නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය – සිව්වැනි කොටස

ජේම්ස් පී. කැනන්

පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු

මෙම ලිපි මාලාව, හතරවැනි ජාත්‍යන්තරයට එහි මුල් කාලයේ ම මුහුණ දීමට සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර අරගලයක් පිළිබඳව ද, එහි ලා අභියෝගයට ලක් ව තුබූ දේශපාලන ප්‍රයුක්තීන් සම්බන්ධව ද පුළුල් සාකච්ඡාවක් පාඨකයා වෙත ගෙන එයි.

මතභේදයට මුල් වී තිබුනේ, නිලධරයේ ග්‍රහණයට හසු වූ සෝවියට් රාජ්‍යයේ ආරක්ෂාව පිලිබඳ උත්සුකයන් ය. සෝවියට් රාජ්‍යය හා එහි දේපළ අධිරාජ්‍යවාදයට එරෙහිව කොන්දේසි විරහිත ව ආරක්ෂා කිරීමේ සප්‍රතිපත්තික ට්‍රොට්ස්කිවාදී ආස්ථානයට සමාජවාදී කම්කරු පක්ෂයේ නායකයන් තිදෙනෙකු ප්‍රමුඛ සුළුතර කණ්ඩායමක් අභියෝග කළෝය. බැලූ බැල්මට සංවිධානාත්මක ප්‍රශ්නවල රූපය ගත් මෙම අභ්‍යන්තර අරගලයෙන් සැබැවින්ම පරදුවට තැබී තුබුණේ කුමක් ද යන්න මෙම කෘතිය තුල ගැඹුරින් සාකච්ඡා වෙයි.

එදාට ද වඩා අතිශය රුදුරු න්‍යෂ්ටික යුද්ධයක් අප හිස මත ලඹ දෙමින් පවතී. දෙවැනි ලෝක යුද්ධයෙන් ඉක්බිති ස්ටැලින්වාදයේ අත් වාරුව ලබමින් ගොඩනඟන ලද ලෝක පර්යාය ඉරි තලා පුපුරා යමින් පවතී. දැනටමත් වෙනස් වෙමින් පවතින, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අඳින ලද ලෝක සිතියම, පීඩිතයන්ගේ ජීවිතවල වියදමින් අලුතින් ඇඳීම සඳහා මුල් පියවර තැබී ඇත. සමස්ත ලෝකය යුද පිටියක් බවට හැරවීමේ අධිරාජ්‍යවාදී යුද්ධය යුක්‍රේනය තුල රුසියාවට එරෙහි නැටෝ යුද්ධය ලෙස ද, මැද පෙරදිග දී පලස්තීන ජනයා සමූලඝාතනය කිරීමේ ජන සංහාරයක් ලෙස ද, සිරියාව, ඉරානය ඇතුළු මැද පෙරදිග රුධිර ගංගා වලින් නැහැවීමේ යුද සැලසුමක් ලෙස ද දිග හැරෙමින් පවතී. අධිරාජ්‍යවාදයේ යුද උන්මාදය පරාජය කළ හැකි එකම පන්තිය වන ලෝක කම්කරු පන්තියේ විප්ලවවාදී සංවිධානය ගොඩ නැඟීමේ කර්තව්‍යය වෙන කවදාටත් වඩා හදිසි හා තීරණාත්මක එකක් බවට පත් ව ඇත. කොටස් වශයෙන් මෙහි පල වන මෙම කෘතිය කියවන පාඨකයෙකුට, එහි සාකච්ඡා කෙරෙන ප්‍රශ්නවල අදට ද ඇති නොමඳ අදාලත්වය පෙනී යනු ඇත.

මෙය, Marxists Internet Archive අන්තර්ජාල ප්‍රකාශනයේ පල වී ඇති ඉංග්‍රීසි කෘතියේ පරිවර්තනයක් වන අතර, එහි ප්‍රථම භාගයේ සිව්වැනි කොටස ලෙස එන “සංවිධානය පිළිබඳ ප්‍රශ්නය” යන පරිච්ඡේදය මෙහි අද දින පළ කෙරේ. මෙය ප්‍රවේශමෙන් හැදෑරීම මාක්ස්වාදය වෙත ආකර්ෂණය වන්නන්ට මෙන් ම, වර්තමාන ලෝක අර්බුදය විසඳීමට සමත් කම්කරු පන්තියේ විප්ලවවාදී සංවිධානය ගොඩ නැඟීම පිලිබඳ උනන්දු වන සියලු දෙනාට ද අතිශයින් ප්‍රයෝජනවත් වනු ඇත.

