔහුගේ පොත්වලට පමනක් විලංගු ලෑම ජාජබ ආන්ඩුවේ කරුනාව විදහා දක්වන්නකි. ලේඛක ජයතිලක කම්මැල්ලවීර “ප්‍රකාශනයේ අයිතිය නාමයෙන් ඕනෑම දෙයක් ලිවීමට නොහැකි” බව පවසමින් පාලකයාට අදහස් මර්දනය කිරීමට ඇති ‘අයිතිය’ වෙනුවෙන් පෙනී සිටියේය.

දීපචෙල්වන් ප්‍රදීපන් යුද සමයේ උතුරේ ජීවත් වූවෙකි. ඔහුගේ කලා කෘතීන්ට විෂය වී ඇත්තේ තමා අත්දුටු යුද්ධයේ කෲරත්වය හා ඒ හා බැඳුනු මානව ඛේදවාචකයයි. මේ ඊනියා විචාරකයන්ගේ අදහසට අනුව ඔහුට ඒවා තමා දුටු ආකාරයෙන් කලාත්මකව ප්‍රතිනිර්මාණය කල නොහැකිය. එනම්, ඔහු ලිවිය යුත්තේ ආන්ඩුවට අවශ්‍ය ආකාරයට ය. කලාව එහි ස්වභාවයෙන් ම මේ වර්ගයේ අණ පැනවීම් නො ඉවසන බවත්, කලාවේ ඖචිතය මැනෙන්නේ පාලකයා විසින් එය මත පටවන නීති මඟින් නො ව කලාවට ම ආවේනික ව ඓතිහාසිකව වර්ධනය වූ නීති මඟින් බවත් මේ කලා භ්‍රෂ්ටයන් දත යුතුය.
කලාවට හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එරෙහිව ආන්ඩුව මුදා හැර ඇති මෙම දඩයම අත්වැල් බැඳ ගන්නේ ලොව පුරා අර්බුද ග්‍රස්ත ධනපති ආන්ඩු නිදහස් අදහස් ප්‍රකාශනයට එරෙහිව උසිගන්වා ඇති දඩයම සමඟ ය. සියොන්වාදී ඊශ්‍රායල තන්ත්‍රය විසින් පලස්තීන ජනයා මත මුදා හරින ලද සමූලඝාතක ව්‍යාපාරයට එරෙහි විරෝධතා නීතිවිරෝධී ලෙස ප්‍රකාශ කිරීමට ද, විරෝධතාකරුවන් සිර අඩස්සියේ ලීමට ද ඊනියා ධනපති ‘ප්‍රජාතන්ත්‍රවාදී’ රාජ්‍ය එකක් පසුපස එකක් වශයෙන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පසුපස පෙළ ගැසුනෝ ය. ගාසා තීරයේ දී මාධ්‍යවේදීන්ගේ ජීවිත සම්බන්ධයෙන් සාපරාධී නොතැකීමකින් කටයුතු කරන ලද අතර, 2025 අගෝස්තු 11 දින එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ප්‍රකාශ කලේ මාධ්‍යවේදීන් 242 ක් ඒ වනවිට මරනයට පත් වී ඇති බවයි. දෙවැනි ලෝක යුද්ධයේ සය වසර තුල මරනයට පත් වූ මාධ්‍යවේදීන් සංඛ්‍යාව 69 දෙනෙකු පමන වන බව සැලකිල්ලට ගත් කල මාධ්‍යවේදීන්ට එරෙහි මේ අපරාධයේ පරිමානය වඩාත් පැහැදිලි වනු ඇත. ප්‍රවීන ගායක රොජර් වෝටර්ස්ගේ ප්‍රසංගවලට ජර්මනියේ දී එල්ල වූ රාජ්‍ය අවරෝධනය ද, කලාකරුවන්ගේ බොටුව සිර කිරීමට දිගු වූ මර්දනයේ මාරක හස්තය පිලිබඳ තවත් උදාහරනයකි.

ජාතික ජන බලවේගය දැන් කර ගසා සිටින්නේ මේ මර්දනයේ තම කොටස ඉටු කිරීමට ය. මේ සඳහා රාජ්‍ය තන්ත්‍රයේ සියලු ආයතනික ව්‍යුහයන් එකෙලි කර මෙහෙයවීමට එය සූදානම් ය. ජාජබය බලයට පැමිනි වහා පේරාදෙනිය සරසවියේ සසජාතශි දේශනය අවලංගු කිරීමට එහි උපකුලපති දුන් නියෝගය විසින් ද පෙන්වා දෙන ලද්දේ මෙම සූදානමයි. ජාතික ජන බලවේගයේ ආන්ඩුව විසින් යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA)හි අරමුන වන්නේ මේ වර්ගයේ රාජ්‍ය බලහත්කාරකම් වලට නෛතික ආවරනය සම්පාදනය කිරීමයි.
ඉහත පනතේ 55 වැනි වගන්තිය මඟින් පුද්ගලයන්ගේ පෞද්ගලික සන්නිවේදනයන්ට සවන් දීමටත්, ඕනෑම සන්නිවේදනයක් විකේතනය කිරීමටත් (Decryption) රජයට පුළුල් බලතල ලබා දෙයි. විශේෂයෙන්ම WhatsApp හෝ Signal වැනි කේතිත (Encrypted) සන්නිවේදන පවා අගුලු හැර තොරතුරු ලබා දෙන ලෙස සේවා සපයන ආයතනවලට හෝ අදාල පුද්ගලයන්ට නියෝග කිරීමට මෙම නීතිය සම්මත වූ පසු රජයට ඉඩකඩ සැලසේ.
ප්‍රකාශනයේ නිදහසට එල්ල වී ඇති මේ තර්ජනයට ක්ෂනිකව මුහුන දීමට කලාකරුවන්ට, ශිෂ්‍යයන්ට හා තරුනයන්ට සිදුවනු ඇත. ධනේශ්වර අර්බුදයෙන් ඍජුව ගලා එන මෙම තර්ජනයට විසඳුම් කිසිදු ධනපති පක්ෂයක් සතුව නැත. ධනේශ්වර පන්තියට මෙම තතු හමුවේ ඇති ඒකායන විසඳුම මර්දනයයි. මෙම තතුවලට එරෙහිව සටන් කිරීමේ මාවත සොයා ගත හැක්කේ, ධනපති මර්දනය සාධාරනීකරනය කරන්නා වූ ද, අදහස් ප්‍රකාශනයේ නිදහස මර්දනය කිරීම සඳහා ධනපති රාජ්‍යයට ඇති ‘අයිතිය’ පිලිගන්නා වූ ද, ධනපති පන්තියේ ඒ හෝ මේ කොටසක අනුග්‍රහය අපේක්ෂා කරන්නා වූ ද සියලු සංවිධාන ප්‍රතික්ෂේප කරමින්, කලාවේ ස්වාධීනත්වය හා අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිය රැකීම සඳහා ධනපති පන්තියෙන් ස්වාධීන වැඩ පිලිවෙලක් සාකච්ඡා කර ප්‍රජාතන්ත්‍රවාදීව තීන්දුවලට එලඹෙන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීම ලෙස පමනෙකි.