4. සංවිධානය පිළිබඳ ප්‍රශ්නය

දේශපාලන හා න්‍යායික මතභේදවල සැබෑ විෂයපථය අවිනිශ්චිතව පවතින තාක් කල්, සංවිධානයේ ප්‍රශ්නය පිළිබඳ ව කථා කිරීම දායක වී ඇත්තේ, සහ දායක විය හැක්කේ, ව්‍යාකූල කිරීමට විනා අන් කිසිවකට නොවේ. එහෙත් දැන් මූලික දේශපාලන කරුණු මුළුමනින් පැහැදිළි කෙරී ඇති හා, කඳවුරු දෙක මූලික පිළිවෙත් රේඛා ඔස්සේ සිය ස්ථාන අරා ගෙන ඇති තතු තුල, සංවිධානයේ ප්‍රශ්නය එහි නිසි පසුතලය තුල හා එහි නිසි ස්ථානයේ තබා, – වැදගත්, එහෙත් අප්‍රධාන කරුණක් ලෙස; දේශපාලන වෙනස්කම්වලට ආදේශකයක් ලෙස නොව ඒවා සංවිධානාත්මක භාෂිතයෙන් ප්‍රකාශයට පත්වීමක් ලෙස – සාකච්ඡාවට ගැනීම, කළ හැක්කක් හා ඇතැම්විට ශක්‍යතාවයක් බවට ද පත්ව ඇත.   

නිර්ධන පන්ති හා සුළු ධනේශ්වර ප්‍රවණතා අතර මූලික ගැටුම, පක්ෂ සංවිධානය සම්බන්ධ ගැටලුවල සෑම හැරීමකින් ම තමා ප්‍රකාශයට පත් කර ගනී. එහෙත් මෙම ද්වීතීයික ගැටුම හා පැටලී ඇත්තේ, ඕනෑම සංවිධානයක අභ්‍යන්තර ජීවිතය තුල පොදු ලක්ෂණයක් වන කුඩා කුඩා සිදුවීම්, දුක් ගැනැවිලි, පෞද්ගලික ඝර්ෂණයන් හා එවැනි සුළු වෙනස්කම් නොවේ. ගැටුම වඩාත් ගැඹුරට යයි. අපි බර්න්හැම් හා බර්න්හැම්වාදීන් සමඟ පක්ෂයේ ස්වභාවය සම්බන්ධ මූලික ප්‍රශ්නය මත යුද වැදී සිටින්නෙමු. බෝල්ෂෙවික්වාදයේ වැඩ පිළිවෙලට හා එහි සම්ප්‍රදායයන්ට පරිපූර්ණ පිටස්තරයෙක් වන බර්න්හැම් එහි “සංවිධානාත්මක විධික්‍රම” කෙරෙහි දක්වන සතුරුකම ද ඊට කිසිසේත් නො අඩු එකකි. ලෙනින් හා ඔහුගේ බිහිසුණු “තන්ත්‍රයේ” ජීව ගුණයට වඩා ඔහු සිවරින් හා සියලු පරිහානිගත වූවන්ගේ ද, සංශයවාදීන්ගේ ද, බෝල්ෂෙවික්වාදයෙන් පළා ගියවුන්ගේ ද ජීව ගුණයට බොහෝ සේ වඩාත් සමීප ය.

බෝරිස් සිවරින් – ඡායාරූපය අන්තර්ජාලයෙනි

නිර්ධන පන්ති විප්ලවවාදියෙකුට පක්ෂය යනු ඔහුගේ ජීවන අභිමතාර්ථයේ ඒකාග්‍ර ප්‍රකාශනය වන අතර, ජීවිතයේ දී හා මරණයේ දී ඔහු ඒ සමඟ බැඳී සිටී. ඔහු පක්ෂානුරාගය දේශනා කරන අතර ම එය ක්‍රියාවට ද නංවයි. මක්නිසාදයත්, පක්ෂය නොමැතිව ඔහුගේ සමාජවාදී පරමාදර්ශය සාක්ෂාත් කළ නො හැකි බව ඔහු දන්නා නිසා ය. ඔහුගේ ඇසින්, පක්ෂය කෙරේ දක්වන ද්‍රෝහීත්වය හෝ වගකීම් විරහිතභාවය යනු අපරාධවලිනුත් දරුණුතම අපරාධයයි. නිර්ධන පන්ති විප්ලවවාදියා සිය පක්ෂය පිළිබඳ ව අභිමානවත් ය. ඔහු සියලු අවස්ථාවන් හි දී ලෝකය ඉදිරියේ එය ආරක්ෂා කරයි. විනයකින් තොරව පක්ෂය ප්‍රහාරක සංවිධානයක් ලෙස පැවැතිය නොහැකි හෙයින් නිර්ධන පන්ති විප්ලවවාදියා යනු විනයගත මිනිසෙකි. තමන් සුලුතරය වී ඇති විට ඔහු, මතභේදවල සත්‍ය තතු පරීක්ෂා කිරීමට නව සිදුවීම් සිදුවන තෙක් හෝ, ඒවා සාකච්ඡා කිරීමට නව අවස්ථා එළඹෙන තෙක් පක්ෂපාත පාක්ෂිකයෙකු ලෙස පක්ෂයේ තීරණයට අවනත වී එහි තීන්දු ක්‍රියාත්මක කරයි.   

අන් සියල්ලට ප්‍රථමයෙන් බර්න්හැම් උත්සුක වන්නේ, විප්ලවයෙන් පසු පක්ෂයේ පරිහානියට එරෙහි “ප්‍රජාතන්ත්‍රවාදී සහතික කිරීම්” පිළිබඳව ය. අපට අන් සියල්ලට ම ඉහළින් ඇති උත්සුකයන් වන්නේ විප්ලවයට නායකත්වය දීමට සමත් පක්ෂයක් ගොඩ නංවා ගැනීම ය. පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බර්න්හැම්ගේ සංකල්පය වන්නේ, එය සාකච්ඡා සදාකාලික ව පවත්වා ගෙන යන සහ කිසිදා කිසිවක් පිළිබඳ දෘඩ තීරණවලට නො එළැඹෙන අනවරත කථා සාප්පුවක් බඳු එකක් සේ ය. (ක්ලෙවර්ලන්ඩ් සම්මේලනයේ සමුලු යෝජනාව [6] බලන්න!) ඔහුගේ “නව” සොයාගැනීම සලකා බලන්න – එකිනෙකට වෙනස් හා එකිනෙකට සතුරු වැඩ පිළිවෙලවල් දෙකක් ආරක්ෂා කරන, වෙනස් ප්‍රසිද්ධ (දේශපාලන) අවයව දෙකක් සහිත පක්ෂයක්! බර්න්හැම්ගේ අන් සියලු ස්වාධීන අදහස් සේ ම මෙය ද, හුදෙක් පිටස්තර මූලාශ්‍රවලින් කොල්ල කා ගත් අදහසකි. පක්ෂ සංවිධානයේ මෙම දීප්තිමත් යෝජනා ක්‍රමය තුල නෝමන් තෝමස්ගේ අභාග්‍ය සම්පන්න “සියල්ල ඇතුලත් පක්ෂය” පුනරුත්ථාපනය කර ඇති බැව් හඳුනා ගැනීම අසීරු නොවේ. පක්ෂය පිළිබඳ අපේ සංකල්පය මීට සහමුලින් වෙනස් එකකි. අපට, පක්ෂය යනු බලය කරා අධිෂ්ඨානවත් අරගලයකට නායකත්වය දෙන සටන් සංවිධානයක් විය යුතුය. බලය සඳහා අරගලයට නායකත්වය දෙන බෝල්ෂෙවික් පක්ෂයට අවශ්‍ය වන්නේ හුදු අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් පමණක් නොවේ. එය අනුල්ලංඝනීය මධ්‍යගතභාවයක් හා අයෝමය විනයක් ද ක්‍රියාවට නැංවීම අවශ්‍ය ය. තම නිර්ධන පන්ති වැඩ පිළිවෙලට අනුකූල නිර්ධන පන්ති සංයුතියක් ඊට අවශ්‍ය ය. සිය සැබෑ උත්සුකයන් හා සැබෑ දිවි පෙවෙත් අන්‍ය වූ පිටස්තර ලෝකයක පවතින හුදු රසිකයන්ට (ලෝලීන්ට) බෝල්ෂෙවික් පක්ෂයට නායකත්වය දිය හැකි නොවේ. එයට, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා ගැනුණු සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලනය වන, තම ජීවිත එහැම පිටින් පක්ෂයට කැප කළ හා සිය පෞද්ගලික තෘප්තිය මුළුමනින් ම පක්ෂය තුලින් හා එහි බහුරූපී ක්‍රියාකාරකම් තුලින් සොයා ගන්නා මිනිසුන්ගෙන් සැදුම් ලත්, ක්‍රියාකාරී වෘත්තීයමය නායකත්වයක් අවශ්‍ය ය.       

පක්ෂය කෙරේ බර්න්හැම් විසින් නියෝජනය කෙරෙන සුළු-ධනපති ආකල්පය මේ සියල්ලේ ප්‍රතිවිරුද්ධයයි. අපේ වැඩ පිළිවෙල, අපේ දෘෂ්ටිවාදය හා අපේ සම්ප්‍රදායයන් පිළිබඳව ඔවුන් දක්වන සැහැල්ලු ආකල්පයන් තුල තරමින් ම නො වරදින සුළු අයුරින්, පක්ෂය කෙරේ ඔවුන්ගේ ආකල්පය තුල ද, පක්ෂය පිළිබඳ ඔවුන්ගේ සංකල්පය තුල ද, “දුක් ගැනැවිලි” පිළිබඳ ව පැමිණිලි කිරීමේ හා කන්කෙඳිරි ගෑමේ ඔවුන්ගේ විධික්‍රමය තුල පවා ද පෙන්නුම් කෙරෙන්නේ විපක්ෂයේ සුළු-ධනපති ස්වභාවයයි. කම්කරු ව්‍යාපාරය තුල සහභාගී වීමෙන් තොර ව ඊට උගැන්වීමට හා මඟ පෙන්වීමට අවශ්‍ය සුළු ධනපති බුද්ධිමතාට එම ව්‍යාපාරය සමඟ ඇත්තේ හුදු ලිහිල් බැඳීම් පමණක් වන අතර, ඔහුට සෑම විටම ඊට එරෙහි ව අප්‍රමාණ “දුක් ගැනැවිලි” පවතී. තම පා මහපටැඟිල්ල පෑගුණු සැනින්, හෝ අනපේක්ෂිත ලෙස තමන්ට බාධා කෙරුණු සැනින්, ව්‍යාපාරය පිළිබඳ සියලු උත්සුකයන් ඔහුට අමතක වන අතර, ඔහුට මතක්වන්නේ තමන්ගේ හැඟීම් රිදවන ලද බව පමණෙකි; විප්ලවය වැදගත් විය හැකිය, එහෙත් සුළු ධනපති බුද්ධිමතාගේ තුවාල ලද ගර්වය වඩාත් වැදගත් ය. තමන් අන්‍යයන්ට නීති පනවන විට ඔහු මුළුමනින් ම විනය වෙනුවෙන් පෙනී සිටී, එහෙත් තමන් සුළුතරයක් බවට පත් වූ කල්හි ඔහු පක්ෂ බහුතරයට අවසාන නිවේදන හා බිඳී යාමේ තර්ජන නිකුත් කිරීමට පටන් ගනී.       

විපක්ෂයේ නායකයෝ තමන්ගේ මාදිලියට සරිලන අයුරින් ක්‍රියා කරති. සිය සුළු සුළු වැදගැම්මකට නැති හා බොහෝ දුරට ම සිතින් මවා ගත් දුක් ගැනැවිලි වට්ටෝරුව මුළුමනින් හඬ ගා කියා ඇති; වැඩ පිළිවෙල සංශෝධනය කිරීම සඳහා දැරූ උත්සාහය තුල නිර්ධන පන්ති බහුතරයේ පිළිකුලට පාත්‍ර වී ඇති, සමාජ විද්‍යා හා දේශපාලන වාග් මාලාවලට අනුකූල ව සිය නිවැරැදි නම්වලින් අමතනු ලැබ ඇති – මෙකී සියලු අපකීර්තීන් විසින් “පෙලනු ලැබ” ඇති – විපක්ෂ නායකයෝ, දැන් භේද වීමේ තර්ජනවලින් පක්ෂ බහුතරයෙන් සිය පළිය ගැනීමට ප්‍රයත්න දරති. එය ඔවුන්ට ආධාරයක් වනු නැත. එය, ඔවුන්ගේ සංශෝධනවාදී වේල පිරිමසා ගැනීම් ගුනාංගීකරණය කිරීමෙන් ද, සංවිධානය පිලිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔවුන්ගේ ආකල්පය පොදුවේ ඔවුන්ගේ සුළු ධනපති සංකල්පවලින් වෙන් වූවක් නො ව හුදු එකී සංකල්පවල ම ද්වීතීයික ප්‍රකාශනයක් බව පෙන්වා දීමෙන් ද අප වලක්වනු නැත.   

සංවිධානය පිළිබඳ ප්‍රශ්න හා සංවිධානාත්මක විධික්‍රම දේශපාලන පිළිවෙත් රේඛාවන්ගෙන් ස්වාධීන නො වන අතර ඒවා පවතින්නේ පිළිවෙත් රේඛාවන්ට උපකාරකව ය. නීතියක් ලෙස ම, සංවිධානාත්මක විධික්‍රම ගලා එන්නේ දේශපාලන පිළිවෙත් රේඛාවන් වෙතිනි. සත්තකින් ම, සංවිධානයක සමස්ත අභිප්‍රාය වන්නේ දේශපාලන වැඩ පිළිවෙලක් සාක්ෂාත් කිරීම ය. අවසාන විග්‍රහයේ දී මෙම නීතියට ව්‍යතිරේක නො පවතී. වැඩ පිළිවෙලක් නිර්මාණය කෙරෙන්නේ සංවිධානය – පක්ෂය හෝ කණ්ඩායම – විසින් නොවේ; ඇත්තෙන් ම සංවිධානය නිර්මාණය කෙරෙන්නේ, නො එසේනම්, පවතින සංවිධානයක් අත්පත් කර ගනු ලැබ භාවිතා කෙරෙන්නේ, වැඩ පිළිවෙලක් විසිනි. තමන්ගේ ම වැඩ පිළිවෙලක් හෝ ධජයක් නොමැති එකී ප්‍රතිපත්ති විරහිත කණ්ඩායම් හා කල්ලිවලට පවා, අරගලයක ගමන් මඟ තුල ඔවුන් මත පටවනු ලැබෙන දේශපාලන වැඩ පිළිවෙලක් නො තිබී යා නො හැක. එය සමඟ ඇති වෙනස්කම් සම්බන්ධයෙන් පැහැදිළි ලෙස අර්ථකථනය කළ දේශපාලන වැඩ පිළිවෙලකින් තොර ව “තන්ත්‍රයට” එරෙහි ව සටන් කිරීමට ඒකාබද්ධ වූ අපේ පක්ෂයේ එම පුද්ගලයන් සම්බන්ධ සිදුවීම් තුල, මෙම නීතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නිදර්ශනයක් දැන් අපි දකිමින් සිටිමු.

මෙහි දී ඔවුන් සිදු කරන්නේ, අශ්වයාට ඉදිරියෙන් කරත්තය ගැට ගසමින්, බලය සිය’තට ගැනීමෙන් පසුව ඉන් තමන් කුමක් කරනු ඇත්දැයි පැහැදිළි අදහසක් තමන්ට ම ඇති කර ගැනීමට පූර්වයෙන් “බලය” සඳහා අරගලය කිරීමට කණ්ඩායම් ගොඩ නැඟූ සිය පූර්වගාමීන් නො වෙනස්ව ම ලබා ගත් අත්දැකීම පුනරුත්පාදනය කරනු පමණි.

නිශ්චිත වැඩ පිළිවෙලකින් තොරව අරගලයක් පටන් ගන්නා ප්‍රතිපත්ති විරහිත කල්ලි හෝ කණ්ඩායම්, මාක්ස්වාදී ව්‍යාපාරයේ පාරිභාෂික වචන මාලාව තුල සංලක්ෂණය කෙරෙන්නේ දේශපාලන මංකොල්ලකරුවන් ලෙස ය. එහි ආරම්භයේ සිට, ඇමරිකානු රැඩිකල්වාදයේ පසුගැල්ම තුල සිදු වූ එහි කාලකන්ණි අවසානය දක්වාමත් එවැනි කණ්ඩායමක් පිළිබඳ අනගි උදාහරණයක් ලෙස, “ලව්ස්ටෝන්වාදීන්” ලෙස හඳුන්වන ලද කණ්ඩායම පෙන්වා දිය හැකිය. මෙම කණ්ඩායමට එම නම ලැබුනේ, එහි නායකයා ව සිටි, විශේෂත්වයකින් තොර අතිධාවනකාරියාගෙනි. ඔවුහු, පෞද්ගලික අරමුණු හා පෞද්ගලික අභිලාෂ වෙනුවෙන් හෝ, සිය පෞද්ගලික දුක් ගැනැවිලි සංතර්පණය කිරීම සඳහා ගෙන ගිය ප්‍රතිපත්ති විරහිත හා අශික්ෂිත කණ්ඩායම් අරගල මඟින් වසර ගණනාවක් ම ඇමරිකානු කොමියුනිස්ට් ව්‍යාපාරයට විෂ කවා එය දූෂණය කළෝය. ලව්ස්ටෝන්වාදීහු යමක් කළ හැකි හා දක්ෂ අය වූහ, එහෙත් ඔවුන්ට නිශ්චිත ප්‍රතිපත්ති නො තිබිණ. ඔවුන් දැන සිටියේ, තමන්ට පක්ෂ “තන්ත්‍රය” පාලනය කිරීමට අවශ්‍ය බව පමණෙකි. ඇබර්න් සම්බන්ධයෙන් පැවැති පරිදි ම, මෙම ප්‍රශ්නය ඔවුන්ගේ ගණනයන් තුල සෑම විටම මුල් තැන අරා සිටියේය; “දේශපාලන” වැඩ පිළිවෙල සෑමවිටම, “සංවිධානය පිළිබඳ ප්‍රශ්නය සෑහීමකට පත් විය හැකි ලෙස – එනම්, ඔවුන්ගේ වාසියට – විසඳා ගැනීමේ” ඔවුන්ගේ මූලික අරමුණට අනුකූල ව අනුවර්තනය කෙරින.  

ජේ ලව්ස්ටෝන් – ඡායාරූපය: Jay Lovestone Archive වෙතින්

සිනොවියොව් කොමින්ටර්නයේ ප්‍රධානියා ලෙස සිටින විට ඔවුහු මුරණ්ඩු රැඩිකල්වාදියෝ හා අන්ත වාමාංශිකයෝ වූහ. සිනොවියෙව් ඇද වැටීම හා බුකාරින් යටතේ කොමින්ටර්නයේ ප්‍රචණ්ඩ දක්ෂිනාංශික දෝලනයත් සමඟ ඔවුහු, කෙනෙකු තම කමිසය මාරු කරන තරම් ක්ෂණික ව හා ශාන්තදාන්ත ලෙස, උග්‍ර බුකාරින්වාදීන් බවට පත් වූහ. ගණනයන්හි ඇති වූ දෝෂයක් හෝ තොරතුරු ලැබීමේ පමාවක් නිසා, බුකාරින් සිට ස්ටැලින් හා තුන්වැනි කාල පරිච්ඡේදයේ වියරුහුණු වාමවාදය දක්වා කලට වෙලාවට මාරුවීමට ඔවුන්ට නොහැකි විය. හරියටම කිවහොත්, 1929 දී තමන්ගේ පාලනය යටතේ පැවැති පක්ෂ සමුළුවේ දී, බුකාරින් නෙරපා හැරීමට යෝජනා කරමින් තම ප්‍රමාද දෝෂයේ අලාභය පියවීමට ඔවුහු යත්න දැරුවෝ ය. එහෙත් දෘඩ සංවිධානාත්මක අරමුණුවල සේවය උදෙසා ඉදිරිපත් කෙරුණු දේශපාලනික නම්‍යතාවයේ මේ අවසාන නිරූපණය පැමිණීමට කල් පමා වී තිබිණ. ඔවුන්ගේ පමාව සිය’තින් ගෙල සිඳ ගැනීමක් විය.        

සෑමවිටම ඔවුන්ගේ දේශපාලනය ඔවුන්ට නිර්ණය කර දෙනු ලැබූයේ පරිබාහිර පීඩනය විසිනි. ඔවුන් කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය දැරූ කාලයේ එය මොස්කව් වෙතින් හෙලන ලද පීඩනයයි. කොමින්ටර්නයෙන් ඔවුන් විධිගත ලෙස නෙරපා හැරීමෙන් පසුව, ඊට ද වඩා වැඩි බරකින් යුත් පීඩනයක් ඔවුන් මත ක්‍රියාත්මක වූ අතර, ඔවුහු ක්‍රමයෙන් තමන් ඊට අනුගත කර ගත්හ. අද දිනයේ, මෙම, අරටුව දක්වාම සුළු ධනපති, කාලකන්ණි හා හුදෙකලා කල්ලිය ධනපති මහජන මතය විසින් සුළඟට අසු වූ පියාපතක් සේ ඒ මේ අත විසි කෙරේ. ලව්ස්ටෝන්වාදීන්ට කිසිදු ආකාරයක තමන්ගේ ම ස්වාධීන වැඩ පිළිවෙලක් කිසිදා නොතිබිණි. නිල කොමියුනිස්ට් පක්ෂයෙන් වෙන් වූ තැන් පටන් ගෙවී ගිය වසරවල දී එවැන්නක් වර්ධනය කර ගැනීමට ඔවුන්ට කිසි දා හැකි නො වීය. අද වන විට ඔවුන්ගේ Workers’ Age (කම්කරු යුගය) පුවත්පත, වාම ලිබරල්වාදීන්ගේ ප්‍රකාශනයකින් වෙන් කොට හඳුනා ගත නො හැකි තරම් ය. එය ප්‍රතිපත්ති විරහිත “සංවිධානාත්මක” දේශපාලනයේ අවසාන ප්‍රතිඵලය පිළිබඳ බිහිසුණු උදාහරණයකි. [7] 

අන් සියල්ලට ම වඩා අපමණ ඛේදජනක අවසාන ප්‍රතිවිපාක දැනවූ, වඩාත් ම භයානක සිදුවීම වන්නේ රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ “ට්‍රොට්ස්කි-විරෝධී” කණ්ඩායම පිළිබඳ සිද්ධියයි. ස්ටැලින්-සිනොවියෙව්-කමනෙව් සංයෝජනය ට්‍රොට්ස්කිට එරෙහිව එහි කණ්ඩායම් අරගලය ආරම්භ කළේ කිසිදු ආකාරයක පැහැදිළි ව අර්ථකථනය කළ ක්‍රියා මාර්ගික අරමුණකින් තොරව බව අවිවාදිත ය. නිශ්චිතව ම එයට ක්‍රියා මාර්ගික වැඩ පිළිවෙලක් නො තිබූ නිසා ම, එය පිටස්තර පන්ති බලපෑම්වල ප්‍රකාශනය බවට පත් විය. ස්ටැලින්වාදී කණ්ඩායම අධිරාජ්‍යවාදයේ අසරණ මෙවලමක් බවටත්, රුසියානු විප්ලවයේ සැබෑ නියෝජිතයන්ගේ මිනීමරු විරුද්ධවාදියා බවටත් පිරිහෙලමින් සිදු වූ අත්‍යන්ත පරිහානිය, අපේ සතුරන් පවසන පරිදි, බෝල්ෂෙවික්වාදයේ තර්කාන්විත වර්ධනයේ ප්‍රතිඵලය නොවේ. එසේ නොව, එය සප්‍රතිපත්තික දේශපාලනයේ බෝල්ෂෙවික්වාදී-මාක්ස්වාදී විධික්‍රමයෙන් වෙන් වී යාමේ අත්‍යවසාන ප්‍රතිඵලයයි.

පරිමානයේ හා සන්දර්භයේ සියලු වෙනස්කම් සැලකිල්ලට ගනිමින් කිව හැක්කේ, ඇබර්න් කල්ලිය මාක්ස්වාදයේ ක්‍රියා මාර්ගය හා දෘෂ්ටිවාදයට විධිමත් ව සංසක්ත වී සිටීමේ සිට සංශෝධනවාදයේ කණ්ඩායම් ආධාරකරුවන් වීම දක්වා වූ පරිහානිය, මෙහි උපුටා දැක්වූ සෙසු උදාහරණවල රටාව ම අනුගමනය කර ඇති බව ය. වර්තමානයේ විපක්ෂ කණ්ඩායම තුල බර්න්හැම් සතු දෘෂ්ටිවාදාත්මක හා දේශපාලනික ආධිපත්‍යය ම, තමන්ගේ ම ක්‍රියා මාර්ගික වැඩ පිළිවෙලකින් තොර කණ්ඩායම් හා කල්ලි අන්‍යයන්ගේ වැඩ පිළිවෙලවල උපකරණ වන බවට කියැවෙන දේශපාලන නියාමය පිළිබඳ වඩාත්ම සිත් ගන්නා සුළු සාධනය යි. බර්න්හැම්ට එක්තරා ආකාරයක වැඩ පිළිවෙලක් තිබේ. එය, අපේ ව්‍යාපාරයේ දෘෂ්ටිවාදයට, විධික්‍රමවලට හා සම්ප්‍රදායයට එරෙහි ව අරගල කිරීමේ වැඩ පිළිවෙලයි. “තන්ත්‍රය”ට එරෙහිව සටන් කිරීමට බර්න්හැම් සමඟ ඒකාබද්ධ වූවන් ඔහුගේ වැඩ පිළිවෙල යටතට ඇද වැටීම හුදෙක් ස්වභාවික ය; සත්තකින් ම එය නොවැලැක්විය හැක්කක් විය. ඇබර්න් මෙම පරිවර්තනය අත්පත් කර ගත් වේගය, නො වටනා සංවිධානාත්මක නිෂ්ඨාවන් වෙනුවෙන් දෘෂ්ටිවාදාත්මක පාවාදීමේ ඉහත අත්දැකීම් ඔහු සතුය යන්නෙන් යම් තරමකට ද, අපේ පක්ෂය මත ක්‍රියාත්මක වන සමාජ පීඩනය අද දින මීට ඉහත කවරදාක හෝ පැවැති පීඩනයට වඩා අතිශයින් වැඩි බරකින් යුතුය යන කරුණෙන් තවත් යම් තරමකට ද පැහැදිලි කළ හැකිය. මෙම පීඩනය සියලු වර්ධනයන්හි වේගය වැඩි කරයි.


පසු සටහන්

[6] සුළුතර කණ්ඩායම 1940 පෙබරවාරි 24-25 දිනවල ක්ලේව්ලන්ඩ්හි දී ජාතික සම්මේලනයක් පැවැත්වීය. පක්ෂය තුල සමථය කළ නොහෙන ප්‍රවණතා දෙකක් ඇති බව නිවේදනය කළ මෙම සම්මේලනය, “පක්ෂ සම්මේලනයේ දී සුළුතරය වන කවර හෝ කණ්ඩායමට, හතරවැනි ජාත්‍යන්තරයේ පොදු වැඩ පිළිවෙල ආරක්ෂා කරමින්, ඒ අතර ම මතභේදයට ලක් වී ඇති රුසියානු ප්‍රශ්නය පිළිබඳ තම ප්‍රවණතාවයේ සුවිශේෂී ආස්ථානය වෛෂයික ආකාරයෙන් ඉදිරිපත් කරමින්, තමන්ගේ ම ප්‍රසිද්ධ දේශපාලන ජර්නලයක් ප්‍රකාශයට පත් කිරීමේ අයිතිය ලබා දිය යුතු බව” ඉල්ලා සිටියේය. මෙම ඉල්ලීම පක්ෂ බහුතරය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. 

[7] 1941 මුල් භාගයේ දී, එක්සත් ජනපදය යුද්ධයට අවතීර්ණ වීමට පෙර, රැස්වීමක් තැබූ ලව්ස්ටෝන්වාදී කණ්ඩායම, සමාජවාදය වෙනුවෙන් තමන්ට කළ හැකි හොඳම දෙය විසුරුවා හැරීම බවට යෝජනාවක් සම්මත කළෝය. 

පෙර කොටස් බලන්න:

හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්
පළමු කොටස
දෙවැනි කොටස
තුන්වැනි කොටස

Scroll to Top